"අත්ලන්තික් ප්‍රඥප්තිය (Atlantic Charter)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('දෙවැනි ලෝක සංග්‍රාම කාලයේ දීත් ඉන් පසුවත් තම ද...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

12:53, 5 ජූනි 2023 වන විට නවතම සංශෝධනය

දෙවැනි ලෝක සංග්‍රාම කාලයේ දීත් ඉන් පසුවත් තම දෙරට අනුගමනය කරන්ට අදහස් කරගත් ජාතික ප්‍රතිපත්ති අන්තර්ගත ‍කොට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති රූස්වෙල්ට් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය චර්චිල් විසින් 1941 අගෝස්තු 14 වැනිදා නිකුත් කරන ලද ප්‍රකාශනයයි. මෙකී ප්‍රකාශනය නිකුත් කිරීමට පෙර (අගෝස්තු මස 9 වැනිදා සහ 12 වැනිදාත් අතර) මේ දෙදෙනා සාකච්ඡා පැවැත්වූයේ උතුරු අත්ලන්තික් සාගරයේ ඇමෙරිකානු යුද්ධ නැවක බැවින් ඊට අත්ලන්තික් ප්‍රඥප්තියයි කියත්.

අත්ලන්තික් ප්‍රඥප්තියේ අන්තර්ගත වූ වගන්ති අට පහත දැක්වේ:

(1) තම දෙරට අන් රටවල් යටත් කරගැනීමෙන් හෝ වෙනත් ක්‍රමවලින් හෝ තම බලය පුළුල් කරගැනීමට අපේක්ෂා නොකරන බව,

(2) කිසියම් රාජ්‍යයක වෙසෙන ජනයා විසින් කවර හෝ බලපෑමකට යටත් නොවී නිදහස් ලෙස ප්‍රකාශ කරන ලද කැමැත්තට පටහැණිව රාජ්‍ය සීමා වෙනස්‍නොවිය යුතු යයි අපේක්ෂා කරන බව,

(3) තමන්ට රිසි ආණ්ඩුවක් තෝරා ගැනීමට සෑම ජාතියකට ම ඇති අයිතිවාසිකමට ගරු කරන බව ; බලාත්කාරය නිසා ස්වාධීන අයිතිවාසිකම් ද ස්වතන්ත්‍ර පාලනය ද අහිමි වූ රාජ්‍යයන්ට නැවත ඒවා ලැබේවා යි පතන බව,

(4) දැනට ම බැඳී සිටින ප්‍රතිඥාවන්ට ගරු කරන අතර ම, ජයග්‍රාහක වූ හෝ පරාජිත වූ හෝ කුදුමහත් සෑම රාජ්‍යයකට ම සමාන අයිතිවාසිකම් සහිතව වෙළඳාමට සහභාගි වීමටත් ඒ ඒ රටවල ආර්ථික සමෘද්ධියට අදාළ වූ අමුද්‍රව්‍ය ලබාගැනීමටත් හැකි තාක් ඉඩප්‍රස්තාව සලසා දෙන බව,

(5) සෑම ජාතියක ම කම්කරුවන්ගේ තත්ත්වය නඟා සිටුවීමත්, ආර්ථික සංවර්ධනය හා සමාජ ආරක්ෂාව සැලසීමත් සඳහා ආර්ථික ක්ෂේත්‍රයෙහි ලා සෑම ජාතියකගේ ම සම්පූර්ණ සහයෝගතාව ඇති කිරීමට අපේක්ෂා කරන බව,

(6) සෑම ජාතියකට ම තමන්ගේ දේශසීමා තුළ සුරක්ෂිතව විසීමට හා සෑම ප්‍රදේශයක ම වසන සෑම මිනිසකුට ම බියෙන් සහ අගහිඟයෙන් තොරව ජීවත් වීමට ඉඩප්‍රස්තාව නිසැකව ම සැලසෙන්නා වූ සාමයක්, නාට්සි ඒකාධිපත්‍යය මුළුමනින් ම වනසා දැමීමෙන් පසුව ඇතිකිරීමට බලාපොරොත්තු වන බව,

(7) සෑම මිනිසකුට ම කිසිදු අවහිරයක් නොමැතිව මහමුහුදේ ගමන් කිරීමට මෙවැනි සාමයකින් අවකාශ ලැබිය යුතු යයි විශ්වාස කරන බව,

(8) ලෝකයේ සියලු ම ජාතීන් බලය පාවිච්චි කිරීම අත්හළ යුතු යයි තමන් විශ්වාස කරන බව; පෘථුල වූත් නිත්‍ය වූත් ආරක්ෂක ක්‍රමයක් ඇතිකර ගන්නා තුරු, විදේශයන් ආක්‍රමණය කරන්නට තර්ජනය කරන්නා වූ හෝ එවැනි තර්ජනයක් ඇතිකරතැයි සිතිය හැකි වූ හෝ ජාතීන් නිරායුධ කිරීම අවශ්‍යයෙන් කළ යුතු බව; ඉසිලිය නොහැකි යුද්ධෝපකරණ බරින් සාමකාමී ජාතීන් මුදවාලීමට ඉවහල් වන සෑම ක්‍රියාත්මක වැඩ පිළිවෙළකට ම තමන් උදවු හා අනුබල දෙන බව.

අත්ලන්තික් ප්‍රඥප්තියේ තුන්වන වගන්තියේ අන්තර්ගත වූ ප්‍රතිපත්තිය පසුව ඉතා තියුණු විවේචනයට හා වාදවිවාදයට ලක් වූයේය. අත්ලන්තික් ප්‍රඥප්තිය පළකිරීමෙන් පසු, බ්‍රිතාන්‍ය අගමැති චර්චිල් එහි තුන්වන වගන්තිය පිළිබඳව නොයෙකුත් අන්දමේ අදහස් ප්‍රකාශ කෙළේය. තමා හා රූස්වෙල්ට් ඒ වග්නතියෙහි "ජාතීන්" යන්නෙන් අදහස් කෙළේ යුරෝපීය ජාතීන් පමණකැයි ද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය කැඩී බිඳී යාමට තමා කිසි සේත් ඉඩප්‍රස්තාව සලසන්නේ නැතැයි ද අත්ලාන්තික් ප්‍රඥප්තිය උපදේශ මාලාවක් හැටියට මිස නීතියක් හැටියට ගණන් නොගත යුතු යයි ද ඔහු පැවැසීය.

යුද්ධය දිනාගැනීමෙහි ලා බ්‍රිතාන්‍ය යටත් විජිත ජාතීන්ගේ සහයෝගය ලබාගනු වස් අත්ලන්තික් ප්‍රඥප්තියෙහි අඩංගු කරන ලද මෙකී වග්තින්තියේ තේරුම බ්‍රිතාන්‍යයේ වාසියට ගැළපෙන සේ පසුව චර්චිල් මහතා වෙනස් කොට දැක්වූ බව පෙනේ.

තුන්වන වගන්තියේ අඩංගු වූ අදහස ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍යය වැනි අධිරාජ්‍යවාදී රටක් පෙලඹුණේ කවර හේතූන් නිසා දැයි සලකා බැලීම වටී. එක් අතකින් මේ කාලයේ දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් විජිත ප්‍රදේශ බොහොමයක වැසියෝ ජාත්‍යනුරාගයෙන් පෙලඹී නිදහස ලබා ගැනීම සඳහා දේශපාලන ව්‍යාපාරවල යෙදී සිටියහ. අනික් අතින් බ්‍රිතාන්‍යයට යුද්ධෝපක්‍රම සාර්ථක කරගැන්මට නම් යටත් ප්‍රදේශයන්ගේ සහයෝගය ලබාගැනීම අත්‍යවශ්‍ය විය. ජපන් ආක්‍රමණයට පසුව, මැදපෙරදිග ප්‍රදේශය යුද්ධ භූමියක් වශයෙන් වැදගත් විය. ඉන් පසු ඉන්දියාව, ලංකාව වැනි රටවල සහයෝගය ලබාගැන්ම වඩාත් අවශ්‍ය විය. බ්‍රිතාන්‍යයට අවශ්‍ය බඩුමුට්ටු සැපයීමේ දී ද, භටහමුදා සපයා දීමෙහි දී ද ඉන්දියාව ඉසුලුවේ විශාල වගකීමකි. මෙවැනි අවධියක දී තුන්වැනි වගන්තියෙහි අන්තර්ගත වූ අදහස ප්‍රකාශ කිරීම ඉන්දියාවේ සහ සෙසු යටත් විජිත පෙදෙස්වල ද සහයෝගය සහතික වශයෙන් ලබාගැනීමේ උපායක් විය. එපමණක් නොව, මේ අවධියේ දී ජපානයෙන් පහර වැදුණු මලයාව බ්‍රිතාන්‍යයට අහිමි වීමෙන්, අප්‍රිකානු යටත් ප්‍රදේශයන්හි වැදගත්කම වැඩ විය. නයිජීරියාවේ සහ අනෙක් අප්‍රිකානු ප්‍රදේශයන්හි නිපදවෙන ද්‍රව්‍ය බ්‍රිතාන්‍යයට පෙරට වඩා වැදගත් විය. තුන්වන වගන්තිය නිසා පරාධීන සෑම ජාතියක් කෙරෙහි ම නිදහස සම්බන්ධ බලාපොරොත්තු වැඩී ගියේය. එහෙයින් පසුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යයා විසින් එම වගන්තියේ අර්ථය තමාට රිසි සේ විවරණය කිරීම වැදගත් ප්‍රතිඥාවක් කඩකිරීමක් සැටියට සැලකෙන්නට විය.එය යල්පැනපු යටත් විජිත ක්‍රමයක් තහවුරු කිරීමට ගත් පියවරකැයි කවුරුත් පාහේ සිතන්නට වූහ.

(සංස්කරණය:1963)