ඇල්ෆ්‍රඩ් ජුල්ස් එයර්
(Ayer, A. J.). මොහු වූකලි, වර්තමානයෙහි බ'ට්‍රන්ඩ් රසල් හැරුණු විට, සාමාන්‍ය ජනතාව අතර පවා වඩාත් ම නමගිය ප්‍රධාන පෙළේ බ්‍රිතාන්‍ය දාර්ශනිකයායි. 1922 දී වියනා විශ්වවිද්‍යාලයේ විද්‍යාත්මක දර්ශනය පිළිබඳ මහාචාර්ය්ය ධුරයට පත් වූ මොරිට්ස් ෂ්ලික්ගේ ප්‍රධානත්වයෙන්, රුඩොල්ෆ් කානැප්, ෆ්රීඩ්රික් වයිස්මාන්, ඔටෝ නොයිරාත්, කාල් මෙංගර් ආදි විද්‍යාඥ පිරිසක් විසින් පිහිටුවා ගන්නා ලද ‘වියනා කවය’ (Vienna Circle) නමින් සුප්‍රකට සංසදයෙන් බිහිවුණු ‘තර්කානුසාරී යථානුභූතවාදය’ (Logical Positivism) නමින් දන්නා දර්ශනය ඉංග්‍රීසි කථා කරන ලෝකයට හඳුන්වා දෙන ලද්දේ මොහු විසිනි. 1936 දී එයර් පළ කළ භාෂාව, සත්‍යය හා තර්කය (Language, Truth and Logic) නමැති කෘතියෙහි මෙකී දර්ශනයේ අදහස් ඉතා ප්‍රබල ලෙස ගෙනහැර දැක්විණ. වර්තමාන බ්‍රිතාන්‍ය දර්ශනය ගැන ලියන බ්‍රයන් මැගීට අනුව 20 වැනි සියවසේ ඉංග්‍රීසියෙන් ලියැවුණා වූ ද, දාර්ශනික ලෝකයේ මහත් ආන්දෝලනයක් ඇති කළා වූ ද දාර්ශනික නිබන්ධය එයර්ගේ මේ කෘතියයි.
1910 දී උපත ලැබූ එයර්, ඊටන් විද්‍යාලයෙහි සහ ඔක්ස්ෆඩ්හි ක්රයිස්ට් චර්ච් විද්‍යාලයේ ඉගෙනුම ලද්දේය. ඔහු දෙවන ලෝක යුද්ධ සමයෙහි උසස් නිලධාරියකු ලෙස වෙල්ෂ් ගාඩ් සේවයේ නිරත වූයේය. යුද්ධයෙන් පසුව 1946 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ මහාචාර්ය පදවිය ලැබූ එයර් 1959 දී ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ නිව් කොලෙජ්හි දර්ශනය පිළිබඳ මහාචාර්ය ධුරයට පත් විය. 1970 දී ඔහුට නයිට් පදවියක් ප්රදානය කරනු ලැබීය. එයර්ගේ ප්‍රධාන දාර්ශනික සංකල්ප පහත දැක්වේ:
(i) ආනුභවික උපන්‍යාසයන් (Empirical hypotheses) සහ පුනර්වාචකයෝ (Tautologies)
'භාෂාව, සත්‍යය සහ තර්කය’ නමැති කෘතිය පිට වූ 1936 සිට අද දක්වා ගොඩ නැඟෙමින් පවතින මොහුගේ දර්ශනයත්, එය විකසිත කෙරෙන දාර්ශනික සංකල්පත් ඉතා සංකීර්ණය; දුරවබෝධය. සංශයවාදී සහ ආධිභෞතිකවාදී බලපෑම් නිර්භීතව ඉවත ලමින් පැහැදිලි දර්ශනයක් සඳහා එයර් පසුබිම සකස් කර ඇත්තේ ඩේවිඩ් හ්යුම් නමැති බ්‍රිතාන්‍ය අනුභූතිවාදියාගේ අනුභූතිවාදය සහ බ'ට්‍රන්ඩ් රසල්ගේත් විට්ගන්ෂ්ටයින්ගේත් තාර්කික සහ දාර්ශනික ශිල්පී ක්‍රම අනුසාරයෙනි.
එහෙත් ලොක්, හ්යුම් වැනි අනුභූතිවාදී දාර්ශනිකයන් ඉදිරිපත් කළ අනුභූතිවාදයෙන් තමා ඉදිරිපත් කරන අනුභූතිවාදය වැදගත් ආකාරයකින් වෙනස් බව එයර් දක්වා ඇත. ලොක්, බාක්ලේ සහ හ්යුම් ඉදිරිපත් කළ අනුභූතිවාදය වනාහි කිසියම් ආකාරයක ‘මනෝවිද්‍යාත්මක අනුභූතිවාදයක්’ බවත්, තමා ඉදිරිපත් කරන අනුභූතිවාදය ‘තාර්කික අනුභූතිවාදයක්’ ලෙස හැඳින්විය හැකි බවත් හේ කියයි. මනෝවිද්‍යාත්මක අනුභූතිවාදීන්ගේ ව්‍යායාමය වූයේ හුදෙක් අනුභූතිය පදනම් කොට ගෙන ‘ඥානය’ ගොඩනැගෙන ආකාරය පෙන්වාදීමය. එනම්, සංකල්ප ගොඩනැඟෙන ආකාරයත්, ඒ ආශ්‍රිතව ‘ඥානය’ ඇතිවන ආකාරයත් පැහැදිලි කරදීම මේ ව්‍යායාමයේ අරමුණ විය. එහෙත් සංකල්ප ගොඩනැගෙන ආකාරය පෙන්වාදීම දාර්ශනිකයකුගේ නොව මනෝවිද්‍යාඥයකුගේ කාර්යයක් බව එයර් පෙන්වා දෙයි. දාර්ශනිකයාගේ ව්‍යායාමය වනුයේ සංකල්ප පිළිබඳ තාර්කික විග්‍රහයක් ඉදිරිපත් කිරීමය. නිදසුනක් වශයෙන්, ‘ඥානය පිළිබද ගැටලුව’ ම ගනිමු. එයර් පෙන්වා දෙන ආකාරයට අනුව මෙහි දී දාර්ශනිකයා කළ යුත්තේ ‘ඥානය’ (‘දැනීම’) යන වචනය භාවිත වන විවිධ සන්දර්භ විමසමින් එහි භාවිතයට සපුරාලිය යුතු ප්‍රත්‍යය මොනවාදැයි පෙන්වා දීමය. එම වචනය පිළිබඳව තාර්කික විග්‍රහයක් ඉදිරිපත් කෙරෙනුයේ එවිටය. මේ අන්දමට හ්‍යුම්ගේ වැනි අනුභූතිවාදයකින් එයර් ඈත් වී ඇතත්, තමාගේ දාර්ශනික සංකල්ප හ්‍යුම්ගේ දර්ශනවාදය ආශ්‍රිතව ගොඩනැඟී ඇතැයි ඔහු සාඩම්බරව පවසා ඇති වාර බොහෝය.
ඉහත සඳහන් කෘතියෙහි එයර් කරනුයේ කියමන් ඉතා පුළුල් ලෙස කොටස් දෙකකට බෙදීමය. එනම් පශ්චාදනුභූත සංශ්ලේෂී (A posteriori synthetic) සහ ප්‍රාගනුභූත විශ්ලේෂී (A priori analytic) යනුවෙනි. පූර්වෝක්තය ‘ආනුභවික උපන්‍යාසයන්’ ලෙස ද අපරෝක්තය ‘පුනර් වාචකයන්’ ලෙස ද හැඳින්වීම එයර්ගේ දර්ශනයේ ලක්ෂණයකි.
පශ්චාදනුභූත සංශ්ලේෂී කියමන් හෙවත් ආනුභවික උපන්‍යාස වනාහි නව ඥානයක් ලබා දෙන කියමන්ය. ආනුභවික භෞතික ලෝකය පිළිබඳ ඕනෑම කියමනක් අවශ්‍යයෙන් ම ආනුභවික උපන්‍යාසයකි; ඒවායේ නියතතාවක් නොමැත; අවශ්‍ය සත්‍යයක් විය නොහැක. උපරිම වශයෙන් ඒවායෙහි ඇත්තේ උසස් භාව්යතාවක් (A high degree of probability) හෝ අඩු භාව්යතාවක් (A low degree of probability) ය. මේ නිසා ඕනෑ ම අවස්ථාවක අසත්‍යයක් වීමට සෛද්ධාන්තික හැකියාවක් ඒවාට ඇත.
ප්‍රාගනුභූත විශ්ලේෂී කියමන් හෙවත් පුනර්වාචක මීට වඩා වෙනස්ය. එවැනි කියමනකට නිදසුනක් වශයෙන් “සියලු රතු වස්තු වර්ණයකින් යුතුය” යන්න දැක්විය හැක. මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් කරමින් තමාගේ දර්ශනය හසුරුවන මේ දාර්ශනිකයා මෙසේ කියයි. පුනර්වාචක අවශ්‍යයෙන් ම නව ඥානයක් ගෙන නොදේ. උපරිම වශයෙන් පුනර්වාචකයකින් කෙරෙනුයේ වාච්යයේ අවශ්‍යයෙන් ම අඩංගු කිසිවක් වාචකය මාර්ගයෙන් සවිස්තරව පැහැදිලි කිරීමකි. වාච්යයේ අඩංගු දෑ ම විස්තර කරන නිසා කිසි නව ඥානයක් එවැනි කියමනකින් නොලැබේ. ශුද්ධ ගණිතයෙහි සහ තර්ක ශාස්ත්‍රයෙහි අඩංගු වනුයේ මෙවැනි කියමන් බව එයර්ගේ ප්‍රධාන පිළිගැනීමකි. පුනර්වාචකවල මේ ලක්ෂණය නිසා ඒවායෙහි සත්‍යාසත්‍යතාව සඳහා බාහිර සත්යෙක්ෂණයක් අනවශ්‍යය. මේ අනුව පුනර්වාචකවල සත්‍යාසත්‍යතාව රැඳෙනුයේ අවිසංවාදී නියමය (law of non-contradiction) මතය. ප්‍රාගනුභූත විශ්ලේෂී කියමනක ප්‍රතිෂේධනය (negation) අසත්‍ය නොවී විසංවාදී වන්නේ එහෙයිනි. එම නිසා අවශ්‍යයෙන් ම පුනර්වාචකයෝ (ප්‍රාගනුභූත විශ්ලේෂී කියමින්) නව ඥානයක් ලබා නොදෙති. එහෙත් ඒවා අර්ථ ශූන්‍ය නොවෙති. ආනුභවික ලෝකය පිළිබඳව කිසි ඥානයක් ලබා නොදෙන ඒවා අවශ්‍ය සත්‍යයෝ වෙති.
(ii) ‘සත්‍යෙක්ෂණ මූලධර්මය’ (The principle of verification) සහ අර්ථශූන්‍ය බව
වාක්‍යයක් වචනානුසාරයෙන් ම අර්ථවත් යයි නිශ්චය කරගත හැකි වනුයේ ‘සත්‍යෙක්ෂණ මූලධර්මය’ මගින් සපයනු ලබන මිනුම් මාර්ගකොටගෙනය. මේ මූලධර්මය ක්‍රමවත්ව මෙසේ දැක්විය හැක. එනම්, වාක්‍යයක් වචනානුසාරයෙන් ම අර්ථවත් වනුයේ එය ප්‍රකාශ කරන ප්රස්තුතය (proposition) “ආනුභවික ලෙස සත්‍යෙක්ෂණය කළ හැකි” නම් හෝ “විශ්ලේෂී” වේ නම් හෝ පමණි. මෙහි “ආනුභවික ලෙස සත්‍යෙක්ෂණය කළ හැකි” යනුවෙන් හැඳින්වෙනුයේ පශ්චාදනුභූත සංශ්ලේෂී වාක්‍යයන් (කියමන්) වන අතර “විශ්ලේෂී” යනුවෙන් හැඳින්වෙනුයේ ප්‍රාගනුභූත විශ්ලේෂී වාක්‍යයන්ය. මින් එයර් අදහස් කරන්නේ අර්ථවත් වාක්‍යයන් (කියමන්) දෙවර්ගයක් පමණක් ඇති බවයි.
