"ඇපය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('කෙනකු යම් වගකීමක් බාර ගැනීමේ දී ඒ වගකීම ඉටු කර...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

14:53, 5 දෙසැම්බර් 2025 වන විට නවතම සංශෝධනය

කෙනකු යම් වගකීමක් බාර ගැනීමේ දී ඒ වගකීම ඉටු කරන බව සහතික කිරීම් වශයෙන් ගෙවන මුදල හෝ බඳින දේපළ ඇපය වශයෙන් හැඳින්විය හැකිය. මුදලක් ණයට ගැනීමේ දී එය ආපසු ගෙවන බවට දෙන ලියවිල්ල හෝ උගසට බඳින දේපළ ද ඇපයක් ලෙස සැලැකේ.

සිවිල් නඩුවල දී මෙන් ම අපරාධ නඩුවල දී ද නොයෙක් අවස්ථාවන්හි ඇප අවශ්‍ය වේ. අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ඇප දිය හැකි වරදක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවකු අධිකරණයක් ඉදිරියේ පෙනී සිටි විට, ඔහුට ඇපයක් පිට නඩුව අවසාන වන තෙක් තාවකාලික සිර අඩස්සියෙන් මීදී යා හැකිය. ඇප නොදිය හැකි යයි නියමිත ඇතැම් වරදවල් සම්බන්ධයෙන් ද ඇතැම් අවස්ථාවන්හි සුළු අපරාධ විනිශ්චයකරුවකු විසින් තම අභිමතය පරිදි විත්තිකරුවකු ඇප පිට නිදහස් කළ හැකිය. ඇප දිය හැක්කේ විත්තිකරු විසින් හෝ ඔහු වෙනුවෙන් අන් තැනැත්තකු විසින් හෝ යම් බැඳුම්කරයක් ලියා අත්සන් කිරීමෙනි. කවර අවස්ථාවක දී වුව ද ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් ඇප නියම කළ හැකි අතර, පහළ අධිකරණයක් විසින් නියම කරන ලද ඇප මුදල අඩු කිරීමේ හෝ වැඩි කිරීමේ බලය ද ශ්‍රෙෂ්ඨාධිකරණය සතුය. මේ සම්බන්ධ විධිවිධාන අපරාධ නඩු විධාන සංග්‍රහයෙහි xxxvi වන පරිච්ඡේදයෙහි 394 සිට 400 දක්වා වගන්තිවල දැක්වේ.

සිවිල් අධිකරණයක දී වුව ද, අධිකරණයේ නියමයෙන් බලෙන් කැඳවනු ලැබූ සාක්ෂිකරුවකුට යම් හෙයකින් සාක්ෂි දීමට ඉඩක් නොලැබුණ හොත්, ඔහුට අධිකරණයෙන් පිට වී යා හැක්කේ නැවත එන බවට ඇප දීමෙන් පසුය. එමෙන් ම උසාවියට අපහාස කිරීමේ චෝදනාව පිට අල්ලා අධිකරණය වෙත ගෙනෙනු ලැබූ විත්තිකරුවකුට ද නඩුව අවසාන වන තෙක් ඇප දී ඉවත යා හැකිය. ණයකරුවන් වශයෙන් හිරබාරයට ගනු ලැබූවන්හට ද ඇපදීමෙන් පසුව නඩුව අවසාන වන තෙක් නිදහස්ව සිටිය හැකිය. බූදල් නඩුවල දී බූදලයේ පරිපාලනය ලබන්නන් ද බූදල් බලකාරයන් ද ඇප වශයෙන් අධිකරණයෙහි මුදල් තැන්පත් කළ යුතු අවස්ථා ඇත. එසේම උන්මත්තකයන්ගේ භාරකාරයන් විසින් ද බාලවයස්කාරයන්ගේ බාරකාරයන් විසින් ද ඔවුන්ගේ දේපළ සම්බන්ධ නඩුවල දී අධිකරණයෙහි ඇප මුදල් තැන්පත් කළ යුතුය. ඇපයෙන් බලාපොරොත්තු වන්නේ කෙනකුගේ වගකීම ඉටු කෙරෙන බව සහතික කර ගැනීම බව මෙයින් පැහැදිලි වේ.

(කර්තෘ: කේ.ඩී.පී. වික්‍රමසිංහ)

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇපය&oldid=9422" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි