ඇත්දත් කර්මාන්තය

සිංහල විශ්වකෝෂය වෙතින්
13:00, 3 දෙසැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඇත්දත් උපයෝගී කොටගෙන කරනු ලබන කැටයම් පිළිබඳ උරුමය පෙරදිගට හෝ අපරදිගට පමණක් වත් එක ජාතියකට හෝ ජාතීන් කීපයකට පමණක්වත් සීමා වූවක් නොවේ. ඇතුන් ඇති රටවල මෙන් ම නැති රටවලත් පෞරාණික වූත් නවීන වූත් ඇත්දළ කැටයම් දක්නට ලැබේ. එය ම එහි සාර්වභෞමත්වයට නිදසුනකි.

ඇත් දළ

ශ්‍රෙෂ්ඨත්වය, සෞභාග්‍යය සහ මහේශාඛ්‍යත්වය නිරූපණය විය යුතු අවස්ථාවන්හි ඒ සඳහා ඇත්දළ උපයෝගී කොටගැන්ම සිංහල සංස්කෘතියේ අංගයකි. මහනුවර දළදා මන්දිරයේ දළදාවහන්සේ වැඩ සිටින ගඳකිළිය පිහිටි උඩුමහලට නැඟෙන පියගැට පෙළ දෙපස විශාල ඇත්දළ යුවළක් තබා ඇත. දළදා ප්‍රදර්ශන අවස්ථාවන්හි ප්‍රදර්ශන මණ්ඩපයේ සතර කොනේ මෙන් ම ආසනය සතර කොනේ ද විසිතුරු කැටයමින් සැරසූ විලිවල සවි කළ අලංකාර දිග සුදු ඇත්දළ තබති. මඟුල් මඩුවේ හෝ පත්තිරිප්පුවේ පැවැත්වෙන රාජකීය උත්සවයන් සඳහා කරනු ලබන සැරසිලි අතර ඇත්දළයට හිමි වන්නේ උසස් තැනකි. සැරසිල්ලක් වශයෙන් ගෙවල ද ඇත්දත් තබනු ලැබේ. මඟුල් පෝරු දෙපස මෙන් ම සමාජයේ යම්කිසි විශේෂ තත්වයක් ඇතිව සිටි කෙනකුන්ගේ මෘතදේහය දෙපස ද ඇත්දත් තබන්නේ ඉහතකී පරමාර්ථයන් පෙරදැරි කරගෙන විය යුතුයි.

ලංකාවේ බොහෝ පැරණි විහාරස්ථානයන්හිත් දේවාලයන්හිත් ඇතැම් පරම්පරාගත නිවෙස්හිත් ඇත්දත් සුරක්ෂිතව තබාගෙන ඇත. මේවා අතර ඓතිහාසික වටිනාකමින් යුත් දළ ජෝඩු කීපයක් වෙයි. පොල්ගහවෙල අසල වට්ටාරම රජමහා විහාරයේ විශාල දළ යුවළක් තිබේ. මූකිරිගල විහාරයේ ද මාතර හිත්තැටියේ රජමහා විහාරයේ ද ලංකාතිලක විහාරයේ ද දොඩම්වෙල දේවාලයේ ද පුරාණ තොටගමු රත්පත් විහාරයේ ද තුඟු මහත් අගනා ඇත්දත් ජෝඩු දක්නට ලැබේ. ආඬින් විසින් කීර්ති ශ්‍රී රාජසිංහ මහරජුට පරිත්‍යාග කරන ලදැයි කියන ඇත්දත් ජෝඩුවක් රත්නපුරය අසල පැල්මඩුල්ලේ පුරාණ විහාරස්ථානයේ වෙයි. රිදී අකුරෙන් ලියවිල්ලක් ඔබ්බන ලද විශාල ඇත් දත් දෙකක් බදුල්ලේ විහාරයක දක්නට ලැබේ.

කැටයම් මාධ්‍යයක් ලෙස ඇත්දත් තෝරාගෙන ඇත්තේ එහි විද්‍යමාන විශේෂ ගුණ කීපයක් නිසාය. එනම් පහසුවෙන් ලබාගත හැකි දිස්නයකින් යුක්ත වීම ද ආයුධවලින් කළ යුතු වැඩට දක්වන කර්මණ්‍ය ස්වභාවය ද ඍතු විපර්යාස, ශීතෝෂ්ණ, කාලාතික්‍රමණ ආදි හේතූන් නිසා අනික් බොහෝ ද්‍රව්‍යයන්හි ඇතිවන තරම් ඉරිතැළීම්, පිපිරීම් ආදි පළුදු ඇති නොවීම ද දිරායෑම්, මල බැඳීම් ආදි ස්වාභාවික හානි විරහිතව බොහෝ කල් පැවතීම ද දුර්ලභ ද්‍රව්‍යයක් වීම ද යනාදියයි.

ඇත්දතේ පිටපැත්ත ස්වභාවයෙන් ම කාන්තිමත් ඔපයකින් යුක්තය. අඟල් 1/16 පටන් 1/8 දක්වා වූ ඝනත්වය ඇති වැස්මකින් දළය සම්පුර්ණයෙන් ම වැසී තිබේ. කර්මාන්ත සඳහා ගන්නා විට මේ වැස්ම ඉවත් කරනු ලැබේ. දන්ත මජ්ජාව හෙවත් දළමදය සෑදී තිබෙන ද්‍රව්‍යයේ ඉතා සියුම් සිදුරු මහත් රැසකි. මේ සිදුරුවල කිසියම් ද්‍රව විශේෂයක් රැඳී පවතී. ඇත්දත කැටයමට සුදුසු වන්නේත් ඊට ම ආවේණික වූ කමනීය ඔපය ගෙන දෙන්නේත් මේ ඉටි ගතිය ඇති ද්‍රවය කරණ කොටගෙනය. වර්ෂ දහස් ගණන් ඉක්මයෑමෙන් මේ ද්‍රවය වියළී ඉරිතැළීම් ඇති වුව ද ඇත්දතේ ඔපයට හෝ රමණීය ස්වභාවයට හානියක් නොවන්නේය. ගල්, ලෝහ ආදි ද්‍රව්‍යවල මතුපිට මෙන් ඇත්දතේ මතුපිට ගොරෝසු වන්නේ වත් ගෙවී යන්නේ වත් නැත. ලෝකයේ නොයෙක් තැනින් සොයා ගෙන තිබෙන ඇත්දත් කැටයම් ඒවා නිර්මාණය කළ ශිල්පීන්ගේ අතින් ගිළිහුණු හැටියේ ම මෙන් අලුත් ගතියෙන් පවත්නේ මේ නිසාය.

මේ හැර හිපොපොටේමස් ආදී සතුන්ගේ දළවලින් පමණක් නොව වෙනත් නොයෙක් සතුන්ගේ ඇට වර්ග, ශාක වර්ග හා කෘත්‍රිම ද්‍රව්‍ය ආදියෙන් ද දළකඩ කර්මාන්ත කරනු ලැබේ.

(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර)

ඇත්දත් කර්මාන්තයේ ඉතිහාසය

ඇත්දත් කැටයම් කලාව මනුෂ්‍ය ශිෂ්ටාචාරයට ද වඩා පැරණි යයි කිව හැකිය. ඇතුන්ගේත් දැනට නෂ්ටප්‍රායව ඇති මැමත් නම් ආදිකල්පික ඇති වර්ගයාගේත් දත්වලින් නිමවන ලද භාණ්ඩ රාශියක් යුරෝපයේ හා ආසියාවේ ගුහාවලින් සොයා ගන්නා ලද ඉහළ පුරාශිලා සමයට අයත් නෂ්ටාවශේෂ අතර වෙයි. එකල විසූ ප්‍රාකෘතික ජනයා පවා ඇත්දත් කැටයම් ශිල්පක්‍රමයෙහි සෑහෙන තරම් පුහුණුවක් ඇතිව සිටි බව පෙනේ. සසින ලද ඇත්දත් කැබැල්ලක මතුපිට මනුෂ්‍ය හා සත්ව රූප කුරුටුගෑම හෝ කැපීම පමණක් නොව ඇත්දතින් අල්පෝන්නත රූප හා පූර්ණමූර්ති නෙළීම ද ඔව්හු දැන සිටියහ. ඉහළ පුරාශිලා සමයට අයත් ඇත්දත් කැටයම් අතුරෙන් ප්‍රංසයේ ලාංද් පළාතේ ග්‍රොට් දු පාප් නම් ස්ථානයෙන් සොයාගෙන ඇති කුඩා ස්ත්‍රී හිස උසස් කලාත්මක අගයකින් යුත් කැටයමකි.

මානව සභ්‍යත්වය ආරම්භ වූ මුල් බිම් වශයෙන් සලකනු ලබන මිසරයේ නයිල් ගංගා නිම්නයේත් ඉරාකයේ යුප්‍රටීස් හා ටයිග්‍රීස් නදීන් අතර පිහිටි භූමි භාගයේත් ඉන්දියාවේ සින්ධු නදී මිටියාවත ඇසුරු කළ මොහෙන්ජොදාරෝ හා හරප්පා යන නටබුන් නගර දෙකේත් චීනයේ හ්වාංහෝ ගංගා ද්‍රෝණියේත් කර ඇති පුරාවිද්‍යා පරීක්ෂණ කරණ කොට ගෙන ප්‍රාග්-ඓතිහාසික අවධිවලට අයත් ඇත්දත් කැටයම් රාශියක් හමු වී ඇත්තේය. කැටයම් කළ ඇත්දත් පණා, කොංඩ කටු ආදී විවිධ භාණ්ඩත් නග්න ස්ත්‍රීරූප හා වෙනත් ස්ත්‍රීපුරුෂ රූපත් පුරාණ මිසරයෙන් සොයාගෙන තිබේ. අල්පෝන්නත රූප සහිත ඇත්දත් පනේල කැටයම් කිරීම පටන්ගන්නා ලද්දේ ද මිසරයේයි. බැබිලෝනියාවේ නිම්රූඩ් (පුරාණ කාලාක්) නම් ස්ථානයෙන් සොයා ගන්නා ලද ක්‍රි.පූ. 9-7 ශතවර්ෂවලට අයත් විශිෂ්ට ඇත්දත් කැටයම් රාශියක් වෙයි. ඉන් බොහොමයකින් මිසරයෙන් ලැබුණු බලවත් ආභාසයක් හෙළි වෙයි. පිනීසියන්වරු ඇත්දත් කැටයම් කිරීම කර්මාන්තයක් වශයෙන් දියුණු කළහ. රන් හා මැණික් ඔබ්බා ඇත්දත් කැටයම් අලංකාර කිරීම ඔවුන් විසින් බිහි කරන ලද්දකැයි සලකනු ලැබේ.

3-84.jpg

යුරෝපය

ඊජියන් මුහුදෙහි පිහිටි දිවයින්වල පැවැති ප්‍රාග්-ග්‍රීක ශිෂ්ටාචාරයට අයත් ඇත්දත් කැටයම් රාශියක් සොයාගනු ලැබ ඇත්තේය. ඒවා අතුරෙන් ක්‍රීට් දිවයිනේ නොසස් නම් ස්ථානයෙන් සොයාගෙන ඇති මිනෝවන් ශිෂ්ටාචාරයට අයත් ඇත්දතින් හා රනින් කරන ලද සුප්‍රසිද්ධ ‘නාග දේවතා’ රූපය (ක්‍රි.පූ. 16 වන සියවස) අතිවිශිෂ්ට මූර්තියකි. ෆීඩියස් හා වෙනත් ග්‍රීක මූර්ති ශිල්පීන් විසින් ග්‍රීක දෙවිවරුන්ගේ විශාල ස්වර්ණ-දන්තීය මූර්ති නිමවන ලදැයි ග්‍රීක පොතපතෙහි සඳහන් වෙයි. ඒවායේ මුහුණු හා අත් පා ඇත්දත්වලින් ද ඉතිරි කොටස් රනින් ද නිමවා තිබුණු බව කියැවේ. මිසර, පිනීසියන් හා ග්‍රීක ඇත්දත් කැටයම් ශිල්පක්‍රම කල්යාමේ දී රෝම හා බයිසන්ටයින් අධිරාජ්‍යවලට ලැබුණේය. ඇත් දතෙහි ඇති ආවේණික ලක්ෂණ ඉල්පී පෙනෙන පරිද්දෙන් කැටයම් කිරීම පසු කාලයේ මේ රාජ්‍යවල දී දියුණුවට පැමිණි සම්ප්‍රදායකි. 7-10 දක්වා වූ සියවස්වලට අයත් බයිසන්ටයින් ඇත්දත් කැටයම් ඉතා දුර්ලභය. මේ කාලය තුළ නිමවන ලද ඇත්දත් කැටයම් බොහොමයක් ප්‍රතිමාසංහාරක යුගයේ දී විනාශ කරන ලදැයි සිතිය හැකිය. එහෙත් ඉන් අනතුරු කාලපරිච්ඡේදය තුළ දී ඉන් පෙර හෝ පසුව ඇති නොවූවිරූ පරිණත කලා සම්ප්‍රදායයක් බිහි විය. බයිසන්ටයින් කලාවේ ස්වර්ණමය යුගය වශයෙන් හැඳින්වෙන මේ අවධියේ දී අතිවිශිෂ්ට ඇත්දත් කැටයම් රාශියක් නිමවන ලදි. මේ කැටයම්වලින් වැඩි කොටසක් ත්‍රිපත්‍රාකාරයෙන් එක් කරන ලද පනේලවල නිමවා ඇත. කලාතුරකින් පූර්ණමූර්ති ද මේවා අතර දක්නට ලැබේ.

මුළුමනින් ම අලුත් ශෛලියකින් කරන ලද ඇත්දත් කැටයම් සම්ප්‍රදායක් 13 වන සියවසේ අවසාන භාගයේ දී ප්‍රංසයේ පැරිස් නගරයේ බිහි විය. මේ සම්ප්‍රදාය සාමාන්‍යයෙන් ‘ගොතික් සම්ප්‍රදාය’ යනුවෙන් හැඳින්වෙයි. මීට අයත් මුල් පූර්ණමූර්ති කැටයම් කිරීමෙහි ලා ශෛලමය මූර්තිවලින් ආදර්ශයක් ලැබුණේය. මුල දී මෙසේ නිමවන ලද කැටයම් ආගමික විෂයයන්ට සීමා විය. ඒවා අතර ‘දේව මෑණියන්ට ඔටුනු පැලඳ වීම’, ‘කුරුසයෙන් බෑම’ හා අල්තාර සැරසීමට කළ වෙනත් රූප ද වෙයි. පසුව ලෞකික වස්තූන් කැටයම් කොට තැනූ භාණ්ඩ අතර හෙප්පු, කැඩපත් කොපු, ලියන පුවරු හා පණා රාශියකි. සුප්‍රකට ප්‍රේම කථාවලින් හා රාජකීය පරිසරයෙන් ගත් දර්ශනවලින් ද වෙනත් ප්‍රේම ජවනිකාවලින් ද ඒවා අලංකාර කරන ලදි. ඒවායේ කැටයම් ශෛලිය ද ආගමික විෂයයන් සඳහා වූ ශෛලියට බෙහෙවින් සමානය. 15 වන සියවසේ අවසාන භාගයේ සිට මේ සම්ප්‍රදාය පිරිහෙන්නට වූයේය.

නූතන සමයේ ආරම්භයත් සමඟ අගනා පරිභෝග භාණ්ඩ තැනීමේ හා පැරණි විශාල මූර්තිවල කුඩා ආකෘති තැනීමේ මාධ්‍යයක් වශයෙන් උසස් කලාකරුවන්ගේ නිර්මාණ ශක්තියට වඩා දක්ෂ ශිල්පීන්ගේ නිපුණත්වය විදහා පෑම පිණිස ඇත්දත් යොදා ගන්නා ලදි. 17 වන සියවසේ අවසාන භාගයේ දී ඇත්දත්වලින් පුද්ගල ප්‍රතිරූප නෙළීම ජනප්‍රිය විය. මේ කාලයේ දී ලෞකික වූත් ආගමික වූත් දෑ නිරූපණය කැරුණු කැටයම්වලින් අලංකාර කොට ඇත්දත්වලින් දුම්කුඩු හෙප්පු, සුවඳ විලවුන් බෝතල ආදිය තනන ලදි. 18 වන සියවසේ අවසානයත් සමඟ ඒවා තැනීම ද අතුරුදහන් විය. 19 වන සියවසේ ආරම්භය හා සමඟ ඇත්දත් කැටයම් කලාව මුළුමනින් ම වාගේ අභාවයට ගියේය. 19 වන හා 20 වන සියවස් තුළ භක්ති විෂයයන් යොදා නිමවන ලද ඇත්දත් රූප කලාත්මක අගයෙන් හීනය.

මුස්ලිම් රටවල්

මුස්ලිම් රාජ්‍යවල විසූ කාර්මිකයෝ ඉස්ලාම් ආගමේ ආරම්භයේ සිට ම වාගේ ඇත්දත්වලින් පනේල, හෙප්පු ආදිය කැටයම් කළහ. ඔවුන් විසින් මේ සඳහා ඉස්ලාම් යුගයට පෙර සිට පැවති පරම්පරාගත ශිල්පක්‍රම උපයෝගී කර ගන්නා ලදි. මේ කැටයම්වලින් දැනට ඉතිරි වී ඇත්තේ කිහිපයකි. කුරුලු, සිවුපා ආදි රූපවලින් හා කලාතුරකින් මිනිස් රූපවලින් ගැවසුණු ලියවැල් රටා යොදා මේවා විසිතුරු ලෙස නිමවා ඇත. 11 වන සියවසෙහි කැටයම් කරන ලද පාතිමිද් අලංකාර ඵලක මේ සම්ප්‍රදායයට අයත් විශිෂ්ට කෘති වශයෙන් සලකනු ලැබේ. 16 වන සියවසින් පසු නිමවන ලද මුස්ලිම් ඇත්දත් කැටයම් කලාත්මක වටිනාකමින් හීනය.

චීනය

චීන ඉතිහාසයේ ආදි ම යුගයේ සිට ඇත්දත් කැටයම් කලාව එරට ව්‍යාප්තව පැවති බව පෙනේ. පුරාවිද්‍යා කැණීම් මඟින් සොයා ගන්නා ලද ෂාං යුගයට අයත් ඇත්දත් කැටයම් භාණ්ඩ අතර කුඩා අලංකාර ඵලක, කොංඩකටු, සොහොන් සැරසීමට කැටයම් කොට එබ්බූ ඇත්දත් කැබැලි ආදිය වෙයි. චෞ රාජවංශයේ (ක්‍රි.පූ. 1122-256) රජුන්ට ඇත්දත් කැටයමින් අලංකාර කරන ලද රථ තිබුණේය. මේ කාලය තුළ විසූ මෙං චාං-චුං (ක්‍රි.පූ. 279) නමැති රජයේ උසස් නිලධාරියකුගේ නිවසෙහි වූ අලංකාර භාණ්ඩ අතර ඇත්දත් කැටයම් කළ ඇඳක් විය. චෞ රාජසභාවේ උසස් නිලධාරීන්ගේ මුළු ඇඳුමෙහි අංගයක් බවට පත් වී තිබුණු ‘හූ’ නමින් හැඳින්වුණු ඇත්දත් ස්මරණපත්‍ර ඔවුන්ගේ නිලතත්වය හෙළි කිරීම පිණිස බඳපටි පදක්කම් වශයෙන් පැලඳීම සිරිතක් වූයේය. මේ සිරිත ක්‍රි.ව. 1622 දී මිං රාජවංශය බිඳ වැටෙන තුරු ම පැවැත්තේය. මුල දී ධනවතුන් විසින් අලංකාර භාණ්ඩ වශයෙන් කලාත්මක ඇත්දත් කැටයම් එකතු කරන ලදි. පසුව ඒවා තෑගි වශයෙන් හුවමාරු කර ගැනීමට වීම නිසා එවක චීනයේ ජීවත් වූ ඇතුන්ගේ සුරක්ෂිතභාවයට පවා තර්ජනයක් එල්ල වුණු බව 6 වන සියවසට අයත් ඇතැම් වාර්තාවලින් හෙළි වෙයි. තාං රාජයුගයෙන් (ක්‍රි.ව. 618–906) සොයා ගෙන ඇති ඇත්දත් රූප කිහිපයකින් එකල ඉතා පරිණත ඇත්දත් මූර්ති කලාවක් පැවති බව පෙනේ. පැතලි ඇත්දත් කැබැලි මතුපිට සායම් ආලේප කොට කුරුල්ලන්ගේ හා සිවුපාවුන්ගේ රූපත් ජ්‍යාමිතික සංලක්ෂණත් කැටයම් කිරීම මේ යුගය තුළ දී පැවති තවත් සම්ප්‍රදායකි. සුං රාජයුගය (ක්‍රි.ව. 960-1279) තුළ නිමවන ලද ඇත්දත් රූප ද වර්ණාලේප කොට ඇත්තේය. 12 වන සියවස වන විට චීනයේ ඇතුන් නැති වී යෑම නිසා ඉන්දියාව, බුරුමය, සියම හා අප්‍රිකාව යන රටවලින් ඇත්දත් ගෙන්වීමට එරටට සිදු විය. 1949 දී චීනයේ අභ්‍යන්තර යුද කෝලාහල ඇති වන තුරු කැන්ටන්, පීපිං, ෂැංහයි, ඇමොයි හා තුංෂන් (සුචව්) යන ස්ථානවල පිටරට යැවීම සඳහා ඇත්දත් කැටයම් කිරීම කර්මාන්තයක් වශයෙන් කරගෙන යන ලදි. කැන්ටන් ශිල්පීන් විසින් ඇත්දත් විද විසිතුරු කැටයමින් අලංකාර කොට නිමැවුණු පදක්කම් හා අවන්පත් කලානෛපුණ්‍යයෙහි ආශ්චර්යයන් සේ සලකනු ලැබේ. ඔවුන්ගේ ශිල්පඥානය සමකාලීන බටහිර කර්මාන්තකරුවන්ගේ ශිල්පඥානයට වඩා අතිශයින් උසස් විය. ඔවුන් විසින් නිමවන ලද දේවතා රූප ඉතා චමත්කාරජනක වූ බවට සුප්‍රකට ක්වන් යින් (දයා දෙව්දුවගේ) රූප දෙස් දෙයි. සියුම්, විසිතුරු ඇත්දත් භාණ්ඩ කැටයම් කිරීමෙහි ලා මංචු ශිල්පීන් දැක්වූ කුශලතාව නිසා ඒවා ඉතා ජනප්‍රිය විය.

ජපානය

මුල දී ජපනුන් ඇත්දත් කැටයම් කලාවෙහි ලා චීනයෙන් ආභාසයක් ලත් නමුත් පසුව ඔවුන් විසින් ශිල්පක්‍රම හා කලාත්මක ලක්ෂණ අතින් චීනයේ කලාවට වඩා මුළුමනින් ම උසස් වූ කලා සම්ප්‍රදායක් බිහි කරන ලදි. මේ සම්ප්‍රදාය ඉතා ඉක්මනින් දියුණුවට පැමිණවූ තොකුගාවා අවධියේ (ක්‍රි.ව. 1603-1867) විසූ දක්ෂ කලාකරුවන් විසින් නිර්මාණය කරන ලද චමත්කාරජනක කුඩා ඇත්දත් කැටයම් අද පවා විශිෂ්ට කලා කෘතීන් වශයෙන් ජනාදරයට පත් වී තිබේ. අධිරාජ මාළිගාවට ඇත්දත් කැටයම් භාණ්ඩ සැපයූ පරම්පරාගත මුල් මධ්‍යස්ථානය වූයේ කියෝතෝ නගරයයි. පසුව වැදගත් වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පැමිණි තෝකියෝ නගරයට මේ කර්මාන්තය පිළිබඳ මුල් තැන ලැබුණේය.

තොකුගාවා අවධියේ විසූ මිනිසුන්ගේ ඇඳුමෙහි අත්‍යවශ්‍ය අංගයක් බවට පැමිණි ‘නෙත්ස්කේ’ නමැති අලංකාර ඇත්දත් භාණ්ඩ කැටයම් කිරීම විශේෂ කලාවක් බවට පත් විය. බෙහෙත් හෙප්පු, අවන්පත්, දුම්කොළ හෙප්පු ආදිය මිනිසුන්ගේ ඉණ පටියෙහි ඇමිණීම පිණිස නෙත්ස්කේ පාවිච්චි කරන ලදි. මේවා තනන ලද්දේ අඟලකටත් වඩා කුඩා ඇත්දත් කැබැලි ඉතා සියුම් විසිතුරු කැටයමින් අලංකාර කිරීමෙනි. ආගමික ජීවිතය, දේවකථා හා පුරාවෘත්ත, චාරිත්‍රවාරිත්‍ර, වෘක්ෂලතා හා දෛනික ජීවිතයේ සිද්ධි ආදි විවිධ විෂයයන් නිරූපණය කරන මේ කැටයම් කලා ආකෘතිය අතින් ද දැඩි ශෛලිගතභාවයක් හෝ තියුණු තාත්විකභාවයක් පිළිබිඹු කරයි. මේවා අතර ක්‍රිස්තු සමයයෙන් හා බටහිරින් ලත් විෂය ද කලාතුරකින් දක්නට ලැබේ. ජපනුන්ගේ අද්විතීය කලා රසිකත්වයේ ප්‍රතිමූර්තින් බඳු මේ නෙත්ස්කේ කැටයම්වල ඇති සියුම්බවත් වැදගත්කමත් අවබෝධ කරගත හැක්කේ ඉතා තියුණු ඇසකින් ඒවා පරීක්ෂා කර බැලීමෙන් පමණි. මේ කැටයම්වලින් බොහෝ විට තියුණු හාස්‍ය රසයක් කුළුගැන්වෙයි.

පූජාසන සැරසීම හා ගෘහ අලංකාර කිරීම පිණිස භාවිත වූ ආගමික රූපවලින් සැදුම් ලත් ‘ඔකිමෝනෝ’ නමැති විශාල ඇත්දත් කැටයම් තැනීම ද ජපානයේ දියුණුවට පැමිණි තවත් කර්මාන්තයකි. බෙහෙත් හෙප්පු (ඉන්රෝ), සුවඳ විලවුන් හෙප්පු, අවන්පත්, කඩුකොපු හා කඩුමිටි ආදි භාණ්ඩ බොහෝ විට විසිතුරු කැටයමින් සරසා ඇත්දත්වලින් තනන ලදි. ඇත්දත්වල කොරල්, මුතු බෙලිකටු, වටිනා ලෝහ වර්ග ආදිය ඔබ්බා කැටයම් කිරීම ද ප්‍රචලිතව පැවැති ශිල්පක්‍රමයක් විය. 20 වන සියවසේ ආරම්භයත් සමඟ ජපානයේ ඇත්දත් කැටයම් කලාව පිරිහී ගියේය.

ඉන්දියාව

මොහෙන්ජෝදාරෝ නටබුන් අතුරෙහි තිබී සොයා ගන්නා ලද ඇත්දත්වලින් කළ ‘චෞක්’ නමැති ආභරණ ක්‍රි.පූ. 3-2 සහස්‍ර වර්ෂවල දී ඇත්දත් කැටයම් කිරීම ඉන්දියාවෙහි පැවති බවට සාධක වශයෙන් දැක්විය හැකිය. එහෙත් මෙතැන් සිට ක්‍රි.පූ. 1 වන සහස්‍රවර්ෂයේ අවසාන ශතවර්ෂ දෙක තුන පමණ වන තුරු වූ දීර්ඝ කාලපරිච්ඡේදයට අයත් ඇත්දත් කැටයම් කිසිවක් මෙතෙක් ඉන්දියාවෙන් සොයාගෙන නැත.

ක්‍රිස්තු වර්ෂයෙන් ශතවර්ෂ දෙකතුනකට පෙර සිට ක්‍රිස්තු වර්ෂාරම්භය දක්වා කාලය තුළ නිමවන ලද ගෘහ භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, ආභරණ ආදි දෛනික ජීවිතයේ පාවිච්චි කළ ඇත්දත් භාණ්ඩ සමූහයක් තක්ෂශිලාවෙන් සම්භ වී තිබේ. මේ භාණ්ඩවලින් වැඩි කොටසක් ග්‍රීසියෙන් හා බටහිර ආසියාතික රටවලින් ගෙන්වන ලද ඒවා බව සර් ජෝන් මාර්ෂල් මහතාගේ මතයයි. එහෙත් මේවා අතර දේශීය ලක්ෂණ දක්වන භාණ්ඩ ද වෙයි. ශෛලිය හා චිත්‍රසංලක්ෂණ අතින් ඉන්දියානු ප්‍රභවයක් දක්වන ක්‍රිස්තු පළමුවන සියවසට පමණ අයත් කලාත්මක ඇත්දත් පණාව එවැන්නකි. පොම්පෙයි නගරයේ නටබුන් අතුරෙන් සොයා ගත් ඉන්දියානු ශිල්පීන් විසින් නිමවන ලදැයි සැලකෙන කුඩා ඇත්දත් රූපයකින් ද මීට ආසන්න කාලය තුළ දී ඉන්දියානු ඇත්දත් කැටයම් කලාව දියුණුව පැවති බව ඔප්පු වෙයි.

ක්‍රිස්තුවර්ෂාරම්භයට පෙර පවා ඉන්දියාවෙහි ඇත්දත් කර්මාන්තකරුවන්ගේ ශිල්පායතන පැවති බව සාංචි මහා ස්තූපයේ ඉතා ම පැරණි තොරණ වූත් ක්‍රි.පූ. 1 වන සියවසට පමණ අයත් වූත් දකුණු තොරණෙහි කොටා ඇති ශිලාලිපියකින් හෙළි වෙයි. මේ තොරණ විදිසා (වර්තමාන හිල්සා) නගරයේ ඇත්දත් කර්මාන්තකරුවන්ගේ ශ්‍රෙණිය විසින් නිම කොට පූජා කරන ලදැයි එහි සඳහන් වේ.

ඇෆ්ඝනිස්ථානයේ බේග්‍රම් (පැරණි කාපිශී) නම් ස්ථානයෙන් ඓතිහාසික හා කලාත්මක වැදගත්කමක් ඇති ඇත්දත් කැටයම් භාණ්ඩ රාශියක් සොය‍ාගෙන තිබේ. කුෂාණ රජුන් ග්‍රීෂ්ම ඍතුව ගත කෙළේ බේග්‍රම්හි පිහිටා තුබූ මාළිගාවකය. බේග්‍රම් ඇත්දත් කැටයම් අතුරෙන් මුල් කැටයම් තොගය 1937 දී මේ මාළිගයෙහි තිබී සම්භ විය. අනතුරුව 1939-40 වර්ෂවල දී මේ ස්ථානයෙහි කරන ලද කැණීම් මඟින් තවත් ඇත්දත් කැටයම් රාශියක් එළි කරගන්නා ලදි. මේ කැටයම්වලින් වැඩි කොටස පීඨ, මංජූෂා ආදි ගෘහ භාණ්ඩ සැරසීමට යෙදූ බොරදම් හා ආයතචතුරස්‍ර ඵලකයි. විවිධ ශිල්පක්‍රම උපයෝගී කරගෙන චමත්කාරජනක දර්ශන හා විසිතුරු චිත්‍රසංලක්ෂණ කැටයම් කොට මේවා අලංකාර කොට තිබේ. ඵලක කිහිපයක දක්නා ලැබෙන දර්ශනවලින් ජාතක කථාවක් නිරූපණය වෙතැයි ඒ. ෆූෂේ මහතා හඳුනාගෙන ඇත. අනෙක් සියලු ම දර්ශන හුදු ලෞකික විෂයයන්ගෙන් යුක්ත වේ. රූමත් ළඳුන් දෙතුන්දෙනා වශයෙන් රැස් වී සුවඳ විලවුන් තවරාගනිමින්, ගයමින් වයමින්, පන්දු කෙළිමින් හෝ මල් නෙළමින් සිටින අයුරු දැක්වෙන විනෝද දර්ශන හා බොහෝ දෙනකුන් රාජකීයයකු පිරිවරාගෙන සිටින අයුරු දැක්වෙන රාජසභා දර්ශන ඒ අතර වෙයි. මේ විෂයයන්ගෙන් වැඩි කොටසක් නිසැක වශයෙන් ම ඉන්දියානු ඒවාය. විදේශීය ප්‍රභවයක් ඇති විෂයයන් ඇතොත් ඒවාට තදින් ඉන්දියානු ඌරුව කවා තිබේ. සාංචි, අමරාවතී හා විශේෂයෙන් ම මථුරා යන ස්ථානවල දක්නා ලැබෙන සමකාලීන අලංකරණ ක්‍රම සමඟ මේ කැටයම්වල දක්නා ලැබෙන චිත්‍ර සංලක්ෂණ මුළුමනින් ම ගැළපෙයි.

1937 දී කළ කැණීම් මඟින් මකරකුගේ පිට මත නැඟී සිටුනා අයුරු දැක්වෙන අල්පෝන්නත ස්ත්‍රී රූප තුනක් ද සොයාගන්නා ලදි. මේ කැටයම් ගංගා දෙව්දූන් පිළිබඳ වූ ඉන්දියානු සංකල්පය හා බැඳී පවත්නා බව නිසැකය. බේග්‍රම් ඇත්දත් කැටයම්වල විදේශීය ලක්ෂණ කිහිපයක් ඇතත් ඒවා මූලික වශයෙන් ම ඉන්දියානු කලා රසිකත්වයේ ප්‍රතිමූර්ති යයි කිව හැකිය. සාංචි, අමරාවතී ශෛලීන්ට හා විශේෂයෙන් ම මථුරා ශෛලියට ළං වූ ස්වදේශීය ශෛලියක් ඒවායේ දක්නට ලැබේ. තියුණු ශිල්පඥානයක් හා උසස් කලා නෛපුණ්‍යයක් හෙළි කරන මේ කැටයම් ඉන්දියාවේ ලෞකික කලාව පිළිබඳ අසහාය නිදර්ශන වශයෙන් පවතී.

ගුප්ත හා පශ්චාද් ගුප්ත යුගයන්හි දී ඇත්දත් කැටයම් කලාව දියුණුව පැවැති බව ඉන්දියානු සාහිත්‍යයෙන් හෙළි වෙයි. හයිදරාබාද් නගරයෙන් ඊශාන දිග පිහිටි පැරණි බ්‍රාහ්මණාබාද් නගරය වශයෙන් හඳුනාගෙන ඇති ස්ථානයෙන් 10 වන සියවසට හෝ ඉන් මඳක් පූර්ව සමයට අයත් ඇත්දත් රූප කිහිපයක් සොයා ගෙන තිබේ. මේ රූපවලින් වැඩි වශයෙන් නිරූපණය වන්නේ නැගිට සිටින ස්ත්‍රීන්ය. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් එක් අතකින් නෙළුම් මලක් ද අනෙක් අතින් සළුවක් ද ගෙන සිටිති. එක් ස්ත්‍රියක් කැඩපතකින් තම රුව දෙස බලා සිටියි. ශෛලිය හා ප්‍රතිමාකරණය අතින් මේ රූප මධ්‍ය ඉන්දියානු (විශේෂයෙන් ම ග්වලියෝර් හා මාල්වා) චිත්‍රවලට කිට්ටු බව කියනු ලැබේ.

ට්රැවන්කෝර්, මයිසෝර්, ඔරිස්සා ආදි ස්ථානයන්හි කර්මාන්තශාලාවල දී නිමැවුණු පසු කාලවලට අයත් ඇත්දත් කැටයම් රාශියක් දක්නට ලැබේ. මේ කර්මාන්ත සඳහා පැරණි ශිල්පක්‍රම උපයෝගී කරගෙන ඇත. ලාකිරි ආලේප කොට ඇත්දත් කැටයම් අලංකාර කිරීම ද මේ කාලවල දී ව්‍යවහාරයට පැමිණි ශිල්පක්‍රමයකි. තංජෝර් හා මයිසෝර් යන ස්ථානවල අද පවා මේ ක්‍රමය භාවිත වෙයි. 18 වන සියවසට අයත් දකුණු ඉන්දියානු ඇත්දත් කැටයම් විශේෂයෙන් චමත්කාරජනකය.

පසු කාලයේ උතුරු ඉන්දියාවේ ද ඇත්දත් කර්මාන්ත මධ්‍යස්ථාන බිහි විය. පැරණි ඉන්දියානු මූර්ති ශිල්පයේ පරම්පරාගත සම්ප්‍රදායයන් ආරක්ෂාකර ගනිමින් 18 වන සියවසේ දී ඔරිස්සාවේ නිමවනු ලැබූ ඇතැම් ඇත්දත් රූපවල කලාත්මක අගයක් ඇත. ලීයෙන් (විශේෂයෙන් ම සඳුන් ලීයෙන්) කළ පුටු, හෙප්පු, සංගීත භාණ්ඩ ආදිය ඇත්දත් ඔබ්බා කැටයම් කිරීම පංජාබයේ ඇති වී දියුණු වූ කලාවකි. මෝගල් සම්ප්‍රදායයෙන් ආභාසය ලත් විසිතුරු මල්ලියකම් යොදා ඇත්දත් කැටයම් කිරීම 17 වන සියවසේ සිට උතුරු ඉන්දියාවේ ප්‍රචලිතව පවතී.

(කාර්යාලය)

ලංකාව

ලංකා ඉතිහාසයේ මුල් යුගයේ පටන් ම ඇත්දත් කැටයම් කලාව දියුණු තත්වයක පැවැති බව වංශකථාවල සඳහන් වන ඇතැම් තොරතුරුවලින් හෙළි වෙයි. ශ්‍රී මේඝවර්ණ රජුගේ කනිෂ්ඨ සහෝදරයාගේ පුත්‍ර ජෙට්ඨතිස්ස කුමාරයා ඇත්දත් කැටයම් කලාවෙහි නිපුණයෙක් විය. සෘද්ධියෙන් නිර්මිත කළාක් වැනි බෝධිසත්ව රූපයක් ද දික්හඟළා පුටුවක් ද ඡත්‍රයක් ද මැණික් ඔබ්බා අලංකාර කළ විචිත්‍ර මණ්ඩපයක් ද ඔහු විසින් නිමවන ලදි. මෙම කර්මාන්තය ඉගැන්වීම පිණිස ආයතන ද ඔහු ඇති කෙළේය (ම.ව. 37. 100-103). මහා පරාක්‍රමබාහු රජු පොළොන්නරුවේ කරවූ උයනක් වට කොට ඇත්දත් කැටයමින් හෙබි ස්තම්භයන් සහිත වැටක් සහ විචිත්‍ර මණ්ඩපයක් සෑදවූ බව ද මහාවංසයේ සඳහන් වෙයි. බුවනෙකබා IV රජු කල දකුණු ඉන්දියාවෙන් විවිධ ශිල්පාචාරීන් ගෙන්වීමෙන් ඇති වූ කලාශිල්ප නවෝදය නිසා ඇත්දත් කර්මාන්තයේ ද විශේෂ දියුණුවක් ඇති වූ බව කිව හැකිය. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහය ඇතිව කරන ලද ඇත්දත් කැටයම් රාශියක් අද පවා සුරක්ෂිතව පවතී.

ලංකාවේ පෞරාණික සිද්ධස්ථාන කිහිපයක සහ කෞතුකාගාරවල අගනා කලාත්මක ඇත්දත් කර්මාන්ත කිහිපයක් දක්නට ලැබේ. වයඹ පළාතේ වෑඋඩ විල්ලි හත්පත්තුවේ පිහිටි රිදී විහාරයේ තිබෙන සම්පූර්ණයෙන් ම ඇත්දත් කැටයමින් වැසුණු උළුවස්ස දැනට ලංකාවේ ඇති විශාලතම ඇත්දත් කර්මාන්තය ලෙස පිළිගත යුතුය. මෙය එම විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කැරවූ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ නියෝගයෙන් තිබ්බොටුවාවේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි නිමවන ලද්දකි. පලාපෙති, ලියවැල්, සත්ව රූප, මිනිස් රූප ආදියෙන් අලංකාර කරන ලද මේ උළුවස්සේ ඇති විශේෂ කැටයමක් නම් සිංහල කැටයම්කරුවාගේ නිර්මාණ ශක්තිය විදහාපාන කැටයම් විශේෂයක් වන පඤ්චනාරී ඝටයයි. එය උළුවස්ස මුදුනට සවි කර තිබේ. මනහර ඇත්දත් කැටයමින් සැදි තවත් උළුවස්සක් නම් මහනුවර දළදා මැඳුරේ උඩමාලයේ මහා උළුවස්සයි. එහි දක්නට ලැබෙන විචිත්‍ර කර්මාන්ත බලවත්වල බෝධිනාරායණ භුවනේකබාහු චිත්‍රාචාර්යය යන රාජදත්ත පටබැඳි නමක් තුබුණු කුඩා පටබැන්දා නමැති සුප්‍රකට ශිල්පියාගේ කෘතියකි.

දකුණු පළාතේ මාතර අසල හිත්තැටියේ රජමහා විහාරයේ තිබෙන විචිත්‍ර ඇත්දත් මණ්ඩපය ද වටිනා පැරණි කර්මාන්තයකි. මහනුවර මඟුල් මඩුවේ පේකඩ කණු අනුව සියුම් කැටයම් සහිතව නෙළන ලද කණු ආදියෙන් යුක්ත වූ මෙය දළදා මන්දිරයේ පත්තිරිප්පුවේ ආකෘතියකි. මේ ඇත්දත් මණ්ඩපය කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් එම විහාරස්ථානයට කරනු ලැබූ පරිත්‍යාගයක් යයි කියත්.

1585 දී ලංකාවේ වැසියකු විසින් ගෝවේ ආච්බිෂොප්වරයාට පුදන ලද ඇත්දත් කුරුසි සුරුවමක් එතුමා කෙතරම් උසස් කලා කෘතියක් කොට සැලකුවේ ද යත් එය ස්පාඤ්ඤයේ අගරජු වෙත යවමින් එබඳු වූ උත්තමයකුට තරම් වූ අසිරිමත් දැයක් හැටියට සලකා එතුමාගේ මහාර්ඝ මාණික්‍ය අතර තබන මෙන් ඉල්ලා සිටියේ යයි පෝල් ඊ. පීරිස් මහතා ලංකාවේ පෘතුගීසි සමය පිළිබද සිය කෘතියෙන් පවසයි.

ලංකාවේ ඇත්දත් කැටයම් අතර ඉතා සුලභව දක්නට ලැබෙන්නේ බුදුපිළිමයි. ඉනුත් වැඩි ම සංඛ්‍යාව හිටිපිළිමයි. හිඳින හෝ සැතපෙන ඉරියව්වෙන් යුත් ඇත්දත් පිළිම බෙහෙවින් අඩුය. මහනුවර අස්ගිරියේ විජයසුන්දරාරාම රජමහා විහාරයේ තිබෙන ඇත්දත් පිළිමය ලක්දිව තිබෙන ඇත්දතින් නෙළුැ විශාල ම පිළිමයයි. අභය මුද්‍රාවෙන් යුත් මේ බුදු පිළිමයෙහි නිමාව දැකුම්කලුය; පරිමාව ද උචිතය. සිවුරේ රැළි සහ නැමුම් මහනුවර යුගයේ බුද්ධ ප්‍රතිමා සම්ප්‍රදාය පෙන්නුම් කරයි. පිළිමය තැන්පත් කර ඇත්තේ බුරුත සහ කළුවර ලීයෙන් තනා රිදී සහ ඇත්දත් කැටයමින් අලංකාර කළ පත්තිරිප්පුවේ හැඩය පෙන්නුම් කරන අඩි 8ක් පමණ උස් වූ අලංකාර මණ්ඩපයක් තුළය. ශ්‍රද්ධාවත් බෞද්ධ නරපතියකු වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සිය මාළිගයේ වඩා හිඳුවාගෙන වැඳුම් පිදුම් කෙළේ මේ පිළිමයට යයි කියත්. මේ පිළිමය ද කුඩා පටබැන්දා නමැති ඉහත සඳහන් කැරුණු ශිල්පියාගේ කෘතියකැයි කියති.

වැලිවිට ශ්‍රී සරණංකර ස්වාමීන්ද්‍රයන්වහන්සේට සංඝරාජ පදවිය පිරිනමමින් කීර්ති ශ්‍රී රාජසිංහ මහරජු විසින් පූජා කළ දර්ශනීය වටාපත උන්වහන්සේ පරිහරණය කළ වෙනත් බොහෝ භාණ්ඩත් සමඟ මල්වතු විහාරයේ වැලිවිට පන්සලෙහි සුරක්ෂිතව තබා තිබේ. එහි මීට ඇත්දතින් කරන ලද්දකි. ඇත්දත් වටාපත් මිටි බොහෝ ඇතත් මේ භාණ්ඩය එහි ඉතිහාසය, හැඩහුරුකම සහ නිමාව අතින් විශේෂ ස්ථානයක් ගනී.

මහනුවර යුගයේ දී ඇත්දත් කැටයම් කලාවට නවපණක් දුන් ශ්‍රෙෂ්ඨයා හැටියට සැලකිය යුතු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ පිළිරුව වශයෙන් හඳුන්වනු ලබන ඇත්දත් රූපයක් මහනුවර ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. අඟල් 8ක් පමණ උස් වූ මේ රූපය තනි ඇත්දත් කැබැල්ලකින් නෙළන ලද්දකි. එහි හිසෙහි ඔටුන්නක් වෙයි. සුරතේ ජයකුන්තය වෙයි. උඩුකය දණහිස් තෙක් වැටෙන අඞ්ගරකාවකින් වැසී තිබේ. අධඃකාය කෙමෙන් පහතට සිහින් වෙමින් ගොස් බොලට අසල දී කකුලට හිරවන අයුරු මැසූ කලිසමක් වැනි ඇඳුමකින් වැසී ඇති සේ දක්වා තිබේ. පාවහන් නැත. ගෙලෙහි මිණිමුතු එබ්බූ රන්දම් ඇති බවක් පෙන්නුම් කැරේ. මහනුවර කෞතුකාගාරයේ ඇති තවත් අගනා පැරණි ඇත්දත් කැටයමක් නම් මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවකි. එය දොරටුපාල රූප සහිත මකර තොරණින් සහ සඳකඩ පහණකින් යුක්තයි. මේ දර්ශනීය කර්මාන්තය මහනුවර කාලයට වඩා පැරණි යයි සිතීමට ද ඉඩ තිබේ.

පැරණි විහාරස්ථානවල පුස්තකාලයන්හි තිබෙන සමහර පුස්කොළ පොත් කම්බා විසිතුරු සියුම් කැටයමින් අලංකෘත ඇත්දත් පුවරුවලින් තනා තිබේ. ඇත්දත් පොත් කම්බා දුර්ලභ නොවූවත්, ඓතිහාසික අගයෙන් සහ කාර්මික දක්ෂතාව පිළිබිඹු කෙරෙන කැටයමින් යුක්ත ඒවා ආරක්ෂා වී ඇත්තේ කිහිපයකි. කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස රිදී විහාරයේ ආධිපත්‍යය දැරූ තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ ස්වාමීන්ද්‍රයාණන්වහන්සේට එම රජතුමන් විසින් පූජා කළ ඇත්දත් කම්බා සහිත මිල කළ නොහැකි තරම් අගයක් ඇති පුස්තක තුනක් දැනට මහනුවර මල්වතු මහා විහාරයේ එම රිදී විහාර භික්ෂු පරම්පරාවට අයිති පන්සලේ සුරක්ෂිතව තිබේ. අඩි 2, 1/2, 2, 1,1/2 වශයෙන් දික් වූත් අඟල් 3, 1/2ක් පළල් වූත් මේ පොත් කම්බා පිළියෙල කර තිබෙන්නේ ඉතා සුදු පැහැති ඇත්දත් තහඩුවලිනි. ඒවායේ කර තිබෙන මල්ලියකම් ඉතා සියුම්ය. සුදුසු තන්හි රන්මිණිමුතු ඔබ්බා නෙළා තිබෙන ඒ කැටයම් වූකලි මහනුවර යුගයේ සිටි සිංහල දළ කැටයම්කරුවන්ගේ දක්ෂභාවයේ පිළිබිඹු බඳුය. පියවි ඇසින් බැලූ විට පැහැදිලිව නොපෙනෙන තරම් සියුම් ලෙස ඒ කැටයම් කර තිබෙන සැටි විස්මයජනකය.

ලංකාවේ බහුලව හමුවන ඇත්දත් කැටයම් අතර බුදුපිළිමය අගතැන් ගනී. නානා පරිමාණයනට සහ ආකාරයනට නෙළුණු ඇත්දත් බුදුපිළිම දහස් ගණනින් මෙරටින් සපයා ගැනීම උගහට නොවේ. රටවැසියාගේ ප්‍රධාන ආගම බුදුසමය බැවින් එය පුදුමයට කරුණක් ද නොවේ. කරඬු වටාපත් මිටි, තලඅතු මිටි වැනි ඇත්දත් භාණ්ඩ ප්‍රධාන වශයෙන් බුදුසමය හා බැඳී පවතී. එදිනෙදා ජීවිතයට සම්බන්ධ ආභරණ, හෙප්පු, කරඬු, කණ්ණාඩි කොපු, කණ්ණාඩි රාමු, පිහියා මිටි, කඩුමිටි, බුලත් කොටන වංගෙඩි, කිල්ලෝටා, කන්හැඳි, නළා, බෙහෙත් කාරක, පන්හිත් කොපු, වැලිපත්, හැරමිටි, පණා, මාල, පදක්කම්, වළලු, කොංඩකූරු, අරුංගල් ආදිය ද මෙරට පැරණි ඇත්දත් භාණ්ඩ අතර දක්නා ලැබේ. කෞතුක භාණ්ඩ නිමවීම පිණිස ද ඇත්දත් බෙහෙවින් යොදාගෙන තිබේ. මෙරට ඇත්දත් සැරසිලි භාණ්ඩ අතර ප්‍රධාන ස්ථානයක් ගෙන ඇත්තේ ඇත් සහ සිංහ රූපයි. හේවිසිකාරයන්, නැට්ටුවන් වැනි රූප ද කලාතුරකින් හමු වෙයි.

3-89.jpg

මෝස්තර හා ආයුධ

ලංකාවේ ඇත්දත් කැටයම්කරුවන් ස්වකීය කෘතීන් අලංකාර කිරීම පිණිස උපයෝගී කරගන්නා මෝස්තර රාශියකි. චිත්‍රකලාවේ පාරම්පරික චිත්‍රසංලක්ෂණ ආධාර කොට ගෙන අවස්ථාවෝචිත පරිදි කැටයම් නිර්මාණය කිරීම දක්ෂ ශිල්පියකු විසින් කළ හැකි පහසු කාර්යයකි. එසේ කිරීමට ඔහුට තම ඇදුරු පරපුරෙන් ලැබුණු ගුරුමුෂ්ටි ද උපකාරී වෙයි. සිංහල ඇත්දත් ශිල්පීන් බෙහෙවින් උපයෝගී කොටගන්නා චිත්‍රසංලක්ෂණ අතර භේරුණ්ඩ පක්ෂියා, හංස පූට්ටුව, පලාපෙත්ත, කුන්දිරක්කම, තිරිඟිතලය, ගැටලියපත, සීනමල, අරිම්බුව, අරිම්බුසුරුළු, නෙළුම්මල, මකර රුව, කිඹිසි මුහුණ ආදිය දක්නා ලැබේ.

ඇත්දත් කැටයම්කරුවාට අවශ්‍ය වනුයේ ආයුධ ඉතා ස්වල්පයකි. කියත, නියන, අතකොළුව සහ පීර ඉන් ප්‍රධානය. රාස්කුව, පුල්ලෝරුම, අඬුව, බුරුමය, තොරපණය සහ දඬු අඬුව අමතර වශයෙන් අවශ්‍ය විය හැකිය. මෙරට ඇත්දත් කර්මාන්තකරුවන් භාවිතා කරන නියන හඳුන්වනුයේ පත්කටුව කියායි. පත්කටුව ඒ ඒ අවස්ථාවට ගැළපෙන අයුරු නොයෙක් හැඩහුරුකම් ඇතිව සාදාගනු ලබන වානේ කටුවකි. මෙය තනා ගන්නේ කරන්නට අදහස් කරන කැටයමේ ස්වභාවය ගැන සලකා බැලීමෙනි. කැටයමේ සිහින් බව පත්කටුව තැනීමේ දී විශේෂයෙන් කල්පනාවට ගනු ලැබේ. කැටයමේ රේඛාවන්ගේ දළ හෝ සිහින් බව සහ වක් නොවක් බව පත්කටු මූණත සම්බන්ධයෙන් සැලකුව මනාය. පීර, රාස්කුව සහ පුල්ලෝරුම අවශ්‍ය වනුයේ දළ තහඩු ඔප දැමීම පිණිසයි. ඇතැම් අවස්ථාවල දී ඇත්දත් කැටයම් කිරීම සඳහා කවකටුව ද අවශ්‍ය වෙයි. මෙරට ඇත්දත් කැටයම් කිරීම පමණක් නොව ඇත්දත් ලියවීම ද කරනු ලැබේ. ඒ සඳහා වුවමනා කරන උපකරණය නම් ලියනපට්ටලයයි. දළ කැබැල්ලක් වටකුරු හැඩයට ලියවා ගන්නේ එයිනි. ගොන්නකොළ, මොටදැලියා කොළ, දෙල් පනාමල් ආදියෙන් මැද රටහුනු ස්වල්පයක් දමා රෙදි කැබැල්ලකින් අතුල්ලා ඇත්දත් කැටයම් ඔපදමනු ලැබේ.

ගුරුකුල

ලංකාවේ උඩ පහත දෙරටෙහි ම ඇත්දත් කැටයමෙහි නිපුණ දක්ෂ සිංහල ශිල්පීහු විසූහ; දැනුදු ඉතා ස්වල්ප දෙනෙක් වෙසෙති. මෙරට පෙර සිට පවත්නා සිරිතට අනුව ඇත්දත් කැටයමෙහි සූරයෝ පරම්පරාගතව පැවතෙන්නෝය. පහතරට දක්ෂ කලාශිල්පීන් රාශියකගේ නිජභූමිය ලෙස සැලකිය යුතු ගාලු පෙදෙසේ උපන් අතිදක්ෂ කලාකරුවකු වූ මුහන්දිරම් විමලසුරේන්ද්‍ර මහතා විසින් කොපුව ගැළවූ විට සතර අතට කිනිති විහිදී එල්ලා වැටෙන අයුරු සාදන ලද ඇත්දත් ‘පොල් මලක්’ වික්ටෝරියා මහරැජිනට පරිත්‍යාග කොට රාජ සම්මාන පවා ලැබුවේය. පරම්පරාගත උඩරට පැරණි කලා සම්ප්‍රදායන්ට අනුව ඇත්දත් කැටයම් කරන්නෝ මාතලේ, කුරුණෑගල, මාවනැල්ල, ගෝවින්දල යන පෙදෙස්වල දැනුදු වාසය කරති. උඩරට පරම්පරාගතව මෙම කර්මාන්තය කරගෙන එන මේ ශිල්පීන් අතුරෙන් වැඩි දෙනෙක් ම තුදුස් වැනි, පසළොස්වැනි සියවස් හරියේ මෙහි රජදරුවන්ගේ ආරාධනයෙන් සොළී පාඬි දෙරටින් පැමිණි ශිල්පාචාරීන්ගෙන් පැවැත එන්නෝ යයි කිව හැකිය. නිදසුනක් වශයෙන්, ගඩලාදෙණිය අසල පිහිටි ගෝවින්දල යන ගමේ වෙසෙන පාරම්පරික දක්ෂ ඇත්දත් කැටයම්කරුවකු වන වීරපරාක්‍රම සෙල්ලප්පු නමැති ශිල්පියා ගඩලාදෙණි විහාරාධිපතිව වැඩ විසූ ශීලවංශාභිධාන ධර්මකීර්ති සංඝරාජයන්ගේ ආරාධනයෙන් ගම්පොළ බුවනෙකබාහු රජු දවස පඬි රටින් පැමිණි දේවනාරායණ, සෝමනාරායණ, නීලනාරායණ, සිංහනාරායණ, තින්නනාරායණ නමැති ශිල්පීන් පස්දෙනා කෙරෙන් පළමුවැන්නාගේ පරපුරින් පැවත එන්නෙකැයි කියති.

උතුවන්කන්දේ ඔටුනු පණ්ඩිත ස්වර්ණතිලක රදලගේ අප්පු ස්වර්ණතිලක දෙගල්දොරුවේ සුප්‍රකට බිතුසිතුවම් හා වෙනත් විහාර සිතුවම් ඇඳීමෙන් කීර්තියට පත්ව සිටි දෙවරගම්පොළ සිල්වත් තැනගේ (සහෝදරයකුගේ) පරපුරින් පැවත එන්නෙකි. මොහු ඇත්දත් කැටයමෙහි මෙන් ම රන්, රිදී, පිත්තල, තඹ හා ලී කැටයම් කර්මාන්තයන්හි ද සිත්තර වැඩෙහි ද එක සමාන කුශලතාවක් දක්වයි. මතව ජීවත්හාමි, කොස්සින්නේ ස්වර්ණසිංහ මුහන්දිරම ආදීහු ද මෙකල සිටින අතිදක්ෂ උඩරට ඇත්දත් කැටයම්කරුවෝය. මහනුවර අස්ගිරි මහවිහාරයේ පැරණි ගෘහ නිර්මාණ ශිල්පය අනුව නිමවා තිබෙන සීමා මන්දිරයේ දොරටුවල කර ඇති රමණීය ඇත්දත් කැටයම් පිළිබඳ ගෞරවය හිමි වන්නේ අස්ගිරි පුරාණ විජයසුන්දරාරාමාධිපති උඩපිටියේ ශ්‍රී සුමංගල මහාස්ථවිරයන්වහන්සේටය.

සිවිලි නමින් හැඳින්වෙන සුවඳ පැන් බඳුන් නිපදවීමෙහි දක්ෂ කලා පරපුරක් වූ බව කියනු ලැබේ. එම පරපුරේ වූ ශිල්පීන් පිළිබඳ තොරතුරු අප්‍රකටය. සිවිලි සාදනු ලබන්නේ තනි ඇත්දත් කැබැල්ලෙනි. ඇත්දත් කැබැල්ල ලියනපට්ටලයට සවි කොට වුවමනා ප්‍රමාණයට සහ හැඩහුරුකමට ලියවා සිහින් තියුණු කටුවලින් ඇතුළත හාරාගනු ලැබේ. මේ බඳුන්වල බිත්තිය හෙවත් පිටපොත්ත ලූනු සිවියක් සේ තුනී කරනු ලැබේ. එය කළ හැක්කේ මනා පුහුණුවක් සහ කෘතහස්තභාවයක් ඇත්තකුට පමණි. මේ බඳුනේ මුදුනට සිහින් සිදුරක් සහිත කෙමියක් සවි කොට භාජනය සුවඳ දියෙන් පුරවා අතින් මිරිකන විට ඉන් ජලය විදෙයි. සුවඳ පැන් ඉසීම පිණිස සිවිලි උපයෝගී කරගනු ලැබේ.

(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර)

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇත්දත්_කර්මාන්තය&oldid=9343" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි