"උදාහරණ" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('මෙය විවිධ විෂයගත විවිධ අර්ථ ඇති වචනයකි. සාමාන්...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

10:21, 26 නොවැම්බර් 2025 වන විට නවතම සංශෝධනය

මෙය විවිධ විෂයගත විවිධ අර්ථ ඇති වචනයකි. සාමාන්‍ය ව්‍යවහාරයෙහි ලා උදාහරණය යන්නෙන් අදහස් කැරෙනුයේ නිදර්ශනයකි. අසන්නාගේ සිත තුළ තම අදහස ව්‍යක්ත කොට පිළිබිඹු කරනු වස් සුදුසු නිදර්ශනයක් කවියා, කථිකයා හෝ ලේඛකයා ඉදිරිපත් කරයි. “බලාගෙනයි, පිහිය කැපෙනවා, දැළි පිහියකටත් එහා.” මෙම ගම්බද වැකියෙහි “දැළිපිහිය” උදාහරණයකි. වාක්‍යයේ මුල් කොටසින් අවදානම් බවක් අඟවයි. එහි අග කොටසේ ඇති උදාහරණයෙන් අඟවන්නේ දැළි පිහියක වැනි, ඇතැම් විට ඊටත් වඩා තියුණු, මුවාතක් පිහියේ ඇති බවයි. එම නිසා දැළි පිහියකින් මෙන් මෙම පිහියෙන් ද පරෙස්සම් විය යුතුය යනු එහි අදහසයි.

සමාජයෙහි එදිනෙදා භාවිත වන උදාහරණ වචනය “රූඪ” ශබ්දයක් සේ පෙනේ. තර්ක (ප්‍රමාණ) හා අලංකාර ශාස්ත්‍රයන්හි එය පාරිභාෂික ශබ්දයකි. උදාහරණ වචනය තර්ක ශාස්ත්‍රයෙහි අවයවයකට නමකි. එනම් පරාර්ථානුමානයට අයත් වූ වචන මාලාවේ එන ඛණ්ඩ වාක්‍යයකි. අවයව නමින් හැඳින්වෙන ඛණ්ඩ වාක්‍ය කීපය ම පරාර්ථානුමානය වන බව සිත්හි තබාගත යුතු වෙයි. න්‍යාය හා සාංඛ්‍යා දර්ශනගත පරාර්ථානුමානයේ තෙවන අවයවය වන්නේ උදාහරණයයි. වෛශේෂික දර්ශනයෙහි හා චරක සංහිතාවෙහිත් එය තෙවන අවයවය වශයෙන් ම පෙන්වයි. තෙවන අවයවය වෛශේෂිකයෙහි “නිදර්ශන” නමින් ද චරක සංහිතාවෙහි දෘෂ්ටාන්ත නමින් ද දැක්වෙයි. මීමාංසා හා වේදාන්ත දර්ශනයට උදාහරණය තෙවන අවයවය හෝ ප්‍රථම අවයවය හෝ විය හැකියි. ඔවුන්ගේ පරාර්ථානුමානයට ඇත්තේ අවයව තුනක් පමණකි. අවයව සංඛ්‍යාව කෙරෙහි ජෛනයෝ ඒකමතික නොවෙත් (අවයව බ.). ජෛනයෝ ද බෞද්ධයෝ ද උදාහරණ ශබ්දය වෙනුවට දෘෂ්ටාන්ත ශබ්දය භාවිතා කරත්. උදාහරණ, දෘෂ්ටාන්ත, නිදර්ශන යන මොහු තර්ක ශාස්ත්‍රයෙහි සමානාර්ථක (පර්‍ය්‍යාය) ශබ්දයෝයි. ඒවායින් අදහස් වන්නේ එක ම එක අර්ථයකි. මේ මෙසේ වුව ද න්‍යාය සූත්‍ර තැනූ අක්ෂපාද ඍෂි දෘෂ්ටාන්තයත් උදාහරණයත් දෙක එකක් කොට නොසලකයි. ඔහුට දෘෂ්ටාන්තය අවයවයක් නොවේ. උදාහරණය අවයවයකි. උගත් නූගත් (ලෞකික පරීක්ෂක) දෙපක්ෂය ම එසේ පිළිගනු ලබන වස්තුව දෘෂ්ටාන්තය හැටියට ගන්නා හෙතෙම එම දෘෂ්ටාන්තය ම තැනට ඔබින සේ සකස් කොට පරාර්ථානුමානයට යොදන ලද්දේ උදාහරණය වන බව පවසයි. ඉඳුරන්ට අසු නොවන දෙයක් පිළිබඳව කෙනකුට ඒත්තු ගන්වා වටහා දීම පරාර්ථානුමානයෙන් කෙරෙන කාර්යයයි. එකී කාර්යය ඉටු කර දීමට ප්‍රධාන වශයෙන් කරුණු තුනක් පරාර්ථානුමානයට අවශ්‍යය. ඒත්තු ගන්වනු ලබන වස්තුව (සාධ්‍යය), එකී වස්තුව ඒත්තු ගැන්වීමට යොදාගනු ලබන සාධකය (හේතුව) හා එකී සාධකය සාධ්‍යයෙන් ඉවත්නොවී පවත්නා බව සහතික කොට පෙන්වන දෘෂ්ටාන්තය එකී කරුණු තුන වේ. “මැටි හැළියක් මෙන්, ඇති වූ (අනිත්‍ය වූ) හැම දෙයක් ම අභාවයට පත් වෙයි. අප ඉදිරියෙහි ඇති මේ මේසය ද ඇති වූවකි. (එම නිසා එද නැති වී යයි)”. මේ වනාහි ඉහත කී කරුණු තුන ගැබ් කළ පරාර්ථානුමානයකි.

