ඉල්මනයිට්
(Ilmenite). මේ ඛනිජය හෙමටයිට් කාණ්ඩයට අයත් වූවකි. රසායනික ලෙස එය අයන් (යකඩ) ටයිටනේට්ය. එහි සංයුතිය තරමක් වෙනස්වනසුලුය. රසායන සූත්‍රය ආසන්න වශයෙන් Fe Ti O3 වේ. දැඩිබව = 5.5-6; විශිෂ්ට ගුරුත්වය = 4.7. ලෝහමය ප්රභාවකින් යුත් එය තද කළු පාටය. ඉල්මනයිට් පෙනුමෙන් මැග්නටයිට්වලට (බ.) තරමක් සමානය. එහෙත් ඉල්මනයිට්වල දුර්වල චුම්බක ලක්ෂණ කරණකොටගෙන එය මැග්නටයිට්වලින් පහසුවෙන් තෝරාබේරාගත හැකිය.
ඉල්මනයිට් වූකලි ආග්නේය පාෂාණවල තිබෙන අතිරේක ඛනිජයකි. ඇතැම් භාස්මික පාෂාණවල මැග්මීය (magmatic) වෙන්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ ඛනිජය විශාල පිණ්ඩ ලෙස දක්නට ලැබේ. ඒවායේ ඉල්මනයිට් මැග්නටයිට් සමග ඉතා කිට්ටු ලෙස ආශ්රිත වී තිබිය හැකිය. ඉල්මනයිට් ෂට්පාදක මඩුල්ලට (hexagonal system) අනුරූපව ස්ඵටිකීකරණය වේ. රුසියාවේ ඉල්මන් කඳුකරයේ එය ස්ඵටික වශයෙන් දක්නට ලැබේ. නෝර්වේ රටේ ක්රාගෙර ප්‍රදේශයෙහි ද ක්විබෙක්හි ඇලාඩ් විලෙහි ද ඇඩිරොන්ඩැක් සහ නිව් යෝක්හි ටහුස් යන එක්සත් ජනපද ප්‍රදේශවල ද ඉල්මනයිට් බහුලය. ලංකාවේ මුහුදු වෙරළේ තිබෙන කළුවැලිවල ද මේ ඛනිජය බහුල වශයෙන් දක්නට ලැබේ.
ඉල්මනයිට් ප්‍රධාන කොට ම තිබෙන්නේ ග්රැනිට් පාෂාණ, නයිස් පාෂාණ හා කැටි ගැසුණු ක්වෝට්ස් පාෂාණ යන මේවායේය. කණිකා වශයෙනුත් තලාකාර තහඩු වශයෙනුත් ග්රැනියුලයිට්, චාර්නොකයිට් හා ස්ඵටික හුනුගල් යන මේවායේ ද විශාල පිණ්ඩ වශයෙන් බොහෝ ප්‍රදේශවල ක්වෝට්ස් ඉල්ලම්වල ද ඉල්මනයිට් දක්නට ලැබේ. මේ පාෂාණවල වායුගෝලීය ජීරණය කරණකොටගෙන ඉල්මනයිට් මුදාහරිනු ලැබ එහි කණිකා ගංගාවන්ගේ පත්ලෙහි එක්රැස් වේ. පසුව ගංගා ප්රවාහයෙන් මේ ඛනිජය මුහුදට ගෙන යනු ලැබේ. වියෝජනයට තද ප්‍රතිරෝධයක් දක්වන හෙයින් ඉල්මනයිට්වල කිසියම් වෙනස් වීමක් ඇති නොවේ. මේ ආකාරයට සෝදාගෙන යනු ලබන ඉල්මනයිට් ගංගා මෝයවල හා මුහුදු වෙරළෙහි පැතිර පවත්නා විශාල ප්‍රදේශවල ද තැන්පත් වේ. මෙසේ තැන්පත් වූ තැන් ලංකාවේ ත්‍රිකුණාමලයට උතුරෙන් පිහිටි පුල්මොඩෙයිහි ද මඩකලපුවට දකුණින් පිහිටි තිරුකෝවිල්හි ද දක්නට ලැබේ. පුල්මොඩෙයි වෙරළේ තිබෙන කළුවැලිවල ශුද්ධ ඉල්මනයිට් ටොන් 40 ලක්ෂයක් පමණ ද තිරුකෝවිල් වෙරළේ කළුවැලිවල ටොන් 10 ලක්ෂයක් පමණ ද ඇතැයි නිර්ණය කොට තිබේ. ලංකාවේ බටහිර වෙරළේ තිබෙන ඉල්මනයිට් ප්‍රමාණය ද මීට අඩු නොවේ. එහෙත් බටහිර වෙරළේ ඇති දියවැල් හා රැළි නිසා එහි නැගෙනහිර වෙරළේ මෙන් ඉල්මනයිට් මැනවින් තේරී වෙන් නොවේ. කළුගඟ, කැලණිගඟ හා මෝදරගම් ආරු යන ගංගාවන්ගේ මෝයවල තිබෙන දූපත්වල හා වැලි කඳුවල සැලකිය යුතු ප්‍රමාණයක් ඉල්මනයිට් තිබේ. නිරිත දිග වෙරළේ ද ඉල්මනයිට් පැතිරි ඇත. ඉල්මනයිට් සමග රූටයිල්, ස'කොන්, ගාර්නට්, මොනසයිට් හා මැග්නටයිට් යන ඛනිජ වර්ග ද මේ කළුවැලිවල දක්නට ලැබේ. මේ ඛනිජ සියල්ලෙහි ම විශිෂ්ට ගුරුත්වයේ ප්‍රමාණය 4 සිට 5 දක්වා වේ. එබැවින් සාමාන්‍ය ගුරුත්වාකර්ෂණ හා යාන්ත්‍ර ක්‍රම මගින් මේවා වෙන් කිරීම දුෂ්කරය. වෙන් කිරීම සඳහා යෙදිය හැකි අඩු වියදම් සහිත එක ම පහසු ක්‍රමය විද්‍යුත්-චුම්බක ක්‍රමය වේ. පුල්මොඩෙයි වෙරළේ කළුවැලිවලින් ලබාගත් ශුද්ධ කළ ඉල්මනයිට් සැම්පලයක විශ්ලේෂණය මෙසේය:
- TiO2=53.60%
- FeO=20.45%
- SiO2=0.51%
- Fe2O3=21.77%
- Al2O3=0.57%
- MnO=0.94%
- TiO2=53.60%
MgO=1.38%
ZrO2=0.19%
Cr2O3=0.09%
P=0.03%
S=0.02%
ජ්වලනයෙන් හානිය =0.45%
කාර්මික ව්‍යාපාරවල ඉල්මනයිට් උපයෝගී කොට ගන්නේ ටයිටේනියම් ඩයොක්සයිඩ් (TiO2) ලබාගන්නා මාර්ගයක් වශයෙනි. ටයිටේනියම් ඩයොක්සයිඩ්වලින් වඩා හොඳ සායම් වර්ග, ඉනැමල් හා වාර්නිස් නිෂ්පාදනය කරනු ලැබේ. ටයිටේනියම්-වානේ (titanium-steel) නිෂ්පාදනය කිරීමටත් ඉල්මනයිට් යොදනු ලැබේ.
දෙවැනි ලෝක සංග්‍රාමයට කලින් ඉල්මනයිට් විශාල ප්‍රමාණයක් ඉන්දියාවේ ට්රැවන්කෝර් ප්‍රදේශයෙන් හා එක්සත් ජනපදයෙන් ජර්මනියට යවන ලදි. පරිස්සම් සහිතව, චුම්බක භේදනයෙන් ලංකා ඉල්මනයිට් වෙන් කොටගත් විට එකටෙක ගැටෙන වෙනත් රසායනික හා ඛනිජ ද්‍රව්‍යවලින් එය තොරය. එබැවින් සායම් කර්මාන්තයට ඉතා යෝග්‍ය වූ ශුද්ධ ටයිටේනියම් ඩයොක්සයිඩ් නිෂ්පාදනය කිරීම ලංකාවට ලාභදායක විය හැකිය. ඉල්මනයිට්වලින් ප්‍රයෝජන ගැනීම සඳහා ලංකා ඛනිජ වැලි සංස්ථාව 1957 දෙසැම්බර් මාසයේ දී පිහිටුවන ලදි. මේ සංස්ථාවේ පළමුවැනි අරමුණ වූයේ වෙරළේ කළුවැලි ශුද්ධ කොට එයින් ලැබෙන ඉල්මනයිට් පිටරට යැවීමයි. මේ සංස්ථාවේ යෝජනා ක්‍රමයට අනුව අවුරුද්දකට ඉල්මනයිට් ටොන් 60,000ක් පමණ නිපදවීමට පුළුවන. ලෝකයේ වෙනත් ප්‍රදේශවල විශාල ඉල්මනයිට් නිධි අලුතෙන් සොයාගැනීම නිසා ඉල්මනයිට්වල වටිනාකම අඩු වූ බැවින් ලෝක වෙළෙඳපොළට ඇතුළු වීමට ලංකාවට නුපුළුවන් විය. දැන් ලංකාවෙන් ඉල්මනයිට් ජපානයට යවනු ලැබේ. එහෙත් ඒ රටට යවනු ලබන ඉල්මනයිට් ප්‍රමාණය ලංකා ඛනිජ වැලි සංස්ථාවට නිපදවිය හැකි ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩුය.
(සංස්කරණය: 1970)