අර්බුද-2
(Tumours). මනුෂ්‍ය ශරීරයේ තිබෙන සියලු ම පටක 'සෛල' යනුවෙන් හැඳින්වෙන අතිසූක්ෂ්ම ඒකකවලින් සෑදී තිබේ. මේ සෛල ශරීරයේ ඉටුකරන කෘත්‍යයන්ට අනුව ඒවායේ ස්වරූපය, ප්‍රමාණය සහ ව්‍යුහය වෙනස් වන අයුරු අණ්වීක්ෂයකින් බැලූ කල පෙනේ. සෛල අතර පටකතරලය යයි හැඳින්වෙන ද්‍රවයක් වෙයි.
බොහෝ පටක ආධාරක සෛලයන්ගෙන් ද සෛල සමූහයක් කරා පෝෂ්‍ය හැරගෙන යන මාර්ග සෛලයන්ගෙන් ද මිශ්‍රව පවතී. මෙසේ ස්නායු පටක ප්‍රධාන වශයෙන් ම ස්නායු සෛලවලින් ද පේශි පටක ප්‍රධාන වශයෙන් ම පේශි සෛලවලින් දැයි මේ ආදී වශයෙන් ඒ ඒ පටක සෑදී තිබේ.
පටුන
විග්‍රහය:
අර්බුදයක් යනු ශරීරයේ යම්කිසි ප්‍රදේශයක හටගන්නා, ප්‍රයෝජනයක් හෝ කායික කාර්යයක් හෝ නොමැති, අසාමාන්‍ය පටක, වෘද්ධියක් යයි විග්‍රහ කළ හැකිය. ශරීරයේ කවර ඉදිමුමක් හෝ හැඳින්වීමට ද මේ පදය අවිශේෂයෙන් යෙදිය හැකිය. නියම ඉදිමුම් ය, ව්‍යාජ (ආගන්තුක) ඉදිමුම් යයි ඉදිමුම් දෙකොටසකට බෙදන්නට පුළුවන.
ව්‍යාජ (ආගන්තුක) ඉදිමුම්වල ඉදිමුණු ස්වභාවයක් පෙනෙන්නට තිබෙනු පමණි. එබඳු ඉදිමුම්වලට හේතු බොහෝයි. ඉන් කිහිපයක් පහත දැක්වේ:
1. ප්‍රදාහක ඉදිමුම් — යම්කිසි ප්‍රදේශයක පටක තරල එක්රැස්වීම, ආසාදනය සමඟ ඇති වූ ශෝථය, තැළුම්, තුවාලවීමෙන් පසුව ඇති වන ලේ එක්රැස්වීම හෝ සැරව සෑදී ප්‍රදේශිකව එකතුවීම යන මේ කවර හේතුවක් නිසා හෝ මේවා ඇති වෙයි.
2. පටක අතිභරණය (hypertrophy of tissues) - සෛලවල හෝ පටකවල ප්‍රමාණයෙහි සහ සංඛ්‍යාවෙහි වෘද්ධියක් ඇතිවීමෙන් මෙය හටගනී. ව්‍යායාමය හේතු කොටගෙන පේශීන් මහත් වී යන්නාක් මෙනි.
3. සෛල ඇතුළත ද අතරෙහි ද තරල හෝ ඛනිජ ද්‍රව්‍ය හෝ රැස්වීමෙන් පටකවල ගල් හෝ කෝෂ්ඨ ඇතිවීම.
4. පටකවල බිත්ති හෝ ආධාරක ව්‍යුහ ක්ෂය වීමෙන් ඒ පටක විස්තාරණය වීම. අපස්ථිත ශිරා (varicose veins) ඇති තන්හි රුධිරවාහිනීන් පුළුල් වී යන්නාක් මෙනි.
5. පටක අභ්‍යන්තරයෙහි වැඩෙමින් එහි ඉදිමුම් ඇති කරන පරපෝෂිතයන් වැනි බාහිර ජීව සෛලයන් ශරීර ගත වීම.
6. අවට ඇති පටකයන් ක්ෂය වී යෑම.
