"අන්ත්‍රවෘද්ධිය (වර්ධිමය ; හ'නියාව)" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('වැඩි වශයෙන් මෙයින් කියැවෙන්නේ උදර කුහරයේ සිට...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
30 පේළිය: | 30 පේළිය: | ||
කර්තෘ:[[ඒ.ඇම්. කුලතිලක]] | කර්තෘ:[[ඒ.ඇම්. කුලතිලක]] | ||
+ | |||
+ | ආයුර්වේද මතය සඳහා [[වෘද්ධි]] බලන්න. | ||
(සංස්කරණය:1963) | (සංස්කරණය:1963) | ||
[[ප්‍රවර්ගය:අ]] | [[ප්‍රවර්ගය:අ]] |
11:44, 20 ජූනි 2023 තෙක් සංශෝධනය
වැඩි වශයෙන් මෙයින් කියැවෙන්නේ උදර කුහරයේ සිට කුදු මහත් අන්ත්‍ර හෝ වෙනත් අභ්‍යන්තර අවයව හෝ උදර බිත්තියෙහි දුර්වල ස්ථානයකින් මතු පිටට හෝ අන් කුහරයකට මෑත්වීමයි. ප්‍රාචීරයෙහි (diaphragm) විවරයකින් අන්ත්‍ර නිකුත් වීමෙන් ද එසේ නැතහොත් උදර කුහරයෙහි කුඩා පටලයන්ගෙන් සැදි සුළු කුහරයන්ට අන්ත්‍ර පිවිසීමෙන් ද අන්ත්‍ර වෘද්ධිය සිදුවේ. මීට ඇතැම්විට අණ්ඩවාතය යයි කියනු ලබන්නේ හ'නියා මඩියේ හෙවත් කෝෂයේ (hernialsac) අඩංගු අන්ත්‍රයෙහි වාතය පිරීයෑම හේතු කොටගෙනය. අන්ත්‍රාවරණය සහ මේද තෙල් ද සමහර විට මඩියට ඇතුළු වේ. සාමාන්‍යයෙන් අන්ත්‍රවෘද්ධියෙන් පීඩා විඳින්නේ ගැහැනුන් නොව පිරිමින්ය. සහජයෙන් උදර බිත්තියෙහි දුර්වල ස්වභාව උරුමව සිටින්නකුට මහත් බර ඉස්සීමකින්, හදිසි පැනීමකින්, නොසෑහෙන වෙහෙසීමකින් හෝ තැතනීමකින්, එසේ නැත් නම් තදබලව පවතින කැස්සකින් අන්ත්‍ර වෘද්ධිය හටගනී.
ආශ්‍රිත ස්ථාන අනුව අන්ත්‍රවෘද්ධිය හතර වර්ගයකට බෙදා දැක්වේ:-
1. වංක්ෂණ (inquinal) වෘද්ධිය : මෙය ශුක්‍රාණුකරජ්ජුව (spermatic cord) අසලින් මතු වී එය දිගේ කලකින් කෝෂයට බසී.
2. ඌර්වීය (femoral) වෘද්ධිය : මෙය ඌර්වීය ධමනිය සහ ශිරාව ඇතුළත් කක්ෂකුටියේ අංශයෙන් පහළට බැස කළවෙන් මතුවේ.
3. නාභිය (පෙකෙණිවැල) ආශ්‍රිත වෘද්ධිය : මෙය නාභිය වටා පිහිටි බිත්තියේ දුබල ස්ථානයෙකින් දෘශ්‍යමාන වේ.
4. උදර බිත්තිය ආශ්‍රිත වෘද්ධිය : ශල්‍ය කර්මයකින් නැතහොත් යම්කිසි ආබාධයකින් සිදුවූ තුවාළයකින් හෝ එයින් ඇතිවූ තුවාළ කැළලකින් සමහර විට මේ අන්ත්‍රවෘද්ධිය මතුවේ.
අන්ත්‍රවෘද්ධිය මුල දී මොර ඇටයක් තරමින් පටන් ගෙන කල්යෑමේ දී පොල් ගෙඩියක ප්‍රමාණයට වැඩේ. රෝගයේ බරපතළකම අනුව එය තුන් කොටසකට බෙදා දැක්විය හැකි වේ:-
1. ඇතුළු කළ හැකි හ'නියාව : මේ ආබාධය ඇති රෝගියාට අන්ත්‍රය ඇතුළු කරන උපක්‍රමය කල්යෑමේ දී නිරායාසයෙන් ම වැටහී යයි. අන්ත්‍රය ඇතුළුවන විට එහි පිරී ඇති වාතය බිරි බිරි" යන හඬක් නංවයි. වංක්ෂණ හ'නියාව උඩට සහ පිටුපසට තල්ලු කිරීමෙන් ඇතුළු කළ හැකි වේ. රෝගියා නැඟී සිටින විට හ'නියාව පහළට බසී. හාන්සි වූ විට උඩට නඟී. මෙය ඉතාමත් බහුල හ'නියා වර්ගයයි.
සාමාන්‍යයෙන් ගැහැනුන්ට සීමා වූ ඌර්වීය හ'නියාව පළමුවෙන් පහළට තල්ලු කොට යළිත් ඇතුළට තල්ලු කළ යුතු වේ.
පෙකෙණියේ සහ උදර බිත්තියෙහි හටගත් හ'නියාව අත්ලෙන් ඔබා ලෙහෙසියෙන් ඇතුළ කළ හැකිය.
2. ඇතුළු කළ නොහැකි හ'නියාව : මෙය සෑම වේලේ ම පවත්නේ අවදානම් තත්වයකය. කිසිවිටක යම්කිසි ආබාධයකින් ප්‍රදාහය හෝ අඩස්සිය ඇති විය හැක. ප්‍රදාහයෙන් පසු උදර බිත්තියෙහි කවලිකා (fasciae) කීපයක් ද, වපාව (omentum) හා පරිතාන කෝෂය ද ඇතුළු හ'නියාවේ වහන්තරා හෙවත් ආවරණ සියල්ල අන්ත්‍රයට ඇලී බැඳී යෑම නිසා හ'නියාව ඇතුළු කිරීම වඩා දුෂ්කර වේ. ඇතුඵ කළ නොහැකි හ'නියාවේ රෝග ලක්ෂණ නම්, පහළට ඇදුම් දෙන රුදාව, කැක්කුම, අජීර්ණය, ඔක්කාරය හා වමනය, මල බද්ධය සහ මල පහවීමේ අවහිරය යන මේයි. බොහෝ විට මෙයින් තුන්වැනිව සඳහන් වන හ'නියාව සෑදේ.
3. අඩස්සි වූ හ'නියාව (පරිඝ වර්ධිමය): හ'නියාව ඇතුළු වන දොරටුවෙහි පරිතානය (peritoneum) ඝන වී පටු වී යෑමෙන් අන්ත්‍රය තදින් මිරිකී ලේ ගමනාගමනය නතර වූ විට හ'නියා අඩස්සිය නම් භයානක තත්වය පැන නඟී. මෙහි දී අනුක්‍රමයෙන් රිදුම, බඩ පිපුම, ඔක්කාරය, සම්පූර්ණ මලබද්ධය, පිත සහ මල සහිත වමනය, දැවිල්ල සහ නොඉවසිය හැකි කැක්කුම ද ඇති වේ. පැය 24ක් ගත වූ විට උදරය පිම්බී බෙරයක් සේ වෙයි. නාඩිය දුර්වලව ශීඝ්‍රයෙන් වැටෙයි. හීන් ඩයදිය ද ඉක්කාව ද ශීතල ද ඇති වේ.
මේ වූකලී අසාධ්‍ය තත්වයෙකි. මේ අවධියෙහි හිරවී තිබෙන අන්ත්‍රයෙහි දිස්නය මැකී අනුක්‍රමයෙන් අධික රක්ත වර්ණය දම්පාටට හැරී අවසානයෙහි කළු වේ. රෝගය හැඳින ගත් වහාම හ'නියාව පරිස්සමින් ඇතුළු කරන්නට තැත් කමනාය. (රෝගියා බොහෝ විට අනතුරට පත් වන්නේ හ'නියාව අපරිස්සමින් ඇතුළු කරන්නට වෙහෙසීමෙනි.) එසේ එය ඇතුළු කළ නොහැකි විණි නම් වහාම ශල්‍ය කර්මයක් කිරීම අත්‍යවශ්‍ය මැයි. සමහර විට ලෙඩා සැතපෙන ඇඳේ පාමුල උස්සා හ'නියාවට අයිස් බෑගයක් තැබීමෙන් තාවකාලික සුවයක් ලැබේ.
ශල්‍යකර්මය: හ'නියාව මත්තෙහි හම සහ අනිකුත් වහන්තරා කපා විවරයක් සාදා පරිතානය සම්මුඛ වූ කල එයින් සැදි පටුමඟ, හ'නියාවට පීඩා නොවන සේ පරිස්සමින් කපා අන්ත්‍රය නිදහස් කොට සෝදිසි කර බලා, එහි තත්වය යහපත් නම් උදර කුහරයට යළිත් හැර පරිතාන කෝෂය බැඳ කපා ඉවත් කොට විවරය මනාව වැසෙන සේ වහන්තරා පෙළින් පෙළ මැහුම් දැමිය යුතුවේ. අන්ත්‍රයෙහි දිස්නය සහ ප්‍රාණවත් ගතිය ද නැතිවී ගොස් කළු පැහැතිව තිබේ නම් ඒ කොටස කපා ඉවත් කොට ඉතිරි දෙකොන ළං කොට තබා සියුම් මැහුමකින් ඇමිණිය යුතුවේ.
කර්තෘ:ඒ.ඇම්. කුලතිලක
ආයුර්වේද මතය සඳහා වෘද්ධි බලන්න.
(සංස්කරණය:1963)