"උඩහේවාහැට" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('නුවරඑළිය දිස්ත්‍රික්කයෙහි ආදායම් පාලක කොට්ඨ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

08:19, 24 නොවැම්බර් 2025 වන විට නවතම සංශෝධනය

නුවරඑළිය දිස්ත්‍රික්කයෙහි ආදායම් පාලක කොට්ඨාසයකි. මෙහි විශාලත්වය ව.සැ. 103කි. ගඟපළාත, දියතිලක, ගන්නෑව, කොහොක, පල්ලේගම්පහ හා උඩගම්පහ යන කෝරළ බෙදීම අනුව ගම්සභා ප්‍රදේශ හයක් මෙහි ඇත. මෙයින් පල්ලේගම්පහ කෝරළේ කහටදණ්ඩ, උකුතුලේ, උඩවැවතැන්න, කරඳමඩිත්ත, මැදගම්මැද්ද, ලියන්වෙල, පහළගම හා හයි ෆොරස්ට් යන ගම් ප්‍රධාන කොට ඇති පෙදෙස වලපනේ මැතිවරණ කොට්ඨාසයට ද උඩහේවාහැට සෙසු පෙදෙස් හඟුරන්කෙත මැතිවරණ කොට්ඨාසයට ද අයත් වේ. හඟුරන්කෙත, රිකිල්ලගස්කඩ, මතුරට, නිල්දණ්ඩාහින්න මෙහි ඇති නගර වේ.

මුහුදු මට්ටමෙන් අඩි 3,000-7,500 දක්වා උස්වූ මෙම ප්‍රදේශය ලංකාවේ ඉතා උස් භූමි භාගයෙන් කොටසකි. නුවරඑළි කඩවත් සතර හා උඩහේවාහැට උඩගම්පහ කෝරළය අතර මායිම පිදුරුතලාගල මුදුන (8,281´) ඔස්සේ වැටී ඇත. මෙම ප්‍රදේශයේ ජලවහනය ප්‍රධාන වශයෙන් මහවැලි ගඟේ අතු ගංගා වන මහඔය හා බෙලිහුල් ඔය කරා යොමු වී ඇත.

උඩහේවාහැට තේ වගාව ඉතා දියුණු ප්‍රදේශයකි. වර්ෂාව එතරම් අධික නොවන උතුරු උඩහේවාහැට ප්‍රදේශයෙහි දුම් වගාව කෙරේ. ගඟපළාත, දියතිලක හා ගන්නෑව කෝරළයන්හි වී ගොවිතැන හා එළවළු වගාව ද දියුණුය. ගම්මිරිස්, සාදික්කා, කරාබු, එන්සාල්, කොකෝවා, පුවක්, කෝපි ආදියෙන් ද ප්‍රදේශවාසීහු මුදල් උපයාගනිති. විශේෂයෙන් ම ගඟපළාත කෝරළයෙහි ඇල් වී, කුරක්කන්, මෙනේරි, කහ හා එළවළු වගා කරන හේන් ද වේ.

උඩහේවාහැට, කන්ද උඩරට සිංහල රාජ්‍යයෙහි රට හතෙන් එකක් වූ හේවාහැටේ කොටසකි. උඩහේවාහැට සහ පාතහේවාහැට යනුවෙන් කොටස් දෙකකට බෙදුණේ ඉංග්‍රීසි පාලන සමයේ පසු කාලයේ දීය. පාතහේවාහැට මහනුවර දිස්ත්‍රික්කයට අයත්ය. II වැනි රාජසිංහ රජුගේ කුක්කන් (සුනඛ) මඩුවේ සේවයට යොදා සිටියේ හේවාහැටේ ජනයාය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උඩහේවාහැට&oldid=9122" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි