"උඩරට සමයේ සමාජ සංවිධානය" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('උඩරට සමාජය මුළුමනින් ම ගැමි සමාජයක් යයි කිව හැ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
08:53, 24 ඔක්තෝබර් 2025 වන විට නවතම සංශෝධනය
උඩරට සමාජය මුළුමනින් ම ගැමි සමාජයක් යයි කිව හැකිය; ගම නමැති ඒකකයන්ගෙන් ඒ සෑදී පැවැති හෙයිනි. එහෙයින් උඩරට සමාජ සංවිධානය හඳුනා ගැනීමේ දී ගමේ සමාජ සංවිධානය හැදෑරීම මහෝපකාරී වේ.
ගම
ඈත අතීතයේ දී මෙන් ම උඩරට සමයේ දී ද සිංහල සමාජය කෘෂිකාර්මික සමාජයක් විය. රජරට පැරණි සිංහල සමාජය වැව් ආශ්‍රිත ගම්වල ජීවත් වූ ගැමි සමාජයක් වූ අතර උඩරට සමාජය වැව් ආශ්‍රිත නුවුව ද ගොවිතැන් කළ හැකි මඩ ඉඩම් වටා වූ ගම්වල වී ගොවිතැන පදනම් කොටගත්තා වූ ද බොහෝ දුරට අන්‍යෝන්‍යාධාරයෙන් සිය අවශ්‍යතා සපුරා ගත්තා වූද චාම් දිවිපැවැත්මක් ගෙනගිය, සම්ප්‍රදායගරුක සමාජයක් වූ බව පෙනී යයි. බෙහෙවින් ස්වයංපාලිත වූත් ස්වයංපෝෂිත වූත් මෙබඳු ගම් සමූහයකින් උඩරට සමාජය සමන්විත වී යයි කිව හැකිය. “ගමේ භූමිමායිම් පැහැදිලිව නොතිබුණ ද ආගන්තුකයකුට එක් ගමකින් තවත් ගමක් වෙන් කර ගැනීමට අපහසු වුව ද ප්‍රදේශයේ වැසියෝ තම ගමේ මායිම් පිළිබඳව හොඳින් දැන සිටියහ. මේ නිසා තමන් එක ම ප්‍රාදේශීය හා සමාජ ඒකකයකට අයත් වූවන්ය යන හැඟීමෙන් ඔවුහු වෙළන ලදහ” (රැල්ෆ් පීරිස්). ගම පාලනය කරන ලද්දේ ගමරාල නමින් හැඳින්වුණු ගම් ප්‍රධානයාත් ගමේ සෙසු වැඩිහිටියනුත් විසිනි. එහෙයින් එම පාලනය ලිහිල් ජනපාලන ක්‍රමයක් සේ දැක්විය හැකිය. මහ ආණ්ඩුවේ නිලධාරි බලය ගමෙහි තරයේ ස්ථාපිත නොවීය. අයබදු ගෙවීම, යුද සේවය ආදි අවස්ථාවන්හි දී විනා ගැමියන්ගේ දෛනික ජීවිතයෙහි දී මහ ආණ්ඩුව ඔවුන් කෙරේ බලපෑවේ යයි සිතීම දුෂ්කරය. සාමාන්‍යයෙන් ගම් කීපයක් එක් වී සෑදුණු ගම් පේරුවක පාලන කාර්යය බලා කර ගැනීමට, කේන්ද්‍රගත පාලනයේ නිලධාරි පැළැන්තියේ අවසාන පුරුක යයි කිව හැකි වූ, ‘විදානේ’ නම් නිලධරයෙක් සිටියේය. බාහිර සම්බන්ධතා ස්වල්ප වීම විෂයෙහි බලපෑ කරුණු අතර වෙළෙඳාම, මුදල් පරිහරණය, මංමාවත් යනාදිය අල්පවීම වැදගත් කොට සැලකිය හැකිය. කුඩා ම ගමක ගෙවල් අටේ සිට දහය දක්වාත් ලොකු ගමක සියයකට අධික ගණනකුත් වූ බව ද නිවස තනා තිබුණු ගෙවත්ත වටා වැටක් හෝ අගලක් තනා තිබුණු බව ද සිතිය හැකිය. නොක්ස් පවසන පරිදි එවක උඩරට සිංහලයන්ගේ ගෙවල් අතු හෝ පිදුරු සෙවිලි කළ කුඩා මිටි ගෙපැල්ය. වරිච්චි බැඳ මැටි ගැසූ බිත්ති සිනිඳුය. රදලවරුන් හැරෙන්නට අනිත් අය ගෙවල් තනන්නන්ගේ හෝ වඩුවන්ගේ සහාය නොපැතූහ. ගබඩාගම්, නින්දගම්, විදානෙගම්, බත්ගම් (පහත් කුලවල අය විසූ ගබඩාගම්), ඔළි (පාඵ) ගම් ආදි විසින් ගම් විවිධ විය.
දෛනික ජීවිතයේ අවශ්‍යතා සහ ගෘහ ජීවිතයේ හා සමාජ ජීවිතයේ විවිධ අවස්ථාවල දී සිදු විය යුතු වත්පිළිවෙත් ද සියල්ලක් ම වාගේ නොපිරිහෙළා ඉටු කරගත හැකි වන පරිදි නිෂ්පාදනය, ශ්‍රමය, තේවා හා පුදපූජා අතින් එක් එක් ගමක් සැකසී පැවති බව පෙනේ. අධික ශ්‍රමය අවශ්‍ය වූ ගොවිතැන් කිරීම, ගෙයක් තැනීම, ඉළව් මඟුල් ආදි වූ ස්වකීය ඇතැම් කාර්යයන් ඉටු කරගැනීමේ දී ගම්වාසීහු සාමූහිකව ක්‍රියා කළෙන් ගම අන්‍යෝන්‍ය උපකාරය මත සංවිධානය වී යයි කිව හැකිය. මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් වූ සාධකයකි, කුල ක්‍රමය. වතු හා හේන් ඇතුළත් ගොඩබිමකින් සැදි “අඩුත්තු දේවල්” සැම ගම්වසමක ම පිහිටි කුඹුරුවලට සම්බන්ධව තිබුණු බව රැල්ෆ් පීරිස් මහතා පෙන්වා දෙයි. ගමක් සෑදී තිබුණේ ‘පංගු’ රාශියකිනි. පංගු යනු එක් එක් පරවේණි පවුලක් භුක්ති විඳි ඉඩම් කොටසය. ඉඩම් බුත්ති ක්‍රමය ගම් වශයෙන් භූමියේ බෙදීමේ වැදගත් සාධකයක් විය. තවද උඩරට සිංහල සමාජය ගම් වශයෙන් බෙදිය හැකිවාක් මෙන් ම ගමක් ද පවුල් වශයෙන් බෙදිය හැකිය. පවුල් ජීවිතයේ දී නානා අවශ්‍යතා හා බැඳීම් ආදිය සම්බන්ධයෙන් එක් එක් කුලයකට අයත් පවුලක් ක්‍රියාකාරී වූයේ බෙහෙවින් ම එකාකාරයෙනැයි කිව හැකිය. එහෙයින් ගැමි සමාජය හැදෑරීමේ දී පවුල ගැන අවශ්‍යයෙන් ම උගත යුතුය. ගමක ආධ්‍යාත්මික ගුණ වගාවත් අධ්‍යාපනික හා සංස්කෘතික අංශයත් භාරව මෙන් ක්‍රියා කළ ගමේ පන්සල සිංහල බෞද්ධ ගැමි සමාජ සංවිධානයෙහි ඉතා වැදගත් තැනක් දැරීය. මෙනයින් ගැමි සමාජය කෙරෙහි බලපෑ ප්‍රබල සාධකයන් වූ කුලක්‍රමය, ඉඩම් බුත්තිය, පවුල හා පන්සල ගැන සුළු වශයෙන් වුව සලකා බලනු වටී.
කුල ක්‍රමය
කුලභේදය ආශ්‍රය කොටගත් ශ්‍රම විභාජනය අන්‍යෝන්‍ය උපකාර ක්‍රමයේ ඉතා වැදගත් අංගයක් විය. සෑම ගමක ම විවිධ කාර්යයන්හි නියුතු වූ කාර්මික පවුල් කිහිපය බැගින් සිටියේය. කැත්ත උදැල්ල තැනීමට කම්මල්කරුවෙක් විය. වළං හා වෙනත් මැටි භාණ්ඩ සැපයීමට කුඹලෙක් විය. රෙදි සේදීමට හා මඟුල් අවමඟුල් ආදියෙහි දී සහාය වීමට රජකයෙක් සිටියේය. මේ ආදි වශයෙන් ගම්වැසියන්ගේ අවශ්‍යතාවන් ඉටු කැරුණු අතර අවශ්‍ය භාණ්ඩ හා සේවාවන් සඳහා ගෙවීම් කරන ලද්දේ වෙනත් භාණ්ඩ දීමෙන් හෝ වෙනත් සේවාවන් ඉටුකිරීමෙනි. භාණ්ඩ හා සේවා සැපයීමේ දී ඒ ඒ කුල විසින් ආර්ථික අගය සපයන ලද අතර, ඒ ඒ කුලවලට විශේෂ වූ කාර්යයන් මගින් ජන සම්මත විශ්වාසානුකූල වූ වෙනත් අගය විශේෂයක් ද සැපයිණි. රෙද්දක් සෝදා පවිත්‍ර කිරීම කාහට වුව ද කළ හැකි මුත් ‘කිල්ල’ යනුවෙන් හැඳින්වුණු අපවිත්‍රතාව සෝදා හැරිය හැකි වූයේ රජකයකුට පමණක් වීම මෙම අගය විශේෂයට නිදසුනකි. උපත, විවාහය, මරණය ආදි සංස්කාරාවස්ථාවන්හි දී මෙම අගය විශේෂය සම්බන්ධ සේවයක් අත්‍යවශ්‍ය විය. රටේ පාලනය ද පදනම් වූයේ කුල ක්‍රමය මතය. රාජත්වය හිමි විය යුත්තේ ක්ෂත්‍රිය වංශිකයකුට පමණක්ය යන්න සාමාන්‍ය විශ්වාසය විය. සාමාන්‍යයෙන් වෙනත් පාලක තනතුරුවලට පත් වූවෝ කුලයෙන් උසස් යයි සම්මත රදල කොට්ඨාසයට අයත් වූ අයය. යම්කිසි කුලයකට අයත් කාර්යාංශයක ප්‍රධානකම එම කුලයේ ම අයකුට පවරන ලද නමුත් ඊට ඉහළින් කුලීන ප්‍රධානයෙක් සිටියේය (කොට්ටල් බද්ද නිදසුන් කොටගත හැකිය). එමතුදු නොවේ. වැදගත් සමාජ සංස්ථාවක් වන විවාහය සිදු වූයේ කුලය තුළ මය.
විවාහයෙන් පිට ලිංගික සම්බන්ධකම් පැවැත්වීම එතරම් ලොකු වරදක් කොට නොසැලකූ එකල සමාජය උසස් කුලයක කාන්තාවක හෝ එවැනි කුලයකින් පැවත එන්නියක පහත් යයි සම්මත කුලයකට අයත් කෙනකු සමඟ එවැනි සම්බන්ධකම් පැවැත්වීම පිළිකුල් කොට සලකන ලද බව නොක්ස් සඳහන් කොට ඇත. එවැනි අවස්ථාවක දී “ඇයගේ ම ලේවල පළියෙන් හැරෙන්නට ඇය විසින් පවුලට කරන ලද කිලුට මකා දැමීමට වෙනත් ක්‍රමයක් නොමැත” (නොක්ස්). කුලීන පුරුෂයන් සිය අනියම් භාර්යාවන් වශයෙන් පහත් කුල ස්ත්‍රීන් තබාගැනීම (උච්ච පුරුෂ සේවනය) බහුලව දක්නට ලැබිණ. නොක්ස් පවසන අන්දමට එවැන්නකුට දඬුවමක් දෙනු ලැබුයේ එකට ආහාර ගැනීම හා බිරියක ලෙස තබාගැනීමක් කරන ලද නම් පමණි. එහෙත් අඩු වශයෙන් රාජසභාවට අයත් පිරිස අතර නම් උච්ච පුරුෂ විවාහය නියත වශයෙන් ම හෙළා දකින ලද සිරිතක් වූ බව පහත් කුලයක ගැහැනියක අනියම් බිරිඳ වශයෙන් තබා ගත් මීගස්තැන්නේ අදිකාරමට රජු තදින් ම තරවටු කිරීමෙන් පෙනේ.
ඉඩම් බුත්තිය
කෘෂිකාර්මික සමාජයක් වූ උඩරට සමාජයෙහි ඉඩම් භුක්ති ක්‍රමය තවත් වැදගත් සංවිධානාත්මක සාධකයක් ලෙස සඳහන් කළ හැකිය.
ගම්වැසියන්ගේ පවුලේ එකමුතුභාවය ඇති කිරීමෙහි ලා බෙහෙවින් බලපෑවේ ඉඩකඩම්ය. එමෙන් ම ගැමියන්ගේ සමාජ සම්බන්ධතාවල ඵලය වූ සමාජ සංස්ථා හා සිරිත් විරිත් බොහොමයක් පදනම් වූයේ ද ඉඩකඩම් මුල්කොටගෙනය. ඉඩම් භුක්ති ක්‍රමය (බ.) පදනම් වූයේ සියලු ඉඩම්වල භාරකරු රජුය යන පිළිගැනීම මතය.
රජුගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා වෙන් වූ ඉඩම් ගබඩාගම් නමින් ද (බ.), වෙහෙර විහාර හා දේවාල සඳහා වෙන් වූ ඉඩම් විහාරගම් (බ.) හා දේවාලගම් (බ.) නමින් ද ප්‍රධානීන් සඳහා වෙන් වූ බිම් පෙදෙස් නින්දගම් (බ.) නමින් ද හැඳින්විණ. මෙකී ගම්වල වූ ඉඩම් පංගු ගම්වැසියන් බුත්ති වින්දේ ගම් හිමියාට සේවා ඉටු කරන කොන්දේසිය මත වූ අතර මෙම සේවා රාජකාරිය නමින් හැඳින්විණ. මේ රාජකාරිය ඉටු කිරීමේ දී පවුලේ වැඩිහිටි අයගේ සහයෝගය පවුලේ ප්‍රධානියාට ලැබුණු අතර පවුල තුළත් පවුල් පවුල් අතරත් දක්නා ලද මෙකී සහයෝගය ගැමි සමාජයෙහි වැදගත් ලක්ෂණයක් විය. තම පරවේණි ඉඩම් පංගුව දිගට ම රැකගැනීමට ගම්වැසියෝ තමහට හිමි සේවා නොපිරිහෙළා ඉටු කළහ. එබැවින් පවුලේ යැපීම මෙන් ම තම ඉඩම් අහිමි වීම වළකාලීම සඳහා තමතමන් සතු සේවා නිසි පරිදි ඉටු කිරීමට හැම දෙන ම විසින් වගබලා ගන්නා ලදින් එය ගමේ සුභික්ෂතාවට හා ගමේ තිර පැවැත්මට හේතු විය. දෙමාපියන් කෙරෙහි යුතුකම් ඉටු කිරීමෙහි ලා ද ඉඩම් භුක්ති ක්‍රමය බෙහෙවින් බලපෑවේය. දෙමාපියනට ඇපඋපස්ථාන නොකරන දරුවනට ඉඩම් අහිමි කිරීමේ බලය ඔවුන් සතුව පැවති හෙයිනි. අනෙක් අතට තමා භුක්ති විඳි ඉඩකඩම් කොටස බෙදී කැබැලි වී ගියහොත් එම ඉඩම්වල ආර්ථික වටිනාකම නැති වී යාමට ඉඩකඩ තිබුණ නිසා එය වළක්වාගැනීම ද පවුලේ ආරක්ෂාවට මෙන් ම එකමුතුභාවයට ද හේතු විය. එබැවින් පරවේණි ඉඩම් පංගුව ආරක්ෂා වන පරිදි ගම්වැසියන්ගේ සමාජ සම්බන්ධතා ගෙන යාම අත්‍යවශ්‍ය විය.
නිදසුනක් වශයෙන් උඩරට විවාහ ක්‍රමය ගත හැකිය. දුවක දීග විවාහයකට ඇතුළත් වන විට හෝ පුතකු බින්න විවාහයකට ඇතුළත් වන විට හෝ ඔවුන්ට ඉඩම් නොදීම සිරිත විය. දීග විවාහයට ඇතුළත් වන දුවට චංචල දේපළ ම දායාද කොට දෙනු ලැබිණ. පුතුන් කිහිපදෙනකු සිටින අවස්ථාවක දී එකගෙයි කෑම (බ.) නමින් හැඳින්වෙන බහුපුරුෂ විවාහ ක්‍රමය අනුගමනය කිරීමෙන් ඉඩම් බෙදී යෑම වැළැක්විණ. බහුපුරුෂ විවාහයක දී හැම විට ම පාහේ ස්ත්‍රිය විවාහ කරගනු ලැබුවේ එක්කුස උපන් සහෝදරයන් විසිනි. සිංහල විවාහ ක්‍රමයේ පිළිගත් අනිවාර්ය ක්‍රමය වශයෙන් සලකනු ලබන ඇවැස්ස නෑනා-මස්සිනා විවාහය ද ඉඩකඩම් බෙදී විසිරී පිට අය අතට පත් වනු වැළැක්වීම සඳහා පැරැණියන් තුළ තිබූ අභිප්‍රායේ ප්‍රතිඵලයක් යයි කිව හැකිය.
තව ද කෙනකුට තම ඉඩම් නීත්‍යනුකූල උරුමක්කාරයන්ට නොදී වෙන පුද්ගලයකුට නීත්‍යනුකූලව පවරා දිය හැකි වූයේ නීත්‍යනුකූල හිමිකරුවන්ට එම දේපළ අහිමි වීමට හේතු දක්වා අහිමි කිරීමේ ලියවිල්ලක් මගින් එම අහිමි කිරීම පැහැදිලිව ම දක්වා ඇති නම් පමණි. එපමණක් නොව ඉඩම් පංගුවක උරුමකරුවන් කිහිප දෙනකු වූ විට එම පංගුව නොබෙදා සියල්ලන්ට භුක්තිය ලබාදීම සඳහා ක්‍රමයක් ද ඔවුන් විසින් සකසාගන්නා ලදි. තට්ටුමාරු ක්‍රමය (බ.) නමින් හැඳින්වෙන එම ක්‍රමය අනුව මාරුවෙන් මාරුවට ඉඩම්වල අයිතිය භුක්ති විඳීමට සෑම අයට ම ඉඩ ලැබේ.
පවුල
ඥාති ක්‍රමය සහ එයට සම්බන්ධ පෞද්ගලික නීතිය පිළිබඳ සංස්ථා සමාජයේ ඒකකය ලෙස සැලකුවේ පුද්ගලයා නොව පවුල බව මහාචාර්ය රැල්ෆ් පීරිස් පෙන්නා දෙයි. ස්වදේශිකයකුගේ ආදරය එක් රැස් වන කේන්ද්‍රස්ථානය ලෙස සැලකිය හැක්කේ පවුල යයි සඳහන් කරන ඩේවි සිංහලයන් අතර තරම් අවංක හා දැඩි සුහද පවුල් සම්බන්ධකම් ඇත්තේ මනුෂ්‍ය සමාජ අතුරෙන් ඉතා ම ටිකක බව තමාගේ විශ්වාසය යයි ද එම සම්බන්ධකම් දුර්වල කිරීමට හෝ වෙනතකට යොමු කිරීමට හෝ තුඩු දෙන කිසිවක් නැතැයි ද පවසා ඇත. බාලවියේ සිට දෙමාපිය සහෝදරාදීනට හා වැඩිහිටියනටත් බැහැරියනටත් පැවතිය යුතු අන්දම හා සිරිත් දහම් දරුවනට පුරුදු පුහුණු කිරීම නිසා පවුල තුළත් සමාජයේත් භේද ගැටුම් අඩු වූ බව සිතිය හැකිය.
සිංහල සමාජයේ පවුල බොහෝ දුරට පිතෘමූලික විය. බින්න විවාහයේ දී, දාසභාවය නිශ්චිත කිරීමේ දී හා රජ උරුම පිළිබඳ අයිතිය නිශ්චිත කිරීමේ දී සිංහල සමාජයෙහි මාතෘමූලික ලක්ෂණ දැකගත හැකි වුව ද, පවුලේ පිතෘමූලිකත්වය පැහැදිලිව දක්නට තිබිණි. පවුලේ එකමුතුභාවය ඇති කිරීමෙහි ලා ඉඩකඩම් බලපෑ බව හා පවුලේ හා පුද්ගලයන්ගේ ජීවිතයෙහි මඟුල් අවමඟුල් ආදිය පිළිබඳ සිරිත්විරිත්වල දී ඉටු වන සේවා අනුව සමාජ සංවිධානයෙහි ලා කුලක්‍රමය බලපෑ අයුරු ඉහත ද සඳහන් විය.
විවාහය පවුල සම්බන්ධ ඉතා වැදගත් අවස්ථාවක් විය. ඉන් සතර පාර්ශ්වයක සම්බන්ධය වඩාත් දැඩි විය. එවැනි අවස්ථාවල දී මව් පිය දෙපාර්ශ්වයන්ගෙන් සැදි මේ සතර වර්ගය කුල සිරිත් නිර්මලව රැකී ඇති ද යන්න ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙති. එහෙයින් විවාහයේ දී කුල සිරිත් රැකීමත් කුල සිරිතෙන් සමාජයේ නිර්බාධක ගමනත් සිදු විය. එහෙත් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය ම තම සිතැඟියාව අනුව තැන්පත් දිවියකට එළඹීමට පෙර සාමාන්‍යයෙන් හතර පස්වතාවක් ම විවාහ වන බව පෙන්වා දෙන නොක්ස්ගේ විස්තරයන් අනුව විවාහය එතරම් බලවත් වූවක් හෝ නීතිය හමුවේ වළංගු වූවක් හෝ සේ නොසැලකූ මානසික වාතාවරණයක් හෙළිදරවු වේ. එසේ ම මෙම තත්වය මහනුවර යුගය මුළුල්ලේ ම පැවැති බව පෙන්වාදෙන මහාචාර්ය රැල්ෆ් පීරිස් සමාජයේ නියම ඒකකය පවුල යයි පිළිගන්නා මතය විවාහ බන්ධනය එතරම් දැඩි කොට නොසැලකූ සමාජයක ම දක්නට ලැබීම විශේෂයෙන් සැලකිය යුත්තකැයි කියයි. උඩරට නීතිය, එකගෙයිකෑම, කුලක්‍රමය (ලංකාව) යන ලිපි ද බලන්න.
සිංහල ඥාති ක්‍රමය ද පවුලේ වැදගත්කම පිළිබිඹු කරන්නකි. සිංහල ඥාති ක්‍රමය ‘වර්ගීකරණීය’ නම් වූ ඥාති ක්‍රම ගණයට අනුකූල වන බව මහාචාර්ය රැල්ෆ් පීරිස් පෙන්නා දෙයි. මෙම ගණයේ කැපී පෙනෙන ලක්ෂණය නම් පෙළපතින් එන නෑයන් අමතන පදය ඇතැම් සමපාර්ශ්වික ඥාතීන්ට ද යෙදීමයි. පියාගේ සහෝදරයන් ද ‘පියා’ යනුවෙන් හැඳින්වෙන අතර මවගේ සහෝදරියෝ ද ‘මව’ යනුවෙන් හැඳින්වෙති. එහෙත් මවගේ සහෝදරයා හා පියාගේ සහෝදරිය හැඳින්වෙන වෙන ම පද වේ. ඥාති ක්‍රමයේ අර්ථය පුළුල් ලෙස සලකා බලන කල සමාජ සම්බන්ධතාවල දී ඥාතීන් පිළිපදින සමාජ භාවිතයන් හා සිරිත් ද එයට ඇතුළත් වන බව රැඩ්ක්ලිෆ් බ්‍රවුන් පෙන්වා දී ඇත. එමඟින් ව්‍යභිචාර රීතිය අනුසාරයෙන් ඇතැම් පන්තිවලට වැටෙන පුද්ගලයන් සමඟ විවාහ වීම තහනම් කැරේ. තහනම් විවාහ හා අනුමැතිය ලැබෙන විවාහ ගැන සලකා බැලීමේ දී සිංහල ක්‍රමයේ ඇති වැදගත් ආකෘතික මූලධර්ම ඉස්මතු වී පෙනේ. කෙනකු විවාහ විය යුත්තේ සිය ඇවැස්ස නෑනා සමඟය යන්නත් තම සමාන්තර හෙවත් ඥාති සොයුරිය සමඟ ද ඥාතිත්වයෙන් නැන්දා මව් ආදී වූ අය සමඟ ද විවාහවීම තහනම්ය යන්නත් පිළිගැනීමෙන් ඒ පැහැදිලි වේ. සිංහල ඥාති ක්‍රමය පිය පාර්ශ්වික එකක් වූ බවත් දීග විවාහ බහුල වූ බැවින් එහි පිතෘ මූලික ඥාතික්‍රම ආකෘතියකට ඉතා ම කිට්ටු සමානත්වයක් ඇති බවත් පෙනේ. සමාජ විද්‍යානුකූලව විග්‍රහ කරන විට උරුමය යන්නෙන් සාමාන්‍යයෙන් හැඟෙන්නේ දේපළ උරුම වීම පමණක් ම නොව වඩා පුළුල් අර්ථයෙන් අයිතිවාසිකම් හා යුතුකම් පැවරීම යයි ද ඒ අනුව බලන විට පිය පේරුවේ අයිතියට ගැළපෙන සමාජ ආකෘතියක් නුවර යුගයේ දී තිබුණු බව ද මහාචාර්ය රැල්ෆ් පීරිස් පෙන්වා දෙයි.
පන්සල
බෞද්ධ සිංහල සමාජ සංවිධානයෙහි එදා පන්සලට හා පන්සලේ ස්වාමීන්වහන්සේට හිමි වූයේ ප්‍රමුඛ ස්ථානයකි. පන්සලේ ස්වාමීන් වහන්සේ ගම් වැසියන්ගේ ප්‍රමුඛ උපදේශකයා වූහ. ස්වාමීන්වහන්සේ ගම්වැසියන්ගේ ජීවිතයෙහි සියලු අංශ කෙරෙහි ම වාගේ විශාල බලපෑමක් දැක්වූහ. ආගමික පරිසරය තදින් බලපෑ එකල ගම්මුන්ගේ ජීවිතයෙහි සියලු ආගමික කටයුතු බෞද්ධ භික්ෂූන් වහන්සේ වෙතින් ඉටු විය. එපමණක් ද නොව ගමේ සිටි, ධර්මය හා විනය මෙන් ම විද්‍යාශාස්ත්‍රාදිය ද දත් උගත් අය ස්වාමීන්වහන්සේ වූහ. සිංහල, පාලි, සංස්කෘත, දෙමළ භාෂාඥානය ද ඒ භාෂාවන්ගෙන් ලියැවුණු ග්‍රන්ථාන්තරයෙහි ආ වෛද්‍ය, ජ්‍යෝතිෂ, ශාන්තිකර්ම යනාදිය පිළිබඳ දැනුම ද අතින් පැවිදි පක්ෂය ගිහියන් ඉක්මවා සිටියාහු ගිහියන්ගේ ගුරු දේවයෝ ද වූහ. ගමේ පන්සල ගමේ විද්‍යාපීඨය ද විය. එයින් ද ජනජීවිතය කෙරෙහි බලපෑම් ඇති කිරීම පිණිස බෞද්ධ භික්ෂූන් වහන්සේට ඉඩකඩ ලැබිණ. වෙද පරම්පරාවන් ද නැකැත් හා කේන්ද්‍ර බැලීම වැනි දෑ කිරීම සඳහා වූ කුලයක් ද වෙන ම සිටි නමුත් බොහෝ විට එම කාර්යයන්හි වඩා දක්ෂ බවට ප්‍රසිද්ධිය ලැබුවෝ ද බෞද්ධ භික්ෂූන්වහන්සේය. මේ ආදි හේතූන් නිසා ගමේ පන්සලේ ස්වාමීන්වහන්සේ නිරතුරුව ම ගැමි ජීවිතයේ වැදගත් ම කොටස්කාරයෝ වූහ. මෙම තත්වය ගමට පමණක් සීමා වූවක් නොවීය. රජ මැති ඇමැති ඈ සියල්ලන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමෙන් රාජ්‍ය පාලනයෙහි බලපෑම් ඇති කිරීමේ අවස්ථාවක් උන්වහන්සේට තිබිණ. එබැවින් රජ ද බෞද්ධ භික්ෂු සංහතියේ චිර පැවැත්මට අවශ්‍ය කටයුතු නොවළහා සම්පාදනය කෙළේය. ඉඩකඩම් වෙහෙර විහාර භික්ෂූන්ට පූජා කෙළේය. භික්ෂූන්ගේ උපදෙස් නොතැකූ හෝ භික්ෂූන්ට නිසි පරිදි නොසැලකූ හෝ භික්ෂූන්ට සතුරුකම් කළ නොයෙක් රජවරුන්ට විරුද්ධව කැරැලි කෝලාහල ඇති විය. එයින් රාජ්‍ය පාලනයේ දී මෙන් ම ජන ජීවිතයේ දී ද බෞද්ධ භික්ෂූන්වහන්සේ සතු වූ බලපෑම කොතෙක් වී දැ යි සිතාගත හැකිය.
දාස මෙහෙවර
උඩරට සෑම පවුලක හෝ ගමක දාස මෙහෙවරේ යෙදී ක්‍රියා කළවුන් දක්නට නොලැබුණ ද සිංහල සමාජයේ අතීතයේ සිට පැවත ආ දාස මෙහෙය ද සුලභ ලක්ෂණයක් සේ සැලකිය හැකිය. මෙම දාස මෙහෙය ඉතා ඈත අතීතයේ සිට පැවත ආ සංස්ථාවක් වුව ද වහල්භාවයේ නියම අර්ථයට ගැළපෙන අන්දමේ වහල් මෙහෙයක් කිසි කලක ලංකාවේ නොතිබුණ බව නොක්ස්, ඩොයිලි, ජෝන් ඩවුනින් ආදීන්ගේ සටහන්වලින් පෙනේ. වහල්සේවය යන අර්ථය ඇති slavery යන ඉංග්‍රීසි පදයෙන් මෙම දාසත්වය හැඳින්වෙන්නට වීම නිසා පසුකල එය ‘වහල් මෙහෙවර’ යනුවෙන් සාවද්‍ය ලෙස දැක්විණි. උඩරට සමයේ දාසත්වයට පත් වූවන්ගේ තත්වය ඉතා ලිහිල් වූවක් විය.
දාස මෙහෙය එකල සමාජ සංවිධානයෙහි ලා වැදගත් කාර්‍යයන් දෙකක් ඉටු කළ බව පෙනේ. එක් අතකින් කුල නිග්‍රහයන් හේතුකොටගෙන දාසභාවයට පත් කිරීම දඬුවමක් වූයෙන් එකල සමාජ ක්‍රමය නොකැඩී පවත්වාගෙන යාමට දාස සේවය ඉවහල් වූ බව සිතිය හැකිය. ඉහත දැක්වූ පරිදි කුලය සමාජ සංවිධානය අතින් අත්‍යන්තයෙන් වැදගත් වූ හෙයින් එහි නිරවුල් පැවැත්මට බාධා ඇති නොවන පරිදි එය රැක ගැනීම අත්‍යවශ්‍ය විය. අනෙක් අතට තම ජීවිකාව හෝ ජීවිත ආරක්ෂාව පවත්වාගෙන යාමට ණයතුරුස් වූ විට එය ගෙවාගැනීමේ අන් ක්‍රම නැති වූ කල්හි සිය කැමැත්තෙන් වහල්භාවයට පත්වීම උපකාරී වූ හෙයින් ආර්ථික උපයෝගිතාවක් ද පිරිමැසිණි. මෙය වඩාත් හොඳින් පැහැදිලි වන්නේ එකල වහල් සේවයට පත් වූවන්ට ලැබී තිබුණු සැලකුම් ගැන සලකන විටය. ස්වාමිවරුන් දාසයන්ගේ වැඩි දියුණුවට කොතරම් උපකාරී වී ද යත් නම්බුවෙන් හැරෙන්නට අන් සියලුම කරුණු අතින් දාසයන් සිය ස්වාමිවරුනට පහත් නොවූහයි ඩොයිලි පවසා ඇත. රාජධානියේ විසූ දාසයන්ගෙන් බොහෝ දෙනෙක් උසස් කුලීනයන් වූ අතර ඔවුහු තමන්ගේ මුල් කුල නාමය නොනසා එලෙසින් ම තබාගත්හ. දාසයන් තබාගැනීම පහත් කුලවල අයට තහනම් වූ අතර යම් හෙයකින් ගොවිගම කුලයේ අයකු අඩුකුල පුද්ගලයකුගේ දාසභාවයට පත් වී නම් එවැනි දාසයන් මිල දී ගැනීමට අධිපතියෝ ඉදිරිපත් වූහ.
වහලුන් සතර වර්ගයක් කොට දක්වන නීති නිඝණ්ඩුවෙහි වහල්භාවයෙන් මිදෙන ක්‍රම ද දක්වා ඇත. මෙසේ නිදහස් වූවන් උසස් ඨානාන්තර සඳහා වුව ද සම්පූර්ණ සුදුසුකම් ලැබූ බව පෙනේ.
(සංස්කරණය: 1970)