අතු බැඳීම (Layering)

සිංහල විශ්වකෝෂය වෙතින්
19:40, 1 ජූනි 2023 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) ('අතු බැඳීම වනාහි වර්ධකප්‍රජනනය මගින් ඇතැම් ශා...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

අතු බැඳීම වනාහි වර්ධකප්‍රජනනය මගින් ඇතැම් ශාකයන් බෝ කර ගන්නා කෘත්‍රිම ක්‍රමයකි. ඊට අනුව ශාකයක අත්තක් මව් ශාකයෙන් ජලය හා පෝෂණය ලබා ගන්නා අතර ම ඉන් මුල් ඇදීමට ද සලස්වනු ලැබේ. හොඳින් මුල් ඇදුණු පසු ඒ අත්ත මව් ශාකයෙන් වෙන් කොට වෙන ම සිටවනු ලැබේ. සාමාන්‍ය ක්‍රමයට අතු කපා සිටවූ කල පහසුවෙන් මුල් නොඅදින ඇතැම් ශාක අතුබැඳීමේ ක්‍රමයෙන් ප්‍රවාරණය කළ හැකිය.

මේ ක්‍රමය පදනම් කොට ඇත්තේ ප්ලෝමය දිගේ ප්‍රධාන කඳ හෝ මුල දෙසට ගලා යන යුෂය මුල් ඇදීමට යෝග්‍ය තැනක මඳ වශයෙන් නැවැත්වීමයි. සමහර ශාකයන්ගේ ප්‍රරෝහයක ඕනෑ ම කොටසක් පසෙන් වැසූ කල ලෙහෙසියෙන් මුල් අදී. එහෙත් මුල් ඇද්දවීමට සාමාන්‍යයෙන් යුෂය ගලා යෑම යම් කිසි ලෙසකින් වැළැක්වීම ප්‍රයෝජනවත්ය. මේ සඳහා යොද්‍ර ගන්නා ක්‍රම කීපයක් පහත සඳහන් වේ:-

1. අත්ත නමා ලී ඇණයකින් පොළොවට තද කොට තබා ඒ ප්‍රදේශ පස්වලින් හොඳට වසා ප්‍රරෝහයේ අග කොටසෙහි ඇති අංකුර කීපයක් හැර සෙසු අංකුර සියල්ල ම ඉවත් කොට ප්‍රරෝහයේ අග ඉහළට නැමී සිටින අයුරු ඉවත් කොට ඉන්නකට බැඳීම.

2. අංකුරයකට පහළින් අත්ත බාගෙට කපා ඒ කැපූ තැනින් උඩු අතට මඳක් දුරට පළා, පෑළුෑ හරිය වෙන් ව තබා පස්වලින් වසාලීම.

3. අත්තේ යම් කොටසන් පසට යට කෙරේද එහි පොත්තෙන් අගල් ½ ක් පමණ දිග කැබෙල්ලක් ඉවත් කරලීම.

4. පසට යට කරන අතු කොටස කම්බියකින් වෙළා මුල් ඇදෙන්ට සැලැස්සීම.

5. පස් යටකරන අතු කොටස අඹරා හැරීම.

6. අත්තක් පෙළොවට ළඟා කර ගත නොහැකි විට එහි පොත්තෙන් මුදුවක් කපා හැර එසේ කැපූ කොටස පෙට්ටියක හෝ පෝච්චියක තබා පස්වලින් වැසීම. පෙට්ටිය වෙනුවට තැළුැ පොල් ලෙලි ද සුදුසුය.

මේ සෑම ක්‍රමයක දී ම අත්ත වසා තිබෙන පස තෙත්ව තිබිය යුතුයි. අත්තෙන් හොඳට මුල් ඇදෙන තුරු එය මව් ශාකයෙන් වෙන් නොකළ යුතුයි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අතු_බැඳීම_(Layering)&oldid=1456" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි