උනහපුළුවා
ආසියාවේ ගිනිකොන දික්හි පිහිටි උණුසුම් ප්‍රදේශවල ද නැගෙනහිර ඉන්දියා දූපත්වල ද උනහපුළුවෝ ජීවත් වෙති. උනහපුළුවා ජීවත් වන්නේ ගස් උඩය. බිමට බසින්නේ කලාතුරකිනි. ගසක කඳේ කුහරයක හෝ කුඩා අතු මැද ඌ නිදාගනිමින් දවල් කාලය ගත කරයි. නිදාගන්නා විට අත්පාවලින් රිකිලි අල්ලාගෙන හිස ඇතුළට ඔබා ගෙන ගුළි ගැසී සිටී. රාත්‍රි කාලයේ දී ආහාර සොයමින් ගස් අතු අතරේ හෙමින්, ප්‍රවේසමින් බඩගාගෙන යයි. ගොදුරක් ළඟට මෙසේ පැමිණි විට ඌ වහා ම ගොදුරට පැන එය අල්ලාගනියි.
උනහපුළුවාගේ ශරීරය කුඩාය; සිහින්ය. හිස රවුම්ය. හොම්බ කෙටිය. කපාලය කෙටිය. රවුම්ය. ඇස් ඉතා ලොකුය. කන් තරමක් ලොකුය. කන්වල කේශර ඇත්තේ ස්වල්පයකි. ගාත් ඉතා දිගය; සිහින්ය. වලිගයක් නොමැත. දබරැඟිල්ල කෙටිය. හම කෙටි ලොම් සහිතය. කන් කෙළවර ද අල්ලෙහි ද විළුඹ ප්‍රදේශය හැර යටි පතුලෙහි ද ලොම් නැත. ඉහළ කෘන්තක දත් කුඩාය. අන්තිම ඉහළ චාර්වක දතේ තුණ්ඩ (cusps) හතරක් ද අන්තිම පහළ චාර්වක දතේ තුණ්ඩ පහක් ද ඇත.
ලෝරිස් ටාඩිග්රාඩුස් ටාඩිග්රාඩුස් උපවිශේෂය වූකලි ලංකාවේ ජීවත් වන ඉතා ම කුඩා උනහපුළුවා ය. ඌ අඟල් අටක් පමණ දිගය. උගේ හිස සහ පිට රතු පාටට හුරු දුඹුරු පාටය. කේශරවල මුල් තද කළුපාටය. කටී ප්‍රදේශය හා ත්‍රිකාස්ථික (sacral) ප්‍රදේශය එපමණ තද පාට නොවේ. කළුපාට පෘෂ්ඨිය මධ්‍යක්ෂ තීරයක් දක්නට ලැබේ. එහෙත් මේ තීරය ඉහත කී තුන් වැනි උපවිශේෂයේ දක්නට ලැබෙන තීරය පමණ කළුපාට නැත. අත්පාවල තිබෙන කෙටි කේශර සුදුය. මූණෙහි සහ හොම්බෙහි සුදු කේශර ස්වල්පයක් තිබේ. පරිණත ගෑනු සතා පරිණත පිරිමි සතාට වඩා සෑම අතින් ම ලොකුය. පැටවුන්ට කිරි පොවන කාලයේ දී ගෑනුසතුන්ගේ ස්තන ග්‍රන්ථි අවට ප්‍රදේශය කහපාට ස්‍රාවයකින් වැසී තිබේ. කුඩා පැටවකුගේ ශරීරයේ උඩු පැත්ත ගල්ලෑලි පාටය. යටි පැත්ත සුදුය. කෘමීන් ද කුඩා කුරුල්ලන්, හූනන්, කටුස්සන් හා ගස් ගෙම්බන් වැනි කුඩා පෘෂ්ඨවංශීන් ද මේ උනහපුළුවා ආහාර කොටගනී. කෙසෙල් ගෙඩි හා ගස්ලබු වැනි පලතුරු ද ඌ කයි. සාමාන්‍යයෙන් උනහපුළු මවකට වරකට එක් පැටියෙක් ලැබේ. කලාතුරකින් නිඹුල්ලු ද ලැබෙති.
ලෝරිස් ටාඩිග්රාඩුස් ග්රන්ඩිස් නම් උනහපුළුවා ඉහත විස්තර කරන ලද පාතරට උනහපුළුවාට සමානය. එහෙත් මූ වඩා බරය; වඩා ශක්තිමත්ය. උගේ හමේ ලොම් ඝනය. ශරීරයේ උඩු පැත්ත වඩා දුඹුරු පාටය. යටි පැත්ත වඩා සුදුය. හොම්බේ ලොම් නැති කොටස මඳක් රතු පාටය. ඇස්පිය දාර වර්ණවත්ය. පරිණත ගෑනු සතා පරිණත පිරිමි සතාට වඩා ලොකුය. පහතරට උනහපුළුවාට වඩා මාංසභක්ෂක වූ මේ උනහපුළුවා ගස් ගෙම්බන්, හූනන් හා කටුස්සන් ආහාර කොටගනී.
ලෝරිස් ටාඩිග්රාඩුස් නෝඩිකුස් නම් උනහපුළුවා ලංකාවේ ජීවත් වන විශාලතම උනහපුළුවාය. උගේ හමේ ලොම් ඉතා ඝනය. ශරීරයේ උඩු පැත්ත සාමාන්‍යයෙන් තද අළු පාටය. පැහැදිලිව පෙනෙන කළුපාට මධ්‍යක්ෂ තීරයක් උගේ ශරීරයේ උඩු පැත්තේ වෙයි. යටි පැත්ත සුදුය. නාස්පුඩු මඳක් රතු පාටය. කන් කළු පාටය. ඇස්පිය වර්ණවත්ය. අල්ල හා යටි පතුල මඳක් රතු හෝ කහ පාටය. අනික් උනහපුළුවාගේ මෙන් මේ උනහපුළුවාගේ සිටිමි සතා හා ගෑනු සතා අතර වැඩි වෙනසක් දක්නට නැත. මුගේ ප්‍රධාන ආහාරයත් ගස් ගෙම්බන් හා කටුස්සෝයි.
උනහපුළුවා ගැන නොයෙක් මිථ්‍යාකථා ගැමියන් අතර අසන්නට ලැබේ. උගේ ඇස්වලින් ගැමියෝ නොයෙක් බෙහෙත් වර්ග සාදති.
බ්ර්ඩිකේබුස් ටාඩිග්රාඩුස් (Bradicebus tardigradus) නමින් හැඳින්වෙන උනහපුළුවා ඉන්දියාවේ ද නැගෙනහිර ඉන්දියා දූපත්වල ද ජීවත් වේ. උගේ ගාත් වඩා ශක්තිමත්ය. ගලාගෝ (Galago), එව්වොටිකුස් (Euoticus), පෙරොඩික්ටිකුස් (Perodicticus) සහ ආක්ටොකේබුස් (Arctocebus) අප්‍රිකාවේ දක්නට ලැබෙන උනහපුළු ගණ සතර වේ. උනහපුළුවා මමාලියා වර්ගයෙහි ප්‍රිමාටේස් ගෝත්‍රයෙහි ලෝරිසිඩේ (Lorisidae) කුලයට අයත්ය.
(සංස්කරණය: 1970)


