ආසියාව
ප්‍රමාණයෙන් හා ජනගහනයෙන් විශාලතම වූ ද සංකීර්ණභාවය, විවිධ භුමි ලක්ෂණ සහ සංස්කෘතිය අතින් ඉතා ම වැදගත් වූ ද මහාද්වීපය ආසියාවයි. එහි විශාලත්වය වර්ග සැතපුම් 17,094,666කි. පූර්වාර්ධගෝලයෙහි පිහිටි ආසියාව යුරෝපා මහාද්වීපයෙන් වෙන් කරන ප්‍රධාන මායිම යූරල් කඳුවැටියයි. මේ ඇතුළුව කැස්පියන් මුහුද, කොකේසස් කඳුවැටිය, සුළු ආසියාවේ බටහිර වෙරළ, සූවස් ඇළ හා රතු මුහුද ආසියාවේ බටහිර දෙසට මායිම් වේ. ශාන්තිකර සාගරයේ පිහිටි නැගෙනහිර ඉන්දියා දූපත්, ජපන් දූපත් හා කියුරයිල් දූපත් ආසියා මහාද්වීපයේ ඉතා ම නැගෙනහිර ප්‍රදේශයෝයි. බීරිං සමුද්‍රසන්ධිය නිසා ආසියාව උතුරු ඇමෙරිකානු මහාද්වීපයෙන් වෙන්වේ. අරාබි මුහුද හා බෙංගාලේ බොක්ක ආශ්රිත ඉන්දියන් සාගරය ආසියාවේ දකුණු මායිමයි. බටහිරින් කාරා මුහුදේ සිට නැගෙනහිරින් බීරිං මුහුද දක්වා වූ ආක්ටික් වෙරළ ආසියා මහාද්වීපයෙහි උතුරු මායිම වේ. ලෝකයේ ඉතා ම වර්ෂාධික ස්ථානය ද ඉතා ම උස් කඳු මුදුන ද උත්තරාර්ධගෝලයේ ඉතා ම ශීත ස්ථානය ද ආසියාවෙහි පිහිටා ඇත්තේය. ලෝකයේ ඉතා ම උෂ්ණ ස්ථානය හා ඉතා ම වියළි ස්ථානය මෙන් ම ගොඩබිමේ ඉතා ගැඹුරු අවපාතය ඇත්තේත් එහි මය.
පටුන
[සඟවන්න]- 1 භූවිද්‍යා ලක්ෂණ
- 2 භූමි ලක්ෂණ
- 3 නව නැමිකඳු සහිත මධ්‍ය ත්‍රිකෝණ ප්‍රදේශය
- 4 දකුණු දිග පැරණි සානු
- 5 දූපත් වැල්
- 6 දේශගුණය
- 7 සමක දේශගුණික කලාපය
- 8 මෝසම් සුළං කලාපය
- 9 ස්වාභාවික වෘක්ෂලතා
- 10 සත්ව සංහතිය
- 11 පේලියාක්ටික් ප්‍රදේශය
- 12 පෙරදිග ප්‍රදේශය
- 13 ඉතිහාසය
- 14 මානව ඉතිහාසය
- 15 ඉන්දියා අර්ධද්වීපය
- 16 මැද පෙරදිග (නිරිත දිග ආසියාව)
- 17 මධ්‍ය ආසියාව
- 18 චීනය
- 19 අග්නිදිග ආසියාව
- 20 මෑත භාගය
- 21 පොත්පත්
- 22 ආසියාතික ජනයා
- 23 අග්නිදිග ආසියාව
- 24 චීනය
- 25 ජපානය
- 26 මොංගෝලියාව
- 27 ටිබැට් රට
- 28 සින්කියාං
- 29 සයිබීරියාව
- 30 තුර්කිස්ථානය හා ස්ටෙප් ප්‍රදේශය
- 31 යුරෝපාසන්න ආසියාව
- 32 ඉන්දියාව
- 33 ආසියානු කලා ශිල්ප
භූවිද්‍යා ලක්ෂණ
භූවිද්‍යා ඉතිහාසය පාෂාණ හා පාෂාණීය ධාතු ප්‍රභව කොට ඇත්තේය. එහෙයින් ආසියාතික පෙදෙස්වල මෙතෙක් පවත්වා ඇති භූවිද්‍යා සමාලෝචනයන් මුල්කරගෙන ආසියා මහාද්වීපයේ භූවිද්‍යා ඉතිහාසය කෙබඳු වී දැයි නිගමනය කර ඇත. මේ අනුව උතුරු දෙසින් අංගාරාලන්තය නම් වූ ද දකුණු දෙසින් ගොන්ඩ්වානාලන්තය නම් වූ ද ඉපැරණි මහාද්වීපයන්ගෙන් බිඳී ගිය කොටස් අතර අවසාදිත පාෂාණ තැන්පත් වීම නිසා ආසියා මහාද්වීපය ගොඩනැඟී ඇතැයි සැලකේ.
ආසියා මහාද්වීපයට පදනම් වී යයි සැලකෙන අංගාරාලන්තය හා ගොන්ඩ්වානාලන්තය ප්‍රාක් කේම්බ්‍රිය යුගයේ දී තැන්පත් වූ අවසාදිත පාෂාණ විපරීතවීමෙන් ඇති වූ පාෂාණ විශේෂයකින් සමන්විත වී යයි සිතනු ලැබේ. ආදියෙහි දී මෙම පර්වතභූමිකා, දැනට ඉන් ශේෂව පවත්නා කොටස්වලට වඩා බෙහෙවින් විශාල වන්නට ඇත. ආසියාවේ නැගෙනහිර සයිබීරියාව, යුරෝපයේ බෝල්ටික් ප්‍රදේශය හා උතුරු ඇමෙරිකාවේ ලොරෙන්සියානු ප්‍රදේශ ආශ්රිත ප්‍රාක්කේම්බ්‍රිය පාෂාණ තට්ටු කලෙක පැවති ලොරේසියාව යැයි නම් කර ඇති අතිවිශාල වූ එක ම මහාද්වීපයෙහි කොටස් යැයි අයෙක් සිතත්. දකුණු ආසියාවේ අරාබි හා ඉන්දියානු අර්ධද්වීප ද ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව හා දකුණු ඇමෙරිකාව යන මහාද්වීපයන්හි සමහර කොටස් ද අතීතයෙහි දී ගොන්ඩ්වානාලන්තයේ කොටස් වී යැයි සලකනු ලැබේ. ආසියාතික ප්‍රාක්කේම්බ්‍රිය පාෂාණ දැනට අනාවරණව පවත්නේ අරාබි අර්ධද්වීපයෙහි හා ලංකාව ඇතුළු ඉන්දියන් අර්ධද්වීපයෙහි පමණි. වයඹේ සිට ඊසාන දෙසට බෑවුම් වී ඊසාන කෙළවර දී මෙසොපොටේමියානු දියළුපසට යට වී ඇති අරාබි අර්ධද්වීපය ද දළ වශයෙන් දකුණේ සිට උතුරට බෑවුම් වී ගොස් උතුරු කෙළවර දී ඉන්දු ගංගා නිම්නයෙහි දියළු පසට යට වී ඇති ඉන්දියන් අර්ධද්වීපය ද අධික ලෙසින් විපරීත වූ ප්‍රාක්කේම්බ්‍රිය පාෂාණයෙන් සැදි පර්වතභූමිකාවෝය. මෙම පෙදෙස්වල පාෂාණයට සමාන වූ ග්රැනිට් බහුල ප්‍රාක්කේම්බ්‍රිය පාෂාණයෙන් සැදි පර්වතභූමිකා මධ්‍යම සයිබීරියාව හෙවත් අංගාරාලන්තය ආශ්‍රිතව ද උතුරු චීනය, කොරියාව හා මැන්චූරියාව ආශ්‍රිතව ද ටාරිම් ද්රෝණිපත්ලෙහි ද පවත්නා බව භූවිද්‍යාඥ මතයයි.
පේලියොසොයික යුගය ආරම්භ වන විට අංගාරාලන්තයෙන් වැඩි කොටස දෙගිඩි මුහුදුවලින් වැසී පැවති අතර එහි බටහිර දෙසින් යූරල් භූද්රෝණිය ද දකුණු දෙසින් තෙතිස් මුහුද යැයි නම් කර ඇති භූද්රෝණිය ද පිහිටියේය. පේලියොසොයික යුගයේ කේම්බ්‍රිය හා ඩෙවෝනියානු කාල අතරේ දී අංගාරාලන්තය හා අවට පෙදෙස් කැලිඩෝනියානු පර්වතකාරක භූචලනයන්ට භාජන විය. අංගාරාලන්තයේ අග්නිදිග පෙදෙස්වල තැන්පත්ව පැවති අවසාදිත පාෂාණ ද්‍රව්‍ය කැලිඩෝනියන් පර්වතකාරක භූචලනයන්ට භාජන වීම නිසා ආසියාවේ සායාන්, අල්තායි හා වර්කොයැන්ස්ක් කඳු වැටි සෑදිණ. මේ අයුරින් ම කාරා මුහුද හා ටයිමීර් අර්ධද්වීපය ආශ්රිත ප්‍රදේශයන්හි ද කැලිඩෝනියන් කඳුවැටි ඇති වූ බවට සාක්ෂි තිබේ. ඩෙවෝනියානු අවධිය ආරම්භ වන විට මුහුදු පෙදෙස් භූද්රෝණිවලට පමණක් සීමා වූ අතර එම අවධිය අවසන් වන විට කොකේසස් ප්‍රදේශයේ සිට ඉන්දු-චීන ප්‍රදේශය දක්වා විහිදියා වූ තෙතිස් මුහුද දකුණු ශාන්තිකර සාගරයට ගලා බැසීය. යූරල් භූද්රෝණිය ද එකල තෙතිස් භූද්රෝණියට සම්බන්ධව පැවතිණ.
එහෙත් පේලියොසොයික යුගයේ අංගාරධර අවධිය හා මිසෝසීක යුගයේ ත්‍රියාසික අවධිය අතර කාලයේ දී ඇති වූ වැරිස්කන් පර්වතකාරක භූචලනයන් නිසා යූරල් භූද්රෝණියෙහි ඒ තාක් තැන්පත් වූ අවසාදිත පාෂාණ ද්‍රව්‍ය ආශ්‍රිතව යූරල් කඳු ඇතිවිය. වැරිස්කන් පර්වතකාරක භූචලන නිසා විශාල ආසියාතික ප්‍රදේශයක හෙල් හා කඳු ඇති වූ නමුත් පසු කාලයේ දී තැන්පත් වූ මිසෝසීක හා තෘතීයික අවසාදිත පාෂාණ ද්‍රව්‍යයන් නිසා මෙම භූලක්ෂණ බොහොමයක් වැසී ගොස් ඇතැයි සැක කරනු ලැබේ. අනාවරණව පවත්නා වැරිස්කන් භූලක්ෂණ අතුරෙන් ආස්තින් තා (ආල්තින් තා) නැන් ෂාන් හා චින්ලිං ෂාන් කඳුවැටි ප්‍රධානය. තායිලන්තය, මලයාව, බටහිර බෝර්නියෝ, තායිවාන්, ජපානය හා කොරියාව යන පෙදෙස්වල ද වැරිස්කන් නැමි ඇතැයි සැක කරනු ලැබේ. ත්‍රියාසික අවධියෙහි දී තෙතිස් මුහුදේ මෝය වර්තමාන බෙංගාලේ බොක්කට යොමු වී යැයි සිතනු ලැබේ. මෙම වකවානුවේ දී අංගාරාලන්තයට නැගෙනහිරින් දෙගිඩි මුහුදක් විය. දකුණු සයිබීරියාව, මොංගෝලියාව හා වයඹදිග චීනය යන පෙදෙස්වල මහාද්වීපික පස් ඒ ආශ්‍රිතව තැන්පත් වී යැයි ද සලකනු ලැබේ.
ජුරාසික හා ඛටිකා අවධිවල ඇතිවූ පර්වතකාරක භූචලන ආසියා මහාද්විපයේ නැගෙනහිර දිග හෙවත් දකුණු චීනය, මලයාව, ඉන්දුචීනය, ඉන්දියාව යන පෙදෙස්වල හා බටහිර දෙස ඉරානය, තුර්කිය හා කැස්පියන් මුහුද අවට පෙදෙස්වල ද බලපෑ බව පෙනේ. ත්‍රියාසික හා ජුරාසික අවධිවල දී දකුණු සයිබීරියාව, මොංගෝලියාව හා වයඹදිග චීනය යන පෙදෙස්වල තැන්පත් වූ අවසාදිත පාෂාණ ද්‍රව්‍ය රැළිගැසීම නිසා ඇති වුණු ලක්ෂණ වර්කොයැන්ස්ක් හා චර්ස්කි කඳුවැටිවල දක්නට ලැබේ. ඉන්දියාවේ නිල්ගිරි හා පල්නි කඳු ද ලංකාවේ මධ්‍ය කඳුකරය ද ජුරාසික යුගයේ අග භාගයෙහි දී හෝ තෘතීයික යුගයේ දී හෝ ඇති වූ හෝස්ට් කුට්ටි මතුවීමෙන් ඇති වී යැයි සලකනු ලැබේ. ආසියාතික ප්‍රදේශ අතුරෙන් ඉන්දියාව පමණක් දාමෝදර් හා පහළ ගෝදාවරී නිම්නය ආශ්‍රිතව විභේද නිම්නයන්ට හේතු වූ භූචලනයන්ට භාජන විය. මේවායෙහි අංගාරධර අවධියේ සිට ඛටිකා අවධිය දක්වා තැන්පත් වූ ගොන්ඩ්වානා මණ්ඩලික මිරිදිය අවසාදිතයෙන් වර්තමානයෙහි ආර්ථික වශයෙන් ඉතා වැදගත් වූ ගල් අඟුරු සෑදිණ. තවද ඛටිකා හා ඉයෝසීන කාලයන්හි දී ඇති වූ පර්වතකාරක භූචලනයන් නිසා කාරකෝරම්, (K 2 28,250) හා කයිලාන් ආදි කඳු වැටි බිහි විය. ඉන්දියාවේ ඩෙකාන් සානුව පළා මතු වූ ලාවානිධි තැන්පත් වූයේත් මෙම වකවානුවේ දී ම යැයි සැක කරනු ලැබේ.
තෘතීයක අවධිය වන විට යූරල් කඳුවලව නැගෙනහිරින් උතුරේ සිට දකුණට විහිදියාවූ මුහුදු තීරයක් නිසා ආක්ටික් මුහුද හා තෙතිස් මුහුද සම්බන්ධ වී ඇතැයි සිතනු ලැබේ. ඇල්පයින්හි-හිමාලය පර්වතකාරක භූචලන ඇති වූයේ තෘතීයික අවධියේ අගභාගයේ දීය. තෙතිස් මුහුද ආශ්‍රිතව තැන්පත් වූ අවසාදිත පාෂාණ ද්‍රව්‍ය රැළිගැසීම නිසා වයඹදිග යුරෝපයේ සිට ගිනිකොන දිග ආසියාව දක්වා විහිද පවත්නාවූ ඇල්ප්ස්, කොකේසස්, කිර්තාර්, සුලයිමාන්, හිමාලය ආදි මහා නැමි කඳු ප්‍රාකාරය බිහි විය. උතුරින් අංගාරාලන්තය හා ඒ ආශ්රිත පෙදෙස්වලට ද දකුණින් අරාබිය හා ඉන්දියාව යන ස්ථිර කුට්ටි සානුවලට ද මැදිව තෙරපීම නිසා ඇති වී යැයි සලකනු ලබන මෙම කඳුවැටි ඒ ඒ තන්හි බල පැවැත්වූ පීඩනයට අනුව හැඩ ගැසී ඇත. දෙපැත්තෙන් ම තෙරපීම අධික වූ ස්ථානයන්හි කඳු ගුටි ඇති වී තිබෙන අතර එසේ නොවූ තන්හි අයින්වල කඳු ද ඒ අතර සානු ද බිහි වී තිබේ. ආර්මීනියානු හා පාමීර් කඳු ගුටි ද පර්සියානු සානුව ද ටිබැට් සානුව ද මීට පිළිවෙළින් නිදසුන් වේ. තෘතීයික පර්වතකාරක භූචලනයන්ට භාජන වූ හිමාලයාදී කඳු තීරය හා නැගෙනහිර හා අග්නිදිග ආසියාතික දූපත් වැල් ද භූවිද්‍යානුකූලව තවමත් අස්ථායි ප්‍රදේශයෝය. මෙහි නිතර ඇති වන භූමිකම්පා ආදි භූචලනයන් හා විශේෂයෙන් ම ශාන්තිකර සාගරික දූපත් පන්තියෙහි නිතර විදාරණය වන්නා වූ ගිනිකඳු ද මීට සාක්ෂ්‍ය යැයි සැලකේ.
චාතුර්ථික අවධියෙහි දී උතුරු ඇමෙරිකාව ආදි පෙදෙස්වලින් වැඩි කොටස වසා පැවති අයිස්යායවල් තරම් විශාල අයිස්යායවල් ආසියාවෙහි ඇති නොවීය. ආක්ටික් සාගරය ආසන්න පෙදෙස්වල මෙන් ම කඳු ප්‍රදේශයන්හි ද කුඩා අයිස්යායවල් තුබූ බවට සාක්ෂ්‍ය වන්නාවූ භූලක්ෂණ ශේෂව ඇත. අන්තර ග්ලැසියර යුගයන්හි දී ආක්ටික් සාගරික ජලයෙන් සයිබිරියානු පෙදෙස් යටවීම නිසා තැන්පත් වූ වැලි හා මඩ මිශ්‍ර මූදු අවසාදිත නිධි තට්ටු එම පෙදෙස්වල දක්නට ඇත. පවත්නා භූලක්ෂණ ඛාදනය වීමෙන් ඇති වන්නා වූ සුන්බුන් අන් තැන්හි තැන්පත් වීමෙන් වෙනත් භූලක්ෂණ ඇති වේ. කඳු පෙදෙස් සෝදා බස්නා වැසිදියෙන් හා ගංගා ජලය මඟින් තැන්පත් වන්නා වූ දියළුපසින් සෑදී ඇති ගංගාධාර හා ඩෙල්ටා මෙවැනි භූලක්ෂණයෝය. ඉන්දු-ගංගා මිටියාවත, උතුරු චීන තැන්න ආදි ගංගා හා වෙරළාශ්‍රිත තැනිතලාවන් මෙසේ දැනුදු නොකඩවා සැදෙමින් පවත්නා භූලක්ෂණයන්ට නිදසුන්ය.
භූමි ලක්ෂණ
ආසියාවේ භූමිලක්ෂණ දළ වශයෙන් කොටස් 5කට බෙදිය හැකිය. උතුරු පහත් බිම්, නව නැමි කඳු සහිත මධ්‍ය ත්‍රිකෝණ ප්‍රදේශය, දකුණු දිග පැරණි සානු, මහා ගංගා නිම්න හා දූපත් වැල් යනුවෙනි. ආසියාවේ ආක්ටික් වෙරළේ සිට කැස්පියන් මුහුදුකරය දක්වා ත්රිකෝණාකාරව සයිබීරියාවේ විශාල කොටසක් හරහා විහිදී ඇති උතුරු දිග පහත්බිම් යුරෝපයේ විශාල පහත් බිම්වලින් වෙන් වනුයේ වඩා උස් නොවූ යූරල් කඳුවැටියෙනි. මධ්‍යම ආසියාතික ප්‍රදේශයේ සිට ආක්ටික් සාගරයට ගලන ඕබි, යැනිසි, කැටංගා, ඔලෙනෙක්, ලීනා, යානා, ඉන්ඩිගිර්කා හා කොලීමා යන ගංගාධාරයන්ගෙන් හා ඒ ආශ්රිත දෙගංමැදි පෙදෙස්වලින් උතුරු පහත් බිම් සෑදී ඇත. ලීනා හා යැනිසි ගංගා අතර ප්‍රදේශය එහි සෙසු පෙදෙස්වලට වඩා හෙල් සහිතය. සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට අඩි 3,000ක් පමණ උස් වූ හෙයින් මෙම පෙදෙස මධ්‍යම සයිබිරියානු සානුව නමින් ද හැඳින්වේ. මෙය හරහා විහිදි පුළුල් ගංගා නිම්න කීපයක් ම ඇත. විභේදනය නිසා ඇති වූ කුට්ටි කඳු මෙම පෙදෙසෙහි දකුණු සීමාව ඔස්සේ දක්නට ඇත. යැනිසි ගංගාධාරයේ සිට යූරල් කඳු දක්වා ප්‍රදේශය බටහිර සයිබීරියානු සානුව නමින් විටෙක හඳුන්වනු ලැබුවත් එය මුහුදු මට්ටමේ සිට අඩි 600කට වඩා උස් නොවේ. එමෙන් ම එහි සමහර කොටස් බෙහෙවින් ම වගුරු සහිතය. උතුරු පහත් බිම්වල නිරිත දිග කෙළවර කිර්ගීස් ස්ටෙප්ස් නම් වූ රැළි බිම් පිහිටියේය. ඊට දකුණු දෙසින් කැස්පියන් හා ඇරල් මුහුද ආශ්රිත අභ්‍යන්තර ජලවහන ද්‍රෝණි කීපයක් ම ඇත.
නව නැමිකඳු සහිත මධ්‍ය ත්‍රිකෝණ ප්‍රදේශය
සුළු ආසියාවේ සිට ආසියා මහාද්වීපයේ ඊසානදිග කෙළවර දක්වා විහිදි නව නැමිකඳු හා ඒ ආශ්රිත ගිරිතර සානු ආසියාතික මහාද්වීපයේ ඉතා ම තේජාන්විත වූ ද ඉතාම දුර්ගම වූ ද භූමි ලක්ෂණය යැයි කිව හැකිය. පාමීර් උස් සම භූමිය ආසියාතික සානු හා නැමිකඳු පන්තියෙහි ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස ගැනේ. පාමීර් උස් සමභූමි ප්‍රදේශයේ සිට දළ වශයෙන් ඉන් වයඹ හා ගිනිකොන දෙසට ආසියාතික නැමිකඳු හා සානු පන්ති විහිදී ඇත්තේය.
තෘතීයික යුගයෙන් ඉහත කාලයේ දී තෙතිස් භූද්රෝණියෙහි තැන්පත් වූ අවසාදිත නිධි අංගාරාලන්තය හා අරාබි සානුව අතර තෙරපීම නිසා ඇති වූ ප්‍රධාන නැමිකඳු පන්ති දෙකක් පාමීර් සානුවේ සිට වයඹදිග ආසියාතික සානුබිම්වලට උතුරින් හා දකුණින් සුළු ආසියාව දක්වා විහිදී ඇත. වයඹදිග ඇෆ්ඝනිස්ථානය හරහා විහිදෙන හින්දුකුෂ් හා ඉරාකයේ උතුරු සීමාව ආශ්‍රිතව විහිදෙන කෝපෙට් ඩා වැටියෙන් ද කැස්පියන් මුහුදේ දකුණු වෙරළට සමීපව විහිදෙන එල්බස් කඳු වැටියෙන් හා ආර්මීනියන් කඳුගුටියට බටහිරින් සුළු ආසියාවේ පිහිටි පොන්ටික් කඳුවැටියෙන් ද ඉහත සඳහන් උතුරු දිග මහා නැමි කඳු පන්තිය සමන්විත වේ. පාමීර් සානුවෙන් නිරිතදිගට විහිදෙන සුලයිමාන් සහ කිර්තාර් කඳුවැටිවලින් හා දකුණු ඉරාන සීමාව ආශ්රිත මහා සැග්රොස් කඳු පන්තියෙන් ද සුළු ආසියාවේ ටෝරස් කඳු පන්තියෙන් ද දකුණු දිග කඳු පන්තිය සමන්විත වේ. ආර්මීනියන් කඳුගුටිය යනු පර්සියන් බොක්කේ උතුරු කෙළවර හා කැස්පියන් මුහුදේ දකුණු කෙළවර අතර පටුබිම් තීරය ආශ්රිත මහා කඳු ප්රදේශයයි. පර්සියාවේ විශාල කොටසක් අයත් වූ ඉරාන් සානුව ප්‍රධාන වශයෙන් පාමීර් කඳු වැටියෙන් බටහිර දෙසට විහිදෙන සුලයිමාන්, කිර්තාර් හා හින්දුකුෂ් යන කඳුවැටිවලට මැදිව පිහිටි උස් සම භූමියයි. ආර්මීනියන් කඳුගුටියෙන් බටහිර දෙසට කළුමුහුද හා මධ්‍යධරණී මුහුද අතර දේශයෙහි ටෝරස් හා පොන්ටික් කඳුවැටිවලට මැදිව පිහිටා ඇති උස්බිම් සුළු ආසියා සානුව වශයෙන් හැඳින්වේ. පාමීර් සානුවේ සිට දළ වශයෙන් නැගෙනහිරට හිමාලය, කුන්ලුන්, ආස්තින් තා හා තියෙන් ෂාන් ආදී කඳුවැටි විහිදේ. පාමීර් සානුවෙන් පටන් ගෙන අර්ධ කවාකාරව ඇසෑම් දක්වා සැතැපුම් 1,500ක් නැගෙනහිර දිගට විහිදෙන්නා වූ හිමාලය කඳුවැටිය ඉතා සංයුක්ත කඳු මණ්ඩලයකි. ඉන්දු හා බ්‍රහ්මපුත්‍ර ගංගාවන්ගේ ඉහළ නිම්න නිසා මහා ටිබැට් සානුවෙන් වෙන් වී ඇති මහා හිමාලය කඳු වැටියෙහි අඩි 20,000ට වඩා උස් වූ ශිඛර 60ක් පමණ ඇත්තේය. එවරස්ට් (29,028’) කංචන්ජංගා (28,146’) හා නන්දාදේවී (26,645’) නංගප්රභාත් (26,621’) මීට නිදසුන්ය. මහා හිමාලය වැටියට දකුණින් පිහිටි කුඩා හිමාලය නම් වූ කඳු පන්තිය සාමාන්‍යයෙන් අඩි 12,000ක් පමණ උස් වූවකි. මහා හිමාලය හා කුඩා හිමාලය අතර ප්‍රදේශය සාමාන්‍යයෙන් අඩි 15,000ක් පමණ උස් වූ ඉතා රළු භූමි ලක්ෂණයෙන් යුත් ප්රදේශයකි. කුඩා හිමාලය කඳුවැටිවලට දකුණු දිගින් වූ කඳු පාමුල් පෙදෙස් වැඩි වශයෙන් මයෝ-ප්ලයිස්ටොසීන කාලයන්හි දී හිමාලය පෙදෙසින් සේදී විත් තැන්පත්ව ඇත්තා වූ දියළු පස් ආදියෙන් ගොඩ නැගුණකි. එසේ වුව ද නොයෙක් පර්වතකාරක භූචලනයන්ට භාජන වී ඇති මෙම පෙදෙස්වල ද අඩි 3,000 පමණ උස් වූ හෙල් බිම් දක්නට ලැබේ. ඇසෑම්හි ෂිලෝන් සානුව අද්දරින් දකුණට නැමී විහිදෙන මෙම කඳු ප්‍රාකාරය නාගකඳු නමින් හැඳින්වේ. ඉන් ඔබ්බට හෙවත් හිමාලය කඳුවැටියේ නැගෙනහිර කොනින් පළමුව නිරිත දිගට විහිද ගොස් පසුව දකුණු දෙසට බුරුමය හරහා වැටී ඇති කඳුවැටිය අරකන්යෝමා නමි. අන්දමන් හා නිකොබාර් දිවයින් දිගේ සුමාත්‍රා, ජාවා ආදි දූපත්වල ද මෙම කඳු පන්තියෙහි ශාඛා වශයෙන් ගිණිය හැකි කඳුවැටි විහිදී තිබේ.
පාමීර් සානුවෙන් නැගෙනහිර දෙසට විහිදෙන කාරකෝරම් හා කයිලාස් කඳුවැටි ද ඉතා තේජාන්විත වූ උස් ශිඛරයන්ගෙන් යුක්තය. මීට උතුරින් පාමීර් සානුවේ සිට චීනය දෙසට විහිද ගිය ආස්තින් තා හා තියෙන් ෂාන් කඳු වැටි ද පාමීර් සානුවට ඊසාන දිගින් වූ අල්තායි ආදි කඳුවැටි ද සමහර කොටස්වල දී උසින් මුහුදු මට්ටමේ සිට අඩි 20,000 ඉක්මවයි. ඊසානදිග ආසියාවේ පිහිටි වර්කොයැන්ස්ක්, චර්ස්කි ආදි පැරණි කඳුවැටි උසින් අඩි 8,000ක් පමණ වේ. කැම්චට්කා අර්ධද්වීපය මැදින් නාරටියක් මෙන් විහිදී ඇත්තා වූද උසින් අඩි 15,000ක් පමණ වූ ශිඛර කීපයක් සහිත වූ ද කඳුවැටි දෙකක් ඇත. මෙහි කලින්කලට විදාරණය වන්නා වූ ගිනිකඳු තිබේ.
මේ මහා නැමිකඳුවැටි අතර පිහිටියා වූ සානු හා ද්‍රෝණි රාශියක් ද ඇත. ඉන් ප්‍රධාන වනුයේ 'ලෝකයේ පියස්ස' යන විරුද නාමයක් ලබා ඇති ටිබැට් සානුවයි. දකුණින් හිමාලය වැටියෙන් ද වයඹදිගින් කාරකෝරම් වැටියෙන් ද උතුරින් කුන්ලුන්, ආස්තින් තා හා නැන් ෂාන් කඳුවැටිවලින් ද නැගෙනහිර දිගින් චින්ලිං ෂාන් හා තාලියං ෂාන් ආදි කඳුවැටිවලින් ද වට වී ඇති ටිබැට් සානුව මුහුදු මට්ටමේ සිට සාමාන්‍යයෙන් අඩි 15,000ක් පමණ උසය. මෙහි ද තැනින්තැන වූ කඳුවැටි කීහිපයක ම උසින් අඩි 22,000 ඉක්මවන්නා වූ ශිඛර ඇත. තවද කොකොනෝර් විල ආශ්රිත ත්සිඩාම් වැනි අන්තර්ජලවහනය සහිත වූ ද්‍රෝණි කීපයක් ද ටිබැට් සානුවෙහි තිබේ. මෙම ද්‍රෝණි සමහරක් වගුරු සහිතය. ටිබැට් සානුවට උතුරින්, ආස්තින් තා හා තියෙන් ෂාන් කඳුවලට මැදිව අතිවිශාල කාන්තාර ප්‍රදේශයක් වූ ටාරිම් ද්‍රෝණිය පිහිටියේය. මෙහි නැගෙනහිර කොනෙහි ද ලොබ් (ලොප්) නෝර් විල ආශ්රිත අන්තර් ජලවහන ද්‍රෝණියක් ඇත. තියෙන් ෂාන් හා අල්තායි කඳුවැටි අතර වූ ප්‍රදේශය ඩිසුන්ගේරියානු ද්‍රෝණිය නමින් හැඳින්වේ. ඊසාන දිගින් වූ ඉතා විශාල කාන්තාර ප්‍රදේශය ගෝබී කාන්තාරයයි. මෙම පෙදෙසෙන් සුළඟට ගසා එන ලොවැස් පස් කාලාන්තරයක් මුළුල්ලේ තැන්පත් වී ඇති ඔර්ඩොස් සානුව වයඹදිග චීනයේ කොටසකි. අල්තායි කඳුවලට උතුරින් ඛාංගයි සානුව ද යැබ්ලනොයි හා ස්ටැනවොයි කඳුවලට වයඹදිගින් විටිම් හා අල්ඩාන් සානු ද පිහිටා ඇත.
දකුණු දිග පැරණි සානු
අරාබි අර්ධද්වීපය, ඉන්දියන් අර්ධද්වීපයෙහි ඩෙකාන් සානුව හා දකුණු චීනයේ යුනාන් සානුව දකුණු ආසියාවේ ඉපැරණි සානු බිම්ය. දළ වශයෙන් වර්ග සැතැපුම් 840,000ක් පමණ විශාල වූ අරාබි අර්ධද්වීපය බටහිරේ සිට නැගෙනහිර දෙස ටයිග්‍රිස් නිම්නය දක්වා මඳක් බෑවුම් සහිතව පිහිටියාවූ ද වෘද්ධ තද පාෂාණයෙන් සැදුණා වූ ද කාන්තාරීය සානුවකි. ඉන්දියාවේ ඩෙකාන් සානුව ද බටහිරේ සිට නැගෙනහිරට බෑවුම් වී ඇත්තේය. මෙහි ඉතා ප්‍රපාතාකාර තද බෑවුමක් ඇති බටහිර අයින බටහිර ඝාට් නමින් ද මිටි නැගෙනහිර සීමාව නැගෙනහිර ඝාට් නමින් ද හැඳින්වේ. සානුවෙහි උතුරු කෙළවර වින්ධ්‍ය, සත්පුර හා අජන්ටා කඳුවැටි ද ඩෙකාන් සානුවෙහි වයඹ කොනෙහි අරවල්ලි කඳු ද විහිදී ඇත. විශේෂයෙන් ම ගෝදාවරී හා කෘෂ්ණා ගංගාවන් නිසා මෙම සානුව කඩකඩ වී තිබේ. මීකොං, සැල්වින් හා ඉරවඩි යන ගංගාවන්ගේ ඉහළ අතුගංගාවන් නිසා යුනාන් සානුව ද කඩකඩ වී ඇත. යුනාන් සානුව ආශ්රිත පැරණි පාෂාණ කුට්ටියක් මලයා අර්ධද්වීපයෙහි ද දක්නට ලැබේ. උතුරු ආසියාවේ ප්‍රධාන ගංගාවන් වන ඕබී, යැනිසි, ලීනා, කොලීමා ආදියෙහි ගංගාධාර උතුරු පහත්බිම් වශයෙන් හඳුන්වනු ලැබූ භූමිලක්ෂණය හා සම්බන්ධය. චීනයෙහි සිකියෑං, යැංත්සිකියෑං හා හ්වාංහෝ, ඉන්දු චීනයෙහි මීකොං, සියමෙහි චච්ප්රායා (මේනෑම්), බුරුමයෙහි ඉරවඩි හා සැල්වීන්, ඉන්දියන් අර්ධද්වීපයෙහි ගංගා, බ්‍රහ්මපුත්‍ර හා ඉන්දු, තුර්කියේ සහ ඉරාකයේ ටයිග්‍රිස් හා යුෆ්රටීස්, සිරියානු ප්‍රදේශයෙහි ඔරොන්ටෙස් හා පලස්තීනයේ ජොර්දාන් යන ගංගාවන්ගේ දියළුපසින් පිරී විශාල සාරවත් ගංගාධාරයෝ ඈත අතීතයේ පටන් ම මානව ශිෂ්ටාචාරයේ ප්‍රභවස්ථාන වූහ. වයඹදිග ආසියාතික උස්බිම්වලින් පටන්ගන්නා ජෝර්දාන්, ටයිග්‍රීස්, යුෆ්රටීස් හා ඔරොන්ටෙස් ගංගාවන් හැරුණ විට සෙසු ගංගාවෝ හිමාලය ආදි නව නැමිකඳු හා සානුපන්ති ආශ්රිත මධ්‍යම ආසියාතික උස්බිම්වලින් පටන් ගන්නා හෙයින් එම පෙදෙස්වල හිම දිය වී ගංගා ජලයට එක්වන ග්‍රීෂ්ම ඍතුවේ දී පිටාර ගලා යති. මේ හේතුවෙන් මෙම ගංගාවන්හි මිටියාවත් මෙන් ම ඩෙල්ටා ද දියළුපසින් පිරී යයි. පහත් බව පමණක් නොව තැනිතලා බව ද මෙම ගංගාධාරයන්ගේ විශේෂ ලක්ෂණයකි. ගංගා නදී නිම්නයෙහි පහළ කොටසෙහි බෑවුම සැතැපුමකට අඩියකටත් අඩු තරම්ය. ගංගා නදී මෝයෙන් සැතැපුම් 1,000ක් ඉහත්තාවෙහි පිහිටි දිල්ලිය අවට ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට අඩි 718කට වැඩි නොවේ. ඔර්ඩොස් සානුව ඔස්සේ ගලා බස්නා හ්වාංහෝ හා යැංත්සිකියෑං ආදි ගංගාවන් මඟින් මෙම ලොවැස් පස් උතුරු චීන තැනිතලාව ආදි වෙරළාසන්න පෙදෙස්වල තැන්පත් වේ. මෙම ප්‍රධාන ගංගාධාර හැරුණු විට ඉන්දියන් අර්ධද්වීපයේ තප්ති, නර්මදා ආදි කුඩා ගංගානිම්න ද බොහෝ පෙදෙස්වල පටු වෙරළබඩ තැනිතලා ද පහත් බිම් වශයෙන් වැදගත් වේ.
දූපත් වැල්
විශේෂයෙන් ම නැගෙනහිර හා අග්නිදිග මහාද්වීපික ආසියා වෙරළට සමීපව පිහිටි දූපත් වැල් ආසියා මහාද්වීපයේ භුමි ලක්ෂණයෙහි විශේෂාංගයකි. භූචලන හා යමහල් අධික වීමේ හේතුවෙන් ප්‍රභව වී ඇතැයි සලකනු ලබන ජපන් දූපත් මෙන් ම අග්නිදිග ආසියාතික දූපත් සමූහය ද ඉතා කඳු සහිතය. මේවායේ වෙරළබඩ තැනිතලා වශයෙන් ඇත්තේ ඉතා පටුබිම් පමණි. ජපානයේ ක්වාන්තෝ හා කිනායි තැනිතලා වැනි කුඩා පහත් බිම් වෙරළාශ්‍රිත වක්කලම් ආදිය වටා පිහිටා ඇත. බොහෝ දූපත්වල මධ්‍ය පෙදෙස් ඉතා උසය. බොහොමයක දැනුදු විටින් විට විදාරණය වන්නා වූ ගිනි කඳු ඇත. ජාවා දූපතෙහි සෙමෙරූ (12,060) හා හොන්ෂු දූපතෙහි ෆූජියාමා (12,385) මීට නිදසුන්ය.
ලංකාව ද අග්නිදිග ආසියාතික දූපත් පන්තිය මෙන් පර්වතකාරක භූචලන හේතුවෙන් ඇති වී යයි සමහර භූවිද්‍යාඥයන් පිළිගන්නා අතර මේ දිවයින ඉන්දියන් අර්ධද්වීපයෙන් ඉඳුරා ම වෙන් වූ ප්‍රදේශයක්ය යන පිළිගැනීමක් ද ඇත. කෙසේ වුවත් ලංකාව ද මධ්‍ය කඳුකරයකින් (පිදුරුතලාගල-8292) හා ඒ වටා විහිදි වෙරළබඩ තැන්නකින් යුත් දිවයිනකි.
ආසියා මහාද්වීපයේ භූමිලක්ෂණයෙහි වැදගත් අංගයක් වන විල් හා මුහුදු ද කීපයකි. ලෝකයේ ඉතාම විශාල දේශාභ්‍යන්තර මුහුද වශයෙන් ගැණෙන කැස්පියන් මුහුද ද ලවණත්වය ඉතා අධික මළමුහුද හා තුර්කියේ ටුස් හා වැන් විල් ද ඉන් සමහරකි. ටිබැට් සානුවෙහි කොකො නෝර් හා ලොප් නෝර් විල් ද සයිබීරියාවේ බයිකල් විල ද තුර්කිස්ථානයේ බල්කාෂ් හා ඉසික් කුල් විල් ද චීනයේ පොයාං, දුටිං, ටයි හා හුංඩ්ස විල් ද විශේෂයෙන් ම විශාලත්වය නිසා වැදගත් තවත් විල්ය.
දේශගුණය
ආසියා මහාද්වීපයෙහි විශාලත්වය හා භූවිෂමතාවෙහි විවිධත්වය කරණ කොටගෙන එහි දේශගුණය ද ඉතා විවිධය. ගොඩබිම් හා සාගරික පෙදෙස් අතර පවත්නා තාප හා පීඩන පරතරය නිසා ආසියා මහාද්වීපයේ දේශගුණය කෙරෙහි ඍතු අනුව බලපවත්නා විශේෂ වායු සංසරණ රටාවක් ද ඇත. මෙම වායු සංසරණ කෙරෙහි මහාද්වීපය හරහා විහිදියාවු මහා නැමි කඳු පද්ධතිය බෙහෙවින් බලපායි.
සාගරික බලපෑමෙන් බොහෝ සේ ඈත්ව පිහිටියා වූ ද කඳුවලට හා සානුවලට මැදි වී ආවරණ වී පවත්නා වූ ද මහාද්වීපමධ්යය මහාද්වීපික දේශගුණ ලක්ෂණ දක්වයි. ශීත ඍතුවේ දී මහාද්වීපමධ්යය අතිශයින් ශීතලය. උත්තරාර්ධගෝල ශීත ඍතුවේ දී හෙවත් ජනවාරි මාසයේ දී උතුරේ සිට මධ්‍යම චීනය, හිමාලය කඳු හා කැස්පියන් මුහුද දක්වා වූ මුළු මහත් ප්‍රදේශයෙහි සාමාන්‍ය උෂ්ණත්වය පැ. 32° කට අඩුය. උත්තරාර්ධගෝලයේ ඉතාම ශීත ස්ථානය වූ වර්කොයැක්ස්හි ජනවාරි මාසයේ සාමාන්‍ය උෂ්ණත්වය පැ.−58° ක් පමණ වේ. මෙම ශීත මහාද්වීපික වාතස්කන්ධය ආශ්‍රිතව අධික පීඩන කේන්ද්‍රයක් බයිකල් විල් ප්‍රදේශයෙහි හටගන්නා හෙයින් ඉන් පිටතට හෙවත් අඩු පීඩන ප්‍රදේශ කරා හමන්නා වූ සුළං මණ්ඩලයක් ඇති වේ. මෙම සුළං කඳු කපොලු අතරින් ඉතා වේගයෙන් සාගරික පෙදෙස් කරා හමා යයි. මෙසේ ශීත ඍතුවේ දී උතුරු චීනය හරහා ශාන්තිකර සාගරය දෙසට හමන ඉතා ශීතල වියළි දරුණු සුළඟක් ඇත. මෙම සුළං සමඟ මධ්‍යම ආසියාතික සානුවලින් නැඟී විත් වයඹදිග චීනයෙහි තැන්පත් වී ඇති ලොවැස් නම් වූ දූවිලි තට්ටු අඩි දහස් ගණන් ගනකම්ය. චින්ලිංෂාන් ආදි කඳු නිසා දකුණු චීනය ද හිමාලයාදි කඳු නිසා ඉන්දියන් අර්ධද්වීපය ද මෙම දරුණු සුළංවලින් ආරක්ෂා වේ. ආසියා මහාද්වීපය මධ්‍යයේ සිට වයඹ දෙසට ද මෙම සුළං හමා යෙයි. ඉරානයේ “සෙයිස්ථාන් ” නමින් හඳුන්වනු ලබන මෙම දැඩි වියළි සුළං පැ. හැ. 120 දක්වා වූ වේගයෙන් හමායන අවස්ථා ද ඇත. අරාබි අර්ධද්වීපයෙහි වියළි කාන්තාරවල වැලි කුණාටු නංවමින් ඉන්දියන් සාගරය දෙසට හමන සුළංවල ප්‍රභව ස්ථානය ද මධ්‍ය ආසියාතික අධික පීඩන කේන්ද්‍රයයි. ඉන්දියා අර්ධද්වීපයෙහි වයඹ දිගින් වූ තාර් කාන්තාරීය ප්‍රදේශයෙහි ද භෞතික වශයෙන් මධ්‍ය ආසියාතික අධික පීඩන කේන්ද්‍රයට සමාන වූ කුඩා අධික පීඩන කේන්ද්‍රයක් ඇති වේ. ඉන්දියන් අර්ධද්වීපය හා අවට ප්‍රදේශ කෙරෙහි බලපවත්නා මෝසම් සුළං මණ්ඩලයක් මෙහි බලපෑමෙන් ඇති වේ.
සාමාන්‍ය වශයෙන් මෙම මහාද්වීපික හෝ අර්ධ මහාද්වීපික අධික පීඩන කේන්ද්‍රවල සිට සාගරික අඩු පීඩන කේන්ද්‍ර කරා හමා එන්නා වූ සුළං ශීතලය; වියළිය. එහෙත් ජලාශ ඔස්සේ ටික දුරකට හෝ හමායන සුළං ඒ ගමනේ දී ජලවාෂ්ප රැස්කර ගන්නා හෙයින් ඉන් වැසිපල ලබන ප්‍රදේශ කීපයක් ඇත. බෙංගාලේ බොක්ක හරහා හමාවුත් ලංකාවේ උතුරු හා නැගෙනහිර පෙදෙස් වලට වැසිපල දෙන ඊසාන දිග මෝසම් සුළඟ මීට නිදසුන්ය.
ග්‍රීෂ්ම ඍතුවේ දී තාප හා පීඩන ව්‍යාප්ති රටාව මීට ඉඳුරාම වෙනස් වේ. මෙම ඍතුවේ දී මාධ්‍ය ආසියාතික ප්‍රදේශය ඉතා උණුසුම් වේ. උණුසුම් වායුව ආශ්‍රිතව මුළු ආසියා මහාද්වීපයෙහි ම පීඩනය අඩු වේ. විශේෂයෙන්ම ඉන්දියන් අර්ධද්වීපය හා පර්සියන් බොක්ක ආශ්රිත පෙදෙස් අඩු පීඩන කේන්ද්‍රස්ථාන බවට පත් වේ. පර්සියන් බොක්ක අවට පෙදෙස්වල සාමාන්‍ය උෂ්ණත්වය පැ. 120° පමණ වේ. මෙම වයඹදිග ආසියාතික පෙදෙස්වල වාර්ෂික වාෂ්පීභවනය අඟල් 160 කි. මහාද්වීපයෙහි අඩු පීඩනය පවත්නා විට සාගරයෙහි පීඩනය අධිකය. එහෙයින් විශේෂයෙන්ම ඉන්දියන් හා ශාන්තිකර සාගරික අධික පීඩන පෙදෙස්වලින් අඩු පීඩන පෙදෙස් කරා හමායන්නා වූ සුළං මණ්ඩලයක් ඇති වේ. මෙතෙක් මහාද්වීපයෙහි හා සාගරයෙහි තාපය හා පීඩනය අතර පැවති තුලිතතාව හදිසියේ වෙනස් වන හෙයින් මෙම සුළං මණ්ඩලය ද හදිසියේ ඇතිවන්නකි. මධ්‍ය ආසියාතික කඳු හා සානු පන්තිය නිසා මෙම සාගරික සුළං මහාද්වීපමධ්යය කරා නොහමයි. එහෙයින් සාගරයෙන් හමා එන මෙම සුළංවලින් වැසිපල ලබනුයේ දකුණු හා නැගෙනහිර ආසියාතික ප්‍රදේශ පමණි. අඩු පීඩන කේන්ද්‍රස්ථානයට ආසන්න පෙදෙස්වල සුළං වඩා වේගවත්ය. එහෙයින් විශේෂයෙන් ම ඉන්දියන් අර්ධද්වීපයට හා ඊට ඉතා ආසන්න පෙදෙස්වලට මෙම සුළංවලින් අධික වර්ෂාපතනයක් ලැබේ. ලෝකයේ ඉතා ම වර්ෂාධික ප්‍රදේශය වශයෙන් ගැනෙන ඇසෑම්හි චිරාපුංචි නගරයේ සාවා.ව. අඟල් 428කි. මින් 95% පමණ ම උෂ්ණ සෘතුවට සීමා වූ මාස 5ක් පමණ වූ කාලය තුළ ලැබේ. ශාන්තිකර සාගරයේ සිට ජපානය හා චීනය ඔස්සේ අඩු පීඩන කේන්ද්‍ර කරා හමා එන්නා වූ සුළං එතරම් වේගවත් නොවේ. එහෙයින් ඉන් ලැබෙන වැසිපල ද අඩුය. සාගරික බලපෑමෙන් ඈත්වන්නට වන්නට වැසිපල අඩුය. සයිබීරියාවේ සා. වා. ව. අඟල් 20 නමුත් ඉතා උතුරෙහි සා. වා. ව. අඟල් 10 පමණ වන අතර තුර්කිස්ථානයෙහි සා. වා. ව. අඟල් 4ක් පමණ වේ.
විශේෂයෙන්ම දකුණු හා අග්නිදිග ආසියාතික පෙදෙස් හරහා ග්‍රීෂ්ම ඍතුවේ දී මහාද්වීපය දෙසටත් ගීත ඍතුවේ දී සාගරය දෙසටත් හමායන්නාවූ සුළං, මෝසම් සුළං (බ.) යනුවෙන් හඳුන්වනු ලැබේ. ආසියා මහාද්වීපයේ දේශගුණය කෙරෙහි බලපවත්වන සාමාන්‍ය සාධක හා ස්ථානීය සාධක අනුව දේශගුණ බෙදීම් රාශියක් ඇතත් දළ වශයෙන් ප්‍රධාන බෙදීම් කීපයක් මෙසේ වෙන් කළ හැකිය.
සමක දේශගුණික කලාපය
උ. අ. 5° ත් 10° ත් හා ද. අ. 5° ත් 10° ත් දක්වා වූ කලාපය සාමාන්‍යයෙන් සමක දේශගුණ කලාපය වශයෙන් ගැනේ. මෙහි දෛනික උෂ්ණත්ව අන්තරය මෙන් ම වාර්ෂික උෂ්ණත්ව අන්තරය ද පැ. 4° කට වැඩි නොවන තරම්ය. මෙම දේශගුණය බලපවත්වන්නේ ප්‍රධාන වශයෙන් මලයානු අර්ධද්වීපයට හා ඊට දකුණින් වූ අග්නිදිග ආසියාතික දූපත්වලටය. වර්තමාන දේශගුණ විද්‍යාව අනුව අන්තර් නිවර්තන පෙරමුණ ඔස්සේ වූ මෙම පෙදෙස්වල අකුණු කුණාටු බහුලය. මෙම දූපත් වලට සාගරික බලපෑම ද නොඅඩුව ලැබෙන හෙයින් ආසියාතික මෝසම් සුළං වලින් ද වැසි ලැබේ. වියළි කාලයක් නැතත් උෂ්ණ ඍතුවේ දී වර්ෂාව වැඩිය.
මෝසම් සුළං කලාපය
ඉන්දියානු අර්ධද්වීපය ද ලංකාව හා බුරුමය ද ඉන්දු චීනය හා චීනය ද ඇතුළු අග්නිදිග මහාද්වීපික ආසියා ප්‍රදේශයත් ජපානයත් මෙම දේශගුණ කලාපයට අයත්ය. එහෙත් සාමාන්‍යයෙන් ඉන්දියානු අර්ධද්වීපය, ලංකාව, බුරුමය හා ඉන්දුවීනය ඝර්ම කලාපික මෝසම් සුළං කලාපය ලෙසත් චීනය හා ජපානය උෂ්ණ සමශීතෝෂ්ණ මෝසම් සුළං කලාපය ලෙසත් ගැනේ. ඉන්දියන් අර්ධද්වීපයෙහි මඳ වැසි සහිත උෂ්ණ ඍතුවක් (මාර්තු-මැයි) ද වර්ෂා ඍතුවක් (ජූනි - ඔක්තෝබර්) ද වියළි ශීත ඍතුවක් (නොවැම්බර් - පෙබරවාරි) ද ඇත. උෂ්ණ ඍතුවේ දී ඉන්දියන් අර්ධද්විපයෙහි වයඹ දිග කොටස හා දකුණු කොටස ඉතා උෂ්ණය. පංජාබ් ප්‍රදේශයෙහි උෂ්ණ ඍතුවෙහි උෂ්ණත්වය පැ. 110° පමණ වන අතර දෛනික උෂ්ණත්ව අන්තරය පැ. 30° ක් පමණ වේ. අග්නිදිග පෙදෙස්වල උෂ්ණ ඍතුවේ සා. උ.පැ. 90° පමණ වේ. උත්තරාර්ධගෝලීය ග්‍රීෂ්ම ඍතුව මෙම කලාපයෙහි වර්ෂාධික කාලයයි. නිරිතදිග මෝසම් සුළඟට මුහුණ ලා ඇති කඳුබෑවුම්වල පිහිටි පෙදෙස්වලට මෙම සුළඟින් ඉතා අධික වර්ෂාපතනයක් ලැබේ. මෙම ඍතුවේ දී බටහිර ඝාට්වල මහා බාලේශ්වර්හි අඟල් 29, ඇසෑම්කඳුවල චිරාපුංජිහි අඟල් 428, හිමාලය කඳුබෑවුමේ ඩාර්ජීලිංහි අඟල් 123 ,අරකන් යෝමා කඳුබෑවුමේ අක්යාබ්හි අඟල් 200 හා ලංකාවේ වටවල අඟල් 160 පමණ වූ වර්ෂාපතනයන් ලැබෙන බව වාර්තාගතය. එහෙත් මෙම ඍතුවේ දී වුව ද සුළං මුවාවෙහි වූ පෙදෙස්වලට ලැබෙන වර්ෂා ප්‍රමාණය ඉතා අල්පය. තාර් කාන්තාරය ඇතුළු පංජාබ් දේශය හා මධ්‍යම ඉන්දියන් අර්ධද්වීපය ද අරකන් යෝමා සුළං මුවාවෙහි පිහිටි ෂාන් සානුව වැනි ප්‍රදේශ ද මීට නිදසුන්ය. මධ්‍යධරණී ප්‍රදේශයන්හි හටගනු ලැබේ යැයි සැක කරනු ලබන අවපාත හා සුළි සුළංවලින් විශේෂයෙන් ම ශීත ඍතුවේ (නොවැම්බර් - පෙබරවාරි) දී බටහිර පකිස්ථාන් ප්‍රදේශයට සුළු වර්ෂාපතනයක් ලැබේ. තවද අන්තර් මෝසම් සුළං කාලවල දී බෙංගාල බොක්කේ හටගන්නා අවපාතයන්ගෙන් හා සුළි සුළංවලින් ලංකාවට ද නැගෙනහිර ඉන්දියන් අර්ධද්වීපික පෙදෙස්වලට ද වර්ෂාව ලැබේ. චීනය හා ජපානය ඇතුළු උෂ්ණ සමශීතෝෂ්ණ මෝසම් සුළං කලාපයෙහි ද වැසි ලැබෙනුයේ ග්‍රීෂ්ම ඍතුවෙහි දීය. මධ්‍ය ආසියාතික ප්‍රභවයක් ඇති වියළි සුළං බලපවත්නා ශීත ඍතුව වියළිය. ශීත මහාද්වීපික සුළං ජපන් දූපත් දෙසට හැමිමේ දී කුරෝෂීවෝ උෂ්ණ දියවැලින් යුත් ජපන් මුහුද තරණය කරන හෙයින් එම දූපත්වලට මෙම සුළංවලින් එතරම් ශීතලක් නොදනෙන අතර මඳ වශයෙන් වැසිපල ද ලැබෙයි. බොහෝ විට මෙම වර්ෂණය හිමපතනයට සීමා වෙයි. ග්‍රීෂ්ම ඍතුවේ වැසිපල දෙන සාගරික සුළංවලින් වඩාත් වර්ෂාව ලැබෙනුයේ දකුණු චීන ප්‍රදේශයටය . උතුරට හා දේශාභ්යන්තරයට යන්නට යන්නට වර්ෂාපතනය හීන වේ. සාගරික බලපෑම නිසා ශීත ඍතුවේ දී හොංකොං ආදී වෙරළාශ්‍රිත පෙදෙස්වල උෂ්ණත්වය පැ. 60° වන අතර සරට්සි වැනි අභ්‍යන්තර ප්‍රදේශයන්හි උෂ්ණත්වය පැ. 50° ක් පමණ වේ. ග්‍රීෂ්ම ඍතුවේ දී හොංකොංහි උෂ්ණත්වය පැ. 82° කි; සරට්හි පැ. 73°කි.
උෂ්ණ සමශීතෝෂ්ණ කලාපයෙහි මධ්‍යම ආසියාතික ප්‍රදේශ නැමිකඳුවලින් හා ටිබැට් ආදි ගිරිතර සානු රාශියකින් යුක්ත වේ. ස්වාභාවික පිහිටීම අනුව මෙම පෙදෙස්වලට ලැබෙන සාගරික බලපෑම ඉතා අඩුය. එහෙයින් මහාද්වීපමධ්යයන්ට විශේෂ වු දේශගුණ අන්තරයෝ මෙම පෙදෙස්වල ද වෙත්. වැසිපල ගෙන එන සුළං මාර්ගයෙහි හෝ සංවහන වූ වර්ෂා ඇතිවීමට තුඩු දෙන භූගෝලීය පිහිටීමක හෝ නොවන හෙයින් මෙම පෙදෙස්වල වර්ෂාපතනය ඉතා අඩුය. මෙහි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 15ක් පමණ වේ. ග්‍රීෂ්ම ඍතුවේ දී මෙම ප්‍රදේශයෙහි සූර්ය තාපය වැටෙන ස්ථානයන්හි උෂ්ණත්වය පැ. 130°ක් පමණ වේ. එසේ වුව ද මුහුදු මට්ටමේ සිට ඇති උස නිසා අවුරුද්ද මුළුල්ලෙහි ම හිමෙන් වැසී පවත්නා කොටස් ද මෙහි ඇත.
උෂ්ණ සමශීතෝෂ්ණ කලාපයෙහි පිහිටි වයඹදිග ආසියාතික ප්‍රදේශ ඔස්සේ සෑම ඍතුවක දී ම කර්කටක නිවර්තනය ආශ්‍රිතව හටගන්නා අධික පීඩන තීරයක් විහිදී ඇත්තේය. ශීත ඍතුවේ දී මධ්‍යධරණී මුහුද දෙසින් හමා එන්නා වූ අවපාත මෙම ප්‍රදේශයට වැසිපල ලබාදෙන ප්‍රධාන කාරකයකි. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 5කට වැඩි වූ කිසිම ප්‍රදේශයක් අරාබි අර්ධද්වීපයෙහි නොමැත. කළු මුහුදට සමීප ආසියාතික ප්‍රදේශයෙහි හා යේමන් ප්‍රදේශයෙහි ග්‍රීෂ්ම ඍතුවේ දී සංවහන වර්ෂා ලැබෙන කොටස්වල සා. වා. ව. අඟල් 20ක් පමණ වේ. ඇෆ්ඝනිස්ථානය හා අවට ප්‍රදේශයට කලාතුරකින් ඉන්දියන් අර්ධද්වීපය කෙරෙහි බලපවත්වන මෝසම් සුළංවලින් මඳ වැසි ලැබේ. මෙහි ඉතා උස් සානුවල ශීත ඍතුව ඉතා ශීතලය. ජනවාරියෙහි දී කාබුල්හි සාමාන්‍ය මාසික උෂ්ණත්වය පැ. 31° කි. ටෙහෙරාන්හි පැ. 31° කි. මධ්‍යධරණී මුහුදෙහි බලපෑම ලබන්නා වූ බේරුට්හි ජනවාරි මාසයේ සා. උෂ්ණත්වය පැ. 50° ක් වන අතර අරාබි අර්ධද්වීපයෙහි දකුණු කෙළවර පිහිටි ඒඩන්හි සා. උෂ්ණත්වය පැ. 73°කි. මෙම ප්‍රදේශයෙහි ග්‍රීෂ්ම ඍතුවේ දී සාමාන්‍ය දෛනික උෂ්ණත්වය පැ. 100° පමණ වේ. තවද ඉරානය, ඉරාකය ආදි දේශයන්හි ඉතා සැඬ දූලි කුණාටු ද ඇති වේ. ශීත සමශීතෝෂ්ණ කලාපයෙහි නැගෙනහිර ආසියාතික ප්‍රදේශ වන උතුරු චීනය හා මැංචූරියාව ද ඍතු අනුව ඇතිවන සාගරික හා මහාද්වීපික සුළංවල බලපෑම ලබන හෙයින් මෙහි සුළං රටාව ද මෝසම් සුළං කලාපයේ සුළං රටාවට සමානය. එහෙයින් මෙහි ද සාගරික සුළං බලපවත්වන ග්‍රීෂ්ම ඍතුව වර්ෂා කාලයයි. මෙම කලාපයෙහි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 20 ට වැඩි නොවේ. වෙරළාසන්න පෙදෙස් අභ්‍යන්තර පෙදෙස්වලට වඩා වර්ෂණය ලබයි. මෙහි ශීත ඍතුවේ උෂ්ණත්වය හිමාංකය ඉක්මවන අවස්ථා දුලබ නොවේ. එහෙත් ග්‍රීෂ්ම ඍතුවේ සාමාන්‍ය උෂ්ණත්වයට පැ. 73° ක් පමණ වේ.
ශීත සමශීතෝෂ්ණ කලාපීය මධ්‍ය ආසියාතික ප්‍රදේශයක් වශයෙන් ගිණිය හැකි සයිබීරියානු තැන්නෙහි මධ්‍ය ප්‍රදේශය ශීත මහාද්වීපික දේශගුණ ලක්ෂණ දක්වන කලාපයකි. සාගරික බලපෑම නොලැබෙන තරම් දුරින් සානු කඳු ආදියෙන් මැදි වී දේශාභ්යන්තරයෙහි පිහිටි මෙම ප්‍රදේශයෙහි ග්‍රීෂ්ම ඍතුවේ සාමාන්‍ය උෂ්ණත්වය පැ. 60 °ක් පමණ වේ. මෙහි සාමාන්‍ය වාර්ෂික වර්ෂණය අඟල් 10 ක් පමණ වේ. වායුව සාමාන්‍යයෙන් නිසල වුවද කලාතුරකින් කුණාටු සහිතව හටගන්නා වූ අවපාත නිසා කැළඹීම් සහිත කාලගුණයක් ද ඇති වේ. ආක්ටික් වෘත්තයට උතුරින් පිහිටි සයිබිරියානු යාකුට්ස්කි ආදි ප්‍රදේශයෝ ශීතසමශීතෝෂ්ණ කලාපීය මහාද්වීපික දේශගුණය සහිත ප්‍රදේශයන්ටත් වඩා දරුණු ශීතලට භාජන වන ප්‍රදේශයෝය. මෙහි ශීත ඍතුව ඉතා දිගය. නියම ග්‍රීෂ්ම ඍතුව අවුරුද්දේ මාස තුනකට පමණ සීමා වූවකි. ග්‍රීෂ්ම ඍතුවේ සාමාන්‍ය උෂ්ණත්වය පැ. 50° ක් පමණ වන නමුත් පැ. 80° පමණ දෛනික උෂ්ණත්වයක් වාර්තා වී ඇත. සූර්ය රශ්මිය ලැබෙන කොටස්වල මතුපිට හිම දිය වී ගියත් බොහෝ විට යටි පස ආශ්රිත ජලය සදාකල්හි ම මිදී පවතී. වර්කොයැන්ස්ක්හි සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්ව අන්තරය පැ. 117° ක් පමණ වේ.
බටහිර සයිබීරියානු තැන්න ශීත සමශීතෝෂ්ණ කලාපයෙහි පිහිටිය ද එහි දේශගුණය මධ්‍යම සයිබීරියානු තැන්නෙහි දේශගුණය තරම් මහාද්වීපික ලක්ෂණ නොදක්වයි. මෙහි වසන්ත හා ග්‍රීෂ්ම ඍතු වර්ෂාපතනය අධික කාලයයි. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 10 - 20 පමණ වේ.
ස්වාභාවික වෘක්ෂලතා
වර්ෂණය , උෂ්ණත්වය හා පස ස්වාභාවික වෘක්ෂලතා කෙරෙහි බලපවත්වන ප්‍රධාන සාධකයෝය. යම් ප්‍රදේශයක භූගෝලීය පිහිටීම අනුව මෙන්ම භුවිෂමතාව අනුවද මෙම සාධක බලපවත්වන අන්දමට අනුකූලව එහි ස්වාභාවික වෘක්ෂලතාදිය වැඩේ. මේ අනුව බලන කල ලෝකයේ පවත්නා සෑම ස්වාභාවික වෘක්ෂලතා ප්‍රහේදයක් ම පාහේ ආසියා මහාද්වීපයෙහි ඇතැයි නිගමනය කළ හැකිය .
ආසියාවේ මලයානු අර්ධද්වීපය හා ජාවා, සුමාත්‍රා, පිලිපයින් දූපත් යන ප්‍රදේශයන්හි අවුරුද්ද මුළුල්ලේ ම තද වර්ෂාපතනයක් ලැබෙන අතරම අධික උෂ්ණත්වයක් ද පවත්නා හෙයින් ස්වාභාවික වෘක්ෂලතාදිය වශයෙන් ඝන සමක වනාන්තර ඇති වේ. තාල වර්ගයේ ශාක වේවැල්, ඝර්ම කලාපීය උඩවැඩියා හා රනිල ( ලෙගුමිනෝසේ ),එරඞු (එවුපෝබියාසේ),රතඹලා (රූබීයාසේ ),නුග (මොරාසේ), හොර (ඩිප්ටෙරොකාපාසේ),අනෝනා (අනෝනාසේ ) ,බාඳුරා (නෙපෙන්තාසේ )ආදි කුලවලට අයත් ශාක වර්ග මෙම වනාන්තරයන්හි බහුල ය. මෙම වනාන්තරයන්ට විශේෂ වූ මහා වෘක්ෂයන්හි දැව තදය ; එමෙන් ම බරය. වර්ෂාව අධික ප්‍රදේශවල මෙම වනාන්තරයන්හි වෘක්ෂලතාදිය වඩාත් ඝනව වැඩේ. සාමාන්‍යයෙන් ජාවා දූපතට නැගෙනහිරින් වූ ආසියාතික සමක ප්‍රදේශයන්හි ස්වාභාවික වෘක්ෂලතාදිය සමක කලාපයට ම විශේෂ වූ වනාන්තරයන්හි තරම් ඝනව නොවැඩේ. ආසියාතික මෝසම් කලාපයෙහි වර්ෂාධික කාලයක් හා වර්ෂාව අඩු කාලයක් පවත්නා හෙයින් වර්ෂාව අඩු කාලයේ දී ශාක වර්ධනය හීන වේ. ඉන්දියාව, බුරුමය හා ලංකාව ආදී සමක මෝසම් කලාපයෙහි වැවෙන වෘක්ෂලතාදිය මෝසම් වනාන්තර වශයෙන් හඳුන්වනු ලැබේ. මේවායේ අධඃශාක වර්ධනය සමක වනාන්තරයන්හි තරම් ඝන නැත; තේක්ක, සල් ආදි සමක පතනශීල ශාක බහුලය. භුමියෙහි උස වැඩි වන්නට වැඩි වන්නට උෂ්ණත්වය ද අඩු වන හෙයින් වර්ෂාධික ප්‍රදේශයන්හි වුව ද උස් බිම්වල සමශීතෝෂ්ණ කලාපීය වෘක්ෂලතාදිය දක්නට ලැබේ. ගංගා නදී මෝයෙහි ඝන කඩොල් වගුරු බිම් ද අවට ඇසෑම් කඳුවල හා නැගෙනහිර හිමාලය කඳුවල පහළ බෑවුම් වල මෝසම් වනාන්තර ද ඇතත් තුහින රේඛාව ඉක්මවා පිහිටි කඳු බෑවුම් වල පතනශීල හා කේතුධර ශාක ද රුක් ඉමෙන් ඉහළ තෘණ ද වැඩේ . සාමාන්‍යයෙන් අඩි 16,000 ඉක්ම වූ උස් කඳුවල එබඳු පෙදෙස්වලට විශේෂ වූ ඇල්පයින් වෘක්ෂලතාදිය දක්නට ඇත. නැගෙනහිර හිමාලය කඳු බෑවුම්වල ශාක ජීවිතය බටහිර හිමාලයෙහි ශාක ජීවිතයට වඩා විවිධය. බටහිර හිමාලයෙහි මධ්‍යධරණි දේශගුණ කලා පයන්හි බහුල සීඩර් වර්ගයේ ශාක ඇත. එහෙත් නැගෙනහිර හිමාලයෙහි දක්නට ලැබෙන ලාච් ගස එහි දුලබය. සමක වනාන්තර කලාපයෙහි මෙන් ම මෝසම් වනාන්තර කලාපයෙහි ද වර්ෂාව අඩු වන්නට අඩු වන්නට ශාක වර්ධනය බාල වන හෙයින් වියළි ඍතුව දීර්ඝ වූ ද සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 20 – 40 අතර වූ ද ප්‍රදේශයන්හි අතරින් පතර ඝර්ම කලාපීය පතනශීල ශාකයන්ගෙන් ද කටු පඳුරු වලින් ද යුත් ලඳු කැළෑ ඇත.
උෂ්ණ සමශීතෝෂ්ණ මෝසම් කලාපයෙහි හෙවත් දකුණු චීනය හා ජපානය ආදි පෙදෙස්වල ස්වාභාවික වෘක්ෂලතාදිය වශයෙන් ඇත්තේ කොළ ලොකු පතනශීල හා සදාහරිත ශාකයන්ගෙන් යුත් අර්ධ ඝර්ම කලාපීය වනාන්තරය. දකුණු චීනයේ හයිනාන් ප්‍රදේශයේ සිට වෙරළාශ්‍රිත විකියෑං දක්වාත් දකුණු ජපානයෙහි හා ෆෝමෝ සාහිත් මෙම වනාන්තර විහිදී ඇත. තෙයාසේ හා මේලියාසේ (ලුණුමිදෙල්ල) වැනි ඝර්ම කලාපීය ශාක කුලවලට අයත් ශාකද දකුණු චීනයෙහි ඇත. භූමිය උස් වන්නට උස්වන්නට කේතුධර ශාක විශේෂ වැඩි වේ. බටහිර හා වයඹදිග චීනයෙහි අභ්‍යන්තර සානුවලට සමීපව කේතුධර ශාක බහුලය. තෘණ කුලයට අයත් උණ මෝසම් කලාපයෙහි බෙහෙවින් වැවේ. මෙම කලාපයෙහි නියම ස්වාභාවික වෘක්ෂලතාදිය කපා දමා ඇති හෙයින් ඉතිරි වී ඇත්තේ ස්වල්ප වශයෙනි. ආසියාවෙහි ශීත සමශීතෝෂ්ණ කලාප ප්‍රදේශයන්හි හෙවත් ඊසාන දිග ආසියාවෙහි බොහෝ පෙදෙස්වල පතනශීල ශාක වැවෙන අතර ඉහළ අක්ෂාංශ ආශ්රිත ප්‍රදේශයන්හි හා උස් බිම්වල කේතුධර වනාන්තර ඇත. වර්ෂාව හිඟ අර්ධ කාන්තාරීය මධ්‍යම මොංගෝලියාව වැනි පෙදෙස්වල මල් බහුල කුඩා පඳුරු වලින් යුත් තණබිමී තිබේ.
උතුරු ආසියාවෙහි යාකුව්ස්ක් ප්‍රදේශය ඇතුළත් තුන්ද්‍රා ප්‍රදේශයෙහි ග්‍රීෂ්ම ඍතුවේ දී මල් හටගන්නා මිටි පඳුරු හැරුණ විට සාමාන්‍යයෙන් වැඩෙනුයේ පාසි හා ලයිකන් වර්ග පමණි.
තුන්ද්‍රා ප්‍රදේශයට දකුණින් සයිබීරියානු වේගා හෙවත් වගුරු බිම් ආශ්රිත වනාන්තර ඇත්තේය. මීට දකුණින් බයිකල් විලට ආසන්න ප්‍රදේශයෙහි හා බටහිර සයිබීරියානු උස් බිම් ආශ්‍රිතව කේතුධර වනාන්තර පටියක් විහිදී ඇත්තේය. ලාච් හා ප්රූස් ආදිය මෙහි බහුලව දක්නා ශාක විශේෂයි. මෘදු දැව ලබා ගත හැකි බැවින් මෙම වනාන්තර වැදගත් වේ.
කේතුධර වනාන්තර පටියට දකුණින් වූ වයඹ දිග ආසියාතික ප්‍රදේශය ස්ටෙප් නම් වූ සම- ශීතෝෂ්ණ කලාපීය තණ බිම් වලින් වැසී ඇත්තේය. මොංගෝලියානු කාන්තාර අද්දර ද මීට සමාන වූ කුඩා තණබිම් ඇත. මෙම ප්‍රදේශයන්හි දේශගුණය තෘණ වර්ධනයට හිතකර හෙයින් බොහෝ කාලයක් මුළුල්ලෙහි තිරිඟු වැනි ධාන්‍ය වැවීම සඳහා ඒවා යොදා ඇත්තේය.
වයඹදිග ආසියාවෙහි වර්ෂණය අඩු වීමත් තාපය හා වාෂ්පීභවනය අධික වීමත් ශාක වර්ධනයට අහිතකර හෙයින් මෙම ප්‍රදේශය බොහෝ සෙයින් කාන්තාර වලින් හා අර්ධ කාන්තාර වලින් යුත් වේ. මධ්‍ය ආසියාතික ගෝබී කාන්තාර ප්‍රදේශය ද වයඹදිග ආසියාතික රුසියන් තුර්කි ස්ථාන ප්‍රදේශයට සමාන වූ ශීත කාන්තාරයකි.කෙනොපොඩියා සේ කුලයට අයත් මිටි පඳුරු මෙහි බහුලය. ඉරේනියානු කාන්තාර ප්‍රදේශයෙහි ප්‍රධාන කොට ම කටු සහිත පතොක් වර්ගයේ ශාක ඇත. මහා අරාබි කාන්තාරය වැනි වැලි වැටි හා ලවණ පථ සහිත කාන්තාර ප්‍රදේශයන්හි තෘණ වුව ද දුලබය. භූමියෙහි ජලය ඇති ස්ථානයන්හි හෙවත් ක්ෂේමභූමිවල ප්‍රධාන ශාකය වනුයේ රටඉඳිය . කෘත්‍රිම ජල සම්පාදනය කෙරෙන ස්ථානයන්හි හා මෙසෙපොටේමියාව ආදි ගංගාධාරයන්හි වගාවන් දෙස බලන කල මෙම කලාපයෙහි ස්වාභාවික ශාක වර්ධනට ප්‍රධාන බාධකය වී ඇත්තේ ජල හිඟය බව මනාව පෙනේ .
නිරිතදිග ආසියාතික කාන්තාර ප්‍රදේශයන්ට බටහිරින් මධ්‍යධරණි මුහුද , කැස්පියන් මුහුද හා කළු මුහුද අසබඩ පිහිටි සුළු ආසියාව , වයඔ දිග ඉරාකය හා ජෝර්ජියාව ආදි තෙත් වායුගුණය ඇති පෙදෙස්වල මධ්‍යධරණි දේශගුණය සහිත ප්‍රදේශයන්ට විශේෂ වු ලෝරල් , කෝක් ඕක්, බ්රූම් , ඔලිව් ආදි ග්‍රිෂ්ම සෘතුවේ නියඟයට ඔරොත්තු දිය හැකි කොළ හා සුඹුළු ආදියෙන් යුත් ශාක වර්ග ස්වභාවයෙන් ම වැඩේ .
සත්ව සංහතිය
සත්ව විද්‍යානුකූලව ආසියා මහාද්වීපයෙහි හිමාලය කඳු වැටියට දකුණින් වු කොටස පෙරදිග ප්‍රදේශය (oriental region ) වශයෙන් ද ඊට උතුරින් වු කොටස පේලියාක්ටික් ප්‍රදේශය (palaearetic region ) වශයෙන් ද සාමාන්‍ය පෙදෙස් දෙකකට බෙදනු ලැබේ . කිසියම් ප්‍රදේශයක දේශගුණයට හා ස්වාභාවික වෘක්ෂලතාදියට අනුකූලව ඊට විශේෂ වු සත්ව සංහතියක් ඇතිවිම ස්වාභාවික නියමයයි .
පේලියාක්ටික් ප්‍රදේශය
මෙම ප්‍රදේශයෙහි වුව ද දේශගුණය අනුව එක් එක් වර්ගයෙහි සත්ව ව්‍යාප්තිය ඇති වන හෙයින් අතුරු කොටස් කීපයක් වෙන්කර ගත හැකි වේ. ආසියා මහාද්වීපයෙහි ඉතා උතුරෙහි වූ තුන්ද්‍රා ප්‍රදේශයෙහි කෙටි ග්‍රීෂ්ම ඍතුව එහි සතුන් බහුල කාලයයි. එම ඍතුවේ දී පිණිමුවන්, ආක්ටික් හාවුන් , ආක්ටික් සිවලුන් හා ආක්ටික් වෘකයන් එහි ගැවසෙන නමුත් සරත් ඍතුව ළංවත්ම ඔව්හු ශීත අඩු දකුණු පෙදෙස් කරා යති. හිමට වැසී යන පාසි ආදිය හාරා ගැනීමෙහි දස්කම් දක්වන ලෙමිං ශීත ඍතුවේදී වුව ද තුන්ද්‍රා ප්‍රදේශය හැර නොයයි. පක්ෂීන් අතුරෙන් ටාර්මිගන් හා විලෝග්රව්ස් (willow grouse) ශීත ඍතුවේ දීත් මෙහි වෙසෙති. ග්‍රීෂ්ම ඍතුවේ දී පමණක් මෙම ප්‍රදේශයට පැමිණෙන පක්ෂීහු ද වෙත්. තුන්ද්‍රා ප්‍රදේශයට දකුණින් වූ වේගාහි දුඹුරු වලසුන්, වෘකයන්, දියබල්ලන් හා හාවුන් වැනි සත්තු ද කළු කොට්ටෝරුවන්, කළු ග්රව්ස් වැනි පක්ෂීහු ද බහුල වෙත්. තුන්ද්රාහි වගුරු බිම්වල මෙන් මෙහි ජලාශ්‍රිත ස්ථානයන්හි පාත්තයින් හා තාරාවෝ දක්නට ලැබෙත්. මෙම ප්‍රදේශයෙහි ගංගාවන්හි ස්ට’ජන් හා ස්ට’ ලට් ආදි මිරිදිය මස්හු ද වෙත්.
වේගා ප්‍රදේශයට දකුණින් වූ ස්ටෙප් නම් තණබිම් ප්‍රධාන වශයෙන් ඇන්ටිලෝප් මුවන්ගේ වාස භූමියයි. විශේෂයෙන් ම ගංගා ආශ්රිත පන් ගාල් දිය කුකුළන්ගෙන් හා පළඟැටියන්ගෙන් ගහනය. වශයෙන් මෙම ඇතැම් අවස්ථාවන්හි දී ඉතා විශාල සමූහ වශයෙන් අන් ස්ථානයන් කරා පියාඹා යන මෙම පළඟැටියෝ ගොවිතැන්වලට මහත් අලාභ හානි කරති.
චීනය හා මැන්චූරියානු ප්‍රදේශයන්ට විශේෂ වූ සත්වයන් අතුරෙහි නොයෙක් වර්ගවල මුවෝ දක්නට ලැබෙත්. යැක් ගවයා ටිබැට් සානුවට විශේෂ වූ සත්වයෙකි.
පෙරදිග ප්‍රදේශය
මෙම ඝර්ම කලාපීය ප්‍රදේශයෙහි වානර ගෝත්‍රික සතුන් බහුල වුව ද ගිබන්නු ඇසෑමයට හා බුරුමයට ද ඔරංඋටං සුමාත්රාවට හා බෝර්නියෝවට ද ප්‍රධාන වශයෙන් සීමා වෙති. මාංස භක්ෂක සතුන් අතුරෙහි ඉන්දියාවේ බොහෝ පෙදෙස්වල හා ඉන්දුචීනයේ බහුල කොටි ද ඉන්දියානු කතියවාර් අර්ධද්වීපයට පමණක් සීමා වී ඇති සිංහයා ද ප්‍රධාන වෙත්.
උරුළෑවුන්, සිවලුන් හා මුගටි ද කුර සහිත සතුන් අතුරෙන් ගෝනුන්, මුවන් හා වල්ඌරෝ ද මෙම ප්‍රදේශයේ වනාන්තරයන්හි බහුලය. කස්තුරි මුවා කාශ්මීර, නේපාල හා සිකිම් ප්‍රදේශයන්ට පමණක් සීමා වූවෙකි. තනි අඟක් සහිත ඉන්දියානු රයිනෝසිරස් දැනට නේපාලයේ හා ඇසෑමයෙහි ද ජාවා රයිනෝසිරස් මලයාවේ ද පමණක් දක්නට ලැබේ.
ඉන්දියානු අලියා ද පෙරදිග ප්‍රදේශයට ම විශේෂ වූ තවත් සත්වයෙකි. ලේනුන්, මියන් ආදි මී වර්ගයේ සත්තු ද සිවල්ලු ද මෙම ප්‍රදේශයෙහි බහුලය.
පෙරදිග ප්‍රදේශයෙහි වනාන්තර නොයෙකුත් පක්ෂීන්ගෙන් ද ගහනය. මොනරුන් හා වලිකුකුළෝ විශේෂයෙන් ම ඉන්දියාව, ලංකාව, බුරුමය, තායිලන්තය, ඉන්දුචීනය, මලයා, ජාවා, සුමාත්‍රා හා බෝර්නියෝ යන පෙදෙස්වල බහුලය. සෙසු ඝර්මකලාපීය ප්‍රදේශයන්හි තරම් ගිරවු බහුල නොවුව ද කීප වර්ගයක ම ගිරවු මෙම ප්‍රදේශයෙහි දක්නට ලැබෙති. උකුස්සන්, රාජාලියන්, කුරුළුගොයින්, ගිජුලිහිණියන් වැනි පක්ෂීහු ද මෙම ප්‍රදේශයෙහි සිටිති. ඉන්දියන් අර්ධද්වීපයේ බටහිර ප්‍රදේශයන්හි වනගතව පමණක් නොව නගරවල ද ගිජුලිහිණියෝ දක්නට ලැබෙත්. කොණ්ඩ කුරුල්ලන්, කවුඩන්, කහ කුරුල්ලන් වැනි පෙරදිග ප්‍රදේශයට විශේෂ වූ පක්ෂීහු රාශියකි. දේශීය පක්ෂීන් මෙන් ම සංචාරක ලිහිණි වර්ග ද මෙම ප්‍රදේශයෙහි දක්නට ලැබෙති.
හූනන්, කටුස්සන්, හිකනලුන් වැනි සත්තු ද මෙහි බොහෝ වෙත්. සර්පයන් බහුල මෙහි නයි, පොළො, මාපිල් ආදි විසකුරු සර්ප වර්ග කීපයක්ම වෙති. මිරිදිය ජීවීන් අතුරෙහි අංකුටයෝ (carp), ප’ච් (perch), ගුරාමි හා ආඳුන් ආදි මත්ස්‍යයෝ ද කිඹුලන් හා ඉබ්බා ද ප්‍රධාන වෙති.
පෙරදිග ප්‍රදේශයෙහි දක්නට ලැබෙන ඉතා අලංකාර සමනළයන් ඇතුළු කෘමි වර්ග ඉතා අධික හෙයින් උන් නම් කිරීම පවා උගහටය.
(කාර්යාලය)
ඉතිහාසය
මෙම මහාද්වීපය හා යුරෝපය වෙන් කරන යූරල් කඳුවැටිය, යූරල් ගඟ, කොකේසස් කන්ද හා කැස්පියන් මුහුද මහාද්වීප දෙකක් වෙන් කිරීමට තරම් ප්‍රමාණවත් වෙතැයි කිව නොහේ.භූගෝලික වශයෙන් හෝ ජාතික, සංස්කෘතික හෝ දේශපාලන වශයෙන් හෝ මෙම සීමාව ප්‍රමාණවත් සේ ගිණිය නොහැක. අනික් අතට යුරෝපයත් ආසියාවත් එක ම යුරේසියා මහාද්වීපයක් වශයෙන් සැලකීම ද යුක්තියුක්ත නොවන්නේ නොවේ. යම් යම් ඓතිහාසික කරුණු නිසා දැනට පවත්නා අයුරින් යුරෝපය ආසියාවෙන් වෙන් කොට දැක්වීමට සිදුවුණු බව සිතාගත හැකිය.
යථෝක්ත භූමිස්කන්ධයෙන් විශාල කොටසක් ආසියාව වශයෙනුත් ඉන්දියාව හෝ චීනය තරම් වූ කොටසක් යුරෝපය යනුවෙනුත් හැඳින්වීම කවදා කෙසේ සිදුවී දැයි සොයා බැලීම උචිතය.“ ආසියා ”යන වචනය හිටයිට්වරුන් විසින් ඇනටෝලියාවේ හෙවත් සුළුආසියාවේ වයඹ දිග පෙදෙස හැඳින්වීමට යෙදූ “ඇස්සියුර ” යන හිටයිට් වචනයෙන් බිඳී ආවකැයි ඇතැම් අය විශ්වාස කරති. එය සුළුආසියාව හැඳින්වීම සඳහා ඇසිරියන් හෝ හේබ්‍රෙව් වචනයකින් බිඳ ගත් වචනයක් ලෙස අනුමාන කිරීමට හැකි බවද තවත් මතයකි. කෙසේ හෝ මෙම වචනයේ ප්රභවය ගැන ස්ථිර නිගමනයකට බැසීම අසීරුය. පළමුවරට ග්‍රීක භූමිශාස්ත්රඥයන් සහ දේශගවේෂකයන් විසින් එදා ඔවුන් දැන සිටි ලෝකය යුරෝපය සහ ආසියාව යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වනු ලැබිණ. මෙම ලෝකයේ කේන්ද්‍රස්ථානය හැටියට සැලකුණේ ග්‍රීසියයි. මධ්‍යධරණී මුහුද ද එයට ම සම්බන්ධකොට සලකනු ලැබිණ. ඊට උතුරින් පිහිටි ප්‍රදේශය යුරෝපය ලෙසත් දකුණින් සහ නැගෙනහිරින් පිහිටි භූමි ප්‍රදේශ පොදුවේ ආසියාව ලෙසත් හඳුන්වන ලදි. අප්‍රිකාව නොහොත් ලිබියාව ද ආසියාවේ ම කොටසක් වශයෙන් මුල දී සැලකිණ.
“ආසියා ” යන නම පළමුවරට සුළුආසියාව සහ ඒ අවට ප්‍රදේශයට යෙදුණු බව පොතපතින් හෙළිවන්නේ ක්‍රිස්තු පූර්ව 9 වන ශත වර්ෂය පමණේ සිටය. ග්‍රීක මහාකවි හෝමර්ගේ “ ඉලියඩ් ” වීරකාව්යයෙහි ආසියාව හඳුන්වා ඇත්තේ “ අයෝනියා ” නම් ගංගාවේ මුවදොර ලෙසය. ඒ කෙසේ වෙතත් ග්‍රීක රාජ්‍යයන් සහ අධිරාජ්‍යයන් ව්‍යාප්ත වුණු කාලවල දී මෙම ව්‍යවහාරය සුළුආසියාවට සහ ඒ අවට ප්‍රදේශවලට පමණක් සීමා විය. ක්‍රි. පූ. 500 දී පමණ අප්‍රිකාව (ලිබියාව) සහ ආසියාව එකිනෙකට වෙනස් වූ ප්‍රධාන භූමි කොටස් දෙකක් හැටියට පිළිගන්නා ලදි. දෙරට වෙන්කරන සීමාව ලෙස දැන් සූවස් නමින් හැඳින්වෙන ජලමාර්ගය තෝරාගනු ලැබිණ. යුරෝපය සහ ආසියාව අතර දේශසීමාව වශයෙන් යුරෝපයේ ඩොන් ගඟ පිළිගැනිණ. මේ පිළිවෙළට වයඹ දෙසින් සහ නිරිත දෙසින් ආසියාවේ දේශසීමා ප්‍රාරම්භ වශයෙන් සලකුණු විය. ඉක්බිති, නැගෙනහිරින් සහ දකුණින් ක්‍රමයෙන් පුළුල් වෙමින් ගොස් ශාන්තිකර සාගරය සහ ඉන්දියන් සාගරය දක්වා විහිද ගිය මුළු මහත් ප්‍රදේශය ම ආසියා මහාද්වීපය නමින් හැඳින්වෙන්නට විය.
ග්‍රීක අධිරාජ්‍ය යුගයේ දී , විශේෂයෙන් ම මහා ඇලෙක්සැන්ඩර්ගේ රාජ්‍ය සමයේ දී (ක්‍රි. පූ. 356–323) , ග්‍රීක බලය ආසියාවේ විශාල ප්‍රදේශයක විහිදී පැවැත්තේය. මෙම බලය ඉන්දියාවේ වයඹ දිග දේශසීමාව තෙක් ම පැතිරී තිබිණ. ග්‍රීක ආක්‍රමණයන් සහ ඒ සමඟ ඇතිවුණු දේශගවේෂණ හේතුවෙන් ආසියාව පිළිබඳ ග්‍රීකයන්ගේ දැනීම පුළුල් විය. ඒ අතර “ ආසියා ” යනුවෙන් ඔවුන් හැඳින්වූ ප්‍රදේශය ද තව තවත් විශාල විය. ග්‍රීකයන් ඉන්දියාව, පර්සියාව ආදි ප්‍රදේශ වෙන් වෙන්ව දැක්වූ නමුත් ඒ හැම එකක් ම විශාල භූමි කොටසක් වූ ආසියාවේ නොයෙක් කොටස් හැටියට සැලකීම නිසා “ ආසියා ” යන නම මෙම මහාද්වීපයට ස්ථිරව ම යෙදිණ.
මෙසේ ක්‍රි. පු. 5 වන 4 වන ශතවර්ෂවල දී ආසියාව යන නාමය දැන් අප දන්නා මහාද්වීපයේ විශාල කොටසක් සඳහා ව්‍යවහාර කළ නමුදු එම නමින් සුළුආසියාව හැඳින්වීම ද සම්පූර්ණයෙන් අභාවයට නොගොස් තිබිණ. මේ බව රෝම අධිරාජ්‍යයේ ඉතිහාසයෙන් හෙළි වෙයි. මේ හේතුවෙන් ඇතිවිය හැකි ව්‍යාකුලභාවය මඟ හැරවීම සඳහා ඇනටෝලියා ප්‍රදේශය වරක් “ ආසියානා ” යනුවෙනුත් පසුව සුළුආසියාව වශයෙනුත් හැඳින්වීම ආරම්භ විය.
මෙසේ ආසියාව යනුවෙන් ප්‍රථමයෙන් සුළු ප්රදේශයකුත් පසුව මුළු මහාද්වීපයමත් හැඳින්වීම බටහිර වාසීන් අතින් සිදුවූවකි. ඒ විනා පැරණි කාලයේ දී මුළු මහත් ආසියාව ම ඒකකයක් වශයෙන් නොහොත් එකම මහාද්වීපයක් ලෙස ආසියානු ජාතීන් විසින් ම සලකනු ලැබූ බවක් හෝ ඒ සඳහා විශේෂ පොදු නමක් භාවිත කළ බවක් හෝ හෙළි නොවෙයි. පැරණි භාරතීය ග්රන්ථයන්හි සහ ජනප්‍රවාදවල සතර මහාද්වීපයන් ගැන සඳහන් වෙතත් ඒකකයක් ලෙස මුළු ආසියාව ම හැඳින්වුණු බවක් නොපෙනේ.
මානව ඉතිහාසය
ලෝක ඉතිහාසය සහ මානව ඉතිහාසය අතින් ආසියාව අද්විතීය ස්ථානයක් උසුලයි. මෙතෙක් ලෝකයේ හමු වී ඇති ආදිම මිනිසුන්ගේ ඇටකටු ලැබී ඇත්තේ ආසියානු රටවල් වන ජාවාරටින් සහ චීනයෙනි. මෙම ඇටකටු මනුෂ්‍යයන් සහ “ ඒජ් ” වානරයන් අතර අන්තර් අවධියක් දක්වයි. එහෙත් ඒවා වඩා කිට්ටු වන්නේ මනුෂ්‍ය ගණයටය. කාල වශයෙන් මෙම ඇටකටු අවුරුදු 5,00,000 සිට 10,00,000 දක්වා පැරණි කාලයකට අයත් වෙයි. මනුෂ්‍ය වර්ගයාගේ පරිණාමය ඉතා හෙමින් කාලාන්තරයක් ඇතුළත සිදුවූවකි. මෙසේ මිනිසාට අනුරූප වූ සතුන් පහළ වී බොහෝ කාලයකට පසුව —- නැතහොත් මීට අවුරුදු 75,000කට පමණ ඉහත දී - මිනිසුන් බිහි වී, ආසියාවේ නොයෙක් තැන ව්‍යාප්ත වුණු බව ලැබී ඇති මානව ශේෂයන්ගෙන් හෙළි වෙයි. එසේම ආදි මිනිසුන්, ඕස්ට්‍රොලොයිඩ් , මොංගොලොයිඩ් , කොකේසියන් , නෙග්රිටෝ ආදි වශයෙන් ප්‍රධාන මූලික වර්ගවලට බෙදී යෑම ද ආසියාවේ දී ම සිදු වූ බවට සාධක ඇත.
මානව ඉතිහාසයේ පූර්ව කාලය යුග වශයෙන් බෙදා බලන කල මුලින්ම හමු වනුයේ පුරාණ පාෂාණ යුගයයි. මේ ආදිම යුගයට අයත් මිනිසා අමු මස්, මාළු සහ පලවැල කා ජීවත් විය. දෙවනුව හමුවනුයේ නව පාෂාණ යුගයයි. මේ යුගයේ දී ජීවනෝපාය අතින් පෙරට වඩා වෙනස් වැදගත් දෙයක් සිදු වී ඇත. එනම් ගොවිතැන් කිරීමට සහ සතුන් ඇති කිරීමට මිනිසා පුරුදු වී සිටීමයි. මෙම කටයුතු නිසා ස්ථිර වාසස්ථාන ඇතිවීම ද සිදු විය. බටහිර ආසියාවේ දී හෝ ඒ අවට ප්‍රදේශයක මෙම පරිවර්තනය සිදුවන්නට ඇතැයි අනුමාන කරනු ලැබේ. මෙම යුග දෙකට ම අයිති යයි කිවහැකි බෙහෙවින් සමාන වූ ගල් ආයුධ , කටුකැබලිති සහ මැටි බඳුන්වල නෂ්ටාවශේෂ ආසියාවේ නොයෙක් තැනින් ලැබී ඇත. සමහර තැනෙකින් පැරණි පාෂාණ යුගයේ සිට ඓතිහාසික යුගය දක්වා වූ සෑම යුගයකට ම අයත් කටුකැබලිති හමුවෙයි. පැරණි පාෂාණ යුගයට සහ මධ්‍ය පාෂාණ යුගයට අයත් නටබුන් චීනයෙන් ලැබී ඇත. මධ්‍ය පාෂාණ යුගයට අයත් නටබුන් සයිබීරියාව , මොංගෝලියාව සහ තුර්කි ස්ථානය යන රටවලින් සොයාගෙන ඇත. මෙයින් හෙළි වන්නේ සත්ව සන්තතියේ සහ මානව සන්තතියේ විකාසනයට යෝග්‍ය වූ දේශගුණයක් සහ භූගෝලීය පරිසරයක් මුලින්ම ඇති වූයේ ආසියාවේ බවයි. එසේ ම ආදි මිනිසුන් ආසියාවේ දීම නොයෙක් වර්ගවලට බෙදී සිටීමෙන් හා එක් එක් වර්ගයට අයිති ආවේණික ලක්ෂණ පිළිබිඹු කිරීමෙන් හැඟවෙන්නේ ඔවුන් ආසියාව තුළ ම වුව ද එක ම තැනක , එක ම පරිසරයක , හැදුණු වැඩුණු අය නොවන බවයි.
ප්රාග් ඓතිහාසික යුගය ගෙවී ඓතිහාසික යුගයට අවතීර්ණ වීම සිදුවන්නේ ගංගා නිම්න පදනම් කොට බිහිවුණු ශිෂ්ටාචාරයන් සමඟය. මෙම පරිවර්තනය ද පළමුවෙන්ම සිදු වූයේ ආසියාවේ දී සහ ඊට ඉතා ම ආසන්න අප්‍රිකාවේ නයිල් ගඟ බඩයි. මුල්ම ගංගා නිම්න ශිෂ්ටාචාර ඇති වූයේ ඉරාකයේ (මෙසොපොටේමියාවේ) යුෆ්රටීස්-ටයිග්‍රීස් ගංගා අසබඩය. මීට ඉතා ආසන්න කාලයට අයත් තවත් පැරණි ශිෂ්ටාචාර දෙකක් චීනයේ හ්වාංහෝ ගඟ (කහ ගංගාව) අසබඩ සහ පකිස්ථානයේ ඉන්දු ගංගා නිම්නයේ බිහි වී තිබිණ. කාලය අතින් පමණක් නොව , වෙනත් අයුරින් ද මේ ආදි මනුෂ්‍ය සභ්‍යත්වයන් අතර සමානකම් හා සම්බන්ධකම් තිබුණු බවට තුඩු දෙන සාක්ෂි ලැබී ඇත. මෙම සභ්‍යත්වයන් ව්‍යාප්ත වූයේ ක්‍රි.පූ. 5000 පමණ සිට ක්‍රි. පූ. 2500 පමණ දක්වා වූ දීර්ඝ කාලපරිච්ඡේදය ඇතුළතය. මෙකී සහ්යත්වයන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානයන්ට අමතර වශයෙන් තවත් ඒ අවට ප්‍රදේශවලට ද ඒවායේ බලපෑම පැතිරී තිබිණ. උදාහරණයක් වශයෙන් මෙසොපොටේමියාවට සහ ඉන්දු නිම්නයට අමතර වශයෙන් ඒ ප්‍රදේශවලින් ඈත පිහිටි බලුකිස්ථානයේ සහ සෙයිස්ථානයේ නටබුන් ලැබී ඇති තැන් දැක්විය හැකිය. එසේ ම චීනයේ හ්වාංහෝ ගංගාව අසබඩ හෝනාන්හි පැවැති ශිෂ්ටාචාරය බටහිර චීනයේ වෙනත් ප්‍රදේශ කෙරෙහි ද බලපා ඇති බව සමාන නටබුන් වලින් හෙළි වී ඇත. මේ අන්දමින් ක්‍රි.පූ. 5000 පමණේ සිට ලෝකයේ නොයෙක් තැන් කරා ලෝහ භාවිතය, අක්ෂර ක්‍රම, ධාන්‍ය වර්ග සහ ඒවායේ වගාව ආදිය ක්‍රමයෙන් පැතිරිණ. මෙම පැරණි ශිෂ්ටාචාරවල භාවිත කළ මැටි බඳුන් , ඒවායේ හැඩහුරුකම් , කැටයම් සහ චිත්‍ර අතින් නූතන යුගයට පවා නෑකම් දක්වයි.
ගංගා පදනම් කර ඇතිවුණු ශිෂ්ටාචාර කීප පළක බිහි වූ අතර , ඊට වෙනස් ස්වරූපයක් ගත් ශිෂ්ටාචාර ද ආසියාවේ වෙනත් තැන්වල ඇති වී තිබිණ. ගංගා අසබඩ ඇති වූ ශිෂ්ටාචාර මූලික වශයෙන් නගර ආශ්රිත ඒවා විය. ඇතැම් විටෙක එකිනෙකට බොහෝ දුරින් පිහිටි නගර කීපයක් ආශ්‍රිතව ද පැවතිණ. නගරයන්ට පිටින් පිහිටි ප්‍රදේශවල ද මේ ශිෂ්ටාචාරයේ බලපෑම පැවතිණ. මේ අන්දමින් ස්ථිර ලෙස පිහිටි ශිෂ්ටාචාරයෝ සමාජ ජීවිතය , කලාශිල්ප, ගොවිතැන ආදිය අතින් දියුණු වී තිබුණහ. ගංගා නිම්නයන්ගෙන් තොර මධ්‍ය ආසියාවේ තැනිතලා තණබිම්වල මීට වඩා වෙනස් තත්වයක් පැවතිණ. ඒවායේ ප්‍රධාන ජීවනෝපාය වූයේ ගවයන් සහ අශ්වයන් ඇති කිරීමය. තණබිම් වාසීන්ට ස්ථිර පදිංචියක් නොවීය.
ගංගා පදනම් කරගෙන ඇතිවුණු ආදී ශිෂ්ටාචාර පිළිබඳ තොරතුරු ඒවායේ නටබුන් මඟින් අපට ලැබෙතත් ලියකියවිලි මගින් වැඩි තොරතුරක් නොලැබෙයි. ලැබී ඇති ලියකියවිලි පවා හරියාකාර කියවා තේරුම් ගැනීම දුෂ්කර වී ඇත. මෙවැනි දුෂ්කරතාවන් නිසා මේ ශිෂ්ටාචාර වල දේශපාලන ඉතිහාසය , ආර්ථික පදනම ආදිය කෙබඳු වී දැයි දැක්වීම පහසු නොවේ. මෙය මෙසොපොටේමියානු හෝ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය සම්බන්ධයෙන් වඩාත් සැබැවි.
ඓතිහාසික යුගයේ නියම ආරම්භය ලෙස සැලකෙන්නේ ලිවීම දියුණු වී , ඒ මගින් වාර්තා තැබීම පටන් ගැනුණු වකවානුවයි. එසේ නැත්නම් එවැනි වාර්තා ලැබෙන්නට පටන් ගත් කාලයයි. ආසියාතික ශිෂ්ටාචාර අතින් බලන කල මෙම යුගය ආරම්භ වන්නේ ක්‍රි. පූ. 2000 – 1500 පමණේ සිටය. මේ අවධියේ සිට මෑත කාලය තෙක් ආසියාවේ දේශපාලන , සමාජ සහ සංස්කෘතික ඉතිහාසය යටත්පිරිසෙයින් සැකෙවින් මුත් ගොඩනැඟීම දුෂ්කර කාර්යයක් නොවේ. එසේ කිරීමේ දී කාර්යය පහසුව සඳහාත් පොදු ලක්ෂණ අනුවත් එම ඉතිහාසය ප්‍රධාන කොටස් කිහිපයකට බෙදා විමසා බැලිය හැක.
ඉන්දියා අර්ධද්වීපය
ඉන්දියා අර්ධද්වීපය ලෙස සලකනු ලබන්නේ ඉන්දියාව සහ පකිස්ථානයයි. මෙයට ලංකාව ද සම්බන්ධ කර සැලකීමේ වරදක් නැත. භූගෝලීය වශයෙන් ද මෙම රටවල් තුන එකක් සේ සැලකිය හැකිය. එසේම සංස්කෘතිය අතින් ද මහත් සමානකමක් දක්නට ලැබේ. මානව ඉතිහාසයේ මුල් අවධි පිළිබිඹු කරන නටබුන් මෙම පෙදෙසෙහි නොයෙක් තැන හමු වී ඇත. ආදිම නෙග්රිටෝ සහඕස්ට්රොලොයිඩ් වර්ගයාගේ ආරම්භය ඉන්දියාවේ දී සිදුවන්නට ඇතැයි යනු සමහර ශාස්ත්‍රඥයන්ගේ පිළිගැනීමයි. මෙහි පැවති මානව සභ්‍යත්වයන් අතුරෙන් පළමුවැන්න ඉන්දුනිම්න ශිෂ්ටාචාරයයි. මෙම ශිෂ්ටාචාරය සින්ධු ගඟ ඔස්සේත්, නැගෙනහිරින් ගංගානදිය දෙසටත්, බටහිරින් බලුකිස්ථානයටත් විහිදී පැවතිණ. ගෘහ නිර්මාණ ශිල්පය, සෞඛ්‍ය කටයුතු සහ නගර සැලැස්ම අතින් මෙම ශිෂ්ටාචාරය සෙසු සමකාලීන ශිෂ්ටාචාර අභිභවා සිටි බව පෙනේ. ආගමික විශ්වාස අතින් එය තත්කාලීන සභ්‍යත්වයන්ට කිට්ටු සම්බන්ධයක් දක්වයි. එසේ ම පසුව ඇති වුණු ආගම්වලට ද නෑකම් කියයි. එහි විවිධ මානව වංශ විසූ බව ඇටකටු වලින් හෙළි වෙයි.මෙම සභ්‍යත්වයේ අවසානය කවරදා කුමන හේතූන් නිසා සිදුවී දැයි එකහෙළා නිගමනය කිරීමට නොහැකිය. හදිසි ජලගැල්මක් නිසා හෝ සතුරු ආක්‍රමණ නිසා හෝ එහි අභාවය සිදුවන්නට ඇතැයි අනුමාන කරනු ලැබේ. මෙම ශිෂ්ටාචාරයට අයත් වැදගත් නටබුන් බහුල වශයෙන් හමුවී ඇත්තේ පකිස්ථානයේය.
ක්‍රි. පූ. 2500 පමණේ සිට උතුරු ඉන්දියාව වයඹ දෙසින් පැමිණි ආර්‍ය්‍ය ජනයාගේ වාසභූමිය බවට පත්විය. කාලයාගේ ඇවෑමෙන් තව තවත් ආර්යයන් ඉන්දියාවට සංක්‍රමණය වීම නිසා මේ ප්‍රදේශයේ විසු ආදිම ජනකාය කඳුකර සහ කැළෑ ප්‍රදේශයන් වෙතත් දකුණු දෙසටත් තල්ලු වී ගියහ. මුල්ම ඉන්දු - ආර්යයෝ ඍවෛදික ආර්යයන් ලෙස හැඳින් වෙත්. ඔවුන් පිළිබඳ තොරතුරු වේද සාහිත්‍යයෙන් ලැබේ. චතුර්වේදයෙන් එකක් වන අථර්ව වේදයෙන් ආර්ය ජනයා ඒමට පෙර විසූ ඉන්දීය ජනයා ගැන ද සෑහෙන පමණ තොරතුරු හෙළි වෙයි. දකුණු ඉන්දියාවේ බහුල වශයෙන් වෙසෙන ද්‍රවිඩ වර්ගයා කවර දා ඉන්දියාවට පැමිණියේ දැයි අවිනිශ්චිතය. ජන කොට්ඨාසයක් වශයෙන් ඔවුන් ආර්ය වර්ගයාට වඩා පැරණියහයි ද එසේම ඔවුන් ඉන්දියාවේ ආදි ම වාසීන් වූහයි ද ඔප්පු කිරීමට සමහර ඉතිහාසඥයන් වෙහෙස දරා ඇත.
මුල් කාලයේදී ගෝත්‍ර වශයෙන් සංවිධානය වී සිටි ආර්ය ජනයා කල් යෑමේ දී විශාල ජන කොට්ඨාස බවට පෙරළී විශාල ජනපද පිහිටුවා ගත්හ. ජනපද පදනම් කරගෙන රාජ්‍ය සහ අධිරාජ්‍ය පවා ඇතිවිය.මෙය සිදු වූයේ ආර්ය ජනයා ඉන්දියාවට සංක්‍රමණය වී බොහෝ කාලයක් ගතවූවායින් පසුවය. මෙම පරිවර්තනයේ උච්චතම අවස්ථාව පැමිණියේ නන්දමෞර්යය අධිරාජ්‍යයන්ගේ බිහිවීමත් සමඟය. ඒ කාලයේ දී මුළු ඉන්දියාව එක් කොට සැදුණු අධි රාජ්‍යයක් පැවතියේය. මුළු අර්ධද්වීපය ම වාගේ එකම පාලනයක් යටතේ පැවතිණ. එවැනි තත්වයක් නැවත උදා වූයේ මෞර්යය අධිරාජ්‍යයේ පිරිහීමෙන් අවුරුදු 1500ක් පමණ ගිය තැනය. මෙසේ දෙවෙනි වරට ඉන්දියාව පුරා විහිදී පැවති අධිරාජ්‍යයක් ගොඩ නැඟුණේ දිල්ලි මුස්ලිම් අධිරාජ්‍ය කාලයේදීය. (ක්‍රි.ව. 1300 – 1335) මෝගල් යුගයේ දී (1526–1806) ද ස්වල්ප කලක් මුළු ඉන්දියාව පුරා පැතුරුණු පරිපාලනමය සහ දේශපාලනමය එකමුතු භාවයක් පැවතිණ. මෝගල් අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසු අවසානවරට එවැනි තත්වයක් ඇතිවූයේ බ්‍රිතාන්‍යයන්ගේ පැමිණීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනයේ අවසානයත් සමගම 1947 දී පකිස්ථානය සහ ඉන්දියාව යනුවෙන් භාරතය නැවතත් බෙදී ගියේය. ඉහත සඳහන් කෙටි කාලපරිච්ඡේදය හැරුණු විට , ඉන්දියානු ඉතිහාසයේ දීර්ඝ කාලයක් ම , මුළු අර්ධද්වීපය පොදු දේශපාලන බලයකින් හා එකමුතුබවකින් තොරව පැවතිණ.
සංස්කෘතිය අතින් ඉන්දියානු ඉතිහාසය මීට වෙනස් ස්වරූපයක් ගනී. ආර්ය සභ්‍යත්වයේ විකාසනය හා ව්‍යාප්තිය නිසා මූලික වශයෙන් මුළු ඉන්දියාවට පොදු වූ සභ්‍යත්වයක් බිහි විය. එහි බලපෑම ඉන්දීය ප්‍රදේශ රාජ්‍යයන්ගේ සීමාවන් ඉක්මවා ඉන්දියාව පුරා සෑම තැනක ම පැතිරිණ. එපමණක් නොව ඉන්දියාවෙන් ඔබ්බෙහි ද විහිද ගියේය. ඉන්දියාවෙන් සෙසු ලෝකයට ලැබුණු සංස්කෘතික අනුග්‍රහය සුළුපටු නොවේ. ජගත් ආගම් ලෙස හැඳින්විය හැකි හින්දු හා බෞද්ධ ආගම්වල සියුම් බලපෑම් මුළු ආසියාවෙහි ම දැනිණ. මෙම ආගම් දෙක නිසා සෑම කලාවක් ම, ශිල්ප ශාස්ත්‍රයක් ම පෝෂණය විය. ඒ මගින් ඇති වූ කලාත්මක සහ ශාස්ත්‍රීය උද්දීප්තිය නිසා මුළු ආසියාව ම ඒකාලෝක විය. අඛණ්ඩව පැවති ඉන්දීය සභ්‍යත්වය දෙදරුම් කෑ ප්‍රධාන අවස්ථා දෙකක් ඉතිහාසයෙන් පෙනෙයි. එනම් මුස්ලිම්වරුන්ගේ පැමිණීම (ක්‍රි. ව. 715–1206) සහ යුරෝපීය ජාතීන්ගේ පැමිණීම (15 වන ශත වර්ෂය අවසානයේ දී) යි.
මැද පෙරදිග (නිරිත දිග ආසියාව)
මෙය මානව ඉතිහාසයේ මුල් ම ශිෂ්ටාචාරයන් බිහි වූ ප්‍රදේශය වශයෙන් පිළිගනු ලැබේ. ඉතිහාසය අතින් මෙම ප්‍රදේශය එදා මෙන් ම අදත් වැදගත් තැනක් ගනී. එසේ ම ශ්‍රේෂ්ඨ සංස්කෘතික දායාදයක් ලොවට දුන් එපෙදෙස සංකීර්ණ දේශපාලන ඉතිහාසයකින් යුක්තය. ප්‍රධාන ලෝක ආගම් දෙකක් වන ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ධර්මයන් බිහි වූයේ මෙහි දීය. මෙහි ගොඩනැඟුණු ඇකමේනියන් (පර්සියන්) අධිරාජ්‍යය ආසියානු ඉතිහාසයේ හමුවන මුල්ම අධිරාජ්‍යය ලෙස සැලකිය හැකිය.
මැද පෙරදිග බිහි වූ පළමුවන ශිෂ්ටාචාරය බැබිලෝනියානු ශිෂ්ටාචාරයයි. එයින් පසුව ඇසිරියානු ශිෂ්ටාචාරයත් ඊට අනතුරුව සුමේරියානු ශිෂ්ටාචාරයත් ඇතිවිය. සුමේරියානුන්ගේ පරිහානියෙන් පසුව සෙමිටික්වරු බලයට පැමිණියහ. මින් ටික කලකට පසුව කැසයිට්වරු ද හිටයිට් සහ මිතන්නිවරුද වරින් වර බලයට පත් වූහ. ක්‍රි.පූ. 6 ශත වර්ෂයේ දී පමණ ඇකිමේනියානු ජනයා සෙසු ජාතීන් අභිභවා නැඟී සිටියහ. ඇකිමේනියානු අධිරාජයන් වූ සයිරස් ( ක්‍රි. පු 520) , ඩේරියස් (ක්‍රි. පූ. 522 -486) ස’ක්සිස්, (ක්‍රි.පු485 – 465 ) ආදීන් යටතේ පර්සියාව එදා ශිෂ්ට ලෝකයේ පැවති විශාලතම අධිරාජ්‍යය බවට පත්විය. එහි උතුරු සීමාව යුරෝපයේ ග්‍රීසිය දක්වා විහිදිණ. ඇලෙක් සැන්ඩර් රජු (ක්‍රි. පූ. 356 – 323) යටතේ ග්‍රීක බලය නැඟී සිටීම නිසා ඇකිමේනියානු බලය සුනුවිසුනු විය. මැද පෙරදිග පැවති ප්‍රධාන ආගමික බල වේගයක් වූ ශරතුෂ්ට ධර්මයේ ආරම්භය ඇතිවූයේ ඇකිමේනියානු කාලයේ දීය. පර්සියානු කලාශිල්පයන්ගේ විකාසනය සහ ව්‍යාප්තිය සිදුවූයේ ද මේ වකවානුවේ දීය. ග්‍රීක බලයේ පිරිහීමත් සමඟ නැවත මැදපෙරදිග දේශපාලන වශයෙන් සංවිධානය වීම ඇරඹිණ. ඒ සඳහා පුරෝගාමීව කටයුතු කළේ මධ්‍ය ආසියානු ගෝත්‍රයක් වූ පාර්තියන්වරුන් සහ කලින් බලවත්ව සිටි පර්සියන්වරුන්ය. මොවුන් අතර පැවති අවි ගැටුම් නිසා කලක් යන තෙක් මැද පෙරදිග දේශපාලනය අතින් දුර්වලව පැවතිණ.
සංස්කෘතිය අතින් බලන කල මැද පෙරදිගින් සෙසු ලෝකයාට , විශේෂයෙන්ම බටහිර ජාතීන්ට, ලැබුණු දායාදය අතිවිශාලය. ක්‍රිස්තියානි ධර්මයේ ආරම්භය ඇති වූයේ මැද පෙරදිගය. එපමණක් නොව ක්‍රිස්තියානි කලා ශිල්පයන්ගේ විකාසනය සඳහාත් මෙම ප්‍රදේශයෙන් ලැබුණු ආභාසය සුළු පටු නොවේ. ක්‍රිස්තියානි ආගම පහළ වීමට පෙර සිට යුදෙව් ආගම මෙහි පැතිර පැවති ආගමක් විය. ක්‍රි. ව. 570 - 632 අතර කාලයේ දී මහම්මත්තුමා පහළවීමත් සමඟ නැවතත් මැදපෙරදිගට භාග්‍ය සම්පන්න කාලයක් උදාවිය. එතුමා දේශනා කළ ඉස්ලාම් ධර්මය ශීඝ්‍රයෙන් පැතිරීම නිසා ඒ ප්‍රදේශයේ එතෙක් නොතිබුණු අන්දමේ ජාතික , දේශපාලන සහ ආගමික හැඟීම් එම දේශවාසීන් කෙරෙහි බලපවත්වන්ට විය. මෙයින් උද්යෝගි මත් වුණු මැද පෙරදිග වාසීහු , විශේෂයෙන් අරාබි සහ තුර්කි ජාතීහු , ලොව දෙවනත් කරමින් ඉස්ලාම් ධර්මයත් මුස්ලිම් බලයත් ව්‍යාප්ත කිරීමට පටන් ගත්හ. එක් අවස්ථාවක දී ඔවුන්ගේ බලය යුරෝපය , ආසියාව සහ අප්‍රිකාව යන මහාද්වීප තුනෙහි ම විහිදී පැවතිණ. මැද පෙරදිග දේශපාලන ඉතිහාසයේ මීළඟ වැදගත් අවධිය පැමිණෙන්නේ තුර්කිවරුන් ඇති කළ ඔටෝමන් අධිරාජ්‍යයේ ආරම්භයත් (ක්‍රි.ව. 1453) සමඟය. ඉන් පෙර බැග්ඩෑඩ් නුවර ඉස්ලාම් ධර්මයේත් මුස්ලිම් බලයේත් කේන්ද්‍රස්ථානය වූ අතර එහි විසූ කාලිෆ්වරයා ඒවායේ නායකත්වය දැරීය. ඔටෝමන් බලයේ නැඟීමත් සමග මේ ප්‍රමුඛත්වය කොන්ස්තන්තිනෝපලයට සහ එහි විසූ ඔටෝමන් අධිරාජයාට ලැබිණ.
මධ්‍ය ආසියාව
දකුණින් චීනයට සහ හිමාලය කඳුවැටියටත්, බටහිරින් පර්සියාව, තුර්කිය සහ යුරෝපය යන රටවලටත්, උතුරින් ආක්ටික් සාගරයටත්, නැගෙනහිරින් ශාන්තිකර සාගරයටත් මැදි වූ විශාල භූමි ප්‍රදේශය මධ්‍ය ආසියාව ලෙස සාමාන්‍යයෙන් හැඳින්විය හැකිය. ප්‍රදේශයක් වශයෙන් හෝ දේශපාලන ඉතිහාසය අතින් හෝ මෙම ප්‍රදේශය වැඩි විශේෂතාවක් නොදක්වයි. මොංගෝලියාව ස්වාධීන රාජ්‍යයකි. ඉතිරි ප්‍රදේශයෙන් විශාල භූමිභාගයක් සෝවියට් සමූහාණ්ඩු රාජ්‍ය සංගමයේ ස්වාධීන සමූහාණ්ඩු රාජ්‍ය බවට පත් වී ඇත. සෙසු ප්‍රදේශය විනය , පර්සියාව සහ තුර්කිය අතර බෙදී ඇත. මානව ඉතිහාසය අතින් බලන කල ආදි ජනාවාස ඇති වූ ප්‍රදේශයක් හැටියට මධ්‍ය ආසියාවට විශේෂ තැනක් හිමිවේ. මෙහි සිටි ආදී ජනයා මෙම ප්‍රදේශය ඔවුන්ගේ නිත්‍ය භූමියක් කර ගැනීමට මැළිකමක් දැක්වූ බව පෙනේ. ඔවුන් සත්ව පාලනය ප්‍රධාන ජීවනෝපාය කරගත් නිසා ඔවුනට නිතර අලුත් තණබිම් සොයා යෑමට සිදුවිය. මේ හේතුවෙන් ඔව්හු අවට ප්‍රදේශ වලට අනුක්රමයෙන් සංක්‍රමණය වූහ. පසු කාලවල දී මධ්‍ය ආසියාවේ බිහිවුණු ගෝත්‍රිකයෝ ආක්‍රමණිකයන් වශයෙන් ලොව දෙවනත් කළහ.
මධ්‍ය ආසියාතික වැසියන් ඔවුන් කථාකරන භාෂා අනුව හූණ (හන්), මොංගොල් සහ තුර්කි යනුවෙන් හැඳින්වීමට පුළුවන. ලෝකයේ බොහෝ තැන ව්‍යාප්ත වි සිටින නොයෙක් වර්ගයේ ජනයන්ගේ ආදි මුතුන්මිත්තන් මධ්‍ය ආසියාවේ සිට එන්නට ඇතැයි අනුමාන කරනු ලැබේ. විශේෂයෙන් ම ආර්ය ජනයාගේ ප්රභවය මෙහි දී සිදුවන්නට ඇතැයි සිතීමට සාධක ඇත. මේ පිළිවෙළට ක්‍රි. පූ. 3000 පමණේ සිට මෑතක් වන තෙක් මෙහි සිටි පිරිස් තම ජන්මභූමි අතහැර සාරවත් භූමි සොයා සංක්‍රමණය වූහ. එසේ නැතහොත් ඒවා ආක්‍රමණය කළහ. ඔවුන්ගේ ආක්රමණකාරී සහ මංකොල්ලකාරී ක්‍රියා නිසා සමහර අවස්ථාවල දී ලෝකයේ දරුණු විලෝප ඇති විය. විශේෂයෙන් ක්‍රිස්තු 6 වන ශත වර්ෂයේ ඇති වූ හුණ ආක්‍රමණ සහ 13 වන 14 වන ශතවර්ෂවල ඇතිවුණු මොංගොල් ආක්‍රමණ සඳහන් කළ හැකිය. මෙම ආක්රමණයන්ගේ බලපෑම ආසියාවට පමණක් සීමා නොවීය ; යුරෝපය පවා ඉන් බියෙන් ඇළලී ගියේය. එහි විශාල කොටසක් ද වරක් හූණයන් අතට පත් විය.
ස්වායත්ත සංස්කෘතිය අතින් මධ්‍ය ආසියාවට විශේෂ තැනක් නොලැබෙයි. එම ප්‍රදේශය ඒ අවට පැවති ප්‍රධාන සංස්කෘතික බලවේගයන්ට අසු වීම නිසා එහි ඉන්දියානු , චීන , ග්‍රීක , රෝම , පර්සියානු , බෞද්ධ , ක්‍රිස්තියානි , මුස්ලිම් ආදි හැම සංස්කෘතියකත් ආගමකත් නොයෙක් අංශ සංකලනය වීමෙන් ඇතිවුණු සංස්කෘතියක් පැවැති බව එම ප්‍රදේශයේ තිබී සම්බ වී ඇති නටබුන් මහත් රාශියෙන් හෙළි වේ.
චීනය
චීනය ප්‍රමාණය අතින් මහාද්වීපයක් තරම් වෙයි. සංස්කෘතික සහ ජාතික වශයෙන් සලකන විට චීනය සමඟ කොරියාව සහ ජපානය ද එක්කොට සැලකිය හැකිය. ආසියාවේ හරිමැද පිහිටි තිබ්බතය ද චීනය හා කිට්ටු සම්බන්ධකම් ඇති රටකි. අඛණ්ඩ ඉතිහාසයක් මෙන් ම අති පෞරාණිකත්වයක් ද චීනය සතුය. චීන ජාතියේ මූලා රම්භය පැහැදිලිව දැක්විය නොහැක. ඔවුන් මධ්‍ය ආසියාවේ සිට චීනයට ඇතුළු වූහයි අනුමාන කරනු ලැබේ. මානව අතින් බලන කල චීනය ආදී මිනිසුන්ගේ වාසභූමියක්ව තුබූ බවට සාක්ෂි ඇත. ගංගා පදනම් කර ඇති වුණු ඉතිහාසය මුල් ශිෂ්ටාචාරයන්ගෙන් එකක් චීනයේ හ්වාංහෝ ගංගා නිම්නයේ තිබිණ. ඊට අනතුරුව ආ ඓතිහාසික යුගය දෙස බලන කල මුල දී චීනය එක ම රාජ්‍යයක් හැටියට සකස් වී තිබුණු බවක් නොපෙනෙයි. එහි එදා පැවතියේ රදල රාජ්‍ය සමූහයකි. ක්‍රි.පූ. 1500 දී පමණ පැවති ෂන් හෙවත් යිං රාජ්‍යයත් ඊට ශත වර්ෂ හතරකට පසුව ඇතිවුණු චෞ රාජ්‍යයත් මේවා අතර විශේෂ තැනක් ගනී. ක්‍රි. පූ. 220 දී පමණ මෙම සියලු රාජ්‍යයන් එක්කොට ත්සිංහෙවත් චින් නම් එකම මහා රාජ්‍යයක් ගොඩනඟන ලදි. “ චිනය ” යන නම ඇතිවූයේ මේ රාජ්‍යයේ නම ඇසුරෙනි. චීන් අධිරාජ්‍යය වැඩිකලක් නොපැවති නමුත් ඒ කෙටි කාලය තුළ දී පළමුවරට මුළු රටේම එකමුතු බවක් ඇති කරලීම අතින් එය වැදගත් වේ.
මෙම මුල් රාජ්‍යයේ අවනතියත් සමඟ නැවතත් රට කඩකඩ වී යෑමේ තර්ජනයට මුහුණ පා සිටි යේය. ඒ අතර තත්වය තවත් ව්‍යාකුල කරමින් මධ්‍ය ආසියානු ටාටර්වරු ආක්‍රමණ ඇති කළහ. නොසන්සුන් තත්වය විසිපස් වසක් පමණ පැවතිණ. පසුව ක්‍රි. පූ. 200 දී පමණ හාන් රාජ වංශය යටතේ නැවතත් රට එක්සත් කරගනු ලැබිණ. හාන් (ක්‍රි. පූ. 202 - ක්‍රි. ව. 220) සහ තාං (ක්‍රි.ව. 618–907) රාජ්‍ය කාලයන් චීන ඉතිහාසයේ ස්වර්ණමය අවධීන්සේ සැලකිය හැකිය. අධිරාජ්‍යයේ ව්‍යාප්තිය සහ රටේ සමෘද්ධිය අතින් මේ වකවානු පෙරටුව සිටී. කාර්යසිද්ධීන් අතින් තවත් වැදගත් කාලයකි සුං (960–1297) රාජ්‍ය කාලය. 13 වැනි ශත වර්ෂයේ දී චීනය මොංගොල්වරුන් අතට පත්විය. ඔවුන්ගේ නායකත්වය යටතේ නැවතත් චීනය බලවත් අධිරාජ්‍යයක් සේ නැඟී සිටියේය. චීන මොංගොල් අධිරාජයන් අතර කුබ්ලායි ඛාන් (1216 —1294) අද්විතීය ස්ථානයක් ගනී. මොංගොල් බලය ශතවර්ෂයක් පමණ කාලයක් පැවතියේය. ඊට පසු නැවතත් චීන ජාතික මිං රාජවංශය (1368—1644) අවුරුදු 300ක් පමණ පැවැත්තේය. ක්‍රි. ව. 1644 දී චීන රාජ්‍යය මංචු ගෝත්‍රිකයන් අතට පත්විය. මංචු රාජවංශය 1912 තෙක් නොකඩවා රජකම් කළේය. 1912 දී ඇති වූ කැරැල්ලකින් පසුව චීනය සමූහාණ්ඩුවක් බවට පත්විය.
සංස්කෘතික ඉතිහාසය අතින් චීනය ඉන්දියාවට සමාන සම්භාවනීය තැනක් උසුලයි. බුදුදහම බිහි වූ කාලයට ආසන්න කාලයක දී කොන්ෆියුසියස් (ක්‍රි. පූ. 551 - 479 පමණ) නම් චීන ආගම් කර්තෘවරයා විසින් ඔහුගේ නමින් හඳුන්වන ආගම දේශනා කරනු ලැබිණ. ඉන් ශතවර්ෂ කීපයක් ගිය තැන බුද්ධාගම ද ස්ථීර ලෙස චීනයේ පිහිටු වන ලදි. මෙයින් පෝෂණය වුණු චීන ජාතිකයෝ ඔවුන්ට ම ආවේණික වූ කලා ශිල්ප බිහි කිරීමට සහ ඒවා වැඩිදියුණු කිරීමට පටන් ගත්හ. ඉන්දීය කලාශිල්පයන්ගේ මෙන්ම චීන කලාශිල්පයන්ගේ ද බලපෑම චීනය අවට ප්‍රදේශයන්ට වැඩිකල් නොගොස් පැතිරිණ.
චීනයට ඉතාම ආසන්න ප්‍රදේශයක් වූ ජපන් රට සහ කොරියාව ද ජාතිය සහ සංස්කෘතිය අතින් චීනයට කිට්ටු සම්බන්ධත්වයක් දක්වයි. ජනාවාස ලෙස සලකන විට මේ දෙරට චීනය තරම් පැරණි යයි නොකිව හැකිය. මේ රටවල් පිළිබඳව විශ්වාසදායි ඓතිහාසික තොරතුරු ලැබෙන්නේ ක්‍රිස්තු 6 වන ශතවර්ෂය පමණේ සිටය. බුදුදහම චීනයේ ජනප්‍රිය වීම නිසා ඊට ආසන්නව පිහිටි ජපානය සහ කොරියාවත් එහි බලපෑමට ලක් විය. ප්‍රමාණයෙන් කුඩා වුවත් ජපානය අද ආසියාවේ ඇති ප්‍රධාන රටක් බවට පත් වී ඇත.
අග්නිදිග ආසියාව
බුරුමය , ලාඕස් , වියට්නාම් තායිලන්තය හෙවත් සියම්රට , ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාව යන රටවලින් මෙම ප්‍රදේශය සමන්විත වෙයි. මානව ඉතිහාසය අතින් මෙම ප්‍රදේශයට ද වැදගත් තැනක් හිමිවෙයි. ආදි ම මිනිසුන්ගේ ඇටකටු මේ ප්‍රදේශයට අයත් ජාවා රටේ (ඉන්දුනීසියාවේ) තිබී 1891 දී සොයා ගනු ලැබිණ. අග්නිදිග ආසියාවේ පිහිටීම නිසා මේ රටවල් නිතර චීන සහ ඉන්දීය බලපෑම්වලට ලක්විය. ජනගහනය ද සංකීර්ණ පිරිස් වලින් සෑදී ඇත. භාෂා වශයෙන් මෝන් - ක්මෙර් භාෂා කථා කරන අය ලෙස මොවුන් පොදුවේ හැදින්විය හැකිය. ක්‍රිස්තු 3 වන ශත වර්ෂය පමණේ සිට ක්‍රිස්තු 13 වන ශත වර්ෂය දක්වා මෙම ප්‍රදේශ හින්දු සහ බෞද්ධ රාජ්‍යයන් සේ සංවිධානය වී තිබිණ. මින් සමහරක් එදා ආසියාවේ තිබුණු ඉතාම බලවත් රාජ්‍ය බවට ද පත්විය. මුහුදු මගින් කෙරුණු වෙළඳාම පදනම් කොට ගෙන මෙම රාජ්‍ය බලවත්ව නැඟී සිටි යේය. 13 වන ශත වර්ෂයෙන් පසුව මෙහි මුස්ලිම් රාජ්‍ය කිහිපයක් ගොඩනැඟිණ. යුරෝපීය ජාතීන්ගේ පැමිණීමත් සමඟ කතෝලික ආගම ද මෙහි තදින් පැතිරිණ. 18 වන 19 වන ශත වර්ෂවල දී මෙහි විශාල කොටසක් යුරෝපීය ජාතීන්ගේ යටත් විජිත බවට පත් වූ අතර නිදහස් රාජ්‍යයක් ලෙස ඉතිරි වූයේ තායිලන්තය පමණි. සංස්කෘතික වශයෙන් බලන කල අග්නිදිග ආසියාව කෙරෙහි තදින් බලපෑවේ බෞද්ධ - හින්දු බලවේගයන්ය. මේ බව මෙහි නොයෙක් තැන බහුල වශයෙන් ඇති නටබුන් වලින් මොනවට හෙළිවෙයි.
මෑත භාගය
පසුගිය ශතවර්ෂ කීපය තුළ දී ආසියා මහාද්වීපය නොයෙක් දේශපාලන සහ සංස්කෘතික බලවේගයනට අසුවී ඇත. මෙම බලවේග අද දක්වා නොයෙක් තැන ක්‍රියාත්මක වෙමින් පවතී. ඒවා හේතු කොට ගෙන දේශපාලන වශයෙන් හා සංස්කෘතික වශයෙන් මහත් විපර්යාසයක් ආසියාවේ සිදු වී ඇත. දීර්ඝ කාලයක් යටත් විජිතයන්ව පැවති ආසියානු රටවල් තම නිදහස සඳහා ලෝකයේ බලවත් ජාතීන්ට විරුද්ධව හිස ඔසවා සිටීම ද එසේ කිරීමේ දී හැකි පමණ එකමුතුවත් එක් අරමුණකින් යුක්තවත් සිටීමට වෙහෙස දැරීම ද ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වෙයි. මුල දී දේශපාලන නිදහස සඳහා සටන් කළ ආසියානු ජාතීහු ඒ සමඟ ම ආර්ථික සහ සංස්කෘතික නිදහස සඳහා සටන් කිරීමට ද අමතක නොකළෝය. අද පවා මේ අරමුණු ආසියාවේ රැව්පිළිරැව් දෙන ප්‍රධාන බලවේග වෙයි. මධ්‍ය ආසියාවේ සහ උතුරු ආසියාවේ විශාල භූමි ප්‍රදේශයක් රුසියන්වරුන් අතට පත්වීම බොහෝ දුරට සිදු වුයේ 19 ශත වර්ෂයේ දීය. මුල දී ජනාවාසයන්ගෙන් තොර මුඩුබිම් සේ පැවති මෙම විශාල ප්‍රදේශය සෝවියට් රුසියාවේ කොටසක් වීම නිසා ශීඝ්‍රයෙන් දියුණු වීමටත් ජනාවාස වීමටත් පටන් ගෙන ඇත. ප්‍රමාණය අතින් බලන කල වර්තමාන ලෝකයේ ඇති බලවත්ම රාජ්‍යය සෝවියට් රුසියන් සමූහාණ්ඩු සංගමයයි. එයින් වැඩි කොටස ඇත්තේ ආසියා මහාද්වීපයේය. අද සෝවියට් ආධිපත්‍යය මධ්‍යම යුරෝපයේ සිට නැගෙනහිරින් ශාන්තිකර සාගරය දක්වා ආසියාව හරහා විහිදී පවතී. සෝවියට් රුසියාවට දකුණින් තවත් විශාල සමූහාණ්ඩුවක් ඇත. මෙය මහජන චීන සමූභාණ්ඩුවයි. කලක් චීනය බටහිර සහ නැගෙනහිර (ජපන්) අධිරාජ්‍යවාදීන්ගේ කෙළිබිමක් බවට පත්වී තිබීම නිසා ආර්ථික සහ දේශපාලන වශයෙන් මහත් පීඩනයට ලක්විණ. අතිපුරාණ ශ්‍රෙෂ්ඨ ජාතියක් වූ චීනයට මෙම තත්ත්වයෙන් මිදීම සඳහා අධිරාජ්‍යවාදීන් සමඟ නොයෙක් වර සටන් කිරීමට සිදු විය. අභ්‍යන්තර වශයෙන් නියම නායකත්වය නොලැබීම නිසා එය සාර්ථක ලෙස කිරීමට නොහැකි බව වටහා ගත් චීන ජනයා 1912 දී ජාතික විප්ලවයක් කරමින් රටේ දේශපාලන පදනම වෙනස් කළහ. එයින් ද තම අභිමතාර්ථය හරියාකාර ඉෂ්ටකර ගැනීමට නොහැකි වීම නිසාත් ජාතික ආරක්ෂාව සලසා ගැනීමට නොහැකිවීම නිසා නැවතත් 1945–1948අතරතුර මහා විප්ලවයක් කොට කොමියුනිස්ට්වාදී මහජන සමුහාණ්ඩුවක් චීනය පුරා පිහිටුවා ගත්හ. අද ආසියාවේ ඇති බලවත්ම රාජ්‍යය මෙම චීන සමූහාණ්ඩුවයි.
ජපන් රටේ මෑත ඉතිහාසය ද ඉතා සිත් ගන්නා සුලුය. එහි පෝෂණයට බොහෝ දුරට ඉවහල් වූයේ යුරෝපීය සහ ඇමෙරිකන් අධිරාජ්‍යවාදීන්ගේ ඇඟිලි ගැසීම්ය. බටහිර ජාතීන් සමඟ මුහුණට මුහුණ ලා සටන් කිරීමට තරම් බලවත් නොවූ ජපනුන්ට බටහිර ජාතීන්ගේ ඇඟිලි ගැසීම් සහ තර්ජන ඉවසා සිටීමට සිදු විය. 10 වන ශතවර්ෂයේ අවසාන කාලයේ සිට ජපානයේ නව ප්රබෝධයක් ඇතිවිය. යුරෝපීය ජාතීන් අනුගමනය කරමින් තම රටේ ආර්ථික සහ දේශපාලන පදනම වෙනස් කිරීමට ඔව්හු වෙහෙස ගත්හ. මේ ක්‍රමයෙන් රටේ මහත් පරිවර්තනයක් ඇති කිරීමට ඔව්හු සමත් වූහ. මෙම දියුණුව ලොවට කියාපාමින් 1905 දී ඔහු රුසියන් නාවික හමුදාව පරාජය කොට විශිෂ්ට ජයක් ලබා ගත්හ. ඊට අනතුරුව තම බලය චීනයට සහ කොරියාවට පැතිර වීමට තරම් ඔව්හු ප්‍රබල වූහ. ජපනුන් ද අධිරාජ්‍යවාදී බලයක් සෙසු අධිරාජ්‍යවාදී පිරිස් නොඉවසූහ. ඔවුන් අතර වාදභේද සහ සටන් ඇති වීමට පවා එය තුඩු දුන්නේය. 1939 ඇරඹුණු දෙවන ලෝක මහා යුද්ධයේ දී ජපන්නු ජර්මන් සහ ඉතාලි පක්ෂය ගනිමින් ඇමෙරිකානු බ්‍රිතාන්‍ය, රුසියානු සහ ප්රංස ජාතිකයන්ට විරුද්ධව සටන් ඇරඹූහ. මුල දී සාර්ථක ප්‍රතිඵල ලත් නමුත් කෙළවර දී ඔව්හු දරුණු පරාජයකට පත් වූහ. ඇමෙරිකන් අධිරාජ්‍යවාදීහු ඔවුන්ගේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීමේ පිටියක් බවට ජපන් රට (හිරෝෂීමාව) යොදා ගනිමින් එහි විශාල වූත් ඉතා ම දරුණු වූත් ඝාතනයක් ඇති කළහ. පරාජිත ජාතියක් වශයෙන් අවුරුදු කීපයක් ගත කිරීමෙන් පසුව මෙකල නැවතත් ජපානය නිදහස් , දියුණු ආසියාතික රටක් බවට පත්වී ඇත.
නිදහස් රාජ්‍යයක් සේ පැවති කොරියාව 20 වන ශත වර්ෂයේ ආරම්භයත් සමඟ ජපානයේ යටත් විජිතයක් බවට පත්විය. දෙවෙනි ලෝක මහා යුද්ධයෙන් පසුව කොරියාව ජපන් ග්රහණයෙන් මුදන ලදුව , රුසියානු සහ ඇමෙරිකානු පාලනය යටතට පත්විණ. මේ නිසා රට දෙකඩ වී මෙම මහා ජාතීන්ගේ කඳවුරු දෙක අතර බෙදුණු රාජ්‍ය දෙකක් එහි බිහි විය. 1950 දී මෙම රාජ්‍ය දෙක අතර යුද්ධයක් ඇතිවීම නිසා ලෝකය නැවතත් යුද බියෙන් ඇළලී ගියේය. ලෝක මහා යුද්ධයක පෙර නිමිති පහළ කරමින් නැවතත් ලෝකය බිහිසුණු ව්‍යසනයක අභිමුඛයට පැමිණ සිටියේය.භාග්‍යයකට මෙන් යුද්ධය කොරියාවට පමණක් සීමා වීම නිසා ලෝක යුද්ධය පිළිබඳ බිය මඟ හැරී ගියේය. මධ්‍යස්ථ ජාතීන්ගේ මැදහත්වීම නිසාත් ජය පරාජය තීරණාත්මක නොවූ නිසාත් යුද කටයුතු අත්හිටවනු ලැබීමෙන් පසුව 1952–53 දී පමණ නැවතත් එහි සාමය උදා විය.
අග්නිදිග ආසියාවේ ඉතිහාසය සම්බන්ධයෙන් ද දෙවන ලෝක මහායුද්ධය තීරණාත්මක අවස්ථාවක් විය. මෙහි රාජ්‍යයන් බොහොමයක් දීර්ඝ කාලයක් තිස්සේ යුරෝපීය ජාතීන්ගේ යටත් විජිත සේ පැවතිණ. දෙවෙනි ලෝක මහා යුද්ධයත් සමග යටත් විජිත වාදය තවත් ඉදිරියට ගෙන යෑම දුෂ්කර කාර්යයක් විය. එහෙයින් අකැමැත්තෙන් හෝ යටත් විජිත වාසීන්ට දේශපාලන නිදහස දීමට අධිරාජ්‍යවාදීන්ට සිදුවිය. පළමුවෙන් නිදහස කරා පා නැගුවේ බුරුම යයි (1948). 1949–50 දී පමණ ඉන්දුනීසියාව ඕලන්ද ආධිපත්‍යයෙන් මිදුණු අතර 1954 දී ඉන්දු චීනය බලවත් සටනකින් පසුව ප්රංස පාලනයෙන් මිදුණේය. 1957 දී නිදහස් රාජ්‍යයක් බවට පත් වූ මලයාව ඊට පස්වසකට පසුව (1963) යාබද සුළු රාජ්‍ය කිහිපයක් ද සහභාගී කරගනිමින් “මැලේසියාව” නම් සමුහාණ්ඩුවක් බවට පරිවර්තනය විය.
15 ශත වර්ෂයේ අවසාන කාලයේදී පෘතුගීසි ජාතික වස්කෝ ද ගාමා විසින් යුරෝපයේ සිට ඉන්දියාවට යාත්‍රා කළ හැකි මුහුදු මාර්ගය සොයා ගන්නා ලදි. එතැන් සිට කලින් නොපැවති තත්වයේ ඉතා කිට්ටු සම්බන්ධයක් යුරෝපය සහ ඉන්දියාව අතර ඇති විය. මේ නිසා ඇති වුණු ආසන්න සහ දීර්ඝ කාලීන ප්‍රතිඵල ඉතා වැදගත්ය. මුලදී යුරෝපීය ජාතිකයන්ගේ අවධානය යොමු වුයේ ආසියාව සමඟ පැවති වෙළඳාම කෙරෙහිය.ඒ අතර ක්‍රිස්තියානි ආගම පැතිර වීමට ද ඔව්හු මාන බැලූහ. වෙළඳාම සාර්ථකව ගෙනයෑමට සහ ක්‍රිස්තියානි ධර්මය පැතිරවීමට දේශපාලන ආරක්ෂාව සෙවීමට සිදුවීම නිසා ක්‍රමයෙන් පෘතුගීසීහු ඉන්දියාවේ සහ ලංකාවේ දේශපාලනයටද ඇඟිලි ගැසීමට මාන බැලූහ. මේ නිසා බටහිර ඉන්දියාවේ ගෝවා ප්‍රදේශය සහ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය පෘතුගීසීන් අතට පත්විය. පෘතුගීසීන් අනුගමනය කරමින් ඕලන්ද ජාතිකයෝ ද ඉංග්‍රීසි, ප්රංස සහ ඩේනිෂ් ජාතිකයෝ ද ආසියාව බලා ආහ. ඕලන්ද ජාතිකයන් පෘතුගීසින් පලවා හැර (1658) ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලා ගත් අතර ඉන්දියාවේ සාරවත් මුහුදුබඩ ප්‍රදේශ කිහිපයක් ඉංග්‍රීසීන් අතට පත්විය. පසුව (1796 - 1815) ලංකාව මුළුමනින් ම ඉංග්‍රීසීන් විසින් අත්පත් කර ගන්නා ලදි. ඉන්දියාවේ මෝගල් අධිරාජ්‍යයේ පරිහානිය නිසා එහි එතෙක් පැවති දේශපාලන සංවිධානය පදනම් රහිත විය. මේ තත්වයෙන් ප්‍රයෝජන ගත් ඉංග්‍රීසීහු ඉන්දියාවේ තම බලය තව තවත් තහවුරු කර ගත්හ. එසේ කිරීමේ දී ප්රංස ජාතීන්ගේ සහ ඉන්දීය රාජ්‍යයන්ගේ බලවත් විරෝධයට මුහුණ දීමට සිදු වූ නමුත් ඉංග්‍රීසීන්ට ඔවුන්ගේ උපාය කෞශල්‍යයත් යුද්ධ ශක්තියත් දැඩි උත්සාහය සහ කූට උපක්‍රමත් නිසා විරුද්ධවාදී පිරිස් පරදවා ජයගැනීමට පුළුවන් විය. අවසානයේ දී ඉන්දියාව මුළුමනින් ම ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් විය.
ඉන්දියාවේ ඉංග්‍රීසි බලය පිහිටුවීම සඳහා මෙන් ම එය ආරක්ෂා කරගැනීම සඳහා ඔවුන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය. ආභ්‍යන්තරික වශයෙන් ඉන්දීය ජාතීන්ගේ විරුද්ධතාව නිරන්තරයෙන් ම මහත් තර්ජනයක් විය. ඒ නිසා පාලනය සංවිධානය කිරීමේ දී එය සම්පූර්ණයෙන් ම සිවිල් පාලනයක් සේ පවත්වා ගෙන යෑම අන්තරායකර විය. සිවිල් පාලනයේ ශක්තියට සහ ආරක්ෂාවට හේතු වූයේ ඉංග්‍රීසීන්ගේ හමුදා ශක්තියයි. එහි ශක්තිය යහ කාර්යයක්ෂමභාවය 1857 – 8 දී ඇති වූ හමුදා කැරැල්ල මැඩ පැවැත්වූ අන්දමින් හොඳාකාර හෙළිවිය. ඊට පසු එය උරගා බැලීමට ඉන්දියානු ජනයා මැළි වූහ. 1957–8 දී ඇති වූ ඝට්ටනය පසුව පැන නැඟුණු ජාතික නිදහස් සටනේ පෙර නිමිත්තක් සේ සැලකිය හැකිය. 1858 පරාජයෙන් පසුව ඉන්දීය නිදහස් සටන අවිගැටුම්වලට වැඩියෙන් දේශපාලන ස්වරූපයක් ගත්තේය. එහි පෙරමුණ ගත්තේ ඉන්දියානු ජාතික සංගමයයි. මුල දී මෙම සංගමයේ ප්‍රතිපත්තිය වූයේ ජාතික සටන සාමකාමීව ගෙනයෑමය. එය වහා ඵලදායී නොවන බව දුටු තරුණ ප්‍රගතිශීල පිරිස් වෙනත් මාර්ගයන් අනුගමනය කරමින් එය සටන්කාමී අරගළයක් බවට පත් කළහ. ඉන්දියාවේ නිදහස් සටන කෙරෙහි මුළු ලෝකයේම අවධානය යොමු විය. විශේෂයෙන් ම එය සෙසු යටත් විජිතවාසීන් අවදි කළ කාහල නාදයක් බඳු විය. 1915 පමණේ සිට ඉන්දියාවේ නිදහස් සටනේ නායකයා වුයේ මහත්මා ගාන්ධිය. ඔහුගේ මැදහත්වීම නිසා ඉන්දියාවට නිදහස ලැබීම කොතරම් දුරට ඉක්මන් වූයේ දැයි මතභේද පවතී. ඒ කෙසේ වෙතත් ඔහුගෙන් ඒ සඳහා සිදුවුණු සේවය අතිවිශාලය. විශේෂයෙන්ම එම අරගලයේ දී මුළු ඉන්දීය ජනකාය එයට සහභාගිකර ගැනීම ඔහුගෙන් සිදුවුණු විශිෂ්ට තම කාර්යය සේ සැලකිය හැකිය. 1939 දී ආරම්භවුණු ලෝක මහා යුද්ධය නිසා නිදහස් සටනේ ජයග්‍රාහී අවසානය තව තවත් ළං විය. ඉක්බිති 1947 දී ඉන්දියාව ඉංග්‍රීසි පාලනයෙන් මිදුණේය.ඉන්දියානු නිදහස් සටනේ අන්තිම කාලය මුස්ලිම් හින්දු ජාතිභේද වියවුල් වලින් අඳුරුව තිබිණ. නිදහස පමා කිරීමට එය ආයුධයක් කරගැනීමටත්, ජාතිභේදය තව තවත් පැතිරවීමටත් ඉංග්රීසිහු ද පසුබට නොවූහ. මෙහි ප්‍රතිඵලය වූයේ අවසානයේ දී ඉන්දියාව දෙකඩ වීමය, නැතහොත් ඉන්දියාව සහ පකිස්ථානය යනුවෙන් නිදහස් රාජ්‍ය දෙකක් බිහිවීමය. 1815 සිට බ්‍රිතාන්‍ය ජාතිකයන් යටතට පත්ව තිබුණු ලංකාව 1948 දී ලේ වැගිරීම් විරහිතව ස්වාධීනතාව දිනාගත්තේය.
ක්‍රි.ව. 1453 සිට දහනව වන ශතවර්ෂයේ මැද භාගය දක්වා වූ දීර්ඝ කාලය තුළ මැද පෙරදිග පැවති ප්‍රධාන දේශපාලන සංවිධානය ඔටෝමන් අධිරාජ්‍යයයි. සමහර අවස්ථාවලදී ඔටෝමන් බලය අප්‍රිකාවේ සහ යුරෝපයේ ද විහිදී පැවතිණ. 19 වන ශත වර්ෂයේ දී මෙම අධිරාජ්‍යය අභාවය කරා ගිය අතර එයින් ප්‍රයෝජන ගත් යුරෝපීය අධිරාජ්‍යවාදී පිරිස් ඔවුන්ගේ බලය මැද පෙරදිග පිහිටුවීමට පටන් ගත්හ. මේ නිසා එතැන් සිට මෑතක් වන තෙක්ම මෙම ප්‍රදේශයේ ඉතිහාසය යුරෝපීය බලවතුන්ගේ ඉතිහාසය සමඟ කිට්ටුවෙන් වෙළී පැවතිණ. දකුණු ආසියාවට සහ ඕස්ට්‍රේලියාවට යා හැකි කිට්ටු මුහුදු මාර්ගය වැටී ඇත්තේ මැද පෙරදිග හරහා වූ සූවස් ඇළ ඔස්සේය. සූවස් ඇළ කැණීම සහ එහි පාලනය මුල දී ප්‍රංශ ජාතිකයන් හා මිසර පාලකයන් විසින් කරන ලද නමුත් පසුව එහි අයිතියෙන් වැඩි කොටසක් බ්‍රිතාන්‍යයන් අතට පත් විය. ප්‍රදේශයේ බහුල වශයෙන් ඇති ඛනිජ (තෙල්) සම්පත් නිසා ආර්ථික වශයෙන් ද ලෝකයේ ඉතාම වටිනා ප්‍රදේශයක් බවට මැද පෙරදිග පත්වී ඇත. ලෝකයේ නොයෙක් රටවල විසිරී සිටි යුදෙව් ජනයා මැද පෙරදිග ප්‍රදේශයක් වූ ඊශ්රායෙලයට (පලස්තීනයට) හිමිකම් කියා එහි රජයක් පිහිටුවා ගැනීම නිසා දේශපාලන වශයෙන් ද මෙහි උණුසුම් තත්වයක් සහ තරමක ව්‍යාකූලභාවයක් දැනට උද්ගත වී ඇත.
20 වන ශත වර්ෂයේ මුල් කාලයේ දී මැද පෙරදිග වාසීන් යුරෝපීය පාලනයෙන් මිදීමට ගත් සෑම උත්සාහයක් ම ව්‍යර්ථ විය. එහෙත් ලෝක මහා යුද්ධ නිසා අධිරාජ්‍යවාදී පාලනයේ දැඩි ස්වභාවය ක්‍රමයෙන් ලිහිල් වීම නොවැළැක්විය හැකි විය. මේ නිසා දෙවන ලෝක සංග්‍රාමය අවසාන වනවිට මෙම ප්‍රදේශයෙන් වැඩි කොටසට දේශපාලන වශයෙන් නිදහස ලැබී තිබිණි. එහෙත් ආර්ථික වශයෙන් මෙහි පෙර සේ ම යුරෝපීය හා ඇමෙරිකන් ධනේශ්වරවාදය නොවෙනස්ව ම පවතී. මැද පෙරදිග ආර්ථික සහ දේශපාලන නිදහස් සටනේ උච්චතම අවස්ථාවක් හැටියට 1956 දී මැද පෙරදිග ඇති වූ සිද්ධීන් සඳහන් කළ හැකිය. මෙම සිද්ධීන්ට මඟ පැදුණේ මිසරය හරහා වැටී ඇති සූවස් ඇළේ අයිතිය මුල් කරගෙනය. එහි දී ලෝකයේ මධ්‍යස්ථ ජාතීන්ගේ මැදහත් වීම නිසා අධිරාජ්‍යවාදීන්ට පසුබැසීමට සිදු විය. අද මැද පෙරදිග ප්‍රදේශයේ නිදහස් රාජ්‍ය රාශියක් ඇත. ඒවා අතර ප්‍රධාන රාජ්‍ය හැටියට තුර්කිය, පර්සියාව (ඉරානය),ඉරාකය, සිරියාව,ඊශ්‍රායෙලය, ජෝර්දානය සහ සවුදි අරාබිය සඳහන් කළ හැකිය.
(කර්තෘ: කරුණාරත්න විජේතුංග)
පොත්පත්
East, — The Changing Map of Asia K. M.-Asia and Western Dominance Hall, C. F.D.— History of South East Asia Gowon, H. — Asia; A Short History
ආසියාතික ජනයා
ආසියාව මුල් ම මිනිසුන්ගේ වාසභූමිය වී යයි සමහරු අදහස් කරත්. හෝමෝපිතෙකැන්ත්රොපුස් ඉරෙක්ටුස් , හෝමෝ පිතෙකැන්ත්‍රොපුස් රොබස්ටුස් හා හෝමෝ මිගැන්ත්රොපුස් පැලියොජාවානිකුස් යනුවෙන් නම් කොට ඇති මිනිසුන්ගේ පාෂාණිභූත ඇටකටු කැබලි ආසියා මහාද්වීපයේ විවිධ ප්‍රදේශවල තිබී සොයාගන්නා ලදි. මේ හැර දකුණු චීනයේ ගයිගැන්ටැන්ත්රොපුස් නමැති මිනිසා විසූ බවට ද පාෂාණීභූත ඇටසැකිලි සාක්ෂි දරයි. වර්තමාන මිනිසාට පෙර විසූ තවත් මිනිසකු වන හෝමෝ සිනැන්ත්රොපුස් පෙකිනෙන්ස් මිනිසාගේ ඇටසැකිලි ද පීකිං නුවර අසල චූකු-ටියෙන් ගුහාවේ තිබී සාරාගෙන ඇත. පසුකාලයේ දී අයිරේනියන් සානුවේ සිට ලෝකයේ බොහෝ ප්‍රදේශ කරා මිනිසුන්ගේ සංක්‍රමණ සිදුවී යයි සිතිය හැකිය. මෙසේ සංක්‍රමණය වූවන්ගෙන් සමහරෙක් බීරිං සමුද්‍රසන්ධිය පසුකොට ඇමෙරිකාවේ පවා පදිංචි වන්ට ඇතැයි සිතත්. මැඩගැස්කරයේ ජනයා අතුරින් බොහෝ දෙනා ඇතැම් ආසියාතිකයන් කෙරෙහි දක්නට ලැබෙන ලක්ෂණ ඇත්තෝය.
ආසියා මහාද්වීපයේ ප්‍රධාන වශයෙන් මනුෂ්‍ය වර්ග තුනක් දක්නා ලැබේ. කෝකසොයිඩ් , මොංගොලොයිඩ්, නෙග්රොයිඩ් යනුවෙනි. බටහිර ආසියාවේ හා උතුරු ඉන්දියාවේ වසන නෝර්ඩික් වර්ගයේ ජනයා ද මධ්‍ය ආසියාවේ හා මධ්‍ය ඉන්දියාවේ වසන මධ්‍යධරණී හා ඇල්පයින් වර්ග ද ආමිනොයිඩ් හා ඩිනාරික් වර්ග ද ඇතැම් විට ඇල්පයින් වර්ගයා හා නෑකම් කිව හැකි ජපානයේ අයිනුවරු ද කෝකසොයිඩ් වර්ගයට අයිතිය. මොංගොලොයිඩ් ජනයා දක්නා ලැබෙන්නේ සාමාන්‍යයෙන් උතුරු හා නැගෙනහිර ආසියාවේය. අන්දමන් දූපත්වලද ඉන්දුනීසියාවේ ද නෙග්රොයිඩ් ලක්ෂණයන්ගෙන් හෙබි ජනයා වසත් . මධ්‍ය හා දකුණු ඉන්දියාවේ මෙන්ම ඇසෑමයේ ද ගෝත්‍රීය ජනයා මෙම ලක්ෂණ දරන්නෝය. මෙම ප්‍රධාන වර්ග තුන හැරුණු විට ඕස්ට්රලොයිඩ් ලෙස හැඳින්විය හැකි ජනයා ද ආසියාවේ වෙසෙත්. ඉන්දියාවේ ඇතැම් ප්රාකෘතික ගෝත්‍ර ද ලංකාවේ වැද්දෝ ද නිදසුන්ය. මැලිනීසියාවේ නෙග්රොයිඩ් ජනයා ඕස්ට්රලොයිඩයන් හා මිශ්‍ර වූවෝය යනු ඇතැමුන්ගේ පිළිගැනීමයි.
අග්නිදිග ආසියාව
ඒ ඒ දේශ අනුව ආසියානු ජනයා පරීක්ෂා කොට බැලීමේ දී ජාතීන් පිළිබද රටාව ඉතාමත් සංකීර්ණ වූවක් බව පෙනේ. අග්නිදිග ආසියාවේ බහුල වශයෙන් දක්නා ලැබෙන්නේ ඉන්දුනීසියන්, මොංගොලොයිඩ් යනුවෙන් දැක්විය හැකි දෙකොට්ඨාසයට අයත් ජනයාය. මේ දෙකොටස ම මධ්‍යම ප්‍රමාණයේ ශරීර ඇත්තෝයි. සාමාන්‍ය උස සෙමී. 158 – 168 පමණය. ඉන්දුනීසියන් වර්ගය දිගු හිස් ඇත්තෝය. සමින් දුඹුරුය. මොංගොලොයිඩ් වර්ගය පුළුල් හිස් ඇත්තෝය ; සෘජු හිසකේ ඇත්තෝය ; කහ පැහැයෙන් යුත්හ. ඔවුන්ගේ හකු ඇට උස්ය ; ඇස් සිහින්ය. ආසියා ගොඩබිමට අයත් අග්නිදිග ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන් භාවිත වන්නේ චීන-තිබ්බතීය පවුලට අයත් භාෂාය. මෙම භාෂා පවුලේ ප්‍රධාන කොටස් දෙකකි: ටිබැට් - බුරුම හා චීන- සියම් යනුවෙනි. මහාද්වීපයෙන් වෙන් වූ පෙදෙස්වල ඉන්දුනීසියන් හා ඕෂියැනික් භාෂා කථා කරනු ලැබේ. මෙම ප්‍රදේශයේ විසූ ආදිම ජනයාගෙන් පැවතගෙනැවිත් තන්හි තන්හි ඉතිරි වී ඇති ජනයා ඕස්ට්රලොයිඩ් , නෙග්රොයිඩ්, මෙලනසොයිඩ් යන තුන්වර්ගයට අයත්ය. ඕස්ට්රලොයිඩ් වර්ගයා මිටිය ; සාමාන්‍ය උස සෙමී. 152 – 158 පමණය. ඔව්හු දිගු හිස් ඇත්තෝය. ඔවුන්ගේ හිසකේ බොකුටුය ; ශරීරයේ රෝම අධිකය. නෙග්රොයිඩ් වර්ගය වඩාත් මිටිය. සාමාන්‍ය උස සෙමී. 148 - 152 පමණය. ඔව්හු පුළුල් හිස් ඇත්තෝය. මෙලසොයිඩ් වර්ගය සෙමි. 167 ක් උස්ය. දිගු හිසින් ඕස්ට්රලොයිඩ් වර්ගයට සමානය.
නෙග්රොයිඩ් , ඕස්ට්රලොයිඩ් යන දෙවර්ගයම ඉන්දියාවෙන් අග්නිදිග ආසියාවට පැමිණියවුන් ලෙස සමහරු කල්පනා කරත්. ඕස්ට්රලොයිඩ් වර්ගයා ලංකාවේ වැද්දන් හා සමානකම් දක්වන බව ඔව්හු කියත්. මෙසේ වුව ද ඇතැමුන්ගේ අදහස ඕස්ට්රලොයිඩ් වර්ගය අග්නිදිග ආසියාව නිජභූමි කොට ඇති බවත් නෙග්රොයිඩ් වර්ගය ඉතා පැරණි කාලයේ සංක්‍රමණය වූවන් බවත්ය. මැලිනීසියන් වර්ගයේ අය 4 වන සියවස වන තුරු ප්‍රධාන ගොඩබිමේ විසූ බවට චීන වාර්තා සාක්ෂි දරයි.
සියමේ ද මලයා අර්ධද්වීපයේ ද සුමාත්‍රාවේ ද සකයි නැතහොත් සෙනොයිවරු ඕස්ට්රලොයිඩ් වර්ගයට අයත් ප්‍රධාන ජනයාය. සුමාත්‍රාවේ බටින්වරු ද බෝර්නියෝවේ උලු - අයර් දයැක්වරු ද සෙලෙබීස්හි තොආලාවරු ද ඔවුන් හා නෑකම් ඇත්තවුන් සේ සලකනු ලබත්. බුරුමයේ වා සහ බ්රුග්කරෙන්වරුන් ද සෙලෙබීස්හි තොරාජාවරුන් ද සෙරම්හි බොන්ෆ්රියාවරුන් හා වෙනත් ඇතැම් ගෝත්‍ර ද අතර ඕස්ට්රලොයිඩ් ලක්ෂණ දක්නා ලැබේ යයි කියත්. බුරුමයේ සිට ඇසෑම් දක්වා කඳුකර පළාත්වල ඇතැම් ගෝත්‍ර ද අර්ධද්වීපයේ සෙමං හා ඔරං අකිට්වරු ද අන්දමන් දූපත්වාසීන් ද ලුසොන්හි ඊටාවරු ද පලවන්හි බතක්වරු ද නිව්ගිනියාවේ ට පිරෝවරු ද නෙග්රොයිඩ් කොටසට අයත්ය. ජාවාහි බදුයිවරුන් අතර ද පිලිපීන්, ඇලෝර්, වෙටාර්, ටිමෝර් ආදි දූපත් වාසීන් අතර ද නෙග්රොයිඩ් ලක්ෂණ දක්නා ලැබේ.
ප්‍රධාන ගොඩබිම් ප්‍රදේශයේ කඳුකර ගෝත්‍ර අතර මැලිනීසියන් ලක්ෂණ දක්නට ලැබේ. නිකොබාර්, මෙන්ටවී යන දූපත්වාසීන් අතර ද මෙම ලක්ෂණ ඇතැයි සිතිය හැකිය. මොලක්කා, නිව්ගිනි ආදී පෙදෙස්වල ඇතැම් වැසියන් කෙරෙහි ද මෙම ලක්ෂණවලින් සමහරක් පිහිටා තිබේ.
බුරුමයේ වාසහ පලවුං, ලාඕස්හි හා ඉන්දුචීනයේ ඛා සහ මොයි ගෝත්‍ර, සුමාත්රාහී බතක් හා ටසෝ, ජාවාහි ටෙන්ගෙරෙසෙ, ලොම්බොක්හි සැසැක්,බෝර්නියෝහි දයැක් ගෝත්‍ර සහ සෙලෙබිස්හි තොරාජා ගෝත්‍ර නෙසියොඩ් නමැති වර්ගයකට අයත් වෙති යි සමහරු කල්පනා කරත්. නෙසියොඩ් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දුනීසියන් වර්ගයයි. පිලිපීන්හි බොන්ටොක් ඉගොරොට් , ඉෆුගඕ ආදී ගෝත්‍රවල ද මෙම ලක්ෂණ දක්නා ලැබේ යයි කියත්.
මෙනන්කබවූ , රෙශැ-ලම්බොන්ගර් ආදි සුමාත්‍රා වැස්සෝ මොංගොල් වර්ගයට අයත්හ. අර්ධද්වීපවැසි මැලේවරු ද ජාවාහි සන්දන. පවන හා මදුර ජාතිකයෝ ද බාලි වැසියෝ ද බෝර්නියෝ හා වෙනත් කොදිව්වල වෙරළාසන්නව වසන මැලේවරු ද සෙලෙබීස්හි මකාසර් ජනයා හා බූගිවරු ද පිලිපීනයේ තාගාලොග්, විසය,ඉලොකනෝ, ටින්ගු, ඉයන් හා මොරෝවරු ද මොංගොල්වරුන් හා සම්බන්ධකම් ඇත්තාහ.
මෙම ප්‍රදේශයේ සභ්‍යත්වය චීන හා ඉන්දු සභ්‍යත්වයන් පදනම් කොට වැඩීගිය සංකීර්ණ සභ්‍යත්වයකි. හින්දු, බෞද්ධ, මුස්ලිම් හා කොන්ෆියුසියානු ආගම් මේ ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන් අදහනු ලැබේ. එසේ වුව ද බොහෝ නොදියුණු ගෝත්‍ර අතර පවත්නේ ජන ආගම්ය. ඇතැම් ජාතීන් අතර ඔළු දඩයම හා මිනීමස් කෑම වැනි ප්රාකෘතික ආගමික චාරිත්‍ර පවතී. මේසා ජාති සංඛ්‍යාවකින් සැදි ප්‍රදේශයක් සමාජ සංවිධානය අතින් අතිශයින් සංකීර්ණ වීම් හා විවිධ වීම පුදුමයට කරුණු නොවේ.
චීනය
චීනයේ වැසියෝ මිසරයෙන් සංක්‍රමණය වූවෝ යයි සමහරුන් සිතන අතර ඔව්හු බැබිලෝනියාවෙන් ආහයි තවත් සමහරු කල්පනා කරත්. චීන වැසියන්ගේ විවිධ ශාරීරික ලක්ෂණ අනුව දත හැක්කේ ඔවුන් වරින්වර විවිධ දේශයන්ගෙන් පැමිණි බවයි. එසේ වුව ද සාමාන්‍යයෙන් චීන වැස්සන් ඔවුන්ගේ ඍජු, කළු හිසකේ, පළල් මුහුණු හා නාසා, ළා කහපාටට හුරු සම හා සිහින් ඇස් යනාදි ලක්ෂණ අනුව හඳුනාගත හැකිය.
ජයග්‍රාහක චීන අධිරාජයන් විසින් කඳුකර පෙදෙස්වලට තල්ලු කරනු ලැබූ ප්රාකෘතික ගෝත්‍ර බටහිර හා නිරිතදිග චීනයේ වෙසෙත්. බ්ලැක්මියාවෝ, කේලාවෝ, ලෝලෝ, යාවෝ හා මන්ට්සු යනාදිය නිදසුන්ය. අග්නිදිග චීනයේ වැසි හාක්කාවරු භාෂාවෙන් හා වෙනත් අයුරින් චීනුන්ට වෙනස් වෙත්. සමහර විට ඔවුන් චීනයට උතුරින් පිහිටි දේශයක සිට සංක්‍රමණය වූවන් විය හැකි යයි සමහරු කල්පනා කරත්. ක්‍රි.ව. 67 පමණ චීනයේ පිහිටුවන ලද බුද්ධාගම එහි ප්‍රධාන ආගමය.
ජපානය
ජපන්නු හෙවත් නිපොන්නු මලයාවෙන් ඉන්දුනීසියාවෙන් නැතහොත් ආසියා මහාද්වීපයේ කිසියම් පෙදෙසකින් කොරියාව පසුකොට ආවවුන් ලෙස සලකනු ලබත් ජපන්නු උසින් මධ්‍යම තරමටත් අඩු වෙති; පුළුල් උකුළින් ද පළල් නැහැයෙන් හා කළු හිසකෙසින් ද යුක්තය. මොව්හු අතිශයින් කාර්යක්ෂම හා දේශප්‍රේමී ජනතාවකි.
ඉසනාගි , ඉසනාමි යන දෙවියන් දෙදෙනා විසින් ජපන් රට ද ජනතාව ද නිර්මාණය කරන ලදැයි ජපන් ජන විශ්වාසයක් වෙයි. පැරණි ජපන් සංස්කෘතිය චීන සංස්කෘතිය මත පදනම් වූවකි. 6 වැනි ශතවර්ෂයේ දී කොරියාවෙන් පැතුරුණු බුද්ධාගම ප්‍රධාන ආගමය. ප්‍රධාන ස්වදේශීය ජන ආගම ෂින්තෝ නම් වේ. ජපනුන්ට පෙර සිට ජපානයේ වසන අයිනු (බ.) ජනයා කෝකසොයිඩ් මිශ්‍ර ජාතියක් ලෙස සැලකේ.
මොංගෝලියාව
මෙහි ප්‍රධාන වශයෙන් වාසය කරන්නේ මොංගොල්, චීන හා ටුන්ගු ජනයාත් විවිධ තුර්කි ගෝත්රත්ය.
ටිබැට් රට
ටිබැට් වාසීන් තුර්කි-මොංගොල් ජාතීන්ගෙන් පැවත එන්නන් විය හැකිය. 1954 දී ඔව්හු 3,000,000ක් පමණ වූහ. තටාක ප්‍රදේශයේ වසන ජනයා දොක්පා නැතහොත් ද්රුපා මිටියාවත්වල වසන්නන්ට වඩා පැහැදිලි මොංගොල් ලක්ෂණයන්ගෙන් යුක්තයහ. මිටියාවත්වාසීහු, විශේෂයෙන් ම චීන හා ඉන්දුචීන ප්‍රදේශ අසල වාසීහු, එම ජාතීන් හා මිශ්‍ර වී ඇත්තාහ.
සින්කියාං
මේ වනාහි කලකට පෙර නැගෙනහිර ( නැතහොත් චීන) තුර්කිස්ථානය යන නමින් හැඳින්වුණු ප්රදේශයයි. මෙහි ප්‍රධාන වශයෙන් වසන්නේ උයිසූර්, කසක්, කිර්සිස් යන තුර්කි ජාතිත්රයයි. පර්සියාවෙන්, අරාබියෙන් හා මධ්‍ය ආසියාවෙන් චීනයට සංක්‍රමණය වූ මුස්ලිම්වරුන්ගෙන් පැවත එතැයි විශ්වාස කරනු ලබන ඩ්රන්ගන් නමැති ජනයා මෙහි වසන තවත් ජනකොට්ඨාසයකි . ඔවුන් කථාකරන්නේ චීන උපභාෂාවකින් වැඩුණු භාෂාවකි.
සයිබීරියාව
සයිබීරියා ප්‍රදේශයේ වසන්නන් බොහෝ දෙනා සංචාරක එඩේර ගෝත්‍රයන්ට අයිතිය. එනම් ඔස්ටියැක්, යුරාක්. තාව්ගී, කරගා, සොයොව්, කැල්මක්, චුක්වි, කෝර්යක්. කම්වඩල් යුකගීර්, ගිල්යක් ආදියයි. මෙම ගෝත්‍ර ප්‍රධාන වශයෙන් මොංගොල් හා තුර්කි ජාතීන්ට අයත්ය.
තුර්කිස්ථානය හා ස්ටෙප් ප්‍රදේශය
මෙහි වසන ජනයා ප්‍රධාන වශයෙන් තුර්කි ජාතියට අයත්ය. කසක්, කිර්ඝීස්, උස්බෙක්, ටර්කෝමන්, සාර්ට්,ටජ්ල්ක් ආදිය ප්‍රධාන ගෝත්‍රය.
යුරෝපාසන්න ආසියාව
මෙම ප්‍රදේශයෙහි මුල්ම වැස්සන් මධ්‍යධරණී වර්ගයට අයත් වූවන් සේ සැලකීමට පුරා විද්‍යාත්මක සාක්ෂි ලැබේ. මොව්හු බොකුටු හිසකෙසින් ද දිග හිසින් ද දුඹුරු පැහැති සමින් ද යුතු වූවෝය. කල්යාමේ දී මෙම වර්ගයා ප්‍රාදේශික වශයෙන් විශේෂ ලක්ෂණවලින් සෑදී ගත්හ. අරාබි ප්‍රදේශයේ පදිංචි වුවන් හැඩිදැඩි වීම නිදසුනක් වශයෙන් දැක්විය හැකිය. අයිරේනියන් සානු වාසී වර්ගය යනුවෙන් හෙන්රි ෆිල්ඩ් හැඳින් වූ උස, දිගටි මුහුණින් හා වක් නැහැයෙන් යුත් මනුෂ්‍යයෝ තවත් නිදසුනකි. පසුකාලයේ දී සයිප්‍රස් ප්‍රදේශයේ පුළුල් හිසින් හා මිටි සිරුරින් යුත් ඇල්පයින් වර්ගය දක්නට ලැබුණි. ඉරාකයේ යෙසි, තුර්කියේ ද්වරුදවැන් විල සමීපයේ පදිංචි ආර්මීනියන්වරු ද මධ්‍යධරණී වර්ගයාත් ඇල්පයින් වර්ගයාත් අතර වූ මිශ්‍රණයෙන් ඇති වූ ජාති යයි සිතිය හැකිය. මොව්හු ආර්මිනොයිඩ් යනුවෙන් හඳුන්වනු ලබත්. ඇල්පයින් හා ආර්මිනොයිඩ් වර්ග සාමාන්‍යයෙන් දක්නා ලැබෙන්නේ යුරෝපාසන්න ආසියාවේ කඳුකර පෙදෙස්වලය.
මධ්‍ය ඉරාක ජනයා අතර නීග්‍රෝ ලක්ෂණ ද හෙන්රි ෆීල්ඩ් විසින් දක්නා ලදී. මෙම ප්‍රදේශය අප්‍රිකාව හා අග්නිදිග ආසියාව යන ප්‍රදේශ දෙක එක් වෙන ස්ථානයක් බඳු විය. නැගෙනහිර අප්‍රිකාවේ සිට හොද්රොමුට් හරහා බලුකිස්ථානය තෙක් ම තැනින් තැන ප්‍රෝටො-ඕස්ට්‍රොලොයිඩ් නැතහොත් වැද්ද්රෙයිඩ් යනුවෙන් නම් කොට ඇති ජාතියකට අයත් ජනයා සිටි බවට ලකුණු දක්නා ලදි. මොව්හු පැතළි නැහැයෙන්, තද දුඹුරු පැහැති සමින් හා බොකුටු හිසකෙසින් යුතු වුහ. මොවුන් වැඩි වශයෙන්ම අද දක්නා ලැබෙන්නේ හොද්රොමුට් බ්රාහුයිවරුන් අතරය.
මධ්‍ය ආසියාවෙන් ද යුරෝපාසන්න ආසියාතික ප්‍රදේශයට ජනසංක්‍රමණ සිදුවී ඇති බව පෙනේ. අවසාන සංක්‍රමණය වශයෙන් ගනු ලබන්නේ 11 වැනි ශත වර්ෂයේ දී තුර්කිවරුන් ඇනටෝලියාව ආක්‍රමණය කිරීමය. මෙම ජනයා මොංගොල් - මධ්‍යධරණී මිශ්‍ර ජන කොට්ඨාසයකි. මොහු අද දක්වාත් ඉරානයේ හා තුර්කියේ සංචාරක ජනයා අතර දක්නා ලැබෙත්. තුර්කියේ පදිංචි වූවෝ මධ්‍යධරණී හා ඇල්පයින් ජාතින් හා මිශ්‍ර වූහ.
මෙම ප්‍රදේශයේ මානව වංශ විද්‍යාත්මක රටාව අතිශයින් ව්‍යාකූලද සංකීර්ණ ද වූවකි. මීට හේතුව මෙහි ජනගහනයෙන් කොටසක් සංචාරකයන් වීමත් ආගමික අරගළ නිසා ජාතීන් සංක්‍රමණය වීමත් පිටුවහල් කරනු ලැබීමත්ය. ඔටෝමන් අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසු ජාතික රාජ්‍ය බිහි වූයෙන් ඒ කාලයේ දී විසිර සිටි ජාතීහු එක්වන්ට ද පටන් ගත්හ. මේ අනුව ඇනටෝලියන් ග්රීක්වරු ත්‍රෙස් දේශයට ද ආර්මිනියන්වරු රුසියන් ආර්මීනියා දේශයට ද යුදෙව් ගෝත්‍ර ඊශ්රායෙලයට ද එක් වූහ.
ඉන්දියාව
ලංකාවේ වැද්දන්ටත් සුමාත්‍රාවේ ආදි වාසීන්ටත් සමානකම් දක්වූ ප්රාකෘත නෙග්රොයිඩ් මනුෂ්‍ය වර්ගයක් ඉන්දියාවේ ආදි වාසීන් වූ බවත් කලකට පසුව බලුකිස්ථානය හරහා ද්‍රවිඩ ජනයා ඉන්දියාවට සංක්‍රමණය වූ බවත් සමහරු පවසත්. ඊශාන දෙසින් මොංගොල් ජනයා ද පූර්ව ඉතිහාස යුගයක දී ඉන්දියාවට සංක්‍රමණය වූ හයි කියත්. පසු කාලයේ දී ආර්‍ය්‍ය ජනයා ද ඉන්දියාවට සංක්‍රමණය වුල. මෙසේ විවිධ වර්ගවල සම්මිශ්‍රණයක් සේ සැලකිය හැකි ඉන්දියාවේ ජනයා කොටස් හතකට බෙදිය හැකැයි රිස්ලි කල්පනා කරයි : (1) වනගතව ද කඳුකරවල ද වසන සන්තල්, හිල්, කුරුම්බා ආදි ගෝත්‍ර නිදසුන් කොට දැක්විය හැකි ප්රාකෘතික ප්රාග් ද්‍රවිඩ ජනයා. (2) ගංගා නම් ගඟේ මිටියාවත දක්වා, දකුණුදිග අර්ධද්වීපය පුරාම පැතිර සිටින ද්‍රවිඩ ජනතාව. (3) රාජස්ථානයේ හා පන්ජාබයේ ඉන්දු-ආර්යය ජනයා. (4) ආර්යය - ද්‍රවිඩ හෙවත් හින්දුස්ථානි ජනතාව; ගංගා මිටියාවතේ වසන මොව්හු ඉන්දු ආර්යය - ද්‍රවිඩ මිශ්‍රණයක් සේ සැලකෙති. ( 5 ) සයිතෝ - ද්‍රවිඩ වර්ගය; ඉන්දු ගඟේ සිට ගුජරාටය හා බටහිර බොම්බාය හරහා නැගෙනහිරට විහිදෙන මොවුනට ප්‍රධාන වශයෙන් නිදසුන්කොට දැක්විය හැක්කේ මරාඨයන්ය. (6) චීනයෙන් හා තිබ්බතයෙන් පැමිණි මොංගොලොයිඩ් වර්ගය ; මොවුන් බොහෝ කොට දක්නා ලැබෙන්නේ ඇසෑමයේ සහ නැගෙනහිර හිමාල කඳු පාමුලය. (7) මොංගොලො - ද්‍රවිඩ වර්ගය; මෙම මිශ්‍රණයෙහි උසස් කොට්ඨාස ආර්යයන් සමග ද මිශ්‍ර වූවෝය. බෙංගාල වැසියා ඊට නිදසුනි.
මොහෙන්ජොදාරෝහි ඇටසැකිලිවලින් දැක්වෙන දිගු හිසින් යුත් ජනයා මධ්‍යධරණී කොටසට අයත් විය හැකි යයි සර් ජෝන් මාෂල් අදහස් කරයි. ඉන්දියාවේ ප්රාකෘතික ජනයා ලෙස හැඳින්විය හැකි අයගේ ඇටසැකිලි ද සම්බ වී තිබේ. අන්දමන් දූපතේ වසන නෙග්රිටෝ වර්ගයට අයත් ජනයාට සමාන අය දුරාතීතයේ ඉන්දියාවේ විසූහයි සිතිය හැකිය. මෙවැනි ජනයා සිටි බවට සාක්ෂි පැරණි භාරතීය සාහිත්‍යයෙන් ද ලද හැකිය. මිටි, තරමක් දිගු හිසින් ද පුළුල් නැහැයෙන් ද තද දුඹුරු පැහැයෙන් ද යුත්, බොකුටු හිසකේ ඇති ජනයා ඇතැම් පෙදෙස්හි බහුල වශයෙන් දක්නා ලැබෙන ජන කොට්ඨාසයකි. දකුණු ඉන්දියාවේ හා ජෝටානාග් පුරයේ වනගත ගෝත්‍ර හා බෙංගාලයේ හා උතුරු ඉන්දියාවේ පහත් කුලවලට අයත් අය නිදසුන් ය. මොවුන් මෙරට වැද්දන්ට ද මලයාවේ සකයි වරුන්ට ද ඕස්ට්රලොයිඩ් ජාතීන්ට ද සම්බන්ධයයි සිතිය හැකිය. දිගු හිසින් මධ්‍යම තරමේ නැහැයෙන්, තද දුඹුරු පැහැති සමින්, සිහින් දෙතොලින් හා බොකුටු හිසකෙසින් යුත් වර්ගයක් දකුණු හා බටහිර ඉන්දියාවේ දක්නා ලැබේ. මෙම වර්ගයා මධ්‍යධරණී වර්ගයාට සමාන ලක්ෂණ දරත්. බෙංගාලයේ උසස් කුල අතර ද මලබාරයේ නම්බුදිරි බ්‍රාහ්මණයන් අතර ද නායාර්, කූර්ග්, තෝඩා ආදීන් අතර ද මෙම ලක්ෂණ දක්නා ලැබේ. වටකුරු හිසින් යුත්, තරමක් උස, බොකුටු කෙසැති කොට්ඨාසයක් බටහිර කඳුකර පෙදෙස්වල හා බලුකිස්ථානයේ වෙයි. මොව්හු ඇල්පයින් වර්ගයට සමානකම් දක්වති. මධ්‍ය, උතුරු හා නැගෙනහිර බෙංගාලයේ බොහෝදෙනා අතර මොංගොල් ලක්ෂණ දක්නා ලැබේ. ආන්ධ්‍ර දේශයේ සවර ජනයා තුළ මොංගොල්වරුන්ගේ වැනි සිහින් ඇස් දක්නා ලැබේ. බී. ඇස්. ගුහා මහතා ඉන්දියානු ජනයා පහත සඳහන් අයුරු බෙදා දක්වා තිබේ :
1. අවශ්‍යයෙන් ම ඉන්දියානු වර්ගයා ලෙස ගුහා මහතා හඳුන්වන දිගු කුඩා හිසින් ද විශාල දිගු නැහැයෙන් ද යුත් වූ, කළු හිසකේ ඇති, සමින් දුඹුරු පැහැති, මිටි වර්ගය; තෙලඟු බ්‍රාහ්මණයා නිදසුන්ය.
2. හිසේ හැඩයෙන් පමණක් (1) න් වෙනස් වන වර්ගය. මොවුන්ගේ හිස පැතලිය; නාගර් බ්‍රාහ්මණයා නිදසුන්ය.
3. (1) ට හා (2) ට වඩා උස මහත, එතරම් දුඹුරු පැහැති නොවන, දිගු හිසින් ද දිගු මුහුණින් ද දිගු විශාල නැහැයෙන් ද යුත් වර්ගය; පඨාන් ජාතිකයා නිදසුන්ය. ආර්යය වර්ගයක් ලෙස හැඳින්විය හැකි මොව්හු සින්ඩ් හා ඇසෑම් අතර පෙදෙසේ වසති.
4. කුඩා පැතළි නැහැය, කෙටි පුළුල් මුහුණ. බොකුටු හිසකේ ආදිය නිසා නොවේ නම් (1) වර්ගයට සමාන වර්ගය;මොවුන් වැඩි වශයෙන් දක්නා ලැබෙන්නේ මධ්‍ය සහ දකුණු ඉන්දියාවේය. මොවුන් වැද්දන්ට හා මලයා අර්ධද්වීපයේ සකයිවරුන්ට සබඳකම් ඇත්තන් යයි කල්පනා කරනු ලැබේ. අයික්ස්ටෙඩ් මෙය වැදි වර්ගය යනුවෙන් හැඳින් විය.
5. (4) වර්ගයේ ලක්ෂණ දරන ඊට කුඩා වර්ගයක්; දකුණු ඉන්දියාවේ කදාර් හා පුල්ලයන් ජනයා මොවුන්ට නිදසුන්ය.
6. වටකුරු හිසැති මොංගොලොයිඩ් වර්ගයක්; මොව්හු කාශ්මීරය හා ඇසෑම් ප්‍රදේශය අතර හිමාලය කඳු වැටිය පාමුල ප්‍රදේශයේ භූතාන්වරුය.
7. (6) වැනි ම දිගු හිසැති වර්ගයක්. (6) අයට වඩා විශාල නැහැයෙන් යුක්තය; අන්ගම් නාග ජනයා නිදසුන්ය.
මේ අයුරු විවිධ බෙදීම් ඇති වුව ද අනිකුත් බොහෝ රටවල මෙන් ම ශතවර්ෂාධික කාලයක් තිස්සේ මිශ්‍ර වුණු ජනතාවක් ඉන්දියාවෙහි ද දක්නා ලැබෙන බව සිත තබාගත යුත්තකි. ආර්යය, ද්‍රවිඩ ආදි ශබ්දයන්ගෙන් ඒ ඒ මනුෂ්‍ය වර්ගයන් කථා කරන භාෂාවන්ගේ ලක්ෂණ හා සම්බන්ධකම් මිස එම ජාතීන් පිළිබඳ අන් කිසිවක් කියැවේ යයි සිතිය නොහේ.
(ලාංකික ජනතාව පිළිබඳ තොරතුරු “ලංකාව” යටතේ දැක්වේ.)
ආසියානු කලා ශිල්ප
දීර්ඝ ඉතිහාසයක් ඇත්තා වූත් විවිධ සංස්කෘතීන් රාශියක වාස භූමිය වූත් ආසියාව වැනි විශාල මහාද්වීපයක කලා ශිල්ප හා සභ්‍යත්වයන් පොදුවේ හැඳින්වීම දුෂ්කර හෙයින් මෙම ලිපියෙන් කෙරෙන්නේ ආසියාවේ ප්‍රධාන සංස්කෘතික ප්‍රදේශ සම්බන්ධයෙන් කරුණු ස්වල්පයක් දළ වශයෙන් දැක්වීම පමණකි. ඒ ඒ රටවල හා ප්‍රදේශයන්හි කලා ශිල්ප පිළිබඳ විස්තර ඒ ඒ රටවල් හා ප්‍රදේශ පිළිබඳව සැපයෙන ලිපි යටතෙහි දැක්වේ.
ඉන්දියාව, පකිස්ථානය හා ලංකාව යන රටවල් තුන එකම සංස්කෘතික ප්‍රදේශයක් ලෙස ගිණිය හැක. හින්දු- බෞද්ධ සංස්කෘතියෙහි කේන්ද්‍රස්ථානය වන ඉන්දියාව සකල ආසියාවට ම සංස්කෘතික තරංග විහිද වූ මධ්‍යස්ථානයක් විය. මොහෙන්ජොදාරෝ - හරප්පා (ක්‍රි.පූ. 3000 –2000) යුගයෙන් පටන් ගෙන බටහිර නාවිකයන්ගේ ආගමනය තෙක් හින්දු, බෞද්ධ, ජෛන හා මුස්ලිම් ආගම් යටතේ ඉන්දියාවෙහි මහත් වූත් අඛණ්ඩ වූත් කලා පරිණාමයක් පැවැත්තේය. අජන්තා, ඔරිස්සා ආදි ගුහාවල ඇති චිත්‍ර හා කැටයම්, ග්‍රීක මූර්ති කලාව හා සංකලනයෙන් බිහි වූ ගන්ධාර කලාව, භාරතීය කලා ශිල්පයන්ගේ ස්වර්ණමය යුගය සේ ගැනෙන ගුප්ත යුගයේ කලාව, අයිහෝළේ, බාදාමි යනාදි ස්ථානයන්ගෙන් දැක්වෙන චාලුක්‍ය කලා සම්ප්රදාය, ද්‍රවිඩ රජුන් යටතේ බිහිවුණු පල්ලව කලා සම්ප්රදාය, ඛජුරාහෝ, රාජපුතානා, ගුජරාට්, ඩෙකාන්, ග්වලියෝර් යනාදි ස්ථානයන්ගෙන් දැක්වෙන ඉන්දු - ආර්යය කැටයම් ශිල්පය හා මුස්ලිම් රජවරුන් යටතේ බිහි වූ මෝගල් සම්ප්රදාය ඉන්දියානු කලා ඉතිහාසයේ ප්‍රධාන අංග සමහරකි. පකිස්ථානය සහ ලංකාව කලා ශිල්ප හා සභ්‍යත්වය අතින් ඉන්දියාවේ බලපෑම්වලට කෙතරම් අසු වූයේ ද යත් එම දෙරට සංස්කෘතිය අතින් ඉන්දියාවේ ම කොටසක් වශයෙන් සැලකීම නිවරදය.
චීන සංස්කෘතික ප්‍රදේශය වශයෙන් ප්‍රධාන කොට චීනය, ජපානය, කොරියාව හා ෆෝර්මෝසාව ගිණිය හැක. ටිබැට් රට හා වෙනත් ආසියාතික රටවල් ගණනාවක් ද චීනයේ බලපෑමට හසු විය. චීනය ද ඉන්දියාව මෙන් ම ආසියාවේ ප්‍රධානතම සංස්කෘතික මධ්‍යස්ථානයකි. එහෙත් චීනයට පවා බුදු පිළිමය හා ස්තූපය ලැබුණේ ඉන්දියාවෙනැයි පිළිගනු ලැබේ.
තෑං (618-906), (960-1297), යු-අං මි (1368–1643) ආදි රාජ පරම්පරාවන් යටතේ චීනයේ ගෘහනිර්මාණ හා කැටයම් ශිල්ප දියුණුවට පත්විය. ලීයෙන් තනන ලද මැදුරු අතුරින් පැරණි ම ඒවා ලෙස සැලකෙන පීකිං නුවර අසල මිං රජ දරුවන්ගේ සොහොන් හා ජපානයේ හෝර්යුජි විහාරය වැනි නිදසුන් වලින් දැක්වෙන ශිල්ප ක්‍රමය, චිරාගත චිත්‍ර හා චීන සුලේඛන කලාව විදහා පායි. බොදු සමය එහි මුල් බැසගැනීමත් සමග අමුතු පරමාර්ථ හා අමුතු මාර්ගයන් දක්වමින් චීන සංස්කෘතිය වර්ධනය විය.
ඉන්දු චීනය, බුරුමය ලාඕස්, වියෙට්නාම්, සියම, ඉන්දුනීසියාව ආදි රටවලින් සැදි අග්නිදිග ආසියා ප්‍රදේශයේ දක්නා ලැබෙන්නේ හින්දු - බෞද්ධ සංස්කෘතියක දේශීය රටාවන්ය. ඉන්දියාවේ හා චීනයේ බලපෑම්වල මිශ්‍රණයක් ඒවාහි දක්නට ලැබේ.
ලෝකයේ පැරණි ම ශිෂ්ටාචාරයක් වන බැබිලෝනියානු ශිෂ්ටාචාරයට නිජබිම වූයේ ආසියාවේ නිරිත දිග පෙදෙසයි. ක්‍රිස්තියානි හා ඉස්ලාම් යන ආගම් දෙක පහළ වූ ප්‍රදේශය මෙය වුව ද එම ආගම් සෙවණේ වැඩුණු කලාව සම්බන්ධයෙන් වැදගත්ම රටවල් මෙම ප්‍රදේශයට අයත් නොවේ. මෙසොපොටේමියා, ඇනටෝලියා, සිරියා යන බටහිර ආසියාතික රටවල් අතුරින් ප්‍රධාන කලා මධ්‍යස්ථානය පිහිටියේ මෙසොපොටේමියාවේයි. සුළු ආසියාව මුලින් ඇනටෝලියානු සංස්කෘතියේ බලපෑමට යටත්ව තිබුණ ද පසු කාලයේ දී බටහිර බලපෑම්වලට හසුවිණි.
ප්‍රධාන සංස්කෘතික බලවේගයන්ගෙන් වටව පිහිටි මධ්‍ය ආසියාවේ සංස්කෘතිය, ඉන්දියානු චීන, ග්‍රීක, රෝමන්, පර්සියන් ආදි එම බලවේගයන්ගේ බලපෑම්වල සංකලනයකි. මෙම ප්‍රදේශය බෞද්ධ කලා කෘතීන්ගේ නෂ්ටාවශේෂවලින් ගහනය.
[ආසියාවේ විවිධ රටවල්, ප්‍රදේශ, නගර, කඳු, ගංගා, විවිධ රජවරුන්, අධිරාජ්‍ය, දේශපාලන නායකයන් හා ඓතිහාසික පුද්ගලයන් පිළිබඳ ශීර්ෂපාඨ යටතේ එන ලිපි ද බලන්න.]
ආසියාතික ජනයා : ආසියාව මුල් ම මිනිසුන්ගේ වාසභූමිය වී යයි සමහරු අදහස් කරත්. හෝමෝපිතෙකැන්ත්රොපුස් ඉරෙක්ටුස් , හෝමෝ පිතෙකැන්ත්‍රොපුස් රොබස්ටුස් හා හෝමෝ මිගැන්ත්රොපුස් පැලියොජාවානිකුස් යනුවෙන් නම් කොට ඇති මිනිසුන්ගේ පාෂාණිභූත ඇටකටු කැබලි ආසියා මහාද්වීපයේ විවිධ ප්‍රදේශවල තිබී සොයාගන්නා ලදි. මේ හැර දකුණු චීනයේ ගයිගැන්ටැන්ත්රොපුස් නමැති මිනිසා විසූ බවට ද පාෂාණීභූත ඇටසැකිලි සාක්ෂි දරයි. වර්තමාන මිනිසාට පෙර විසූ තවත් මිනිසකු වන හෝමෝ සිනැන්ත්රොපුස් පෙකිනෙන්ස් මිනිසාගේ ඇටසැකිලි ද පීකිං නුවර අසල චූකු-ටියෙන් ගුහාවේ තිබී සාරාගෙන ඇත. පසුකාලයේ දී අයිරේනියන් සානුවේ සිට ලෝකයේ බොහෝ ප්‍රදේශ කරා මිනිසුන්ගේ සංක්‍රමණ සිදුවී යයි සිතිය හැකිය. මෙසේ සංක්‍රමණය වූවන්ගෙන් සමහරෙක් බීරිං සමුද්‍රසන්ධිය පසුකොට ඇමෙරිකාවේ පවා පදිංචි වන්ට ඇතැයි සිතත්. මැඩගැස්කරයේ ජනයා අතුරින් බොහෝ දෙනා ඇතැම් ආසියාතිකයන් කෙරෙහි දක්නට ලැබෙන ලක්ෂණ ඇත්තෝය.
ආසියා මහාද්වීපයේ ප්‍රධාන වශයෙන් මනුෂ්‍ය වර්ග තුනක් දක්නා ලැබේ. කෝකසොයිඩ් , මොංගොලොයිඩ්, නෙග්රොයිඩ් යනුවෙනි. බටහිර ආසියාවේ හා උතුරු ඉන්දියාවේ වසන නෝර්ඩික් වර්ගයේ ජනයා ද මධ්‍ය ආසියාවේ හා මධ්‍ය ඉන්දියාවේ වසන මධ්‍යධරණී හා ඇල්පයින් වර්ග ද ආමිනොයිඩ් හා ඩිනාරික් වර්ග ද ඇතැම් විට ඇල්පයින් වර්ගයා හා නෑකම් කිව හැකි ජපානයේ අයිනුවරු ද කෝකසොයිඩ් වර්ගයට අයිතිය. මොංගොලොයිඩ් ජනයා දක්නා ලැබෙන්නේ සාමාන්‍යයෙන් උතුරු හා නැගෙනහිර ආසියාවේය. අන්දමන් දූපත්වලද ඉන්දුනීසියාවේ ද නෙග්රොයිඩ් ලක්ෂණයන්ගෙන් හෙබි ජනයා වසත් . මධ්‍ය හා දකුණු ඉන්දියාවේ මෙන්ම ඇසෑමයේ ද ගෝත්‍රීය ජනයා මෙම ලක්ෂණ දරන්නෝය. මෙම ප්‍රධාන වර්ග තුන හැරුණු විට ඕස්ට්රලොයිඩ් ලෙස හැඳින්විය හැකි ජනයා ද ආසියාවේ වෙසෙත්. ඉන්දියාවේ ඇතැම් ප්රාකෘතික ගෝත්‍ර ද ලංකාවේ වැද්දෝ ද නිදසුන්ය. මැලිනීසියාවේ නෙග්රොයිඩ් ජනයා ඕස්ට්රලොයිඩයන් හා මිශ්‍ර වූවෝය යනු ඇතැමුන්ගේ පිළිගැනීමයි.
අග්නිදිග ආසියාව : ඒ ඒ දේශ අනුව ආසියානු ජනයා පරීක්ෂා කොට බැලීමේ දී ජාතීන් පිළිබද රටාව ඉතාමත් සංකීර්ණ වූවක් බව පෙනේ. අග්නිදිග ආසියාවේ බහුල වශයෙන් දක්නා ලැබෙන්නේ ඉන්දුනීසියන්, මොංගොලොයිඩ් යනුවෙන් දැක්විය හැකි දෙකොට්ඨාසයට අයත් ජනයාය. මේ දෙකොටස ම මධ්‍යම ප්‍රමාණයේ ශරීර ඇත්තෝයි. සාමාන්‍ය උස සෙමී. 158 – 168 පමණය. ඉන්දුනීසියන් වර්ගය දිගු හිස් ඇත්තෝය. සමින් දුඹුරුය. මොංගොලොයිඩ් වර්ගය පුළුල් හිස් ඇත්තෝය ; සෘජු හිසකේ ඇත්තෝය ; කහ පැහැයෙන් යුත්හ. ඔවුන්ගේ හකු ඇට උස්ය ; ඇස් සිහින්ය. ආසියා ගොඩබිමට අයත් අග්නිදිග ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන් භාවිත වන්නේ චීන-තිබ්බතීය පවුලට අයත් භාෂාය. මෙම භාෂා පවුලේ ප්‍රධාන කොටස් දෙකකි: ටිබැට් - බුරුම හා චීන- සියම් යනුවෙනි. මහාද්වීපයෙන් වෙන් වූ පෙදෙස්වල ඉන්දුනීසියන් හා ඕෂියැනික් භාෂා කථා කරනු ලැබේ. මෙම ප්‍රදේශයේ විසූ ආදිම ජනයාගෙන් පැවතගෙනැවිත් තන්හි තන්හි ඉතිරි වී ඇති ජනයා ඕස්ට්රලොයිඩ් , නෙග්රොයිඩ්, මෙලනසොයිඩ් යන තුන්වර්ගයට අයත්ය. ඕස්ට්රලොයිඩ් වර්ගයා මිටිය ; සාමාන්‍ය උස සෙමී. 152 – 158 පමණය. ඔව්හු දිගු හිස් ඇත්තෝය. ඔවුන්ගේ හිසකේ බොකුටුය ; ශරීරයේ රෝම අධිකය. නෙග්රොයිඩ් වර්ගය වඩාත් මිටිය. සාමාන්‍ය උස සෙමී. 148 - 152 පමණය. ඔව්හු පුළුල් හිස් ඇත්තෝය. මෙලසොයිඩ් වර්ගය සෙමි. 167 ක් උස්ය. දිගු හිසින් ඕස්ට්රලොයිඩ් වර්ගයට සමානය.
නෙග්රොයිඩ් , ඕස්ට්රලොයිඩ් යන දෙවර්ගයම ඉන්දියාවෙන් අග්නිදිග ආසියාවට පැමිණියවුන් ලෙස සමහරු කල්පනා කරත්. ඕස්ට්රලොයිඩ් වර්ගයා ලංකාවේ වැද්දන් හා සමානකම් දක්වන බව ඔව්හු කියත්. මෙසේ වුව ද ඇතැමුන්ගේ අදහස ඕස්ට්රලොයිඩ් වර්ගය අග්නිදිග ආසියාව නිජභූමි කොට ඇති බවත් නෙග්රොයිඩ් වර්ගය ඉතා පැරණි කාලයේ සංක්‍රමණය වූවන් බවත්ය. මැලිනීසියන් වර්ගයේ අය 4 වන සියවස වන තුරු ප්‍රධාන ගොඩබිමේ විසූ බවට චීන වාර්තා සාක්ෂි දරයි.
සියමේ ද මලයා අර්ධද්වීපයේ ද සුමාත්‍රාවේ ද සකයි නැතහොත් සෙනොයිවරු ඕස්ට්රලොයිඩ් වර්ගයට අයත් ප්‍රධාන ජනයාය. සුමාත්‍රාවේ බටින්වරු ද බෝර්නියෝවේ උලු - අයර් දයැක්වරු ද සෙලෙබීස්හි තොආලාවරු ද ඔවුන් හා නෑකම් ඇත්තවුන් සේ සලකනු ලබත්. බුරුමයේ වා සහ බ්රුග්කරෙන්වරුන් ද සෙලෙබීස්හි තොරාජාවරුන් ද සෙරම්හි බොන්ෆ්රියාවරුන් හා වෙනත් ඇතැම් ගෝත්‍ර ද අතර ඕස්ට්රලොයිඩ් ලක්ෂණ දක්නා ලැබේ යයි කියත්. බුරුමයේ සිට ඇසෑම් දක්වා කඳුකර පළාත්වල ඇතැම් ගෝත්‍ර ද අර්ධද්වීපයේ සෙමං හා ඔරං අකිට්වරු ද අන්දමන් දූපත්වාසීන් ද ලුසොන්හි ඊටාවරු ද පලවන්හි බතක්වරු ද නිව්ගිනියාවේ ට පිරෝවරු ද නෙග්රොයිඩ් කොටසට අයත්ය. ජාවාහි බදුයිවරුන් අතර ද පිලිපීන්, ඇලෝර්, වෙටාර්, ටිමෝර් ආදි දූපත් වාසීන් අතර ද නෙග්රොයිඩ් ලක්ෂණ දක්නා ලැබේ.
ප්‍රධාන ගොඩබිම් ප්‍රදේශයේ කඳුකර ගෝත්‍ර අතර මැලිනීසියන් ලක්ෂණ දක්නට ලැබේ. නිකොබාර්, මෙන්ටවී යන දූපත්වාසීන් අතර ද මෙම ලක්ෂණ ඇතැයි සිතිය හැකිය. මොලක්කා, නිව්ගිනි ආදී පෙදෙස්වල ඇතැම් වැසියන් කෙරෙහි ද මෙම ලක්ෂණවලින් සමහරක් පිහිටා තිබේ.
බුරුමයේ වාසහ පලවුං, ලාඕස්හි හා ඉන්දුචීනයේ ඛා සහ මොයි ගෝත්‍ර, සුමාත්රාහී බතක් හා ටසෝ, ජාවාහි ටෙන්ගෙරෙසෙ, ලොම්බොක්හි සැසැක්,බෝර්නියෝහි දයැක් ගෝත්‍ර සහ සෙලෙබිස්හි තොරාජා ගෝත්‍ර නෙසියොඩ් නමැති වර්ගයකට අයත් වෙති යි සමහරු කල්පනා කරත්. නෙසියොඩ් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දුනීසියන් වර්ගයයි. පිලිපීන්හි බොන්ටොක් ඉගොරොට් , ඉෆුගඕ ආදී ගෝත්‍රවල ද මෙම ලක්ෂණ දක්නා ලැබේ යයි කියත්.
මෙනන්කබවූ , රෙශැ-ලම්බොන්ගර් ආදි සුමාත්‍රා වැස්සෝ මොංගොල් වර්ගයට අයත්හ. අර්ධද්වීපවැසි මැලේවරු ද ජාවාහි සන්දන. පවන හා මදුර ජාතිකයෝ ද බාලි වැසියෝ ද බෝර්නියෝ හා වෙනත් කොදිව්වල වෙරළාසන්නව වසන මැලේවරු ද සෙලෙබීස්හි මකාසර් ජනයා හා බූගිවරු ද පිලිපීනයේ තාගාලොග්, විසය,ඉලොකනෝ, ටින්ගු, ඉයන් හා මොරෝවරු ද මොංගොල්වරුන් හා සම්බන්ධකම් ඇත්තාහ.
මෙම ප්‍රදේශයේ සභ්‍යත්වය චීන හා ඉන්දු සභ්‍යත්වයන් පදනම් කොට වැඩීගිය සංකීර්ණ සභ්‍යත්වයකි. හින්දු, බෞද්ධ, මුස්ලිම් හා කොන්ෆියුසියානු ආගම් මේ ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන් අදහනු ලැබේ. එසේ වුව ද බොහෝ නොදියුණු ගෝත්‍ර අතර පවත්නේ ජන ආගම්ය. ඇතැම් ජාතීන් අතර ඔළු දඩයම හා මිනීමස් කෑම වැනි ප්රාකෘතික ආගමික චාරිත්‍ර පවතී. මේසා ජාති සංඛ්‍යාවකින් සැදි ප්‍රදේශයක් සමාජ සංවිධානය අතින් අතිශයින් සංකීර්ණ වීම් හා විවිධ වීම පුදුමයට කරුණු නොවේ.
චීනය : චීනයේ වැසියෝ මිසරයෙන් සංක්‍රමණය වූවෝ යයි සමහරුන් සිතන අතර ඔව්හු බැබිලෝනියාවෙන් ආහයි තවත් සමහරු කල්පනා කරත්. චීන වැසියන්ගේ විවිධ ශාරීරික ලක්ෂණ අනුව දත හැක්කේ ඔවුන් වරින්වර විවිධ දේශයන්ගෙන් පැමිණි බවයි. එසේ වුව ද සාමාන්‍යයෙන් චීන වැස්සන් ඔවුන්ගේ ඍජු, කළු හිසකේ, පළල් මුහුණු හා නාසා, ළා කහපාටට හුරු සම හා සිහින් ඇස් යනාදි ලක්ෂණ අනුව හඳුනාගත හැකිය.
ජයග්‍රාහක චීන අධිරාජයන් විසින් කඳුකර පෙදෙස්වලට තල්ලු කරනු ලැබූ ප්රාකෘතික ගෝත්‍ර බටහිර හා නිරිතදිග චීනයේ වෙසෙත්. බ්ලැක්මියාවෝ, කේලාවෝ, ලෝලෝ, යාවෝ හා මන්ට්සු යනාදිය නිදසුන්ය. අග්නිදිග චීනයේ වැසි හාක්කාවරු භාෂාවෙන් හා වෙනත් අයුරින් චීනුන්ට වෙනස් වෙත්. සමහර විට ඔවුන් චීනයට උතුරින් පිහිටි දේශයක සිට සංක්‍රමණය වූවන් විය හැකි යයි සමහරු කල්පනා කරත්. ක්‍රි.ව. 67 පමණ චීනයේ පිහිටුවන ලද බුද්ධාගම එහි ප්‍රධාන ආගමය.
ජපානය: ජපන්නු හෙවත් නිපොන්නු මලයාවෙන් ඉන්දුනීසියාවෙන් නැතහොත් ආසියා මහාද්වීපයේ කිසියම් පෙදෙසකින් කොරියාව පසුකොට ආවවුන් ලෙස සලකනු ලබත් ජපන්නු උසින් මධ්‍යම තරමටත් අඩු වෙති; පුළුල් උකුළින් ද පළල් නැහැයෙන් හා කළු හිසකෙසින් ද යුක්තය. මොව්හු අතිශයින් කාර්යක්ෂම හා දේශප්‍රේමී ජනතාවකි.
ඉසනාගි , ඉසනාමි යන දෙවියන් දෙදෙනා විසින් ජපන් රට ද ජනතාව ද නිර්මාණය කරන ලදැයි ජපන් ජන විශ්වාසයක් වෙයි. පැරණි ජපන් සංස්කෘතිය චීන සංස්කෘතිය මත පදනම් වූවකි. 6 වැනි ශතවර්ෂයේ දී කොරියාවෙන් පැතුරුණු බුද්ධාගම ප්‍රධාන ආගමය. ප්‍රධාන ස්වදේශීය ජන ආගම ෂින්තෝ නම් වේ. ජපනුන්ට පෙර සිට ජපානයේ වසන අයිනු (බ.) ජනයා කෝකසොයිඩ් මිශ්‍ර ජාතියක් ලෙස සැලකේ.
මොංගෝලියාව : මෙහි ප්‍රධාන වශයෙන් වාසය කරන්නේ මොංගොල්, චීන හා ටුන්ගු ජනයාත් විවිධ තුර්කි ගෝත්රත්ය.
ටිබැට් රට: ටිබැට් වාසීන් තුර්කි-මොංගොල් ජාතීන්ගෙන් පැවත එන්නන් විය හැකිය. 1954 දී ඔව්හු 3,000,000ක් පමණ වූහ. තටාක ප්‍රදේශයේ වසන ජනයා දොක්පා නැතහොත් ද්රුපා මිටියාවත්වල වසන්නන්ට වඩා පැහැදිලි මොංගොල් ලක්ෂණයන්ගෙන් යුක්තයහ. මිටියාවත්වාසීහු, විශේෂයෙන් ම චීන හා ඉන්දුචීන ප්‍රදේශ අසල වාසීහු, එම ජාතීන් හා මිශ්‍ර වී ඇත්තාහ.
සින්කියාං : මේ වනාහි කලකට පෙර නැගෙනහිර ( නැතහොත් චීන) තුර්කිස්ථානය යන නමින් හැඳින්වුණු ප්රදේශයයි. මෙහි ප්‍රධාන වශයෙන් වසන්නේ උයිසූර්, කසක්, කිර්සිස් යන තුර්කි ජාතිත්රයයි. පර්සියාවෙන්, අරාබියෙන් හා මධ්‍ය ආසියාවෙන් චීනයට සංක්‍රමණය වූ මුස්ලිම්වරුන්ගෙන් පැවත එතැයි විශ්වාස කරනු ලබන ඩ්රන්ගන් නමැති ජනයා මෙහි වසන තවත් ජනකොට්ඨාසයකි . ඔවුන් කථාකරන්නේ චීන උපභාෂාවකින් වැඩුණු භාෂාවකි.
සයිබීරියාව : සයිබීරියා ප්‍රදේශයේ වසන්නන් බොහෝ දෙනා සංචාරක එඩේර ගෝත්‍රයන්ට අයිතිය. එනම් ඔස්ටියැක්, යුරාක්. තාව්ගී, කරගා, සොයොව්, කැල්මක්, චුක්වි, කෝර්යක්. කම්වඩල් යුකගීර්, ගිල්යක් ආදියයි. මෙම ගෝත්‍ර ප්‍රධාන වශයෙන් මොංගොල් හා තුර්කි ජාතීන්ට අයත්ය.
තුර්කිස්ථානය හා ස්ටෙප් ප්‍රදේශය : මෙහි වසන ජනයා ප්‍රධාන වශයෙන් තුර්කි ජාතියට අයත්ය. කසක්, කිර්ඝීස්, උස්බෙක්, ටර්කෝමන්, සාර්ට්,ටජ්ල්ක් ආදිය ප්‍රධාන ගෝත්‍රය.
යුරෝපාසන්න ආසියාව : මෙම ප්‍රදේශයෙහි මුල්ම වැස්සන් මධ්‍යධරණී වර්ගයට අයත් වූවන් සේ සැලකීමට පුරා විද්‍යාත්මක සාක්ෂි ලැබේ. මොව්හු බොකුටු හිසකෙසින් ද දිග හිසින් ද දුඹුරු පැහැති සමින් ද යුතු වූවෝය. කල්යාමේ දී මෙම වර්ගයා ප්‍රාදේශික වශයෙන් විශේෂ ලක්ෂණවලින් සෑදී ගත්හ. අරාබි ප්‍රදේශයේ පදිංචි වුවන් හැඩිදැඩි වීම නිදසුනක් වශයෙන් දැක්විය හැකිය. අයිරේනියන් සානු වාසී වර්ගය යනුවෙන් හෙන්රි ෆිල්ඩ් හැඳින් වූ උස, දිගටි මුහුණින් හා වක් නැහැයෙන් යුත් මනුෂ්‍යයෝ තවත් නිදසුනකි. පසුකාලයේ දී සයිප්‍රස් ප්‍රදේශයේ පුළුල් හිසින් හා මිටි සිරුරින් යුත් ඇල්පයින් වර්ගය දක්නට ලැබුණි. ඉරාකයේ යෙසි, තුර්කියේ ද්වරුදවැන් විල සමීපයේ පදිංචි ආර්මීනියන්වරු ද මධ්‍යධරණී වර්ගයාත් ඇල්පයින් වර්ගයාත් අතර වූ මිශ්‍රණයෙන් ඇති වූ ජාති යයි සිතිය හැකිය. මොව්හු ආර්මිනොයිඩ් යනුවෙන් හඳුන්වනු ලබත්. ඇල්පයින් හා ආර්මිනොයිඩ් වර්ග සාමාන්‍යයෙන් දක්නා ලැබෙන්නේ යුරෝපාසන්න ආසියාවේ කඳුකර පෙදෙස්වලය.
මධ්‍ය ඉරාක ජනයා අතර නීග්‍රෝ ලක්ෂණ ද හෙන්රි ෆීල්ඩ් විසින් දක්නා ලදී. මෙම ප්‍රදේශය අප්‍රිකාව හා අග්නිදිග ආසියාව යන ප්‍රදේශ දෙක එක් වෙන ස්ථානයක් බඳු විය. නැගෙනහිර අප්‍රිකාවේ සිට හොද්රොමුට් හරහා බලුකිස්ථානය තෙක් ම තැනින් තැන ප්‍රෝටො-ඕස්ට්‍රොලොයිඩ් නැතහොත් වැද්ද්රෙයිඩ් යනුවෙන් නම් කොට ඇති ජාතියකට අයත් ජනයා සිටි බවට ලකුණු දක්නා ලදි. මොව්හු පැතළි නැහැයෙන්, තද දුඹුරු පැහැති සමින් හා බොකුටු හිසකෙසින් යුතු වුහ. මොවුන් වැඩි වශයෙන්ම අද දක්නා ලැබෙන්නේ හොද්රොමුට් බ්රාහුයිවරුන් අතරය.
මධ්‍ය ආසියාවෙන් ද යුරෝපාසන්න ආසියාතික ප්‍රදේශයට ජනසංක්‍රමණ සිදුවී ඇති බව පෙනේ. අවසාන සංක්‍රමණය වශයෙන් ගනු ලබන්නේ 11 වැනි ශත වර්ෂයේ දී තුර්කිවරුන් ඇනටෝලියාව ආක්‍රමණය කිරීමය. මෙම ජනයා මොංගොල් - මධ්‍යධරණී මිශ්‍ර ජන කොට්ඨාසයකි. මොහු අද දක්වාත් ඉරානයේ හා තුර්කියේ සංචාරක ජනයා අතර දක්නා ලැබෙත්. තුර්කියේ පදිංචි වූවෝ මධ්‍යධරණී හා ඇල්පයින් ජාතින් හා මිශ්‍ර වූහ.
මෙම ප්‍රදේශයේ මානව වංශ විද්‍යාත්මක රටාව අතිශයින් ව්‍යාකූලද සංකීර්ණ ද වූවකි. මීට හේතුව මෙහි ජනගහනයෙන් කොටසක් සංචාරකයන් වීමත් ආගමික අරගළ නිසා ජාතීන් සංක්‍රමණය වීමත් පිටුවහල් කරනු ලැබීමත්ය. ඔටෝමන් අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසු ජාතික රාජ්‍ය බිහි වූයෙන් ඒ කාලයේ දී විසිර සිටි ජාතීහු එක්වන්ට ද පටන් ගත්හ. මේ අනුව ඇනටෝලියන් ග්රීක්වරු ත්‍රෙස් දේශයට ද ආර්මිනියන්වරු රුසියන් ආර්මීනියා දේශයට ද යුදෙව් ගෝත්‍ර ඊශ්රායෙලයට ද එක් වූහ.
ඉන්දියාව : ලංකාවේ වැද්දන්ටත් සුමාත්‍රාවේ ආදි වාසීන්ටත් සමානකම් දක්වූ ප්රාකෘත නෙග්රොයිඩ් මනුෂ්‍ය වර්ගයක් ඉන්දියාවේ ආදි වාසීන් වූ බවත් කලකට පසුව බලුකිස්ථානය හරහා ද්‍රවිඩ ජනයා ඉන්දියාවට සංක්‍රමණය වූ බවත් සමහරු පවසත්. ඊශාන දෙසින් මොංගොල් ජනයා ද පූර්ව ඉතිහාස යුගයක දී ඉන්දියාවට සංක්‍රමණය වූ හයි කියත්. පසු කාලයේ දී ආර්‍ය්‍ය ජනයා ද ඉන්දියාවට සංක්‍රමණය වුල. මෙසේ විවිධ වර්ගවල සම්මිශ්‍රණයක් සේ සැලකිය හැකි ඉන්දියාවේ ජනයා කොටස් හතකට බෙදිය හැකැයි රිස්ලි කල්පනා කරයි : (1) වනගතව ද කඳුකරවල ද වසන සන්තල්, හිල්, කුරුම්බා ආදි ගෝත්‍ර නිදසුන් කොට දැක්විය හැකි ප්රාකෘතික ප්රාග් ද්‍රවිඩ ජනයා. (2) ගංගා නම් ගඟේ මිටියාවත දක්වා, දකුණුදිග අර්ධද්වීපය පුරාම පැතිර සිටින ද්‍රවිඩ ජනතාව. (3) රාජස්ථානයේ හා පන්ජාබයේ ඉන්දු-ආර්යය ජනයා. (4) ආර්යය - ද්‍රවිඩ හෙවත් හින්දුස්ථානි ජනතාව; ගංගා මිටියාවතේ වසන මොව්හු ඉන්දු ආර්යය - ද්‍රවිඩ මිශ්‍රණයක් සේ සැලකෙති. ( 5 ) සයිතෝ - ද්‍රවිඩ වර්ගය; ඉන්දු ගඟේ සිට ගුජරාටය හා බටහිර බොම්බාය හරහා නැගෙනහිරට විහිදෙන මොවුනට ප්‍රධාන වශයෙන් නිදසුන්කොට දැක්විය හැක්කේ මරාඨයන්ය. (6) චීනයෙන් හා තිබ්බතයෙන් පැමිණි මොංගොලොයිඩ් වර්ගය ; මොවුන් බොහෝ කොට දක්නා ලැබෙන්නේ ඇසෑමයේ සහ නැගෙනහිර හිමාල කඳු පාමුලය. (7) මොංගොලො - ද්‍රවිඩ වර්ගය; මෙම මිශ්‍රණයෙහි උසස් කොට්ඨාස ආර්යයන් සමග ද මිශ්‍ර වූවෝය. බෙංගාල වැසියා ඊට නිදසුනි.
මොහෙන්ජොදාරෝහි ඇටසැකිලිවලින් දැක්වෙන දිගු හිසින් යුත් ජනයා මධ්‍යධරණී කොටසට අයත් විය හැකි යයි සර් ජෝන් මාෂල් අදහස් කරයි. ඉන්දියාවේ ප්රාකෘතික ජනයා ලෙස හැඳින්විය හැකි අයගේ ඇටසැකිලි ද සම්බ වී තිබේ. අන්දමන් දූපතේ වසන නෙග්රිටෝ වර්ගයට අයත් ජනයාට සමාන අය දුරාතීතයේ ඉන්දියාවේ විසූහයි සිතිය හැකිය. මෙවැනි ජනයා සිටි බවට සාක්ෂි පැරණි භාරතීය සාහිත්‍යයෙන් ද ලද හැකිය. මිටි, තරමක් දිගු හිසින් ද පුළුල් නැහැයෙන් ද තද දුඹුරු පැහැයෙන් ද යුත්, බොකුටු හිසකේ ඇති ජනයා ඇතැම් පෙදෙස්හි බහුල වශයෙන් දක්නා ලැබෙන ජන කොට්ඨාසයකි. දකුණු ඉන්දියාවේ හා ජෝටානාග් පුරයේ වනගත ගෝත්‍ර හා බෙංගාලයේ හා උතුරු ඉන්දියාවේ පහත් කුලවලට අයත් අය නිදසුන් ය. මොවුන් මෙරට වැද්දන්ට ද මලයාවේ සකයි වරුන්ට ද ඕස්ට්රලොයිඩ් ජාතීන්ට ද සම්බන්ධයයි සිතිය හැකිය. දිගු හිසින් මධ්‍යම තරමේ නැහැයෙන්, තද දුඹුරු පැහැති සමින්, සිහින් දෙතොලින් හා බොකුටු හිසකෙසින් යුත් වර්ගයක් දකුණු හා බටහිර ඉන්දියාවේ දක්නා ලැබේ. මෙම වර්ගයා මධ්‍යධරණී වර්ගයාට සමාන ලක්ෂණ දරත්. බෙංගාලයේ උසස් කුල අතර ද මලබාරයේ නම්බුදිරි බ්‍රාහ්මණයන් අතර ද නායාර්, කූර්ග්, තෝඩා ආදීන් අතර ද මෙම ලක්ෂණ දක්නා ලැබේ. වටකුරු හිසින් යුත්, තරමක් උස, බොකුටු කෙසැති කොට්ඨාසයක් බටහිර කඳුකර පෙදෙස්වල හා බලුකිස්ථානයේ වෙයි. මොව්හු ඇල්පයින් වර්ගයට සමානකම් දක්වති. මධ්‍ය, උතුරු හා නැගෙනහිර බෙංගාලයේ බොහෝදෙනා අතර මොංගොල් ලක්ෂණ දක්නා ලැබේ. ආන්ධ්‍ර දේශයේ සවර ජනයා තුළ මොංගොල්වරුන්ගේ වැනි සිහින් ඇස් දක්නා ලැබේ. බී. ඇස්. ගුහා මහතා ඉන්දියානු ජනයා පහත සඳහන් අයුරු බෙදා දක්වා තිබේ :
2. අවශ්‍යයෙන් ම ඉන්දියානු වර්ගයා ලෙස ගුහා මහතා හඳුන්වන දිගු කුඩා හිසින් ද විශාල දිගු නැහැයෙන් ද යුත් වූ, කළු හිසකේ ඇති, සමින් දුඹුරු පැහැති, මිටි වර්ගය; තෙලඟු බ්‍රාහ්මණයා නිදසුන්ය. 2. හිසේ හැඩයෙන් පමණක් (1) න් වෙනස් වන වර්ගය. මොවුන්ගේ හිස පැතලිය; නාගර් බ්‍රාහ්මණයා නිදසුන්ය.
3. (1) ට හා (2) ට වඩා උස මහත, එතරම් දුඹුරු පැහැති නොවන, දිගු හිසින් ද දිගු මුහුණින් ද දිගු විශාල නැහැයෙන් ද යුත් වර්ගය; පඨාන් ජාතිකයා නිදසුන්ය. ආර්යය වර්ගයක් ලෙස හැඳින්විය හැකි මොව්හු සින්ඩ් හා ඇසෑම් අතර පෙදෙසේ වසති.
4. කුඩා පැතළි නැහැය, කෙටි පුළුල් මුහුණ. බොකුටු හිසකේ ආදිය නිසා නොවේ නම් (1) වර්ගයට සමාන වර්ගය;මොවුන් වැඩි වශයෙන් දක්නා ලැබෙන්නේ මධ්‍ය සහ දකුණු ඉන්දියාවේය. මොවුන් වැද්දන්ට හා මලයා අර්ධද්වීපයේ සකයිවරුන්ට සබඳකම් ඇත්තන් යයි කල්පනා කරනු ලැබේ. අයික්ස්ටෙඩ් මෙය වැදි වර්ගය යනුවෙන් හැඳින් විය.
5. (4) වර්ගයේ ලක්ෂණ දරන ඊට කුඩා වර්ගයක්; දකුණු ඉන්දියාවේ කදාර් හා පුල්ලයන් ජනයා මොවුන්ට නිදසුන්ය.
6. වටකුරු හිසැති මොංගොලොයිඩ් වර්ගයක්; මොව්හු කාශ්මීරය හා ඇසෑම් ප්‍රදේශය අතර හිමාලය කඳු වැටිය පාමුල ප්‍රදේශයේ භූතාන්වරුය.
7. (6) වැනි ම දිගු හිසැති වර්ගයක්. (6) අයට වඩා විශාල නැහැයෙන් යුක්තය; අන්ගම් නාග ජනයා නිදසුන්ය.
මේ අයුරු විවිධ බෙදීම් ඇති වුව ද අනිකුත් බොහෝ රටවල මෙන් ම ශතවර්ෂාධික කාලයක් තිස්සේ මිශ්‍ර වුණු ජනතාවක් ඉන්දියාවෙහි ද දක්නා ලැබෙන බව සිත තබාගත යුත්තකි. ආර්යය, ද්‍රවිඩ ආදි ශබ්දයන්ගෙන් ඒ ඒ මනුෂ්‍ය වර්ගයන් කථා කරන භාෂාවන්ගේ ලක්ෂණ හා සම්බන්ධකම් මිස එම ජාතීන් පිළිබඳ අන් කිසිවක් කියැවේ යයි සිතිය නොහේ.
(ලාංකික ජනතාව පිළිබඳ තොරතුරු “ලංකාව” යටතේ දැක්වේ.)
ආසියානු කලා ශිල්ප: දීර්ඝ ඉතිහාසයක් ඇත්තා වූත් විවිධ සංස්කෘතීන් රාශියක වාස භූමිය වූත් ආසියාව වැනි විශාල මහාද්වීපයක කලා ශිල්ප හා සභ්‍යත්වයන් පොදුවේ හැඳින්වීම දුෂ්කර හෙයින් මෙම ලිපියෙන් කෙරෙන්නේ ආසියාවේ ප්‍රධාන සංස්කෘතික ප්‍රදේශ සම්බන්ධයෙන් කරුණු ස්වල්පයක් දළ වශයෙන් දැක්වීම පමණකි. ඒ ඒ රටවල හා ප්‍රදේශයන්හි කලා ශිල්ප පිළිබඳ විස්තර ඒ ඒ රටවල් හා ප්‍රදේශ පිළිබඳව සැපයෙන ලිපි යටතෙහි දැක්වේ.
ඉන්දියාව, පකිස්ථානය හා ලංකාව යන රටවල් තුන එකම සංස්කෘතික ප්‍රදේශයක් ලෙස ගිණිය හැක. හින්දු- බෞද්ධ සංස්කෘතියෙහි කේන්ද්‍රස්ථානය වන ඉන්දියාව සකල ආසියාවට ම සංස්කෘතික තරංග විහිද වූ මධ්‍යස්ථානයක් විය. මොහෙන්ජොදාරෝ - හරප්පා (ක්‍රි.පූ. 3000 –2000) යුගයෙන් පටන් ගෙන බටහිර නාවිකයන්ගේ ආගමනය තෙක් හින්දු, බෞද්ධ, ජෛන හා මුස්ලිම් ආගම් යටතේ ඉන්දියාවෙහි මහත් වූත් අඛණ්ඩ වූත් කලා පරිණාමයක් පැවැත්තේය. අජන්තා, ඔරිස්සා ආදි ගුහාවල ඇති චිත්‍ර හා කැටයම්, ග්‍රීක මූර්ති කලාව හා සංකලනයෙන් බිහි වූ ගන්ධාර කලාව, භාරතීය කලා ශිල්පයන්ගේ ස්වර්ණමය යුගය සේ ගැනෙන ගුප්ත යුගයේ කලාව, අයිහෝළේ, බාදාමි යනාදි ස්ථානයන්ගෙන් දැක්වෙන චාලුක්‍ය කලා සම්ප්රදාය, ද්‍රවිඩ රජුන් යටතේ බිහිවුණු පල්ලව කලා සම්ප්රදාය, ඛජුරාහෝ, රාජපුතානා, ගුජරාට්, ඩෙකාන්, ග්වලියෝර් යනාදි ස්ථානයන්ගෙන් දැක්වෙන ඉන්දු - ආර්යය කැටයම් ශිල්පය හා මුස්ලිම් රජවරුන් යටතේ බිහි වූ මෝගල් සම්ප්රදාය ඉන්දියානු කලා ඉතිහාසයේ ප්‍රධාන අංග සමහරකි. පකිස්ථානය සහ ලංකාව කලා ශිල්ප හා සභ්‍යත්වය අතින් ඉන්දියාවේ බලපෑම්වලට කෙතරම් අසු වූයේ ද යත් එම දෙරට සංස්කෘතිය අතින් ඉන්දියාවේ ම කොටසක් වශයෙන් සැලකීම නිවරදය.
චීන සංස්කෘතික ප්‍රදේශය වශයෙන් ප්‍රධාන කොට චීනය, ජපානය, කොරියාව හා ෆෝර්මෝසාව ගිණිය හැක. ටිබැට් රට හා වෙනත් ආසියාතික රටවල් ගණනාවක් ද චීනයේ බලපෑමට හසු විය. චීනය ද ඉන්දියාව මෙන් ම ආසියාවේ ප්‍රධානතම සංස්කෘතික මධ්‍යස්ථානයකි. එහෙත් චීනයට පවා බුදු පිළිමය හා ස්තූපය ලැබුණේ ඉන්දියාවෙනැයි පිළිගනු ලැබේ.
තෑං (618-906), (960-1297), යු-අං මි (1368–1643) ආදි රාජ පරම්පරාවන් යටතේ චීනයේ ගෘහනිර්මාණ හා කැටයම් ශිල්ප දියුණුවට පත්විය. ලීයෙන් තනන ලද මැදුරු අතුරින් පැරණි ම ඒවා ලෙස සැලකෙන පීකිං නුවර අසල මිං රජ දරුවන්ගේ සොහොන් හා ජපානයේ හෝර්යුජි විහාරය වැනි නිදසුන් වලින් දැක්වෙන ශිල්ප ක්‍රමය, චිරාගත චිත්‍ර හා චීන සුලේඛන කලාව විදහා පායි. බොදු සමය එහි මුල් බැසගැනීමත් සමග අමුතු පරමාර්ථ හා අමුතු මාර්ගයන් දක්වමින් චීන සංස්කෘතිය වර්ධනය විය.
ඉන්දු චීනය, බුරුමය ලාඕස්, වියෙට්නාම්, සියම, ඉන්දුනීසියාව ආදි රටවලින් සැදි අග්නිදිග ආසියා ප්‍රදේශයේ දක්නා ලැබෙන්නේ හින්දු - බෞද්ධ සංස්කෘතියක දේශීය රටාවන්ය. ඉන්දියාවේ හා චීනයේ බලපෑම්වල මිශ්‍රණයක් ඒවාහි දක්නට ලැබේ.
ලෝකයේ පැරණි ම ශිෂ්ටාචාරයක් වන බැබිලෝනියානු ශිෂ්ටාචාරයට නිජබිම වූයේ ආසියාවේ නිරිත දිග පෙදෙසයි. ක්‍රිස්තියානි හා ඉස්ලාම් යන ආගම් දෙක පහළ වූ ප්‍රදේශය මෙය වුව ද එම ආගම් සෙවණේ වැඩුණු කලාව සම්බන්ධයෙන් වැදගත්ම රටවල් මෙම ප්‍රදේශයට අයත් නොවේ. මෙසොපොටේමියා, ඇනටෝලියා, සිරියා යන බටහිර ආසියාතික රටවල් අතුරින් ප්‍රධාන කලා මධ්‍යස්ථානය පිහිටියේ මෙසොපොටේමියාවේයි. සුළු ආසියාව මුලින් ඇනටෝලියානු සංස්කෘතියේ බලපෑමට යටත්ව තිබුණ ද පසු කාලයේ දී බටහිර බලපෑම්වලට හසුවිණි.
ප්‍රධාන සංස්කෘතික බලවේගයන්ගෙන් වටව පිහිටි මධ්‍ය ආසියාවේ සංස්කෘතිය, ඉන්දියානු චීන, ග්‍රීක, රෝමන්, පර්සියන් ආදි එම බලවේගයන්ගේ බලපෑම්වල සංකලනයකි. මෙම ප්‍රදේශය බෞද්ධ කලා කෘතීන්ගේ නෂ්ටාවශේෂවලින් ගහනය.
[ආසියාවේ විවිධ රටවල්, ප්‍රදේශ, නගර, කඳු, ගංගා, විවිධ රජවරුන්, අධිරාජ්‍ය, දේශපාලන නායකයන් හා ඓතිහාසික පුද්ගලයන් පිළිබඳ ශීර්ෂපාඨ යටතේ එන ලිපි ද බලන්න.]
(සංස්කරණය: 1965)