මෙයින් කෙනකුට ඒත්තු ගැන්වීමට අදහස් කළේ මේසය දිනෙක නැති වී යන බවයි. නැති වී යාම සාධ්‍යයයි. එකී සාධ්‍යය ඔප්පු කරනු පිණිස යොදාගනු ලැබුවේ ඇතිවීමයි. එය හේතුවයි. ඇතිවීම නමැති හේතුවත් නැතිවීම නමැති සාධ්‍යයත් දෙක එක්තැන්ව පවතී. එසේ එක්තැන්ව පවත්නා බව සහතික කොට පෙන්වන්නේ මැටි හැළියෙනි. මැටිහැළිය දෘෂ්ටාන්තයයි. මැටිහැළිය මුලින් තිබුණේ නැත, පසුව ඇති වූවකි. එයට ආරම්භයක් තිබේ. ආරම්භයක් ඇති වස්තුවකට අවසානයක් ද තිබේ. බිඳී විනාශ වී ගිය මැටිහැළි එමට අප දැක තිබේ. හේතු සාධ්‍ය දෙකේ නොබිඳ පවත්නා වූ (ව්‍යාප්ති) සම්බන්ධය පෙන්වන්නා වූ මැටිහැළිය නමැති දෘෂ්ටාන්තය ම අනතුරුව දක්වන ලද අනුමානයට පිවිසියේ උදාහරණය වූ බව මෙයින් පැහැදිලි වෙයි. සාධ්‍යයත් උදාහරණයත් දෙක සමාන අයුරින් එක සේ හේතුව වැලඳ සිටින බව ද අමතක නොකළ යුතුය. තර්ක සංග්‍රහය කළ අන්නම්භට්ට ද අක්ෂපාදගේ ඉහත කී අදහස ම තහවුරු කරමින් “ව්‍යාප්ති ප්‍රදර්ශනය කරන්නා වූ වාක්‍යය උදාහරණය වේ”යී පැවසීය.

සමාන වූ වස්තුවක් මෙන් ම සමාන නොවූ වස්තුවක් ද උදාහරණය වශයෙන් යොදාගනු ලැබේ. මේ අනුව සාධර්ම්‍ය හා වෛධර්ම්‍ය නමින් උදාහරණ දෙකකි. “අහස මෙන් ඇති නොවූ (නිත්‍ය වූ) කිසිවක් නැති නොවෙයි. මේ මේසය නම් ඇති වූවකි (ඒ නිසා එය දිනෙක නැති වී යයි)”. මෙය ඉහත කී පරාර්ථානුමානයේ වෛධර්ම්‍ය ස්වරූපයයි. ප්‍රථමයේ විනාශ වන්නා වූ මැටි හැළිය වෙනුවට මෙහි පෙන්වා ඇත්තේ විනාශ නොවන්නාවූ අහසයි. අහස වෛධර්ම්‍යයට උදාහරණයකි. අහසට ආරම්භයක් ද නැත. එම නිසා අවසානයක් ද විය නොහේ. උදාහරණය මෙන් උදාහරණය ඇසුරු කළ හේතුව හා උපනය යන අවයව දෙක ද සාධර්ම්‍ය, වෛධර්ම්‍ය නමින් ම දෙයාකාර වේ.

උදාහරණය හෝ දෘෂ්ටාන්තය සාධන අවයවයක් වශයෙන් පරාර්ථානුමානයට අවශ්‍ය ම ද? නැත යනු බෞද්ධ තාර්කික මතයයි. අංග තුනකින් යුක්ත වූ (ත්‍රිරූප) හේතුව වචනයෙන් ප්‍රකාශ කිරීම බෞද්ධ සම්මත පරාර්ථානුමානයයි. එම අංග තුනෙන්, සපක්ෂයෙහි (දෘෂ්ටාන්තයෙහි) නිශ්චිත වශයෙන් ම හේතුව පවත්නා බව පෙන්වා දීම එක අංගයකි. හේතුව සතු මෙම අංගයට අනිවාර්‍ය්‍යයෙන් ම දෘෂ්ටාන්තය ගැබ් වෙයි. එසේ හෙයින් සාධන අවයවයක් වශයෙන් දෘෂ්ටාන්තය නැවතත් නොකිවමනා බව ධර්මකීර්තිපාදයෝ න්‍යායබින්දුවෙන් පෙන්වා දෙත්. දෘෂ්ටාන්තය ව්‍යාප්ති ප්‍රදර්ශනය උදෙසා අවශ්‍ය වුව ද, එය වෙන් වූ සාධන අවයවයක් කොට සැලකීම අනවශ්‍යය යනු එහි සාරාංශයයි.

“දුම ඇති තැන ගිනි ඇත; පාකශාලාවෙහි මෙනි. අර පෙනෙන තැන ද දුම් තිබේ.” මෙහි පාකශාලාව දෘෂ්ටාන්තයයි. මෙ ද බෞද්ධයන්ගේ පරාර්ථානුමානයකි.

ඇරිස්ටෝටල්ගේ පරාර්ථානුමානය බෞද්ධයන්ගේ පරාර්ථානුමානය හා සමාන වෙයි. වෙනසකට ඇත්තේ ඔහුගේ පරාර්ථානුමානයට දෘෂ්ටාන්තය පමණක් නොතිබීමයි.

“සෑම මිනිහෙක් ම මැරෙයි; අර පාපිෂ්ඨයා ද මිනිහෙකි. එම නිසා ඔහු ද මැරී යයි”. මේ වනාහි ඇරිස්ටෝටල්ට අභිමත වූ පරාර්ථානුමානයේ ස්වරූපයකි. මෙහි දෘෂ්ටාන්තයක් කොහෙත් ම නැත්තේය.

ඇරිස්ටෝටල්ගේ පරාර්ථානුමානයට දෘෂ්ටාන්තයක් නැතත්, පැරණි භාරතීය නෛයායිකයන්ට මෙන් පුරාතන ග්‍රීක තාර්කිකයන්ට ද ඔවුන්ගේ පරාර්ථානුමානයට උදාහරණයක් ඇතුළත් කළ යුතුව තිබුණු බව ග්‍රීක තර්ක ශාස්ත්‍රය පිළිබඳ ඉතිහාසයෙන් පෙනේ. එහෙත් දෘෂ්ටාන්තය අනවශ්‍ය අංගයක් සේ සලකා ග්‍රීකයන්ගේ ඒ පුරාණ වූ සම්ප්‍රදායය ඇරිස්ටෝටල් විසින් ම බිඳ දැමූ බව අපට පිළිගත හැකි වෙයි. ලෞගාක්ෂි භාස්කර නම් වූ නූතන න්‍යාය ලේඛකයෙක් ද පරාර්ථානුමානයට උදාහරණයක් යෙදීම චිරාගත චාරිත්‍රයක් මිස අවශ්‍ය ම අංගයක් නොවන බව ඔහුගේ න්‍යායසිද්ධාන්තමඤ්ජරීප්‍රකාශ නමැති ග්‍රන්ථයෙන් පෙන්වයි.

අලංකාර ශාස්ත්‍රයෙහි උදාහරණ යන වචනයෙහි අර්ථ විවිධය. නාටක රචනයෙහි ලා අනිවාර්‍ය්‍යයෙන් ම අනුගමනය කළ යුතු යයි භරත මුනීන් විසින් පෙන්වන ලද සන්ධිඅංගගත ගර්භාංග තෙළෙසෙන් එකක් හා සතිස් ලක්ෂණයෙන් එකක් ද උදාහරණ නමින් දැක්වෙයි. එසේ ම උදාහරණ, දෘෂ්ටාන්ත, නිදර්ශන යන මොහු අලංකාර ශාස්ත්‍රයෙහි පර්යායවාචී ශබ්දයෝ නොවූහ. දෘෂ්ටාන්ත වචනය අලංකාරයකට මෙන් නාට්‍ය ලක්ෂණයකට ද යෙදී ඇති අතර නිදර්ශන වචනය අමුතු ම අලංකාරයකට හා නාට්‍යලක්ෂණයකට ද නම් වී තිබේ. මේ පිළිබඳ විස්තර සාහිත්‍ය දර්පණ ආදියෙන් බලාගත යුතු වෙයි. අලංකාර ශාස්ත්‍රයෙහි විවිධාර්ථ හැඟවීමට පාරිභාෂික වශයෙන් මේ වචන යෙදූ නමුත් ඒ වචන තුනෙහි ම සමාන වූ අර්ථ සේයාවක් ද දිස් වේ.

(කර්තෘ: ඇස්. අබයසිංහ)

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උදාහරණ&oldid=9150" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි