"උඩුගම්පොළ" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('බස්නාහිර පළාතේ උතුරු අලුත්කූරු කෝරළයේ දාසිය...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

09:06, 24 නොවැම්බර් 2025 වන විට නවතම සංශෝධනය

බස්නාහිර පළාතේ උතුරු අලුත්කූරු කෝරළයේ දාසිය පත්තුවට අයත් පැරණි ග්‍රාමයකි. ගම්පහ (හෙනරත්ගොඩ) නගරයේ සිට සැතැපුම් දෙකක් බටහිරින් පිහිටි මෙම ගමට කොළඹ සිට දුර ප්‍රමාණය සැතපුම් විස්සක් පමණ වේ. දැනට උඩුගම්පොළ ආණ්ඩුවේ පාසැලක් හා තැපැල් පළක් ද ගම්සභා කාර්යාලයක් ද ඇත. එය කොට්ඨාස 11කින් යුත් ගම්සභා ප්‍රදේශයකි.

ක්‍රි.පූ. 3 වන හා 2 වන ශතවර්ෂවල දී උඩුගම්පොළ ප්‍රදේශය අයත් වන්නට ඇත්තේ කැලණියේ ප්‍රාදේශීය රාජ්‍යයට යයි නිගමනය කළ හැකිය. ක්‍රි.පූ. 2 වන සියවසේ විසූ උත්තිය නම් කුමරු හා ඔහුගේ සොහොවුරු කැලණිතිස්ස රජුගේ බිසව අතර පැවති ප්‍රේම සම්බන්ධය හෙළි වීමෙන් පසුව එකුමරු කැලණියෙන් පලාගොස් උඩුගම්පොළ විසූ බව රාජාවලියේ විස්තර වේ. රාජාවලියට අනුව උත්තිය කුමරු රජ බිසවට රහස්පත යැව්වේ ද උඩුගම්පොළ සිටය. උත්තිය කුමාරයා පලාගොස් ජීවත් වූ ප්‍රදේශය උත්තික දේශය නැතහොත් උත්තික ජනපදය යනුවෙන් ප්‍රසිද්ධියට පත් වූ බව රාජාවලියට වඩා පැරණි ග්‍රන්ථවල සඳහන් වේ.

ක්‍රි.ව. 15 වන සියවසේ අග හරියේ හා සොළොස්වන සියවසේ මුල් කොටසේ උඩුගම්පොළ මෙරට සුළු රාජධානියක්ව පැවති බව රාජාවලියෙන් හෙළි වේ. අටවන වීරපරාක්‍රමබාහු (1484-1508) රජතුමා දෙවන බිසවකගෙන් ලත් පුත්‍රයකු වූ සකලකලාවල්ල(භ) රාජ කුමාරයා උඩුගම්පොළ රාජධානියක් පිහිටුවා සිටි බව රාජාවලියේ සඳහන් වේ. ඔහු සරණ පාවාගෙන සිටියේ කීරවැල්ලේ රාලහාමිගේ දියණියකි. නවවන ධර්මපරාක්‍රමබාහු (1508-09) රජතුමාගේ කාලයේ දී හලාවත බලාත්කාරයෙන් මුතු කිමිදීමට සේනාවක් ඇතිව පැමිණි මුස්ලිම් නායකයකු පලවා හැරීමෙන් ද උඩරට රජු විසින් සතර කෝරළයේ ඇති කරන ලද පෙරළියක් මැඩපැවැත්වීමෙන් ද සකලකලාවල්ල(භ) කුමාරයා ධර්මපරාක්‍රමබාහු රජතුමාගෙන් බොහෝ තාන්න මාන්න ලබාගත් බව සඳහන් වේ. ධර්මපරාක්‍රමබාහුගේ ඇවෑමෙන් මන්ත්‍රීවරු කෝට්ටේ සිහසුන සකලකලාවල්ල(භ) කුමරුට පැවරූ නමුදු ඔහු එය ප්‍රතික්ෂේප කොට තමා වෙනුවට ධර්මපරාක්‍රමබාහුගේ සහෝදරයකු වූ විජයබාහු VI (1509-1521) පත් කළ බව ද රාජාවලියෙන් හෙළි වේ. රාජාවලිය ලියැවුණු කාලයට අයත් අලකේශ්වර යුද්ධය නම් ග්‍රන්ථයට අනුව මේ වන විට සකලකලාවල්ල(භ) කුමරා යුවරජ පදවිය දරමිනි උඩුගම්පොළ සිටියේ.

19 වන සියවසේ අවසාන භාගයේ දී මීගමුවට නුදුරුව පිහිටා ඇති කදිරාන නම් ගමින් ලැබුණු තඹ සන්නසක උඩුගම්පොළ ගැන සඳහන් වේ. මෙම සන්නස කදිරාන සන්නස යන නමින් ද උඩුගම්පොළ සන්නස යන නමින් ද හැඳින්වේ. සිරිසඟබෝ විජයබාහු නම් රජතුමකු තමාගේ අටවන රාජ්‍ය වර්ෂයේ දී පොසොන් මස අවපසළොස්වක දින අලුත්කූරු කෝරළයේ උඩුගම්පොළ අලුත් මාළිගයේ සිට වෙඬරශු කොඬ පෙරුමාල් නම් බ්‍රාහ්මණයකුට දුන් ග්‍රාමවරයක් පිළිබඳව එහි විස්තර වේ. මෙම ග්‍රාමවරය දෙන ලද්දේ සූර්‍ය්‍යග්‍රහණයක් සිදු වූ දිනක බව ද එහි සඳහන්ය. මෙම තඹ සන්නස නිකුත් කොට ඇති විජයබාහු රජතුමා විජයබාහු VI රජු බව හඳුනාගැනීමට පුළුවන. යථෝක්ත සන්නසට අනුව උඩුගම්පොළ මාළිගා එකකට වැඩි ගණනක් තුබුණු බව ද හෙළි වේ. උඩුගම්පොළ ප්‍රදේශයේ මාළිගාගොඩැල්ල යනුවෙන් දැනට හැඳින්වෙන්නේ පැරණි මාළිගා තුබුණු ස්ථානය වන්නට ඇතැයි පිළිගැනීමට පුළුවන. සකලකලාවල්ල(භ) කුමරු විසින් කරවන ලදැයි විශ්වාස කැරෙන නටබුන් වූ වැවක් ද නටබුන් ගොඩනැඟිලි රාශියක් ද මෙම ස්ථානයේ දක්නට ඇත.

සීතාවක රජ කළ භුවනෛකබාහු නම් රජකෙනකුන්ගේ සමයෙහි මලල රාජකුමාරයන් සමඟ දුක් ගනිමින් ආ සේමසිංහ රාජගුරු මුදියන්සේ උඩුගම්පොළ විසූ බව කඩයිම් පොත්වල සඳහන් වේ. භික්ෂූන්ගේ ආකල්ප සමෘද්ධිය හා ආජීව සමෘද්ධියත් ශීල විසුද්ධිය හා චිත්ත විසුද්ධියත් ගෝපනය කරගැන්ම සඳහා කළ උඩුගම්පොළ කතිකාවත නමින් යුත් කතිකාවතක් තිබුණ බැවින් එය ද උඩුගම්පොළ දී සම්මත කරන ලද්දක් බව සිතිය හැකිය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උඩුගම්පොළ&oldid=9127" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි