තායි හ්සු
(T'ai-hsu/Taixu/T’ai Hsü) (08.01.1889-17.03.1947). චීන ජනරජ යුගයේ (1912-1949) සිටි විශිෂ්ටතම භික්ෂූන් සිවු දෙනාගෙන් කෙනකු ලෙස සම්භාවනාවට පාත‍්‍රවන බුද්ධ පුත‍්‍රයාණෝ ය. නූතන විද්‍යා සහ දාර්ශනික චින්තාව සමඟ සුසංයෝග කොට බුදුසමය තත්කාලී ව නවීකරණය කිරීමට පදනම දැමූ යතිවරයාණෝ ය. චීන සංඝ සමාජය ප‍්‍රතිසංවිධානය කළ සංඝ ශෝධක ථෙරනමකි. චීන බුදුසමයේ පුනරුදය උදෙසා මෙන් ම ලොව පුරා බුදුසමය ව්‍යාප්ත කිරීම පිණිස ද ක‍්‍රියා කළ බෞද්ධ දාර්ශනිකයෙකි. බෞද්ධාමික ජීවන රටාව සහ වත්පිළිවෙත් නව යුගයට ගැලපෙන සේ ප‍්‍රතිසංස්කරණය කොට නවීකරණය කිරීමට දරන ලද ප‍්‍රයත්න නිසා කීර්තියට පත් භික්ෂුවකි.
ජෙජ්‍යාංග් (Zhejiang) පළාතේ හේයිනිංහි (Haining) උපත ලද මොහුගේ ගිහි නාමය ලූ පේයිලින් (Lü Peilin) විය. සූසෝ (Suzhou) පළාතේ මුදු (Mudu) නුවර පිහිටි ෂියාඔජ්‍යුහුවා (Xiaojiuhua) ආරාමයේ දී ශිදා (Shida) නම් හිමියන්ගේ උපාධ්‍යායත්වය යටතේ 1904 දී වයික්සින් (Weixin) නමින් ප‍්‍රව‍්‍රජ්‍යා දිවියට පිළිපන්නේ ය. පසුකලෙක ෂුවාංග්නියන් (Zhuangnian) නමැති ගුරු හිමියන් විසින් මුන්වහන්සේට තායි හ්සු නාමය දෙන ලදි. නිංග්බෝ (Ningbo) නුවරාසන්නයේ තියාංග්ඩොන් (Tiandong) සංඝාරාමයේ දී ජීහාන් (Jichan) හිමියන්ගේ උපදේශකත්වය යටතේ මෙතුමෝ ධර්මශාස්ත‍්‍ර හැදෑරූහ. ඉක්බිති නොයෙක් ස්ථානයන්හි සංචාරය කරමින් කීර්තිමත් බෞද්ධ පඬිවරුන් යටතේ තවදුරටත් ධර්මාවබෝධය පුළුල් කර ගත්හ. ඒ අනුව තියන්තායි නිකායික බුදුසමය ඩික්සියන් (Dixian) හිමියන් යටතේ ද ෆාෂියෑන් (බ.) නිකායික 'අනිවාර්ය බෞද්ධ ග‍්‍රන්ථ අට' (Xiang Zong Ba Yao) සහ 'ධර්මයේ සහ භාවනාවේ සාරය' (Jiao Guan Gang Zong) ඩාවෝජී (Daojie) හිමියන් යටතේ ද ප‍්‍රගුණ කළහ. මුන්වහන්සේ සම්භාව්‍ය බෞද්ධ සාහිත්‍යය සෙන් බුදුසමයේ සම්භවය සහ ඉතිහාසය පමණක් නොව වෙනත් ස්වදේශික මෙන්ම විදේශික බෞද්ධ පඬිවරුනගේ කෘති ද අධ්‍යයනය කළහ. 1909 දී නැන්ජින් (Nanjing) පැමිණි මුන්වහන්සේ යන් වෙන්හ්‍යුයි (Yang Wenhui) (බ.) නමැති ගිහි බෞද්ධ ක‍්‍රියාකාරිකයා විසින් පිහිටුවන ලද ජ්‍යුවාන් (Zhihuan) ආරාමයේ තවදුරටත් ශාස්ත්‍රෝද්ග‍්‍රහණය කළහ. ඉක්බිති පුටු ඕ (Putuo) කූඨයේ හුවායු (Huayu) නිකායේ ආචාර්යවරයෙක් බවට පත් මුන්වහන්සේ වෙත 1911 දී ගුවැන්ෂෝහි (Guangzhou) බායුන් (Baiyun) කූඨයේ පිහිටි ෂුවාංසි (Shuangxi) ආරාමයේ නායක හිමියන් ලෙස පත්කර ගන්නා ලදහ. එතැන් සිට විවිධ කාලවකවානුවල දී නොයෙක් බෞද්ධාරාමයන්හි අධිපතිත්වය දරමින් කටයුතු කළහ.
1911 විප්ලවයෙන් ද ආචාර්ය සුන් යට්-සෙන්ගේ (Sun Yat-sen) (බ.) ක‍්‍රියාකාරකම්වලින් ද ආශ්වාදය ලත් මුන්වහන්සේ ඔහු සම`ග තථ්‍ය ජීවිතය සහ බෞද්ධ ප‍්‍රතිසංස්කරණ පිළිබඳ අදහස් හුවමාරු කර ගත් බවත් 1928 දී චැන් කායි-ෂෙක් (Chiang Kai-shek) (බ.) සමඟ චීන බෞද්ධ සංගමය සහ බුද්ධාගම ප‍්‍රචලිත කරනු වස් ලෝක බෞද්ධ ව්‍යාපාරයක් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡුා කළ බවත් පළ වේ.
සංඝ සමාජය බෞද්ධාධ්‍යාපනය ලැබ ගැන්ම සහ බෞද්ධ වත්පිළිවෙත් පිළිපැදීම ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් 20 වන සියවස ආරම්භයේ දී චීනයේ බුද්ධාගම ඇද වැටී තිබූ තත්ත්වය කෙරේ මුන්වහන්සේ කලකිරී සිටියහ. විශේෂයෙන්, අනුගාමිකයින්ගෙන් මුදල් ගෙන අවමංගල්‍ය සහ අනෙකුත් ආගමික චාරිත‍්‍ර ඉටුකිරීම, මතු ආත්මභවයන්හි ශුද්ධ භූමියක උපත ලබනු වස් කුසල් රැුස් කිරීම පිළිබඳ දේශනා කරනු විනා ඔවුන්ගේ වත්මන් තත්ත්වය ඉහළ නැංවීමට ක‍්‍රියා නොකිරීම, සංඝ සමාජය භේදභින්න වී තිබීම, සමකාලීන ලෝක තත්ත්වය කෙරේ භික්ෂු සංඝයා අවදියෙන් නොසිටීම යන කාරණා මුන්වහන්සේගේ මහත් කණස්සල්ලට හේතු වී තිබිණ. මේ තත්ත්වයෙන් මුදවාගෙන සංඝ සමාජය ප‍්‍රතිසංවිධානය කිරීමටත් ඒ සඳහා බෞද්ධ සංවිධාන පිහිටුවීමටත් ඔහු දැරූ ප‍්‍රයත්ත දිගින් දිගට ම අසාර්ථක විය.
එනයින් තමන් වහන්සේ විසින් සැලසුම් කොට තිබෙන ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය මාවත සකසා ගනු පිණිස විස්තීර්ණ සහ තාර්කික ව්‍යූහයක් සකසා ගැනීම පිළිබඳ ව කල්පනා කිරීමට වන්හ. එනයින් විප්ලවයෙන් පසු ෂැන්හායි නුවරට ගොස් ෂෑන් තයාන් (Zhang Taiyan) (බ.) සමඟ පුනරුද සංගමයක් (Awakening Society) ස්ථාපිත කිරීම පිළිබඳ සාකච්ඡා කළහ. නංජින් (Nanjing) නුවර මූලස්ථාන කොටගෙන බෞද්ධ පුනරුද සංගමය (Association for the Advancement of Buddhism) ලෙස 1912 දී ගොඩනැඟෙනුයේ එයයි. 1919 දී එකී සංගමයේ වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් හැංජෝහි (Hangzhou) පැවති සාකච්ඡුා අසාර්ථක වූයෙන් එහි ප‍්‍රකාශනය වෙනුවට 1921 දී ‘සමුද්‍ර ඝෝෂ’ (Hai Chao Yin – The Voice of the Sea Tide) නමින් ඉමහත් පිළිගැනීමට පත් මාසික සඟරාවක් ආරම්භ කළහ. 'නව බුද්ධාගම' පිළිබඳ මෙතුමන්ගේ අදහස් මෙම සඟරාව ඔස්සේ ප‍්‍රචලිත කරනු ලැබිණ. එය 'මානව ජීවිතය උදෙසා බුදුසමය' (jen sheng fo-chiao) නමින් හැඳින්වෙන්නට වන. තවද මෙතුමන්ගේ දර්ශනය උන්වහන්සේ විසින් රචිත ග‍්‍රන්ථ මඟින් ද එළිදුටුවේ ය. ඒ අතර යින්ගුවාන් (Yinguang) හිමියන්ගේ අනුග‍්‍රහයෙන් 1914 දී පුටු ඕ කූඨයේ ෆායූ (Fayu) ආරාමයේ හුදෙකලා ව දිවි ගෙවමින් බුද්ධාගම පිළිබඳ කළ කෘති වන 'බුද්ධ ධර්මයට හැඳින්වීමක්' (Fo Fa Dao Lun), 'ආත්ම ප‍්‍රකෘතිය පිළිබඳ මගේ දැක්ම' (Po Shen Wo Lun), 'චීනයේ බුද්ධාගමේ පරිහානිය පිළිබඳ ගවේෂණයක්' (Zhen Dan Fo Xue Shuai Luo Yuan Yin Lun), 'අධ්‍යාපනය පිළිබඳ නව අවබෝධයක්' (Jiao Yu Xin Jian), 'දර්ශනයේ මූලධර්ම' (Zhe Xue Zheng Gui) ආදියත් 1927 අගෝස්තුවෙන් පසු හැංජෝ බලාගොස් 'සැබෑ යථාර්ථය ගැන' (On Real Reality), 'ඉතිහාසය පිළිබඳ නිදහස් සංකල්පය' (Free Conception of History) යනාදියත් මේ අතර වෙයි. මෙහිමියන්ගේ කෘති වෙළුම් 64ක සංගෘහිත ය.
ජෙන්ජියැංහි (Zhenjiang) ජින්සන් (Jinshan) ආරාමය ස්ථාපිත කිරීමේ අවස්ථාවේ දී බුද්ධාගම ප‍්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ තම අදහස් ඉස්මතු කෙළෙන් එය ගතානුගතික අදහස් දැරූ භික්ෂූන් වහන්සේ හා ගැටුමකට තුඩුදුන්නේ ය. 'ජින්සන් ආරාම සිද්ධිය' නමින් නූතන බෞද්ධ ශාසන ඉතිහාසයේ ප‍්‍රකට වූයේ එයයි. කාලයක ඇවෑමෙන් ෂැන්හායිහි ජීහාන් (Jichan) හිමියන් සිහිපත් කරමින් පැවැත්වූ පුණ්‍යෝත්වයේ දී වසර ගණනාවක් පුරා මෝරමින් පැවති ප‍්‍රශ්න කෙරේ අවධානය යොමු කරමින් බෞද්ධ ඉගැන්වීම් ද පරිපාලන රටා ද ආරාමික දේපළ පාලනය ද ප‍්‍රතිසංස්කරණය කිරීමට ඇති අවශ්‍යතාව මුන්වහන්සේ පෙන්වා දුන් සේක. ඉනික්බිති ෂැන්හායි, හැංජෝ (Hangzhou), නිංබෝ (Ningbo) සහ ෂා ඕෂිං (Shaoxing) අතර චාරිකාවෙහි යෙදෙමින් බුද්ධාගම ප‍්‍රචලිත කිරීමට වෙහෙස ගත්හ.
'නව බුද්ධාගම' ප‍්‍රචලිත කිරීමෙහිලා භික්ෂු අධ්‍යාපනය ප‍්‍රතිසංවිධානයෙහි වැදගත්කම දුටු මෙතුමෝ 1922 දී වුචාන් (Wuchang) ඇතුළු ස්ථාන කිහිපයක බෞද්ධාධ්‍යයනායතන පිහිටුවා වදාළහ. එහිලා බොහෝසෙයින් සාර්ථක වූ මුන්වහන්සේගේ අරමුණ වූයේ නව යුගයට ගැලපෙන සේ බෞද්ධ අධ්‍යාපනය වැඩිදියුණු කිරීමයි. එහිදී පෙළ දහම, භාවනා සහ ආරාමික පාලනය සම්බන්ධ ඉගැන්වීමේ කටයුතු සාම්ප‍්‍රදායික සම්මත නොකඩා පවත්වාගෙන යෑමටත් නූතන විද්‍යාව, ඉංග‍්‍රිසි භාෂාධ්‍යයනය, ගිහි සාහිත්‍යය ආදිය විෂය මාලාවට ඇතුළත් කිරීමටත් ක‍්‍රියා කළහං විශේෂයෙන් හුවා-යෙන් (Hua-yen) (බ.) සහ තියෙන්-තායි (T'ien-t'ai) (බ.) යන නිකායද්වයෙන් උද්ධරණිත දහම් කරුණු සමඟ මුසු කළ විට පාහියන් (Fa-hsiang) (බ.) හිමියන්ගේ ඉගැන්වීම් නූතන විද්‍යාවේ සොයාගැනීම් හා විරුද්ධාභාෂ නොදක්වන බවට මෙතුමෝ තර්ක එළැවූහ. වෙසෙසින් සෙන් (Chan/Zen) සහ වෙයිෂි (විඥාප්තිමාත‍්‍ර) (Weishi) නිකායයන්හි පැනෙන බුදුසමයේ පාරභෞතික (metaphysical) සහ විමුක්තිධාර්මික (soteriological) පැතිකඩ අරුත්ගැන්වීමට නූතන කාලයේ කටයුතු කළ අය අතරින් මුන්වහන්සේ ඉදිරියෙන් ම සිටින්නෙකි. එකිනෙකා කෙරෙහි විරුද්ධවාදීකම් පෑ හුවායන් හෙවත් කෙගෝන් (Huayan-Kegon) සහ තියන්තායි (Tiantai) නිකායික ඉගැන්වීම් වෙයිෂි දර්ශනය සමඟ ගලපා සංයෝග කිරීමට මෙතුමෝ යත්න දැරූහ. 1931 දී චොන්චිංහි (Chongqing) ජින්‍යුන් (Jinyun) කූඨයේ පිහිට වූ චීන-ටිබෙට් අධ්‍යයනායතනය ද මුන්වහන්සේගේ ව්‍යාපෘතියකි.
මුන්වහන්සේගේ දර්ශනයට අනුව යමින් ඔහුගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සහ අනුගාමිකයින් විසින් නූතන ලෝකයේ අවශ්‍යතා අනුව බුද්ධාගම ගලපමින් කටයුතු කරගෙන ගියහ. ඒ අතරින් යින්-ෂුන් (Yin-shun), ලී-ෂු-ක්වාන් (Li Tzu-k'uan), ශෙන්ග්-යෙන් (Sheng-yen) සහ සින්ග්-යුන් (Hsing Yun) හිමිවරු මතුවී පෙනෙති.
