ජීව රසායන විද්‍යාව (Biochemistry)

සිංහල විශ්වකෝෂය වෙතින්
12:10, 1 සැප්තැම්බර් 2017 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ශාක, සත්ත්ව සහ ක්ෂුද්‍ර ජීවී දේහ තුළ අඩංගු රසායන ද්‍රව්‍ය සහ රසායනික ක‍්‍රියාවලි සම්බන්ධ විද්‍යාව, ජීව රසායන විද්‍යාව ලෙස හැඳින්වේ. මෙහි දී විශේෂයෙන් ම ජීව ෙසෙල තුළ අඩංගු වන ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට සහ ලිපිඩ වැනි කාබනික සංයෝග පිළිබඳ ප‍්‍රමාණාත්මක නිර්ණය කිරීම් සහ ව්‍යූහාත්මක විශ්ලේෂණ අන්තර්ගත වේ. ඒ සමග ම ජීවය සඳහා අතිශයින් වැදගත් වන න්‍යෂ්ටික අම්ල, විටමින් සහ හෝමෝන සම්බන්ධ රසායනික ප‍්‍රතික‍්‍රියා ද අධ්‍යයනය කරනු ලැබේ. ඊට අමතරව ප්‍රෝටීන් සංශ්ලේෂණය, ආහාර දහනය කොට ශක්තිය නිපදවීම සහ රසායනික ක‍්‍රියා මගින් ප‍්‍රවේණි ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට සම්පේ‍්‍රෂණය වීම වැනි ක‍්‍රියාවලි පිළිබඳව ද පුළුල් පර්යේෂණ මෙම ක්ෂේත‍්‍රයට අන්තර්ගත වෙයි.

ජීව රසායන විද්‍යාව එක් අතකින් ජෛවීය විද්‍යා සහ භෞතීය විද්‍යා අතර සීමාවෙහි පවතින විෂයයකි. මෙම විෂය තුළ කායික විද්‍යාවේත් කාබනික රසායනයේත් භෞතික රසායන විද්‍යාවේත් මූලධර්ම උපයෝගී කර ගැනේ. මෙය අතිශය පුළුල් ක්ෂේත‍්‍රයක් ලෙස වර්ධනය වී ඇති අතර ඒ තුළ අනුක්ෂේත‍්‍රයක් ලෙස සායනික රසායන විද්‍යාව, පෝෂණ විද්‍යාව වැනි විෂයයන් හඳුනාගත හැකි ය.

අජීව ද්‍රව්‍යවල කිසිසේත් අඩංගු නොවන විශේෂිත ද්‍රව්‍යයක් හෝ ගුණයක් ජීවීන්ගේ සහ ජීව ද්‍රව්‍යවල අන්තර්ගත වන බවත් මෙම ජීවයේ අණු නිපදවිය හැක්කේ ජීවයට පමණක් බවත් එක් කලක දී විශ්වාස කෙරිණ. පසුව 1828 දී ෆී‍්‍රඞ්රික් වොබ්ලර් (Friedrich Wobler) යූරියා සංශ්ලේෂණය කිරීම පිළිබඳ පර්යේෂණ පත‍්‍රිකාවක් ඉදිරිපත් කරමින් ජෛව සංයෝග (කාබනික සංයෝග) කෘත‍්‍රිම ලෙස නිපදවිය හැකි බව ඔප්පු කෙළේ ය.

ජීව රසායනයෙහි නවෝදය ඇති වූයේ 1833 දී ඇන්ස්ල්ම් පේයන් (Anselme Payen) විසින් අද ඇමයිලේස් ලෙස හඳුන්වන ඩයස්ටේස් එන්සයිමය සොයා ගනු ලැබීමත් සමග ය. යීස්ට් සෛල නිස්සාරකයක සිදුවන මද්‍යසාර පැසීමේ ක‍්‍රියාව, සෛලයෙන් පිටත සිදු කෙරුණ ප‍්‍රථම සංකීර්ණ ජෛව රසායනික ක‍්‍රියාවලිය ලෙස පෙන්වා දෙන ලද්දේ 1896 දී එඩුවාඞ් බුච්නර් (Eduard Buchner) විසිනි. 1882 පමණ සිට ‘ජීව රසායනය’ යන්න භාවිත වුව ද එය විෂයයක් ලෙස පිළිගැනුණේ 1903 දී කාල් නියුබර්ග් (Carl Neuberg) නමැති ජර්මන් ජාතික රසායන විද්‍යාඥයාගෙන් පසුව ය. විසිවන සියවස මැද භාගයේ දී ජීව රසායන විෂය පුළුල් ලෙස වර්ධනය වූයේ වර්ණ ලේඛ ශිල්පය, X කිරණ විවර්තතිය, NMR ස්පෙක්ට‍්‍රස්කොපි (NMR Spectroscopy) විකිරණශීලී සමස්ථානික මගින් සලකුණු කිරීම, ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂය වැනි තාක්ෂණ භාවිතයට පැමිණීමත් සමග ය. සෛල තුළ සිදුවන ග්ලයිකොලිසියා ක්‍රෙබ්ස් චක‍්‍රය වැනි පරිවෘත්තීය ක‍්‍රියාවලි සහ ඒවාට සම්බන්ධ සංකීර්ණ අණු සොයා ගැනීමට සහ ඒවායේ සංකීර්ණ ක‍්‍රියාවලි සහ ක‍්‍රියාදාම විස්තරාත්මකව විශ්ලේෂණ කිරීමට පෙර කී තාක්ෂණික ක‍්‍රම භාවිත විණි. ජීව රසායන විද්‍යා ඉතිහාසයෙහි සිදු වූ අනෙක් වැදගත් ම සන්ධිස්ථානය වන්නේ සෛල තුළ තොරතුරු ගබඩා කිරීම සහ සම්පේ‍්‍රෂණය කිරීම පිළිබඳ ජානය සතු භූමිකාව හඳුනා ගැනීම ය. 1958 දී ජෝර්ජ් බීඞ්ල් (George Beadle) සහ එඞ්වඞ් ටැටූම් (Edward Tatoum) යන විද්‍යාඥයන් දෙපළ විසින් දිලීර යොදාගෙන සිදු කළ පර්යේෂණයක් මගින් එක් ජානයක් මගින් එක් එන්සයිමයක් නිපදවන බව සොයා ගනු ලැබූ අතර ඒ සඳහා එම දෙපළ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූහ.

අද ජීව රසායන විද්‍යාව ප‍්‍රධාන උපක්ෂේත‍්‍ර කිහිපයකින් යුක්ත ය :

(අ).ශාක ජීව රසායන විද්‍යාව, ස්වයංපෝෂීන් තුළ සිදුවන ප‍්‍රභාසංශ්ලේෂණය වැනි ශාකවලට ආවේණික වූ ජෛව රසායනික ක‍්‍රියාදාම පිළිබඳ අධ්‍යයන
(ආ).සාමාන්‍ය ජීව රසායන විද්‍යාවේ දී පොදුවේ ශාක සහ සත්ත්වයන්ට වැදගත් වන ජෛව රසායනික ක‍්‍රියාදාමයන් පිළිබඳ අධ්‍යයන
(ඇ).වෛද්‍ය ජීව රසායන විද්‍යාවෙහි දී මිනිසාගේ ජෛව රසායනය සහ විවිධ සායනික රෝගවලට අදාළ ජීව රසායනය පිළිබඳ කරුණු හැදෑරීම


ජෛව රසායන විද්‍යාවෙහි එන ප‍්‍රධාන ජෛව අණු කාණ්ඩ හතර වන්නේ, කාබෝහයිඩ්‍රේට, ලිපිඩ, ප්‍රෝටීන් සහ න්‍යෂ්ටික අම්ලයි. බොහෝ ජෛව අණු ‘මොනොම’නම් වූ තනි ඒකක රාශියක් බහු අවයවීකරණය වීමෙන් නිපදවෙන මහ අණු හෙවත් යෝධ අණු වේ.

කාබෝහයිඩ්‍රේට යනු මොනොසැකරයිඩ නම් වූ මොනොමය බහු අවයවීකරණය වීමෙන් සෑදුණු යෝධ අණුවකි. ලිපිඩ සාමාන්‍යයෙන් සෑදී ඇත්තේ ග්ලිසරෝල් අණුවක් සමග මේද අම්ල අණු තුනක් සම්බන්ධ වීමෙනි. මේද අම්ල ද්විත්ව බන්ධන සහිත හෝ රහිත දිගු කාබන් දාම සංයෝග වේ. ප්‍රෝටීන වනාහි අතිවිශාල යෝධ ජීව අණුවකි. එහි මොනොමය ඇමයිනෝ අම්ල අණුවකි. ස්වභාවයේ එකිනෙකට වෙනස් ඇමයිනෝ අම්ල අණු 20ක් පමණ හඳුනාගෙන ඇති අතර එක් ඇමිනෝ අම්ල අණුවක හයිඩ‍්‍රජන් පරමාණුවක්, කාබොක්සිල් කාණ්ඩයක්, ඇමීන කාණ්ඩයක් සහ කාබනික කාණ්ඩයක් (R) පවතී. ඇමයිනෝ අම්ල එකිනෙකින් වෙනස් වන්නේ මෙම ඍ කාණ්ඩ මගිනි.

න්‍යෂ්ටික අම්ල යනු සෑම ජීවියකු ම තම ප‍්‍රවේණික තොරතුරු ගබඩා කිරීම සහ සම්පේ‍්‍රෂණය කිරීම සඳහා භාවිත කෙරෙන ජීවය සඳහා අත්‍යවශ්‍ය අණු කාණ්ඩයකි. ප‍්‍රකට න්‍යෂ්ටික අම්ල වන්නේ ඩි‘ඔක්සිරයිබො නියුක්ලික් අම්ලය (DNA) සහ රයිබො නියුක්ලික් අම්ලය (RNA) වෙයි.

මෙම යෝධ බහු අවයවික අණු සෑදෙන්නේ නියුක්ලියෝටයිඩ නම් වූ මොනොමයන් බහු අවයවීකරණය වීමෙනි.

ජීව රසායන විද්‍යාඥයන් පර්යේෂණවල දී එයට ම ආවේණික වූ තාක්ෂණික ක‍්‍රම භාවිත කරන අතර අද ශීඝ‍්‍ර ලෙස මෙම තාක්ෂණයන්, ප‍්‍රවේණි විද්‍යාවෙහි, අණුක ජීව විද්‍යාවෙහි සහ ජීව භෞතික විද්‍යාවෙහි ද භාවිතයට ගැනේ. එබැවින් ඒවායේ අන්තර්ගතය සහ භාවිතයේ යෙදෙන තාක්ෂණයන් වෙන් කිරීම සඳහා විෂය ක්ෂේත‍්‍ර අතර මායිම් ලකුණු කිරීම අතිශය අපහසු කාර්යයකි. අද ජීව රසායන විද්‍යාව සහ අණුක ජීව විද්‍යාව යනු එකිනෙකට හුවමාරු කළ හැකි ක්ෂේත‍්‍ර බවට පත් වී ඇත.

අද මෙම ක්ෂේත‍්‍රයන් අතර පවත්නා සම්බන්ධතාව පහත රූපයෙන් පෙනෙයි.

 (සටහන)


ජයන්ත වත්තවිදානගේ