"අටුවා" හි සංශෝධන අතර වෙනස්කම්
('ත්‍රිපිට කපාළියෙහි ඇතුළත් වූ, අර්ථ වශයෙන් ද අධ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
14:43, 1 ජූනි 2023 තෙක් සංශෝධනය
ත්‍රිපිට කපාළියෙහි ඇතුළත් වූ, අර්ථ වශයෙන් ද අධිප්පාය හෙවත් භාව වශයෙන් ද ගැඹුරු වූ පදයනට කරන ලද අර්ථ වර්ණනාව අටුවා නම් වෙයි. ඒ "අටුවා" යන හෙළවදන පාළියෙහි "අට්ඨකථා" ශබ්දය ප්‍රභව කොට ඇත්තේය. දේශනාපාළියෙහි ද අටුවා ටීකාදියෙහි ද නොඑක් තැන අත්ථ, අත්ථවණ්ණනා, අට්ඨකථා යන ශබ්දයන්ගෙන් අටුවාව හඳුන්වා ඇත. ධම්පියා අටුවා ගැටපදයෙහි "පරම්පරා’භතා තස්ස නිපුණා අත්ථවණ්ණනා" යන්නට සන්න ලියන තැන "අත්ථවණ්ණනා, අටුවායි. අත්ථො වණ්ණීයති එතායාති අත්ථවණ්ණනා" යනු දක්වමින් අත්ථවණ්ණනා අටුවා නමැයි ද මෙ කරණකොට ගෙන අර්ථය වර්ණනා කරනු ලැබේ නුයි "අත්ථවණ්ණනා" නම් වී යයි ද පවසන ලද්දේය.
හුදෙක් දේශනාපාළියෙහි දී අර්ථකථාව දැක්වීමට "අත්ථ" යන වචනය වදාළ බව දක්නට ඇත. භික්ෂුවිභංගයෙහි වදාළ "අත්ථූපසංහිතො" යන්නට සමන්තපාසාදිකා (බ). විනය අටුවාවෙහි "අත්ථූපසංහිතො’ති අට්ඨකථානිස්සිතො" (අත්ථූපසංහිතො යනු අටුවාව ඇසිරු කෙළේ) යන අර්ථය දක්වා ඇත. එසේ ම මනෝරථපූරණියෙහි "අත්ථකුසලොති අට්ඨකථාය ඡෙකො, අත්ථ මඤ්ඤාය ධම්මමඤ්ඤායාති අට්ඨකථඤ්ච පාළිඤ්ච ජානිත්වා"යි අත්ථ යන්නෙන් අර්ථකථා (අටුවාව) ද ධම්ම යන්නෙන් පාළිය ද හඳුන්වන ලද්දේය. මෙසේ විනයෙහි හා සඟිවල ද අනේක ස්ථානයෙහි පෙළත් අටුවාවත් ධම්ම, අත්ථ යන වචනයන්ගෙන් සඳහන් කොට ඇති හෙයින් අටුවාව ද බුද්ධකාලීන බව පිළිගත යුතුය.
දැන් ඒ අටුවාව කවුරුන්ගේ දේශනාවක් ද කවුරුන් විසින් සංගෘහීත ද කවුරුන් විසින් ගෙන එන ලද ද කවුරුන් විසින් කෙසේ ලියන ලද ද කෙසේ ලොවැ ව්‍යාප්ත වී ද යනාදි ප්‍රශ්න විමසිය යුතුය. අටුවාව කවුරුන්ගේ දේශනාවක් ද යත් "තත්ථ තත්ථ භගවතා පවත්තිතා පකිණ්ණක දේසනා අට්ඨකථා" (සාරත්ථදීපනී) යි බුදුරදුන් විසින් ඒ ඒ තැන්හි දී පවත්වන ලද ප්‍රකීර්ණකදේශනාව ම අට්ඨකථා නම් වේ යයි කී හෙයින් ත්‍රිපිටකයෙහි පාළිය සෙයින් ම අට්ඨකථාව ද බුදුරදුන්ගේ ම දේශනා බව පිළිගත යුතු වෙයි. අනුමෝදනා වශයෙන් ද අවවාද වශයෙන් ද දානසීලාදි ආනුපුබ්බිකථා (පිළිවෙළකථා) වශයෙන් ද දිනපතා වදාළ නොයෙක් දේශනා ත්‍රිපිටකයෙහි සංග්‍රහ වී නැත. විමතිවිනෝදනී විනයටීකායෙහි ද "භගවතො පඛිණ්ණකදෙසනා භූතා ච සුත්තානුලොමභූතා ච අට්ඨකථා" (පඨම පාරාජික වණ්ණනා) යි බුදුරදුන්ගේ පකිණ්ණක දේසනාව ද සුත්තානුලෝමය ද අටුවා වූ සැටි දක්වා ඇත. තවද "සම්මාසම්බුද්ධෙනෙව හි තිණ්ණං පිටකානං අත්ථ සංවණ්ණනාක්කමො භාසිතො; යා පකිණ්ණක දෙසනාති වුච්චති" යනුවෙන් අංගුත්තරනිකායට්ඨ කථාටීකායෙහි "පකිණ්ණකදේසනා" යයි කියනු ලබන තුන්පිටකයේ අර්ථසංවර්ණනාක්‍රමය (අටුවාව) සම්මාසම්බුදුන් විසින් ම වදාරන ලදැයි අවධාරණයෙන් ම දක්වන ලද්දේය. මෙසේ බොහෝ තැන්හි දක්නට ලැබෙන සාධක අනුව අට්ඨකථාව බුදුරදුන් විසින් වදාළ දෙයින් නඟාගත් බව ද එහෙයින් උන්වහන්සේගේ ම දේශනා බව ද නිශ්චය වේ. යළි අටුවාව කවුරුන් විසින් සංගෘහීත ද යත්:
"අත්ථප්පකාසනත්ථං-
අට්ඨකථා ආදිතො වසිසතෙහි
පඤ්චහි යා සංගීතා -
අනුසංගීතා ච පච්ඡාපි"
(සුමංගලවිලාසිනී)
මහාකාශ්‍යපාදි පන්සියයක් මහරහතුන්වහන්සේ විසින් ප්‍රථම ධර්මසංගීතියෙහි දී ත්‍රිපිටකය සංගායනා කොට අනතුරුව ඒ ත්‍රිපිටකයෙහි අර්ථ ප්‍රකාශ කරනු සඳහා යට කී පරිදි බුදුරජාණන්වහන්සේ වදාළ ප්‍රකීර්ණක දේශනාවෙන් නඟා ගෙන අර්ථ කථාව ද සංගායනා කරන ලද්දීය. පසුව සබ්බකාමී මොග්ගලිපුත්තතිස්සාදි මහරහතුන් විසින් අනුසංගීත ද වූවාය.
තව ද මේ අට්ඨකථාපාළිය කිසිතැනෙක "ආචරියවාද" යයි ද කියන ලද්දේ "ආචරියා වදන්ති සංවණ්ණෙන්ති පාළිං එතෙන" යන නිරුක්ති අර්ථය සලකාගෙනය. සාරත්ථදීපනියෙහි "යදිපි තත්ථ තත්ථ භගවතා පවත්තිතා පකිණ්ණකදේසනාව අට්ඨකථා, සා පන ධම්ම සංගාහකෙහි පඨමං තීණි පිටකානි සංගායිත්වා තස්ස අත්ථවණ්ණනාරූපෙනෙච වාචනාමග්ගං ආරොපිතත්තා ආචරියවාදොති වුච්චති"යි ඒ ඒ තැන දී භාග්‍යවතුන් වහන්සේ විසින් පවත්වන ලද ප්‍රකීර්ණකදේශනාව ම අට්ඨකථා වී නමුදු එය ධර්ම සංග්‍රාහක තෙරවරුන් විසින් මුලින් ම තුන්පිටකය සංගායනා කොට ත්‍රිපිටකයේ අර්ථවර්ණනා ස්වරූපයෙන් ම වාචනා මාර්ගයට ආරෝපණය කළ හෙයින් ආචරියවාද යයි කියනු ලැබේ යයි දක්වා ඇත. මෙහි ප්‍රකාශ වූ සාධක අනුව තෙවළා අටුවාව බුද්ධභාෂිත වූ පරිදි දු එය ආචරියවාද යයි හඳුන්වාලීමෙහි යුක්ති දු මැනැවින් හෙළි විය.
යළි අටුවාව කවුරුන් විසින් කෙසේ ගෙන එන ලද ද යත්: අභිධර්ම අටුවායෙහි-
"යා මහාකස්සපාදීහි වසීහට්ඨකථා පුරා
සංගීතා අනුසංගීතා පච්ඡාපි ච ඉසීහි යා
ආභතා පන ථෙරෙන මහින්දෙන තමුත්තමං
යා දීපං දීපවාසීනං භාසාය අභිසඞ්ඛතා"
යනාදීන් පෙර මහකසුප් ඈ මහරහතුන් විසින් යම් අටුවාවක් සංගායනා කරන ලද නම්, පසුව දෙවැනි තෙවැනි සංගීතිවල දීත් සබ්බකාමී මොග්ගලීපුත්තතිස්සාදි මහරහතුන් විසින් අනුසංගීත වූවා නම්, ඒ අටුවාව මහ මිහිඳු තෙරුන් විසින් ලක්දිවට ගෙන එන ලදුව හෙළ ඇදුරන් විසින් දීපභාසායෙන් ලියා තබන ලදැයි ද ඒ හෙළටුවා (බ.) යෙහි භාෂාව පමණක් බැහැර කොට පෙළබසට නඟන ලදැයි ද කියන ලද්දේය.
අටුවා ලිවීම: මෙහි දැක්වූ කරුණු අනුව අටුවාව බුදුරදුන්ගේ ම දේශනාවක් බව ද මහාකාශ්‍යපාදි මහතෙරවරුන් විසින් සංගීතව තුන්වැනි සංගායනාව තෙක් ඇදුරු පරපුරෙන් මුඛපාඨ වශයෙන් ගෙන එන ලද බව ද ඊට පසු මිහිඳු මහ තෙරුන් විසින් ලක්දිවට ගෙන එන ලදුවැ සිංහල භික්ෂූන් විසින් හෙළ බසින් ලියා තැබූ බව ද පැහැදිලිය. මෙසේ ඇති කල්හි දු "මිහිඳු මහතෙරුන් විසින් සිංහල භාෂාවෙන් කරන ලද ශුද්ධ වූ සිංහලාර්ථකථා" යනාදි සිංහල මහාවංශයෙහි (37.229) එන වාක්‍යය බලා හෙළටුවා ලියා තැබුවෝ මිහිඳුමාහිමියෝ යයි කිසිකෙනෙක් කියති. එහෙත් අටුවා ඇදුරන් හෝ ටීකාචාර්‍ය්‍යවරයන් විසින් මේ අදහස දක්වා නැත. ශ්‍රී ශාරීපුත්‍රසංඝරාජයන් විසින් සාරත්ථදීපනී විනයටීකායෙහි "සොයෙව ච මහාමහින්දත්ථෙරෙන තම්බපණ්ණිදීපං ආහතො පච්ඡා තම්බපණ්ණියෙහි මහාථෙරෙහි නිකායන්තරලද්ධිසංකර පරිහාරත්ථං සීහළභාසාය ඨපිතො"යි තුන් සංගායනාවට නැඟී ගිය ඒ අටුවාව ම මිහිඳු මහතෙරුන් විසින් හෙළදිවට ගෙන එන ලදුයේ පසුවැ හෙළදිව්වැසි මහතෙරවරුන් විසින් නිකායාන්තරලබ්ධීන් හා සංකර වීම වළකනු සඳහා සිංහල භාෂායෙන් තබන ලදැයි දක්වන ලද්දේය. කසුප් මහරජහු විසිනුදු දහම්පියා අටුවා සන්‍යයෙහි "මගධබසින් වැටෙමින් ආ බුදුකැලි අටුවා හෙළදිව ඇජුරො හෙළුබසින් තුබූහ. ඔවුන් තුබූ නියායෙන් තුමන් අටුවා කරනතාක් සිටි බැවින් සණ්ඨිතා යූහු" යනුයෙන් හෙළටුවා සිංහල ඇදුරන් විසින් ම ලියූ බව කියන ලද්දේය. මෙහි "බුදුකැලි (බුද්ධකාලයෙහි වූ) අටුවා" යයි කියන ලද්දේ යට දැක්වූ පරිදි ත්‍රිවිධ සංගායනාවට නැඟී ආ බුදුරදුන්ගේ පකිණ්ණක දේසනා සංඛ්‍යාත අට්ඨකථාව මැය. මිහිඳු මහතෙරුන් ලක්දිව අතැවැසියන්ට උගන්වාලූයේත් පසුව හෙළදිව ඇදුරන් හෙළබසින් ලියා තුබූයේත් නැවත බුද්ධඝෝෂාදි අටුවා අදුරන් පෙළබසට නඟාලූයේත් ඒ අටුවාව මැයි.
මෙකල අපට දක්නට ලැබෙන ත්‍රිපිටකයට ම අයත් පාලි අටුවා පොත්වල බුද්ධකාලයෙන් ශතවර්ෂ කීපයකට පසුවැ ලක්දිව සිදුවූ ප්‍රවෘත්ති ද ආණ්ඩුක්‍රම හා සාමාජික සිරිත් විරිත් ආදිය ද වෙනත් ඓතිහාසික ප්‍රවෘත්ති ද බෙහෙවින් දක්නට ඇත. එසේ ම ආචාර්‍ය්‍යවාද හා ඔක්කන්තික විනිච්ඡය වශයෙන් පැවැති ධර්මදේශනා ද අටුවාකථායෙහි ම දක්නට ලැබෙන්නේය. (විනය අටුවාවෙහි අධිකරණවිනිශ්චය, විභංගඅටුවාවෙහි කර්මවිභාගය ආදියෙහි මෙකරුණු විස්තරව ඇත.) එහෙයින් මේ බුද්ධකාලීන අටුවාව නොවෙතැයි ඇතැම් කෙනෙක් කියති. මෙය ද විමසිය යුත්තෙකි. අටුවා පරිවර්තනය: සිංහලයෙන් ලියා තුබූ මූලට්ඨකථාව ම, පුන පුනා කියා තුබූ අර්ථ හැර විස්තර කථාමාර්ගය ද සංක්ෂිප්ත කොට බුද්ධඝෝෂාදි අටුවා ඇදුරන් පාලිභාෂාවට නඟා ලූ බව කියන ලද්දේය. මිහිඳු මහතෙරුන් විසිනුදු සිංහල අතැවැසියනට ආචාර්‍ය්‍යවාද සහිත සංගායනාත්‍රයට නැඟී ගිය අටුවාව උගන්වා ලූ බව නොයෙක් තැන සඳහන් වෙයි. එහෙයින් බුදුකැලි අටුවා හෙළ බසින් ලියන ඇදුරන් විසින් ඒ ඒ වර්ණනා විෂයයන් සඳහා නිදර්ශන වශයෙන් තමනට ප්‍රත්‍යක්ෂ වූ තත්කාලීන ප්‍රවෘත්ති අටුවා අතුරෙහි ලියා තැබූ බව සිතිය යුතුය. බුදුගොස් හිමියන් විසින් ද මේ දැක්විණි.
"සුත්තානං පන අත්ථා - න විනා වත්ථූහි යෙ පකාසන්ති
තෙසං පකාසනත්ථං - වත්ථූනිපි දස්සයිස්සාමි"
(මනොරථපූරණී)
"කථාවස්තූන්ගෙන් තොර වැ යම් සූත්‍රාර්ථ කෙනෙක් ප්‍රකාශ නොවෙත් නම් එබඳු තැන්හි කථාවස්තූන් දක්වන්නෙමි" යනු එහි අදහසය. හෙළටුවා ලියූ ආචාර්‍ය්‍යවරයන් විසින් සූත්‍රයක අර්ථය (අටුවාව) අවබෝධ කරවනු සඳහා නිදානකථා අර්ථෝද්ධාර ධර්මප්‍රභේද සාධකසූත්‍ර ජාතකකථා හා තත්කාලීන ප්‍රවෘත්ති ද සුදුසු සේ ලියන ලද්දේය. එහෙත් ග්‍රන්ථලාඝවය අපේක්ෂා කළ බුදුගොස් හිමියෝ තමන්ගේ ආදිම කෘතිය වූ විසුද්ධිමග්ගය මධ්‍යම අටුවාව ලෙස තබාගෙන සඟි අටුවා පරිවර්තන කළහ. එනම්: ශීලකථා, ධුතංග, කර්මස්ථානවිභාග, සද්ධාදිචරියාවිධාන, ධ්‍යාන සමාපත්තීන්ගේ විස්තර, අභිඥා, ප්‍රඥාවිනිශ්චය, බන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රිය, චතුරාර්‍ය්‍යසත්‍ය ප්‍රතීත්‍යසමුත්පාද දේශනාව, විදර්ශනාභාවනා ක්‍රම යන කරුණු විසුද්ධිමග්ගයෙහි සපුරා විස්තර කළ හෙයින් සඟි අටුවාවල කවර තැනක හෝ එ කරුණු විසුද්ධිමග්ගයෙන් බලාගත හැකි සේ සඳහන් කොට ඇත. නිදසුන් වශයෙන් දික්සඟියේ සාමඤ්ඤඵල සූත්‍රයෙහි ඉන්ද්‍රියසංවරය විස්තර කරන අටුවායෙහි "සෙසපදෙසු යං වත්තබ්බං සියා තං සබ්බං විසුද්ධිමග්ගෙ විත්ථාරිතං"යී "චක්ඛුනා රූපං දිස්වා" යන පදයට අටුවා ලියා සෙසු පදයන්හි කියයුතු සියල්ල විස්දුධිමග්ගයෙහි කියන ලදැයි සංක්ෂිප්ත කොට ඇත. මෙසේ විසුද්ධිමග්ගය මධ්‍යස්ථාන කොට සඟි අටුවා ලියා ඇති බව සැලකිය යුතුය. එකවරක් ලියූ අර්ථය පවා නැවත නැවත නොලීහ. දික්සඟි මැදුම්සඟි අටුවාවල විස්තර කළ තැන් පසුව ලියූ අටුවාවල සංක්ෂිප්ත කළහ. ඇතැම් ප්‍රවෘත්ති නොලියා හළහ. මේ එබඳු තැනෙකි: "පටිසන්ථාරානිසංසදීපනත්ථඤ්ච චොරනාගවත්ථු, භාතරා සද්ධි ජම්බුදීපගතස්ස මහානාගරඤ්ඤො වත්ථු, පිතුරාජස්ස රජ්ජෙ චතුන්නං අමච්චානං වත්ථු, අභයචොරවත්ථුති එවමාදීනි බහූනි වත්ථුනි මහාඅට්ඨකථායං විත්ථාරතො වුත්තානි. තත්‍රායං එකවත්ථුදීපනා" (සමන්තපාසාදිකා)යී පටිසන්ථාගාරයෙහි ආනිසංස දැක්වීම සඳහා චොරනාගරජුගේ වස්තුව, සොහොයුරා සමඟ දඹදිවට පලාගිය මහානාග රජුගේ වස්තුව, පිතුරාජ නම් වූ වළගම්බා රජුගේ රාජ්‍යයෙහි ඇමැතියන් සතර දෙනාගේ වස්තුව, අභය නම් සොරාගේ වස්තුව යන මේ ආදි වූ බොහෝ වස්තූහු මහඅටුවායෙහි විස්තර වශයෙන් කියන ලද්දාහුය. මෙහි එයින් එක් වස්තුවක් දැක්වීමෙකැයි අභයචෝර වස්තුව පමණක් දක්වා අන් සියල්ල බැහැර කරන ලද්දේය. සිංහල රජුන්ගේ අභිෂේක විධානය පිළිබඳව මහාවංසටීකායෙහි එන දීර්ඝ විස්තරය මහඅටුවාවේ මහාසීහනාද සූත්‍ර වර්ණනාවෙන් ගන්නා ලදැයි කියා ඇති නමුදු බුදුගොස් හිමියන්ගේ මහාසීහනාද අටුවායෙහි එබඳු විස්තරයක් තුබූ බවකුදු නොකියා ම බැහැර කොට ඇත. බුදුගොස් මහතෙරුන් මසේ ග්‍රන්ථලාඝවය සඳහා හෙළටුවායෙහි බැසගෙන සිටි දේශීය ප්‍රවෘත්ති බැහැර කිරීම පාලි අටුවාවට හානි නැත ද, හෙළටුවා අභාවයට යෑමෙන් පසු දේශීය ප්‍රවෘත්ති විමසනුවනට සිදුවූ පාඩුව පිරිමසාලිය නොහැකිය.
දේසනාපාළියෙහි එන ඒ ඒ සූත්‍රාන්තාදියෙහි ඇතුළුව සිටි ගණ්ඨිපද අත්ථපදයන් විස්තර කෙරෙමින් බුදුරදුන්ගේ අදහස මතු කොට දැක්වීම අටුවාවකින් සිදුවිය යුතු සේවයයි. එහි යම් සූත්‍රපදයක අර්ථය අවිශද නම්, නොදත හැකි නම් ඒ පදය "ගණ්ඨිපද" නමි. (‘යස්ස හි පදස්ස අත්ථො දුවිඤ්ඤෙය්‍යො තං ගණ්ඨිපදං’-විසුද්ධිමග්ගටීකා.) යම් පදයක භාවය-අදහස නොපැහැදිලි නම්, නොදත හැකි නම් ඒ පදය "අත්ථපද" නමි. (යස්ස අධිප්පායො දුවිඤ්ඤෙය්‍යො තං අත්ථපදං.) මේ ගණ්ඨිපද අත්ථපදයන් වර්ණනා කිරීම සඳහාය, අටුවා ඇදුරන් බුදුරදුන්ගේ ප්‍රකීර්ණකදේශනා උපයෝගී කරගන්නා ලද්දේ. බුදුකැලි අටුවා නමුදු ඒ මැයි. පසුව අටුවා ග්‍රන්ථාරූඪ කළ පොරණැදුරන් විසින් අර්ථෝද්ධාර නිරුක්ති සාධක සූත්‍ර නිදර්ශනකථාදිය ද ඇතුළු කොට ලියා තැබූ බව පෙනේ.
අටුවා ස්වරූපය: සූත්‍රයක අටුවාවක් විමසනු මැනවි: "නාහං භික්ඛවෙ අඤ්ඤං එකරූපම්පි සමනුපස්සාමි. යං එවං පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති, යථයිදං ඉත්ථිරූපං. ඉත්ථිරූපං භික්ඛවෙ පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති" (අංගුත්තරඑකකනිපාත) යන රූපපරියාදාන සූත්‍රය අටුවා කළ සැටි දක්වනු ලැබේ. "නාහං භික්ඛවෙ" යනාදියෙහි "න" කාරය ප්‍රතිෂෙධාර්ථයැ; "අහං"යී තමන්වහන්සේ දක්වති; "භික්ඛවෙ"යී භික්ෂූන් ආමන්ත්‍රණ කෙරෙති; "අඤ්ඤං" යනු දැන් කියයුතු ස්ත්‍රීරූපයෙන් අන්‍ය වූ; "එකරූපම්පි" යනු එක ද රූපයක්; "සමනුපස්සාමි" යන තැන්හි සමනුපස්සනා දෙකෙකි: ඥාණසමනුපස්සනායැ, දිට්ඨිසමනුපස්සනායි. "අනිච්චතො සමනුපස්සති නො නිච්චතො" යන තැන්හි ආයේ ඤාණසමනුපස්සනායැ, "රූපං අත්තතො සමනුපස්සති" යන තැන්හි දිට්ඨිසමනුපස්සනායි. ඒ සමනුපස්සනා දෙක අතුරෙන් මෙහි ඤාණසමනුපස්සනාව අදහස් කරන ලදි. "සමනුපස්සාමි" යන පදය "න" කාරය හා සම්බන්ධ යයි දතයුතු. එහෙයින් මේ අර්ථය කියන ලද වෙයි: "මහණෙනි, මම් සබ්බඤ්ඤුතඤාණයෙන් බලන්නෙම් නමුදු අන් එක රූපයකුදු නොදක්නෙමි" යනුයි. "යං එවං පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති" යනු යම් රූපයක් රූපගරුක පුරුෂයාගේ චතුභූමකකුසලචිත්තය පරියාදාන කොට සිටී ද යන අර්ථයි. "පරියාදාන" නම් ගැනීම හා ගෙවීමය. එහි රූපය කුසල් සිත ගන්නේ මිනිසෙක් නිලුපුල් කලබක් මෙන් නොගනී, ගෙවන්නේ ගින්න උදුනෙහි තුබූ දියසැළියක් උණුසුමෙන් සිඳුවන්නාක් මෙන් නොගෙවයි. කුසල් සිත ඉපදීම වළකාලීමෙන් ගන්නේත් ගෙවන්නේත් වෙයි. "පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති" යයි කියන ලද්දේ එහෙයිනි.
යට දැක්වූ අටුවා ලිවීමේ දී "සමනුපස්සාමි", "පරියාදාය" යන පද දෙක විස්තර කොට අන්‍ය පදයනට අර්ථ පමණක් දැක්වූ සැටි විමසිය යුතුය. අනතුරුව "යථයිදං ඉත්ථිරූපං" යන්නට "යම් සේ මේ ස්ත්‍රියගේ රූපය"යි අර්ථ කියා "කිඤ්ච භික්ඛවෙ, රූපං වදෙථ රුප්පතීති ඛො භික්ඛවෙ තස්මා රූපන්ති වුච්චති. කෙන රුප්පති සීතෙනපි රුප්පති" යන ඛන්ධ සංයුත්තයෙහි සූත්‍රපාඨය එළවා මේ සූත්‍රයාගේ අනුසාරයෙන් රූපයාගේ වචනාර්ථය ද සාමාන්‍ය ලක්ෂණ ද දතයුතු යයි කියන ලද්දේය. "රූප" ශබ්දය අර්ථාන්තරයෙහි දු වැටෙන හෙයින් මෙතැන්හි අර්ථෝද්ධාරය මෙතැනට නිසි අර්ථය උපුටා දැක්වීම-ද අවශ්‍ය විය.
ඒ මෙසේය: "අයං පන රූපසද්දො ඛන්ධ-භව-නිමිත්ත-පච්චය-සරීර-වණ්ණසණ්ඨානාදිසු අනෙකෙසු අත්ථෙසු වත්තති"යි මේ රූප ශබ්දය ස්කන්ධ භව නිමිත්ත ප්‍රත්‍යය ශරීර වර්ණසංස්ථානාදි නොයෙක් අර්ථයන්හි වැටේ යයි කියා මේ එක් එක් අර්ථයෙහි යෙදෙන තැන් නිදසුන් කරන ලද්දේය. "ඉධ පනෙස ඉත්ථියා චතුසමුට්ඨානෙ රූපායතන සංඛාතෙ වණ්ණෙ වත්තති"යි මේ සූත්‍රයෙහි ඒ රූපශබ්දය ස්ත්‍රියගේ චතුසමුට්ඨාන රූපායතන සංඛ්‍යාත වර්ණයෙහි වැටේ යයි රූප ශබ්දයට මේ සූත්‍රයෙහි දී යෙදෙන අර්ථය නඟා දැක්විය. අවසානයෙහි "තත්‍රීදං ඉත්ථිරූපස්ස පරියාදානානුභාවෙ වත්ථු"යි ස්ත්‍රීරූපයාගේ පරියාදානයෙහි අනුභාව දැක්වීම සඳහා මහදැළියාමානා රජුගේ කාලයෙහි සිදුවූ පුවතක් හා සැදෑතිස් රජුගේ කාලයෙහි සිදුවූ පුවතක් හා කැලණිවෙහෙර වැසි පැවිද්දකුගේ පුවතක් හා නිදසුන් කරන ලද්දේය.(මනෝරථපූරණී).
මෙබඳු අටුවා ප්‍රදේශයන් නුවණින් විමසන්නකුට අටුවාව, අටුවා විස්තරය, අර්ථොද්ධාරය හා නිදර්ශන සඳහා බැහැරින් ගත් ප්‍රවෘත්ති ද වෙන් වෙන් වශයෙන් තේරුම් ගත හැකිය. මේ බැහැරින් ගත් නිදර්ශනකථා පැරණි හෙළටුවායෙහි නොවී යයි ද, පරිවර්තන කළ අටුවා ඇදුරන් විසින් පසුව ඇතුළු කරන ලදැයි ද කිසිකෙනෙක් සිතති. එහෙත් යට දැක්වූ බුදුගොස් හිමියන්ගේ පටිසන්ථාරානිසංස පිළිබඳ සමන්තපාසාදිකා පාඨයෙන් ඒ මතය බැහැර වෙයි.
තවද ඇතැම් කෙනෙක් මූලට්ඨකථා, මහාඅට්ඨකථා ආදි නම්වලින් නොයෙක් තැන්හි හැඳින්වෙන "බුදුකැලි මහඅටුවාව" නම් චූළනිද්දේස මහානිද්දේස පදභාජනිය නාමයෙන් හැඳින්වෙන ශික්ෂා පද නිර්දේශාදිය විය හැකි යයි සිතති. එසේ ම විනයපිටකයෙහි පොත්වලට පැරණි අටුවාවල කොටස් එකතු වී ඇතැයි ද විමති උපදවති. සංගීතප්‍රවෘත්තිය නුවණින් විමසන විට එබඳු විමතියකට ඉඩෙක් නැත. සංගීති සූත්‍ර, දසුත්තර සූත්‍ර ආදිය මෙන් ම පටිසම්භිදාමග්ගය හා නිද්දේස පාළිය ද දම්සෙනෙවි සැරියුත් මහතෙරණුවන් විසින් ත්‍රිපිටකය අළලා ඒ ඒ දහම් කොටස් විභාග කිරීම් වශයෙන් දෙසන ලදුයේ බුදුරදුන් විසිනුදු අනුමත විය. සංගීතිකාරකයන් විසිනුදු ඇතැම් ශ්‍රාවක භාෂිතයක් නිකාය (සඟි) වලට ඇතුළු කළ අතර පටිසම්භිදාමග්ග නිද්දේස දෙක වෙන ම ග්‍රන්ථ වශයෙන් පෙළට ඇතුළු කළහ. එහි නිද්දේස පාළිය ඛුද්දකනිකායේ එකොළොස්වැනි ග්‍රන්ථය ලෙස සංග්‍රහ කොට ඇත. එහෙයින් මුල දී අටුවාවක් වශයෙන් සංගීතව තිබී පසුව පෙළට ඇතුළු වී යයි සිතීම සාවද්‍යය. බුදුන් ජීවමාන සමයෙහි අටුවාවක් ව තිබී මහාකාශ්‍යප ආනන්දාදි තෙරවරුන් අතින් සංගීතියේ දී පෙළට ඇතුළු වී යයි සිතීම ද එබඳු මය.
නිද්දේසය අටුවාවක් ද? විසුද්ධිමග්ග-සීලනිද්දේසයෙහි "ආචාරගොචරසම්පන්නො" යනාදි පද විස්තර කරන්නට බුදුගොස් තෙරණුවෝ පළමු කොට පාළියෙහි ආ නයින් ම අර්ථ දතයුතු යයි දක්වා "ආචාරගොචරසම්පන්නොති අත්ථි ආචාරො අත්ථි අනාචාරො" යනාදීන් ධ්‍යාන විභංගයෙහි පෙළ ඉදිරිපත් කළහ. අනතුරුව "අපිචෙත්ථ ඉමිනාපි නයෙන ආචාරගොචරා වෙදිතබ්බා" (තවද මෙහි මේ නයින් ද ආචාරගෝචරයෝ දතයුත්තාහ)යි කියා පුරාභේද සූත්‍රයෙහි පස්වැනි ගාථාවට අගසවු සැරියුත් මහතෙරුන් වදාළ නිද්දේසපාළිය ඇර දැක්වූහ. ඊට අනතුරුව "අපිච භික්ඛු සගාරවො සප්පතිස්සො" යනාදීන් අන් අයුරකිනුදු ආචාර ගෝචර දෙක විස්තර කළහ. මේ පදයට ටීකා ලියන භදන්තාචරිය ධම්මපාල තෙරුන් විසින් "අපිච භික්ඛූති ආදි සබ්බත්ථෙව භික්ඛුනො ආචාරදස්සනවසෙන පවත්තං අට්ඨකථාවචනං න නිද්දේසපාළි" යනුවෙන් භික්ෂූහුගේ ආචාර දැක්වීම් වශයෙන් පැවැති අර්ථකථාවචනය නිද්දේසපාළි නොවේ යයි කියන ලද්දේය. එසේ ම විසුද්ධිමග්ගයට මහාසන්‍යය කළ දඹදෙණි පැරකුම්බාවන් විසිනුදු "අපිච භික්ඛු යන හැම තැන්හි ම භික්ෂුහට ආචාර දර්ශන වශයෙන් ප්‍රවෘත්ත අර්ථකථාවචනය නිර්දේශපාලි නොවෙයි දතයුතු" යනුවෙන් නිද්දේසපාළියත් අට්ඨකථාවත් වෙන් වෙන් ව ඇති සැටි දක්වන ලද්දේය.
ඒ ඒ ධර්මයන් විභාග කොට වදාරන සර්වඥයන් වහන්සේගේ දේශනාවල බොහෝසෙයින් උද්දේස නිද්දේස වශයෙන් වාර දෙකෙක් වෙයි. ඇතැම් තැනෙක පටිනිද්දේසවාරයකුදු ඇත. "ඉධ භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති" (සතිපට්ඨානසුත්ත-මජ්ඣිමනිකාය-මූලපණ්ණාසක, දීඝනිකාය-මහාවග්ග) යනාදීන් සතර සතිපට්ඨානය උද්දේස කොට "ඉධ භික්ඛවෙ භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා" යනාදීන් නිද්දේස කොට වදාළ තැන්හි මෙනි. එහි උද්දේස නම් විභාග කටයුතු ධර්මයන් මාතෘකා වශයෙන් දැක්වීමය. නිද්දේස නම් යථෝද්දිෂ්ට වූ ධර්මයන් විභාග කොට දැක්වීමයි. නිද්දේසපාළියෙහි දැක්වෙනුයේ ද ධර්මාර්ථ විසින් ගැඹුරු වූ අට්ඨකවග්ගයෙහි සූත්‍ර සොළොසය, පාරායනවග්ගයෙහි සූත්‍ර සොළසය, ඛග්ගවිසාණ සූත්‍රය යන තෙතිස් සූත්‍රයන්හි බුදුස් වදාළ තාක් ගාථාපදයන් උද්දේස කොට, එක් එක් පදය පිළිවෙළින් නිද්දේස කිරීමයි, හෙවත් විස්තර කිරීමයි. එහි කිසි තැනෙක අටුවා නයින් අර්ථ දැක්වීමෙක් නැත. ඒ උද්දේස ගාථාවන්ට අර්ථ දැක්වූ සැටි සූත්‍රනිපාත අටුවායෙන් දතහැකිය. ඒ මෙසේයි: "තත්ථ කාමන්ති මනාපියරූපාදි තෙභූමකධම්මසංඛාතං වත්ථුකාමං; කාමයමානස්සාති ඉච්ඡමානස්ස; තස්ස චෙතං සමිජ්ඣතීති-තස්ස කාමයානස්ස සත්තස්ස තං කාම සංඛාතං වත්ථුං සමිජ්ඣති චෙ, සචෙ සො තං ලභතීති වුත්තං හොති." මේ අටුවාවෙකි. මේ ගාථාර්ධයට ම නිද්දේසපාළියෙහි "කාමං කාමයමානස්සාති 'කාමා'ති-උද්දානතො ද්වෙ කාමා: වත්ථුකාමා ච කිලෙසකාමා ච. කතමෙ වත්ථුකාමා මනාපිකා රූපා-පෙ-කාමයමානස්සා"ති කාමයමානස්ස-පෙ-අභිජප්පමානස්සාති-“ කාමං කාමයමානස්ස” යනාදීන් වදාළ නිද්දේසය ඉතා විස්තර වූවකි. මෙසේ අට්ඨකථා නිද්දේස දෙක්හි වෙනස ප්‍රකටව තිබිය දී නිද්දේසය පැරණි අටුවාව යැයි සිතීම තෙවළා දහම්හි නොහසළ බැවිනැයි සිතිය හැකිය. විනය අභිධර්ම දෙක්හි එන පදභාජනීය ගැන කියයුත්තේ ද එතෙක් මය.
තවද පිටකපාළියෙහි හා අටුවාපාළියෙහි හා ශබ්ද ප්‍රයෝග විෂයෙහි හෝ භාෂාස්වරූපයෙහිදු අසමානතා දක්වා ලියහැකිය. කිසි කෙනකුන් පුරාණ නවීන ආදි වශයෙන් විවිධ විශේෂ දක්වන නමුදු අටුවායෙහි ප්‍රයෝග වශයෙන් ඇති විශේෂය වඩාත් සැලැකිය යුතු සේ පෙනේ. "ඵුට්ඨාති..සමන්නාගතාති අත්ථො, වුත්තං හොති, අත්ථො දට්ඨබ්බො, පටිසෙධත්ථෙ නිපාතො". මෙබඳු ශබ්ද ප්‍රයෝග අටුවාවක දී බෙහෙවින් දැක්ක හැකිය. නිද්දේසපාළියෙහි වූකලි කිසිදු තැනෙක මෙබඳු අට්ඨකථාගතික වූ-අටුවා ස්වභාව ඇති යෙදුමක් දක්නට නැත. මෙබඳු හේතු නිසා නිද්දේසය අටුවාවක් නොවන බව පැහැදිලිය. ත්‍රිවිධ සංගායනාවට නැඟුණු දේශනාපාලිය අලුවිහාරයෙහි දී කළ ග්‍රන්ථාරෝපණසංගායනාව දක්වා මුඛපාඨයෙන් ම ගෙන එන ලදුව පෙළබසින් ම ග්‍රන්ථාරූඪ විය. අද දක්වාත් එය පෙළබසින් පවතී. අට්ඨකථාපාළිය වූකලි මිහිඳු තෙරණුවෝ පෙළබසින් ම සිංහල අතැවැස්සනට උගන්වාලූහ. ඔවුහු හෙළබසින් ලියා තැබූහ. පාළියත් සමඟ අටුවාව ද මුඛපාඨයෙන් ම පවත්වාගෙන යෑමේ දුෂ්කරත්වය ලිවීමට හේතු විය. එය මාගධභාෂායෙන් නොලියා සිංහලයෙන් ලිවීමට හේතුව වශයෙන් දක්වන ලද්දේ නිකායාන්තර ලබ්ධීන් හා සංකරවීම වළක්වාලීමය. දීපවාසීන් සඳහා යයි ද කියති. මෙහි නිකායාන්තර ලබ්ධි නම් එකල දඹදිව පහළව තුබූ විවිධ නිකායිකයන්ගේ ලබ්ධි මැයි. ඇතැම් කෙනකුන් සිතන පරිදි අභයගිරික ජේතවනිකයන්ගේ ලබ්ධි සංකරවීමක් ගැන එයින් අදහස් නොකරන ලද්දේය. ඒ සඳහා නම් සිංහලය ප්‍රමාණවත් නොවේ. අභයගිරි ජේතවන වැසියන් ද සිංහලයන් ම වූ හෙයිනි.
