"අග්නිස්තම්භය" හි සංශෝධන අතර වෙනස්කම්
('මන්ත්‍රෞෂධ බලයෙන් හෝ යෝගාභ්‍යාස කිරීම් ආදි ක...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
14:36, 31 මැයි 2023 වන විට නවතම සංශෝධනය
මන්ත්‍රෞෂධ බලයෙන් හෝ යෝගාභ්‍යාස කිරීම් ආදි කිසියම් බලයකින් හෝ ගින්නෙහි ප්‍රකෘති ශක්තිය හෙවත් දවන ගතිය මැඩ පැවැත්වීම "අග්නිස්තම්භ" නම් වේ. මේ හැර ධ්‍යානාදි බලයකින් සිදු කළ හැකි අග්නිස්තම්භනය සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය සඩ්ඛ්‍යාවෙහි ලා සලකනු ලැබේ. "ඥානවිස්ථාර" (ඤාණවිප්ඵාර) නමින් හැඳින්වෙන සෘද්ධ විශේෂයෙන් ද අග්නියෙහි ප්‍රකෘති ශක්තිය මැඩ පැවැත්විය හැකි බව සඞ්කිච්ච තෙරණුවන්ගේ උත්පත්තිය පිළිබඳ කථා පුවතින් හෙළි වේ.
අග්නිස්තම්භය සුසැට කලාශිල්පයන්ගෙන් එකක් හැටියට ද තන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයන්හි ෂට්කර්මයන්ගෙන් හා අෂ්ට කර්මයන්ගෙන් එකක් වූ ස්තම්භන කර්මයෙහි කොටසක් හැටියට ද පැරණි ග්‍රන්ථයන්හි හැඳින්වේ. ස්තම්භ සඞ්ඛ්‍යාත අභිචාර කර්මයෙන් ක්‍රියා නිරෝධය කළ හැක්කේ අග්නියෙහි ම පමණක් නොවේ. ජල, බඞ්ග, සේනා, වෘෂ්ටි, වාග්විවාද, යාත්‍රා, මූත්‍ර, නෞකා, ශස්ත්‍ර හා වායු ආදිය ද ස්තම්භනය කළ හැකි බැව් තන්ත්‍ර සාරසංග්‍රහ ආදි ග්‍රන්ථවලින් හෙළි වේ.
පීඩාවකට නොපැමිණ ගිනි ස්පර්ශ කිරීම, ගිනි මත ඇවිදීම, මුඛය තුළ ගිනි රැඳවීම, දැවෙන දේ නිවීම ආදිය අග්නිස්තම්භනය මගින් කළ හැකි ක්‍රියාවන්ගෙන් සමහරකි. ශිශිර සෘතුව ද බුද සඳු දෙදින ද පූර්ණා තිථි (5.10.15) ද පශ්චිම දිශාව හා පාථිවිභූතයාගේ උදව් ද අග්නිස්තම්භන කර්මය සඳහා යොදා ගත යුතු සෘතු කාලාදිය වේ. මෙය සිදුකිරීමට යොදනු ලබන මන්ත්‍රෞෂධාදිය තාන්ත්‍රික ග්‍රන්ථයන්හි සඳහන් වේ.
(සංස්කරණය:1963)