මීට අතිරේකව කිසියම් වාක්‍යයක් (කියමනක්) තිබෙන්නට පුළුවන. එහෙත් එවැනි වාක්‍යයක් ව්‍යාකරණානුකූලව ගොඩනඟා ඇතත් එය අවශ්‍යයෙන් ම අර්ථ විරහිතය. ආධිභෞතික (metaphysical) කියමන් අයත් වනුයේ මේ වර්ගයටය. මෙවැනි කියමනක් විශ්ලේෂී හෝ ආනුභවික හෝ නොවන නිසා, තර්කානුසාරී යථානුභූතවාදී අර්ථය පිළිබඳ වාදයේ මිනුම වන “සිද්ධිවාචක කියමනක අර්ථය වනාහි එහි සත්‍යෙක්ෂණ ක්රමයය” (The meaning of a factual statement is the method of its verification) යන්න හා අනුරූප නොවේ. තවද, ආධිභෞතික කියමනක් විශ්ලේෂී ද නොවන හෙයින් ගම්‍ය වන්නේ මෙවැන්නකි. එනම්, එවැනි කියමනක් අවශ්‍යයෙන් ම අර්ථශූන්‍ය වන බවකි. මෙවැනි ආධිභෞතික කියමනක නියම ස්වභාවය පිළිබඳ පැහැදිලි අදහසක් ඇති කර ගත හැකි වනුයේ එවැන්නක් පිළිබඳ එයර්ගේ නිර්වචනය දෙස බැලීමෙනි. ඔහුට අනුව ආධිභෞතික කියමනක් මෙසේ නිර්වචන කොට දැක්වේ. එනම්, “ආධිභෞතික කියමනක් කිසියම් කියමනකි. සත්‍ය කියමනක් ප්‍රකාශ කොට සිටීම එහි අභිප්‍රායයි. එහෙත් එය පුනර්වාචකයක් හෝ ආනුභවික උපන්‍යාසයක් හෝ ප්‍රකාශ නොකරයි.” මෙවැනි කියමනක් ඉතා ප්‍රබල අන්දමට ව්‍යාකරණානුකූල වුව ද, පවසන්නා වෙත ප්‍රබල භාවික අර්ථයකින් විශ්වාසයක් පැවැතිය ද, වචනානුසාරයෙන් ම එය අර්ථශූන්‍යය. එයින් ප්‍රකාශ වන ප්රස්තුතය ආනුභවික ලෙස සත්‍යෙක්ෂණය කළ හැකි හෝ විශ්ලේෂී හෝ නොවන හෙයිනි.
මේ විග්රහයට අනුව දේවධර්මය වනාහි කිසියම් විශේෂ වර්ගයක ආධිභෞතිකවාදයකි. එහි එන දෙවියන්ගේ පැවැත්ම, ආත්මයේ අමරණීයත්වය වැනි දේ පිළිබඳව කියැවෙන ප්රකාශනවල (කියමන්වල) සත්‍යබව හෝ අසත්‍යබව හෝ සෙවීම නිෂ්ඵලය. එයට හේතුව එවැනි ප්රකාශනයන් මූලික ලෙස ම අර්ථශූන්‍ය වීමයි. ආචාර ධර්මයේ සහ සෞන්දර්යවාදයේ ද ඇත්තේ හැඟීම් පිළිබඳ ධ්වනීන්ගෙන් යුත් ප්රකාශනයන් නිසා ඒවා ද අර්ථශූන්‍යය. නිදසුනක් වශයෙන්, ‘යහපත්’, ‘ලස්සණ’ ආදී වචන අන්තර්ගත කොට ප්රකාශනයක් කරන විට බාහිර ලෝකය පිළිබඳ යම් දෙයක් (ආනුභවික සත්‍යයක්) නොකියැවෙන බවත්, එමෙන් ම ඒවායින් විශ්ලේෂී සත්‍යයක් ප්‍රකාශ නොවන බවත් එයර් පෙන්වා දෙයි. මේ අනුව ආචාර ධර්මයේ සහ සෞන්දර්යවාදයේ අන්තර්ගත කියමින් අවශ්‍යයෙන් ම ‘ආවේග ප්‍රකාශන’ (emotive expressions) වේ. මෙවැනි ප්‍රකාශන සම්බන්ධයෙන් ‘සත්‍ය’, ‘අසත්‍ය’ ආදි වචන භාවිතා කළ නොහැකිය. එනම්, “මේ මල ලස්සණය” කියා කෙනකු පැවැසුවහොත් ඔහුගේ ප්රකාශනය ‘සත්‍ය’ හෝ ‘අසත්‍ය’ හෝ නොවේ. කෙනකු “මල ලස්සණය” යයි කියන විට තවත් කෙනකු “මල අවලස්සණය” යයි කියන්නේ නම්, එහි දී එක් කියමනක් අවශ්‍යයෙන් අසත්‍යයක් වන්නේ නැත. එහෙත් ‘2+2=4’ යන කියමන එක ම පද්ධතියක් තුළ දී කෙනකුට සත්‍ය වීමටත්, තවත් කෙනකුට අසත්‍ය වීමටත් නොහැකිය. ‘යහපත්ය’, ‘ලස්සණය’ ආදි වශයෙන් කෙරෙන ප්‍රකාශන සත්‍ය හෝ අසත්‍ය හෝ විය නොහැකි නිසා ‘ඥානය’ (දැනීම), ‘විශ්වාසය’ ආදි වචනත් ඒවා සම්බන්ධයෙන් යෙදිය නොහැකිය. එනම්, “යහපත පිළිබඳ ඥානයක් (දැනීමක්) තිබේ” යයි කියන්නේ නම්, එය අවශ්‍යයෙන් ම අර්ථශූන්‍ය කියමනක් වේ.
මේ අන්දමට ආචාර ධර්මයේ සහ සෞන්දර්යවාදයේ අන්තර්ගත කියමන් හුදු ආවේගාත්මක ප්රකාශනයන් සමූහයක් පමණක් බව මේ දාර්ශනිකයා පිළිගන්නා හෙයින් එම මතය ‘භාවිකවාදය’ (Emotive Theory) යන නමින් ඇතැමෙක් හඳුන්වති. දර්ශන ඉතිහාසයේ දැකගත හැකි බොහෝ දාර්ශනික පද්ධතීන්හි ප්‍රධාන ලෙස ඇත්තේ මෙවැනි අර්ථශූන්‍ය ආධිභෞතික වාක්‍යයන් (කියමන්) බව එයර්ගේ දාර්ශනික විමර්ශනයන්ගෙන් හැඟේ.
ඔක්ස්ෆඩ්හි සාමාන්‍ය භාෂා දාර්ශනිකයන් (ordinary-language philosophers) සහ ඒ අදහස් අනුගමනය කරන වෙනත් දර්ශනවාදීන් එයර්ගේ සීමිත ‘සත්‍යෙක්ෂණ මූලධර්මයෙන්’ කියැවෙන ‘අර්ථවත්බව’ සහ ‘අර්ථ ශූන්‍ය බව’ විවේචනය කරන බව පෙනේ. එයර්ගේ ‘අර්ථය පිළිබඳ යථානුභූතවාදය’ වෙනුවට ‘අර්ථය පිළිබඳ භාවිතවාදය’ ඔවුහු ඉදිරිපත් කරති. මේ විරුද්ධත්වයට මුහුණ පෑ එයර් ඉතා සාර්ථකව තමාගේ වාදයට ද ‘භාවිතය’ යන්න අඩංගු කොට දක්වා සත්‍යෙක්ෂණය කළ හැකි නම් පමණක් භාවිතයක් පැවැතේ යයි කියයි. මේ අනුව 1960 ගණන්වල මේ දාර්ශනිකයා ඉදිරිපත් කොට ඇති ‘අර්ථය පිළිබඳ වාදය’ මූලික යථානුභූතවාදී අර්ථය පිළිබඳ වාදයේ සහ මෑත සාමාන්‍ය භාෂා දාර්ශනිකයන්ගේ භාවිත වාදයේ පුළුල් සංකලනයක් ලෙස පිළිගැනේ.
මේ අන්දමට වාක්‍යයක් (කියමනක්) අර්ථවත් හෝ අර්ථශූන්‍ය හෝ වේ යයි පිළිගැනීම එයර්ගේ දර්ශනයෙහි ප්‍රධානතම අදහසකි. තවත් එකක් නම් අර්ථවත් කියමනක් එක්කෝ සත්‍ය යයි නැත්නම් අසත්‍ය යයි පිළිගැනීමය. මින් ගම්‍ය වනුයේ දර්ශන ක්ෂේත්රය වනාහි ඥානවිභාගාත්මක ක්ෂේත්රයකැයි පුළුල් ලෙස අභ්යුපගම කිරීමකි. ඔහු වරක් අවධාරණයෙන් පවසා ඇති අන්දමට “දර්ශනය වනාහි සාධනය (proof) පිළිබඳ අධ්‍යයනයකි.” මින් එයර් අදහස් කරන බව පෙනෙන්නේ “ප විසින් බ සනාථ කෙරේ” වැනි තමා පිළිගත් සෛද්ධාන්තික විකල්පයට (theoretical alternative) සමර්ථනයක් (justification) ඉදිරිපත් කිරීමය. මින් ඇඟෙනුයේ ‘දර්ශනය’ වනාහි සාමාන්‍ය භාෂාව විග්රහ කිරීමක් නොව තමා පිළිගත් වාදය (සෛද්ධාන්තික විකල්පය) ප්‍රබල ලෙස සනාථ කිරීමකි. එනම් කුමකට කුමක් ප්‍රබල සාක්ෂි වන්නේ ද? ඒ මන්ද? යන්න පිළිබදව සාර්ථක පිළිතුරු සැපයූ විට, ‘දර්ශනය’ පිළිබදව කිය හැකි සියලු දෙය ම කියවෙනසුලු වේ. වෙනත් වචනවලින් කියතොත් කිසියම් ආකාරයක ප්‍රබල අධ්යාහාරවීමක් (entailment) මින් අදහස් කෙරෙන නිසා නිගාමී තර්කයක් එහි අඩංගු වන බව ද ස්ඵුටය. එහෙයින් එවැනි තර්කයක් අන්තර්ගත වන වාදය වනාහි නිගාමී තර්ක රීතිය අගය කරන්නක් වේ.
(iii) ‘ඉන්ද්රිය-දත්ත වාදය’ (Sense-datum theory)
පශ්වාදනුභූත සංශ්ලේෂී කියමන් හෙවත් ආනුභවික උපන්‍යාසයන් අවසාන වශයෙන් යම් යම් මූල ප්රස්තුතයන් (basic propositions) මත අවශ්‍යයෙන් ම රඳා පවතින බව පිළිගැනීම එයර්ගේ දර්ශනයේ තව ද ප්‍රධානතම සංකල්පයකි. බ'ට්‍රන්ඩ් රසල්ගේ තාර්කික පරමාණු වාදයේ බලපෑම් දැකගත හැකි එයර්ගේ මේ වාදය ‘ප්රත්යක්ෂය’ පිළිබඳ ‘භාෂාමය නිර්දේශය’ (Linguistic Recommendation) නමි. එයර්ගේ ‘ඉන්ද්රිය-දත්ත වාදය’ වනාහි ඔහුගේ ආධිභෞතිකවාදය ප්‍රතික්ෂේප කොට දැමීමේ ව්‍යායාමය හේතුකොටගෙන පැන නැඟුණකි. එනම්, ආධිභෞතිකවාද ප්‍රතික්ෂේප කොට දැමීම නිසා දාර්ශනික විමර්ශනයන් සඳහා ඉතිරිව ඇත්තේ ඉන්ද්රිය-දත්තයන් (sense-data) සහ භාෂාව පමණි. ‘භාෂාමය නිර්දේශය’ වනාහි ඉන්ද්රිය දත්තයන්ගේ සහ භාෂාවේ තාර්කික සංකලනයකි.
මහාචාර්ය මුවර් සහ බ'ට්‍රන්ඩ් රසල් අනුව යමින් ‘ඉන්ද්රිය-දත්තය’ කිසියම් වස්තුවක් ලෙස එයර් පිළිගත් බව ඔහුගේ ‘භාෂාව, සත්‍යය සහ තර්කය’ නමැති කෘතියේ දැකගත හැකි වුව ද එම සංකල්පයේ වෙනසක් පසුව ආ කෘතීන්හි විද්‍යමානය. ඔහුගේ ‘ආනුභවික ඥානයේ පදනම්’ (Foundations of Empirical Knowledge) සහ ‘ඥානය පිළිබඳ ගැටලුව’ (The problem of Knowledge) නමැති කෘතීන්ට අනුව ‘ඉන්ද්රිය-දත්තය’ වනාහි වස්තුවක් නොවේ. ‘ඉන්ද්රිය-දත්තයන්’ කිසියම් කියමන් සමූහයක් ලෙස මෙහි දී පිළිගැනිණ. මේ අදහසට අනුව, භෞතික වස්තූන් සඳහන් කෙරෙන කියමන්, ‘ඉන්ද්රිය-දත්තයන්’ සඳහන් කෙරෙන කියමන් මාර්ගයෙන් වඩා පැහැදිලි ලෙස ප්‍රකාශ කළ හැකි වේ. මෙහි දී අපගේ වැඩි සැලකිල්ල යොමු වනුයේ ආනුභවික කරුණක් පිළිබඳව නොව කිසියම් භාෂාමය නිර්දේශයක් කෙරෙහිය; විරුද්ධ උපන්‍යාසයන් දෙකක සප්‍රමාණතාව සඳහා තර්ක කිරීමක් නොව යොදා ගත යුතු භාෂාව තෝරාගැනීමකි.
භෞතික වස්තූන් සඳහන් කෙරෙන භෞතික වස්තු කියමන් (physical object-statements) පැහැදිලි බවින් තොරය. නොයෙක් දාර්ශනික ගැටලු ඇති වී ඇත්තේත්, විසඳුම් සොයා ගත නොහැක්කේත්, මේ භාෂාවේ සංදිග්ධතාව නිසාය. එහෙත් ‘ඉන්ද්රිය-දත්ත’ භාෂාව මීට වඩා පැහැදිලිය. එම නිසා ම ගැටලු ඇති නොවේ. භෞතික වස්තූන් සඳහන් කරන නොපැහැදිලි කියමන් ‘ඉන්ද්රිය-දත්තයන්’ සඳහන් කරන කියමන් මාර්ගයෙන් පැහැදිලිව ප්‍රකාශ කළ හැකි නම් අපරෝක්ත කියමින් සොයාගැනීම දාර්ශනික විප්ලවයකි. මේවාට ‘ඉන්ද්රිය-දත්ත කියමන්’ (sense-datum statements) යයි එයර් නම් කරයි. මේවා ‘භෞතික වස්තු-කියමන්වලට’ වෙනස්ය. නිදසුනක් වශයෙන්, කිසිවකු පූර්වෝක්ත කියමන්වලින් පමණක් සෑහීමකට පත් වන්නේ නම් ඔහු ‘ප්රත්යක්ෂය’ පිළිබඳව දෝෂ රහිතය; දෝෂයකට ඉඩ ප්‍රස්තාවක් නිර්වචනයෙන් ම නොමැති හෙයිනි. එනම්, ‘ඉන්ද්රිය-දත්ත කියමන්’ අඩංගු ‘ඉන්ද්රිය-දත්ත භාෂාව’ (sense-datum language) පිළිබඳ මාර්ගය ‘ප්රත්යක්ෂය’ හා සම්බන්ධව අනුගමනය කරන්නන් ඒ ‘ප්රත්යක්ෂය’ විස්තර කොට දැක්වීමේ දී වැරදි විය නොහැකි (incorrigible) බවක් දරන බව එයර්ගේ විශ්වාසයය. ‘භෞතික වස්තු-කියමන්’ අඩංගු ‘භෞතික වස්තු-භාෂාව’ පිළිබඳ මාර්ගය ‘ප්රත්යක්ෂය’ හා සම්බන්ධව අනුගමනය කරන්නන්, ඒ ‘ප්රත්යක්ෂය’ විස්තර කොට දැක්වීමේ දී වැරදි විය හැකි බවත් එයර් පවසයි. එයට හේතුව නම් ‘භෞතික වස්තුව’ යන්න ඍජු ප්රත්යක්ෂයක් මාර්ග කොට අර්ථවත් වන දෙයක් නොව ‘සෘජු-ඉන්ද්රිය- දත්තයන්ගෙන්’ වක්‍ර ලෙස අනුමාන කරන ලද දෙයක් හෙයිනි. මේ අනුව වැරදි විය නොහැකි වන්නේ ‘ඉන්ද්රිය-දත්තයන්ගේ ගෝචර ග්‍රහණය’ මිස ‘භෞතික වස්තූන්ගේ ප්රත්යක්ෂය’ නොවේ. ප්රත්යක්ෂය පිළිබඳ දර්ශනයේ දී සියලු කියමන් ම මේ භාෂාවට සීමා කළ යුතු බව මේ දාර්ශනිකයාගේ නිර්දේශය වේ. එවිට නොයෙක් දාර්ශනික ගැටලු විසඳා ගත හැකි බව පැවැසේ.
(කර්තෘ: ඒ.ඩී.පී. කලංසූරිය)
(සංස්කරණය: 1974)