"උත්ස්වේදනය" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(Transpiration). නියමිත කෘත්‍යයන් කිරීම සඳහා සියලු සජීව...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
12:04, 20 නොවැම්බර් 2025 වන විට නවතම සංශෝධනය
(Transpiration). නියමිත කෘත්‍යයන් කිරීම සඳහා සියලු සජීව සෛලයන්ට ජලය අවශ්‍ය වේ. තවද සජීව පටකවල අධික ජල ප්‍රමාණයක් අඩංගු වේ. ජලය ප්‍රාක්ප්ලාස්මයේ සංඝටකයක් ද කායික කාර්යාවලීන්හි ප්‍රතිකාරකයක් ද ශාකය තුළට ඇතුළු වන ඛනිජ ලවණවල හා වායූන්හි ද්‍රාවකයක් ද වේ. ශාක පටකවල ශූනතාව (turgidity) පවත්වාගැනීමටත් ජලය අවශ්‍යය. ශීඝ්‍ර ලෙස ජලය නැති වී යෑම ශූනතාවේ අඩු වීමක් ඇති කොට අකාෂ්ඨශාකයන්ගේ හා ශාක අවයවයන්ගේ මැලැවීම සලසයි. ශාකයන්ගේ වර්ධනය පිණිස ජලයට වඩා වැදගත් සාධකයක් නැත. නොයෙක් ප්‍රදේශවල (විශේෂයෙන් ම නිවර්තන ප්‍රදේශවල) ශාක ප්‍රජාවන්ගේ ව්‍යාප්තිය ද ඒ ප්‍රදේශවල දී ශාකයට ලබාගත හැකිව ඇති ජලයෙන් පාලනය කෙරේ.
ශාකයන්ගේ වර්ධනය සඳහා වුවමනා කරන ජලය පිළිබඳ දැනුමක් කාටත් පාහේ ඇත. ඇතැම් ප්‍රදේශවලට වර්ෂා ජලය සෑහෙන තරම් නොලැබෙන නිසා මදිපාඩු පිරිමැසීමට වාරිමාර්ග මගින් ද ජලය සපයනු ලැබේ. එහෙත් මේ ජලයෙන් විශාල කොටසක් ශාකයේ වර්ධන කාර්යාවලියෙහි කිසි සේත් ක්‍රියා නොකොට වායුගෝලයට පිට වී යන බව වැඩි දෙනෙක් නොදනිත්. ජලවාෂ්ප වශයෙන් ශාකයෙන් ජලය පිටවීමට ‘උත්සවේදනය’ යයි කියනු ලැබේ. සාමාන්‍ය ගොඩබිම් ශාකයකින් විශාල ජල ප්‍රමාණයක් උත්ස්වේදනයෙන් පිට වන බව නිර්ණය කොට ඇත. මිසර කපු ශාකවලින් දවසකට අක්කරයකින් ගැලුම් 50ක් පමණ (දවසකට එක් ශාකයකින් පයින්ට් 3ක් පමණ) ජලය පිට වන බව බෝල්ස් (Balls) සොයා දැන ගෙන තිබේ. රාත්තල් 44ක් පමණ බර ඇති කොළ සහිත බීච් ශාකයකින් ග්‍රීෂ්ම දවසක ජල රාත්තල් 210ක් (ගැලුම් 21ක්) පිට වන බව පොල්ස්ටර් (Polster) වාර්තා කොට ඇත.
වායුගෝලයට අනාවරණය කරන ලද තෙත් පෙරහන් කඩදාසියක් ඉතා ඉක්මනින් වියළෙයි. එහි ජලය වාෂ්පීභවනය වී යන හෙයිනි. සාමාන්‍ය ගොඩබිම් ශාකයේ ජලය වායුගෝලයට පිටවන්නේ අව්වට සුළඟට නොඅඩුව අනාවරණය වී පැතුරුණා වූ ද යටකී පෙරහන් කඩදාසිය වැනි පැතළි පෙදෙස් වූ ද පත්‍රවල (කොළවල) මාර්ගයෙනි. ශාකයකින් වෙන් කරන ලද පත්‍රවලින් ඇති වන උත්ස්වේදනය හා තෙත් පෙරහන් කඩදාසි ඇට්මොමීටරයකින් ඇති වන වාෂ්පීභවනයත් අතර කිට්ටු සමානකමක් පත්‍රවලින් ජලය පිට වන මුල් අවස්ථාවල දී දක්නට ලැබේ. එහෙත් පත්‍රවල අඩංගු ජල ප්‍රමාණය අඩු වත් ම පුටිකාවන්ගේ වැසීම වැනි ඇතැම් වෙනත් සාධක ක්‍රියාකාරී වීම හේතු කොටගෙන ජලය පිට වන වේගය අඩු වේ. එබැවින් තෙත පෙරහන් කඩදාසියක හෝ පොකුණක් වැනි අනාවරණය වූ ජලපෘෂ්ඨයක හෝ සිදු වන ජලහානියට වඩා උත්ස්වේදනය බොහෝ විට වෙනස්ය. මීට හේතුව උත්ස්වේදනය පිළිබඳ ප්‍රධාන අවයවය වන පත්‍රය ඉතා සංකීර්ණ ව්‍යූහයකින් යුක්ත වීමයි.
ගොඩබිම් ශාකයක පත්‍ර ඇතුළු වායව කොටස් සියල්ල ම උච්චර්මය නමැති ආරක්ෂක ඉටි වැස්මකින් වැසී තිබේ. මෙය උත්ස්වේදනය බෙහෙවින් අඩු කිරීමට උපකාරී වේ. උච්චර්මීය උත්ස්වේදනය ශාකයකින් පිට වන සම්පූර්ණ ජල ප්‍රමාණයෙන් 1% සිට 10% දක්වා පමණකි. පිට වන ජලයෙන් ඉතා වැඩි කොටස පිට වන්නේ අපිචර්මයේ තිබෙන පුටිකා නම් සිදුරු මගිනි. පලාවන් පත්‍රය ප්‍රධාන වශයෙන් ප්‍රභාසංශ්ලේෂණය සිදු කිරීමට විශේෂිත වූ අවයවයකි. මෙය සඳහා පත්‍රය වායුගෝලයෙන් CO2 ලබා ගනී. බොහෝ සිදුරු සහිත ආවාරයක් වූ පත්‍ර අපිචර්මය පත්‍රය ඇතුළට වායුගෝලයෙන් C02 නිදහස් ලෙස විසරණය වීමට ඉඩ දෙන බව දැනගෙන තිබේ. පෘෂ්ඨයක් මත විසිරී තිබෙන කුඩා සිදුරු බොහොමයක් ඒ සිදුරුවල සම්පූර්ණ ක්ෂේත්‍රඵලයට සමාන ක්ෂේත්‍රඵලයකින් යුත් තනි සිදුරකට වඩා ශීඝ්‍ර ලෙස වායු විසරණය වීමට ඉඩ දෙන බැව් පරීක්ෂණ මගින් පෙන්වා දී තිබේ. විසරණය සිදු වන්නේ ජල අණුවලින් සෑදුණු කෝෂ (shells) වශයෙනි. මේවා එකිනෙකට කිට්ටු නොවන සේ පිළියෙල වී තිබිය යුතුය. නොඑසේ නම් විසරණ කෝෂ එකක් අනෙකක් වසා පිහිටන්නට පුළුවන. සිදුරක විෂ්කම්භය මෙන් 8 වරක සිට 10 වර දක්වා දිග ප්‍රමාණයකට වඩා ඒවා කිට්ටු නොවිය යුතුය. පත්‍රයක පුටිකා මේ ප්‍රමාණයට වඩා එකිනෙකට දුරින් පිහිටා ඇති බැව් දක්නට ලැබේ.
පත්‍රයන්ගේ මධ්‍ය පටකයේ අන්තරසෛලීය අවකාශ, පත්‍රයේ සෑම පලාවන් සෛලයකට ම විසරණය වීමට ඉඩ දෙයි. පැතළි ප්‍රදේශයක් වශයෙන් පත්‍රය, ඒ මත වැටෙන සූර්ය විකිරණය ලබා ගැනීමට උපරිම පෘෂ්ඨයක් ඉදිරිපත් කරයි. මේ ලක්ෂණ ම හේතු කොටගෙන පත්‍රය ශීඝ්‍ර ලෙස උත්ස්වේදනය සිදු වීමටත් කදිම අවයවයක් වේ. පත්‍රය ඊමත වැටෙන විකිරණ ශක්තිය අවශෝෂණය කරයි. මෙයින් ජලය වාෂ්පබවට පරිවර්තනය කෙරේ. සෛල බිත්ති මතුපිටින් අන්තරසෛල අවකාශවලට ජලය වාෂ්පීභවනය වෙයි. මේ අවකාශවලින් ජලය පුටිකා තුළින් පිටත වායුගෝලයට විසරණය වේ. පත්‍රයෙන් ජලවාෂ්ප පිටවීමට ඇති නිදහස පළමු කොට ම රඳා පවතින්නේ පත්‍රය ඇතුළත වාෂ්ප පීඩනයත් එහි පිටපැත්තේ වාෂ්ප පීඩනයත් අතර ඇති අන්තරය මතය. මෙයින් වාෂ්ප පීඩන අනුක්‍රමණයක් ඇති කරනු ලැබේ. ඕම්ගේ නියමය (බ.) මෙන් එය මෙසේ ප්‍රකාශ කළ හැකිය: විසරණ වේගය = D (D (PA – PB) )/R මෙහි D යනු වාතයේ ජලවාෂ්පවල විසරණ නියතයයි. PA සහ PB යනු Aවල සහ Bවල (එනම් අන්තරසෛලීය අවකාශ හා පත්‍රය පිටත) වාෂ්පපීඩනයි. R යනු විසරණය කෙරෙහි දක්වන ප්‍රතිරෝධයයි. ලබාගත හැකි සාක්ෂ්‍ය සියල්ලෙන් ම පෙනීයන්නේ අන්තරසෛලීය අවකාශ සාමාන්‍යයෙන් ජල වාෂ්පවලින් සන්තෘප්තව තිබෙන බවය. එබැවින් වාෂ්ප පීඩනයේ අනුක්‍රමණය නිර්ණය කරනු ලබන්නේ පත්‍රය වට කොට තිබෙන වායුගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාව මඟිනි.
විසරණය කෙරෙහි ඇති වන ප්‍රතිරෝධය දෙයාකාරයි. සිදුරු වට කොට තිබෙන පාලක සෛලවල තත්වය අනුව සිදුරේ ප්‍රමාණය වෙනස් විය හැකි වන අයුරු පුටිකා නිර්මාණය වී ඇත. සිදුර වැසි තිබේ නම්, තවද සුළඟ නැති දිනක සිදු විය හැකි පරිදි පිට වන ජලවාෂ්ප සිදුර වටේ එකතු වේ නම්, විසරණය කෙරෙහි ප්‍රතිරෝධයක් ඇති වේ. එබැවින් පිටතට සිදු වන නිදහස් විසරණය කෙරෙහි ඇති වන ප්‍රතිරෝධය සංරචක දෙකකින් යුක්තය. මේවායින් දෙවැනි සංරචකය පළමුවැනි සංරචකයට වඩා ප්‍රබල වේ. එහි සාමාන්‍ය අගය පළමුවැනි සංරචකයේ සාමාන්‍ය අගය මෙන් විසි ගුණයක් පමණ වේ. සුළඟ ඇති දවසක එය පනස් ගුණයක් පමණ විය හැකිය. මෙලෙසින් පුටිකාවලින් ජලවාෂ්ප පිට වන විට ඒ අතුරෙහි හමා යන මඳ සුළඟක් මගින් දෙවැනි සංරචකය අඩු කළ හැකිය.
නොයෙක් හේතූන් නිසා පුටිකාවන්ගේ විවෘත වීම හා වැසීම ඇති වේ. ඇතැම් විට එය රිද්මානුකූලය. දවස මුළුල්ලේ පුටිකා සිදුරුවල වෙනස් වීම් ඇති වේ. අනික් අවස්ථාවල පුටිකා සිදුරුවල වැසීමට හේතු වන්නේ අභ්‍යන්තර ජලය හිඟවීමයි. පහත දැක්වෙන ෂ්ටේල්ෆෙල්ට්ගේ (Stälfelt - 1932) වක්‍රවලින් පෙනී යන්නේ පුටිකා සිදුරුවල ප්‍රමාණය වැඩි වත් ම උත්ස්වේදනය වැඩි වන බවය. එහෙත් වැඩිවීම වඩා පැහැදිලි ලෙස පෙනෙන්නේ වාෂ්පීභවන වේගයත් අධික වූ විටය.
