ඒකාධිකාරය
(Monopoly). කිසියම් භාණ්ඩයක් හෝ සේවයක් නිෂ්පාදනය කිරීම හා අලෙවි කිරීම සම්බන්ධයෙන් තනි අයිතියක් හා පාලනයක් පවතින වෙළඳ තත්වය ඒකාධිකාරය යනුවෙන් හැඳින්වේ. ඒකාධිකාරය පිළිබඳව වඩාත් පැහැදිලි අවබෝධයක් ලැබෙන්නේ එහි අනෙක් අන්තය වන පූර්ණ තරඟය (බ.) සමග තුලනාත්මකව කරන විශ්ලේෂණයකිනි. පූර්ණ තරඟය මෙන් ම ඒකාධිකාරය ද උපකල්පනයන් (assumptions) කිහිපයක් මත ගොඩනංවා ඇති ආර්ථික සංකල්පයකි. කිසියම් භාණ්ඩයක්, නිෂ්පාදකයන් රාශියක් විසින් සපයනු ලැබීම, පූර්ණ තරඟයෙහි ලක්ෂණයකි. එහි දී නිෂ්පාදනය කෙරෙනුයේ සමජාතීය භාණ්ඩයකි. ඒ නිසා එක ආයතනයක් නිෂ්පාදනය කරන භාණ්ඩයක් අනෙක් ආයතන විසින් සැපයෙන භාණ්ඩවලට පූර්ණ ආදේශකයක් වන්නේය. එහෙත් ඒකාධිකාරය යටතේ තිබෙන්නේ එක් ආයතනයක් නිසා, ඒ ආයතනය නිෂ්පාදනය කරන භාණ්ඩයක් තවත් ආයතනයක් විසින් නිපදවනු ලබන භාණ්ඩයකට ආදේශකයක් නොවේ. ඒ නිසා එක් ආයතනයකින් නිපදවෙන භාණ්ඩයකට සෙසු ආයතනවලින් තරඟයක් එල්ල නොවන බැවින් ඒකාධිකාරී ආයතනයකට සුරක්ෂිතතාවක් ඇත. ඒකාධිකාරයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ භාණ්ඩයේ මුළු සැපයුම එක් නිෂ්පාදකයකු හෝ එක් ආයතනයක් විසින් පාලනය කරනු ලැබීමයි. ඒ නිසා ඒකාධිකාරය යටතේ කර්මාන්තයත් ආයතනයත් එකක් ම වශයෙන් සැලකේ. එබඳු තත්වයක දී වෙළඳපළ කෙරෙහි ආයතනයේ බලපෑම, තරඟකාරී තත්වයක දී පවතිනවාට වඩා දැඩිය. එවැනි තත්වයකට මග පාදා ඇත්තේ එහි ම තවත් ලක්ෂණයක් මගින්ය. එනම් පිවිසීමේ බාධක (barriers to entry) පැවතීමයි. පූර්ණ තරඟය යටතේ නම්, ඕනෑ ම ආයතනයකට කර්මාන්තයෙන් ඉවත් වීමටත්, පිටස්තර ඕනෑ ම ආයතනයකට කර්මාන්තයට ඇතුළු වීමටත් නිදහස ඇත. ඒ නිසා එහි දී ආයතනයකට ප්‍රාමාණික ලාභයට (normal profit) (බ.) වඩා ඉපයිය නොහැකිය. එහෙත් ඒකාධිකාරය යටතේ ආයතනයට වෙළඳපළ කෙරෙහි කළ හැකි දැඩි බලපෑම නිසා ප්‍රාමාණික ලාභයට වඩා උපයා ගත හැකිය. ඒ වැඩි ලාභය අධිප්‍රමාණික ලාභය (abnormal profit) යනුවෙන් හැඳින්වේ. පිවිසීමේ බාධක හේතුකොටගෙන අලුත් ආයතන ඇතුළුවීමේ තර්ජනයක් නොමැති වීමෙන් මෙම අධිප්‍රාමාණික ලාභය ආරක්ෂා වේ.
නොයෙකුත් හේතුවල ප්‍රතිඵලයක් වශයෙන් ඒකාධිකාරය බිහි විය හැකිය. පළමුවෙන් ම, මහා පරිමාණ නිෂ්පාදනයේ පිරිමැසුම් ලබා ගත හැකි තැනක එවැන්නකට මඟ පෑදේ. ආයතනයක් කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනයෙහි දීර්ඝ කාලයක් යෙදී සිටින විට පරිමාණය විශාල කිරීමත් සමග නොයෙකුත් පිරිමැසුම් ඇති වේ. පිරිමැසුම් ලැබෙන විට දිගුකාලයේ දී සාමාන්‍ය පිරිවැය ක්‍රමයෙන් අඩු වේ. එවිට මෙම ආයතනයේ තරඟකාරී ශක්තිය වැඩි වේ. එවැනි තත්වයක් පවතින විට පරිමාණය විශාල කර ගැනීම, තරඟ කිරීමේ ආයුධයක් වශයෙන් උපයෝගී කර ගැනීමට ඉඩ ඇත. තත්වය මෙසේ නම්, සෙසු ආයතනවලට වඩා මෙම ආයතනයට වෙළඳපළ කෙරෙහි දැඩි බලපෑමක් කළ හැකිය. පිරිවැය අඩු වන විට මිල ද අඩුකරගත හැකිය. සෙසු ආයතන පිළිබඳ තත්ව නොවෙනස්ව පවතී නම්, මෙහි ප්‍රතිඵලය වශයෙන් ප්‍රස්තුත ආයතනය නිෂ්පාදනය කරන භාණ්ඩවලට ඇති ඉල්ලුම වැඩි විය හැකිය. මේ අනුව අනෙකුත් ආයතනයන්ට ප්‍රස්තුත ආයතනය සමග තරඟ කිරීම අපහසු වන බැවින් එම ආයතනයන් ක්‍රමයෙන් කර්මාන්තය වෙතින් ඉවත් වී යනු ඇත. එසේ නැත්නම් සමහර ආයතන සිය අලාභ අවම කර ගැනීම අරමුණු කොට ගෙන, ශක්තිමත් ආයතනය සමඟ ඒකාබද්ධ වනු ඇත; නොඑසේ නම් තරඟකාරී ශක්තිය වැඩි වන හෙවත් ප්‍රසාරණය වෙමින් පවතින ආයතනය විසින් සෙසු ආයතනයන් මිල දී ගනු ඇත; ගිල ගනු ඇත. බ්‍රිතාන්‍යයේ දුම්රිය ව්‍යාපාරය තරඟකාරී ස්වරූපයෙන් ආරම්භ වී ක්‍රමයෙන් ඒකාබද්ධ වෙමින් විත් අවසානයේ දී රජයේ ඒකාධිකාරයක් බවට පත් විය.
මහා පරිමාණ වශයෙන් පමණක් නිෂ්පාදනය කිරීමෙන් පිරිමැසුම් ලබාගත හැකි අංශ ඕනෑ ම ආර්ථික ක්‍රමයක පවතී. එම අංශවල නිෂ්පාදන කටයුතු ගෙන යාමේ දී අවශ්‍ය වන ප්‍රාග්ධනය අතිවිශාලය. ඒ නිසා ස්වභාවයෙන් ම ඒවායේ විශාල ස්ථාවර ප්‍රාග්ධන තොගයක් ආයෝජනය වී ඇත. එවැනි අංශයකට ඇතුළු විය හැක්කේ විශාල ප්‍රාග්ධන හිමියකුට පමණි. එහි දී, ප්‍රාග්ධනය පිවිසීමේ බාධකය වශයෙන් ක්‍රියාකාරී වේ. ප්‍රවාහණ සේවය, පණිවුඩ හා තැපැල් සේවය, ජල විදුලිය යනාදි අංශ සෑම රටක ම ඒකාධිකාරයන් පිළිබඳ ප්‍රකට නිදසුන්ය. එවැනි සේවාවන් ආයතන රාශියක් විසින් තරඟකාරීව පවත්වාගෙන යාමෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ යන අතර අකාර්යක්ෂමතා වැඩි වේ. සීමිත ආර්ථික සම්පත් ප්‍රශස්ත ආකාරයට ප්‍රයෝජනයෙහි නොයෙදී අපතේ යාම් සිදු වේ. ස්වභාවයෙන් ම මෙම අංශවල නිෂ්පාදනය ඵලදායී ආකාරයට කරගෙන යා හැකි වන්නේ විශාල පරිමාණයෙනි. එහෙයින් ඒවායෙහි ඒකාධිකාර බිහි වේ. මේ ආකාරයට බිහි වන ව්‍යාපාර ස්වාභාවික ඒකාධිකාර වශයෙන් හැඳින්විය හැකිය.
කෘත්‍රිම වශයෙන් ඇති කරන බාධක ද ඒකාධිකාර බිහි වීමට හා තහවුරු වීමට හේතු වන්නේය. ස්වාභාවික බාධක මත බිහි වුණු ඒකාධිකාරී ආයතන විසින් ස්වකීය සුරක්ෂිතභාවය සඳහාත් ලාභ රැක ගැනීම සඳහාත් කෘත්‍රිම බාධා ඇති කිරීමට පුළුවන. දැනටමත් නිෂ්පාදනයේ යෙදී සිටින පෞද්ගලික ආයතන මගින් එවැනි බාධාවන් ඇති කළ හැකිය. නැතිනම් එවැනි ආයතනවලට රජය විසින් හිමිකම් ඇවිරීම හෝ වෙළඳ ලකුණු ලියාපදිංචි කිරීම මගින් ස්වාධිකාර අයිතිය (patent rights) ලබාදීමෙන් ඒකාධිකාරය තහවුරු කරනු ඇත. මේ හැරුණු විට රජය විසින් ම ඒකාධිකාරය ආරම්භ කිරීමටත් පවත්වාගෙන යාමටත් පුළුවන. පෞද්ගලික අංශයට කළ නොහැකි ව්‍යාපාරාදියේ දී රජය ම පොදු ඒකාධිකාරයන් ඇති කරයි. පොදු උපයෝගිතා (public utilities) මේවාට නිදසුන්ය.
කීර්තිනාමය (goodwill) මගින් ද ඒකාධිකාරය සුරක්ෂිත වේ. කිසියම් ආයතනයක් නොකඩවා දිගු කාලයක් නිෂ්පාදනයෙහි යෙදී සිටින විට එම ආයතනය සමඟ ගනුදෙනුවල නියුක්ත වන පිරිසක් ඇති වේ. එමෙන් ම කාලයක් ගත වන විට ආයතනයෙහි කීර්තිනාමය පැතිරී යයි. එම කර්මාන්තයට අලුතෙන් පිවිසීම අපහසු වන්නේ පැරණි ආයතන ලබාගෙන ඇති කීර්තිනාමය අලුත් ආයතනවලට නැති නිසායි.
කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට වුවමනා සම්පත් සියල්ලම හෝ බොහොමයක් එක ම නිෂ්පාදකයකුගේ හෝ එක ආයතනයක පාලනය යටතේ පැවතීමෙන් ද ඒකාධිකාරය ඇති විය හැක. එවැනි අවස්ථාවල දී කර්මාන්තයට ඇතුළු වීමට ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් හිමි අය සිටිය ද, යෙදවුම් අයත් කර ගැනීමට ඉඩකඩ ඇහිරී ඇති බැවින් කර්මාන්තයේ ඒකාධිකාරී ස්වභාවය ආරක්ෂා වන්නේය.
ඉහත කී කරුණු උඩ ඇති වන ඒකාධිකාර රටේ යම්කිසි ප්‍රදේශයකට සීමා විය හැකිය. කිසියම් ප්‍රදේශයක යම් භාණ්ඩයක් හෝ සේවාවක් සැපයීමේ තනි අයිතිය එක් ආයතනයකට පැවරීමෙන් ප්‍රාදේශික ඒකාධිකාර ඇති වේ. එමෙන් ම රට තුළ එක ආයතනයක් පමණක් පවතින ආකාරයට ජාතික ඒකාධිකාර ඇති විය හැක. එසේ ඇති වන්නේ උස් තීරු බදු හෝ ප්‍රවාහණ පිරිවැය වැනි බාධක නිසා විදේශීය නිෂ්පාදකයන් තරඟයට පිවිසීම වැළැකීමෙනි. එසේ නැත්නම්, රජය මගින් ආයාත තහනම් කිරීමෙන්, විදේශීය තරඟකරුවන්ගේ පිවිසීම වැළැකීමෙනි.
මෙවැනි කරුණු හේතු කොටගෙන ඒකාධිකාරී කර්මාන්තය තුළට වෙනත් ආයතනයන් පිවිසීමක් සිදු නොවන බැවින්, පූර්ණ තරඟයෙහි දී මෙන් නොව, සුරක්ෂිත වෙළඳපළක් ඒකාධිකාරී ආයතනයට ඇති වේ. එයින් අදහස් වන්නේ භාණ්ඩයේ මිල වැඩි කළ හොත් සියලු ම ඉල්ලුම්කරුවන් ඉවත් වී නොයන බවයි. පූර්ණ තරඟය යටතේ ආයතන රාශියක් පවතින නිසා, වෙළඳපළේ එක ආයතනයක සැපයුම මුළු සැපයුමෙන් ඉතා සුළු කොටසකි. ඒ නිසා තමන්ගේ ම කටයුතු මගින් මිල කෙරෙහි බලපෑමට ඇති හැකියාව ඒකාධිකාරය යටතේ ආයතනයට තිබෙන හැකියාවට වඩා අඩුය. පූර්ණ තරඟය යටතේ, වෙළඳපළේ බලවේග මගින්, මිල තීරණය වනු ඇත. කිසියම් ආයතනයකට වුවමනා පරිදි එය වෙනස් කළ නොහැකිය. ආයතනයට කළ හැක්කේත් කිරීමට සිදු වන්නේත් වෙළඳපළේ දෙන ලද මිල අනුව භාණ්ඩ ප්‍රමාණයක් සැපයීම පමණි. එවැනි තත්වයක් යටතේ ආයතනයක් තම භාණ්ඩ අලෙවි කරන මිල ඉහළ දැමීමට උත්සාහ කිරීමෙන් සිදු වන්නේ ඉල්ලුම්කරුවන් වෙනත් ආයතන වෙත ඇදී යාමයි. ඒ නිසා පූර්ණ තරඟය යටතේ ඉල්ලුම පෙන්නුම් කෙරෙන්නේ තිරස් අක්ෂයට සමාන්තරව පිහිටන වක්‍රයකිනි. අනෙක් අතට ඒකාධිකාරය යටතේ මිල වැඩි කළ විට යම් ප්‍රමාණයක ඉල්ලුම්කරුවන් එම ආයතනයෙන් ඉවත් වී යෑමට ඉඩ තිබුණත්, මුළු ඉල්ලුම ම අහිමි වන්නේ නැත. ඉල්ලුම කොතරම් ප්‍රමාණයක් අහිමි වී යනවා දැයි යන්න ඉල්ලුම් නම්‍යතාව මත රඳා පවතී. කිසියම් භාණ්ඩයකට ඇති ආදේශක භාණ්ඩ වර්ග අධික නම්, ප්‍රස්තුත භාණ්ඩයේ මිල ඉහළ දැමුවහොත් ගනුදෙනුකරුවෝ ආදේශකයන් කරා ඇදී යති. එයින් හැඟෙන්නේ ආදේශක වැඩි වන තරමට එම භාණ්ඩයට ඇති ඉල්ලුම් නම්‍යතාව සාපේක්ෂ වශයෙන් ඉහළ එකක් බවයි. ඒකාධිකාරී ආයතනය සපයන භාණ්ඩයට ඇති ඉල්ලුම් නම්‍යතාව අඩුවන තරමට, එනම් ආදේශකත්වය (substitutability) අඩු වන තරමට ගැනුම් කරුවන් ඉවතට ඇදී යාම ද අඩු වන්නේය. මේ අන්දමට කිසියම් ආයතනයකට ඒකාධිකාරී බලයක් ඇත්තේ තම ගනුදෙනුකරුවන් වෙනත් ආයතන වෙතට ඇදී යාමේ තර්ජනයෙන් මිදී ඇති විටෙකය. තම ගනුදෙනුකරුවන් තමන් වෙත ම රඳවා ගැනීමට සමත් වන තරමට ඒකාධිකාරී බලය වැඩි වන අතර, වෙනත් ආයතන වෙත ඇදීයාමේ තර්ජනය වැඩි වන තරමට ඒකාධිකාරී බලය අඩු වේ. වෙනත් ආයතන වෙත තම ගනුදෙනුකරුවන් ඇදීයාමේ තර්ජනය අඩු වන තරමට ඉල්ලුම් නම්‍යතාව අඩුය. ඉල්ලුම් නම්‍යතාව අඩු වන තරමට ඒකාධිකාරී බලය වැඩිය. එවිට සැපයුම සීමා කරමින් ඉහළ මිලක් අය කිරීමට ඔහුට වැඩි හැකියාවක් තිබේ. ඉල්ලුම් නම්‍යතාව e යනුවෙන් ද සාමාන්‍ය අයභාරය AR යනුවෙන් ද ආන්තික අයභාරය MR යනුවෙන් ද සලකුණු කළ විට, ඉල්ලුම් නම්‍යතාව සහ මිල අතර සම්බන්ධතාව AR = MR e/(e-1) යන සූත්‍රයෙන් දැක්විය හැකිය. ආන්තික අයභාරය e/(e-1) වලින් වැඩි කළ විට සාමාන්‍ය අයභාරය හෙවත් මිල ලැබේ. ඉල්ලුම් නම්‍යතාව හෙවත් e වල අගය අඩුවන තරමට e/(e-1) වල අගය වැඩි වේ. e/(e-1) වල අගය වැඩි වන තරමට අය කරන මිල ද වැඩි වේ. මේ ආකාරයට ඉල්ලුම් නම්‍යතාව සහ ඒකාධිකාරී බලය අතර කිට්ටු සම්බන්ධතාවක් ඇත; එය ප්‍රතිලෝම සම්බන්ධයකි.
මේ හැර ඒකාධිකාරී තරඟය (monopolistiecompetition), (අපූර්ණ තරඟය බ.) කතිපයාධිකාරය (බ.) (oligopoly) වැනි තත්වයන් යටතේ ද වෙළඳපළ කෙරෙහි ආයතනයකට යම් බලපෑමක් කළ හැකිය. එහෙත් එවැනි ආයතනයක් නිපදවන භාණ්ඩයට ආදේශකයන් වශයෙන් වෙනත් භාණ්ඩ නිපදවන තවත් ආයතන ඇත. එවැනි අවස්ථාවක මිල වෙනස් කිරීමෙන් එතරම් ප්‍රතිඵලයක් නොලැබෙන්නේ තරඟකාරී ආයතන ද ඇති බැවිනි. එමෙන් ම එවැනි තත්වයක් තුළ අලුත් ආයතනවලට පිවිසීමට ඉඩකඩ ඇති නිසා ද කිසියම් තරඟකාරිත්වයක් හටගනු ඇත. ඒ නිසා ඒකාධිකාරී තරඟය හා කතිපයාධිකාරය යටතේ ආයතනයකට ඇති බලය ඒකාධිකාරී ආයතනයක බලයට වඩා අඩුය.
තමන්ගේ ම කටයුතු මගින් වෙළඳපළ කෙරෙහි බලපෑමේ හැකියාවක් තිබෙන නිසා ඒකාධිකාරී නිෂ්පාදකයා මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය තිරස් අක්ෂයට සමාන්තර එකක් නොවේ. දෙන ලද මිලකට සැපයීමට ඔහුට සිදු වන්නේ නැත. තමන්ගේ මුළු ඉල්ලුම අහිමි වී නොයන පරිදි මිල වෙනස් කිරීමේ හැකියාව ඔහු වෙත තිබේ. ඔහු මිල වැඩි කළහොත් අලෙවි වන ප්‍රමාණය අඩු වනු ඇත; මිල අඩු කළහොත් අලෙවි වන ප්‍රමාණය වැඩි වනු ඇත. මෙයින් හැඟෙන්නේ ඒකාධිකාරය මුහුණ දෙන ඉල්ලුම් තත්වය ජ්‍යාමිතික සටහනකට නැංවුවහොත් එය වමේ සිට දකුණට බෑවුම් වන වක්‍රයක් වශයෙන් පෙන්නුම් කෙරෙන බවයි. ඒකාධිකාරය තුළ කර්මාන්තය හා ආයතනය යනුවෙන් වෙනසක් නොමැතිවීම මෙවැනි තත්වයකට හේතු වේ. අනික් අතට ඉල්ලුම් වක්‍රය වමේ සිට දකුණට පහළ බසින වක්‍රයක් යන්නෙන් හැඟෙන්නේ තමන්ගේ ස්වාධීන ක්‍රියා මගින් ම වෙළඳපළ කෙරෙහි බල පෑ හැකි බවය. මිල වැඩි කළහොත් අලෙවි වන ප්‍රමාණය සම්පූර්ණයෙන් ම නතර නොවුණත්, යම් තරමකින් හෝ පහළ බසින බව ද අනික් අතට මිල අඩු කළහොත් අලෙවිය යම් තරමකින් වත් වැඩි වන බව ද තවදුරටත් එයින් අදහස් වන්‍නේය. මිල වෙනස් කළ විට අලෙවිය කොතරම් වෙනස් වනවා ද යන්න ඉල්ලුම් නම්‍යතාවෙන් පෙන්නුම් කෙරේ. මිල වැඩි කිරීමේ ශීඝ්‍රතාවට වඩා ඉල්ලුම් ප්‍රමාණය සංකෝචනය වීමේ ශීඝ්‍රතාව අඩු නම්, මිල වැඩිකිරීමෙන් ඒකාධිකාරී නිෂ්පාදකයාගේ ආදායම ඉහළ යයි. මෙහි දී දක්නට ලැබෙන්නේ අනම්‍ය ඉල්ලුමකි. යම්කිසි භාණ්ඩයකට ආදේශක නොමැති නම්, එම භාණ්ඩයේ මිල ඉහළ දැමුවත් එය මිල දී ගැනීමට පාරිභෝගිකයනට සිදු වන්නේය. ඒකාධිකාරී ආයතනයක් බොහෝ විට ඉහළ මිලකට භාණ්ඩ සපයන්නේ මේ නිසාය.
ඒකාධිකාරය යටතේ ආයතනය සමතුලිත වන අවස්ථාවේ දී ඉහළ මිලක් තීරණය වන්නේය. ජ්‍යාමිතික සටහනකින් ඒකාධිකාරී ආයතනය සමතුලිත වන ආකාරය වඩාත් පැහැදිලි කළ හැකිය.
ඒකාධිකාරි ආයතනය මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය P Q රේඛාවෙන් දැක්වේ. ආයතනයේ සාමාන්‍ය අයභාරය පෙන්නුම් කරන්නේ ද එම වක්‍රයෙනි. ඊට අදාළ ආන්තික අයභාර වක්‍රය P Q2 රේඛාවෙන් දැක්වේ. ආයතනයේ සාමාන්‍ය නිෂ්පාදන පිරිවැය තත්වය A C වක්‍රයෙන් ද ආන්තික පිරිවැය තත්වය M C වක්‍රයෙන් ද දැක්වේ.
ඒකාධිකාරී ආයතනය මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය P Q රේඛාවෙන් දැක්වේ. ආයතනයේ සාමාන්‍ය අයභාරය පෙන්නුම් කරන්නේ ද එම වක්‍රයෙනි. ඊට අදාළ ආන්තික අයභාර වක්‍රය P Q2 රේඛාවෙන් දැක්වේ. ආයතනයේ සාමාන්‍ය නිෂ්පාදන පිරිවැය තත්වය A C වක්‍රයෙන් ද ආන්තික පිරිවැය තත්වය M C වක්‍රයෙන් ද දැක්වේ.
පූර්ණ තරඟකාරී ආයතනයක සමතුලිත නිමැවුම් මට්ටමේ දී සමාන වන්නේ ආන්තික අයභාරය සහ ආන්තික පිරිවැය පමණක් නොවේ. එහි දී සාමාන්‍ය පිරිවැය හා සාමාන්‍ය අයභාරයත් සමාන විය යුතුය. සාමාන්‍ය අයභාරය සාමාන්‍ය පිරිවැයට සමාන වන නිමැවුමක් කරන විට අවශ්‍යයෙන් ම ආයතනයේ නිමැවුම් මට්ටම ඉහළ එකක් වන අතර පහළ මට්ටමේ මිලක් පවතී. සටහනේ දැක්වෙන ආකාරයට ලාභ උපරිම වන නිමැවුම O Q1 වේ. එම සමතුලිත නිමැවුම් මට්ටමේ දී මිල O P1 වේ. P2 MQ1 O ප්‍රමාණයක මුළු වියදමක් දැරීමෙන් P1 L Q1 O නමැති මුළු අයභාරය ලැබේ. එහි දී නිෂ්පාදකයාගේ මුළු ලාභය P1 L M P2 වන්නේය. සාමාන්‍ය පිරිවැය තුළ ප්‍රාමාණික ලාභය ද අඩංගු වන බැවින්, සාමාන්‍ය පිරිවැයට ඉහළින් පිහිටි මෙම කොටස නිෂ්ප්‍රමාණික ලාභයකි. එහෙත් අලාභයක් නොවිඳ තම නිෂ්පාදනය OQ3 නමැති සීමාව දක්වා ප්‍රසාරණය කළ හැකිය. එවිට මිල OP3 දක්වා පහළ බසී. තරඟකාරී තත්වයක් පවතින විට සමතුලිත අවස්ථාවේ සාමාන්‍ය පිරිවැය සාමාන්‍ය අයභාරයට සමාන වන නිසා මෙවැනි විශාල නිමැවුමක් ඇති වීමෙන් පාරිභෝගිකයාට ගෙවීමට සිදු වන මිලත් අඩු බව තර්ක කෙරේ. එහෙත් ඒකාධිකාරය යටතේ ආන්තික අයභාරය ආන්තික පිරිවැයට සමාන වන අවස්ථාවේ දී සාමාන්‍ය අයභාර වක්‍රය සාමාන්‍ය පිරිවැය වක්‍රයට වඩා ඉහළින් පැවතීම නිසා OP1 වැනි ඉහළ මිලක් පාරිභෝගිකයනට ගෙවීමට සිදු වන අතර, අර්ථ ක්‍රමයට ලැබෙන භාණ්ඩ ප්‍රමාණය ද OQ1 වැනි සීමිත සැපයුමකි. මේ ආකාරයට නිපැදවිය හැකි Q1Q3 වැනි භාණ්ඩ තොගයක් නිෂ්පාදනය කෙරෙන්නේ නැත. ඒ ප්‍රමාණයෙන් ම, සම්පත් ප්‍රයෝජනයෙහි නොයෙදී ඇත. එමෙන් ම නිෂ්පාදනය OQ1 සිට OQ3 දක්වා ප්‍රසාරණය කළහොත් සාමාන්‍ය පිරිවැය Q1M මට්ටමේ සිට Q3K නම් මට්ටම දක්වා අඩු කරගත හැකිය. මෙයින් පෙනෙන්නේ ඒකාධිකාරය යටතේ සාමාන්‍ය පිරිවැය මට්ටම ද තරඟකාරී තත්වයක් යටතේ සාමාන්‍ය පිරිවැය මට්ටමට වඩා ඉහළ එකක් බවයි.
තරඟකාරී තත්වයක් යටතේ සමතුලිත අවස්ථාවේ නිෂ්පාදකයාට ලැබෙන්නේ ප්‍රාමාණික ලාභය පමණි. එයට ඉහළ ලාභයක් කර්මාන්තයෙන් ලැබේ නම් පිවිසීමේ නිදහස පැවතීම නිසා අලුත් ආයතන කර්මාන්තයට ඇතුළු වී සැපයුම වැඩි වීමෙන් මිල පහළ බසී. මිල පහළ බැසීමෙන් අයභාරය අඩු වේ; අලුත් ආයතන කර්මාන්තයට ඇතුළු වීමෙන් නිෂ්පාදන සාධකවලට ඉල්ලුම ඉහළ යන නිසා ඒවායේ මිල නැඟීමෙන් මුළු කර්මාන්තයේ ම නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට පුළුවන. අයභාරය අඩුවීම හෝ පිරිවැය වැඩිවීම හෝ මේ දෙක ම සිදුවීම නිසා අතිප්‍රාමාණික ලාභය අඩු වී ගොස් අවසානයේ ප්‍රාමාණික ලාභය පමණක් ඉතිරි වන්නේය. එහෙත් ඒකාධිකාරය යටතේ පිවිසීමේ බාධක පැවතීම හේතු කොටගෙන P1LMP2 නමැති අතිප්‍රාමාණික ලාභයක් භුක්ති විඳීමට හැකිවන්නේය. ආර්ථික ක්‍රමයෙහි නොයෙක් භාණ්ඩ වර්ග සම්බන්ධයෙන් මෙසේ ඒකාධිකාර පවතී නම්, එයින් පෙන්නුම් කෙරෙන්නේ සීමිත සම්පත්වලින් උපරිම ප්‍රයෝජනයක් නොගැනෙන බවත්, සීමිත නිෂ්පාදකයන් පිරිසක් වෙතට පමණක් ජාතික ධනය හෙවත් ආර්ථික සම්පත් එක් රැස් වන බවත්ය.
පූර්ණ තරඟය හොඳ ම තත්ත්වය බවත් එය මිල යන්ත්‍රණය (price mechanism) නමැති අදෘශ්‍ය හස්තය තුළින් ප්‍රශස්ත ලෙස ක්‍රියාත්මක වන බවත් සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දුන්හ. එහි දී පාරිභෝගිකයන්ගේ වුවමනාවන් සහ නිෂ්පාදකයන්ගේ වුවමනාවන්, වෙළඳපළේ ඉල්ලුම හා සැපයුම සමාන වීමෙන් සපුරාලන බව ඔවුන්ගේ අදහස විය. මේ නිදහස් බලවේග මගින් වුවමනාවන් ඉටු වීමේ දී, කිසිවකුගේ බලපෑමක් සහිතව අවශ්‍යතාවන් ඉටු කෙරෙනවාට වඩා හොඳින්, කිසිවකුගේ පාලනයකින් තොරව සියලු දෙනාගේ ම වුවමනාවන් ඉටුවේ. අවශ්‍යතාවන්ගේ අසීමිතභාවයත් සම්පත්වල හිඟකමත් මිල යන්ත්‍රණය මගින් සම්බන්ධ කිරීමෙන් මෙම හොඳ ම තත්ත්වය ඇති වේ. ඒ අන්දමට මිල යන්ත්‍රණය මගින් සම්පත් ප්‍රශස්ත ආකාරයෙනුත් සාධාරණ අයුරිනුත් එක් එක් අංශ අතරේ බෙදී යන බව ඔවුන්ගේ මතය විය. එහෙත් ඒකාධිකාරය යටතේ ආයතනයේ ස්වාධීන කටයුතුවලින් වෙළඳපළ කෙරෙහි බලපෑමක් ඇතිවන බැවින් මෙම අදෘශ්‍ය හස්තය විකෘත වී යන්නේය.
පූර්ණ තරඟය යටතේ දක්නට ලැබෙන සැපයුම් තත්ත්වයට වඩා ඒකාධිකාරය යටතේ සැපයුම් තත්වය ද වෙනස්ය. තරඟකාරී ආයතනයේ සැපයුම් වක්‍රය වශයෙන් එහි සාමාන්‍ය විචල්‍ය පිරිවැයට ඉහළින් ඇති ආන්තික පිරිවැය වක්‍රය පෙන්නුම් කළ හැකි වුව ද ඒකාධිකාරය යටතේ ඒ අන්දමට පැහැදිලිව සැපයුම් වක්‍රයක් දැක්විය නොහැකිය. තමන්ගේ ස්වාධීන කටයුතුවලින් ම වෙළඳපළ කෙරෙහි බලපෑමේ හැකියාව ඒකාධිකාරී ආයතනයක් සතුව තිබෙන නිසා පූර්ණ තරඟය යටතේ සැපයුම් වක්‍රයක් සකස් කරගන්නා ආකාරයට මෙහි දී වක්‍රයක් දැක්විය නොහැකිය. ඒකාධිකාරී ආයතනයේ තීරණයනට අනුව එය නියම වන්නේය. ඒ තීරණ වෙනස් වන ආකාරයට වෙළඳපළ සැපයුම ද වෙනස් වන්නේය.
තරඟකාරී ආයතනයක් මෙන් නොව, ඒකාධිකාරී ආයතනයක් මුහුණපාන වෙනස් ඉල්ලුම් තත්ත්වයන් දෙකක් යටතේ, එක ම මිලකට වෙනස් ප්‍රමාණයන් දෙකක් සැපයීමටත්, එක ම භාණ්ඩ ප්‍රමාණය වෙනස් මිල ගණන්වලට සැපයීමටත් එය සමත් වේ. දෙවැනි සටහනින් මෙය පැහැදිලි කෙරේ. එක ම පිරිවැය මට්ටමක කටයුතු කරමින් වෙනස් ඉල්ලුම් තත්ත්වයන් දෙකකට අනුව එක ම භාණ්ඩ ප්‍රමාණය (එනම් OQ) පළමු ඉල්ලුම් තත්ත්වය යටතේ OP1 මිලට ද දෙවැනි ඉල්ලුම් තත්ත්වය යටතේ OP2 මිලට ද සපයන ආකාරය (1) සටහනින් පෙන්නුම් කෙරේ. (2) සටහනින් දැක්වෙන්නේ වෙනස් ඉල්ලුම් තත්ත්වයන් දෙකකට අනුව වෙනස් ප්‍රමාණයන් දෙකක් එක ම මිලකට සපයන අයුරුය. AR2 නමැති ඉල්ලුම් තත්ත්වය යටතේ OQ2 ප්‍රමාණය ද AR1 ඉල්ලුම් තත්වය යටතේ OQ1 ප්‍රමාණය ද සපයනු ලබයි. මේ අන්දමට තම ස්වාධීන ක්‍රියාවන් මගින් වෙළඳපළ කෙරෙහි බලපෑමේ හැකියාවන් පැවතීම නිසා තරඟකාරී තත්ත්වයක දී මෙන්, ඒකාධිකාරය යටතේ වෙළඳපළේ සැපයුම පිළිබඳ නිශ්චිතතාවක් නැත; ඒ නිසා සැපයුම් වක්‍රයක් දැක්විය නොහැකිය.
එක ම මිලට සැපයීමෙන් ලැබෙන ලාභයට වඩා වෙනස් මිල ගණන් අය කිරීමෙන් ලැබෙන ලාභය අධික බැවින් මේ අන්දමට මිල නියම කිරීමේ දී වෙනස්කම් ඇති කිරීමට ඒකාධිකාරී නිෂ්පාදකයා පෙලඹේ. පූර්ණ තරඟය යටතේ එවැනි තත්වයකට මඟ නොපෑදේ. එහි දී වෙළඳපළ පිළිබඳව පූර්ණ දැනුමක් පාරිභෝගිකයන්ට තිබේ. ඒ නිසා හිතුමනාපයේ විවිධ මිල නියම කිරීමට එහි දී අවකාශයක් නැත. ඒකාධිකාරී තත්ත්වයක් යටතේ වෙළඳපළ පිළිබඳව පූර්ණ දැනුමක් ගනුදෙනුකරුවන්ට නැත. එහෙත් මෙහි දී විවිධ මිල අය කිරීම ප්‍රතිඵලදායක එකක් වීමට නම් පරස්පර ජාවාරම් (arbitrage) කළ නොහැකි තත්ත්වයක් පැවතිය යුතු වේ. මිල අඩු ස්ථානයකින් මිල දී ගෙන එම භාණ්ඩ මිල වැඩි තැනක අලෙවි කර ලාභ ඉපයීමට හැකි තත්වයක් නොතිබිය යුතුය. එමෙන් ම මිල වැඩි වෙළඳපළක සිට පැමිණ මිල අඩු වෙළඳපළකින් භාණ්ඩ මිල දී ගැනීමට හැකියාවක් පවතී නම් විවිධ මිල අය කිරීමෙහි වාසිය නැති වී යයි. එවැනි පරස්පර ජාවාරම්වලින් සිදුවන්නේ මිල අඩු වෙළඳපළේ ඉල්ලුම ඉහළ ගොස් මිල නැඟීමත්, මිල වැඩි වෙළඳපළේ ඉල්ලුම අඩු වී මිල පහළ යාමත් අවසානයේ දී සියලු ම වෙළඳපළවල සමාන මිලක් නියම වීමත්ය. ඒ නිසා වෙළඳපළවල් දෙක එකිනෙකින් වෙන් වී පැවතීම, විවිධ මිල අය කිරීමේ ප්‍රතිපත්තිය සාර්ථකවීම සඳහා අවශ්‍ය කොන්දේසියක් වන්නේය. වෙළඳපළවල් එකිනෙකින් වෙන් වී පවතී නම් කිසියම් භාණ්ඩයක් සැපයීමේ දී ඉල්ලුම් තත්ත්වයන්හි වෙනස්කම් ඒකාධිකාරී නිෂ්පාදකයාගේ සැලකිල්ලට යොමු වේ. ඉල්ලුම් තත්ත්වයන්ගේ වෙනස්කම් තිබීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ඒ වෙනස්කම්වලට අනුව මිල නියම කිරීම, එසේ නොකර සිටිනවාට වඩා ලාභදායක බවයි. වෙනත් විධියකින් කියතොත්, ඉල්ලුමේ වෙනස්කම්වලින් මිලෙහි වෙනස්කම් අපේක්ෂා කෙරේ. එක ම භාණ්ඩයක මිල වෙනස් කිරීම්වලට විවිධ පාරිභෝගිකයන් දක්වන ප්‍රතිචාරය (responsiveness) විවිධ වේ. ඒ අනුව එක් වෙළඳපළක භාණ්ඩයට ඇති ඉල්ලුම් නම්‍යතාව තවත් තැනක නම්‍යතාවට වඩා අඩු විය හැකිය. ඒකාධිකාරී නිෂ්පාදකයා මෙම නම්‍යතාවයි, සැලකිල්ලට ගන්නේ. නම්‍යතාව වැඩි ඉල්ලුමක් ඇති තැනක අය කරනවාට වඩා වැඩි මිලක්, නම්‍යතාව අඩු වෙළඳපළක අය කිරීමට නිෂ්පාදකයා පෙලඹේ. නම්‍යතාව අඩු වන්ට අඩු වන්ට ඉහළ මිලක් අය කිරීමේ හැකියාව ද වැඩි වේ. ඉල්ලුම් නම්‍යතාව හා ඒකාධිකාරී බලය අතර සම්බන්ධතාව මෙහි දී නැවතත් සිහිපත් කළ යුතුය. නම්‍යතාව අඩු වෙළඳපළේ, නම්‍යතාව වැඩි වෙළඳපළට වඩා, බලයක් නිෂ්පාදකයා සතු වේ. ඊට හේතුව එවැනි වෙළඳපළක මිල වැඩිකිරීමෙන් තම ගනුදෙනුකරුවන් ඉවතට ඇදීයාමේ තර්ජනය සාපේක්ෂ වශයෙන් අනිකට වඩා අඩුවීමයි. ඉල්ලුම් නම්‍යතාවන්ගේ මෙම වෙනස්කම්වලට අනුව එක ම භාණ්ඩය විවිධ මිලවලට විවිධ වෙළඳපොළවල සැපයීම මිල විශේෂීකරණය (price discrimination) යනුවෙන් හැඳින්වේ.
තරඟකාරී ආයතනයකට වඩා බලයක් ඒකාධිකාරී ආයතනය භුක්ති විඳින බව එයින් තවදුරටත් තහවුරු වන්නේය. එහෙත් කිසියම් ආයතනයක් සම්පූර්ණ ඒකාධිකාරී බලයක් භුක්ති විඳිතැයි පිළිගත හැකි වන්නේ සියලු ම පාරිභෝගිකයන් තමන් වෙත ම යොමුකර තබාගැනීමට හැකි තත්ත්වයක් ඊට ඇත්නම් පමණි. තමන් නිපදවන භාණ්ඩය පිළිබඳ ඒකාධිකාරී බලයක් තිබුණත් එම භාණ්ඩයෙන් ඉටු කෙරෙන වුවමනාව තරමක් දුරට හෝ සපුරාලිය හැකි තවත් භාණ්ඩ නිපදවන ආයතන පැවතිය හැකිය. කවර ඒකාධිකාරී ආයතනයකට වුවත් අසීමිත ලෙස මිල ඉහළ නැංවිය නොහැකිය. පාරිභෝගිකයන්ගේ ආදායම් මට්ටමින් එය සීමා වේ. ආර්ථික ක්‍රමයෙහි නොයෙකුත් වර්ගවල භාණ්ඩ නිෂ්පාදනය කරන සෑම ඒකාධිකාරී ආයතනයක් ම පාරිභෝගිකයන්ගේ සීමිත ආදායම් සඳහා තරඟ කරන බැවින් සීමිත ආදායමින් ආයතනවල අසීමිත ඒකාධිකාරී බලයක් ඇතිවීම වැළැක්වේ. මේ අන්දමට සෑම ඒකාධිකාරී ආයතනයක් ම, පාරිභෝගිකයන්ගේ වියදම් තමන් වෙත යොමුකර ගැනීම සඳහා උත්සාහ කරන බැවින් එම උත්සාහයන් මගින් ම එකිනෙක ආයතනයක ඒකාධිකාරී බලය යම් තරමකින් හෝ සීමා වන්නේ යයි කීම තර්කානුකූලය.
ආයතනයක් තරඟකාරීව කටයුතු කරනවාට වඩා ඒකාධිකාරී ලෙස කටයුතු කිරීමේ දී නිෂ්පාදන පිරිවැය ඉහළින් පවතින බව ඉහත දී සඳහන් කෙරිණ. ඒකාධිකාරය යටතේ අලුත් ආයතන මගින් තරඟයක් එල්ල නොවන නිසා සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට හා එමගින් නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීමට පෙලඹීමක් ඇති නොවේ. තරඟයක් පවතී නම් සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලැබෙන ආකාරයට ඒවා කාර්යක්ෂම ලෙස යොදා ගනිමින් පිරිවැය අඩුකර ගැනීමට සියලු ම ආයතන උත්සාහ ගනී. මේ අනුව තරඟකාරී තත්ත්වයක් යටතේ තිබෙනවාට වඩා ඒකාධිකාරය යටතේ තිබෙන කාර්යක්ෂමතාව අඩුය; පිරිවැය වැඩිය. එහෙයින් මිල වැඩිය.
එහෙත් ආයතන රාශියක් විසින් කරනු වෙනුව, තනි ආයතනයක් විසින් නිෂ්පාදනය කෙරේ නම් එහි දී මහා පරිමාණ නිෂ්පාදනයක් දක්නට ලැබෙනු ඇත. මහා පරිමාණ වශයෙන් නිෂ්පාදනය කරගෙන යන විට අභ්‍යන්තර හා බාහිර වශයෙන් පිරිමැසුම් (internal and external economies) ඇති වන්නේය. මෙයින් සාමාන්‍ය පිරිවැය අඩුවේ.
තවද ඒකාධිකාරය යටතේ, භාණ්ඩයේ ඒකකයක් නිපදවීමට යන පිරිවැයට වඩා එහි මිල ඉහළය. පාරිභෝගික සමතුලිතතාව ඇති වන්නේ භාණ්ඩයේ මිල සහ එහි ආන්තික උපයෝගිතාව එක සමාන වන අවස්ථාවේ දීය. මේ අනුව ඒකාධිකාරය පවතින විට භාණ්ඩයක් නිපදවීම සඳහා කැප වන ආන්තික පිරිවැයට වඩා එම භාණ්ඩයෙන් අත් වන ආන්තික උපයෝගිතාව ඉහළ එකක්ය යන්න ආර්ථික න්‍යායයට එකඟය.
තරඟකාරී තත්ත්වයක් පැවතුණු දියුණු ධනවාදී ක්‍රම 19 වැනි ශතවර්ෂයෙහි දී ක්‍රමයෙන් ඒකාධිකාරී ස්වරූපයක් ආරෝපණය කරගන්නට විය. විශාල පිරිසක් සතුව තිබූ නොයෙකුත් ව්‍යාපාර ක්‍රමයෙන් ස්වල්ප දෙනකුගේ හිමිකම හා පාලනය යටතට පත් විය; ඒවායින් නිපැදවෙන භාණ්ඩවල මිල ඉහළ ගියේය; මෙයින් පාරිභෝගිකයා සූරාකෑමට ලක් විය; ජාතික ධනය කිහිපදෙනකු අතට පත් විය. එවැනි තත්වයකට විරුද්ධව එම රටවල සමාජ ව්‍යාපාරයන් පැතිර යත් ම ඒකාධිකාරය මර්දනය කිරීමට රජය ඉදිරිපත් විය. එබඳු අවස්ථා කිහිපයක් ප්‍රකටය. 1890 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ෂර්මන් පනත (Sherman act) ද 1911 දී ක්ලේටන් පනත (Clayton act) ද පනවනු ලැබීය. එයින් පසුව තවත් පනත් කිහිපයක් පනවනු ලැබීය. එහෙත් ඒවා සම්පූර්ණයෙන් ම සාර්ථක නොවීය. 1930 සහ 1939 අතර කාලපරිච්ඡේදයට අදාළ සංඛ්‍යාලේඛනවලින් තහවුරු වන්නේ මුළු ඇමෙරිකානු ආර්ථික ක්‍රමය ම ඒකාධිකාර 200කින් මෙහෙයැවුණු බවකි. එංගලන්තයේ 1948 දී ‘ඒකාධිකාර හා සීමාකාරී පිළිවෙත් පනත’ (Monopolies and Restrictive Practices Act) ද නමැති පනත 1956 දී ‘සීමාකාරී වෙළෙඳ පිළිවෙත් පනත’ (Restrictive Trade Practices Act) නමැති පනත ද 1965 දී ‘ඒකාධිකාර හා ඒකාබද්ධ කිරීම් පනත’ (Monopolies and Mergers Act) ද ඉදිරිපත් කැරිණ. එහෙත් ඒකාධිකාරයන්ගේ නැඟී ඒම වැළැක්වීම සඳහා යොදා ඇති ක්‍රියා මාර්ග සම්පූර්ණයෙන් ම සාර්ථක වී නැත. සිදු වී ඇත්තේ රහසිගතව හෝ වෙනත් මුහුණුවරවලින් හෝ ඒවා ආරක්ෂා වීමයි.
ධනවාදී ආර්ථික ක්‍රමයේ විකාසනයේ එක් අවස්ථාවක දී පූර්ණ තරඟය පැවතිණි නම්, එමෙන්ම ඒ යටතේ ආයතනවලට පරිමාණානුකූල පිරිමැසුම් භුක්ති විඳිය හැකි වී නම්, එහි ප්‍රතිඵලයක් වශයෙන් කල්යාමේ දී ඒ තුළින් ඒකාධිකාරයන් නැඟී ඒම අපේක්ෂා කළ යුත්තකි. එහෙයින් එය ධනවාදී ආර්ථික ක්‍රමයේ ගමන් මාර්ගයේ එක්තරා අවස්ථාවක් වශයෙන් සැලකීම නිවැරදිය.
පොත්පත්
1. Stonier, A.W. and Hague, D.C. - A Text book of Economic Theory. 2. Lipsey, R.G. - An Introduction to Positive Economics. 3. Bilas, R.A. - Micro-economic Theory. 4. Havens – Economics.
(සංස්කරණය: 1974)