නියම ඉදිමුම්, අර්බුද හෙවත් නව්‍යප්ලාස්ම:
අර්බුදවනාහි ශරීරයෙන් සිදුවන සාමාන්‍ය ප්‍රයෝජනවත් කාර්යයන්ට පිහිටක් නොවන්නාවූ ද ස්වාභාවික වර්ධනයට සම්බන්ධයක් නැත්තාවූ ද ශරීර සෛල නොකඩවා වර්ධනය වීමෙන් හටගන්නාවූ නියම ඉදිමුම්ය. එවැනි සෛල ස්වාභාවික පටක රටාවට සහ පටකඝටනාවට හානි පමුණුවන තරමට ම සීමාව ඉක්මවා වැඩෙන්නේ ය. සාමාන්‍යයෙන් අර්බුද හේතු කොටගෙන ඉදිමුමක් ඇතිවුව ද, සෛලවල සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතින අතර ම ඒවා විනාශ වී යන විට හෝ ඒවායේ කැළැල් හටගන්නා විට හෝ ප්‍රමාණයෙන් කුඩා වී යෑමක් ඇති විය හැකිය. පයෝධරවල තන්තුකර පිළිකා හටගත් විට මෙසේ ප්‍රමාණයෙන් කුඩා වී යෑම දැක්ක හැකිය.
අර්බුදයක් කරණ කොටගෙන සාමාන්‍යයෙන් ඇතිවන ඉදිමුම එම අර්බුදය ශරීර කුෂ්ටලයට ආසන්නව පවත්නා විට ලෙහෙසියෙන් හඳුනාගත හැකිවේ. එහෙත් අර්බුදය පටකයන්ගේ අභ්‍යන්තරයට කාවැදී පවත්නා විට, විශේෂයෙන් ම වැඩි ඉදිමුමක් නොමැති විට, රෝග විනිශ්චය දුෂ්කර විය හැකිය. එවැනි අවස්ථාවලදී පටකය X කිරණ පරීක්ෂණයකට භාජන කිරීම, නොඑසේ නම් ශල්‍යකර්මයක් කොට පරීක්ෂා කර බැලීම වැනි විශේෂ උපක්‍රමයෙකින් රෝග විනිශ්චය කළ යුතුය. අර්බුදයේ උග්‍රතාව සහ ස්වභාව පිළිබඳ නියම විනිශ්චයක් ඇති කර ගැනීම සඳහා පටකයෙන් කුඩා කොටසක් කපා ඉවතට ගෙන අණ්වීක්ෂයක ආධාරයෙන් එය පරීක්ෂා කර බැලීම අවශ්‍ය විය හැකියි.
වර්ගීකරණය:
අර්බුදයන් ඒවා උපදින ස්ථානය අනුව හෝ සෛලවල සහ ආධාරක පටකවල ව්‍යුහය අනුව හෝ ඒවාට උත්පත්තිස්ථාන වන සෛලස්තරය අනුව හෝ ඒවායේ චර්චන ලක්ෂණ සහ ඒවායින් මනුෂ්‍ය ශරීරයෙහි හටගන්නා විපාක අනුව හෝ වර්ග කළ හැකිය. අවසාන වශයෙන් දැක්වූ ශායනික (රෝග නිදාන විෂයක) වර්ග කිරීම අනුව අහිංසකය, මාත්සරික (දුෂ්ට) යයි අර්බුද දෙවැදෑරුම් වේ. ශරීරයෙහි අහිංසක අර්බුදයක් පවත්නා පෙදෙස වෙසෙසී කැපී පෙනේ. අර්බුදයෙහි ප්‍රාවරයක් ද තිබේ. අවට පටක කරා පැතිරයෑමක් හෝ ඒ් හා සංසක්තවීමක් හෝ නොමැත. රුධිරවාහිනීන් සහ වසාවාහිනීන් ඔස්සේ නොපැතිරෙන හෙයින් එහි ප්‍රාථමික නාභියෙන් ඈත්ව ද්විතීය අර්බුද නොඋපදවයි. එහෙත් මාත්සරික අර්බුද වේගයෙන් වැඩෙයි; නිශ්චිත ප්‍රාවර නොදරයි; අවට පවතින පටක තුළට පැතිරී ඒවා විනාශ කරයි; ප්‍රාථමික අංකුරයෙන් ඈත්ව ද්විතීය අර්බුදාංකුර ඇති කරයි. මෙහි වර්ධනය නොවළක්වා සිදුවන්නට ඉඩ දුනහොත් එයින් ජීවිතයට හානි පැමිණිය හැකිය. මේ අන්දමේ වැඩීම් නියම වශයෙන් පෙනෙන්නේ පිළිකාවලයි.
