"අඹන්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල (1868-1927)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ස්‍යාමෝපාලි මහා නිකායයේ උපෝෂිත පුෂ්පාරාම විහ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
16 පේළිය: 16 පේළිය:
  
 
59 වන ජන්ම දිනයෙහි උන්වහන්සේ  ජන්මාන්තර ගත වූහ.
 
59 වන ජන්ම දිනයෙහි උන්වහන්සේ  ජන්මාන්තර ගත වූහ.
 +
 +
<!--Categories-->
 +
<!--Interwiki-->
 +
[[ප්‍රවර්ගය: අ]]

14:55, 9 නොවැම්බර් 2016 වන විට නවතම සංශෝධනය

ස්‍යාමෝපාලි මහා නිකායයේ උපෝෂිත පුෂ්පාරාම විහාර පාර්ශ්වයේ මහා නායක පදවිය 1925 මාර්තු මස 27 වන දා සිට 1927 අගෝස්තු මස 3 වන දා තෙක් උසුලන ලද්දේ අඹන්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහතෙරපාණන් විසිනි. උන්වහන්සේ වනාහි වලපන පෙදෙසේ අඹන්වැල්‍ල ග්‍රාමයේ ඉඩමේ වලව්වේ රාජකරුණා සෙනෙවිරත්න රත්නායක අප්පුහාමි නිලමේගේ සහ බොර‍ගොල්ලේ වලව්වේ නවරත්න මුදියන්සේ රාළහාමිල්ලාගේ ඩිංගිරිමැණිකේ කුමාරිහාමිගේත් වැඩිමහල් පුත්‍රයායි. උපන්නේ ක්‍රි.ව. 1868 අගෝස්තු මස 3 වන දා පූර්වෝක්ත අඹන්වැල්ලේ ඉඩමේ වලව්වේ දීය. ජන්ම කේන්ද්‍රය සම්පාදනය කළ නක්ෂත්‍රාචාර්යවරයන්ගේ අදහස් ගරු ‍කොට සැලකූ දෙමව්පියෝ සිය ආදරණීය පුතණුවන්ගේ දීප්තිමත් අනාගතය දක්නා රිසියෙන් ඔහුගේ උපතින් නව වැනි වියෙහි දී. එකල ඌව වෙල්ලස්ස දෙපළාතේ ප්‍රධාන නායක පදවිය දැරූ හිමි නමකට සිය පුතණුවන් භාර කොට පැවිදි කරන මෙන් ඉල්ලා සිටියහ. එම ඇරයුම අනුව ඒ නායක හිමිපාණන් වහන්සේ කරුණු සලකා බලා කුලදරුවා සා‍මණේර භූමියට පත් ‍කළහ.

තමා කෙරෙන් අක්ෂර ශික්ෂණය ලබන දහර සාමණේර නමගේ සහජ දක්ෂතාවන් දැක පැහැදීමට පත් ආචාර්යයන්වහන්සේ ශිෂ්‍යවරයාට උසස් අධ්‍යාපනයක් ලබා දෙනු වස් ඔහු විශේෂ ආචාර්යවරයන් කිහිප දෙ‍නකුන්ට භාර කළහ. ආභිධම්මිකාචරිය හැරමිටිගල රතනපාල හිමි, වටරැක අනුනායක හිමි, වලාකුල්පොළ නායක හිමි සහ පාතතොටගමු විහාරස්ථ ශ්‍රී සංඝ‍බෝධි විජයබාහු පරිවේණාධිපති මකලාඬුවේ ශ්‍රී රාහුල මේධංකර හිමි යන ස්ථවිරපාදයන් වහන්සේලා උන්වහන්සේගේ ධර්මශාස්ත්‍රාචාර්යව‍රයෝ වූහ.

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෑඋඩ විල්ලි හත්පත්තුවේ පිහිටි සුප්‍රසිද්ධ රිදීවිහාර භික්ෂු පරම්පරාවට අයත් තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමියන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය බො‍්තොට මේධංකර හිමිපාණන් ආචාර්ය කොට 1888 මැයි මාසයේ දී උන්වහන්සේ උපසම්පදාව ලැබූහ.

උසස් ධර්මශාස්ත්‍රාභ්‍යාසයකින් යුක්තව, විනය ගරුක ශික්ෂකාමී ගුණයෙන් අනූනව, සුදුසු වියෙහි වැඩ වෙසෙන උන්වහන්සේ කෙරෙහි ප්‍රසාදයට පත් මල්වතු විහාරීය කාරක මහා සංඝසභාව විසින් 1894 දී කර්මාචාර්යධුරයකින් ද, 1899 දී දළදා මන්දිරයේ තේවා ධුර නිලයෙන් ද 1900 දි කාරක සභික පදවියකින් සහ ලේඛකාධිකාරී ධුරයෙන් ද, 1911 දී උඩ-පහත ‍හේවාහැට සහ වලපනේ දිසාවේ ප්‍රධාන නායක පදවියෙන් ද, 1923 දී “පහේ වියදම් පඩිය” නම් උච්චශ්‍රේණියේ කාරක සභික පදවියකින් ද උන්වහන්සේ පුදනු ලැබූහ.

මේ ගරු නාහිමිපාණන් වහන්සේ වෙත ප්‍රසාදය සහ විශ්වාසය තහවුරු කරගත් කාරක මහාසංඝ සභාවේ වැඩි ඡන්දයෙන්, ලංකා සම්බුද්ධ ශාසනය පිළිබඳ අතිශය වැදගත් වගකීමක් දරන ස්‍යාමෝපාලී වංශික මහා නිකායයේ මල්වතු පාර්ශ්වයේ මහානායක පදවියට 1925 මාර්තු මස 27 වෙනිදා උන්වහන්සේ තෝරා පත් කරනු ලැබූහ.

මහනුවර නාගවිමාන කන්දේ විහාරය, ‍බෝ ගොඩ කන්දේ රජමහා විහාරය, පස්සර රජ මහා විහාරය ආදි විහාරස්ථාන දොළසක ආධිපත්‍යය දැරූ ‍මේ මහ නාහිමිපාණන් වහන්සේ සමාජ සේවයෙහි අතිශය ලැදිකම් දැක්වූහ. මල්වතු විහාරයේ උන්වහන්සේ වැඩ සිටි ආරාමය මාළිගා දර්ශනාරාමය නමින් හැඳින්වෙයි. එය ද්විභූමික ගොඩනැඟිල්ලකි.

ශ්‍රීමත් අනගාරික ධර්මපාල (පසුව සිරි දේවමිත්ත ධම්මපාල යති) තුමන් විසින් ආරම්භ තරන ලද මහනුවර පොස්ටර් රොබින්සන් සාමනේර විද්‍යාලයේ ආරම්භයේ පටන් ම උන්වහන්සේ එහි අනුශාසක ධූරය දැරූහ. විද්‍යෝදය විද්‍යාලංකාරාදි පිරිවෙන්වල අභිවෘද්ධිය පතා අවස්ථාවෝචිත පරිදි අවශ්‍ය හැම සහායයක් ම දීමට හැම විටම ඉදිරිපත් වූහ.

විනය පිටකයෙහි විශේෂ පටුත්වයක් දැක්වූ උන්වහන්සේ විනය ප්‍රශ්න විසඳීමෙහි චතුර වූහ. සමානාත්මතාව උන්වහන්සේගේ චරිතයෙහි විශේෂ ලක්ෂණයක් විය.

59 වන ජන්ම දිනයෙහි උන්වහන්සේ ජන්මාන්තර ගත වූහ.