ඒබියෙටික් අම්ලය
එල්. රුෂීච්කා (Ruzicka) විසින් පෙන්වන ලද පරිදි ඒබියෙටික් අම්ලය, ට්රයිමීතයිල් අයිසොප්රොපයිල් හයිඩ්රො පිනැන්ත්රීන්වල කාබොක්සිලික් අම්ල ව්යුත්පන්නයෙකි. ඒ අනුව ඒබියෙටික් අම්ලයේ සූත්රය පහත දැක්වේ.
ඒබියෙටික් අම්ල අණුවක ඒකාන්තර ද්විත්ව බන්ධනයක් තිබේ. පාරජම්බූල ප්රදේශයෙහි ඇති මයික්රො මිලිමීටර 241ක තරංග ආයාමයෙහි දී, ඒබියෙටික් අම්ලය ප්රබල අවශෝෂණ කලාපයක් දීමට හේතුව ද මෙයයි.
ඒබියෙටික් අම්ලයේ ද්රවාංකය සෙ. 171°ත් 175°ත් අතර අගයෙකි. එහෙයින් අම්ලයෙහි සංශුද්ධතාව පරීක්ෂා කිරීම සඳහා ද්රවාංකය උපයෝගී කරගත නොහැකිය. අම්ලය ජලයෙහි අද්රාව්යය. ඊතරවල ද මද්යසාරයෙහි ද ද්රාව්යය. මීතයිල් මද්යසාරයෙහි ඇති ඒබියෙටික් අම්ල ද්රාවණයකට ජලය යෙදූ විට අම්ලය ස්ඵටිකීකරණය වීමෙන් කහ පැහැති පත්රිකා ස්වරූපී ස්ඵටික ලැබේ. විජල මධ්යසාර ද්රාවණයක ඇති අම්ලය ⌊a⌋ 24/D – 106ක ප්රකාශ භ්රමණයක් ඇති කරයි. එහෙයින් අම්ලයෙහි සංශුද්ධතාව පරීක්ෂා කිරීම සඳහා එහි ප්රකාශ භ්රමණය යොදාගත හැකිය.
ඒබියෙටික් අම්ලයට ඛනිජ අම්ල යෙදූ කල්හි සමාවයවික අම්ල මිශ්රණයක් සෑදී ඒවා අතර සමතුලිතතාවක් ඇති වෙයි. මෙම මිශ්රණයෙහි ඒබියෙටික් අම්ලය 85%ක් පමණ තිබේ. සමාවයවික අම්ල දීමට ඇති මෙම හැකියාව නිසා එය වාතයෙහි දී ඔක්සිකරණය වෙයි. එහෙයින් ප්රතික්රියාවන්හි දී හා සුරක්ෂිත කොට තැබීමෙහි දී ඒබියෙටික් අම්ලය වාතයෙන් සහ ප්රබල අම්ලයන්ගෙන් ඈත් කොට තැබිය යුතුය. ඒකාන්තර ද්විත්ව බන්ධන ඇති කාබනික සංයෝග ඉතා සක්රිය වුවත් ඒබියෙටික් අම්ලයේ ඇති ද්විත්ව බන්ධන දෙක වළලු දෙකක පිහිටා ඇති හෙයින් එතරම් ක්රියාකාරිත්වයක් නොදක්වයි. එබැවින් ඒබියෙටික් අම්ලයෙහි ආකලන ප්රතික්රියාවන්හි දී අම්ලය එහි සමාවයවික සංයෝගයක් වූ 1-පිමැරික් (1-pimaric) අම්ලය වශයෙන් ක්රියා කරන බව විශ්වාස කරනු ලැබේ.
ඒබියෙටික් අම්ලය පහසුවෙන් ඔක්සිකරණය වීම නිසා එය ප්රධාන සංඝටකය වශයෙන් ඇති රොසින නමැති දුම්මල විශේෂයේ ඇති වාණිජ වැදගත්කම අඩු වේ. එහෙයින් ඒබියෙටික් අම්ලයෙහි අසන්තෘප්තතාව අඩු කොට රොසින වාතයෙහි දී ස්ථායී කිරීම සඳහා ප්ලැටිනම් හෝ පැලේඩියම් උත්ප්රේරකයක් (බ.) සමඟ රොසින රත් කරනු ලැබේ. එවිට ඒබියෙටික් අම්ලයේ ද්විධාකරණයෙන් (disproportionation) රසායනික වශයෙන් අක්රිය වූ ද ඔක්සිකරණයට ප්රතිරෝධයක් දක්වන්නා වූ ද ඩයිහයිඩො ඒබියෙටික් අම්ලයෙහි සහ ටෙට්රහයිඩ්රො ඒබියෙටික් අම්ලයෙහි මිශ්රණයක් ලැබේ. මෙම මිශ්රණය විකෘත ඇල්කිඩ් රෙසින නිෂ්පාදනය සඳහා ද එස්ටර මැලියම් නිපදවීම සඳහා ද ගනු ලැබේ.
(සංස්කරණය: 1974)