පත්‍රය වටා ඒ එක්ව ම වූ වායුගෝලයේ ආර්ද්‍රතාව වාතයේ චලනයෙන් බෙහෙවින් වෙනස් වේ. නිශ්චල දවසක පත්‍රයෙන් පිට වන ජලවාෂ්ප පළමුව පුටිකාවලට පිටතින් එකතු වනසුලුය. එබැවින් පිටතින් තිබෙන වායුගෝලයේ ආර්ද්‍රතාව අඩු වුවත් පිටතට ජලවාෂ්ප විසරණය වීම කෙරෙහි එක්තරා ප්‍රතිරෝධයක් මෙයින් ඇති කෙරේ.
උත්ස්වේදනය කෙරෙහි සුළඟ හා පුටිකා සිදුරු සාපේක්ෂ ලෙස බලපාන අන්දම මෙහි දක්වා ඇති බංජ්ගේ (Bange - 1953) වක්‍රයෙන් පැහැදිලිව පෙනේ. එයින් දැක්වෙන්නේ පුටිකා සිදුරුවල ප්‍රමාණය වැඩි වීමෙන් උත්ස්වේදන වේගය වැඩි වන්නේ පිට වන ජලවාෂ්ප පුටිකා අසලින් සුළඟට ගියහොත් පමණක් බවය. එක්රැස් වූ ජලවාෂ්ප මගින් විසරණය කෙරෙහි ඇති කරනු ලබන ප්‍රතිරෝධය වඩා කුඩා පුටිකා සිදුරුවලින් ඇතිකරනු ලබන ප්‍රතිරෝධය වඩා බෙහෙවින් අධිකය.
උත්ස්වේදනය කෙරෙහි බලපාන තවත් සාධක දෙකක් නම් උෂ්ණත්වය හා ආලෝකයයි. අන්තරසෛලීය අවකාශ ඇතුළේ වාෂ්ප පීඩනය වැඩිකරමින් උෂ්ණත්වය උත්ස්වේදනය කෙරෙහි බලපායි. ආලෝකය උත්ස්වේදනය කෙරෙහි බලපාන්‍නේ දෙවිධියකිනි. පළමු විධියට එය අනියම් ලෙසකින් විය හැකිය. පතන විකිරණය (incident radiation) අවශෝෂණය කරනු ලැබූ කල පත්‍රයේ උෂ්ණත්වය වැඩි වේ. මෙයින් උත්ස්වේදනය වැඩිවන්නට පුළුවන. දෙවැනි විධියට පුටිකා සිදුරුවල වෙනස් වීමක් ඇති කිරීමෙන් ආලෝකය කෙළින් ම බලපාන්නට පුළුවන.
ඇතැම් උපක්‍රම වාෂ්ප පීඩනයේ අනුක්‍රමණය පහත්ව තබාගැනීමෙන් ජලහානියේ අඩුවක් ඇති කරයි. පුටිකා වටේ අපිචර්මීය කේශරයන්ගේ සරල විකසනය එවැනි උපක්‍රමයකි. කණේරුවල (නේරියුම් ඔලෙයන්ඩර්) පුටිකා වළවල ගිලී ඇත. වළේ කට කේශරවලින් වැසී ඇත. පත්‍රවලින් පිට වන ජලවාෂ්ප වාතධාරා මගින් පිසදමනු ලැබීම මෙයින් වැළැක්වේ. එබැවින් පත්‍රයෙන් පිටට ජලවාෂ්ප විසරණය වීම කෙරෙහි දක්වන ප්‍රතිරෝධය අධිකව පවතිනු ඇත.
බොහෝ ශාකයන්හි උත්ස්වේදන වේගයේ වෙනස්වීම් දවස මුළුල්ලේ දක්නට ලැබේ. උත්ස්වේදන වේගය ඉතා වැඩි වන්නේ ඉරමුදුන් වේලාවට ස්වල්පයක් පසුවය. උත්ස්වේදන ආවර්තිතාවන් (periodicities) කෙරෙහි එසේ තෙතමන තත්වය බලපායි. පිට වන ජලය ඉක්මනින් ම අවශෝෂණය වෙයි. එසේ නොවුවහොත් ශාකය මැලැවේ. ඉතා උෂ්ණ දවසක අපට මෙය දැක්ක හැකිය. බීජ පැළ තාවකාලික ලෙස මැලැවි සවස් කාලයේ දී ප්‍රකෘති ස්වභාවයට නැවත පැමිණේ.
පෝච්චියක සිටවන ලද කුඩා ශාකයක් ගෙන සමාන කාල අන්තරයන්හි දී (පැයෙන් පැයට හෝ පැය දෙකෙන් දෙකට හෝ) එහි බර කිරා උත්ස්වේදනය නිර්ණය කරගැනීම ඉතා සරල වූ ද පැරණි වූ ද ක්‍රමය වේ. ලොකු ගස්වල උත්ස්‌වේදනය මැනීමට මේ ක්‍රමය යෙදිය නොහැකිය. එසේ කිරීමට යොදන ක්‍රමය නම් ගසේ කුඩා ප්‍රරෝහයක් කපාගෙන ප්‍රරෝහය ස්වාභාවික පරිසරයේ තිබෙද්දී එහි බර පැයෙන් පැයට හෝ පැය දෙකෙන් දෙකට හෝ කිරනු ලැබීමයි. පානමානය (potometer) යෙදීමෙනුත් නිර්ණය කරගනු ලබන්නේ ගසකින් කපාගත් කුඩා ප්‍රරෝහයක උත්ස්වේදන වේගය වේ. පානමානයෙන් මනිනු ලබන්නේ ප්‍රරෝහයට ඇතුළු වන ජලයේ ප්‍රමාණයයි. එබැවින් මේ ක්‍රමයෙන් නිර්ණය කරනු ලබන උත්ස්වේදනයෙන් පිට වන සැබෑ ජල ප්‍රමාණය නිවැරදි යයි විශ්වාස කළ නොහැකිය. කොබෝල්ට් ක්ලෝරයිඩ් වැනි ආර්ද්‍රතාමිතික (hygrometric) කඩදාසිවල වර්ණය වෙනස් වීම පත්‍රයකින් ජලය පිට වන වේගය මැනීමට යොදනු ලැබේ. පත්‍රය කඩදාසිවලින් වසා තිබෙන බැවින් ද වීදුරු කැබෙලිවලින් එම කඩදාසි අල්ලා සිටින බැවින් ද පත්‍රය අස්වාභාවික තත්වයන්හි පවත්නා හෙයින් මේ ක්‍රමයත් සුදුසු ක්‍රමයක් ලෙස සැලකිය නොහැකිය.
උත්ස්වේදනය, ශාකයක පත්‍ර ඉරුඑළියට හා වාතයට අනාවරණය වීමෙන් කෙළින් ම ඇති වන ප්‍රතිඵලයක් වුවත්, එයින් ඇති වන විපාක ඇතැම් විට බරපතල විය හැකි වුවත්, එයින් ශාකයට ඇතැම් ප්‍රයෝජන ද ඇති විය හැකි යයි සමහරු විශ්වාස කරති. පත්‍රය මත වැටෙන විකිරණ ශක්තියෙන් කොටසක් වාෂ්පීභවනයේ ගුප්ත තාපය වශයෙන් විසුරුවා හැරීමට උත්ස්වේදනය උපකාරි වෙතැයි ද එමගින් පත්‍රයේ සිහිලක් ඇති කෙරේ යයි ද ඔවුහු සිතත්. මෙය මහත් අතිශයෝක්තියක්ය යනු බොහෝ දෙනාගේ හැඟීමයි. මේ සිසිල් වීමෙන් පත්‍රයක උෂ්ණත්වය සෙ. අංශක 5කට වඩා කවදාවත් අඩු නොවේ. උත්ස්වේදනය ශීඝ්‍ර ලෙස සිදුවීමේ හේතුවෙන් පසෙන් වැඩිපුර ලවණ ප්‍රමාණයක් ශාකයක ඉහළට ගෙන යනු ලැබේ යයි සමහර පරීක්ෂණ මගින් නිරීක්ෂණය කොට ඇත. අඩු උත්ස්වේදන තත්වයන්හි දී වර්ධන වේගය අඩු වෙතැයි මෑතක දී විනෙබෙර්ගර් (Winneberger - 1958) පෙන්වා දී තිබේ. උත්ස්වේදනය පත්‍රයෙන් කෙරෙන කෘත්‍යයක් ද, එහි කිසිදු වැදගත්කමක් ඇද්ද යනු තවමත් අවිනිශ්චිතය. එය හුදෙක් අනිවාර්ය කාර්යාවලියක් පමණක් වන්නට නොබැරිය.
(කර්තෘ: බී.ඇල්.ටී. ද සිල්වා)
(සංස්කරණය: 1970)