"ඇන්ට්වර්ප්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('උතුරු බෙල්ජියමේ පිහිටි ප්‍රධාන නගරයකි. ස්කෙල...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:47, 26 අගෝස්තු 2025 වන විට නවතම සංශෝධනය
උතුරු බෙල්ජියමේ පිහිටි ප්‍රධාන නගරයකි. ස්කෙල්ට් ගඟේ දකුණු ඉවුරෙහි මෝයේ සිට සැතැපුම් 50ක් පමණ ඉහළින් උත්තර අක්ෂාංශ 51°13′ හා නැගෙනහිර දේශාංශ 4°25' ආශ්‍රිතව පිහිටියේය. පුරාතනයෙහි සිට ම යුරෝපයේ ප්‍රධාන වරායක් වශයෙන් ද කීර්තියක් උසුලයි.
මධ්‍යතන යුගයේ දී දියුණු වූ දේශගවේෂණය සහ පෙර අපර දෙදිග වෙළෙඳාම නිසා ඇන්ට්වර්ප් වඩාත් වැදගත් විය. අටවැනි ශත වර්ෂයේ දී කුඩා වෙළෙඳ නගරයක් වූ මෙය 16 වැනි ශතවර්ෂය වන විට යුරෝපයේ ඉතා ආඪ්‍ය රමණීය නගරයක් බවට පත්ව තිබිණි. වෙළෙඳ නගරයක් වශයෙන් එය වැනීසිය පවා පැරදවිය. ස්පාඤ්ඤයට විරුද්ධව නෙදර්ලන්තයට එක් වී සිය නිදහස උදෙසා සටන් කළ ඇන්ට්වර්ප් නගරය 1576 දී බලවත් ස්පාඤ්ඤ ප්‍රහාරයකට ලක් විය. මන්ස්ටර් ගිවිසුම අනුව පනවන ලද වෙළෙඳ බාධක නීති නිසා වාණිජ කටයුතු අතින් 1800 දක්වා පරිහාණියට ද පත්වූයේය. ඉක්බිති නැපෝලියන් යටතේ නැවත දියුණුව ලත් ඇන්ට්වර්ජ් 1814 දී ප්‍රංස පාලනයෙන් මිදුණේය. එතැන් සිට ලන්දේසීන් ඉතා ඕනෑකමින් ආරක්ෂා කරගත් මේ වරාය හා නගරය 1832 දී බෙල්ජියානු හමුදාවන් විසින් අල්ලා ගන්නා ලදි. මේ සිද්ධියෙන් පසු ස්කෙල්ට් පුනීල මෝය පාලනය කළ ලන්දේසීන් බෙල්ජියානු ජාතිකයන් අතෙහි වූ ඇන්ට්වර්ක්හි මුහුදු වෙළෙඳාමට තීරුබදු පැනවීම් ආදී වශයෙන් කරදර කළ හෙයින් 1863 වන තුරු නියම වශයෙන් දියුණු නොවීය. 20 වැනි ශතවර්ෂය උදා වන විට ඇන්ට්වර්ප් ලෝකයේ වැදගත් වරායවල් අතුරෙන් තෙවන තැන ඉසිලීය. පළමුවන හා දෙවන ලෝක සංග්‍රාමයන්හි දී ඇන්ට්වර්ප් ජර්මන් ප්‍රහාරයට ලක් විය.
ඉතා අලංකාර නගරයක් වන ඇන්ට්වර්ප්හි පැරණි ගොඩනැඟිලි ආදියෙන් එහි කලෙක පැවතුණු ශ්‍රී සමෘද්ධිය මැනවින් පෙනේ. හැන්සියාතික් සංගමයේ ප්‍රධාන මන්දිරය හා 14 වැනි ශතවර්ෂයේ දී ඉදිකරනු ලැබූ නෝත්‍ර දාම් දේවස්ථානය මෙහි අලංකාර පැරණි ගොඩනැඟිලි අතර වෙයි. 17 වැනි ශතවර්ෂයේ දී මහත් කීර්තියක් ඉසුලූ රූබන්ස්, වැන් ඩයික්, බ්‍රෑකල්, ටෙන්යර්ස් ආදි චිත්‍ර ශිල්පීන් නිසා ද මේ නගරය සුප්‍රකට විය. යථෝක්ත ශිල්පීන්ගේ චිත්‍ර සහිත ලලිත කලා මන්දිරය ද දර්ශනීය ගොඩනැඟිල්ලකි. ලෝකයේ ප්‍රධාන කාර්මික හා වාණිජ මධ්‍යස්ථානයක් වූ ඇන්ට්වර්ප්හි වරායෙන් බටහිර යුරෝපයේ කර්මාන්ත බහුල විශාල ප්‍රදේශයකට උදාර සේවයක් කෙරේ. 15 වැනි ශතවර්ෂයේ දී ඇන්ට්වර්ප් නගරයේ ආරම්භ කරන ලද දියමන්ති කර්මාන්තය අද පවා ලෝක ප්‍රසිද්ධය. ධාන්‍ය හා මස් වර්ග ආදි ආහාර ද්‍රව්‍ය ද කර්මාන්තවලට අවශ්‍ය කපු, තඹ සහ වෙනත් ලෝහ වර්ග ඇතුළු අමු ද්‍රව්‍ය ද මේ නගරයේ ප්‍රධාන ආයාතයෝයි. ජර්මනියේ රූර් ආදි ප්‍රදේශවල නිපදවන යන්ත්‍ර සූත්‍ර, රෙදිපිළී, වීදුරු භාණ්ඩ ආදිය ප්‍රධාන නිර්යාතයෝයි. ලෝකයේ විශාලතම වානේ ද්‍රව්‍ය තොගය පිටරට යවනු ලබන්නේ ඇන්ට්වර්ප් තොටිනි. නැව් තැනීම කෙරෙන්නේ සුළු වශයෙන් වුව ද නැව් අලුත්වැඩියා කිරීම මෙහි තරමක ලොකු කර්මාන්තයකි. සීනි, වයින්, සිගරැට්, රේන්ද, මත්පැන්, වීදුරු, රසකැවිලි යනාදිය නිපදවන හෝ සකස් කරන කර්මාන්ත ශාලා රාශියක් නගරයේ ඇත. ජනගහනය (1961) 254,856කි.
ඇන්ට්වර්ප් නමැති පළාතේ ප්‍රමාණය වර්ග සැතපුම් 1.094කි. තැනිතලාවක් වූ මෙහි ගොවිතැන මෙන්ම කර්මාන්ත ද බෙහෙවින් කරනු ලැබේ. ජනගහනය (1961) 1,443,994කි.
(සංස්කරණය: 1967)