"උදානපාළි" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('මෙනමින් හඳුන්වනු ලබන ග්‍රන්ථය බුදුරජාණන්වහන...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
16:30, 10 නොවැම්බර් 2025 වන විට නවතම සංශෝධනය
මෙනමින් හඳුන්වනු ලබන ග්‍රන්ථය බුදුරජාණන්වහන්සේගේ උදානයන් (ඥානමය ප්‍රීතිවාක්‍යයන්) සංග්‍රහ කොට ධර්මසංග්‍රාහකයන් විසින් සකස් කරන ලද්දකි. බුද්ධ වචනය අංග වශයෙන් විභාග කිරීමේ දී උදානපාළිය ‘උදාන’ නම් වූ අංගයට ද නිකාය විභාගයේ දී ඛුද්දක නිකායට ද පිටක විභාගයේ දී සූත්‍රපිටකයට ද අන්තර්ගත සේ සලකනු ලැබේ. බුදුගොස් හිමියන්ගේ සුමංගල විලාසිනියේ ඛුද්දකනිකායට අයත් ග්‍රන්ථාවලියෙහි උදානපාළිය ඇතුළත්වීම ද සැලකිය යුතු කරුණකි. එයින් මෙම ග්‍රන්ථය සූත්‍රපිටකයට අයත් ධර්ම සංග්‍රහයක් ලෙස අවිවාදයෙන් පිළිගත් බව ඔප්පු වේ. මෙසේ විශේෂයෙන් හැඳින්විය හැකි කෘතියක් වශයෙන් නොව, එහි වූ සාහිත්‍යමය ස්වරූපය නිසා එක ගණයක ලා ගිණිය හැකි හෙයින් බුද්ධ වචනයෙහි එක් ප්‍රභේදයක් ලෙස සලකා උදානයන් ගැන මජ්ඣිම නිකායේ අලගද්දුපම සූත්‍රයේ ද සඳහන් වෙයි. ධර්මය පතපොත වශයෙන් කොටස්වලට නොබෙදූ අවධියකට මෙකී උදාන නම් අංශය අයත් වී යැයි සිතිය හැකිය.
පරමත්ථදීපනී උදානට්ඨකථාවේ උදාන ලක්ෂණ කථනයේ දී “කෙනට්ඨෙන උදානං? උදානට්ඨෙන උදානං. කිමිදං උදානනං නාම? පිතිවෙගසමුට්ඨාපිතො උදාහාරො”යී ප්‍රීති වේගයෙන් පැනනැඟි තෙපුල උදාන නමැයි කියන ලදි. සීහලට්ඨ කථාවන්හි ද උදාන ලක්ෂණ කථනයක් දක්නට ලැබුණු බව “යං පන අට්ඨකථාසු සොමනස්ස ඤාණමයිකගාථාපතිසංයුත්තා’ති උදානලක්ඛණං වුත්තං” යන පරමත්ථදීපනී උදානට්ඨ කථා පාඨයෙන් පැහැදිලි වේ. අවබෝධයෙන් යුක්තව කරනු ලබන ප්‍රීතිවාක්‍යමය ප්‍රකාශය ‘උදාන’ නම් වන බව එයින් කියැවේ. බඳුන පිරී පිටත ඉතිරි යන තෙල් ආදිය “අවසෙසක”යී ද තටාකය පිරී ඉතිරී යන ජලය “ඔඝ”යී ද කියනු ලැබේ. එසේ ම ප්‍රතිග්‍රාහක නිරපේක්ෂකව ප්‍රීති වේගයෙන් උද්ගත විතර්ක විස්ථාරය හෘදයාභ්‍යන්තරයෙහි නොරඳා වාග්ද්වාරයෙන් නික්මී ප්‍රකාශයට පත් වන විට එම වචන විශේෂය උදාන නමින් හඳුන්වනු ලැබේ. උදාන බොහෝ විට දක්නට ලැබෙනුයේ පද්‍ය ස්වරූපයෙන්ය. එසේ ම ප්‍රීති වාක්‍යමය වශයෙන් පමණක් නොව ධර්මසංවේග වශයෙන් ප්‍රකාශිත උදානයෝ ද ඇත්තාහ. මේ සර්වඥ බුද්ධ භාෂිත උදානයන්ගේ ලක්ෂණය. මෙපමණක් නොව සූත්‍ර නිපාතයේ ඛග්ගවිසාණසූත්‍රාදියෙහි ප්‍රත්‍යෙක බුද්ධ භාෂිත උදානයෝ ද ථෙරථෙරි ගාථාවෙහි ශ්‍රාවක භාෂිත උදානයෝ ද දක්නට ලැබෙති. එසේ ම දේවමනුෂ්‍යාදීන්ගේ උදානයෝ ද වෙති.
එහෙත් උදානපාළියේ සංග්‍රහ කොට ඇත්තේ බුදුරජාණන්වහන්සේගේ උදාන පමණකි. බෝධිමූලයේ දී බුදුරජාණන්වහන්සේ විසින් උදාන වශයෙන් ප්‍රකාශිත “අනෙකජාතිසංසාරං” ආදි ගාථා නොයෙක් දහස් ගණන් බුදුවරුන්ගේ අවිජහිත උදාන ගාථා ද වන්නේ යැයි ද එසේ ම ඒවා පසුකලෙක ආනන්ද ස්ථවිරයන්ට බුදුන්වහන්සේ විසින් ම දේශනා කරන ලදැයි ද ඒ නිසා එම ගාථා උදානපාළියට ඇතුළු නොකොට, ධම්මපදයෙහි සංග්‍රහ කරන ලදැයි ද යනු අට්ඨකථා මතයයි. ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙහි එන “අඤ්ඤාසි වත හො කොණ්ඩඤ්ඤො, අඤ්ඤාසි වත හො කොණ්ඩඤ්ඤො” යන උදානපාඨය ද පඨමබෝධියෙහි දී ප්‍රකාශිත “ආරාධයිංසු වත මං භික්ඛූ එකං සමයං” යන පාඨය ද ප්‍රීතිමය උදාහාර මාත්‍ර (පීතිසොමනස්සජනිතං උදාහාරමත්තං) පමණකි. ඒවා “යදා හවෙ පාතු භවන්ති ධම්මා” යනාදි උදාන මෙන් ප්‍රවෘත්තිය හෝ නිවෘත්තිය සඳහා කළ ප්‍රකාශයන් නොවන නිසා, ධර්ම සංග්‍රාහකයන් විසින් උදානපාළියට ඇතුළු නොකරන ලද බව අටුවා මතයයි. මේ හැර ආරාමදණ්ඩ බ්‍රාහ්මණාදීන් විසින් ප්‍රකාශිත “නමොතස්ස භගවතො” ආදි උදාන ද “අහො දානං පරමදානාං කස්සපෙ සුප්පතිට්ඨිතං” ආදි ශක්‍රයාගේ උදාන ද දක්නට ඇත. වරක් ද්‍රෝණයක් පමණ අහර වැළඳූ කොසොල් රජතුමා බුද්ධාවවාදය පිළිගෙන නැළියක් පමණ අහර වළඳන තත්ත්වයට පැමිණ එයින් ලද ශරීර සුඛය නිසා සතුටුව බුදුන්වහන්සේ උභයලෝකාර්ථයෙන් තමන්ට සංග්‍රහ කළ සේකැයි උදන් ඇනූ බව සංයුක්ත නිකායෙහි කෝසල සංයුත්තයේ දැක්වෙයි. එහෙත් මේවා උදාන පාළියෙහි උදානසංඛ්‍යාවට අයත් නොවේ.
උදානපාළියෙහි බොධි, මුචලින්ද, නන්ද, මෙඝිය, සොණ, ජච්චන්ධ, චුල්ල, පාටලීගාමී යයි වර්ග අටක් ද සූත්‍ර අසූවක් ද උදාන ගාථා පස් අනූවක් ද අඩකින් වැඩි බණවර අටක් ද එක් අසූවක් අනුසන්ධි ද පද එක්විසි දහසක් ද ඇතුළත් බව අටුවාවෙහි ප්‍රකාශිතය. එක් එක් වර්ගයක් සූත්‍ර දශයකින් යුක්තය. බෝධි වර්ගයෙහි දක්නට ලැබෙන සුවිශේෂ වචනය ‘බ්‍රාහ්මණ’ යන්නයි. බ්‍රාහ්මණ ශබ්දය අර්හත් අර්ථයෙන් මෙහි යොදා තිබේ. මේ උදාන ධම්මපදයේ බ්‍රාහ්මණ වර්ගයට සමාන බවක් දක්වයි. ඒ නිසා “බොධිවග්ග”යී නම් නොකොට “බ්‍රාහ්මණවග්ග”යී නම් කෙළේ නම් වඩා උචිත යැයි විචාරකයෝ කියති. නන්දවර්ගයේ බෞද්ධ භික්ෂු ජීවිතයේ පරමාර්ථ සංක්ෂිප්ත ලෙස කියැවෙන අතර, මේඝියවර්ගයෙහි චිත්ත දමනයේ වැදගත්කම ගැන කියැවෙයි. සෝණවග්ගයෙහි ධම්මවිනයෙහි දක්නට ලැබෙන අට්ඨ අච්ඡරිය අබ්භුත ධම්ම ආදිය කියැවෙන අතර, එහි 5 වන සූත්‍රයෙහි අපරිශුද්ධ පිරිස හා උපෝසථය නොකළ යුතු බව කියැවෙයි. මේ සූත්‍රය මහාවග්ගපාළියේ එන පාතිමොක්ඛට්ඨපනය සමග ද තුලනය කළ හැකිය. ජච්චන්ධවර්ගයේ භාරතීය දර්ශන පිළිබඳ තොරතුරු එයි. චුල්ලවග්ගයේ එන්නේ ඉතා කුඩා සූත්‍රය. උදානපාළියේ නිදාන කථා ඉතා සරලය. උදානය තේරුම් ගැනීමට බොහෝ විට ඒවා උපකාර වේ. එසේ වුව ද, නිදානකථා උදානගාථා තරම් පැරැණි යැයි නොසිතනු ලැබේ. කෙසේ වුව ද, උදානපාළිය බුදුසමයේ මූලධර්මයන් ඇතුළත් ග්‍රන්ථයක් ලෙස අවිවාදයෙන් පිළිගත හැකිය.
(කර්තෘ: කඹුරුපිටියේ අරියසේන හිමි)
(සංස්කරණය: 1970)