"අධිකාරි" හි සංශෝධන අතර වෙනස්කම්
('අතීතයෙහි ඉන්දියාවේ ද ලංකාවේ ද ආණ්ඩු යටතේ සේවය...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
14:17, 5 ජූනි 2023 වන විට නවතම සංශෝධනය
අතීතයෙහි ඉන්දියාවේ ද ලංකාවේ ද ආණ්ඩු යටතේ සේවය කළ උසස් නිලධාරි කොටසකි. ඇතැම් යුගයන්හි දී අධිකාරිවරුන් රජයේ පාලනාංශවල ප්‍රධානීන් හැටියට ද සමහර යුගයන්හි දී යුද්ධ හමුදාවේ නායකයන් වශයෙන් ද කිසිවිටෙක දෙපරිද්දෙන් ම ද සේවය කොට ඇති බව පෙනේ.
කෞටිල්‍යාචාරීන් අධිකරණය නමින් හඳුන්වන්නේ රජයේ කාර්යාංශයකි හෙවත් දෙපාර්තමේන්තුවකි. දෙපාර්තමේන්තුවක ප්‍රධානියා අධිකාර හෙවත් අධිකාරි නම් වේ. නව වන ශතවර්ෂයේ ආරම්භ වූ චෝළ අධිරාජ්‍යයේ පාලන ක්‍රමය යටතේ දකුණු ඉන්දියාවේ සිටි උසස් නිලධාරීන් කොටසක් හැඳින්වුණේ ද අධිකාරි යනුවෙනි. චෝළ පාලන ක්‍රමය යටතේ අධිකාරි කෙනකුට යුද්ධ හමුදාවේ මෙන් ම රාජ්‍ය පාලනයේ කටයුතු ද විශේෂයක් නොමැතිව ඉටු කරන්නට පැවරී තිබිණි. මේ අධිකාරිවරුන් ඔටුනු නොපලන් රජවරුන් වැනි වූ බව ද ඔවුන්ට සෑම රාජකීය සම්මානයක් ම ලැබුණු බව ද ඔට්ටකූට්ටන් විසින් තක්කයාගප්පරණී නම් ග්‍රන්ථයට කරන ලද ටීකාවෙහි සඳහන් වෙයි. ඉන්දියාවේ විජයනගර් රාජ්‍යය (1336-1684) යටතේ ද අධිකාරි තනතුර පැවතිණ. මෙහි අධිකාරීන් වශයෙන් හැඳින්වුණේ නගරපාලකවරුන් හා ග්‍රාම පාලකවරුන්ය.
අධිකාරි ධුරය කවර කලක ලංකාවේ ආරම්භ වී දැයි නිශ්චය වශයෙන් කිව නොහැකිය. අනුරාධපුර යුගයේ අවසාන හරියේ දී රජයේ කාර්යාංශයක හෝ යුද්ධ හමුදාවෙහි හෝ නායකත්වය දැරූවන් අධිකාරි නමින් හැඳින්වුණු බව පෙනේ. තමන් නායකත්වය දැරූ කාර්යාංශයේ හෙවත් අධිකාරියේ නමින් ම ඔවුන් එකල හැඳින්වුණු බව සිතිය හැකිය. සීගිරි පද්‍යයක් ලියූ නක්කමාඩම්බියා නමැති දාස අධිකාරියකු ගැන සීගිරි පද්‍යයක සඳහන් වෙයි. නක්කමාඩම්බියා දාසයන්ගේ හෝ දාසයන් පිළිබඳ අධිකාරියක හෝ ප්‍රධානයා වන්නට ඇතැයි අනුමාන කළ හැකිය. සිව්වන කාශ්‍යප (896-913) රජුගේ කාලයට අයත් සෙල් ලිපියක උතුර් පාඬි රදුන් නම් දෙමළ අධිකාරියකු ගැන කියැවෙයි. මොහු දෙමළ භටහමුදාවක නායකයා වන්නට ඇතැයි සිතේ.
පොළොන්නරු යුගයේ දී අධිකාරි තනතුරු කිහිපයක් ම පැවැති බවට සාක්ෂ්‍ය ඇත. සේන හා මහින්ද යන නම්වලින් හැඳින්වුණු අධිකාරීන් දෙදෙනකු මහපැරකුම්බා (1153-1186) රජු යටතේ සිටි බව චූළවංසයෙහි සඳහන් වෙයි. රාමඤ්ඤ දේශයට විරුද්ධව මහාපරාක්‍රමබාහු රජු විසින් යවන ලද යුද සෙනඟ භාරව ගිය ආදිච්ච නමැති සෙනෙවියා ද මානාවුලු නුවර රාජධානිය කරනු පිණිස පැරකුම්බා මහ රජහු විසින් යවන ලද්දාවූ රක්ඛ සෙනෙවියා ද දමිළාධාකාරීන් බව චූළවංසයෙහි එන විස්තරයෙන් පෙනේ. මේ රජුගේ කාලයට අයත් යයි සැලකෙන ගලපාත සෙල් ලිපියෙහි ද කහම්බල් කුළු මින්දල් නමැති දෙමළ අධිකාරියකු ගැන කියැවෙයි. මහාපරාක්‍රමබාහු රජු සමයේ සිටි ප්‍රධාන නිලධාරීන් ගැන නිකාය සංග්‍රහයෙහි සඳහන් වන තැන "අධිකාර" තනතුරට දී ඇත්තේ ප්‍රථම ස්ථානයයි. සෙනෙවිරත් ඈපා මාපා ආදීන්ගේ නම් සඳහන් කොට ඇත්තේ "අධිකාර" තනතුරට පසුවයි. ලංකාඅධිකාරි යන නමින් හැඳින්වුණු යුද්ධ හමුදා අධිකාරි පදවියක් ද පොළොන්නරු යුගයේ දී පැවතිණ. මහා පරාක්‍රමබාහු රජුගේ යුද්ධ හමුදාවේ නායක පදවි දැරූ කිත්ති හා රක්ඛ යන නම්වලින් හැඳින්වුණු ලංකාධිකාරීන් දෙදෙනකු ගැන චූළවංසයේ සඳහන් වෙයි. ලංකාධිකාර ලොලු පැලෑකුළු ලොකෙනා වන් නමැති සෙනෙවියකු ගැන නිශ්ශංකමල්ල (1187-1196) රජුගේ දොරටියාව සන්නසෙහි කියැවෙයි. ලංකාධිකාර ලොලු පැලෑකුළු දුන්නැවි අබෝනාවන් නමැත්තකු ගැන හා ලංකාධිකාර ලොලු පැලෑකුළු බුදල්නාවන් ගැන සාහසමල්ල (1200-1202) රජුගේ පොළොන්නරු පුවරු ලිපියෙහි සඳහන් වෙයි. කල්‍යාණවතී (1202-1209) රැජිනගේ රුවන්මැලි දාගැබ පුවරු ලිපියෙහි සඳහන් වන "ලංකාධිකාර කොටදනවු දෙවල්නාවන්" එම රැජිනගේ සේනාපතියෙකැයි සිතිය හැකිය. ලංකාධිකාරීවරුන් එකල යුද්ධ හමුදාවේ උසස් තනතුරු දැරූ බව නිශ්චය වශයෙන් ම කිවහැකි නමුත් ඔවුන්ට ඉන් පිටත කවර කාර්‍ය්‍යයන් පැවරී තුබුණේ ද යන්න නිගමනය කළ හැකි නොවේ.
පොළොන්නරු යුගයෙන් පසු කාලවල දී ද දමිළාධිකාරී හා ලංකාධිකාරී යන තනතුරු පැවැති බවට සාක්ෂ්‍ය ඇත. ලංකාධිකාර හා දෙමළාධිකාර යන තනතුරු දෙක ගැන ධර්මසේන හිමියන්ගේ සද්ධර්මරත්නාවලියෙහි ද සඳහන් වෙයි. ගම්පොළ යුගයේ දී මේ නිලධාරියා ලංකාධිකාරි ලක්ධිවු හෝ ලක්දිවු අධිකාරි යනුවෙන් හඳුන්වා ඇති බව පෙනේ. පස්වන පරාක්‍රමබාහු (1344-1359) රජුගේ හපුගස්තැන්න සෙල්ලිපියෙහි සිවල්කොළු ලක්ධිවු නම් වූ අධිකාරියකු ගැන සඳහන් වෙයි. තුන්වන වික්‍රමබාහු (1356-1374) රජුගේ ගම්පොළ විගුලවත්ත සෙල්ලිපියෙහි ද සිවල්කොළු ලක්දිවු අධිකාරියකු ගැන කියැවෙයි. මේ යුගයේ දී ලංකාධිකාරි යන්නට මුලින් "සේනා" යන්නක් ද එකතු කොට "සේනාධලංකාධිකාරි" යනුවෙන් ද අධිකාරියකු හඳුන්වා ඇත.
පොළොන්නරු යුගයේ අවසාන හරියේ සිට අධිකාරිවරුන්ගේ තත්ත්වය හා බලය වැඩි වන්නට වූ බව සිතිය හැකිය. මේ කාලයේ සිට රජුගේ එක් අධිකාරියකු යුද්ධ හමුදාවේ සේනානායක පදවියට පමණක් නොව රටේ අගමැති පදවියට ද පත් කරන ලද බව පෙනේ. ලංකාධිකාරි ලොලු පැලෑකුළු අබෝනාවන් සාහසමල්ල රජුගේ සේනා නායක තනතුරට පත්වූවා පමණක් නොව ඔහුගේ අගමැති හැටියට ද පත් කරන ලද බව සාහසමල්ල රජුගේ පොළොන්නරු පුවරු ලිපියෙන් ඔප්පු වේ. කෝට්ටේ යුගයේ දී ද අධිකාරින් රටේ උසස් තනතුරු දැරූ බව පෙනේ. හවැනි පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී සිටි වික්‍රමසිංහ නමැති අධිකාරි කෙනකු ගැන සඳහන් වෙයි. ඔහු එකල රටේ අගමැති ධුරය ද සන්හස් නිලය හා භාණ්ඩාගාර නායක ධුරය ද දැරූ බව හංස සන්දේශයේ එන විස්තරයෙන් පෙනේ. කෝට්ටේ යුගයෙන් පසු අධිකාරි තනතුර අධිකාරම් හෙවත් අදිකාරම් (බ.) වශයෙන් වෙනස් වූ බව පෙනේ. මහනුවර සමයේ දී පාලන බලතල අතින් අධිකාරම් දෙවැනි වූයේ රජුට පමණකි. අදිකාරි නමින් හැඳින්වෙන පෙළපත් නාමයක් ද ලංකාවේ ඇතැම් පළාත්වල ඇත. පැරණි අධිකාරි තනතුර හා මේ පෙළපත් නාමය අතර ඇති සම්බන්ධය කුමක් දැයි යන්න නිශ්චය වශයෙන් කීමට සාක්ෂ්‍ය නැත.
(සංස්කරණය:1963)