ඔලිගොකේටා
(Oligochaeta). මෙය වූකලි ඛණ්ඩිත ශරීරවලින් යුත් පණු වර්ගයකි (class). කවුරුත් පාහේ දන්නා ගැඩවිලා ද මේ වර්ගයට අයත්ය. ඛණ්ඩිත ශරීරවලින් යුත් සියලු පණුවන් අනෙලීඩා (බ.) වංශයෙහි (phylum) ඇතුළත් කොට ඇත. අනෙලීඩා වංශයට අයත් පණුවෝ දැන් වර්ග තුනකට බෙදනු ලැබෙත්. මේවා නම් (1) පොලිකේටා (Polychaeta) [මෙහි ආකිඅනෙලීඩා (බ.) හා මිසොස්ටොමිඩෙ (Mysostomidae) ඇතුළත් වේ.], (2) ඔලිගොකේටා හා (3) හිරුඩිනෙයා (Hirudinea) ය. ඔලිගොකේටා වර්ගය විශේෂ 3100කින් පමණ සමන්විතය. මොව්හු පොළොවෙහි හෝ මිරිදියෙහි හෝ වාසය කරති. ටික දෙනෙක් ඇතැම් අවස්ථාවන්හි දී කරදියෙහි ද දක්නට ලැබෙත්. ඇතැම් ඔලිගොකේටයෝ පරපෝෂිතයෝයි. වෙන් වෙන්ව පැහැදිලිව පෙනෙන පරිසර විද්යාත්මක ජාති දෙකක් ඔලිගොකේටයන් අතර දක්නට ලැබේ. එනම් ගුල් හාරාගෙන පොළොවෙහි වෙසෙන ගැඩවිලුන් වැනි ලොකු පණුවන් හා ජලයේ ජීවත්වන සරල ව්යූහයක් ඇති කුඩා පණුවෝත්ය. දිගින් මිමී.0.5ක් පමණ වන කුඩා ජලජ විශේෂයන්ගේ සිට අඩි කිහිපයක් පමණ දිග ඇති ගැඩවිලුන් දක්වා ඔලිගොකේටයන්ගේ ප්රමාණය වෙනස් විය හැකිය. ඉතා ලොකු ගැඩවිලකුගේ ශරීරයේ විෂ්කම්භය අඟලක් පමණ වේ. ලංකාවේ දක්නට ලැබෙන පෙරෙටීමා (Pheretima) නමැති සුලභ නිවර්තන ගැඩවිලා දිගෙන් අඟල් 5ක් පමණ වේ. අඩියක් හෝ අඩි දෙකක් පමණ දිග ඇති ගැඩවිල්ලු ද ලංකාවේ ඇතැම් ප්රදේශවල දක්නට ලැබෙත්.
ඇතැම් ජලජ ඔලිගොකේටයෝ තමන්ගේ අපිචර්මීය ඒකශෛලික ග්රන්ථිවලින් ස්රාවය කරනු ලබන තදින් ඇලෙනසුලු ස්රාවයකින් හා මඩවලින් නළ සාදති. ඔලිගොකේටයකුගේ ශරීරයෙන් යම්කිසි ඛණ්ඩ නැති වුවහොත් ඌට ඒවා පුනර්වර්ධනය කරගත හැකිය.
ඔලිගොකේටයන්ගේ ශරීරය සාමාන්යයෙන් සිලින්ඩරාකාරය. ඇතැම් විට එය පැතලි විය හැකිය. නෙරා සිටින ජලක්ලෝම හෝ ප්රසරයන් ඇත්තේ ඉතා කලාතුරකිනි. වලයාකාර රේඛා කිහිපයකින් ඔලිගොකේටයකුගේ ශරීර පෘෂ්ඨය ඛණ්ඩවලට බෙදී ඇත. නානාවිධ ඔලිගොකේටයන්ගේ ශරීරවල දක්නට ලැබෙන ඛණ්ඩ සංඛ්යාව වෙනස්ය. ඇතැම් කුඩා ජලජ ඔලිගොකේටයන්ගේ ශරීරවල ඇත්තේ ඛණ්ඩ 7ක් පමණි. එහෙත් ලොකු ගැඩවිලකුගේ ශරීරයෙහි ඛණ්ඩ 600ක් පමණ දක්නට ලැබේ. එක් විශේෂයකට අයත් සියලු පණුවන්ට ම එක හා සමාන ඛණ්ඩ සංඛ්යාවක් නැත. බිජුවලින් බිහිවුණු පසු ඇතැම් ගැඩවිලුන්ගේ ශරීරවල ඛණ්ඩ සංඛ්යාව වැඩිවන්නේ ඉතා ස්වල්ප වශයෙනි. අලිංගික ඛණ්ඩනයෙන් (asexual fission) ප්රජනනය වන ජලජ ඔලිගොකේටයෝ අලුත් ඛණ්ඩයන් ශරීරවලට එකතු කරගනිමින් උන්ගේ ජීවිත කාලය තුළ ම වර්ධනය වෙත්. ඔලිගොකේටයකුගේ ශරීරයෙහි මෙවුල (clitellum) නමැති ඝන වූ කොටසක් ඇත. මේ මෙවුල එක ඛණ්ඩයකින් හෝ ඛණ්ඩ කිහිපයකින් හෝ සමන්විත විය හැකිය. එයොලොසොමිටිඩේ (Aelosomitidae) නමැති කුලයට අයත් කුඩා ඔලිගොකේටයන්ගේ මෙවුල උදරීය පැල්ලමකට පමණක් සීමා වේ. ඔලිගොකේටයකුගේ එක් එක් ඛණ්ඩයෙහි දැඩි කෙඳි කිහිපයක් ඇත. මේ දැඩි කෙඳි සරල හෝ සිග්මාකාර (sigmoid) හෝ විය හැකිය. පොලිකේටයන්ගේ දක්නට ලැබෙන විවිධ වර්ගවලට අයත් දැඩි කෙඳි ඔලිගොකේටයන් කෙරෙහි දක්නට නොලැබේ. ඇතැම් ඔලිගොකේටයන්ට දැඩි කෙඳි නොමැත [නි.අකේටා (Achaeta)]. ඔලිගොකේටයන්ගේ දැඩි කෙඳිවල කොන් ශරීර බිත්තියේ ගිලී ඇත. නියමිත අංශපාදිකාවන් (parapodia) ඔවුන්ට නැත. අලක (cirri) ද නොමැත. සඟළ අංශපාදිකා පොලිකේටයන් කෙරෙහි දක්නට ලැබේ. ඔවුන්ට අලක ද ඇත. ඔලිගොකේටයන්ගේ ශරීරයෙහි පූර්ව කෙළවරෙහි මෘශ (palps) හෝ ග්රාහිකා (tentacles) හෝ දක්නට නොලැබේ. ඔලිගොකේටයන්ට පැහැදිලි හිසක් නැත. පුරඃපුටය (prostomium) මුඛයට ඉහළින් එල්ලී තිබෙන සරල ඛණ්ඩිකාවකි (lobe). සාමාන්යයෙන් පුරඃපුටයට උපාංග නැත. එය සමහරවිට ක්ෂීණ වී ඇත. ඇතැම්විට එය දික් වී ඇත. ශරීර කෙළවරෙහි ගුදය පිහිටා ඇත. සාමාන්යයෙන් ඔලිගොකේටයන්ට ඇස් නොමැත. එහෙත් ඇස් ඇති ඔලිගොකේටයෝ සුළු සංඛ්යාවක් ද ඇත. ඔලිගොකේටයන්ට ජලක්ලෝම ඇත්තේ ඉතා කලාතුරකිනි. එහෙත් ඇතැම් ඔලිගොකේටයන්ගේ ශරීරවල අපර ප්රදේශයේ තිබෙන ඛණ්ඩවල සරල හෝ අතුවලට බෙදුණු හෝ ජලක්ලෝම දක්නට ලැබේ.
ඔලිගොකේටයන්ගේ ශරීර බිත්තිය තුනී උච්චර්මයකින් (cuticle) ද අපිචර්මයකින් (epidermis) ද පේශී ස්තරයකින් ද සමන්විතය. තැනින් තැන පිහිටා ඇති ග්රන්ථික හා සංවේදක සෛල සහිත ස්තම්භික අපිච්ඡදයකින් (columnar epithelium) තුනී උච්චර්මය ස්රාවණය කරනු ලැබේ. කුඩා පාදස්ථ සෛල බොහොමයක් තිබෙන හෙයින් ගැඩවිලුන්ගේ අපිචර්මය ව්යාජස්තරීභූත (pseudostratified) පෙනුමක් ගනී. ශරීර බිත්තිය හා ආන්ත්රික නාල බිත්තිය අතර තිබෙන ප්රදේශයට ශරීර කුහරය හෙවත් සීලෝම (coelom) යයි කියනු ලැබේ. එය හොඳින් විකාසනය වී ඇත. එය ආවාර මගින් ඛාණ්ඩික ලෙස බෙදී වෙන් වී ඇත. සීලෝම පිටස්තරයත් සමග සම්බන්ධයක් සිදුරු මගින් ඇති කර ගනී. පොළොවෙහි වෙසෙන බොහෝ ඔලිගොකේටයන්ගේ අන්තර්ඛණ්ඩික ඇළිවල පෘෂ්ඨීය සිදුරු දක්නට ලැබේ. මේ සිදුරු තුළින් සීලෝම තරලයන් පිට කළ හැකිය. ඇතැම් ගැඩවිලුන්ගේ සීලෝම තරලය පිට කරනු ලබන්නේ ග්රසනිකාවේ (pharynx) පතුලේ ද ගුදයේ ද තිබෙන විශේෂ සිදුරුවලිනි. ගැඩවිලුන් පිට කරන තරලය කිරි හෝ නානු වැනි විය හැකිය. එහි ගඳක් ද ඇති වන්නට පුළුවන. පෙරෙටීමා ගැඩවිලාගේ සීලෝමික ප්ලාස්මය උගේ රුධිරයට උපාභිසාරක (hypotonic) වන බව ද එහි ප්රෝටීන අඩංගු බව ද පෙන්වා දී තිබේ. ඇතැම් ගැඩවිලුන්ගේ ශරීරවලින් ස්ඵුරදීප්ත (phosphorescent) ද්රව්යයක් පිට වේ. බොහෝ ගැඩවිලුන් තුළ දක්නට ලැබෙන සීලෝමික ග්රන්ථි භක්ෂසෛට (phagocytic) අවයවයන් ලෙස ද ශ්වේතසෛටෝත්පාදක (leucocytopoietic) අවයවයන් ලෙස ද නොයෙක් විට විස්තර කොට ඇත.
මේ පණුවන්ගේ ආන්ත්රික නාලය වූකලි මුඛයේ සිට ගුදය දක්වා මුළු ශරීරයේ දිගට ම වැටී තිබෙන නළයකි. මුඛය ළඟට තිබෙන්නේ ඝන බිත්ති සහිත පේශි ග්රසනිකාවකි. ග්රසනිකා දත් මොවුන්ට නැත. කූඩැල්ලන් මෙන් බහිෂ්පරපෝෂිත ගති ඇති බ්රන්කියොබ්ඩෙලිඩෙ නමැති කුඩා කුලයට අයත් ඔලිගොකේටයන්ට පමණක් ග්රසනිකා දත් ඇත. බොහෝ ඔලිගොකේටයන්ට කයිටිනීය (chitinous) හනු නැත. ග්රන්ථි මගින් ස්රාවණය කරනු ලබන ඛේටයෙහි ප්රෝටීන් ජාරක ශක්තියක් ඇත. පටු නළයක් වන අන්නස්රෝතය (oesophagus) ග්රසනිකාවට පිටිපසින් ඇත. ගැඩවිලුන්ගේ අන්නස්රෝතයේ පැතිවල වටකුරු නෙරුම් යුගල තුනක් ඇත. මේවායින් පළමුවැනි යුගලය අන්නස්රෝත මඩි (pouches) වේ. අනික් යුගල දෙක චූර්ණධර (calciferous) ග්රන්ථිය. මේවා අන්තස්රෝත බිත්තියේ ඝනවීම්ය. මේ ග්රන්ථිවලින් කැල්සියම් ස්ඵටික වශයෙන් කැල්සියම් ස්රාවණය කරනු ලැබේ. රුධිරයේ pH අගය පාලනය කිරීමට මේ චූර්ණධර ග්රන්ථි සහභාගි වේ යයි සිතනු ලැබේ. ගැඩවිලුන් වැඩි දෙනකුගේ ද කුඩා ඔලිගොකේටයන් ස්වල්ප දෙනකුගේ ද අන්නස්රෝතය ගොජුර (crop) නමින් හැඳින්වෙන තුනී බිත්ති සහිත වටකුරු කුටීරයක් සමග අවිච්ඡින්න ලෙස පවතී. ඊළඟට ඇත්තේ චාර්වකය (gizzard) නමින් හැඳින්වෙන ඝන බිත්ති සහිත වටකුරු කුටීරයකි. මෙතැන් සිට ගුද විවරය දක්වා මුළු ශරීරය දිගට ම අන්ත්රය පැතිර පවතී. අන්ත්රය වූකලි පක්ෂ්මධර අවශෝෂක අපිච්ඡදයකින් ආස්තරණය වූ ඇද නැති නළයකි. කූඩැල්ලන්ගේ (Hirudinea) අන්ධාශය (diverticulum) වැන්නක් ඔලිගොකේටයන් කෙරෙහි දක්නට නොලැබේ. එහෙත් පෙරෙටීමාට අන්ධාශයක් ඇත. අන්ත්රයේ කුහරයේ එල්ලී තිබෙන අඳවැටිය (typhlosole) නමින් හැඳින්වෙන අන්වායාම නැම්ම නිසා අවශෝෂක පෘෂ්ඨය වැඩි වේ. කාබොහයිඩ්රේට, ප්රෝටීන හා මේද බිඳ හෙළන එන්සයිම ජීරණ ස්රාවයන්හි අඩංගු වේ.
වෘක්කිකා (nephridia) හා සීලෝමික ප්රණාල (coelomoducts) ඔලිගොකේටයන්ට ඇත. ඔලිගොකේටයන්ගේ මේ අවයව වෙන් වෙන්ව තිබේ. කූඩැල්ලන්ගේත් මේ අවයව මෙසේ පවතී. එහෙත් පොලිකේටයන්ගේ අවයව වෙන් වෙන්ව නැත. වෘක්කිකාවන්ගෙන් කෙරෙන ප්රධාන කෘතිය බහිස්ස්රාවයයි. ප්රජනනේන්ද්රිය ඵල පරිවහනය කිරීම සීලෝමික ප්රණාලවලින් කෙරෙන ප්රධාන කෘතිය වේ. ඔලිගොකේටයන්ගේ වෘක්කිකා සාමාන්යයෙන් ඇත්තේ එක් එක් ඛණ්ඩයෙහිය. එහෙත් සීලෝමික ප්රණාල ප්රජනක ඛණ්ඩ ස්වල්පයකට පමණක් සීමා වී ඇත. ලුම්බ්රිකුස් නමැති ගැඩවිලාගේ වෘක්කිකා බහිර්වෘක්කීයය (exonephric). ඒවා ශරීරයෙන් පිටතට විවෘත වේ. පෙරටීමා ගැඩවිලාගේ වෘක්කිකා සමහරක් ආන්ත්ර-වෘක්කීයය (entero-nephric). ඒවා අන්ත්රය ඇතුළට විවෘත වේ. ඇතැම් පණුවන්ගේ වෘක්කිකා බෙදී ඡේදවෘක්කිකා (meronephridia) යයි කියනු ලබන කුඩා වෘක්කිකා බොහොමයක් සෑදේ. පෙරෙටීමා නමැති ඉන්දියානු ගැඩවිලාගේ වෘක්කිකා වර්ග තුනක් දක්නට ලැබේ (ගැඩවිලා බ.). අනික් ගැඩවිලුන්ට වඩා පෙරෙටීමාට ඉඩෝර තත්ත්වයන්ට ඔරොත්තු දීමට හැකි බැවින් ජල සංරක්ෂණයේදී ආන්ත්ර-වෘක්කීය වෘක්කිකා ප්රයෝජනවත් වේ යයි ඇතැම්හු විශ්වාස කරති. ගැඩවිලකු තෙත පරිසරයක සිටින විට උගේ ශරීරයෙන් වැඩිමනත් ජලය ඉවත් කිරීමට උගේ අන්ත්රය ද වෘක්කිකාවලට සහාය වේ.
හොඳින් විකාසනය වූ රුධිර සංසරණයක් ඔලිගොකේටයන්ගේ ශරීරවල දක්නට ලැබේ. පාර්ශ්වික හා පෘෂ්ඨීයාන්ත්රික (dorso-intestinal) වාහිනී තුළින් ගලා යන රුධිරය පෘෂ්ඨීය වාහිනීවල එකතු කරනු ලැබේ. මේ රුධිරයේ ආපසු යාම කපාට පද්ධතියකින් වැළැක් වේ. පෘෂ්ඨීය වාහිනියේ පසු කෙළවරින් පටන්ගෙන ‘හෘද’ මගින් නොකඩවා ම ඇති කෙරෙන ක්රමාකුංචක තරංග (peristaltic waves) රුධිරය ඉදිරියෙන් හා උදරීය පැත්තෙන් උදරීය වාහිනිය ඇතුළට තල්ලු කරයි. රුධිරය බෙදා හරින ප්රධාන මාර්ගය උදරීය වාහිනියයි. ගැඩවිලුන් කෙරෙහි දක්නට ලැබෙන විශේෂයෙන් විස්තෘත වූ පාර්ශ්වික වාහිනී සංකෝචකය. මෙම වාහිනීන්ගේ ස්පන්දනයේ හේතුවෙන් රුධිරය වාහිනී පද්ධතිය තුළින් තද සංසරණය කරයි. ගැඩවිලාගේ රුධිරය රතු පාටය. උසස් සතුන්ගේ රුධිරයේ තිබෙන හීමොග්ලොබින් එහි ඇත. එහෙත් හීමොග්ලොබින් ඇත්තේ දේහාණුවල (corpuscles) නොව රුධිරයේ තිබෙන ද්රව ප්ලාස්මයෙහිය. ගැඩවිලාගේ රුධිරයෙහි දේහාණු තිබේ. එහෙත් මේවා නිර්වර්ණය.
මස්තිෂ්ක ගැංග්ලියමකින් හෙවත් ‘මොළයකින්’ ද ද්විගුණ උදරීය ගැංග්ලියම දාමයකින් ද ඔලිගොකේටයන්ගේ ස්නායු පද්ධතිය සමන්විතය. මස්තිෂ්ක ගැංග්ලියම පැහැදිලි ලෙස ද්විඛණ්ඩිකය. එය කිට්ටුවෙන් හා වූ ගැංග්ලියම දෙකක් ලෙස සැලකිය හැකිය. මේ මස්තිෂ්ක ගැංග්ලියම පුරඃපුටයෙහි පිහිටා ඇත. ගැඩවිලුන්ගේ මෙය පිහිටා ඇත්තේ මීට ස්වල්පයක් පිටුපසින්ය. යුගල වශයෙන් තිබෙන අන්නස්රෝත සම්බන්ධක (connectives) මස්තිෂ්ක ගැංග්ලියමෙන් පිටිපසටත් පහළටත් පැතිර යයි. ආහාර මාර්ගයේ පූර්ව කොටසෙහි මේ සම්බන්ධක ව්යාප්ත වී ගොස් ඇත. මේවා උදරීය ගැංග්ලියම දාමයේ පූර්ව කෙළවරත් සමඟ පහළින් සම්බන්ධ වේ. එක් එක් ඛණ්ඩයේ ද්විත්ව වූ ගැංග්ලියමක් ඇත. ඛණ්ඩයේ නොයෙක් කොටස්වලට මේ ගැංග්ලියමෙන් ස්නායු කිහිපයක් පැතිර යයි.
ඔලිගොකේටයන්ගේ ප්රජනක පද්ධතියේ විද්යමාන වන ඇතැම් ලක්ෂණ මේ කාණ්ඩයට අයත් පණුවන්ගේ ඉතා වැදගත් ලක්ෂණ සේ සලකනු ලැබේ. එකෙකුදු නොහැර සියලු ඔලිගොකේටයෝ ම ද්විලිංගිකය. ද්විලිංගික වුවත් උන් අතර සිදුවන්නේ පරසංසේවනය (crossfertilisation) පමණකි. එක් විශේෂයක පමණක් ස්වසංසේචනය සිදු වේ යයි සිතිය හැකිය. පුමංගී හා ජායාංගී ප්රජනනේන්ද්රියන් ඇත්තේ ස්වල්පයකි. පණුවාගේ ශරීරයේ පූර්ව කොටසෙහි තිබෙන නියම ඛණ්ඩ ස්වල්පයකට පමණක් මේවා සීමා වේ. පුමංගී ප්රජනනේන්ද්රිය ජායාංගී ප්රජනනේන්ද්රියට වඩා පූර්ව ලෙස සැම විට ම පිහිටා තිබේ. ඛණ්ඩ ස්වල්පයකට පමණක් ප්රජනනේන්ද්රිය සීමාවීම ඇතැම් පොලිකේටයන් කෙරෙහිත් ඇතැම් ආකිඅනෙලීඩයන් කෙරෙහිත් දක්නට ලැබේ. ලිංගික සෛල සීලෝම පිට වන විට ඒවා පොලිකේටයන්ගේ මෙන් සාමාන්ය සීලෝමික කුහරයට ඉවත ලනු ලැබේ. නැත්නම් ඒවා වෙන්ව තිබෙන විශේෂ කොටස්වලට ඉවත ලනු ලැබේ (නි. ලුම්බ්රිකුස්ගේ ශුක්ර ආශයිකා). මේවා තුළ ශුක්ර පරිණත වේ. ප්රජනනය සිදුවන්නේ සංසර්ගය මගිනි. සංසර්ගයේ දී වෙනත් පණුවකුගෙන් ලබා ගත් ශුක්ර රඳවා තබා ගැනීමට ශුක්රධානි (spermatheca) සාමාන්යයෙන් ඇත. පණුවන් දෙදෙනකු අතර සංසර්ගය ඇතිවන විට උන් දෙදෙනා නානු කොපුවකින් වැසේ. සංසර්ගයෙන් පසුව විකාසනය වන පිලාකෝෂයක (cocoon) බිජු දමනු ලැබේ. අපිචර්මයේ විශේෂ ග්රන්ථික විකාසනයක් වන මෙවුලෙන් පිලාකෝෂය ස්රාවණය කෙරේ. කලලය පෝෂණය කරන ඇල්බිමිනොයිඩ ද්රව්යත් මෙවුලෙන් ස්රාවණය කෙරේ. පොළොවෙහි වෙසෙන ඔලිගොකේටයන්ගේ පිලාකෝෂ ඔව්හු පස් යට තබත්. ජලජ ඔලිගොකේටයන්ගේ පිලාකෝෂ ජලශාකවලට ඇලී ඇත. ගැඩවිලුන්ගේත් මෙවුල් හා පිලාකෝෂ විකාසනය වේ. නිදහස් කීට අවස්ථාවක් නොමැතිව බලගොකේටයන්ගේ කලලය විකාසනය වේ. බොහෝවිට ජලජ ඔලිගොකේටයන්ගේ අලිංගික ප්රජනනය සිදු වේ.
ඔලිගොකේටා වර්ගය ගෝත්ර (orders) දෙකකට බෙදා ඇත. (1) ටෙරිකොලෙ (Terricolae) හා (2) ලිමිකොලෙ (Limicolae) යනුවෙනි. පොළොවෙහි පස්වල ජීවත්වන ඔලිගොකේටයන් ටෙරිකොලෙ ගෝත්රයට අයත්ය [නි. පෙරෙටීමා, ලුම්බ්රිකුස්, අලොලොබොපොරා (Allolobophora)]. ලිමිකොලෙ ගෝත්රයට අයත් ඔලිගොකේටයෝ ජලයෙහි ජීවත් වෙති. මුන්ගෙන් බොහෝ දෙනෙක් කුඩා සත්තුය [නි. ටුබිපෙක්ස් (Tubifex) ස්ටයිලාරියා (Stylaria)]. ජලජ ඔලිගොකේටයෝ වඩා පැරණි යයි සලකනු ලැබෙත්. පොළොවේ බෙන හාරා ජීවත්වන ලොකු පණුවෝ වඩා ආදිකල්පික යයි විශ්වාස කරනු ලැබෙත්. ඔලිගොකේටයන්ගේ සම්භවය ගැන මත දෙකක් දැන් පවතී. පැරණි ආකිඅනෙලීඩ මුල් පෙලන්තියකින් උන් උපදින්නට ඇතැයි යනු එක් මතයකි. දැන් නෂ්ට වී ගොස් ඇති ඇතැම් පොලිකේටයන්ගෙන් උන් උපදින්නට ඇතැයි යනු අනෙක් මතයයි.
(සංස්කරණය: 1974)