ඓෆල්
ඩීෂෝංහි ඉපිද පැරිසියේ ගෘහ නිර්මාණ විද්යායතනයක අධ්යාපනය ලබා ගෞරව උපාධියක් හිමි කරගත් ඓෆල්ගේ නාමය පළමු කොට ම ප්රකට වූයේ පාලම් ඉදිකිරීමේ දී අත්තිවාරම් සිලින්ඩර කිඳා බැස්සීම සඳහා සම්පීඩිත වාතය යොදා ගැනීම හේතුකොටගෙනය. දකුණු ප්රංසයේ ගැරබිට් බෝක්කු පාර මොහුගේ ශිල්පීය නෛපුණ්යය විදහා දක්වන මාහැඟි නිදසුනකි. පලංචි නොමැතිව ටැම්වලින් ම නිමවා ඇති, පෘතුගාලයේ ඩෝරු පාලම හා බෝර්ඩෝහි ගාරොන් පාලම ද ඓෆල්ගේ නිර්මාණයෝයි. මෙතෙමේ නිව් යෝක් වරායේ නිදහස් ප්රතිමාවේ අභ්යන්තර ව්යූහයේ නිර්මාණ ශිල්පියා ද විය. පැනමා ඇළේ ඇළ දොරවල් නිර්මාණය කරන ලද්දේ ද මොහු විසිනි. 1889 දී පැරිස් ප්රදර්ශනය සඳහා ෂාං ද මා උද්යානයෙහි මොහු ඉදි කළ අඩි 1,010ක් උස ඓෆල් ටැම්ගෙය නිව් යෝක්හි අඩි 1,250ක් උසැති එම්පයර් ගොඩනැඟිල්ල ඉදිවන තුරු ම ලෝකයේ උස ම ගොඩනැඟිල්ල වශයෙන් සැලකිණි. ටැම්ගෙයි මුදුනටත් අතර පිහිටි වේදිකාවලටත් යෑම සඳහා එලිවේටර මෙන් ම සෝපාන පන්ති ද සවි කොට ඇත. වේදිකාවන්හි ආපණශාලා, කාලගුණ නිරීක්ෂණ ස්ථාන හා වෙනත් පර්යේෂණ මධ්යස්ථාන ද වෙයි.
ගොඩනැඟිලි ඉදිකිරීමේ කටයුතුවලට යොදා ලූ වායුපීඩනය සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත්වූ ඓෆල් පසුව වායුගුණ විද්යාව හැදෑරීමට උත්සුක වූයේය; මේ පිළිබඳව ග්රන්ථ කීපයක් ද සම්පාදනය කෙළේය. 1908 දී ප්රථම නූතන වායු ගති විද්යා රසායනාගාරය පැරිසියේ ෂාං ද මා උද්යානයෙහි පිහිටුවා ලූ හේ 1912 දී අංග සම්පූර්ණ ප්රථම හුළං උමඟ පිහිටුවාලූයේය. ඓෆල්ගේ වැදගත් ම කෘතිය වනුයේ වායු ප්රතිරෝධය හා ගුවන් තරණය පිළිබදව ලියන ලද ග්රන්ථයයි.
(සංස්කරණය: 1974)