දේශාන්තරවාසීන්ගේ අර්ථසිද්ධිය සලකා බුද්ධඝෝෂාදි ආචාර්‍ය්‍යවරයෝ හෙළටුවා සියල්ල පාලි භාෂාවට පරිවර්තනය කළහ. ඔහු නම් බුද්ධඝෝෂ, ධම්මපාල, බුද්ධදත්ත, මහානාම, උපසෙන් යනාදි මහතෙරවරුය. (මේ අටුවා ඇදුරන් පිළිබඳ තොරතුරු ඒ ඒ ශීර්ෂ යටතෙහි දත යුතුය.) එයින් බුද්ධඝෝෂාචාර්‍ය්‍යයෝ විනය අභිධර්‍මපිටකද්වයෙහි ද දීඝාදි සඟි සතරෙහි ද කුදුගත් සඟියෙන් ග්‍රන්ථ කීපයක ද අටුවා ලීහ. ධම්මපාල තෙරණුවෝ උදාන ඉතිවුත්තක විමානවත්ථු පෙතවත්ථු ථෙර ගාථා ථෙරිගාථා චරියාපිටක නෙත්තිප්පකරණ යන පොත්වලට අටුවා ලීහ. බුද්ධදත්ත මහානාම උපසේන යන තෙරවරු පිළිවෙළින් බුද්ධවංස, පටිසම්භිදාමග්ග, නිද්දේස යන ග්‍රන්ථවල අටුවා ලීහ. පාළි අටුවා ලිවීම ආරම්භ කළෝ බුද්ධඝෝෂාචාර්‍ය්‍යයෝය. එතුමන් පළමුකොට ම දඹදිව දී ඤාණෝදය නම් ප්‍රකරණය ලියා අත්ථසාලිනී නම් ධම්සඟුණු අටුවාවේ කොටසක් ලී බව ද සිය ආචාර්‍ය්‍යයන්ගේ නියමයෙන් ලක්දිවට පැමිණ අටුවා ලියූ බව ද මහාවංසයෙහි දැක්වෙයි. ඒ ඤාණෝදය නම් ප්‍රකරණය මෙකල දක්නට නැත. මෙකල දක්නට ලැබෙන අත්ථසාලිනිය ද විසුද්ධිමග්ග ආදිය ලිවීමෙන් පසුව මෙරට දී ලියූ අන්‍යග්‍රන්ථයක් හෝ මුලින් ලී පොතෙහි සංස්කරණයක් හෝ වියයුතු යයි සිතේ. පසුව ලියූ පොත්වල කරුණු එහි ඇතුළුව ඇති හෙයිනි. එතුමන් ලක්දිවට පැමිණ මුලින් ම ලියන ලදුයේ විසුද්ධිමග්ගයයි. එහි ලා විවාදයෙක් නැත. එහෙත් සූත්‍ර විනය අටුවාවන් අතුරෙන් කුමක් පළමු වී දැයි මතභේද ඇත. "අයමෙත්ථ සංඛෙපො විත්ථාරතො පනෙස තිත්ථියපරිවාසො සමන්තපාසාදිකාය විනයට්ඨකථාය පබ්බජ්ජාක්ඛන්ධකවණ්ණනාය වුත්තනයෙනෙව වෙදිතබ්බො" (සුමංගලවිලාසිනී-කස්සපසීහනාද සුත්ත වණ්ණනා) යි මේ මෙහි සංක්ෂේපයයි. විස්තර හෙයින් තෙල තිත්ථියපරිවාසය සමන්තපාසාදිකාවිනයට්ඨකථායෙහි පබ්බජ්ජාක්ඛන්ධකවණ්ණනායෙහි කී නියායෙන් ම දතයුතු යයි දික්සඟි මැදුම්සඟි අටුවා දෙක්හි ම දක්නා හෙයින් සමන්තපාසාදිකාව පළමුව ලියූ බව පෙනේ. සමන්තපාසාදිකායෙහි ද "අත්ථිකෙහි පන පපඤ්චසූදනියං වා මජ්ඣිමනිකායට්ඨකථායං භයභෙරවසුත්තවණ්ණනාතො, සුමංගලවිලාසිනියං වා දීඝනිකායට්ඨකථායං සරණවණ්ණනාතො ගහෙතබ්බො"යි කැමැතියන් විසින් පපච්චසූදනියෙහි භයභේරව සූත්‍රවර්ණනායෙන් හෝ සුමංගලවිලාසිනියෙහි සරණවර්ණනායෙන් හෝ ගතයුතු යයි කී හෙයින් සමන්තපාසාදිකාව පසුව ලියූ සැටියකුදු පෙනේ. මෙබඳු තැන් පිටකත්‍රයෙහි ම අටුවාවල දක්නට ලැබේ. මෙසේ හෙයින් නම් සඳහන් වූ අයුරු බලා අසුවල් පොත පළමුව ලියන ලදැයි නිශ්චය කිරීම දුෂ්කර වෙයි. මුලින් ලියූ ග්‍රන්ථයක දී පසුව ලියන ග්‍රන්ථයකින් විස්තර බැලිය යුතු යයි කියන ලද්දේ පරිවර්තනයට ආශ්‍රය වූ මුල් අටුවාවල තුබූ සටහන් අනුව විය යුතුය.
ත්‍රිපිටකයෙහි හැම අටුවාවක් ම ලිවීමේ බලාපොරොත්තුවක් බුදුගොස් තෙරණුවනට නොවීය. උන්වහන්සේට අභිමත වූයේ ආගමට්ඨකථා ලිවීමය. "ආගම"යි මෙහි දී හඳුන්වනුයේ දීඝ-මජ්ඣිම-සංයුත්ත-අංගුත්තර යන නිකාය සතරය. නොයෙක් තැන "ආගමට්ඨකථා"යි සඳහන් කරන ලද්දේත් මේ සඟිඅටුවාවලට මය.
"සබ්බාගම සංවණ්ණන මනොරථො පූරිතො ච මෙ යස්මා
එතාය මනොරථපූරණීති නාමං කතො අස්සා"
මාගේ සියලු ආගම අටුවා ලිවීමේ මනදොළ පිරුණු හෙයින් මේ (අංගුත්තර) අටුවාවට "මනෝරථපූරණී" යන නම වී යයි කියන ලදි. මෙසේ හෙයින් විසුද්ධිමග්ගයට අනතුරුව දීඝනිකායාදී ආගමට්ඨ කථා සතර ලියා අනතුරුව විනය පිටකයට හා අභිධර්මපිටකයට අටුවා ලියූ බව සිතිය යුතුය. සංගීතිකාරකයන් විසින් පළමු කොට විනය සංගායනා කළ හෙයින් බුදුගොස් තෙරණුවන් ද සමන්ත පාසාදිකා විනයට්ඨකථාව මුලින් ම ලියන්නට ඇතැයි කෙනෙක් සිතති. එහෙත් ත්‍රිපිටකයට ම අටුවා ලිවීම ඔබට අභිමත නොවූ හෙයින් ද, සඟි අටුවා ලිවීම මනදොළ වූ හෙයින් ද, සඟි අටුවා මුලින් ලියූ බව කිය යුතු වේ. ඒ අටුවාවල සංක්ෂිප්ත විවරණයක් පහත දැක්වේ:
1. විසුද්ධිමග්ග: ආචාර්‍ය්‍ය බුද්ධඝෝෂ (බ.) තෙරණුවන් විසින් ලියන ලද පාලි අටුවා ග්‍රන්ථයන් අතුරෙහි පළමුවැන්න විසුද්ධිමග්ගය (බ.) යි. බුදුගොස් තෙරණුවන් දඹදිව දී මැ ත්‍රිපිටකපාලියට අටුවා ලිවීම ආරම්භ කළ කල්හි එතුමන්ගේ ආචාර්‍ය්‍ය වූ රේවත තෙරුන් විසින් දඹදිව පාලිය පමණක් ඇති බව ද සියලු ආචාර්‍ය්‍යවාද සහිත අටුවා හෙළබසින් ලියන ලදුව ලක්දිව ඇතැයි ද පවසා ලක්දිවට පැමිණ අටුවා ලියන ලෙස නියම කළ බව මහාවංසයෙහි පැවැසෙයි. ලක්දිව මහානාම රජු දවස අනුරාධපුර මහාවිහාරයට පැමිණි ඒ තෙරණුවෝ එවකට මහාවිහාරයෙහි සඟනට ප්‍රමුඛව සිටි භදන්ත සංඝපාල මහතෙරුන්ගේ ආරාධනයෙන් විසුද්ධිමග්ගය ලියූහයි එහි නිගමනයේ සඳහන් වෙයි. හෙද සංයුත්තනිකායෙහි දේවතා සංයහුත්තයට අයත් "සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො" යනාදි ගාථාව වර්ණනා කරමින් පස්මහ සඟියෙහි එන අර්ථකථානයෙහි සිට ලියන ලද්දේය. එහෙයින් විසුද්ධිමග්ගය දීඝනිකායාදි සඟිපසට ම සාධාරණ අටුවාවක් මෙන් පවතී. විශේෂයෙන් සූත්‍රපිටකයට අයත් සඟි සතරට ම විසුද්ධිමග්ගය මධ්‍යම අටුවාව වෙයි. ඒ බව සඟි අටුවා ආරම්භයෙහි මෙසේ දක්වන ලද්දේය:
"මජ්ඣෙ විසුද්ධිමග්ගො - එස චතුන්නම්පි ආගමානං හි
ඨත්වා පකාසයිස්සති - තත්ථ යථාභාසිතං අත්ථං"යි.
විසුද්ධිමග්ගය ප්‍රමාණයෙන් බණවර එකුන් සැටෙකි (59). එය ත්‍රිපිටකපාලිය හා අර්ථකථාව ද අළලා ශීල-සමාධි-ප්‍රඥා යන ධර්මයන්ගේ ද්වාරයෙන් ත්‍රිවිධ ශික්ෂායෙන් සංග්‍රහ වූ සියලු බුදුසසුන විස්තර කළ ග්‍රන්ථරත්නය වෙයි. බුදුගොස් තෙරණුවන් විසුද්ධිමග්ගයෙහි එක්වැනි ම පිටපත් තුනක් ලියා සංඝපාල තෙරුන් ප්‍රමුඛ සංඝසභාවට පිළිගැන්වූ බව ද, ඔබගේ සාමර්ථ්‍යය දුටු සංඝයා විසින් අටුවා පරිවර්තනයට අවසර දුන් බව ද සඳහන් වෙයි. දුරසංකරග්‍රන්ථාකාර පිරිවෙන්හි සිට බුදුගොස් හිමියෝ පළමු කොට දික්සඟි අටුවාව පරිවර්තනය කළහ.
2. දික්සඟි අටුවාව: දික්සඟිය බුදුගුණ පැවැසෙන දීර්ඝ ප්‍රමාණ වූ සූත්‍ර තෙතිසෙකින් යුක්ත වූවකි. බුදුගොස් හිමියන්ගේ ප්‍රථම පරිවර්තනය වූයේ සුමංගලවිලාසිනී (බ.) නම් දීඝනිකායට්ඨකථාවය. මෙය සුමංගල පිරිවෙන් වැසි දාඨානාග (දළනා) නම් සංඝස්ථවිරයන් විසින් ආරාධනා කරන ලදුව මූලට්ඨකථායෙහි සාරය ගෙන කරන ලදැයි සඳහන් වෙයි. විසුද්ධිමග්ගයෙහි විස්තර කළ සීලකථාදිය මෙහි විස්තර නොකරන බව ද, එහෙයින් මේ දික්සඟි අටුවාවට විසුද්ධිමග්ගය ද එක් කොට ගතයුතු බව ද කියන ලදි. සුමංගලවිලාසිනිය පාලි ප්‍රමාණයෙන් බණවර එක් අසූවකි (81). විසුද්ධිමග්ගයෙහි බණවර එකුන්සැත් සමග දික්සඟි අටුවාව බණවර එක්සිය සාලිසෙක් (140) වේ.
3. මැඳුම්සඟි අටුවාව: පරවාදයන් හා වාදීන් මැඩලීම සඳහා වදාළ මධ්‍යම ප්‍රමාණ වූ සූත්‍ර එක්සිය දෙපනසෙකින් යුත් මැඳුම්සඟියට බුදුගොස් හිමියන් විසින් ලියන ලද "පපඤ්චසූදනී" (බ.) නම් අටුවාවය. මෙය මොනරපටුන්හි දී තමන් හා එක්වැ විසූ භදන්ත බුද්ධමිත්ත නම් තෙරණුවන්ගේ ආරාධනායෙන් කරන ලද්දේය. පපඤ්චසූදනිය ප්‍රමාණයෙන් බණවර එක්සිය සතෙකි(107). විසුද්ධිමග්ගය මැදුම්සඟියට ද අටුවා වන හෙයින් මේ මැදුම්සඟි අටුවාව බණවර එක්සිය සසැටෙකින් (166) යුක්ත වන්නේය.
4. සංයුත්සඟි අටුවාව: විදර්ශනා ධූරයෙහි නියුක්ත වූ භික්ෂූන්ට බොහෝ උපකාර වූ සූත්‍රයන්ගෙන් යුත් සංයුත්ත නිකායට ලියූ "සාරත්ථප්පකාසිනී" (බ.) නම් අටුවාවය. මෙය භදන්ත ජෝතිපාල නම් තෙරණුවන්ගේ ආරාධනායෙන් බුද්ධඝෝෂාචාරීන් විසින් ලියන ලදි. බණවර අටසැත්තෑව (78) ක් වූ සාරත්ථප්පකාසිනිය විසුද්ධිමග්ගය හා එක් කොට ගත් කල්හි සංයුත් අටුවාව මඳක් අඩු බණවර එක්සිය සත්තිසකින් (137) යුක්ත වේ.
5. අංගුත්තර අටුවාව: ධර්මවිභාගයක් ප්‍රකාශ කරන සූත්‍රවලින් යුත් අංගුත්තරනිකායට ලියූ "මනෝරථපූරණී" නම් අටුවාවය. බුදුගොස් තෙරණුවන්ගේ ආගම අටුවා ලිවීමෙහි මනදොළ මෙයින් සපුරාගිය හෙයින් මෙය මනොරථපූරණීයී නම් කළහ. තමන් සමඟ එක්වැ විසූ භදන්ත ජෝතිපාල නම් තෙරණුවෝත් තෙවළාසයුරු පරතෙර පැමිණි නුවණැති පිරිසිදු ආජීව ඇති ජීවක නම් උපාසකයාණෝත් මේ පොත ලිවීමට ආරාධනා කළහ. මනෝරථපූරණිය ප්‍රමාණයෙන් බණවර සිවුඅනූවෙකි (94). විසුද්ධිමග්ගය සමග ගත් කල්හි අංගුත්තර අටුවාව බණවර එක්සිය තෙපනසෙකි.
6. විනය අටුවාව: විනයපිටකයෙහි පරිජිපචිති සුළුවග මහවග පරිවාර යන පොත්පසට ලියන ලද "සමන්තපාසාදිකා" නම් ග්‍රන්ථයයි. විමසනුවන්ගේ ප්‍රසාදයට කරුණුවන හෙයින් මෙය සමන්තපාසාදිකා නම් විය. බුද්ධඝෝෂ තෙරණුවෝ මහඅටුවා මහපසුරු අටුවා කුරුඳු අටුවා යන හෙළටුවා තුන විනයධර වූ බුද්ධමිත්ත තෙරුන් වෙත ඉගෙන මහාවිහාරයෙහි වූ මහා නිගමසාමි නැමැත්තහුගේ ආරාමයෙහි වෙසෙමින් බුද්ධසිරි තෙරණුවන්ගේ ආරාධනායෙන් විනය අටුවාව ලියූහ යි දක්වා ඇත. සිරිනිවාස සිරිපාල (මහානාම) රජුගේ විසිවැනි වර්ෂයෙහි ආරම්භ කොට එක්විසි වැන්නෙහි දී එක හවුරුද්දක් තුළ ග්‍රන්ථය ලියා නිමවූ බව ද සඳහන් වෙයි. ප්‍රමාණයෙන් ග්‍රන්ථ සත්විසිදහසකැයි දැක්වූ සමන්තපාසාදිකාව බණවර 108 කින් යුක්ත වේ.
7. ප්‍රාතිමෝක්ෂ අටුවාව: උභයමාතිකා නම් ප්‍රාතිමෝක්ෂයට ලියන ලද "කඞ්ඛාවිතරණී" (බ.) නම් අටුවාවයි. මෙය සෝණ නම් තෙර කෙනකුන්ගේ ආරාධනායෙන් බුද්ධඝෝෂාචාරීන් විසින් කරන ලද්දකි. මෙ ද මහාවිහාරවාසීන්ගේ වාවනා මාර්ගය ඇසුරු කොට හෙළටුවායෙහි ආ නයින් ලියන ලදැයි සඳහන් වේ. මෙහි ප්‍රමාණය බණවර දෙවිස්සෙකි (22).
8. ධම්සඟුණු අටුවාව: බුද්ධඝෝෂාචාරීන් විස්න අභිධර්මපිටකයෙහි ධම්මසංගණිප්පකරණයට ලියන ලද "අත්ථසාලිනී" (බ.) නම් අටුවාවය. දඹදිව දී මැ බුද්ධඝෝෂ තෙරුන් අත්ථසාලිනිය ලියන ලදැයි මහාවංසයෙහි කියන නමුදු ඒ තෙරුන් විසින් කිසි දු තැනක ඒ බව පවසා නැත. අත්ථසාලිනී මුඛබන්ධයෙහි:
"අපනෙත්වා තතො භාසං-තම්බපණ්ණීනිවාසිනං
ආරොපයිත්වා නිද්දොසං-භාසං තන්තිනයානුගං"යි හෙළිදිව්බසින් ලියා තුබූ අභිධර්මඅටුවාව නිදොස් වූ පෙළබසට නඟන ලදැයි කී හෙයිනුත් මහාවිහාරවාසීන්ගේ විනිශ්චය ද දක්වමින් ආගමට්ඨකථායෙනු දු ගතයුතු දැය ගෙන ලියන ලදැයි ද, කර්මස්ථානාදිය විසුද්ධිමග්ගයෙහි කී සෙයින් ගතයුතු යයි ද කී හෙයිනුත් අත්ථසාලිනිය ලක්දිව දී තැනූ බව පිළිගත යුතු වේ. අනාකූල වූ අර්ථයන්ගේ නම්භවයෙන් "අත්ථසාලිනී" නම් වූ ධම්සඟුණු අටුවාව බණවර එකුන්සාලිසකින් (39) යුක්ත වේ.
