"උදය IV" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(ක්‍රි.ව. 946-954). සේන III රජුගේ යුවරාජයා ලෙස ක්‍රියා ක...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

09:18, 21 නොවැම්බර් 2025 වන විට නවතම සංශෝධනය

(ක්‍රි.ව. 946-954). සේන III රජුගේ යුවරාජයා ලෙස ක්‍රියා කළ උදය ඔහු ඇවෑමෙන් උදය IV ලෙස සිහසුනට පත් විය. චූලවංසය ඔහුගේ දෙමව්පියන් පිළිබඳව නිහඬ වුව ද වෙල්මිල්ල සෙල්ලිපියෙහි ‘උදාමහපා’ගේ (IV වැනි උදයගේ) පියා ‘සිරිසංග්බොයි කසුබ් මහරජ’ ලෙස දැක්වේ. ඔහු කස්සප IV ලෙස හඳුනාගත හැකි බව ආචාර්ය පරණවිතාන මහතාගේ අදහසයි. IV වැනි උදයගේ යුවරාජයා වූයේ සේන ආදිපාදවරයාය.

උදය IV රජු දවස සිදු වූ වැදගත් ම සිද්ධිය නම් චෝළයන් ලංකාව ආක්‍රමණය කිරීමයි. රාජසිංහ නම් පාණ්ඩ්‍ය රජ ලංකාවට පලා ඊමේ දී පාණ්ඩ්‍ය රාජකකුධ භාණ්ඩ ද රැගෙන ආවේය. එම ආභරණ සිංහල රජු වෙත ආරක්ෂාව සඳහා තැබූ හෙතෙම අනතුරුව කේරළයට පලාගියේය. පඬි රට අල්ලාගත් පරාන්තක නම් චෝළ රාජයා මෙම රාජකකුධ භාණ්ඩ ඉල්ලා සිංහල රජු වෙත දූතයත් එවූ බවත් සිංහල රජු ඒවා නොදුන් බවත් චූලවංසයෙහි සඳහන් වෙයි. එකී රාජකකුධ භාණ්ඩ ලබාගැනීම සඳහා පරාන්තක ලංකාව ආක්‍රමණය කෙළේය.

චෝළ හමුදා ලංකාවට ගොඩ බසින අවස්ථාවේ රජුගේ සෙන්පතියා පසල් දනව්වකට ගොස් සිටි බවත් ඔහු ආපසු කැඳවා ආක්‍රමණිකයාට මුහුණ දීමට යවන ලද බවත් සටනෙහි දී ඔහු මිය ගිය බවත් චූලවංසයෙහි සඳහන් වෙයි. එහෙයින් හස්තසාර වස්තූන් හා පාණ්ඩ්‍ය රාජකකුධ භාණ්ඩ ද රැගත් උදය IV රජ රුහුණට පලාගියේය. චෝළ හමුදා රුහුණට ඇතුළු වීමට ගත් තැත ව්‍යර්ථ වූ බව චූලවංසය කියයි. රාෂ්ට්‍රකූට හමුදා චෝළයන්ට ඉන්දියාවේ පහර දෙමින් සිටි නිසා චෝළ හමුදාවන් ආපසු ගියහයි යනු ඉතිහාසඥයන්ගේ අදහසයි. අනතුරුව උදය IV රජු විදුරඟ සෙනෙවියා යටතේ හමුදා යවා සොළී පසල් දනව්වක් වැනසවූ බව චූලවංසය සඳහන් කරයි. මේ පසල් දනව්ව ලංකාවේ ප්‍රදේශයක් ද නොඑසේ නම් ඉන්දියාවේ ප්‍රදේශයක් ද යනු නොපැහැදිලිය. ලංකාවේ ප්‍රදේශයක් යයි සැලකුව හොත් උදය IV රජු දවස ලංකාවේ පෙදෙසක් චෝළයන් අල්ලාගෙන සිටි බව පිළිගැනීමට සිදු වේ.

IV වැනි උදය රජු දවස ප්‍රාදේශීය පාලනය අවුල්ව තුබූ බව ඔහුගේ යයි හඳුනාගෙන තිබෙන සුප්‍රසිද්ධ බදුලු ටැම් ලිපියෙන් පෙනී යයි (බදුලු ටැම් ලිපිය බ.). උදය රජු මියුඟුණ මහවෙහෙරට ගිය අවස්ථාවේ දී මහජනයා විසින් රාජ්‍ය නිලධාරීන්ගෙන් වන ගැහැට පිළිබඳව කරන ලද පැමිණිල්ලක් එම ටැම්ලිපියෙහි සඳහන් වෙයි. මේ ටැම්ලිපිය විමසා බැලිමේ දී උදය IV රජු මහජන ශුභසිද්ධිය සඳහා ක්‍රියා කළ බව පැහැදිලි වෙයි. එහෙත් චූලවංසය ඔහු සුරාසොඬකු ලෙසින් හඳුන්වයි.

උදය IV රජු ලංකාවෙහි සිටි සියලු ම පාංශුකූලික භික්ෂූන්ට ඉතා අගනා පිරිකර දුන් බවත් මහා විහාරයෙහි බුදු පිළිමයට මැණික් එබ්බූ කිරීටයක් කැරවූ බවත් චූලවංසයෙහි සඳහන් වෙයි.

රජුගේ අන්තඃපුරයෙහි සිටි විදුරා නමැති බිසවක සොළීන් විසින් වනසන ලද ‘මිණි’ නම් පහය ප්‍රතිසංස්කරණය කරවීම ඇරඹූ බවත් එය නිම කිරීමට පෙර ම උදය රජු මළ බවත් චූලවංසයෙන් හෙළි වෙයි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උදය_IV&oldid=9115" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි