ආහාර දාම
ශාකයන් විසින් ප්‍රභාසංශ්ලේෂණයෙන් ද ඉන් පසුව ද නිෂ්පාදනය කරනු ලබන ආහාර වල ශක්තිය (energy) ගබඩා වී තිබේ. ශාකයන් සපයා ගත් ආහාර අනුභව කිරීමෙන් සත්තු එම ආහාරගත ශක්තිය ප්‍රයෝජනයට ගනිත්. පලාවන් ශාකවලින් ලැබෙන ආහාර ශක්තිය පිළිවෙළින් එක් ජිවියෙකුගෙන් තව ජීවියකුට ප්‍රයෝජනයට ගත හැකිය. මෙසේ ජීවීහු බොහෝ දෙනෙක් මේ ශක්තිය ප්‍රයෝජනයට ගනිති. පලාවන් කොළයක යුෂය කුඩා කෘමියෙක් ආහාර වශයෙන් ගනියි. මේ කෘමියා කුරුමිණියකුට ආහාර වේ. මකුළුවෙක් කුරුමිණියා ආහාරයට ගනී. කටුස්සෙක් මකුළුවා ආහාරයට අල්ලා ගනියි. කටුස්සා සර්පයකුට ගොදුරු වෙයි. උකුස්සෙක් සර්පයා අල්ලා ගනියි. උකුස්සා මැරුණු විට උගේ මළකුණ සිවලකුට ආහාර වේ. පරපෝෂිතයෙකු වශයෙන් සිවලාගේ ශරීරයෙහි කිනිතුල්ලෙක් ද සිටී. සිවලා මැරුණු විට උගේ ශරීරය බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරිත්වයෙන් දිරාපත් වෙයි. එය ශාකයකට පොහොර වීමෙන් යළි ආහාර දාමය ඇරඹේ.
මෙසේ ආහාරදාමයක පහත් තැනකින් පටන් ගෙන ක්‍රමයෙන් නැඟී ගොස් උච්ච ස්ථානයක් දක්වා පූර්වෝක්ත ක්‍රියාවලිය සිද්ධ වන අයුරු පහත දැක්වෙන සටහනින් පැහැදිලි කෙරේ:-
මුහුදේ ජීවත් වන කුඩා කවචයෝ කශිකාධරයන් (flagellates) වැනි කුඩා සතුන් ද ඩයටම වැනි කුඩා අල්ගේ පැළෑටි ද ආහාරයට ගනිති. මත්ස්‍ය යෝ කවචයන් ආහාරයට ගනිති. එබැවින් මුහුදේ මත්ස්‍යයන් සියල්ලන්ම ජීවත් වන්නේ ප්ලවාංගයේ (plankton) අඩංගු ඩයටම හා කශිකාධරයන් නිසා යයි කිය හැකිය. ඉතා විශාල සතකු වන තල්මහ පවා ඌට අවශ්‍ය ශක්තිය ලබාගන්නේ ඩයටම වැනි කුඩා අල්ගේ පැළෑටිවලිනි. මේ කුඩා අල්ගේ පැළෑටි වලට ශක්තිය ලැබෙන්නේ සූර්යයා ගෙනි. පහත සඳහන් ආහාර දාමයෙන් මෙය දැක්වේ.
කුඩා ඉස්සෝ ඩයටම වැනි කුඩා අල්ගේ පැළෑටි ආහාරයට ගනිති. කුඩා මත්ස්‍යයෝ මේ කුඩා ඉස්සන් කති. දැල්ලෝ කුඩා මත්ස්‍යයන් කති. තල්මස්සු දැල්ලන් ආහාරයට ගනිති.
ආහාර දාමයක් සැමවිට ම ආරම්භ වන්නේ ශාකයකිනි. සාමාන්‍යයෙන් ආහාර දාමයක මුදුනේ ඇති සත්තු එහි පාදයට සමීපයෙන් සිටින සතුන්ට වඩා ලොකුය. තවද ආහාර දාමයක පහළ තැන්වල සිටින සතුන්ගේ සංඛ්‍යාව උන්ට ගොදුරු වන සතුන්ගේ සංඛ්‍යාවට වඩා විශාල විය යුතු බව පැහැදිලිය. එසේ නැතහොත් උන් වඳ වී යා හැකිය. ප්‍රජාවක් තුළ පවත්නා සමතුලිතතාවට ආහාර දාමයකට අයත් සියලු සාමාජිකයන්ගේ ක්‍රියා ආධාර වේ. එහෙත් සම්පුර්ණ ආහාර චක්‍රය නොයෙක් විට නිශ්චය කෙරෙනුයේ ආහාර දාමයේ ඇතැම් තන්හි දී ඇති වන ජීවීන්ගේත් ද්‍රව්‍යයන්ගේත් අඩුවැඩිකම අනුවය. මීට නිදසුනක් නම් මුහුදේ ජිවත් වන ජීවීන්ගේ සංඛ්‍යාව ද ආහාර දාමයකට අයත් එක් විශේෂයක සංඛ්‍යාව ද මුහුදේ අඩංගු පොස්පේට් ප්‍රමාණය අනුව සීමා විය හැකි වීමයි.
මාංස භක්ෂකයන් හා ශාකභක්ෂකයන් අතර සබඳකම් ද ඒ දෙපක්ෂය හා ශාකයන් අතර සබඳකම් ද පෙන්වන ආහාර දාම මාලාවකින් සත්ව ප්‍රජාවක ආර්ථික සංවිධානය නිරූපණය කළ හැකිය. ප්‍රජාවක ආහාර දාම සියල්ල එකතු වීමෙන් ආහාර චක්‍රය සෑදේ. ප්‍රජාවක දක්නා මෙවැනි ආහාර දාම කීපයක අන්‍යෝන්‍ය සබඳකම් මෙහි දැක්වෙන චිත්‍රයෙන් වටහා ගත හැකිය. සාමාජික ප්‍රජාවන් අතර පවත්නා අන්‍යෝන්‍ය සබඳකම් සෝදිසි කර බලන කල ඒවා එසේ පැවැත්මට ආහාර දාම ද අත්‍යන්තයෙන් උපකාරී වන බව පෙනේ.
(සංස්කරණය:1963)