ලොව පුරා සිටින බෞද්ධයින් අතරත් බුද්ධාගම සහ වෙනත් ආගම් අතරත් සම්බන්ධතා ගොඩනැඟීමට මෙතුමෝ ප්‍රෝත්සාහී වූහ. ඒ සඳහා ජාතික සහ ජාත්‍යන්තර බෞද්ධ සංවිධාන පිහිටුවාලීමෙහිලා මහත් පරිශ‍්‍රමයක් දැරූහ. 1918 දී තායිවානයේ සහ ජපානයේ දීර්ඝකාලීන සංචාරයක නිරත වූ මුන්වහන්සේ ජපානයේ ටෝකියෝහි පැවති නැගෙනහිර ආසියා බෞද්ධ සම්මේලනයට සහභාගී වූහ. කඩදාසි කැබැල්ලකට පමණක් සීමා වී තිබූ ලෝක බෞද්ධ සම්මේලනයේ හමුවීම් මාලාවක් මුන්වහන්සේ 1920 ගණන්වල දී ම ආරම්භ කළහ. 1925 දී ජපානයේත් එහි විජිතයක් ව තිබූ තායිවානයේත් චීනයේත් බෞද්ධ නියෝජිතයින් සහභාගී වූ 'නැගෙනහිර ආසියා බෞද්ධ සම්මේලනය' (East Asian Buddhist Conference) සංවිධානය කිරීමට මුන්වහන්සේ උපකාර කළහ. මෙතුමෝ 1928-1929 දී මාස නවයක කාලයක් පුරා යුරෝපයේ (ප‍්‍රංසය, මහා බ්‍රිතාන්‍යය, බෙල්ජියම සහ ජර්මනිය) සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය කරනුයේ චීන ආණ්ඩුවේ සංස්කෘතික නියෝජිතයකු වශයෙනි. එහිදී මෙතුමෝ 'බෞද්ධ පාප් වහන්සේ' යැයි හඳුන්වනු ලැබූහ. එනමුත් බටහිර ජාතිකයින් කෙරේ බලගතු හැඟීමක් ජනිත කිරීමට මෙම සංචාරය අපොහොසත් වූයේ ඒ සඳහා සූදානම්වීමේ පැවති දුර්වලතා සහ පරිවර්තකයින් සොයාගැනීමේ අපහසුතා නිසා ය.
1939 සහ 1941 දී දකුණු සහ අග්නිදිග ආසියාතික රටවල (බුරුමය, ඉන්දියාව, ලංකාව, හොංකොං, සිංගප්පූරුව, මැලේසියාව, වියට්නාමය ඇතුළු තවත් රටවල්) සංචාරය කළ මුන්වහන්සේ ලංකාවේ ථෙරවාද බෞද්ධයින් සමඟ හුවමාරු වැඩසටහනක් ඇති කර ගැනීමට ප‍්‍රයත්න දැරූහයි පළවේ. මුන්වහන්සේ විසින් දරන ලද උත්සාහයේ ශ්‍රේෂ්ඨතම ප‍්‍රතිඵලය අත්පත් කර ගැන්මට ලැබෙනුයේ අපවත්වීමෙන් පසු ව යැයි විශ්වාස කෙරේ. ලංකාවේ සංචාරයෙහි නිරත වූ අවස්ථාවේ දී ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක ඇති වැදගත්කම පිළිබඳ ව ආචාර්ය ජී.පී. මලලසේකර (බ.) මුණගැසී සාකච්ඡා කළ බවත් එවැනි සංවිධානයක් බිහිකිරීමට දෙවන ලෝක මහා සංග‍්‍රාමය නිමා වන තෙක් ඉවසා සිටිය යුතු බවට දෙදෙනා ගිවිසගත්හයි පළ වන හෙයිනි. ඒ අනුව අද චිරස්ථායී ව වැජඹෙන ලෝක බෞද්ධ සහෝදරත්වය 1950 දී ස්ථාපනය කෙරිණ.
ෂැන්හායිහි (Shanghai) ජේඞ් බුද්ධ ආරාමයේ දී අපවත් වී වදාළ මුන්වහන්සේගේ අභිලාශයන් සහ සැලසුම්වලින් එතුමා ධරමාණ කාලයේ දී ඉටුකර ගත හැකි වූයේ සුළු ප‍්‍රමාණයකි. එකී සැලසුම්වල බාහුල්‍යයත් ඒවායෙහි දැවැන්තභාවයත් ඊට හේතු විණැයි දැක්වේ.
කර්තෘ: රන්ජන දේවමිත‍්‍ර සේනාසිංහ
(සංස්කරණය නොකරන ලද-2022)
ප්‍රවර්ගය: ත