"අදිති" හි සංශෝධන අතර වෙනස්කම්
('ආදිත්‍යයන්ගේ (බ.) මව අදිතියි. ඍග් වේදයෙහි අසූ වර...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
13:23, 5 ජූනි 2023 වන විට නවතම සංශෝධනය
ආදිත්‍යයන්ගේ (බ.) මව අදිතියි. ඍග් වේදයෙහි අසූ වරක් පමණ මැයගේ නම සඳහන් වෙයි. එහෙත් හුදෙක් අදිති වෙනුවෙන් ම වූ සූක්තයක් එහි නොදක්නා ලැබේ. මැයගේ නම බොහෝ විට සඳහන් වන්නේ ස්වකීය පුත්‍රයන් වන ආදිත්‍යයන් ද සමඟයි. අදිතියගේ හැඩහුරුකම පිළිබඳ පැහැදිලි විස්තරයක් නොදත හැකිය. බොහෝ තන්හි මැය දෙවඟනකැ (දේවී) යි දක්වා ඇත්තේය. අදිතිය අඛණ්ඩනීය නොහොත් අදීන (අනර්වා) යයි ද, පැතිර පවත්නී (උරුව්‍යචා) යයි ද, ආලෝකවත් (ජ්‍යොතිෂ්මතී) යයි ද, සත්වයා දරන්නී (ධාරයත්ක්ෂිති) යයි ද, සියලු ජනයාට අයත් වූවා (විශ්වජන්‍යා) යයි ද ඍග්වේදයෙහි සඳහන් වෙයි. එහි ම "අදිතිය අහස (ද්‍යෞඃ) ය, අන්තරීක්ෂයය, මවය, පියාය, පුත්‍රයාය, සකල දේව ගණයා (විශ්වදේව) ය, පඤ්චජනයා (බ.) ය, උපන් සියලු සත්වයා (ජාත) ය, උපදනා සියලු සත්වයා ජනිත්ව) ය" යි දක්නා ලැබේ.තෛත් තිරීය සංහිතායෙහිත් තත්කාලීන තවත් සමහර ග්‍රන්ථයන්හිත් අදිතිය "පෘථිවිය" යි නිගමනය කොට ඇත්තේය. එහෙත් ඍග්වේදයේ බොහෝ විට එක ම ශ්ලෝකයෙහි "අදිති" හා "පෘථිවි" යන නම් දෙක වෙන වෙන ම දක්නා ලැබෙන හෙයින් මේ නිගමනය එකල නොපිළිගැනුණු බව පැහැදිලි වෙයි. යාස්කයන්ගේ නිරුක්තියෙහිත් සායණාචාර්‍ය්‍යයන්ගේ ඍග්වේද භාෂ්‍යයෙහිත් සමහර තැනෙක දී අදිතිය "පෘථිවිය" වශයෙන් ද තවත් තැනෙක දී "දේවමාතා" වශයෙන් ද දක්වා ඇත්තේය. සමහර තැනෙක අදිති යනු "වචනය" (වාච්) යයි සඳහන් වෙයි. ඍග්වේදයෙහි දක්නා ලැබෙන "ද්‍යෞස් (ද්‍යෞර්) අදිතිය" දෙවියන්හට කිරි සපයන්නී යයි සඳහන් වෙයි. එතන්හි අදිතිය අහස යයි සලකා ඇති බව පෙනේ.
ආලෝකය හා සම්බන්ධ දෙවිවරුන් වූ ආදිත්‍යයන්ගේ මව බැවින් අදිතිය ද ආලෝකය (ජ්‍යොතිෂ්) හා සම්බන්ධ කොට ඍග්වේදයෙහි දැක්වෙයි. අදිතියගේ ආලෝකය බාධක රහිත යයි ද උෂස් (බ.) ඇයගේ මුඛය (අනීක) යයි ද එහි ම සඳහන් වෙයි. එහෙත් පෙර කී දෙවිවරුන් සතු සාධාරණ බලමහිම ආදිති වෙත දක්නා ලැබෙන්නේ විරල වශයෙනි.
සමහර අවස්ථාවන්හි දී අදිතිය පශුරූපකාරයෙන් සලකා ඇති බව ඍග්වේදයේ කිහිප තැනෙක අදිතිය ගවදෙනකැ (ගෝ) යි සඳහන් වීමෙනුත්, වෙනත් වේදකාලීන ග්‍රන්ථයන්හි සෝමපානය (බ.) ඇයගේ කිරිවලට සමාන කොට දක්වා තිබීමෙනුත් හෙළි වෙයි. වෛදික පූජාවිධිවල දී ද ගවදෙනට "අදිති" නමින් ආමන්ත්‍රණය කොට ඇත්තේය.
අදිතිය භක්තජනයාගේ ශ්‍රේෂ්ඨ මාතාව සේ අථර්වවේදයෙහි දක්වා ඇත්තේය. ස්වකීය පුත්‍රයන් වූ ආදිත්‍යයන් සඳහාත් ඇය සඳහාත් එක විට ම ස්තුතිපාඨ කීමෙන් ද ඉහත කී අථර්වවේද පාඨයෙන් ද අදිතියගේ මාතෘ ලක්ෂණය විශේෂයෙන් දැක්වේ. අදිතිය සඳහා වූ "පස්ත්‍යා" (ගෘහිණී) යන ගුණවාචකය ද ඇයගේ මාතෘත්වය දක්වන බව සිතිය හැකිය. භක්තජනයන්ගේ පරිවාරජනයන් ද ගවයන් ද අනෙක් ගෘහවාසී සතුන් ද ළමා ළපැටියන් ද ආරක්ෂා කරන්නැයි අදිතියහට යාච්ඤා කරන ලද බව ඍග්වේදයෙන් හෙළිවෙයි. අදිතිය ආපදාවන්ගෙන් (අංහස්) ආරක්ෂා කරන බව ද එහි කිහිප තැනෙක දැක්වේ. ධන සම්පත් (රේක්ණස්) දෙන්නැයි මැයහට යාච්ඤා කරන ලද බව පෙනේ. උදයෙහිත් දවාලෙහිත් සැන්දෑවෙහිත් අදිතිය වෙනුවෙන් පූජා පවත්වන ලදි. භක්තජනයන් පාපයෙන් මුදවාලන්නැයි මැයගෙන් ඉල්ලා සිටිමින් මේ පූජා කරන ලද්දේය. අදිති යන වචනයෙහි ඉතා පැරැණි අර්ථය ද විමෝචනය" (මිදීම) යන්නයි.
දක්ෂ (ප්‍රජාපති) තෙමේ අදිතියගෙන් උපන්නේ යයි ද අදිතිය දක්ෂගෙන් උපන්නී යයි ද ඍග්වේදයෙහි ලෝකසම්භවය පිළිබඳ වූ එක් සූක්තයෙක සඳහන් වෙයි. එහි ම තවත් තැනෙක මැය රුද්‍රයන්ගේ (බ.) මව යයි ද වසූන්ගේ (බ.) දුව යයි ද ආදිත්‍යයන්ගේ සොහ්දරිය යයි ද දක්නා ලැබේ. අදිතිය විෂ්ණුහුගේ (බ.) භාර්යාව දේව කථාවන්හි මැය දක්ෂ ප්‍රජාපතිහුගේ දුව ලෙසත් සියලු දේවගණයාගේ මව ලෙසත් දැක්වෙයි. මැය දක්ෂ ප්‍රජාපතිහුගේ දුව යයි ද කාශ්‍යප (බ.) ඍෂුහුගේ භාර්යාව යයි ද වාමන අවතාර ගත් විෂ්ණුහුගේ භාර්යාව යයි ද වාමන අවතාර ගත් විෂ්ණුහුගේත් ඉන්ද්‍රගේත් (බ.) මව යයි ද විෂ්ණු පුරාණයෙහි සඳහන් වෙයි. කෘෂ්ණගේ (බ.) මව වූ දේවකී අදිතියගේ අවතාරයෙකැයි සැලකේ.
වෛදික දේවගණයා නම් සූර්‍ය්‍යයාගේ විවිධ ව්‍යක්තීහු ම යයි සලකන ආදිත්‍යපක්ෂයෙහි පිහිටි භාරතීය පඬිවරු අදිතිය හුදෙක් "උෂස්" ම යයි ගනිති. "අදිති" යන්න "නිර්බද්ධභාවයෙහි නොහොත් පාපවිරහිතභාවයෙහි පුත්‍රයෝ" යන අර්ථාන්විත "ආදිත්‍ය" ශබ්දයෙන් සාදාගන්නා ලද නාමයකැයි මැක්ඩොනල් පඬිතුමා සලකයි.
(සංස්කරණය:1963)