"අටදාසන්‍යය (අටදාසන්නය)" හි සංශෝධන අතර වෙනස්කම්
('ජාතකට්ඨ කථාවේ මහානිපාතයෙහි එන මූගපක්ඛ ආදි දස...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
13:11, 1 ජූනි 2023 වන විට නවතම සංශෝධනය
ජාතකට්ඨ කථාවේ මහානිපාතයෙහි එන මූගපක්ඛ ආදි දසජාතකයන් අතුරෙන් මහාඋම්මග්ග, මහා වෙස්සන්තර යන ජාතක දෙක හැර සෙසු අටජාතකයෙහි ග්‍රන්ථිපදයන් සඳහා ලියන ලද සන්නයෙකි. මේ අටජාතකය නම්: මූගපක්ඛ හෙවත් තේමිය, මහාජනක, සාම, නිමි, ඛණ්ඩහාල, භූරිදත්ත, මහානාරද, කස්සප, විධුර යන ජාතක අට ය. ඇතැම් "අටජාතක" පුස්කොළ පිටපත්වල අටජාතකයන් දැක්වීමේ දී ඉහත සඳහන් මහානාරද කස්සප ජාතකය වෙනුවට මඛාදේව ජාතකය ඇතුළත් කොට ඇතැයි කියත්. තුන් සංගායනාවට නැඟී ගිය බුදුකැලිමහඅටුවාව මිහිඳුමාහිමියන් විසින් ලක්දිවට ගෙන එන ලදුව සිංහල භිෂූන්ට පෙළබසින් ම උගන්වන ලදි. සිංහල භික්ෂූන් එය හෙළබසින් ලියන ලද්දේය. පසු කලෙක බුදුගොස් හිමියෝ ඒ හෙළටුවා පාළියට නඟාලූහ. යළිදු හෙළඇදුරෝ පාළි අටුවාවන්ට සිංහල ගැටපද ලියාලූහ. අටදා සන්‍යය ද එබඳු ගැටපද අතුරෙන් එකෙකැයි සිතිය යුතුය. අටදාසන්‍යය කවර කලෙක කවුරුන් විසින් නිපදවන ලදදැයි නිශ්චය කිරීමට ප්‍රමාණ වූ සාධක නැත.
ජාතකට්ඨකථාව සඳහා ලියන ලද පරිවාර ග්‍රන්ථ බොහෝයි. එහි ජාතක කථාවස්තූන් සිංහල භාෂාවට නඟා ලියන ලද බහුකර්තෘක වූ ජාතක පොත විශාලතම වූයේ වෙයි. එය කුරුණෑගල රාජ්‍යසමයෙහි රචනා කරන ලද්දේය. සිංහල නිමිජාතකය, එළුඋමංදාව, වෙස්සන්තර ජාතකය, උම්මදන්තී ජාතකය යනාදිය වෙන වෙන ග්‍රන්ථයන් වශයෙන් පරිවර්තනය වූ ජාතකකථායි. රාජමුරාරීන්ගේ ජාතකගාථාසන්‍යය ජාතකදෙසනාපාළියට ලියන ලද ප්‍රශස්ත වූ පදගතාර්ථසන්නයෙකි. වෙසතුරුදාසන්‍යය, උමංදාසන්‍යය, ජාතකඅටුවා ගැටපදය, අටදාසන්‍යය යන ග්‍රන්ථ සතර ජාතකට්ඨ කථායෙහි එන ග්‍රන්ථිපදයන් නඟා ගෙන අරුත් පැවැසීම් වශයෙන් අමුතුව ලියන ලද කෘතීහු වෙත්. වෙසතුරුදා උමංදා ආදියට සන්න ගැටපද නිපැදුණු පසු අන්‍යතර ආචාර්‍ය්‍යවරයකු විසින් ජාතකට්ඨ කථායෙහි ඉතිරි කොටස සඳහා ජාතකඅටුවා ගැටපදය ලියන ලද බව සිතිය හැකිය. එය විධුර ජාතකයෙන් ඔබ්බට නොයයි. මෙසේ ජාතකට්ඨ කථාවට සන්න ගැටපද සැපැයුණ ද මහානිපාතයෙහි දසජාතකයන් අතුරෙන් මුලින් සිටි අටජාතකයෙහි ගැටපද අපරිපූර්ණ බව දුටු ආචාර්‍ය්‍යවරයකු විසින් මේ අටදාසන්නය ලියන ලද්දේ ය. මෙසේ ග්‍රන්ථාරම්භයෙහි "මේ අටජාතකයෙහි සෙසු ග්‍රන්ථි පද ඇත ද හෙ අනිශ්චය අපරිපූර්ණාර්ථ ඇති හෙයින් නිශ්චය කොටැ සම්පූර්ණාර්ථ ප්‍රකාශ කරනු කැමැති වැ මෙහි ග්‍රන්ථිපද සහිත වැ ගාථා පෙදෙහි අර්ථ අතිවිස්තර කොටැ කියනු ලැබේ" යයි එකරුණ පැහැදිලි කරන ලද්දේය.
බොහෝ ගත්කරුවන් ගාථාබන්ධනයෙකින් රත්නත්‍රයාභිවාදනය කළ අතර අටදාසන්නයෙහි ඒ සඳහා ගද්‍යඛණ්ඩයෙක් යොදන ලද්දේය. ඇතැම් තැනෙක විස්තරාර්ථ දක්වමින් ද ගාථාවනට සපුරා අර්ථ ලියමින් ද, රචනා කළ අටදාසන්නය දොළොස්වැනි සියවසින් ඈතට නොයන සේයි. දුෂ්කර පාලි වචනයන්ගේ අර්ථ විමසීමෙහි ලා අටදාසන්නයෙන් ලැබෙන වහල මහති. තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන් පවා පඤ්චිකා ප්‍රදීපයෙහි දී අටදාසන්‍යයෙන් සාධකපාඨ උපුටාගත් බව සැලකිය යුතුය. පැරණි භාෂා ව්‍යවහාරය අතින් ද මෙය සැලකිය යුතු ග්‍රන්ථයෙකි.
මේ ග්‍රන්ථය 1954 දී මැදඋයන්ගොඩ විමලකිත්ති, නෑහින්දේ සෝමින්ද යන තෙරවරුන් විසින් සංස්කරණය කොට තිබේ. මීට පෙර, සිංහල භාෂාවිෂයෙහි බැසගත් බුද්ධිපාටවය ඇති බටුවිට අභයගුණරත්න පඬිතුමා විසින් අටදාසන්නයේ තේමිය ජාතක සන්නය පමණක් සංශෝධනය කොට ප්‍රකාශිතයි.
(සංස්කරණය:1963)