"අද නැකත (ආර්ද්‍රා)" හි සංශෝධන අතර වෙනස්කම්
('සත්විසි නැකැත් අතුරෙහි සවැන්න වූයේ "අද" නැකතයි...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
13:14, 5 ජූනි 2023 වන විට නවතම සංශෝධනය
සත්විසි නැකැත් අතුරෙහි සවැන්න වූයේ "අද" නැකතයි. පියුමකට බඳු සටහන් ඇති එක ම තාරකාවකින් යුත් මේ නැකතට හිමි ගණ යෝනි ආදිය නක්ෂත්‍රචූඩාමණි ආදි ජ්‍යෝතිෂ ග්‍රන්ථවල සඳහන් වෙයි. වරුණමණ්ඩලයට අයත් වූ මෙම නැකතට අහසේ උතුරු මාර්ගය වූ අජවීථියෙන් කොටසක් ද අසුවේ. අද නැකත උදාවී ඝටිකා එකොළොසක් ඉක්ම ගිය තැන සතර ඝටිකාවක් ම "විෂ" සහිත බැවින් ගමන් ආදිය ආරම්භ කිරීම සුදුසු නැතැයි කියන ලද්දේය. ඒ ඒ දිනවල අද නැකත යෙදුණු කල ඇතිවන අවාදියෝග ගුණදෝෂ සංග්‍රහය ආදි ග්‍රන්ථවලින් දත යුතුය. අද නැකතෙන් උත්පාතදර්ශන, මල්වරවීම් ආදිය ඇති කල්හි සිදුවිය හැකි පලාපල ආදිය ද නක්ෂත්‍රචූඩාමණියෙහි දක්වන ලද්දේය. ඇතුන් හා අසුන් පිට නැඟීමෙහි ද, සූපශාස්ත්‍ර, මල්ල පොර, ගණිත, බඞ්ගවිද්‍යා, අවිශිල්ප යන මේවා ඉගෙනීමෙහි ද සොරකමෙහි ද අද නැකත ශුභ යයි සම්මතයි. අද නැකතින් උපන්නහුට රාහුගේ නක්ෂත්‍ර මහ දශාව පළමුවෙන් ඇති වේ. නැකතේ පාද සතරට පිළිවෙළින් කු, ඝ, ඞ, ඡ යන අකුරු හිමිවෙයි. මේ නැකතින් සර්පයන් දෂ්ට කළහොත් අසාධ්‍ය යයි කියනු ලැබේ.
(සංස්කරණය:1963)