"උත්තරාපථය" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('පැරණි භාරතීය හින්දු ‘පුරාණ’ ග්‍රන්ථවල උත්තරා...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:55, 13 නොවැම්බර් 2025 වන විට නවතම සංශෝධනය
පැරණි භාරතීය හින්දු ‘පුරාණ’ ග්‍රන්ථවල උත්තරාපථය, මධ්‍යදේශය, පූර්වදේශය, දක්ෂිණාපථය හා අපරාන්තය යනුවෙන් ඉන්දියාව කොටස් පහකට බදා දක්වන ලදි. පාලි සාහිත්‍යයෙහි ඉහත කී කොටස් පහට හේමවත හෙවත් හිමවන්ත ප්‍රදේශය ද එකතු කොට කොටස් හයකට බෙදා ද මාර්කණ්ඩේය පුරාණයෙහි වින්ධ්‍යපෘෂ්ඨ හා පර්වතාශ්‍රයි යනුවෙන් දෙකොටසක් එකතු කොට කොටස් සතකට බෙදා ද දක්වා තිබේ. බෞද්ධ සංස්කෘත ග්‍රන්ථවල ඉන්දියාව කොටස් තුනකට බෙදා දක්වා ඇත. එනම් උත්තරාපථ, මධ්‍යදේශ හා දක්ෂිණාපථ යනුවෙනි. ඇතැම් සාහිත්‍ය කෘතිවල ඌර්ධ්ව හා උදිව්‍ය යන නම්වලින් ද උත්තරාපථය හඳුන්වා ඇත.
උත්තරාපථයෙහි සතර දේශසීමා බ්‍රාහ්මණ හෝ පාලි ග්‍රන්ථවල සඳහන් නොවේ. වසිෂ්ඨ, බෞධායන වැනි ධර්මසූත්‍රවලත් මානවධර්මශාස්ත්‍රයෙහිත් උත්තරාපථය දක්වා තිබෙනුයේ සරස්වතී නදිය අවසන් වන තැන පිහිටි ලෙසයි. දහවැනි සියවසට අයත් සේ සැලකෙන රාජශේඛර නමැති ලේඛකයා දක්වන පරිදි මෙම පෙදෙස පිහිටියේ පිතූදකයට (සරස්වතී ගඟ බඩ පිහිටි වර්තමාන පිහොවා) උතුරිනි. මෙලෙස බලන විට පෙනෙනුයේ වත්මන්හි වයඹදිග ඉන්දියාව හා ඊට ආසන්නව පිහිටි මධ්‍ය ආසියාතික ප්‍රදේශත් උතුරුදිග්භාගය වශයෙන් හැඳින්වීම සඳහා පුරාතන ලේඛකයන් උත්තරාපථ යන්න යෙදූ බවයි. උත්තරාපථ යනු ආරම්භයෙහි දී වෙළෙඳ මාර්ගයක් හැඳින්වීමට භාවිත වූ බවත් පසුව යට කී පෙදෙස් හැඳින්වීමට ද එම නාමය ම භාවිත වූ බවත් ආචාර්ය බී.සී. ලෝ දක්වයි. පාලි සාහිත්‍යයට අනුව, මේ පෙදෙසෙහි ප්‍රධාන බෙදුම් නම් කාශ්මීරය, ගන්ධාරය හා කාම්බෝජයත්ය. මහාභාරතයෙහි 12 වැනි පර්වයෙහි උත්තරාපථවාසීන් දේශපාලන වශයෙන් කොටස් පහකට බෙදා ඇත. එනම් යවන, කාම්බෝජ, ගන්ධාර, කිරාත හා බර්බර යනුවෙනි. මාර්කණ්ඩේය පුරාණයෙහි තවත් ජාතීන් කිහිපයක් මේ ගණයට එකතු කොට තිබේ. උතුරු හා දකුණු යනුවෙන් උත්තරාපථයේ කොටස් දෙකක් ගැන මහාභාරතයෙහි කියැවේ.
දිව්‍යාවදානයෙහි මෙහි අගනුවර උත්පලාවතී ලෙස දැක්වේ. වත්මන්හි මෙය පේශාවර්හි සිට සැතපුම් 17ක් පමණ ඊසාන දිගින් පිහිටි ප්‍රාං හා චර්සද්ද ලෙස සැලකේ. මෙහි පිහිටි අසිතඤ්ජන නමැති වෙනත් නගරයක් ගැන ඝත ජාතකයෙහි සඳහන් වෙයි.
හරප්පා ශිෂ්ටාචාරයට අයත් නටබුන් මේ පෙදෙසින් ද සොයාගෙන ඇති හෙයින් එම ශිෂ්ටාචාරය මෙහි ද ව්‍යාප්තව තිබිණැයි සිතිය හැකිය. පසුව වෛදික ආර්යයන්ගේ ජනාවාස මෙහි ඉදි විය. බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන පරිදි බුදුන් වහන්සේට ප්‍රථම දානය පිදූ තපස්සු හා භල්ලුක යන වෙළෙඳ දෙබෑයන් විසූ උත්කල ජනපදය පිහිටියේ ද මෙහිය.
ක්‍රි.පූ. සවැනි සියවසෙහි උතුරු ඉන්දියාවෙහි පැවති සොළොස් මහා ජනපද අතුරෙන් එකක් වූ කාම්බෝජය පිහිටියේ ද උත්තරාපථයෙහිය. මේ මහජනපද කාලයෙහි සිට ම උත්තරාපථවාසීන් ග්‍රීකයන් හා සබඳතා පවත්වාගෙන ආ බව ආචාර්ය ඩී.සී. සර්කාර් පෙන්වා දෙයි. උත්තරාපථයේ වයඹදිග කොටස් පර්සියානු අධිරාජ්‍යයට ක්‍රි.පූ. සවැනි සියවසෙහි දී පමණ අයත්ව තිබුණු බවට සාධක ලැබී ඇත. ක්‍රි.පූ. සිව්වන සියවසෙහි මහා ඇලෙක්සැන්ඩර් රජුගේ ආක්‍රමණ අවධියෙහි රාජාණ්ඩු හා සමූහාණ්ඩු රැසක් මේ පෙදෙසෙහි විය. ඒවායින් ඇතැම් ඒවා ඔහුට යටත් වුව ද රාජ්‍යයන් කිහිපයක් ම දැක්වූයේ දැඩි විරුද්ධත්වයකි. මගධයේ නන්ද රජුන් මෙම පෙදෙස් නතු කරගැනීමට උත්සුක නොවූ බව පෙනේ.
පාලි ග්‍රන්ථවල බින්දුසාර රජුගේ මරණයට අවුරුදු 11කට පෙර දී අවන්තියේ ප්‍රතිරාජයා ලෙස අශෝක කුමරා පත් කළ බව කියැවෙන අතර, දිව්‍යාවදානයෙහි සඳහන් වනුයේ උත්තරාපථයෙහි කැරලිකාරී තත්වය මැඩලීමට ඔහු එහි යැවූ බවයි. මෞර්ය අධිරාජ්‍යයෙහි ආධිපත්‍යය උත්තරාපථයෙහි පැවතුණි. උත්තරාපථ, අපරාන්ත (පශ්චාත්දේශ) හා මධ්‍යදේශ යන මේ පෙදෙස්හි විදේශීය ආධිපත්‍යය පශ්චාත් මෞර්ය යුගයෙහි දී තහවුරු වීම විශේෂ ලක්ෂණයකැයි ආචාර්ය සර්කාර් කියයි. මෞර්ය අධිරාජ්‍යයෙහි වැටීමෙන් පසු ග්‍රීක, පාර්තියානු, ශක, කුෂාණ හා හූණ වැනි විදේශිකයන්ගේ ආක්‍රමණ රැසක් මෙම පෙදෙසට එල්ල වූ බව පෙනේ. කාලිංගයේ ඛාරවේල රජුගේ හාතිගුම්එා සෙල්ලිපියෙහි ඔහු උත්තරාපථ රජුන් බිය ගැන්වූ බව දැක්වේ. හර්ෂචරිතයෙහි දක්වා තිබෙන පරිදි නම් ප්‍රභාකරවර්ධන (බ.) රජුගේ රාජ්‍යකාලයෙහි (ක්‍රි.ව. සවැනි සියවස) හූණයන් විසුවේ උත්තරාපථයෙහිය. ඔවුන් මැඩලීමට ඔහු තම දෙටුපුත් රාජ්‍යවර්ධන හමුදා සමඟ යැවූ බව ද එහි සඳහන්ය. ගුර්ජර ප්‍රතිහාර අධිරාජ්‍යයෙහි (ගුර්ජර ප්‍රතිහාර අධිරාජ්‍යය බ.) ආධිපත්‍යය ද මෙහි පැතිරී තිබිණ. ඉන් පසුව මුස්ලිම්වරුන්ගේ ආධිපත්‍යය යටතට මේ පෙදෙස පත් විය. අයිහෝළේ (බ.) සෙල්ලිපියෙහි හර්ෂවර්ධන (බ.) රජු හඳුන්වා තිබෙනුයේ ‘සකලෝත්තරාපථනාථ’ යන උපාධිනාමයෙනි. කනෞජයෙහි යශෝවර්මන් (බ.) රජු ද චාලුක්‍යවිජයාදිත්‍ය රජුගේ ලිපියක හඳුන්වා තිබෙනුයේ එම උපාධිනාමයෙනි. උත්තරාපථ යන්න පසු කාලය වන විට පැරණි හින්දු පුරාණ ග්‍රන්ථ රචනා කළ ලේඛකයන් අදහස් කළ ප්‍රදේශයට වඩා විශාල ප්‍රදේශයක්, එනම් මුළු උතුරු ඉන්දියාව ම, හැඳින්වීමට යොදාගත් බව මෙයින් සිතා ගත හැකිය.
රජගහ නුවර සිට තක්ෂශිලා දක්වා විහිදී තිබුණු වෙළෙඳ මාර්ගය ද උත්තරාපථ යනුවෙන් හැඳින්විණ. පාටලීපුත්‍ර, වේසාලී, කුසිනාරා, කපිලවස්තු, සාවත්ථි, හස්තිනාපුර වැනි නගර අතරින් විහිද ගිය මෙම මාර්ගය උත්තරාපථයත් මගධයත් අතර නිරන්තර වාණිජ සබඳතා පවත්වා ගැනීමට උපකාරී විය.
(සංස්කරණය: 1970)