9. විභංග අටුවාව: බුද්ධඝෝෂ නම් වූ මැතෙර කෙනකුන්ගේ ආරාධනායෙන් අර්ථකථාචාර්‍ය්‍ය බුද්ධඝෝෂ තෙරණුවන් විසින් විභංගප්පකරණයට ලියන ලද "සම්මොහවිනොදනී" (බ.) නම් වූ අභිධර්ම අටුවාවය. මෙ ද පැරණි හෙළටුවාව ම ඇසුරු කොටගෙන ලියන ලදි. ප්‍රමාණයෙන් බණවර එක්සාලිසෙකි (41).
10. පඤ්ච ප්‍රකරණ අටුවාව: අභිධර්මසප්ත ප්‍රකරණයන් අතුරෙන් ඉතිරි වූ ධාතුකථා, පුග්ගල පඤ්ඤත්ති. කථාවත්ථු, යමක, පට්ඨාන යන ප්‍රකරණයට පසට ලියන ලද "පරමත්ථදීපනී" (බ.) නම් අටුවාවය. මෙ ද හෙළටුවාව ඇසුරු කොට බුද්ධඝෝෂ තෙරුන් විසින් ම ලියන ලද්දෙකි. මේ ප්‍රකරණ පසට ම ලියූ අටුවාව බණවර සතලිසකට මඳක් වැඩිය.
11. පිරිත් අටුවාව: ඛුද්දකනිකායට අයත් ග්‍රන්ථයන් අතුරෙහි පළමුවැන්න වූ ඛුද්දකපාඨයට බුද්ධඝෝෂ තෙරණුවන් විසින් ලියන ලද "පරමත්ථජොතිකා" (බ.) නම් අටුවාවය.
12. ධම්පියා අටුවාව: ඛුද්දකනිකායට අයත් ග්‍රන්ථයන් අතුරෙහි දෙවැන්න වූ සවිසි වගෙකින් යුත් ධම්මපදපාළියට බුදුගොස් තෙරණුවන් විසින් ලියන ලද අටුවාවය. මේ අටුවාවට විශේෂ නාමයක් නොමැති වූයෙන් "ධම්මපදට්ඨකථා"යී ම ව්‍යවහාර කරනු ලැබේ. බණවර දෙසැත්තෑවකින් යුත් ධම්මපදට්ඨකථාව ලියන ලද්දේ 'කුමාරකස්සප' නම් තෙරකෙනකුන්ගේ ආරාධනාවෙනි. කථාවස්තු තුන්සියසතරක් (304) සඳහා වදාළ ගාථා සාරසිය තෙවිස්සක අටුවා මෙහි එයි. බුරුම රට ලියවුණු පොත්වල කථාවස්තු 305 ක් ඇති බව කියති. එහෙත් කසුප් රජුගේ ධම්පියා අටුවාගැටපදයෙහි "එක්වතක් උනු තුන්සියක් වත්යි" කථාවස්තු 299 ක් ඇති බව පැවැසෙයි. කථාවස්තු කීපයක් එකක් ලෙස සැලැකීමෙන් මේ වෙනස්කම් ඇති වී යයි සිතිය හැකිය. ධම්මපදට්ඨ කථාව (බ.) බෞද්ධ සාහිත්‍යයෙහි අතිසම්භාවනීය ග්‍රන්ථයෙකි.
13. සූත්‍රනිපාත අටුවාව: ඛුද්දකනිකායේ පස්වැනි වූ සුත්තනිපාත (බ.) පාළියට ලියූ අටුවාවය. උරගවග්ගාදි වූ වග පසක ඇතුළත් වන සැත්තෑවක් පමණ සූත්‍රයනට බණවර සූසාලිසකින් පරිමිත කොට ලියන ලද මේ අටුවාව ද බුද්ධඝෝෂ තෙරණුවන්ගේ කෘතියක් ලෙස පිළිගනිති.
14. ජාතක අටුවාව: ඛුද්දකනිකායේ දසවැන්න වූ ජාතකපාළියට ලියන ලද අටුවාවය. අපණ්ණක ජාතකාදී පන්සිය පනස් ජාතකයන් සඳහා ලියන ලද මේ ග්‍රන්ථය අටුවාග්‍රන්ථයන් අතුරෙහි විශාල ග්‍රන්ථයයි. අත්ථදස්සී බුද්ධමිත්ත බුද්ධදේව යන තෙරවරුන්ගේ ආරාධනායෙන් ලියන ලදැයි පැවැසෙන මේ ග්‍රන්ථය ද බුද්ධඝෝෂාචාරීන්ගේ කෘතියෙකි. සිංහල සාහිත්‍යයේ ජීවරුධිරය බඳු වූ පන්සියපනස් ජාතක පොත (බ.) මේ ජාතක අටුවාවේ පරිවර්තනයයි. තවද ඇතැම් විචාරකයෝ මේ ජාතකට්ඨකථාව හා ධම්මපදට්ඨකථාව ද බුද්ධඝෝෂ කෘතීන් ලෙස නොසලකති. වෙනත් අටුවාවල එන අවසාන වාක්‍යය මෙහි නොවීම ද මේ අටුවාවල විශේෂ නාමයක් නොයෙදීම ද කිසි තැනෙක වෙනස් වූ අර්ථ දක්වා තිබීම ද යනාදී කරුණු හේතු වශයෙන් එළවති. මෙහි ලා අටුවා ඇදුරන් විසින් හෙළටුවා තිබූ ලෙසින් පෙළබසට නගාලූ බවත් ඒ ඒ භාණක මත අනුව කිසි තැනක වෙනස්කම් ඇතිවූ බවත් සැලැකිය යුතුය.
15. උදාන අටුවාව: ඛුද්දකනිකායට අයත් ග්‍රන්ථයන් අතුරෙන් උදාන ඉතිවුත්තක විමානවත්ථු පේතවත්ථු ථෙරගාථා ථෙරිගාථා යන සයට වෙන වෙනම ලියන ලද අටුවා පොත් සය "පරමත්ථදීපනී" යන නාමයෙන් හඳුන්වනු ලැබේ. මේ අටුවා සය ම ලියන ලද්දේ බදරතිත්ථවිහාරවාසි භදන්තාචරිය ධම්මපාල (බ.) තෙරණුවන් විසිනි. මේ පොත් රචනා කිරීමට ආරාධනා කළ කෙනකුන් ගැන සඳහන්ව නැත. මේ හැම අටුවාවක ම ප්‍රාරම්භ ගාථාවල හා නිගමන ගාථාවල ද සමත්වයක් දක්නට ලැබේ. බුද්ධඝෝෂ තෙරණුවන් සෙයින් ම ධම්මපාලාචාර්‍ය්‍යයෝ ද පුර්වාචාර්‍ය්‍යයන්ගේ විනිශ්චය ඇසුරුකොට මහාවිහාරවාසීන්ගේ සියුම් වු අර්ථ විනිශ්චය අනුව ලියූහයි සඳහන් කොට ඇත. මේ අටුවා අතුරෙන් බුද්දකනිකායේ තුන්වැන්න වු උදානපාළියට ලියූ පරමත්ථදීපනී අටුවාව බණවර සූතිසකින් (34) යුක්ත වේ.
16. ඉතිවුත්තක අටුවාව: බුද්දකනිකායේ සතර වැන්නවූ ඉතිවුත්තක (බ.) පාළියට ලියූ පරමත්ථදීපනී නම් අටුවාව බණවර අටතිසකින් (38) සමන්විතය.
17. විමානවත්ථු අටුවාව: විමානවත්ථුප්පකරණය (බ.) බුද්දකනිකායේ සවැන්නය. පීඨ විමානාදි වස්තු 84ක් සඬග්‍රහ වු පුච්ඡාවිස්සජ්ජන වශයෙන් පැවැති ගාථාවනට ලියූ පරමත්ථදීපනී අටුවාව බණවර සතළොසකි (17).
18. ජේතවත්ථු අටුවාව: ජේතවත්ථුප්පකරණය (බ.) බුද්දකනිකායේ සත්වැන්නය. ඛෙත්තූපම වස්තුව ආදි කොට ඇති එක්පනසක් (51) වස්තූන් සඳහා ලියූ පරමත්ථදීපනී අටුවාව බණවර පසළොසකින් (15) යුක්ත වේ.
19-20. ථෙර ථෙරිගාථා අටුවාව: බුද්දකනිකායේ අටවැනි නවවැනි ග්‍රන්ථ වශයෙන් ගැණෙනුයේ ථෙරගාථා ථෙරීගාථා (බ.) පොත් දෙකය. ඒ ස්ථවිර ස්ථවිරාවන් විසින් තමන් තමන්ගේ අධිගමලාභය දක්වනු සඳහා ප්‍රකාශ කළ ගාථා එනමින් සඞ්ගායනාවට නැඟී ආයේය. ඒ ඒ ගාථා ප්‍රකාශ කළ තෙර තෙරිණීන්ගේ චරිතකථා ද ඇතුළත් කොට එක ම අටුවාවක් ලෙස මෙය ලියන ලද්දේය. ධම්මපාල තෙරණුවන්ගේ අටුවාපොත් අතුරෙහි විශාලතම වූ මේ ග්‍රන්ථය බණවර දෙඅනූවකින් (92) සමන්විත වේ.
21-22. නිද්දේස අටුවාව: කුදුගත්සඟියේ එකළොස්වැන්න වූ නිද්දේස පාළියට ලියන ලද "සද්ධම්මපජ්ජොතිකා" (බ.) නම් අටුවාවය. නිද්දේසපාළිය මහානිද්දේස චූළනිද්දේස යයි කොටස් දෙකකින් යුක්තය. ඒ දෙක ම නිද්දේස නාමයෙන් එක ග්‍රන්ථයක් ලෙස සලකන හෙයින් සද්ධම්මපජ්ජෝතිකාව ද එක ම අටුවාවක් ලෙස රචනා කරන ලද්දේය. මෙහි කතුවරයෝ අනුරාධපුර මහා විහාරයෙහි කීර්තිසේන නම් ඇමැතියකු විසින් කරවන ලද පිරිවෙනෙහි වැඩ විසූ උපසේන මහ තෙරණුවෝ ය. මෙහි ආරාධකයෝ "දෙව" නම් තෙරණු කෙනෙකි. විසුද්ධිමග්ගය හා සුත්තනිපාත අටුවාව ද මේ ග්‍රන්ථයට ආශ්‍රය වූ බව පෙනේ. සිරිනිවාස සිරිසඞඝබෝධි නම් රජුගේ සවිසිවන වර්ෂයෙහි ලියන ලදැයි සඳහන් වේ. එනම් මහාවංශයෙහි එන අග්බෝ පළමුවන රජු යයි ද, එහෙයින් ක්‍රි.ව. 589 දී පමණ මේ අටුවාව ලියන ලදැයි ද සලකනු ලැබේ.
23. පටිසම්භිද්‍රමග්ග අටුවාව: මහානාම තෙරණුවන් විසින් ලියන ලද "සද්ධම්මප්පකාසිනී" (බ.) නම් අටුවාවය. මෙය කුදුගත්සඟියෙහි දොළොස් වැන්න වූ පටිසම්භිද්‍රමග්ගය සඳහා ලියැවිණි. ප්‍රමාණයෙන් බණවර අටපනසෙකි (58). මුගලන් රජුගේ චූතියෙන් තුන්වැනි වර්ෂයෙහි (එනම් ක්‍රි.ව. 517) දී මහාවිහාරයෙහි උත්තර මන්ත්‍රීන් විසින් කරවන ලද පිරිවෙන්හි වෙසෙමින් මේ අටුවාව ලියූ බව ද සඳහන් වේ.
24. අපද්‍රන අටුවාව: කුදුගත් සඟියේ තෙළෙස් වැන්න වූ අපද්‍රනයට ලියන ලද "විසුද්ධජනවිලාසිනී" (බ.) නම් වූ මේ අටුවාව ලියූ කතුවරයාගේ නම සඳහන් කොට නැත. එහෙත් ලක්දිවට පැමිණ ආනන්ද්‍රදි සිංහල ආචාර්‍ය්‍යවරයන් ඇසුරුකරමින් සත්මසක් මෙහි විසූබව කියන මේ අටුවාඇදුරාණෝ මහාවිහාරිකයන්ගේ මතාවලම්බනයෙන් මේ අටුවා කළ බව පවසති. මෙහි ප්‍රමාණය බණවර පන්සාලිසක් පමණ බව පෙනේ. මෙහි දක්වන ආනන්ද (බ.) ආචාර්‍ය්‍යයන් මූලටිකා කතුවරයන් බව සිතිය හැකිය. මෙහි ලා විචාරකයන්ගේ ප්‍රතිවිරුද්ධ මත දක්නට ලැබේ.
25. බුද්ධවංස අටුවාව: "මධුරත්ථවිලාසිනී" (බ.) නම් වු මේ අටුවාව කුදුගත් සඟියේ තුදුස් වැන්න වූ බුද්ධවංසපාළියට ලියන ලද්දෙකි. මෙය රචනා කළෝ බුද්ධඝෝෂාචාර්‍ය්‍යයන්ට සම කාලීනව විසූ මහාකවියකු ලෙස ද වර්ණනා කරනු ලැබූ බුද්ධදත්ත තෙරණුවෝ (බ.) යි. "විනයවිනිච්ඡය" නම් මහාපද්‍යනිබන්ධය ද අභිධම්මාවතාරය ද මේ තෙරුන්ගේ ම කෘතීහුය. අනුප්‍රාස-ප්‍රාසාද්‍රදි ශබ්ද ග්‍රණයන්ගෙන් හෙබි බුද්ධවංස අටුවාව ශ්‍රැතිරම්‍ය වූ රචනාවක් වශයෙන් සෙසු අටුවාවනට වඩා විශේෂ ව සිටියේය. මෙය ප්‍රමාණයෙන් බණවර සවිස්සෙකි. (26).
26. චරියාපිටක අටුවාව: බුද්දක නිකායෙහි සංගීතියට නැඟුණු අවසාන ග්‍රන්ථය වූ චරියාපිටක පාළියට ලියන ලද "පරමත්ථදීපනී" නම් වූ අටුවාවය. මෙ ද උද්‍රන අටුවාදිය රචනා කළ ධම්මපාල තෙරණුවන්ගේ ම කෘතියෙකි. බුද්ධකාරකධර්ම යයි කියන ලද දශපාරමිතාවන් පිළිබඳ පූර්ණ විස්තරයක් දැක්වෙනුයේ මේ ග්‍රන්ථයෙහිය. මෙහි ප්‍රමාණය බණවර අටවිස්සක් (28) පමණ වේ.
27. නෙත්ති අටුවාව: සංගායනාවට නොනැඟි ආචාර්‍ය්‍ය පරම්පරායෙහි ආ ග්‍රන්ථයක් වශවයන් සැලැකෙල නෙත්තිප්පකරණයට (බ.) ලියූ අටුවාවය. මෙ ද ධම්මරක්ඛිත නම් තෙර කෙනකුන්ගේ ආරාධනායෙන් ඛදරතිත්ථවිහාරවාසී ධම්මපාල තෙරණුවන් විසින් ම ලියන ලද්දෙකි. මෙය ප්‍රමාණයෙන් බණවර සත්විස්සෙකි. (27). නවාංග ශාසනයාගේ අර්ථසංවර්ණනාවට උපදේශ දක්වමින් ප්‍රකාශ කළ ග්‍රන්ථයෙකි නෙත්තිප්පකරණය. එහි නිදසුන් වශයෙන් දක්වන ලද්ද්‍රහු ත්‍රිපිටකයෙහි ඒ ඒ තැනින් නගාගත් සූත්‍රප්‍රදේශයෝය. එහෙයින් එහි අටුවා ද ඒ ඒ සුත්‍ර අටුවාවලට සම වෙයි. "සාරත්ථසමුච්චය" නම් සතරබණවර අටුවාව ද සුත්තඞගහ අටුවාව ද සංගෘහීත අටුවාපොත් ලෙස සලකනු ලැබේ "සාරත්ථසමුච්චය" නම් සතරබණවර අටුවාව ද සුත්තසඞ අටුවාව ද සංගෘහීත අටුවාපොත් ලෙස සලකනු ලැබේ.
28. සතරබණවර අටුවාව: බුද්දකනිකායෙහි පළමුවන ග්‍රන්ථය වු බුද්දකපාඨය හා ධජග්ග සුත්‍රාදිය සහිත දෙබණවරක් ද ආටානාටියසුත්‍රායෙහි දෙබණවර ද සංග්‍රහකොට සතරබණවර පෙළ සකස් කොට ඇත. පිරිත්පොත, පිරුවානාපොත (බ.) යයි සිංහල බෞද්ධයන් කෙරෙහි බහුල ව්‍්‍යවහාරයට පැමිණ ඇත්තෙ ද මේසතරබණවර මහවත් චතුභාණවාරපාළියයි. චතුභාණවාර පාළියට ලියන ලද "සාරත්ථසමුච්චය"(බ.) නම් අටුවාව සතරබණවර අටුවා නමින් හැඳින්වේ.
29. සූත්‍රසංග්‍රහ අටුවාව: ද්‍රනකථා සීලකථාදි වශයෙන් පැවැති බුදුරදුන්ගේ ආනුපුබ්බිකකථා නම් දේශනා ක්‍රමයෙක් ඇත. ඒ දේශනා ක්‍රමයට අද්‍රළ වු නුත්‍රයන් ත්‍රිපිටකයේ ඒ ඒ දේශනා ක්‍රමයට අද්‍රළ වු සුත්‍රයන් ත්‍රිපිටකයේ ඒ ඒ තැනින් නඟා ගෙන සංග්‍රහ කළ "සුත්තසංගහ" (බ.) නම් ග්‍රන්ථයෙක් වෙයි. එහි ඇතුළු වු සුත්‍රයනට ඒ ඒ සඟිඅටුවාවලින් නගාගෙන සංග්‍රහ කළ අටුවාව සුත්තසංගහට්ඨකථා නාමයෙන් හඳුන්වනු ලැබේ.
30. අනාගතවංස අටුවාව: කිසි කෙනකුන් විසින් කුදුගත්සඟියට අයත් ග්‍රන්ථයක් සේ සලකන අනාගතවංස දේසනා ග්‍රන්ථයට කාළවාපී විහාර වාසී තෙර කෙනකුන් විසින් ලියන ලද "සමන්ත භද්දිකා" නම් අටුවාවය. (අනාගතවංසය බලන්න.) මෙතෙක් මුද්‍රණයට නොපැමිණි මේ ග්‍රන්ථය මහාබෝධි නම් තෙර කෙනකුන්ගේ ආරාධනායෙන් ලියන ලදැයි දැක්වෙන නමුදු අටුවාව කළ ආචාර්‍ය්‍යවරයාගේ නම සඳහන් වී නැත.
පොත්පත්:
හිත්තැටියේ උදිත හිමි - අටුවා පරීක්ෂණය
පොල්වත්තේ බුද්ධදත්ත නාහිමි - පාළි සාහිත්‍යය
බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ග්‍රන්ථමාලා - මහානිද්දේස පාළි සංඥාපනය
Adikaram E. W.- Early History of Buddhism in Cyelon
(සංස්කරණය:1963)