ඇඹුල් ඇඹිලිය

සිංහල විශ්වකෝෂය වෙතින්
15:33, 3 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(ඔක්සාලිස් කෝනිකුලාටා - Oxalis corniculate L.) මෙය පොළව මතුප...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(ඔක්සාලිස් කෝනිකුලාටා - Oxalis corniculate L.) මෙය පොළව මතුපිට හෝ පස යට හෝ දුවන දිග හීන් කඳක් ඇති බහුවාර්ෂික පැලෑටියකි. ක‍ඳේ සන්ධිවලින් මුල් ඇදේ. ඉහළට නඟින දිග හීන් අතු ක‍ෙඳෙන් විහිදේ. මේ අතු වෙන් වීමෙන් අලුත් පැලෑටි වැඩෙන්නට පුළුවන. දික් වූ හීන් කොළ නටු බූ සහිතය. කොළ ඒකාන්තරය; ත්‍රිපත්‍රීය. පත්‍රිකා අඟල් බාගයක් පමණ දිගය; නිර්වෘන්තය. හැඩය විහෘදයාකාරය (obcordate). ඍජු කක්ෂීය (axillary) මංජරී වෘන්තවල (peduncles) තිබෙන කුඩා ඡත්‍රයන්හි (umbels) අඟල් 3/8ක් පමණ දිග මල් තිබේ. මල් කහ පාටය. ඵලය වූකලි තුඩක් ඇති අඟල් 3/4ක් පමණ දිග කෝණ පහක් සහිත ස්ඵෝටිකාවකි.

ඇඹුල් ඇඹිලිය ලංකාවේ ගොවිතැන් කරන තෙතමන සහිත සෑම තැනක ම පාහේ වල් පැළෑටියක් වශයෙන් බහුලව දක්නට ලැබේ. ලෝකයෙහි නිවර්තන හා සෞම්‍ය ප්‍රදේශ මුළුල්ලේ ම මේ පැළෑටිය පැතිරී තිබේ. මෙය ඔක්සලිඩාසේ කුලයට අයත්ය.

ආයුර්වේද මතය

අම්බෂ්ඨා හෙවත් ඇඹුල් ඇඹිලිය දේශීය වෛද්‍ය ශාස්ත්‍රයෙහි ප්‍රශස්ත ඖෂධයකි. එය අම්ල රසයි; කුසගිනි වඩයි; රුචිකරයි; රළුයි; උෂ්ණවීර්‍ය්‍යයි; පිත් වඩයි; සෙම් වා ග්‍රහණි රෝග අර්ශස් කුෂ්ඨ අතීසාර නසයි.

ඇඹුල් ඇඹිලිය පිස බත් සමග ආහාරයට ගැනීම ග්‍රහණිය, මාන්දම ආදියෙන් පෙළෙන්නවුනට හිතකරයි.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇඹුල්_ඇඹිලිය&oldid=11388" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි