"එල් සාල්වාදෝර්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('මධ්‍යම ඇමෙරිකාවේ කුඩා ම ජනරජයයි. ශාන්තිකර සාග...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 17 පේළිය: | 17 පේළිය: | ||
(සංස්කරණය: 1974) | (සංස්කරණය: 1974) | ||
| − | [[ප්‍රවර්ගය: භූගෝල විද්‍යාව- | + | [[ප්‍රවර්ගය: භූගෝල විද්‍යාව-මධ්‍යම ඇමෙරිකාව]] |
[[ප්‍රවර්ගය: එ]] | [[ප්‍රවර්ගය: එ]] | ||
14:45, 24 ජූනි 2026 වන විට නවතම සංශෝධනය
මධ්‍යම ඇමෙරිකාවේ කුඩා ම ජනරජයයි. ශාන්තිකර සාගරයට මුහුණ ලා පිහිටා ඇති මෙය බටහිරින් හා උතුරින් ග්වාතමාලා ජනරජයෙන් ද උතුරින් නැගෙනහිරින් හොන්ඩ්‍යුරස් ජනරජයෙන් ද දකුණින් ශාන්තිකර සාගරයෙන් ද සීමා වී තිබේ. කොට්ඨාස 14කට බෙදී ඇති මේ ප්‍රදේශය ව.සැ. 13,176ක් විශාලය.
මෙහි වෙරළ ඉම දිගින් සැතැපුම් 160ක් පමණ වෙයි. වෙරළට යාබදව සැතැපුම් පසළොසක් පමණ පුළුල් වූ පහත් තැන්නක් විහිදී ඇත. යමහල් කඳුවලින් ගහන සානුවක් යථෝක්ත පටු තැන්නේ පසු භාගයෙන් ආරම්භ වෙයි. සාන්තා ආනා (8,300’), සාන් මිගෙල් (7,120’) යනු එහි ප්‍රධාන යමහල් කූටය. ග්වාතමාලාවෙන් පටන් ගන්නා ලෙම්පා ගඟ මෙම රට හරහා ගලා යන ප්‍රධාන ගංගාවයි. මෙහි කොටසක කුඩා නැව් යාත්‍රා කරයි.
සැපදායක සෞම්‍ය දේශගුණයකින් යුත් එල් සාල්වාදෝර්හි අඟල් 40 සිට 100 දක්වා වෙනස් වන වාර්ෂික වර්ෂාපතනයක් ඇත. පස සාරවත්ය. ජනගහනයෙන් වැඩි දෙනා ජීවත් වන්නේ ලෙම්පා ගංගා මිටියාවතෙහිය. ඔවුන්ගේ ප්‍රධාන රැකියාව ගොවිතැනය. මෙහි දියුණු ම වැවිලි වර්ගය කෝපිය. වී ප්‍රධාන කොට ඇති ධාන්‍ය වර්ග, කොකෝවා, කපු, බෝල්සම් (සුවඳ ලාටු) ගස්, රබර් හා දුම්කොළ ද විශාල වශයෙන් වවනු ලැබේ. ගවයන් ඇති කිරීම ද දියුණු අන්දමින් කෙරේ. පතල් කර්මාන්තය ද තරමක් සැලැකිය යුතුය. තඹ, යකඩ, ඊයම් හා ගෙන්දගම් නිධි ඇත ද කණිනු ලබන්නේ රන් හා රිදී පමණි. සීනි පිරිසිදු කරන කර්මාන්ත ශාලා, පිටි මෝල්, ඉස්කාගර හා වෙනත් කර්මාන්තායතන ද මෙහි පිහිටා තිබේ. එල් සාල්වාදෝර්හි විශාල වශයෙන් කෙරෙන කර්මාන්තය වූකලි කෝපි මලු සෑදීමයි. පැනමා ඇළ විවෘත කිරීමට ප්‍රථම විදේශ වෙළඳ කටයුතු බ්‍රිතාන්‍යය, ජර්මනිය, ඇමෙරිකාව ආදි රටවල් සමඟ කෙරුණු නමුදු දැන් වෙළෙඳ කටයුතු සියයට හැත්තෑවක් පමණ ම කරනු ලබන්නේ එක්සත් ජනපද රාජ්‍යය සමඟය. රජයෙන් පාලනය වන මහා මාර්ග සැතැපුම් 1,500ක් පමණ ඇති නමුදු දුම්රිය මාර්ග ඇත්තේ සැතැපුම් 384ක් දුරට පමණි. වෙරළබඩ නගර කරා නැව් යාත්‍රා කෙරේ. ගුවන් සේවා කීපයකින් මේ රට බාහිර ලෝකය හා සම්බන්ධය.
එල් සාල්වාදෝර්හි අගනුවර සාන් සාල්වාදෝර් නමි. මුහුදු මට්ටමේ සිට අඩි 2,000ක් ඉහළින්, පියකරු මිටියාවතක පිහිටා තිබෙන මේ නගරය වැදගත් වෙළෙඳ මධ්‍යස්ථානයකි. භූමිකම්පා නිසාත් ගිනිකඳු පිපිරීම් නිසාත් 1917 දී මෙහි ගොඩනැඟිලි විශාල ප්‍රමාණයක් විනාශ වී ගියේය. නගරය නව පන්නයට නැවත ඉදිකරන ලදි. ආකාහූට්ලා, ලා ලීවර්තාද්, ලා ඌන්යෝන්, සාන් මිගෙල්, සාන්තා ආනා යනු මෙහි අනිත් වැදගත් නගරයෝයි.
එල් සාල්වාදෝර්හි නාගරික ප්‍රදේශවල උසස් අධ්‍යාපනායතන කීපයක් වෙතත් ගම්බද පාසැල් බෙහෙවින් අඩුය. වෘත්තීය අධ්‍යාපනය ලබා දෙන අධ්‍යාපනායතන කීපයක් ද වෙයි. අධ්‍යාපනායතන අතර එල් සාල්වාදෝර් විශ්වවිද්‍යාලය, ජාතික කර්මාන්තායතනය, වාණිජ විද්‍යාව හා අර්ථ ශාස්ත්‍රය පිළිබඳ ජාතික විද්‍යායතනය, චිත්‍ර ශිල්පායතනය යුද්ධ ශිල්පායතනය හා ලලිත කලායතනය ද සැලැකිය යුතුය. මේ ආයතන සියල්ලක් ම පිහිටා තිබෙන්නේ සාන් සාල්වාදෝර් නගරයෙහිය.
මෙහි 1886 සිට ක්‍රියාවේ යෙදුණු ප්‍රථම ආණ්ඩු ක්‍රමය වෙනස් කොට අලුත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් සකස් කර ගන්නා ලද්දේ 1950 දීය. ප්‍රධාන විධායක නිලධාරියා වූ ජනාධිපතිවරයා වර්ෂ සයකට වරක් තෝරාගනු ලබයි. පාලන කටයුතු සඳහා ඔහුට අමාත්‍යවරුන් 10 දෙනකුගෙන් යුක්ත කැබිනට් මණ්ඩලයක සහාය ලැබේ. ව්‍යවස්ථා සම්පාදනය කෙරෙනුයේ මන්ත්‍රීවරුන් 42කුගෙන් යුක්ත ජාතික මන්ත්‍රණ සභාවෙනි. එක් කොට්ඨාසයකට තිදෙනා බැගින් ඉදිරිපත් වන මන්ත්‍රීවරු සර්වජන ඡන්ද බලයෙන් අවුරුදු පතා තෝරා පත් කරගනු ලබත්.
මෙම ජනරජයෙහි ජනගහනය (1962) 2,759,010කි. ජනගහනයෙන් වැඩි දෙනා ස්පාඤ්ඤ ජාතිකයන් හා රතු ඉන්දියන්වරුන් මිශ්‍ර වීමෙන් ඇති වූවෝය. මෙහි සුදු මිනිසුන් සිටින්නේ දහස්ගණනක් පමණි. ජනගහනයෙන් සියයට පහක් පමණ නියම රතු ඉන්දියන්වරුය. ස්පාඤ්ඤ බස මෙහි රාජ්‍ය භාෂාවයි.
1542 දී ස්පාඤ්ඤය යටතට පත් එල් සාල්වාදෝර් 1821 දී මධ්‍යම ඇමෙරිකාවේ අනෙක් රටවලුත් සමඟ ස්පාඤ්ඤ පාලනයෙන් නිදහස් වන තුරු ම ග්වාතමාලාව හා සම්බන්ධ යටත් විදේශයක්ව පැවැතිණි. නිදහස් ප්‍රදේශයක් වීමෙන් පසු එල් සාල්වාදෝර් හා අනෙක් මධ්‍යම ඇමෙරිකානු ප්‍රදේශත් අතර නොයෙක් සටන් ඇති විය. එල් සාල්වාදෝර්හි ප්‍රථම නිදහස් ඡන්ද විමසීම යයි කිව හැකි මැතිවරණය 1931 ජනවාරි මාසයේ දී පවත්වන ලදි. ජනාධිපති වශයෙන් ආර්කුරෝ ආරව්හෝ පත්වූයේය. එහෙත් ආර්ථීක පරිහාණියත් ලතින් ඇමෙරිකාව මුළුල්ලේ පැතිරී ගිය ප්‍රතිසංස්කරණවාදී හැඟීමත් නිසා ආරව්හෝගේ රජය බිද වැටී ජනරාල් මැක්සිමිලියානෝ හෙර්නාන්දේස් මර්තනේස්ගේ ජනාධිපතිත්වයෙන් නව රජයක් පැන නැඟිණි. නොයෙක් දේශපාලන විරුද්ධවාදිකම් මධ්‍යයෙහි දස වසකටත් අධික කාලයක් තුළ හේ බලයේ රැඳී සිටියේය. එක්සත් ජනපද රාජ්‍යයත් මධ්‍යම ඇමෙරිකාවේ අනෙක් ජනරජයනුත් ඔහුගේ රජය පිළිගන්නා ලද්දේ ටික කලක් ගත වූවාට පසුය. 1944 දී ඔහු බලයෙන් පහ කරනු ලැබූ නමුදු 1949 දක්වා ඔහුගේ ජනාධිපති ධුරයේ කාලසීමාව දීර්ඝ කිරීමට ජාතික මහා මණ්ඩලය තීරණය කෙළේය. එයින් විරුද්ධවාදී කලබල උග්‍ර අතට හැරිණි. ආර්කුරෝ රොමේරෝ හා ජනරාල් ටිටෝ කල්වෝ විසින් අසාර්ථක කැරැල්ලක් ද මෙහෙයවන ලදි. ඉක්බිති මර්තිනේස් ජනරාල් කල්වෝ ඇතුළු හමුදා නිලධාරීන් සමූහයක් ම මරුමුවට පත් කිරීමට අණ කෙළේය. ඔවුන් මරුමුවට පත් කරනු ලැබීමෙන් කලබල තව තවත් උත්සන්න අතට හැරුණේය. විශ්වවිද්‍යාලයන්හි ශිෂ්‍යයන්ගේ මූලිකත්වයෙන් මහා වැඩ වර්ජනයක් ද සංවිධානය විය. තවදුරටත් පාලනය ගෙන ගිය නොහැකි බව වටහාගත් මර්තිනේස් සිය පදවියෙන් අස් වී රටින් ද පිට වී ගියේය. මර්තිනේස්ගෙන් පසු ජනරාල් ආන්ද්‍රෙස් අයි. මෙනෙන්දස් ජනාධිපති බවට පැමිණි නමුදු ඊට පස් වසකට පසු කර්නල් ඔස්මින් අගීරේ සාලිනාස් විසින් මෙහෙයවන ලද යුද්ධ හමුදා කැරැල්ලක් මගින් ඔහු තනතුරෙන් පහ කරනු ලැබීය. අගීරේට බලය පැවරුණු නමුදු ඔහුගේ දේශපාලන විරුද්ධවාදීහු ශ්‍රේෂ්ඨාධිකරණ නායකයකුව සිටි මිගෙල් තෝමස් මෝලීනාගේ නායකත්වය යටතේ එකමුතු වී හොන්ඩ්‍යුරාස්හි විප්‍රවාස රජයක් පිහිටුවා ගත්හ. මේ ප්‍රතිවිරුද්ධ රාජ්‍යද්වය 1945 වන තුරු ම පැවැත්තේය. ඉන්පසු ජනාධිපති තනතුර ජනරාල් සාල්වාදෝර් කස්ටාඤේඤදා කස්ත්‍රෝට පැවරුණෙන් විප්‍රවාස රජය අත්හැර දමන ලදි. 1948 දී ජනාධිපති තනතුරේ කාලසීමාව දික් කිරීමට කස්ත්‍රෝ උත්සාහ දැරුවෙන් ඔහු ද යුද හමුදා කැරැල්ලක් මගින් තනතුරෙන් පහ කරනු ලැබීය. කැරැලිකරුවෝ යුද නිලධාරින් තිදෙනකුන්ගෙන් හා සාමාන්‍ය රටවැසියන් දෙදෙනකුන්ගෙන් යුත් පාලන මණ්ඩලයක් (ජුන්ටා) පිහිටුවා ගත්හ. 1950 දී මේ පාලන මණ්ඩලය ජනාධිපතිවරයකු ද තෝරාගෙන නව ආණ්ඩු ක්‍රමයක් ද සම්පාදනය කෙළේය. 1956 හෝසේ මාරියා ලෙමුස් ජනාධිපති ධුරයට නම් කරනු ලැබීය. 1960 දී එල් සාල්වාදෝර්හි සිදු වූ ඉතා ම වැදැගත් දේශපාලන සිද්ධිය වූකලි ජනාධිපති ලෙමුස්ගේ රජය බිඳ දමා යුද්ධ නිලධාරීන් හා සාමාන්‍ය රටවැසියන් හදෙනකුගෙන් සමන්විත පාලන මණ්ඩලයක් (ජුන්ටා) පිහිටුවනු ලැබීමයි. ඊළඟ වර්ෂයේ දී එම මණ්ඩලය ද කුමන්ත්‍රණයක් මගින් බිඳ දමා පස් දෙනකුන්ගෙන් යුත් සිවිල් මිලිටරි මණ්ඩලයක් (directorate) පිහිටුවන ලදි. 1962 දී ජාතික මහා මණ්ඩලය ව්‍යවස්ථාදායක මණ්ඩලයක් වශයෙන් රැස් වූයේය. මෙය සියලු ම දේශපාලන වැරැදිකරුවනට ක්ෂමාව දී මුල් ආණ්ඩු විසින් නියම කරන ලද ප්‍රතිසංස්කරණ ඇතුළත් නව ආණ්ඩුක්‍රමයක් ද අනුමත කෙළේය. 1962 ජනවාරි 16 වෙනි දා නව ආණ්ඩුක්‍රමය ක්‍රියාත්මක විය. අප්‍රේල් 29 වෙනි දා ජාතික සාමග්‍රි පක්ෂයේ ලෙෆ්‍ටිනන්ට් ක’නල් ජූලියෝ අදල්බෙර්තෝ රිවේරා ජනාධිපති ධුරයට තෝරා ගනු ලැබුවේය. විරුද්ධ පාක්ෂිකයන්ගේ විරෝධය තදබල වුව ද කොමියුනිස්ට් විරෝධී පනත් පනවන ලදින් රජයේ ප්‍රතික්‍රියාව ඊට වඩා තදබල විය. ආර්ථික හේතූන් කරණකොටගෙන දේශපාලන ස්ථාවරභාවයක් ඇති විය. විනිමය සංචිත වැඩි දියුණු විය. වෙළෙඳ අතිරික්තය වර්ධනය විය. සමාජ හා ආර්ථීක සංවර්ධන වැඩ පිළිවෙළට නොයෙක් එක්සත් ජනපද ආයතනවල ආධාරය ලැබිණි. 1964 මාර්තු 8 වෙනි දා පවත්වන ලද මැතිවරණයේ දී ජාතික ව්‍යවස්ථාදායක මණ්ඩලයේ ආසන 52න් ආසන 32ක් ම ආණ්ඩු පක්ෂය වූ ජාතික සාමග්‍රි පක්ෂයට හිමි විය. අලුත් ආදායම්බදු ක්‍රමයත් සුඛෝපභෝගි භාණ්ඩ සම්බන්ධයෙන් පනවන ලද බද්දත් නිසා රජයේ ආර්ථික තත්වය කීප ගුණයකින් වැඩි දියුණු විය. 1965 වර්ෂයේ දී අගනුවර වන සාන් සාල්වාදෝර් තදබල භූමි කම්පාවකට භාජන වීමෙන් එල් සාල්වාදෝර් ජනරජය බැරෑරැම් ප්‍රශ්නයකට මුහුණ පෑවේය. 1966 මැතිවරණයේ දී ද ජනාධිපති රිවේරාගේ පක්ෂයට වැඩි ආසන සංඛ්‍යාවක් ලැබීමෙන් එය ජයග්‍රහණය කෙළේය. 1967 ජනාධිපති තරඟයේ දී ජාතික සාමග්‍රි පක්ෂයේ ක’නල් ෆිදෙල් සාන්ත්ෂේත් එර්නාදේස් ජනාධිපති ධුරයට තෝරාගනු ලැබීය. ඊට පෙරාතුව කම්කරුවන් 30,000ක් පමණ සහභාගි වූ මහා වැඩ වර්ජනයෙන් කම්කරු වෘත්තීය සමිතිවල බලය ප්‍රදර්ශනය විය. 1968 නාගරික හා ව්‍යවස්ථාදායක මණ්ඩලයේ මැතිවරණ ප්‍රතිඵලවලින් ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පැහැදිලි ලෙස ඉස්මතු වී පෙනිණි.
(සංස්කරණය: 1974)