සෙල්ජුක්

සිංහල විශ්වකෝෂය වෙතින්
09:52, 27 දෙසැම්බර් 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

වෙත පනින්න: සංචලනය, සොයන්න

(The Seljuk Empire). තුර්කි රාජවංශ කීපයක් ම ආරම්භ කළ ගූස් (Ghuss) තුර්කි පවුලක් නොහොත් අධිරාජ්‍යයක් මෙනමින් හඳුන්වන ලදී. මෙම පවුලේ නායකයෙකු වශයෙන් සිටි සෙල්ජුක් නම් තැනැත්තාගේ නමින්, මෙහි සාමාජිකයන් ද සෙල්ජුක් යන නමින් හඳුන්වා තිබේ.

සෙල්ජුක්ගේ මුනුපුරෙකු වූ ටොහ්රුග් බෙග් (Togrul Beg) 1037 දී, ඛෝරසාන් (Khorasan) ආක්‍රමණය සඳහා සෙල්ජුක්වරුන් මෙහෙයවී ය. ඔහු 1 වැනි රාජවංශය පිහිටවූයේ ඉන් අනතුරුව ය. බටහිර දෙසට සිය බලය පැතිර වූ ඔහු 1055 දී බෑග්ඩෑඩ් ද අල්ලාගෙන එම ප්‍රදේශයේ සුල්තාන්වරයා බවට පත්විය. අනතුරුව ඔහු බයිසැන්ටයින් කැපැඩෝසියාව (Byzantine Cappadocia) හා ෆ්‍රිජියා (Phrygia) යන ප්‍රදේශ ආක්‍රමණය කළේ ය. ඔහුට පසුව රාජ්‍ය පාලනය භාරගත් ඇල්ප් ආර්සිලාන් (Alp Arslan) පර්සියාව හා ආර්මේනියාව, තුර්කියේ පාලනය යටතට ගත්තේ ය. 1071 මන්සිකර්ට් (Manzikert) යුද්ධයේ දී බයිසැන්ටයින් හමුදාව අන්ත පරාජයට පත්කළ ඔහු සුළු ආසියාව ද තුර්කියට යටත් ප්‍රදේශයක් බවට පත්කර ගත්තේ ය.

වර්ෂ 1072 දී ඔහු මරා දමන ලදින්, ඉන් අනතුරුව රජ වූයේ ඔහුගේ පුත්‍රයා වූ මලික් ෂා (Malik Shah) ය. ඔහු මෙන් ම ඔහුගේ පියා ද රාජ්‍ය පාලනය සඳහා උපදෙස් ලැබුවේ උගත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ නිසාම්-අල්-මුල්ක් (Nizam-al-Milk) නම් අමාත්‍යවරයාගෙනි. එහෙයින් එම අවධිය සෙල්ජුක් බලයේ උපරිම අවස්ථාව විය.

1092 දී මලික් ෂා මිය ගියේය. නොබෝ කලකින් නිසාම් අල් මුල්ක් ද මරා දමන ලදී. සෙල්ජුක් අධිරාජ්‍යයේ පරිහානිය ආරම්භ වූයේ ඉන් අනතුරුව ය.

රාජ්‍යය සඳහා මලික් ෂාගේ පුතුන් අතර සටන් ඇති වූ අතර ඉන් ජය ලැබුවේ බාල පුත්‍රයා වූ සින්ජාර් (Sinjar) ය. ඔහුගේ පාලන සමයේ දී ඔහු සෑහෙන තරම් බලසම්පන්න වුවත්, ඔහු මිය යන විට අධිරාජ්‍ය විනාශ මුඛය කරා ගමන් කරමින් තිබුණි. 11 වැනි සියවසේ දී සෙල්ජුක් පවුලේ සාමාජිකයන් විසින් ආරම්භ කරන ලද රාජවංශවලින් වැඩි හරියක් මේ කාලයේ දී විනාශ කර දමනු ලැබී ය. 13 වැනි සියවසේ දී මොංගල් අධිරාජ්‍යයේ පැතිරීමත් සමග සෙල්ජුක් අධිරාජ්‍යයේ බිඳවැටීම සිදුවිය.

(කර්තෘ: දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර: 1980)

(සංස්කරණය නොකළ)

11 වැනි ( එකළොස් වැනි ) සියවසේ දී පර්සියාව, සිරියාව හා සුළු ආසියාව පුරා රාජ්‍ය වංශ කිහිපයක් ආරම්භ කළ ගූස් තුර්කි ගෝත්‍රයකි. 10 වැනි සියවසේ දී සෙල්ජුක් නමැති ප්‍රධානියා සමග සීර්-දර්යා ගංගාවේ පහළ කොටසේ පදිංචි වූ මෙම සංචාරක ගෝත්‍රිකයෝ ඉස්ලාම් ධර්මය වැළඳ ගත්හ. සෙල්ජුක් යන නාමය ලැබුණේ ද මෙකී ප්‍රධානියාගෙනි. සමාන්ද්වරුන්ගේ දේශසීමා ආරක්ෂකයින් වශයෙන් ආරම්භ වූ මොවුන්ගේ හැඟීම සීඝ්‍රවිය. 1037 දී සෙල්ජුක්ගේ මුණුබුරු වූ ටුග්රුල් බෙග් කුරසාන් ප්‍රදේශය අල්ලා ගැනීමත් සමග ප්‍රථම රාජවංශය ආරම්භ විය. පර්සියානු රදළයින්ගේ හා ඛුරසාන්හි ආගමික නායකයින්ගේ ආධාරෝපකාර ලබා තුර්කි හමුදාවක් ඇති කළ බෙග් බටහිර ඉරානයේ හා ඉරාකයේ 'සයිට්' කුමාරවරුන්ට විරුද්ධව නැඟී සිටියේ ය. අසර්බයිජාන, අර්මේනියා හා බයිසැන්ටියානු රාජ්‍ය ආක්‍රමණය කළ ඔහු 1055 දී බැග්ඩෑඩ් අල්ලා ගැනීමෙන් පසු සුල්තාන්වරයා වශයෙන් ප්‍රකාශිත විය. විශාල රාජ්‍යයකට මුල්ගල් තැබූ ඔහු 1063 දී මිය යාමෙන් පසු ඔහුගේ අන්තරාගමිකයා වූ ඇල්ප් අර්ස්ලාග් මුළු පර්සියාව හා අර්මේනියාව තුර්කි බලයට යටත් කොට රුම් සුල්තාන් රාජ්‍යය පිහිටුවී ය. 1071 දී මැන්සිකට්හි මහා සංග්‍රාමයේ දී බයිසැන්ටියානු හමුදාව සමූල ඝාතනය කළ ඔහු සුළු ආසියාව ද තුර්කි බලයට නතු කළේය. කොන්ස්තන්තිනෝපල් නගරයට පමණක් සීමා වූ බයිසැන්ටියානු අධිරාජ්‍යය කිසි විටක නැවත ගොඩනගා ගත නොහැකි විය. ඊළග අවුරුද්දේදී ඝාතනය කරනු ලැබූ අර්ස්ලාන්ගෙන් පසු ඔහුගේ පුත් මලික් ෂා රජ බවට පත් විය.

සෙල්ජුක් රාජවංශයේ ඉතා ප්‍රබල රජ කෙනෙකු වූ ෂාගේ කාලයේ අධිරාජ්‍යය තව තවත් බලවත් විය. ඔහුගේ කාලයේදී දින දර්ශනය සංශෝධනය කොට ඔහු රාජ්‍යත්වයට පත් වූ දිනයෙහි සිට පටන් ගන්නා 'ජලාලියෝන්' නම් නව අවධියක් පටන් ගන්නා ලදී. අල්ප් අර්ස්ලාන් හා මලික් ෂාගේ කාලවල ඔවුන්ගේ අධිරාජ්‍යය බලවත්ව නැගී සිටීමෙහිලා බෙහෙවින් උපකාරී වූයේ ඔවුන්ගේ ප්‍රධාන අමාත්‍යවරයා වූ දක්ෂ පාලකයෙකු මෙන්ම මහා පඬිවරයෙකු වූ නිසාම් අල් මුල්ක් ය. සෙල්ජුක් බලය උච්චාවස්ථවට පත් වූයේ මුල්ක්ගේ ඇමතිධූර කාලයේ ය. මුල්ක් ඝාතනය කරනු ලැබ නොබෝ දිනකින්ම ෂාද ඝාතනය කරනු ලැබීය. 1092 දී ෂාගේ මරණයත් සමඟ අධිරාජ්‍යයේ පිරිහීම ආරම්භ විය. ෂාගෙන් පසු රාජ්‍ය උරුමය පිළිබඳ ඇති වූ අවුලක් හේතු කොටගෙන ෂාගේ පුතුන් අතර ආරවුල් ඇතිවිය.

එකී ආරවුල් අතරින් ෂාගේ බාල පුත් සින්හීර් බලයට පත් විය. අවුල් වියවුල්වලින් ගහණ වුවද ඔහුගේ බලයේ පශ්‍චිම භාගයේදී සෙල්ජුක් බලය නැවතත් කැපී පෙනෙන්නට වූ හමුදා 1157 දී ඔහුගේ මරණය සිදුවන විට සෙල්ජුක් අධිරාජ්‍යය බිඳීගොස් තිබිණි. එකොළොස් වැනි සියවස තුළදී මැද පෙරදිග නොයෙක් තැන්හි පිහිටුවා තිබූ සෙල්ජුක් රාජවංශ සියල්ලම පාහේ සින්ජාර්ගේ පාලන කාලය තුළ බලයෙන් පහකර දමනු ලැබීය. 13 වැනි සියවසේදී මොංගෝලියානු නැඟීමත් සමඟ සෙල්ජුක් පාලනය සහ මුලින්ම විනාශ වී ගියේය.

(කර්තෘ: පණ්ඩුල ඇඳගම: 1969)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=සෙල්ජුක්&oldid=4260" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි