එමු
උතුරු ඕස්ට්‍රේලියා, නිව් ගිනි යනාදි ප්‍රදේශවල දක්නට ලැබෙන තවත් දුර්ලභ විශාල පක්ෂියකු වන කැසොවරි (cassowary) නම් කුරුල්ලාට එමු කිට්ටු සබඳකම් දක්වයි. එහෙත් කැසොවරිගේ මෙන් නොව එමුගේ පිහාටු කළුපාටට හුරුය. උගේ හිසත් බෙල්ලත් පිහාටුවලින් වැසී ඇත. කැසොවරිට තිබෙන කොරොස් ශිරස්කය (helmet) හා දීප්තිමත් වැදැලි (caruncles) එමුට නැත. එමුගේ ඇතුළු පා ඇඟිලිවල අමුතු නියක් තිබේ. එක් එක් පාදයක පා ඇඟිලි තුනක් තිබේ. පැස්බරාගේ එක් එක් පාදයේ ඇත්තේ පාඇඟිලි දෙකක් පමණි. පැස්බරාගේ බෙල්ලට හා ගාත්වලට වඩා එමුගේ බෙල්ල හා ගාත් කෙටිය.
එමු සාමාන්‍යයෙන් ජීවත් වන්නේ එළිමහන් තැනිතලාවලය. එක පවුලකට අයත් එමු කුරුල්ලෝ එකට ජීවත් වෙති. එසේ නැතහොත් මොවුහු රංචු වශයෙන් ජීවත් වෙති. ශාකවල කොළ, මුල් හා ඵල උන්ගේ ප්‍රධාන ආහාර වේ. කිරිල්ල බිත්තර දැමීම පිණිස පොළොවේ පස් හාරා ඉවත් කොට කූඩුවක් ලෙස නොගැඹුරු වළක් තනා ගනී. ඈ එහි එක් වරකට කොළපාට බිත්තර 6 සිට 13 දක්වා දමයි. කිරිල්ල බිත්තර දැම්මාට පසු කුරුල්ලා ඇය එළවා දමා බිත්තර රකින්නට පටන් ගනී. පැටවාගේ ශරීරයෙහි සිරස් අතට වැටුණු කළුපාට ඉරි තිබේ. පැටවු ගසන කාලයේ දී මේ කුරුල්ලෝ මහත් ගැඹුරු හඬක් පතුරුවමින් කෑගසති. උන්ගේ ශ්වාස නාල අමුතු ව්‍යූහයකින් යුක්ත නිසා උන්ට මෙපරිද්දෙන් කෑගසන්නට පුළුවන. එමුගේ පිහාටුවල වටිනාකමක් නැත. උගේ මස් ද කෑමට එතරම් සුදුසු නැත. එහෙත් ඕස්ට්‍රේලියාවේ ආදිවාසීහු එමු මස් ආහාරයට ගනිති. එමු පහසුවෙන් හීලෑ කළ හැකිය. හීලෑ කළ විට ඌ සුරතල් සතෙක් වේ.
කැසුවරීපෝමේස් (Casuariiformes) ගෝත්‍රයෙහි ඩ්රොමිසෙයිඩෙ (Dromiceiidae) කුලයට එමු අයත්ය. ඕස්ට්‍රේලියාවේ උතුරු, ගිනිකොන හා නිරිත යනාදි ප්‍රදේශවලට සීමා වූ එමු උප-විශේෂ තුනක් හඳුනා ගෙන තිබේ. තවත් උප-විශේෂයක් කලින් ටැස්මේනියාවේ ජීවත් වූ නමුදු දැන් එය නෂ්ට වී ඇත. කලක් කිං හා කැන්ගරූ දූපත්වල විසූ වෙනත් විශේෂ ද දැන් නෂ්ට වී ඇත. සෑම විට ම වාගේ නොයෙක් හිරිහැරවලට ලක් වන බැවින් එමු පක්ෂීන්ගේ සංඛ්‍යාව දැන් ක්‍රමයෙන් අඩු වේගෙන යයි.
(සංස්කරණය: 1974)
