අලීගර්

සිංහල විශ්වකෝෂය වෙතින්
09:24, 16 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(අලිගාර්).මෙය ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ අග්‍ර...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(අලිගාර්).මෙය ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ අග්‍රා කොටසෙහි ගංගා සහ යමුනා යන නදීන් අතර පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. මේ දිස්ත්‍රික්කයේ බලකොටුවක් සහිත ප්‍රධාන නුවර දැනට හැඳින්වෙන්නේ ද අලීගර් නමිනි. මෙහි වෙළඳාම අධික වශයෙන් කෙරෙන්නාවූද නිවාසවලින් යුක්ත වූ ද කොටස කොයිල්-අලීගර් යනුවෙන් දන්නේය.

අලීගර් දිස්ත්‍රික්කයෙහි විශාලත්වය වර්ග සැතැපුම් 1940කි. ජනගහනය (1951) 15,43,506කි. සරු පසත් උෂ්ණ දේශගුණයත් නිසා ජලසම්පාදන ක්‍රමවල ආධාරයෙන් අලීගර් ප්‍රදේශය ඉතා වැදගත් කෘෂිකාර්මික මධ්‍යස්ථානයක් බවට පත් කොට තිබේ. තිරිඟු, ඉරිඟු, උක් සහ කපු මෙහි වවනු ලැබේ.

නවදිල්ලියට සැතැපුම් 91ක් ගිනිකොනින් පිහිටි අලීගර් නගරය උත්තර ප්‍රදේශයේ විශාල නගර වලින් එකකි කපු සහ ධාන්‍ය ආශ්‍රිතව සෑහෙන තරමේ කාර්මික ව්‍යාපාර පවතින මෙහි ඉන්දියාවේ දුර්ලභ කර්මාන්තයක් වන වෙඬරු සෑදීම ද කරනු ලැබේ. ශ්‍රීමත් සෙයියද් අහමද් ඛාන් විසින් (1875 - 78) පිහිටුවන ලද්දාවූ ද 1920 දී විශ්ව විද්‍යාලයක තත්වයට නංවන ලද්දාවූ ද විද්‍යාලය (අලීගර් විශ්ව විද්‍යාලය) නිසා මේ නුවර වැදගත් මුස්ලිම් අධ්‍යාපනික මධ්‍යස්ථානයක් බවට පත් වී තිබේ. අලීගර් නගරයේ ජනගහනය (1951) 1,41,618.

අලීගර් ප්‍රදේශයේ පැරණි අගනුවර හැඳින්වුණේ කොයිල් නමිනි. වර්තමාන අගනුවර අලීගර් නමින් හැඳින්වෙන නමුත් එකල අලීගර් යන නාමය භාවිත වූයේ කොයිල් නගරය අසල පිහිටා තුබුණු බලකොටුවටයි. කොයිල් - අලීගර් නමින් මේ නගරය දැනට හැඳින්වෙන්නේ පැරණි නගරයේ හා බලකොටුවේ නම් එකට ඈඳීමෙනි. කොයිල්-අලීගර් නගරයේ ආරම්භය ගැන ජනප්‍රවාද කිහිපයක් වෙයි. එක් ජනප්‍රවාදයකට අනුව කොයිල් නගරයට ඒ නම ලැබුණේ කොෂාරබ් නමැති ක්ෂත්‍රියයකුගෙනි. තවත් ජනප්‍රවාදයක් අනුව “කෝල් ” නමැති යක්ෂයකු නිසා කොයිල් යන නම් ලැබුණු බව කියති. මේ නගරය ගොඩනගන ලද්දේ කවර කලකද යන්න තීරණය කිරීමට ප්‍රමාණවත් වන සාක්ෂි ලැබී නැති නමුත් මෙහි ඇති බෞද්ධ හා හින්දු පූජනීය ස්ථානයන්ගේ නෂ්ටාවශේෂ නිසා කොයිල් ඉතා පැරණි නගරයක් බව සිතිය හැකිය. අලීගර් බලකොටුව කොයිල් නගරය අසල ගොඩනැඟීමෙන් පසුව ඒ අවට වූ මුළු ප්‍රදේශයම අලීගර් නමින් හැඳින්වුණු බව පෙනේ. කොයිල් - අලීගර් නගරය පිහිටා ඇති දිස්ත්‍රික්කයට අලීගර් යන නම් ලැබුණේද මේ නිසාය.

12 වන සියවස තෙක් කොයිල්-අලීගර් නගරයේ හෝ දිස්ත්‍රික්කයේ ඉතිහාසය ගැන වැඩි තොරතුරක් අපට ලැබී නැත. එම ශතවර්ෂය වන විට මේ නගරය රාජපුත්‍රයන් නොහොත් රාජ්පුත්වරුන් සතුව තුබුණු බවත් 1192 දී පමණ කුටුබ් උද්දීන් (බ.) නමැති මුස්ලිම් සෙනෙවියා විසින් රාජ්පුත්වරුන් පරාජය කරනු ලැබීමෙන් පසු මේ නගරය හා ඒ අවට ප්‍රදේශය මුස්ලිම්වරුන්ට අයත් වූ බවත් පෙනේ. ඉන්පසු මේ ප්‍රදේශය පාලනය වූයේ මුස්ලිම් ආණ්ඩුකාරයකු මගිනි. දිල්ලියේ ලෝඩි සුල්තාන්වරුන්ගේ කාලයේ දී (16 වන සියවස) කොයිල්-අලීගර් ප්‍රදේශය පාලනය වූයේ මුහම්මද් නමැති ආණ්ඩුකාරයකු යටතේය. එකල කොයිල් නගරයේ බලකොටුව හැඳින්වුණේ “‍මුහම්මද් සර්” නමිනි. මෝගල් යුගයේ අවසාන භාගයේ දී (1717 දී පමණ) මේ ප්‍රදේශය ආණ්ඩු කළ සාබිත් ඛාන් නමැති මුස්ලිම් ආණ්ඩුකාරයාගේ නමින් සාබිත්සර් යයි කොයිල් නගරයේ බලකොටුව හැඳින්විණ. එහෙත් 1757 දී පමණ ජත්වරුන් විසින් මේ බලකොටුවට රාම්සර් යන නම තබන ලදි. අලීගර් යන්න මේ බලකොටුවට දෙන ලද්දේ ජත්වරුන්ගෙන් පසු මේ ප්‍රදේශයේ බලයට පත් නජප් බාන් නමැති මුස්ලිම් පාලකයා විසිනි .

මහා අක්බාර් රජුගේ කාලයේ දී කොයිල්අලීගර් නගරය ආග්‍රා පළාතේ (ආග්‍රාසුඛා) දිස්ත්‍රික්කයක (සර්කාර්) අගනුවර වූ බව අයින් - ඉ අක්බරී නමැති ග්‍රන්ථයෙහි සඳහන් වේ. අවුරාංග්සෙබ් රජුගේ මරණින් පසු මේ ප්‍රදේශය මරාඨවරුන්ටත් ඔවුන්ගෙන් පසු ජවරුන්ටත් අයිති විය. 1759 දී පමණ ඇෆ්ඝන්වරුන් විසින් ජත්වරුන්ගෙන් මේ ප්‍රදේශය උදුරා ගන්නා ලදී. එහෙත් 1784 දී පමණ සින්ධියා විසින් අලීගර් ප්‍රදේශය යටත් කරගනු ලැබීම නිසා නැවත වරක් එය මරාඨවරුන් සතු විය. ඉන්පසු 1803 දී මෙය බ්‍රිතාන්‍යවරුන්ට අයිති විය. දැනට මෙය අයිතිව ඇත් උත්තර ප්‍රදේශ ආණ්ඩුවටය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අලීගර්&oldid=5977" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි