ධෘතරාෂ්ට්‍ර-1

සිංහල විශ්වකෝෂය වෙතින්
15:28, 5 ජනවාරි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ලෝක පාලක සතරවරම් දෙවියන් වශයෙන් දක්වන පුද්ගල...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ලෝක පාලක සතරවරම් දෙවියන් වශයෙන් දක්වන පුද්ගල නාම අතුරින් මුලින් ම හමුවන නාමය ධෘතරාෂ්ට්‍ර ය. සංස්කෘත භාෂාවෙන් ධෘතරාෂ්ට්‍ර, බ්‍රැතරාෂ්ට්‍ර යනුවෙන් ද පාලි භාෂාවෙන් ධතරට්ඨ යනුවෙන් ද මොහු හඳුන්වනු ලැබේ. ධර්මයට හෙවත් සෘතයට අධිපති වූ හෙතෙම අධ්‍යාත්මයේ ද පාලකයා විය. ඍග්වේද යුගයේ පටන් ම ආකාසට්ඨ (ආකාශස්ථ) දෙවියකු විය. මොහු, දෙවියන්ගේ රජු යන අදහසින් ‘සාමුජ’ වූ අතර වරුණ, සෝමරක්ෂ, ධෘතවෘත, ධෘතරාෂ්ට්‍ර යන නම්වලින් ද හැඳින්වෙන බව එම යුගය කෘතීන්ගෙන් පෙනේ. ගන්ධර්ව නම් ජීව කොට්ඨාසයකට මෙම සෝමරත්න (ධෘතරාෂ්ට්‍ර) අධිපතිත්වය දැරූ බව ද සෘග්වේද සංගිතාවන්ගෙන් ද පැහැදිලි වේ. අථර්වවේද හා මහාභාරත යුගය දක්වා ම බටහිර දික්පති වශයෙන් කටයුතු කරන වරුණ (ධෘතරාෂ්ට්‍ර) බුද්ධකාලීන යුගය වන විට පූර්වදිශා භාර ව කටයුතු කළ බව දීඝනිකාය අනුව පෙනේ.

මහාභාරත යුගයේ මායාකාර දේව යෝනියක් ලෙස කටයුතු කරමින් ගණනින් ද වැඩෙමින් ක්‍රියාත්මක වූ මෙම ගාන්ධර්ව පිරිස, බුද්ධකාලයේ දී ශක්‍රාදීන්ට සංගීතය සපයන දිව්‍යමය සේනාවක් විය. ඔවුන්ගේ නායකත්වය ලැබුණේ ධෘතරාෂ්ට්‍රයනට ය.

බුද්ධකාලයේ දී හමුවන ධෘතරාෂ්ට්‍ර ශක්‍රගේ මූර දෙවියෙකි. මේ හැර ධජග්ග ආදි සූත්‍ර රැසක දී වරුණ නමින් හැඳින්වෙන, ඉන්ද්‍ර (ශක්‍ර) සහායක වෙනත් දෙවියෙකු ද හමුවේ. මේ අනුව වෛදික යුගයේ එක ම දෙවියෙකු ලෙස පිදුම් ලද වරුණ (ධෘතරාෂ්ට්‍ර) බුද්ධකාලය වන විට බලයෙන් පිරිහෙමින් වෙන් වූ නිදහස් දෙදෙනෙකුගේ තත්වයෙන් ක්‍රියා කළ බවට ද සාධක පවතී (A History of Sanskrit Literature – McDonald, A History of Sanskrit Lit. – Winternitz).

බෞද්ධ සාහිත්‍යයට අනුව ධෘතරාෂ්ට්‍ර ඇතුළු ගාන්ධර්වයන් වෙසෙනුයේ චාතුම්මහාරාජිකය නම් දිව්‍යලෝකයේ ය. එම දිව්‍ය ලෝකය ඒ නමින් ප්‍රකට වූයේ ධෘතරාෂ්ට්‍ර, විරුද්ගත, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන සිවුවරම් (චාතුම්මහාරාජික) දෙවියන් නිසා බව පෙනේ. බොහෝ අවස්ථාවල ධෘතරාෂ්ට්‍ර යන පුද්ගලවාචී නාමයෙන් නොව, චාතුම්මහාරාජික යන සමූහවාචී නාම පදයෙනි, මෙම රජුන්ගේ කාර්යභාරයන් පිළිබඳ ව සඳහන් වනුයේ. මෙකී චාතුම්මහාරාජික අතර දී ප්‍රධානියා වශයෙන් කටයුතු කර ඇත්තේ ධෘතරාෂ්ට්‍රයන් බව පැහැදිලි ය. චාතුම්මහාරාජිකය පිහිටා ඇත්තේ මහාමේරු පර්වතයේ බවත් මහාමේරුව මෙම චක්‍රාවලිය හරිමැද පිහිටා ඇති බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. ශක්‍රයේ තාවතිංසයට ම අයිති දිව්‍ය ලෝකයක් ලෙස ද චාතුම්මහාරාජිකය සඳහන් ව ඇත.

මුළු මහත් විශ්වයේ මෙම චක්‍රවාලය (ලෝකය ඇතුළු අප්‍රමාණ ලෝක සංඛ්‍යාවක් පවතින බවත් ඒ හැම ලෝකයක් පාසා ම මෙවැනි ම ලෝකපාලක දෙවියන් ද වෙසෙන බවත් බෞද්ධ කෘතීන්හි වැඩිදුරටත් සඳහන් වේ. පාලි බසින් රචිත කෘතීන්හි පමණක් නොව, සංස්කෘත බසින් රචිත කෘතීන්හි ද සඳහන් වන ආකාරයට, ලෝකපාලක දෙවිවරු යනු බුදුරදුන්, බෝසත්වරුන් මෙන් ම සෑම ධාර්මික මිනිසුනට ද උපකාරී වූ රැකවරණය ලබා දුන් පිරිසකි. බුද්ධ චරිතයේ හැම වැදගත් අවස්ථාවක ම ධෘතරාෂ්ට්‍ර ප්‍රමුඛ සිවුවරම් දෙවියන්ගේ අනුග්‍රහය නොමඳ ව ලද බව පෙනේ. මෙම දෙවිවරුන් මනුෂ්‍යයන් නොවුණත්, ඉපදීම, මරණය හා නැවත ඉපදීම උරුම කරගත්, යහපතට - ගුණයට ගරු කරන සත්ව කොට්ඨාසයක් වූ බව පෙනේ.

දීඝනිකායට අයත් (මහාගෝවින්ද ආදි) සූත්‍ර කිහිපයක ම ධෘතරාෂ්ට්‍ර පිළිබඳ තොරතුරු හමුවේ. ජනවසභ නම් යක් සෙනෙවියකුව උපත ලබන බිම්බිසාර රජු, තාවතිංසවාසී ශක්‍ර දෙවියන්ගේ සුධර්මා ධර්ම සභාවේ ධෘතරාෂ්ට්‍ර ප්‍රමුඛ චාතුර්මහාරාජික දෙවියන් අසුන් ගත් අන්දම විස්තර වේ. එකී ධර්ම සභාවට ප්‍රවිෂ්ට වන ධෘතරාෂ්ට්‍රයන් අසුන්ගනු ලබනුයේ බටහිරට මුහුණලා ය. ඔහුගේ මහත් වූ පරිවාර සේනාව ඔහුට පිටුපසින් අසුන්ගත් බව ද සඳහන් කර ඇත.

මහාගෝවින්ද සූත්‍රයේ (දීඝනිකායII) දැක්වෙන පරිදි පංචසිඛ නම් ගාන්ධර්ව දිව්‍යපුත්‍රයා, ශක්‍ර දෙවියන්ගේ ප්‍රධානත්වයෙන් (සුධර්මා සභාවේ) පැවැත්වූ මහාසම්මේලන දෙකකට ධෘතරාෂ්ට්‍ර සපිරිවරින් පැමිණි ආකාරයත්, සත් දෙවිඳුන් බුදුගුණ වණද්දී ඔහු ඊට සවන් දී සිටි ආකාරයත් සඳහන් වේ. මෙකී ධර්ම සභාවලට සියලු ම දිව්‍ය ලෝකවල වෙසෙන සකල දිව්‍ය ගණයා ම සහභාගී වූ බව පෙනේ. කිඹුල්වත්නුවර පැවතුණු මහා ධර්ම සම්මේලනයකට, ධෘතරාෂ්ට්‍රයන් සහපිරිවරින් පැමිණි අන්දම බුදුන්වහන්සේ ම විස්තර කරන ආකාරය මහාසමය සූත්‍ර දේශනාවේදී (දීඝනිකාය - II) හමුවේ. රජගහ නුවර වසන කුම්භීර යක් සෙනෙවියන් සිය යක් පිරිස පිරිවරාගෙන බුදුන් ප්‍රමුඛ පන්සියයක් රහතන් වහන්සේ වැඩම කොට දම් දෙසීමට ආසන්න මොහොතේ එතැනට පැමිණියේ ය. අනතුරුව එම ස්ථානයට පැමිණියේ ධෘතරාෂ්ට්‍ර ඇතුළු ගාන්ධර්ව පිරිසයි. ඒ සමග ඔවුන්ගේ සේවකයන් වන මායා, කුටෙන්ඩු, වේටෙන්ඩු, විටූ, විටූච්ච, චන්දන, කාමසෙට්ඨි, කින්නුඝණ්ඩු සහ නිඝණ්ඩු යන පිරිස ද පැමිණි බව කියැවේ.

මෙකී පිරිස අතුරින් අවසානයට සඳහන් සිවු දෙනාගේ නාමයෙන් ධෘතරාෂ්ට්‍රයන්ගේ සේවකයන් හැටියට ආටානාටිය සූත්‍රයේදීද කියැවේ.) මෙම සූත්‍රයේ වැඩිදුරටත්, ධෘතරාෂ්ට්‍ර පෙරදිගට අධිපති බවත්, ගාන්ධර්වයන්ගේ රජු බවත්, මහා බලවත් සේනාවක් සතුව සිටින බවත් පැහැදිලි කොට ඇත.

ධෘතරාෂ්ට්‍රයන් පිළිබඳ දීර්ඝ මෙන් ම විවිත්‍ර තොරතුරු රැසක් ඇත්තේ ආටානාටිය සූත්‍රයේ ය. (දීඝනිකාය - III) විශේෂ ශාරීරික බලවේග සහිත වූ ඉන්ද්‍ර නමින් හැඳින්වෙන පුතුන් 91 (අනූ එක්) දෙනෙකු ධෘතරාෂ්ට්‍රයන්ට වූ බව එහි සඳහන් වේ. එම විශේෂ බලවේග ලෙස, ඉද්ධිමන්ත (ඍද්ධි බලය), ජූතිමන්ත (ප්‍රභව), වණ්ණවන්ත (වර්ණය), යසස්සිනො (ප්‍රසිද්ධිය)ත් විස්තර වේ. එලෙසින් ම ධෘතරාෂ්ට්‍රයන් ද සිය අනුග්‍රාමිකයන් අතර දස ආකාරයකින් වෙනස් ව කැපී පෙනුණ බව එහි සඳහන් වේ. එනම්, ආයු (ආයුෂ), වණ්ණ (රූපය), සුඛ (සැපවත් බව), යස (ප්‍රසිද්ධිය), අධිපති (ආධිපත්‍යය = බලය), රූප (රූපකාය සම්පත්තිය), සද්ද (ශබ්ද = මිහිරි හඬ), රස (රස), පොට්ඨබ්බ (ස්පර්ශය) යනු ඒ දස ආකාරයයි. මතු අත්බැවහි සැප පතා කුසල් ධර්ම සිදු කරන පෘථග්ජනයා මරණින් මතු, ධෘතරාෂ්ට්‍රයන්ගේ දේව මණ්ඩලයේ උපදින බව වැඩි දුරටත් ආටානාටිය සූත්‍රයේ සඳහන් වේ. සැදැහැවත් බෞද්ධයන් වන ධෘතරාෂ්ට්‍ර ඇතුළු පිරිස, අතීතයේ ද බුදුවරුන් සත් නමකට උපකාර කිරීම් හා රැකවරණය සැලසීම් මගින් විශාල සේවයක් සිදු කොට ඇත.

දීඝනිකායේ සූත්‍රවලට අමතරව ධෘතරාෂ්ට්‍ර පිළිබඳව පෙළ (පාළි) බසින් ලියූ කෘතියක හමු වනුයේ ජාතක කථා දේශනාවලියේ දී ය. එනම් සිරි කාලකණ්ණි ජාතකයේ දී ය. එහි විස්තර වන පරිදි ශ්‍රියාවට අධිපති වන්නා වූ ලක්ෂ්මී නැතහොත් 'ශ්‍රියාකාන්තාව' නමින් හඳුන්වන දෙවඟනගේ පියා, ධෘතරාෂ්ට්‍ර ය. ඇයට විරුද්ධ වූ දේවිය නැති නම් කාළකණ්ණියගේ පියා වනුයේ විරුල්හක ය. ඉහත කී දියණියන් දෙදෙනා අතර අනෝතත්ත විලෙන් නෑමේ දී, කවුරුන් පළමුවෙන් දියට බැසීමට සුදුසු වන්නේ ද යන්න පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවිය. පසුව එය ගැටුමක් දක්වා ම වර්ධනය විය. එම පැනය විසඳීමට සිවුවරම් දෙවියන් අපොහොසත් වූ තැන අවසාන විසඳුම ලබා ගන්නේ ශක්‍ර දෙවියන්ගෙනි. එම පැනය ශක්‍ර විසඳනුයේ විලේ දියට බැසීම පිළිබඳ පළමු අයිතිය ධෘතරාෂ්ට්‍රයන්ගේ දියණිය වන ශ්‍රියාව සතු කරමිනි. පාලි භාෂාවෙන්, පසු කාලෙක දී ලංකාවේ රචිත මහාවංස ටීකාව වන වංසත්ථප්පකාසිනී නම් ග්‍රන්ථය අනුව ලංකාවේ මුල් ම රජු වන විජය ඇතුළු පිරිස ඉන්දියාවේ සිට ලංකාවට නැව් නැග එද්දී, එම පිරිස රැක ගන්නැ'යි බුදු හිමියන් ශක්‍රයන්ට භාර කළ බව සඳහන් වේ. වැඩි දුරටත් කරුණු දක්වන එම කෘතිය, ශක්‍ර විසින් එම කාරිය වරුණ දෙවියනට (කලින් විස්තර කළ පරිදි ධෘතරාෂ්ට්‍රයන්ට) පැවැරූ බවත් සඳහන් වේ (වරුණ යනු විෂ්ණු නැතහොත් උපුල්වන් දෙවියන් ම වන බව ආචාර්ය සෙනරත් පරණවිතානයන් සිය 'The Shrine of Upulwan at Dewundara' නම් කෘතියෙන් පෙන්වා දී ඇත).

සංස්කෘත භාෂාවෙන් රචිත බෞද්ධ කෘතිවල ද සතරවරම් දේව සංකල්පය පිළිබඳ ව සඳහන් වේ. ඒවායේ ධෘතරාෂ්ට්‍රයන් පිළිබඳ ව සුවිශේෂ කරුණු කියැවෙන අවස්ථා පවතී. මූලසර්වාස්තිවාදීන්ගේ විනය පිටකයේ, සතරවරම් දෙවියන්ගේ පූර්ව භවයක විස්තර සටහන් ව ඇත. භික්ෂූන් වහන්සේලා භවාග්‍රයෙන් වැසී පවතින ලෝකපාලක දෙවියන් පිළිබඳ අතීත තොරතුරු ගෞතම බුදුහිමිගෙන් විමසයි. කාශ්‍යප බුදුරදුන් දවස සිදුවීමක් ගෞතම බුදුහිමියෝ විස්තර කරන්නාහ.

කාශ්‍යප බුදුහිමි දවස මහාසාගරයේ 'ශ්වාස හා මහාශ්වාස' නම් නාරජුන් දෙදෙනෙක් ජීවත් වූහ. නාගුරුළු වෛරය පූර්ව යුගවලට ද පොදු වූ දෙයකි. ඒ අනුව සුපර්ණයන් (ගුරුලන්) විසින් හඹා එනු ලබන නාගයන් පාතාල ලෝකයට වැද දිවි රැක ගැනීම සිරිතකි. එහෙත් කාශ්‍යප බුදුරදුන් පිළිබඳ පුවත අසා උන්වහන්සේ සරණ යන නාරජුන් දෙදෙනා, තමන් හඹා එන අට්ඨේස්සර (අෂ්ටේෂ්වර) හා චූඪේස්සර (චූලේශ්වර) දෙදෙනා ප්‍රමුඛ සුපර්ණයන් දැක තැති ගෙන දිව ගියේ නැත. ඒ ගැන පුදුමයට පත් සුපර්ණයන්, නා රජුගෙන් ඊට හේතු විමසන ලදුව, තමන් දැන් බුදුරදුන් සරණ ගිය උපාසකයන් බැවින් බියවීමට කරුණු නොමැති බව පවසන ලදි. සුපර්ණයන්ට ද බුදු හිමි සරණ යාමේ අභිලාෂය ඇති විය. ඒ අනුව ඔවුන් දෙපිරිස ම යොදාගත් දිනක, කාශ්‍යප බුදුහිමි හමුවට ගියහ. අතීතයේ විසූ වරම් දෙවියන් සිවුදෙන කසුප් බුදු හමුවට පැමිණ සමුගෙන යාමට ආසන්න මොහොතේත් එය ම විය. නා-ගුරුලු දෙපිරිස ම තෙරුවන් කෙරේ පැහැද සරණ ගොස් මතු භවයක එවැනි ම වරම්රජුන් වීමේ වරය දෙන ලෙස බුදුහිමිගෙන් අයැදී ය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ, මතු ගෞතම බුදුහිමි දවස ශ්වාස, 'ධ්‍රැතරාෂ්ට්‍ර' නමින් ද මහාශ්වාස, 'විරුල්හක' නමින්ද අට්ඨේශ්වර 'විරූපාක්ෂ' නමින් ද චූඩේශ්වර 'වෛස්ශ්‍රවණ' නමින් ද එකී පදවි ලබන බව දෙසූහ. එසේ ම මන්දාකිනි නදිය අසබඩ දී මෙලෙස ම ධර්මශ්‍රවණය කරනු ලබන බව ද පැවසූහ.

මූලසර්වාස්තිවාදීන්ගේ විනය පිටකයේ තවත් එබඳු සටහනකි. ගෞතම බුදුහිමි උඳුමා නුවර වැඩ ‍වෙසෙන සමයේ මන්දාකිනි විල අසබඩ පෙදෙසට දිවා විහරණය පිණිස වැඩම කළ අවස්ථාවේ උන්වහන්සේට වැඩ හිදුනා පිණිස අසුන් පණවනු ලැබූයේ වෛශ්‍රවණ විසිනි. එකී සෙනසුනේ බුදුහිමි වැඩ හිඳිනා කල උන්වහන්සේ හමුවට මුලින් ම පැමිණුණේ ධෘරාෂ්ට්‍රයන් ය. සිය දහස් සංඛ්‍යාත පිරිවර සෙන් සමඟින් පැමිණෙන ධෘතරාශ්ට්‍රයන් අප්‍රමාණ දිව්‍ය මාණික්‍ය (දිව්‍යමාණි සමූහයෙන්) බුදුහිමි අභියස අතුරවා උන්වහන්සේ නැමද එකත්පස් ව, පෙරදිග දිසාවට වී බටහිරට මුහුණලා අසුන්ගත් බව එම කෘතිය දක්වාලයි. එකී දේශනාවේ අන්තර්ගත තවත් වැදගත් සඳහනක් වනුයේ බුදුහිමි ආර්ය හා දස්‍යු යන ද්විභාෂාවෙන් ම ධර්මය දේශනා කළ බවයි. එයට හේතුව හැටියට දක්වනුයේ ධෘතරාෂ්ට්‍රයන් හා විරුළ්හකයන් ආර්යයන් බවත් විරුළ්හයන් හා වෛශ්‍රවණයන් දස්‍යුන් බවත් දෙපක්ෂයට ම වැටහෙන පරිද්දෙන් බුදුහිමි දම් දෙසීමට භාෂා දෙක ම යොදාගත් බවත් ය. බුදුහිමි, ‘මහා රජුනි,’ යනුවෙන් ධෘතරාෂ්ට්‍රයන් අමතා ජාති, ජරා, ව්‍යාධි, මරණ නොමැති තැන දුක නැති බව පැහැදිලි කරමින් ධර්මය දෙසා ඇත. ධර්ම දේශනාව නිමා වන විට ධෘතරාෂ්ට්‍රයන් සත්‍යාවබෝධය කළ බව එම ග්‍රන්ථයේ වැඩි දුරටත් සඳහන් වේ.

සංස්කෘත භාෂාවෙන් රචිත ලලිතවිස්තරයට අනුව ත්‍රපුෂ (තපස්සු) හා භල්ලික (භල්ලුක) යන වෙ‍ෙළඳ දෙබෑයන් දුන් දානය පිළිගැනීමෙන් අනතුරුව බුදුහිමි, ධෘතරාෂ්ට්‍රයන්ගේ දේව මණ්ඩලයේ නක්ෂත්‍ර (දෙවියන්) හතකට, 'ලෝක පාලක දෙවියන්' යන නාමයෙන් පින් පැමිණ වූ බව සඳහන් වේ. තවත් තැනෙක ධෘතරාෂ්ට්‍රයන් තම කටයුතුවල දී තම දේව සභාවේ සිටි හිරු දෙවියන් හවුල් කරගත් බව ද දක්වා ඇත. ලෝක ව්‍යවහාරයට අනුව නක්ෂත්‍ර විසිඅට ලෙස සලකනු ලබන දෑ එම දේශනාවේ දී දෙවියන් ලෙස හඳුන්වාදී ඇත.

සංස්කෘත මිශ්‍රිත සාහිත්‍යය තුළින් මහායානික හා තන්ත්‍රයානික ආභාසිත සංකල්ප දක්වා ලෝක පාලක දේව අදහස් විකාශනය වූ බව පෙනේ. එම විකාශනයන් ඔස්සේ ථේරීයවාදී ස්වරූපයට වඩා වෙනස් මගක් ගත් චීන, ටිබෙට් හා ජපන් ආගමික සාහිත්‍යය තුළ, ධෘතරාෂ්ට්‍රයන් ද ස්වරූපය අතින් වෙනස් වූ මගකට අවතීර්ණ වූ බව පෙනේ. චීනයට සතරවරම් දේව විශ්වාසය ගෙන යනු ලැබුවේ අමෝඝව්‍රජ විසින් බවත් ඒ ලංකාවේ සිට බවත් චීන වැසියන් විශ්වාසය කරනු ලැබේ. එම සිදුවීම වී ඇත්තේ ක්‍රි.ව. 733 දී ය. චීනයේ සතරවරම් දේවසංකල්පය විකාශනය වූයේ අවුරුද්දේ ඍතු හතරට ආරෝපණය වුණු ආකාරයක් ගනිමිනි. පෙරදිගට අධිපති, ගාන්ධර්වයනට නායක ‘චිහ් - කුවෝ’ (ධෘතරාෂ්ට්‍ර) ග්‍රීෂ්ම ඍතුව නිරූපණය කරයි. ඔහුගේ වමතේ ගිටාරයක් වැනි තත් සහිත භාණ්ඩයකි. දකුණතින් එම තත් පිරිමදියි.

මාඕ ධර්මයේ ද සතරවරම් දෙවියනට සමාන ගති පැවතුම්වලින් හෙබි දෙවියන් සිවු දෙනෙකි. මෝ- ලි-හායි යනු ධෘතරාෂ්ට්‍රයන් හා සමීප ලක්ෂණ ඇති දෙවියන් ය. මෙම දෙවියන්ට ඉන්ද්‍රජාලික බලයක් ද පවතින බව එම ධර්මය විශ්වාස කරන්නෝ පිළිගනිති.

ජපන් බසින් සතරවරම් දෙවියන් හඳුන්වනුයේ 'ෂී-ටෙන්-නෝ' යනුවෙනි. 'ජාකොතු' යනු ධෘතරාෂ්ට්‍රයන් හැඳින්වූ ජපන් නමයි. පෙරදිගට අධිපති වන මොහු කඩුවක් හා ත්‍රිශූලයක් දරා සිටින අයුරින් නිරූපිත ය.

තාන්ත්‍රික බෞද්ධ සංකල්ප බහුල ව දක්නට ලැබෙන ප්‍රඥා පාරමිතාව නම් සංස්කෘත ග්‍රන්ථයට ජපන් බසින් ලියන ලද අර්ථකථනය 'නින්නෝක්‍යෝ' නම් වේ. ධ්‍යානී බුදුවරුන් පස් නමකගේ පස් ආකාර රුදුරු විලාසයන් දක්වන ත්‍රෛලෝකව්‍රජ බෝධිසත්වයන්, ධ්‍රැතරාෂ්ට්‍රයන් හා පෙනී සිටින බව එහි සඳහන් වේ. එසේ පෙනී සිටිනුයේ ගාන්ධර්වයන්ට අධිපති 'ශ්වේතවර්ණ' රජුන් යන නාමයෙනි. (චීනය, ජපානය හා ටිබෙට් රට අසුරින් දැක්වූ කරුණු උපුටා ගැනුණේ The Gods of Northern Buddhism - Alice Getty නම් කෘතිය ඇසුරිනි).

ධෘතරාෂ්ට්‍රයන් ඇතුළු ලෝක පාලක දෙවියන්ගේ ආදිතම ප්‍රතිමා ලැබී ඇත්තේ ඉන්දියාවේ සාංචි ස්තූපයෙනි. ඒවායේ ධෘතරාෂ්ට්‍රයන් නිරූපණය කොට ඇත්තේ ත්‍රිශූලයක් අතින් ගත් ආකාරයෙනි. ලංකාවේ ද අනුරාධපුර, විජයරාමයේ කළ කැණීම්වල දී හමු වූ ලෝකපාලක දේවප්‍රතිමා අතර ධෘතරාෂ්ට්‍රයන්ගේ පිළිම ද පැවති බව ආචාර්ය පරණවිතානයන් නිගමනය කර ඇත (The Gods of Adam's peak - S. Paranavitana). මේ හැර අනුරාධපුරයට සැ: 9ක් නැගෙනහිරින් පිහිටි පූලියන්කුලම නම් ස්ථානයේ තිබුණු විහාරස්ථානයක කරන ලද කැණීම් කටයුතුවල දී හමු වූ තනියෙන් කරන ලද දේවරූප අතර ද ධෘතරාෂ්ට්‍රයන්ගේ රූප විය. (University of Ceylon - History of Ceylon VoL.I, PT.I 40J p.)

චීනයේ පිකිංහි 'යුං හො කුන්ග්'හි ආරක්ෂක දේවතා මැදුරේ වර්ණයෙන් චිත්‍රයට නැගූ ධෘතරාෂ්ට්‍ර රුවකි. චීන තුර්කිස්ථානයේ තිබී හමු වූ ධෘතරාෂ්ට්‍ර රුව, යුද්ධායුධ අතින් දරා සටනට යන ආකාරයකින් නිරූපිත ය. එය හමු වී ඇත්තේ හාරිකී විහාරස්ථානයට විරුද්ධ දිශාවේ පිහිටි වෙනත් විහාරයකිනි. එය ගලුන් නෙළුෑ කැටයමකි. ධෘතරාෂ්ට්‍රයන් නිරූපිත ආදිතම චීන කැටයම් හා සිතුවම් හමුවන්නේ චීන තුර්කිස්ථානයේ කුන් - හ්වෑන් හා මර්ෆින් යන ස්ථානවලිනි.

විවිධ ආසියාතික රටවලින් සොයාගනු ලැබූ සතරවරම් දේවරූප රැසක් දැනට බර්ලින්හි 'ෆර් විල් කකුන්සේ' කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත. එම රූප විවිධ යුගවල දී කරන ලද නිර්මාණයෝ ය (The Gods of Northern Buddhism - Alice Getty).

(කර්තෘ: ඉන්දිරා කේ. පෙරේරා: 1995)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ධෘතරාෂ්ට්‍ර-1&oldid=4371" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි