"උපාසක" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('බුදුසසුන්හි ප්‍රසිද්ධ වූ භික්ෂු භික්ෂුණී උපා...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
14:43, 12 දෙසැම්බර් 2025 වන විට නවතම සංශෝධනය
බුදුසසුන්හි ප්‍රසිද්ධ වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වැදෑරුම් පිරිසෙහි තුන්වැනි පිරිසයි. උපාසක ලක්ෂණ දක්වනු සඳහා ආගම අටුවායෙහි, “උපාසක කවරෙයැ, හේ කවර හේතුවින් උපාසක නම් වීයැ, ඔහුගේ සිල් කවරයැ, ආජීව කවරයැ, විපත් කවරයැ, සම්පත් කවරයැ” යන සවැදෑරුම් ප්‍රශ්න විසඳන ලද්දේය. ඒ මෙසේයි:
බුද්ධ ධම්ම සඞ්ඝ යන තුනුරුවන් සරණගත වූ යම් කවර හෝ ගෘහස්ථ කෙනෙක් උපාසක නම් වෙති.
රත්නත්‍රය උපාසන කෙරේ නුයි උපාසක නම් වේ. උපාසන නම් සේවන-භජන-පර්යුපාසනයයි.
ප්‍රාණවධ, අදත්තාදාන, කාමමිථ්‍යාචාර, මෘෂාවාද, සුරාපාන යන පස්පවින් විරතිය නිත්‍ය ශීල වශයෙන් ඔහුට සිල් නම් වෙයි.
පස්වැදෑරුම් මිථ්‍යා වෙළෙඳාම හැරපියා දැහැමෙන් සෙමෙන් දිවි පැවැත්වීම ඔහුගේ ආජීව නම් වේ. තිසරණගත උපාසකයා විසින් පරහිංසාව පිණිස පවත්නා ආවුධ භාණ්ඩ තනවා විකිණීම (සත්ථ වණිජ්ජා), දාසභාවය සඳහා මිනිසුන් විකිණීම (සත්තවණිජ්ජා), හූරු මුව ආදි සතුන් ඇති කොට මස් සපයා විකිණීම (මංසවණිජ්ජා), සත්වයන්ගේ ජීවිතහානියට හේතු වන විෂවර්ග සාදා විකිණීම (විසවණිජ්ජා), ප්‍රමාදයට කාරණ වූ මත්පැන් සාදා විකිණීම (මජ්ජවණිජ්ජා) යන මේ වෙළෙඳාම් පස හළ යුතුය.
මෙකී ශීලයාගේ ද ආජීවයාගේ ද විකෝපනය (බිඳීම) ඔහුට විපත් නම් වෙයි. තවද උපාසක චණ්ඩාල සූත්‍රයෙහි වදාළ අයුරෙන් යම් කරුණකින් හේ උපාසක චණ්ඩාල, උපාසකමල, උපාසකනිකෘෂ්ට වේ නම්, එ ද ඔහුට විපත් නම් වෙයි. ඒ වනාහි සැදැහැ නැති වීම, දුශ්ශීල වීම, දිට්ඨ-සුත-මුතමංගල වශයෙන් කුහුල්මඟුල් ඇති (කොතුහලමංගලික) වීම, දිට්ඨාදි මංගලය විනා කර්මය නොබැලීම, ශාසනයෙන් බැහැර දක්ෂිණාර්හයන් සෙවීම, ඒ බාහිර තීර්ථකයනට දානාදි සත්කාර කිරීම යන කරුණු උපාසකයාහට විපත් නම් වේ.
යටකී ශීලසම්පත් හා ආජීවසම්පත් ඔහුට සම්පත් නම් වෙයි. තවද උපාසකරතන සූත්‍රයෙහි වදාළ උපාසකරත්න උපාසකපද්ම උපාසකපුණ්ඩරිකභාවය සිදු කරන ශ්‍රද්ධාශීලාදි පඤ්චධර්ම ද උපාසකයා හට සම්පත් නම් වේ.
බුදුරජාණන් වහන්සේ මහානාම සූත්‍රයෙහි දී මහානාම ශාක්‍යයාහට දෙව්මිනිසුන්ගේ ශාසනයට බැසගැනීමේ මාර්ගය වූ උපාසකභාවය සිදු කරන සරණාගමනය ද උපාසකයා විසින් පිරිය යුතු ධම්මානුධම්මපටිපත්ති සංඛ්‍යාත ශීල ශ්‍රද්ධා ත්‍යාග ප්‍රඥා යන ගුණාඞ්ග ද වදාළහ. මෙකී ගුණයෙන් යුත් උපාසකයා සියලු දුගතිබිය ඉක්මවා සිටී. ඔහු දෙවියන් විසිනුදු පැසැසිය යුත්තකු බව ප්‍රකාශ වෙයි.
“යෙ ගහට්ඨා පුඤ්ඤකරා
සිලවන්තො උපාසකා
ධම්මෙන දාරං පොසෙන්ති
තෙ නමස්සාමි මාතලී”යි
සක්දෙවිඳුන් විසින් “ගිහිගේ වැසි පින් කරන සිල්වත් වූ යම් උපාසක කෙනෙක් දැහැමින් අඹුදරුවන් පෝෂණය කෙරෙත් නම්, මම ඔවුනට වඳිමි”යි කියන ලද්දේය.
මිළින්දපඤ්හයෙහි නාගසේන තෙරණුවෝ උපාසකයාගේ ගුණ දසයක් ඇතැයි වදාළහ. මේ සස්නෙහි උපාසකයා සඟුන් හා සමාන සුවදුක් ඇත්තේ වෙයි; දහම් අධිපති කොට ඇත්තේ වෙයි; ශක්ති ලෙස බෙදා වැළඳීමෙහි ඇලුණේ වෙයි; බුදුසසුන පිරිහෙනු දැක එහි දියුණුවට වෑයම් කරයි; සම්‍යග්දෘෂ්ටි ඇතියේ අන් ශාස්තෘවරයකු ජීවිත හේතුයෙනුදු නොඋදෙසයි; කායික වාචසික සංවරය රක්නේ වෙයි; සමගියෙහි ඇලුණේ, ඊර්ෂ්‍යා නොකරන්නේ වෙයි; කුහන විසින් ශාසනයෙහි නොහැසිරෙයි; බුදුන් දහම් සඟුන් සරණ ගියේ වේ.
මේ බුදුසස්නෙහි ප්‍රථම උපාසක වූවාහු තපුස්ස භල්ලික යන වෙළෙඳ දෙබෑයෝය. ඔව්හු සඟුන් පහළ වන්නට පෙරාතුව බුදුන් දහම් දෙරුවන් පමණක් සරණ ගියෙන් ද්වේවාවික උපාසක වූහ. මුලින් ම තේවාවික (තෙරුවන්) සරණ ගිය උවසු උවැසියෝ වනාහි යස කුලපුත්‍රයාගේ මවුපිය වූ සුමන සිටුදෙමහල්ලෝයි. දායකයන් කෙරෙහි අනේපිඬු සිටාණෝ ද දායිකාවන් කෙරෙහි විශාඛා සිටු දියණියෝ ද අගතැන් පත් වූහ. එසේ ම ධර්මකථිකයන් කෙරෙහි චිත්ත ගැහැවි ද සිව්සඟරාවතින් පිරිස් සගනුවන් කෙරෙහි හත්ථාලවක ද ප්‍රණීතදායකයන් කෙරෙහි මහානාම ශාක්‍ය ද මනාපදායකයන් කෙරෙහි උග්ග ගැහැවි ද සඞ්ඝෝපස්ථායකයන් කෙරෙහි උග්ගත ගැහැවි ද අවේත්‍ය ප්‍රසන්නයන් කෙරෙහි සූරම්බට්ඨ ද පුද්ගල ප්‍රසන්නයන් කෙරෙහි ජීවක ද විශ්වාසකයන් කෙරෙහි නකුල පිතු ගැහැවි ද යන උවසුවෝ අගතැන් පත් වූහ.
උපාසක ව්‍යවහාරය ජෛනයන් කෙරෙහි ද කිසි තැනක වෛදික ව්‍යවහාරයෙහි ද දක්නට ලැබේ.
(සංස්කරණය: 1970)