අහිංසක අර්බුද ඒවායේ ව්‍යුහය, එනම් ඒවා සෑදී ඇති සෛලයන්ගේ ආකාරය අනුව ද වර්ග කළ හැකිය. ඇතැම් අර්බුදවල මේ සෛල වර්ග නොයෙක් ප්‍රමාණයට මිශ්‍ර වී පැවැතිය හැකිය. එබඳු අවස්ථාවල දී ෆබ්‍රෝ-ලිපෝමාව වැනි සංයුක්ත නාමයෙකින් ඒවා හැඳින්විය යුතුයි. ඒවායේ සෑදීම කුෂ්ටලයක් අතුරා සිටින සෛවලින්, එනම් අපිච්ඡදීය හෝ ග්‍රන්ථීක සෛලවලින්, විය හැකිය. නැතහොත් ශරීරය තුළ ඇති (ආධාරක) සෛල වලින් විය හැකිය.
හේතු:
අර්බුදවලට හේතු කවරේ ද, අර්බුදයක් හටගැනුම ආශ්‍රිතව සෛලවල සංඛ්‍යාව වැඩිවීම, සෛලවල ප්‍රමාණය වැඩිවීම, සෛලවල ස්වභාවය සහ ව්‍යුහය වෙනස් වීම ඇති වන්නේ කවර හෙයින් ද යන මේ ගැටලුව තවමත් හරියාකාර විසඳී නොමැත. අර්බුද හටගැනුම සම්බන්ධයෙන් නොයෙක් මත ඉදිරිපත් කොට තිබේ. ඇතැම් මතවලට අනුව හේතුව සෛලයෙහි ම ගැබ්ව පවතී. සෛලයෙන් බාහිර වූ හේතූන් වන ජීවාණු නිසා නැතහොත් යාන්ත්‍රික, රසායනික හෝ විකිරණ බලපෑම් හේතුකොට ගෙන කලක් තිස්සේ පවත්නා ප්‍රකෝපය නිසා අර්බුද හටගනී යනු තවත් මතයකි. වයිරස් මගින් අර්බුද හට ගැන්වීම බොහෝ කලක් තුළ ම පරීක්ෂණයට භාජන වී පවත්නේය. අත්හදා බැලීම් වශයෙන් හටගන්වන ලද අර්බුද එක් සත්වයකුගෙන් උදුරා තවත් සත්වයකුට රෝපණය (සංක්‍රමණය) කළ හැක්කේය. පටක රෝපණය හැදෑරීම සහ අත්හදාබැලීම සඳහා අර්බුද හටගැන්වීම ලොවපුරා ම විශවිද්‍යාලයන්හි කරගෙන යනු ලැබේ. දැලි තාර, පැරෆීන්, බුලත් හැපීම, තාපය, X-කිරණ සහ වයිරස් යන මේවා අර්බුද හටගැනීමට යාධක වන බව ඒවා පිළිබඳව පවත්වන ලද පර්යේෂණවලින් ඔප්පු වී තිබේ. ශරීරයෙහි ඇතිවන ග්‍රන්ථික ස්‍රාවය — එනම් හෝමෝන - අර්බුදවල සෛල සංඛ්‍යාවේ වර්ධනය කෙරෙහි බලපවත්වනු විය හැකියි. අර්බුද පිළිබඳ එක්තරා පැරණි මතයක් (කෝන්හයිම් මතය) අනුව ඒවා හටගන්නේ සෛස්වෛරීව වර්ධනය වන කලල ශේෂ හෙවත් කැදැලි නිසාය. කලල ශේෂ වූ කලි කලල විකසන අවස්ථාවේ දී ඇති වන විස්ථාපනය. ටෙරටෝමා නොහොත් ඩ'මොයිඩ් යනුවෙන් මේවා හැඳින්විය හැකිය. එක්තරා වර්ගයෙක පිළිකාවලට පහසුවෙන් ගොදුරුවනසුලු (මීයන් වැනි) සතුන් බෝ කළ හැකි හෙයින් ඕරාව ද සැලකිය යුතු සාධකයක් වෙයි. මිනිසුන් අතර ඇතැම් පවුල්වලට යම් යම් වර්ගවල පිළිකා පහසුවෙන් සෑදෙන්නට පිළිවන. අර්බුද හටගැනීමට හේතු වන බොහෝ රෝග නිදානාත්මක සාධක තවමත් තියුණු පරීක්ෂණයට භාජන වෙමින් පවතී. හටගැනෙන අර්බුදයන්හි දක්නා වෙනස්කම් අර්බුද සෛලයන්ගේ ජීවිත ඉතිහාසයෙහි ගැබ්වී පවත්නා බවත් එකී වෙනස්කම් සාමාන්‍ය ප්‍රජනනයෙහි නොහොත් සෛලවර්ධනයෙහි විපර්යාසයක් ඇති කරවන අම්ලකර සංක්ෂයණය සහ සෛල පෝෂණය නැතහොත් වෙනත් පරිවෘත්ති ක්‍රියාවලීන් හා ආශ්‍රිතව පවත්නා සේ පෙනෙන බවත් කිව හැකිය.
රෝග විනිශ්චය:
අහිංසක අර්බුදයන්ගේ ආවේණික ලක්ෂණ කරණකොටගෙන එම අර්බුද පිළිබඳ රෝග විනිශ්චය පහසු වෙයි. ඒවා වර්ධනය වන්නේ හෙමින්ය. බොහෝ විට කීපයක් ම එකවර හටගනී. ඒවා අවට පවතින පටකවලට නොපැතිරෙයි. අන් තැනෙක අර්බුදාංකූර නොඋපදවයි. කපා අස් කළ පසු සාමාන්‍යයෙන් යළිත් නූපදී. වැලැඳුණු තැනැත්තා අර්බුදය හේතුවෙන් ම මරණයට පත් නොවේ. එහෙත් මාත්සරික අර්බුද දක්වන්නේ මෙයට ඉඳුරා විරුද්ධ ලක්ෂණය. තියුණු නිරීක්ෂණයෙකින් ඒ පිළිබඳ රෝග විනිශ්චයක් කළ හැකිය. අර්බුදයක රෝග විනිශ්චය සැක සහිත වූ අවස්ථාවක දී පටකයෙන් කුඩා පෙත්තක් අණ්වීක්ෂයක ආධාරයෙන් පරීක්ෂා කළ කල අර්බුදයේ ස්වභාවයත් මාත්සරිකත්වයේ ප්‍රමාණයත් නිශ්චය කරගත හැකිය. ප්‍රතිකාරය : අර්බුදයක් පිළිබඳව කරනු ලබන ප්‍රතිකාරය නම් එය සහමුලින් ම කපා ඉවත් කිරීමයි. කැපිය යුතු ප්‍රමාණය විනිශ්චය කළ යුත්තේ අර්බුදය මාත්සරික වීම හෝ නොවීම අනුවයි. මාත්සරික අර්බුද ඒ අවට පටකවලට ද පැතිරෙන හෙයින් ඒවා ඉවත් කිරීම පිණිස වඩා විස්තෘත වූ නැතහොත් මූලග්‍රාහී වූ විකෘන්තනයක් අවශ්‍ය වෙයි. අහිංසක අර්බුදයක් ඉවත් කිරීම පිණිස අවශ්‍ය වනුයේ එය හටගත් ප්‍රදේශය පමණක් සහමුලින් කපා හැරීමය. අර්බුදය හටගත් ස්ථානයෙන් එය කපා ඉවත් කරලීමෙන් සියලු අහිංසක අර්බුද සුව කළ හැකිවෙයි. එහෙත් මාත්සරික අර්බුද නිසා ඇති වන ද්විතීය අර්බුදාංකර මුල් තැනින් ඈත ස්ථානවලට ද පැතිරී යන හෙයින් එවැනි අර්බුදයක් හටගත් තැනින් කපා ඉවත් කළ පමණින් සම්පූර්ණයෙන් සුව කළ නොහැක. බෙහෙත් බීමෙන් හෝ පිටතින් ඖෂධයක් ආලේප කිරීමෙන් හෝ වෙනත් ප්‍රතිකාර විධියෙකින් හෝ අහිංසක අර්බුද සුව නොවන හෙයින් ඒවා ශල්‍ය කර්මයකින් ම කපා ඉවත් කළයුතු වෙයි. ශරීරයේ අත්‍යවශ්‍ය කෘත්‍යයකට හෝ ක්‍රියාවලියකට හෝ බාධා පැමිණැවීමෙන් අහිංසක අර්බුදයක් වුවද අන්තරායකර විය හැකි බැවින් එය නොපමාව කපා ඉවත් කළ යුතු වෙයි. ලයිපෝමාව වැනි අහිංසක මේද අර්බුදවලින් ශ්වසන නාළයට හෝ බඩවැලට හෝ අවහිර ඇතිවිය හැකි වීම නිදසුනකි. අනෙක් අතට, මාත්සරික අර්බුදයන්හි දී විශේෂයෙන් ම ශල්‍යකර්මයකින් හෝ විකෘන්තනයකින් ඒවා මුළුමනින් ම කපා ඉවත් කරලිය නොහෙන අවස්ථාවන්හි දී, රේඩියම්, X - කිරණ හා ඖෂධ වර්ග හිතකර විය හැක.
කර්තෘ: ඇම්.වී.පී. පීරිස්
ආයුර්වේද මතය:
වාතාදි දොස් කිපී, ලේ, මස් දෙක දූෂිත කොට, සිරුරේ යම්කිසි තැනෙක ගෝලාකාර වූ ද අචල වූ ද ස්වල්ප වේදනා සහිත වූ ද විශාල ආකෘති ඇත්තා වූ ද ඉතා දුරට ගිය මුලින් යුක්තවූ ද මාංස ශෝථයක් උපදවයි. එය අර්බුද යන නමින් හැඳින්වෙයි. දිගු කලෙකින් වැඩෙන මේ අර්බුද නොපැසවන ස්වභාවය ඇත්තේය. වාතජය, පිත්තජය, කඵජය, රක්ත ජය, මාංසජය, මේදජ යයි සාමාන්‍යයෙන් අර්බුද රෝගය සවැදෑරුම්ය. ග්‍රන්ථි, අර්බුද යන රෝග දෙක්හි ම උපදනා තැන්, හේතු, ආකෘති, දෝෂ, දූෂ්‍ය යන මේවා එක හා සමාන බැවින් ග්‍රන්ථි චිකිත්සාව පිළිබඳ නියමයන් අනුව අර්බුද රෝගයට ද පිළියම් කළයුතු බව සඳහන් වේ.
හැම අර්බුදයක් ම හටගැනෙන විට දූෂ්‍යබවට පැමිණෙන්නේ ලේ මස් දෙකය. එහෙත් රක්තාර්බුදයේ දී ලෙය ද මාංසාර්බුදයේ දී මස ද විශේෂයෙන් දූෂිත වේ. අර්බුද අතුරෙන් සමහරක් සාධ්‍ය ද සමහරක් අසාධ්‍ය ද වන්නේය. සාමාන්‍යයෙන් රක්තාර්බුද හා මාංසාර්බුද අසාධ්‍යය. සාධ්‍ය වශයෙන් සැලකෙන අර්බුද අතුරෙහි වුවද විශේෂ ලක්ෂණ සහිත ඇතැම් අර්බුද අසාධ්‍ය වේ. වාතජාදි අර්බුද අතුරෙන් ස්‍රාව යුක්ත වූ අර්බුදය ද මර්මස්ථානයක හෝ නාඩි ආදි යම්කිසි ස්‍රෝතසක හටගත් චාලනය නොකටහැකි අර්බුදය ද අසාධ්‍යය. අර්බුදයක් උඩ තවත් අර්බුදයක් හටගත් කල එයට අධ්‍යර්බුද යයි කියති. එය ද අසාධ්‍යයි. එකිනෙකට සමීපව එකවර හෝ ක්‍රමයෙන් හෝ අර්බුද දෙකක් ප්‍රකට වුවහොත් ඊට ද්විරර්බුද (යුග්මාර්බුද) යයි කියනු ලැබේ. එය ද අසාධ්‍යයි. උපදනා තැන් දූෂිත වන පදාර්ථ හා ලක්ෂණ අනුව අර්බුදයන්ගේ තවත් ප්‍රභේද කීපයකි. කර්ණයෙහි හටගන් අර්බුද සතකි. මුලින් කී සවැදෑරුම් අර්බුදයන්ට ශිරාජ අර්බුද එක්කර ගැනීමෙන් මේ සත සම්පූර්ණ වේ. නාසයෙහි හටගන්නා අර්බුදයන්ගේ සංඛ්‍යාව ද සතකි. මුලින් කී සවැදෑරුම් අර්බුදයන්ට ත්‍රිදෝෂජ අර්බුද ඇතුළත් කිරීමෙන් මේ සත සම්පූර්ණ වේ. ශිරා, ස්නායු මේදස් යන මේවා වාසෙම් දෙකින් දූෂිත වීමෙන් ග්‍රන්ථි විශේෂයක් හටගනී. මේ ග්‍රන්ථි පුපුරා ගිය විට මීපැණි, ගිතෙල්, වසා යන මේවාට සමාන ද්‍රව පදාර්ථ බෙහෙවින් වැගිරේ. එසේ ම පෙර කිපී ගිය වායුව ධාතුක්ෂය හේතු කොටගෙන අතිශයින් කුපිතව මස් වියළවා ශර්කරා වැනි වූ ග්‍රන්ථි ඇති කෙරේ. මෙම ග්‍රන්ථි අර්බුදවලට සමාන බැවින් ඒවාට ශර්කරාර්බුද යයි කියනු ලැබේ. ශුක්‍ර දෝෂ නිමිති කොටගෙන රෝග අටළොසක් හටගනී . ඉන් දෙකක් ශෝණිතාර්බුද, මාංසාර්බුද යන නම් වලින් හැඳින් වේ.
අෂ්ටාංගහෘදය සංහිතාවේ උත්පරස්ථානයේ තවත් අර්බුද කීපයක් ගැන සඳහන් වේ. රක්ත ප්‍රකෝපයෙන තල්ල මැද පද්මාකාර වූ ශෝථයක් උපදනේය. එය තාල්වර්බුද නමින් හැඳින්වෙයි. දොස් කිපීම හේතුකොටගෙන දිව මුල කණ්ඨ ප්‍රදේශයෙහි නොපැසවන්නා වූ ද කඨින වූද රත් පැහැති වූ ද වේදනා රහිත වු ද ශෝථයක් හටගනී. ඊට ගලාර්බුද යයි කියති. වාසෙම් කිපීමෙන් දිය බුබුලක ආකාරයෙන් තොලෙහි හටගන්නා අර්බුද විශේෂය ජලාර්බුද නම් වේ.
අර්බුද චිකිත්සාව:
අර්බුදය සෑදෙන ස්ථානයත් ඒ ඒ අර්බුදයන් සෑදීමට හේතුවන දෝෂප්‍රකෝපයත් විමසා පිළියම් යොදනු ලැබේ. සෙම් කෝපයෙන් උපදනා අර්බුදය ක්ෂාර ඖෂධ හා ශ්ලේෂ්මනාශක ගණ්ඩූෂ (කට උගුර සේදීමට සාදන බේත් වතුර) වර්ග හා ක්වාථ යෙදීමෙන් ශමනය කරනු ලැබේ. රක්තජ අර්බුදය රක්තශෝධක ඔසු යෙදීමෙන් හා ආලේප වර්ග ගැල්වීමෙන් ශමනය වේ. මේදෝ අර්බුදය මේදස් අඩු කරන ඔසු යෙදීමෙන් හා සැදී තිබෙන ස්ථානය විමසා ක්ෂාර යෙදීමෙන් නොහොත් ශස්ත්‍රයෙන් පළා ක්ෂතනාශක ආලේප යෙදීමෙන් සුව වේ. ගලාර්බුදය හා තාල්වර්බුදය ද ක්ෂාර බෙහෙත් අතුල්ලා දූෂිත පදාර්ථයන් ඉවත් කිරීමෙන් සුව වේ. මර්මස්ථානයක හැර සෙසු තැනක සෑදුණු කවර අර්බුදයක් වුව ද ආයුධයෙන් පළා දූෂිත ද්‍රව්‍යයන් ඉවත් කිරීමෙන් හෝ ක්ෂාර ඖෂධ යෙදීමෙන් හෝ සුවකිරීම ආයුර්වේදයෙහි නිර්දිෂ්ටය.