"ආනන්ද වනරතන" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('වනවාසික පරපුරෙහි වූ කීර්තිමත් මහතෙර කෙනෙකි. ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
33 පේළිය: | 33 පේළිය: | ||
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
− | [[ප්‍රවර්ගය: | + | [[ප්‍රවර්ගය: බෞද්ධාචාර්යවරු]] |
[[ප්‍රවර්ගය: ආ]] | [[ප්‍රවර්ගය: ආ]] |
10:29, 5 නොවැම්බර් 2024 වන විට නවතම සංශෝධනය
වනවාසික පරපුරෙහි වූ කීර්තිමත් මහතෙර කෙනෙකි. අභිධර්මමූල ටීකාව (බ.) රචනා කළ ආනන්ද තෙරණුවනුත් ආනන්ද වනරතන තෙරණුවනුත් එක් මැ තෙර කෙනකුන් කොට ඇතැම් කෙනෙක් සලකති. රූපසිද්ධිය (බ.) රචනා කළ චෝළිය බුද්ධප්පිය තෙරුන්ගේ ආචාර්යවරයා ආනන්ද නම් තෙර කෙනකුන් වීම ද ආනන්ද වනරතන තෙරණුවන්ට බුද්ධප්පිය නම් ශිෂ්‍ය කෙනෙකුන් සිටීම ද ඒ මතයට හේතු වූ බව සිතිය හැකිය. ඔවුන්ට මේ නිසා ම “දමිළවසුමතියෙහි සොළීරට බාලාදිත්යාදි ආවාස දෙකක අධිපතිවැ වෙසෙමින් රූපසිද්ධිය රචනා කළ දීපංකර බුද්ධප්පිය තෙරණුවන් ම පසු කලෙක පොළොන්නරු දක්ෂිණාරාමයෙහි වෙසෙමින් පජ්ජමධු නම් පාලිනිබන්ධනය කළහ”යි කියන්නට ද සිදු විය. මෙහි ලා මූලටිකාකාරක ආනන්ද තෙරුන් හා රූපසිද්ධිකාරක දීපංකර බුද්ධප්පිය තෙරුන් අනුරාධපුර යුගයට අයත් ගුරු ශිෂ්‍ය දෙනමක් ලෙස ද ආනන්ද වනරතන තෙරුන් හා පජ්ජමධුකාරක බුද්ධප්පිය තෙරුන් දඹදෙණි යුගයෙහි විසූ ගුරු ශිෂ්‍ය දෙනමක් ලෙස ද පිළිගැනීමට හේතු වූ සාධක විමසා බැලිය යුතුය.
මහාපරාක්‍රමබාහු රජාණන් විසින් බු.ව. 1711 දී කරවන ලද නිකායසාමග්රියෙහි දී ප්රමුඛ ව සිටි ඖදුම්බරගිරි අරණ්‍යවාසී මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ අතවැසි පරපුරෙහි බුද්ධවංස වනරතන නම් මහතෙරකෙනෙක් වූහ. උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යවරයාණෝ ආරණ්‍යක මේධංකර මහාස්වාමීහුයැ. ආනන්ද වනරතන මහතෙරණුවෝ යථෝක්ත ආරණ්‍යක මේධංකර මාහිමියන්ගේ අතවැසි කෙනෙකි. “දිඹුලාගල පරම්පරාවෙන් පැවැත එන බුද්ධවංස වනරතනාභිධාන මහා ස්ථවිරපාදයන්ගේ ප්‍රධාන ශිෂ්‍ය වූ ආරණ්‍යක මේධංකර මහාස්වාමි ප්රමුඛ උභය වාසයෙහි මහාසංඝයා වහන්සේ” (නිකායසංග්‍රහ) යනු ද “උදුම්බරගිරිනිවාසී මේධංකර මහාස්ථවිර ප්රමුඛ” යනු ද “ශාසනෝපස්තම්භකාරී අර්ථානුගත වනරතනාභිධාන බුද්ධවංශ මහාස්ථවිරපාදයාණන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය තත්කාල ශාසනානුශාසක ආරණ්‍යක මේධංකර මහාස්වාමි ප්රමුඛ” (දඹදෙණිකතිකාවත) යනු ද
“ඔදුම්බරාභිහිතපබ්බතවාසිකස්ස
මෙධංකරවහය මහායතිපුඞ්ගවස්ස
සිස්සොරසෙන සපරත්ථරතෙන තෙන
ආනන්දනාමපථිතෙන තපොධනෙන
සඞ්ඛොපතො නිගදිතො පදසාධනත්ථො”
යනු ද විසින් පෙනෙන අභේද්‍ය වූ සාධකයන් ඇසුරු කොටගෙන ආනන්ද වනරතන තෙරණුවෝ දිඹුලාගල පරපුරෙහි වූ ආරණ්‍යක මේධංකර මාහිමියන්ගේ ශිෂ්‍ය කෙනෙක යන නිගමනයට බැසගත හැකිය. මේ තෙරණුවෝ නමින් 'ආනන්ද' වූහ. වනරතන යනු වනවාසික භික්ෂූන්ගේ ප්රමුඛත්වයට පැමිණි තෙරවරුන් හැඳින්වීම සඳහා භාවිතයට පැමිණි පාරම්පරික නාමයක් ලෙසින් ව්‍යවහාර කළ බව පෙනේ. බුද්ධවංස වනරතන නාමය මෙනි.
ආනන්ද වනරතන තෙරණුවන්ට ආරණ්‍යක මේධංකර මහතෙරුන් ප්රව්රජ්යාචාර්යය වූ අතර සංඝරක්ෂිත මාහිමියන් ධර්මාචාර්ය වූ බව පදසාධනසන්නයෙහි සඳහන් වෙයි. උන්වහන්සේගේ ශාස්ත්‍රීය කෘතිය ලෙස පෙනෙනුයේ පදසාධනසන්නයයි. මේ ග්‍රන්ථය හේතුකොටගෙන උන්වහන්සේගේ ජීවනසමය සලකාගැනීමට ද අවකාශ ලැබෙයි. පදසාධනසන්නය ලියන අවධියෙහි සංඝරක්ෂිත මාහිමියෝ ජීවත්ව විසූහ. විජයබාහු III රජුගේ ශාසනශෝධනයෙහි ප්රමුඛ වූවෝ සංඝරක්ෂිත මාහිමියෝය. එ රජුගේ රාජ්‍ය කාලය බු.ව. 1790–94 විය. පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා බු.ව. 1809 වැන්නෙහි ශාසන ශුද්ධියක් කරවීය. ඒ වන විට සංඝරක්ෂිත මාහිමියන් ස්වර්ගස්ථව ආරණ්‍යක මේධංකර මහතෙරණුවෝ මාහිමි පදවියට පැමිණ සිටියහ (නිකායසංග්‍රහ; දඹදෙණිකතිකාවත). බු.ව. 1809යෙන් පෙර සංඝරක්ෂිත මහතෙරණුවන් මාහිමි පදවිය කරවන කල්හි ම ආනන්ද වනරතන තෙරණුවන් පදසාධනසන්නය ලියූ බව ද ක්‍රි.ව. දොළොස් වැනි සියවසේ මධ්‍ය භාගයෙහි උන්වහන්සේ ජීවත් වූ බව ද පිළිගත යුතු වේ. මාඝ විප්ලවයේ දී ලක්දිවින් පලාගොස් පාණ්ඩ්යජනපදයෙහි පේරම් පල්ලි නම් විහාරයෙක්හි වෙසෙමින් උපාසකජනාලංකාරය ලියු 'සීහළාචරිය ආනන්ද' නම් තෙර කෙනෙක් ද වූහ. ඒ තෙරණුවෝ ම පසුව ලක්දිවට අවුත් ආනන්ද වනරතන නමින් විසූහ යි ද උපාසකජනාලංකාරය එරට දීත් පදසාධනසන්නය මෙහි දීත් ලියූහ'යි ද ඇතැම් කෙනෙක් සිතති. කරුණු විමසීමේ දී එය මතිමාත්රයක් බව පෙනේ. ආනන්ද වනරතන තෙරණුවෝ ශාසනෝපස්තම්භකාරී උගත් ශිෂ්‍ය පිරිසක් ද ඇති වැ වැඩ සිටි කෙනෙකි. පද්යමධුව රචනා කළ බුද්ධප්පිය තෙරණුවෝ එක් ශිෂ්‍යවරයෙකි. “ආනන්දරඤ්ඤරතනාදි මහායතින්ද” යනාදි නිගමන ගාථායෙන් ඒ බව දැක්වේ. සමන්තකූටවණ්ණනා, සීහළ සද්දලක්ඛණ, රසවාහිනී යන ග්රන්ථයන් රචනා කළ පළාබත්ගල වේදේහ තෙරණුවෝ තවද ශිෂ්‍ය කෙනෙකි. එබව
“අරඤ්ඤරතනානන්ද—මහාථෙරො මහාගණී
ගරුත්තමාගතො යස්ස—සත්ථසාගරපාරගූ
යො විප්පගාමවංසෙක—කෙතුභූතො තිසීහළෙ
යො'කා සීහළභාසාය—සීහළං සද්දලක්ඛණං
යො ච සමන්තකූටස්ස—වණ්ණනං වණ්ණයීසුභං
තෙන වෙදෙහථෙරෙන—කතායං රසවාහිනී”
යන රසවාහිනී නිගමනයෙන් පැහැදිලිය. සාරත්ථසමුච්චය නම් චතුභාණවාරට්ඨකථාවෙහි එය රචනා කළ තෙරණුවන් ද ආනන්ද වනරතන තෙරණුවන්ගේ ශිෂ්‍ය කෙනෙකුන් බව දක්වා ඇත. ඒ ශිෂ්‍යවරයෝ කිනම් වූහු දැ'යි පවසා නැත. සම්බන්ධචින්තා සන්නය කළ ගෝතම නම් තෙරණුවෝ ද ආනන්ද වනරතන මහතෙරුන්ගේ ශිෂ්‍ය කෙනෙකි. මෙසේ ආචාර්ය උපාධ්‍යායයන් ඇසුරෙහි සිට පදසාධන සන්නය වැනි ග්රන්ථ නිපදවූ සැටියෙන් හා ශාසනෝපස්තම්භකාරී මහාශිෂ්‍ය පිරිසක් තැනූ සැටියෙන් ද ආනන්ද වනරතන යනුදු සීහළාචරිය ආනන්ද යනුදු එක් මැ තෙර කෙනෙක් නොවූහයි සිතිය යුතුය.
(සංස්කරණය: 1965)