"අක්ෂ ක්‍රීඩාව" හි සංශෝධන අතර වෙනස්කම්
('බුළු ඇට, ඇත්දත්, දැව, ලෝහ, සතුන්ගේ ඇට ආදි කිසිවක...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
10:50, 30 මැයි 2023 තෙක් සංශෝධනය
බුළු ඇට, ඇත්දත්, දැව, ලෝහ, සතුන්ගේ ඇට ආදි කිසිවකින් එක සමාන දිග පළල හා උස ඇතිවන සේ සාදාගෙන පැතිවල අංක හෝ සටහන් ආදියක් යොදාගත් දාදුකැට විශේෂය අක්ෂ නමින් හැඳින්වේ. අක්ෂවලින් කරන ක්‍රීඩා අක්ෂ ක්‍රීඩා නම් වේ. අක්ෂ ක්‍රීඩාවට ආකර්ෂක ක්‍රීඩා, පාශක ක්‍රීඩා යන නම් ද ව්‍යවහාර වූ බව පෙනේ. මේ ක්‍රීඩාව පැවැත්වීමේ දී පාශක ඇට හෙවත් දාදු කැට අතින් සොලවා හෝ පෙට්ටියක් වැනි කිසිවක් තුළ බහා සොලවා හෝ උඩ විසි කරනු ලැබේ. ඒවා වැටෙන්නට සලස්වන්නේ සමතලා භූමියක් හෝ මේසයක් හෝ රෙද්දක් හෝ රාජත ඵලකයක් හෝ දුපෝරුවක් මතය. සම්මත කරගත් නීතිරීතිවලට අනුව උඩුකුරුව හෝ යටිකුරුව වැටෙන සංඛ්‍යා අනුව ජයපරාජය නිශ්චය කරනු ලැබේ.
වේදයෙහි හා වෙනත් සංස්කෘත ග්‍රන්ථවල දැක්වෙන අයුරු : ඍග්වේද, ශතපථ බ්‍රාහ්මණ, තෛත්තිරීය බ්‍රාහ්මණ, මෛත්‍රායණීය සංහිතා, කාත්‍යායන ශ්‍රෞත සූත්‍රාදි ග්‍රන්ථවල අක්ෂ, අක්ෂ ක්‍රීඩාව හා අක්ෂ ක්‍රීඩකයන් ගැන සඳහන් වේ. ඍග්වේදයේ දහවැනි මණ්ඩලයෙහි දූකෙළියෙහි යෙදුණු පුද්ගලයෙක් ස්වකීය භාර්‍ය්‍යාවට තමා එපා වූ බව සඳහන් කරයි. දාදුකැට වශයෙන් බුළු ඇට උපයෝගී කරගත් බවත් එහි පළවෙයි. අක්ෂ ක්‍රීඩාව ගැන සඳහන් වන සූක්ත කීපයක් අථර්ව වේදයෙහි ද ඇතුළත් ය. දූකෙළිය බ්‍රහ්ම පුරාණයෙහි දැඩි සේ නිග්‍රහයට ලක්වූවකි. කිතවයාගේ බිරිඳ නිතර ම දුකින් පසුවෙන අතර ඔහු ද බිරිඳගේ දුක්මුසු තත්ත්වය දැක ශෝකවන බව එහි දැක්වේ. නල, යුධිෂ්ඨීර යන රජවරුන් අක්ෂ ක්‍රීඩාව කරණකොටගෙන ස්වකීය රාජෛශ්චර්‍ය්‍යයෙන් පවා ගිළිහී ගිය බව මහාභාරතයෙහි දැක්වේ. පස ඇට ආදී අප්‍රාණික වස්තු ආශ්‍රයෙන් කරන ක්‍රීඩා ද්‍යූත නමින් ද මේෂ කුක්කුටාදී ප්‍රාණීන් ආශ්‍රයෙන් කරන දූ කෙළි සමාහ්වය නමින් ද මනුස්මෘතියෙහි හැඳින්වේ. ද්‍යූත ක්‍රීඩාව ඇස් ඉදිරිපිට කරන සොරකමට සමාන බැවින් එබඳු දේට ඉඩ දීමෙන් රාජ්‍ය නාශය සිදුවෙන බව මනු ආදීන් සඳහන් කර ඇතත් ඇතැම් කාලවල ද්‍යූතශාලා තනා අධිකාරීන් (අක්ෂ චාපයන්) පත් කර ඔවුන් ඉදිරියේ දූ කෙළියට ඉඩ දීමෙන් ඒ මඟින් රජුට ආදායමක් ලැබෙන්නට සලස්වා තිබුණු බවත් සඳහන් වේ. සභාව මධ්‍යයෙහි අක්ෂ ක්‍රීඩාව සඳහා පිළියෙල කළ මේසයක් මත බුළු ලීයෙන් කළ අක්ෂ ඉරට්ට සංඛ්‍යාවක් තැබිය යුතු බවත් ක්‍රීඩකයන් උසස් වර්ණ තුනට අයත් පිරිසිදු චරිතයෙන් යුත් සත්‍යශීලීන් විය යුතු බවත් ආපස්තම්බ ධර්ම සූත්‍රයෙහි පැවැසේ. දශ කුමාර චරිතයෙහි සජීව නිර්ජීව සංඛ්‍යාත ද්‍යූත ක්‍රීඩාව ස්ත්‍රීන්ට ඉගැන්විය යුතු කලාවක් වශයෙන් දැක්වේ.
අක්ෂ ක්‍රීඩා ප්‍රභේද හා ක්‍රීඩා කරන පිළිවෙළ : අක්ෂ ක්‍රීඩාවේ ප්‍රභේද කීපයක් තිබුණු බව ඒ ඒ අවස්ථාවල යොදාගත් අක්ෂ සංඛ්‍යාවෙන් හෙළි වේ. විධුර ජාතකයෙහි සඳහන් වන හැටියට රජත ඵලකය මත තබා තිබුණු රනින් කළ පස ඇට අතින් සොලවා උඩට දැමූ බව ද මේ දූ කෙළියට මාලික, සාවට, බහුල, සන්නිභද්‍රාදි සූවිස්සක් අය ඇති බව ද ක්‍රීඩාව ආරම්භ කරන්නට මත්තෙන් තම තමන්ට අභිප්‍රාය අයෙක් තෝරාගත හැකි බව ද ක්‍රීඩකයාට ඉදින් අභිමත වී නම් පස ඇට අහසට දමා ඵලකයෙහි (දූ පෝරුවෙහි) වැටෙන්නට මත්තෙන් උඩ දී අල්ලාගෙන නැවත කීප වරක් වුව ද උඩ දැමිය හැකි බව ද පෙනේ. පළමුවෙන් ක්‍රීඩාවෙහි යෙදුණු කිතවයා පරාජය වූ විට දෙවැන්නාට පස ඇට දැමීමට අවස්ථාව ලැබේ.
බුළු ඇටවලින් හෝ බුළු ලීයෙන් කළ අක්ෂවලින් මේ ක්‍රීඩාව පැවැත්වූ බව තෛත්තිරීය සංහිතාදියෙහි දැක්වේ. අක්ෂ සෑදීම බුළු ඇටවලින් වී නම් අංක සටහන් කෙළේ කෙසේදැයි සිතාගත නොහැකිය. බුළු ඇට වෙනුවට අංක සටහන් කළ පැති සතරක් ඇති පාශක අක්ෂ ව්‍යවහාර වූ බවත් ඒවා උඩ දමන්නට මත්තෙන් දෙපක්ෂය මඟින් නියම කරගත් සංඛ්‍යාවක් දැමීමෙන් ජය පරාජය තීරණය කළ බවත් බුරුම ජාතිකයන් අතර ව්‍යවහාර වන විධුර ජාතකයෙහි දැක්වේ. ක්‍රීඩාව සඳහා අක්ෂ පහක් යොදන ලද බව ව්‍යඛයා කර්තෲන්ගේ ප්‍රකාශවලින් පෙනේ. ඉන් සතරක් කෘත නමින් ද පස්වැන්න කලි නමින් ද හැඳින්වේ. අක්ෂයක පැති සතරෙහි 4-3-2-1 යන අංක සටහන් කර තිබුණු බව ද යථෝක්ත අංක කෘත, ත්‍රෙතා, ද්වාපර, කලි යන නම්වලින් හැඳින්වුණු බව ද තවත් මතයකි. අක්ෂ පසේ ම අංක සටහන් කළ පැති උඩට හෝ යටට සිටින සේ ඒකාකාරව වැටුණොත් එකල කිතවයා දිනයි. නොඑසේ වී නම් පරදී. වෙනත් මතවලට අනුව ජයග්‍රාහක අංකය සතර යැයි හැඳින්වෙන බැවින් සියලු අක්ෂයන්ගේ ම සතර ලකුණු කළ පැති උඩුකුරුව හෝ යටිකුරුව වැටීම දිනීමට හේතු වේ යැයි සැලැකිය හැකිය. ජයග්‍රාහක අංකය සතරෙන් ඉතිරි නැතිව බෙදිය හැකි සංඛ්‍යාවක් විය යුතු බව සඳහන් වීමෙන් මේ මතය වැඩිදුරටත් ස්ථිර වේ. ඡාන්දෝග්‍ය උපනිෂද්හි දැක්වෙන පාඨයකින් ද චතුරංකය දිනුමට හේතුවන බව ඔප්පු වේ. ව්‍යාඛ්‍යා කර්තෘන් අතර පැවැති තවත් මතයක් නම් අක්ෂයන් උඩ දමා දූ පෝරුව මත වැටී උඩුකුරුව සිටි අක්ෂ සංඛ්‍යාව සතරෙන් බෙදා ශේෂය අනුව ජය පරාජය විසඳන බවයි. සතරෙන් බෙදූ විට එකක් ඉතිරි වී නම් කලි යයි ද දෙකක් ශේෂ වී නම් ද්වාපර යයි ද තුනක් ඉතිරි වී නම් ත්‍රෙතා යයි ද ශේෂයක් නොවී නම් කෘත යයි ද එය ම ජයග්‍රාහක අංකය බව ද සඳහන් වේ. මහා භාෂ්‍යයෙහි අක්ෂ පසකින් හෝ ඇත්දත් කැබැලි පසකින් කරන පඤ්චිකා නමැති දූ කෙළියක් ගැන සඳහන් කර තිබේ. යථෝක්ත අක්ෂ හෝ ඇත්දත් කැබැලි උඩ දැමූ කල පස ම උඩුකුරුව හෝ යටිකුරුව වැටුණොත් ඒවා උඩ දැමූ කිතවයා ජයග්‍රාහකයා වන බවත් නොඑසේ වී නම් පරාජය වන බවත් ව්‍යාඛ්‍යා කර්තෘ කියයි.
කිතවයන්ට ශලාකාදි අවශ්‍ය දේ සපයන ද්‍යූත ක්‍රීඩා ශාලාව භාරව සිටි නිලධාරියා ද්‍යූතාධ්‍යක්ෂ හෙවත් සභික යන නමින් හැඳින්වෙයි. පරාජිතයා විසින් ජයග්‍රාහකයාට ගෙවනු ලබන මුදල් (පරදු) පණ නම් වේ. අථර්වවේදයෙහි එය ග්ලහ නමින් හැඳින්වේ. ඔට්ටුව පණ සියයක් හෝ ඊට අධික ගණනක් වූ කල සියේට පහක් ද පණ සියයකට අඩු නම් සියේට දහයක් ද සභිකයාට අයකරගත හැකි බව ව්‍යවහාර ප්‍රකාශයෙහි සඳහන් වේ. අපරාර්කගේ මතය නම් ජයග්‍රාහකයාගෙන් සියේට පහක් ද පරාජිතයාගෙන් සියේට දහයක් ද ගතයුතු බවය. නාරද ස්මෘතියෙහි සියේට දහයක් හා කෞටිල්‍යයන්ගේ අර්ථ ශාස්ත්‍රයෙහි සියේට පහක් බැගින් දෙපක්ෂයෙන් ම ගැනීමට නියම කර තිබේ. කෞටිල්‍යයන්ගේ අර්ථශාස්ත්‍රයෙහි දැක්වෙන පරිදි ලෝකකණ්ටක වශයෙන් සැලැකෙන තස්කර සාහසිකාදි කූට කිතවයන් අසුකර ගැනීමට ඉවහල් වන බැවින් අනියම් ස්ථානවල දූකෙළි පැවැත්වීම වළක්වා නියමිත ස්ථානයෙක පමණක් එය පැවැත්වීමට යෝග්‍යවන පරිදි කටයුතු සම්පාදනය කිරීම ද්‍යූතාධ්‍යක්ෂකයා පිට පැවැරී තිබුණු යුතුකමකි. අනියම් ස්ථානයෙක දූකෙළි පැවැත්වීම පණ 12ක දඩයක් ගෙවිය යුතු වරදක් විය. දූ කෙළියේ දී හටගන්නා ආරාවුල් පිළිබඳ පැමිණිලිවල දී ජයග්‍රාහකය කිතවයාට නියමිත දඩය මෙන් දෙගුණයක් පරාජය වූ කිතවයාගෙන් ගත යුතුය යනු ස්වකීය ආචාර්යවරයාගේ මතය වුව ද, කෞටිල්‍ය එය නොපිළිගනී. පරාජිතයාට දඬුවම දෙගුණ වූ කල කිසිවිටෙක එය පැමිණිලි කිරීමට ඔහු ඉදිරිපත් නොවේ යයි හේ කියයි. කිතවයන් නොයෙක් විට කපටිකම් කරන බැවින් ද්‍යූතාධ්‍යක්ෂයා විසින් කූටකම්වලින් තොරවූ අක්ෂශලාකාදී ක්‍රීඩාවට අවශ්‍ය එක් එක් උපකරණ සමුදායකට කාකණීය බැගින් ගෙන නිතර ම ඒවා අවංක ලෙස සපයා දිය යුතු විය. හස්ත ප්‍රයෝගාදියෙන් වෙනත් අක්ෂ මාරු කළ අයට පණ 12ක් දඩ නියමිතය. කූට අක්ෂශලාකාදිය යොදන කිතවයාගෙන් නියමිත දඩය අය කර ගැනීමට පමණක් නොව ඔහු දිනූ ද්‍රව්‍ය (වස්තුව) අපහරණය කිරීමට ද ඉඩ දී තිබේ. අක්ෂයන්ගේ රේඛාදි සටහන් වෙනස් කිරීම හා පෙරළුණු පැති වෙනස් කිරීම ද ව්‍යාජ මණිමන්ත්‍රාදියෙන් බුද්ධි වංචනය කිරීම ආදිය ද දඬුවම් ලැබීමට සුදුසු වැරදිය. දිනූ හැම කිතවයාගෙන් ම සියේට පහක් ද ක්‍රීඩා සඳහා සපයන අක්ෂ ශලාකා චර්මපට්ටිකාදි උපකරණයන්ට කුලිය ද කිතවයන්ට සපයන ජලය හා ඉඩකඩ ආදියට සෑහෙන මුදලක් ද ද්‍යූතාධ්‍යක්ෂයාට අයකරගත හැකිය. මුදලට හා උගසට බඩු ගැනීමට ද ඔහුට ඉඩ දී තිබේ. අක්ෂ, භූමි, හස්ත යන දෝෂයන්ට හා වෙනත් කූට ක්‍රියාවලට ඉඩ තැබුවහොත් ද්‍යූතාධ්‍යක්ෂයා විසින් ද දඩයක් ගෙවිය යුතු යයි කෞටිල්‍ය කියයි.
රජයේ අවසර නොමැතිව හෝ කූට අක්ෂ ආදිය යොදමින් හෝ වෙනත් වඤ්චනික ක්‍රියා කරමින් හෝ ද්‍යුත ක්‍රීඩාවෙහි යෙදෙන්නන්ට සුනඛපාදාදි සටහන්වලින් හිස හංවඩු ගැසීම් ආදිය එකල පැවැති දඬුවම්වලින් සමහරකි.
රාජසූය යාගයේ දී පවත්වන අක්ෂ ක්‍රීඩාවක් ගැන මෛත්‍රායණීය සංහිතාදි ග්‍රන්ථවල සඳහන් වේ. මෙකී අක්ෂ ක්‍රීඩාව සඳහා රනින් නිම කළ අක්ෂ සියයකට හෝ සාර සියයකට හෝ දහසකට අධික සංඛ්‍යාවක් යොදනු ලැබේ. ක්‍රීඩාව අවසානයේ දී අධ්වර්යු පූජකයෝ මේ රජ දිග්විජය කෙළේය" යි කියමින් එයින් අක්ෂ පහක් රජුට පිළිගන්වති. මේ අක්ෂ පඤ්චකයෙන් රාජ්‍ය (දේශ) පහක් හැඟැවේ.
බෞද්ධ ග්‍රන්ථයන්හි එන කරුණු : අක්ෂ ක්‍රීඩාව පිරිහීමට හා විනාශයට හේතු වන බව බුදුරදුන් විසිනුදු දේශනා කරන ලදි. පරාභව සූත්‍රයෙහි-
ඉත්ථිධුත්තො සුරාධුත්තො
අක්ඛධුත්තො ච යො නරො
ලද්ධං ලද්ධං විනාසෙති
තං පරාභවතො මුඛං"යි
අක්ෂ ධූර්ත වූ මිනිසා ලද ලද දෑ විනාශ කරන බව ද එය ම පිරිහීමට දොරටුවක් බව ද කියැවේ. සිඟාලෝවාද සූත්‍රයෙහි ද වෙනත් බොහෝ තන්හි ද අක්ෂ ක්‍රීඩාවෙහි දොස් දක්වා තිබේ. ජාතක කථා ආදියෙහිත් අක්ෂ ධූර්තයා වනසට පැමිණි අයුරු දක්වා ඇත්තේය. අක්ෂ ක්‍රීඩාව ප්‍රිය කළ ධනඤ්ජය කෞරව්‍ය රජුට පූර්ණකයා සමඟ පස ඇට දැමීමෙන් පැරැදීම නිසා විධුර පණ්ඩිතයන් ජය පඬුරු වශයෙන් පාවාදීමට සිදු වූ බව විධුර ජාතකයෙහි සඳහන් වේ. දීඝනිකායෙහි සූත්‍ර කීපයක හා විනය පිටකයෙහි ද අක්ෂ ක්‍රීඩාව ගැන සඳහන්ව ඇත. (දාදුකෙළිය ද බ.) (සංස්කරණය:1963)