"එමරි" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(Emery). මැග්නටයිට් (magnetite) හා හෙමටයිට් (hematite) යන ඛනිජවල...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
12 පේළිය: 12 පේළිය:
  
 
[[ප්‍රවර්ගය: එ]]
 
[[ප්‍රවර්ගය: එ]]
 
(සංස්කරණය: 1974)
 
 
[[ප්‍රවර්ගය:]]
 
 
[[ප්‍රවර්ගය:]]
 

15:13, 9 ජූනි 2026 වන විට නවතම සංශෝධනය

(Emery). මැග්නටයිට් (magnetite) හා හෙමටයිට් (hematite) යන ඛනිජවල නොයෙක් ප්‍රමාණයට හටගන්නා අශුද්ධ කොරන්ඩම් වර්ගයකි. එය රතුපාටට හුරු දුඹුරු පාට හෝ කළුපාට හෝ අළුපාට හෝ විය හැකිය. එමරි වූකලි ස්වාභාවික උල්ලේඛ (abrasive) ද්‍රව්‍යයකි (උල්ලේඛ බ.). එහි අධික දැඩි බව නිසා කුඩු වශයෙන් හෝ කණිකා වශයෙන් හෝ ඊට වඩා ලොකු අංශු වශයෙන් හෝ ඇඹරීම හා ඔප දැමීම සඳහා එය යොදනු ලැබේ. කලාත්මක කෘති නිමැවීමෙහි දී එමරි ඉතා වැදගත් ද්‍රව්‍යයක් වේ.

එමරිවල දැඩි බව 8 ය. එහි විශිෂ්ට ගුරුත්වය 3.7 සිට 4.3 දක්වා විය හැකිය. ශුද්ධ ඇලුමිනා (65%-75%) ද යකඩ ඔක්සයිඩ ද ස්වල්ප වශයෙන් සිලිකා හා ජලය ද එමරිවල අඩංගු වේ. ස්වාභාවික ලෙස එමරි දක්නට ලැබෙන්නේ විශාල පර්වත වැනි රාශි වශයෙනි. මේ පර්වත කැබලි මෝල්වල දමා කුඩු කර දළ පෙනේර මගින් නොයෙක් ප්‍රමාණයේ කුඩු වශයෙන් වෙන් කරගනු ලැබේ. කඩදාසි හෝ රෙදි මත මැලියම් ගා මැලියම් උඩ එමරි කුඩු විසුරුවා හැරීමෙන් එමරි කඩදාසි හා එමරි රෙදි සාදා ගනු ලැබේ. මැණික් කපන රෝද උඩත් මේ කුඩු ජලය හෝ තෙල් සමග ඉසිනු ලැබේ. ඇතැම් විට මේ කුඩු වෙනත් ආසක්ති (adhesive) ද්‍රව්‍ය සමග ද මිශ්‍ර කොට එම මිශ්‍රණයෙන් එමරි රෝද සාදා ගනු ලැබේ. නොයෙක් ප්‍රමාණයෙන් හා හැඩයෙන් යුත් එමරි ගල් ද ඒවායින් සාදා ගනු ලැබේ. එමරි ගල් රළු විය හැකිය. ඇතැම් ඒවා ඉතා සියුම් විය හැකිය.

දැන් එමරි වැඩි වශයෙන් ලැබෙන්නේ ග්‍රීසියේ නක්සොස් දූපතෙන්ය. තුර්කියේ ස්මර්නා ප්‍රදේශයෙහිත් එමරි දක්නට ලැබේ. එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් හා නිව් යෝක් ජනපදවල පතල්වලින් ද එමරි ස්වල්ප ප්‍රමාණයක් ලැබේ.

කලින් එමරි පාවිච්චි කළ නොයෙක් ව්‍යාපාරවල දැන් සංශ්ලේෂක උල්ලේඛ යොදනු ලැබුවත් මැණික් කපන්නන්ට තවමත් එය වැදගත් උල්ලේඛ ද්‍රව්‍යයකි. පිත්තල හා වානේ ඔප දැමීමටත් කාච ප්‍රිස්ම හා වෙනත් ප්‍රකාශ උපකරණ සෑදීමටත් එය ඉතා ප්‍රයෝජනවත්ය. මහපාර අයිනේ වූ ගල් ඇල්ලූ අඩි පාරවල ද ගෙවල බිමෙහි ද ලිස්සා යාම වැළකීමට එමරි කුඩු යොදනු ලැබේ. වානේ ඇඹරීමට හා ඔපදැමීමට යොදන යන්ත්‍රවලත් එමරි රෝද, එමරි කඩදාසි හා එමරි රෙදි පාවිච්චි කරනු ලැබේ. දුරාතීතයේ සිට ම උල්ලේඛයක් වශයෙන් එමරිවල ප්‍රයෝජනය දැන ගෙන තිබිණි. ග්‍රීක ග්‍රන්ථ කර්තෘවරුන් ඒ ගැන කළ වාර්තා ඇත. පැරණි මිසර ජාතිකයන් ද එමරි පාවිච්චි කළ බව නිසැකය. අද මෙන් එදත් එය පාවිච්චි කළේ වැඩි වශයෙන් මැණික් හා ආභරණ ආදිය කපා ඔප දැමීමට හා ප්‍රතිමා නිර්මාණයටය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එමරි&oldid=11062" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි