ඇත්දෙමට
වෙර්බෙනාසේ (Verbenaceae) කුලයට අයත් මේ ගස ලංකාවේ තෙත් ප්‍රදේශවල වැවේ. ඉන්දියාව, බුරුමය, මලයාව හා පිලිප්පයින් දූපත් යනාදි ප්‍රදේශවල ද එය දක්නට ලැබේ. ඇත්දෙමට ලීය ප්‍රයෝජනවත්ය.
ආයුර්වේද මතය
ඇත්දෙමට නම් වනෞෂධය ද්‍රව්‍ය ගණයෙහි දසමුලට අයත් වේ. මීට සකු බසින් ගම්භාරි, ශ්‍රී පර්ණි, කාශ්මර්‍ය්‍ය ආදි නම් ඇත්තේය. ගුණ විසින් ඇත්දෙමට කසට, තිත්ත, මධුර රසයෙන් යුක්තයි; උෂ්ණ වීර්‍ය්‍යයි; ගුරුයි; අග්නි දීපනය කෙරේ; පාචකයි; මේධාජනකයි. ආමයික ප්‍රයෝග විසින් කරකැවිල්ල, ශෝෂය හා තුන් දොස් කෝපය නසයි; පිපාසය, ආමදෝෂ, ශූල, අර්ශස්, විෂදාහ හා ජ්වර නසයි.
ඇත්දෙමට ගෙඩි පුෂ්ටිකාරකයි; ශුක්‍ර වඩයි; ගුරුයි; කේශයන්ට හිතකාරී වෙයි; රසායනයි; මධුර විපාකයි; ශීතවීර්‍ය්‍යයි; ස්නිග්ධයි; කසට ඇඹුල් රසයි; ශෝධනකාරකයි. ආමයික ප්‍රයෝග විසින් වායු පිත්ත පිපාසා, රක්තදෘෂ්ටි, ක්ෂය, මූත්‍රාවරෝධ, දාහ, රත්පිත් හා ක්ෂත නසයි. දේශීය චිකිත්සාවට අයත් බොහෝ යෝගයන්ට ඇත්දෙමට ගනු ලැබේ. ව්‍රණ, කුෂ්ඨ, උපදංශ යන රෝගයන්හි ද ආලේප වශයෙන් සාදන බොහෝ යෝගවලට ද ඇත්දෙමට යුෂ යෙදේ. සර්ප විෂට ද ඇත්දෙමට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. දේශීය ගෙඩි වෙදකමට හා කැඩුම් බිඳුම් වෙදකමට ද ඇත්දෙමට පොතු ගනු ලැබේ.
(සංස්කරණය: 1967)
