රාල්ෆ් වෝල්ඩෝ එමසන්
දාර්ශනික දේශකයකු වශයෙන් එමසන් ඉතා ඉහළ තැනක වැජැඹුණේය. 1837 දී ඔහු හාවඩ් විශ්වවිද්‍යාලයෙහි ෆයි බීටා කැපා සමිතිය හමුවේ කළ ‘ඇමෙරිකානු පණ්ඩිතයා’ නම් දේශනාව ‘ඇමෙරිකාවේ බුද්ධිවාදී ස්වාධීනතාව පිළිබඳ ප්රකාශනය’ යන නමින් ප්‍රශංසා පූර්වකව හඳුන්වා ඇත. එම දේශනාවෙන් ඇමෙරිකාව යුරෝපීය සංස්කෘතික නායකත්වයෙන් අත්මිදිය යුතු යයි ද ඇමෙරිකානු චින්තකයන් විසින් පැරණි නිර්මාණාත්මක කෘතීන් ඇසුරෙන් හා ස්වභාව ධර්මයත් පොදු ජනතාවත් ඇසුරෙන් සකස් කරගත යුතු ඇමෙරිකානු සමාජය පිළිබඳ නායකත්වයක් ඇති විය යුතු යයි ද හෙතෙම තරයේ පවසා සිටියේය. යමකුට මුක්තිය සොයාගත හැක්කේ තමාගේ ම ආත්මයෙහි පමණකැයි අනුශාසනා කරමින් 1838 දී හාවඩ් දේවධර්ම පාඨශාලාවෙහි දී ඔහු කළ දේශනාව ක්‍රිස්තු ධර්මය ප්‍රතික්ෂේප කිරීමක් ලෙස වරදවා තේරුම් ගැනීමෙන් හාවඩ් විශ්වවිද්‍යාලයෙහි පඬිවරුන් ඉන් පසු ඔහු කෙරෙහි අප්රසන්නභාවයක් දැක්වුව ද දේශකයකු වශයෙන් ඔහුගේ කීර්තිය ක්‍රමයෙන් තහවුරු වෙමින් රට පුරා පැතිරී යාම නිසා හෙතෙම අවුරුදු තිහකට වැඩි කාලයක් මුළුල්ලේ දේශනා චාරිකාවල යෙදී ඇමෙරිකාවේ අස්සක් මුල්ලක් නෑර වාගේ සංචාරය කෙළේය.
එමසන් 1836 දී ‘ස්වභාව ධර්මය’ (Nature) නමැති නිබන්ධය නිර්නාමිකව පළ කෙළේය. ඉන් ස්වභාව ධර්මයෙහි ගූඪාත්මක ඒකීයභාවය පිළිබඳ දැඩි විශ්වාසයක් හෙළි වෙයි. ඔහු 1841 දී පළ කළ ‘නිබන්ධ, ප්‍රථම පද්ධතිය’ (Essays, First Series) ද 1844 දී පළ කළ ‘නිබන්ධ, ද්විතීය පද්ධතිය’ (Essays, Second Series) ද යන කෘති දෙකින් පරිණත බුද්ධිප්‍රභාවයක් දැක්වෙයි. ඉන් මුල් නිබන්ධ පද්ධතියෙහි එන ‘පරමාත්මය’ (Over- Soul), ‘වන්දිය’ (Compensation), ‘ආත්ම විශ්වාසය’ (Self-Reliance) ආදි නිබන්ධ ඉතා ප්රකටය. දෙවන නිබන්ධ පද්ධතියට ‘දේශපාලනය’ (Politics), ‘සච්චාරිත්‍ර’ (Manners) වැනි වඩා ප්‍රායෝගික කරුණු විෂය වී ඇත. ඔහුගේ ‘නියෝජනීය මිනිස්සු’ (Representative Men) නමැති කෘතිය 1850 දී පළ කරන ලදි. දාර්ශනිකයා, ගූඪවාදියා, සංශයවාදියා, කවියා, ලෞකික මිනිසා, ලේඛකයා යන කොටස් සය නියෝජනය කරන ශ්‍රේෂ්ඨ මිනිසුන් බිහි කිරීම ශිෂ්ටාචාරයෙහි අරමුණය යන අදහස ඉන් ඉදිරිපත් කැරෙයි. ‘ඉංග්‍රීසි ලක්ෂණ’ (English Traits), ‘ජීවිත චර්යාව’ (Conduct of Life), ‘සමාජය හා හුදෙකලාව’ (Society and Solitude) ආදිය ඔහුගේ වෙනත් වැදගත් කෘති වේ.
කිවියකු වශයෙන් ද එමසන් ඉතා වැදගත් තැනක් හිමි කරගත්තේය. නිසගින් ම තමා කෙරෙහි කිවිකම පිහිටා ඇතැයි හෙතෙම හැම විට ම සැලැකුවේය. 1847 දී ඔහුගේ මුල් කවි එකතුව පළ කරන ලදි. ඔහුගේ ගද්‍ය කෘති මෙන් කාව්‍ය ද දාර්ශනික ගැඹුරු අදහස්වලින් පිරී ඇත. ඉන් සමහරක් ඇමෙරිකානු සාහිත්‍යයෙහි දක්නට ලැබෙන ඉතා විශිෂ්ට කාව්‍ය අතුරෙහි ලා ගණිනු ලැබේ. ‘ශෝකගීතය’ (Threnody), ‘බ්රහ්මා’ (Brahma), ‘ගැටලුව’ (The Problem), ‘එක හා හැම’ (Each and All), ‘රොඩෝරා ශාකය’ (The Rhodora), ‘අවසන් නැවතුම් පොළ’ (Terminus), ‘කොංක’ඩ් ගීතිකාව’ (The Concord Hymn) ආදිය ඔහුගේ ඉතා ප්‍රසිද්ධ කාව්‍යයි.
ජෝජ් සන්තයානා, ජෝන් ඩ්යුවි වැනි සුප්‍රකට ඇමෙරිකානු දාර්ශනිකයන් හා විචාරකයන් විසින් එමසන් ඉතා විශිෂ්ට දර්ශනවාදියකු ලෙස සලකන ලදි. ඔහුගේ දර්ශනවාදයෙන් ඉගැන්වුණු ආත්ම විශ්වාසයත් පුද්ගලයාගේ ස්වතන්ත්රභාවයත් පිළිබඳ අදහස් නව එංගලන්තයේ අනුභවාතීතවාදයෙහි ප්‍රතිෂ්ඨාව වූයේය. මේ අනුභවාතීතවාදය වූකලි ජර්මන් විඥානවාදී දාර්ශනිකයන්ගෙන් ද ප්ලේටෝගෙන් හා නවප්ලේටෝනිකවාදයෙන් ද පෙරදිග ආගම්වලින් හා ගූඪවාදයෙන් ද ගත් මූලික අදහස් සංකලනය කිරීමෙන් ඇති කරන ලද සාරසංග්රාහක (eclectic) දර්ශනයකි. මනුෂ්‍යයා කෙරෙහි ඉන්ද්රියයන් ඉක්මවාලීමටත් ඉන්ද්රියානුභූතිය ඉක්මවාලන කල්පනාවන් හා ප්‍රතිභානයන් උපයාලීමටත් සමත් සහජශක්තීන් වෙතැයි ඉන් පැවසෙයි. දෙවියන් වහන්සේ මනුෂ්‍යයකු ලෙස හෝ ත්‍රිත්වයක් ලෙස නොසලකන මේ දර්ශනයෙන් දෙවියන් වහන්සේ අද්වෛත යයි ද ක්‍රිස්තුස් වහන්සේ දිව්‍යමය කෙනකුන් නොව පෘථිවියෙහි මනුෂ්‍යයාගේ ශක්‍යතාවන්ගේ උච්චතම ප්රත්යක්ෂීකරණය යයි ද උගන්වනු ලැබේ. දෙවියන් වහන්සේ මනුෂ්‍යයා කෙරෙහි අන්තර්ගත බවත් උන් වහන්සේ මනුෂ්‍යයාට ප්‍රතිභානයෙහි මාර්ගයෙන් ඥානය ලබා දෙන ආධ්‍යාත්මික ශක්තියෙහි ප්රභවය වූ සර්ව ව්‍යාපී කාරුණික පරමාත්මය (Over- Soul) බවත් එමසන් විශ්වාස කෙළේය. මනුෂ්‍යයකු කෙරෙහි ඇති දෙවියන්වහන්සේ සතු කොටස ඔහුගේ ආත්මය බව ද තමා විශ්වාස කරන හැම මනුෂ්‍යයකු ම තමා තුළ වූ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන බව ද මේ ආත්මවිශ්වාසය කෙරෙහි හැම මනුෂ්‍යයකුට ම සමාන අයිතියක් ඇති නිසා එහි ආත්මාර්ථකාමීභාවයක් හෝ හිංසාකාරීභාවයක් පැවැතිය නොහැකි බව ද පවසන ඔහුගේ මේ දර්ශනවාදය සම්මත ක්‍රිස්තියානි ආගමික පුද පිළිවෙත්වලට පටහැණි වූවකි.
(සංස්කරණය: 1974)
