අවන්තිසුන්දරී-2
නවවන හා දසවන ශතවර්ෂ දෙක අතර කාලයේ විසූ උසස් සංස්කෘත කවියකු, නාට්‍ය රචකයකු හා ආලංකාරිකයකු වූ රාජශේඛරයන්ගේ (බ.) භාර්යාව වූවාය. රාජශේඛරයන් කාව්යමීමාංසායෙහි තෙවරක් ම ඇයගේ අලංකාර ශාස්ත්‍රීය මතයන් ඉදිරිපත් කොට ඇති හෙයින් ඇය අලංකාර ශාස්ත්‍රය පිළිබඳ කෘතීන් කළ තැනැත්තියක වශයෙන් සැලකිය හැකිය. ආචාර්ය හේමචන්ද්‍රයන් (බ.) ස්වකීය දේශීනාමමාලායෙහි ප්රාකෘත වචන කිහිපයකට තමන් දැක්වූ අර්ථවලට වඩා වෙනස් අර්ථ දැක්වීම පිණිස අවන්තිසුන්දරියගේ ප්රාකෘත ශ්ලෝක තුනක් ඉදිරිපත් කර තිබීමෙන් ඇය උසස් ප්රාකෘත කිවිවරියක වූ බව සිතීමට පිළිවන. රාජශේඛරයෝ ස්වකීය කර්පුරමඤ්ජරී (බ.) නමැති ප්රාකෘත නාටකය අවන්තිසුන්දරියගේ ආරාධනයෙන් පළමු වරට වේදිකාගත කළ බව සඳහන් කරති. මේ කරුණුවලින් ඇය උසස් කලානෛපුණ්යයක් හා විශාරද දැනුමක් ඇතිව සිටි කාන්තාවක බව හැඟේ.
අවන්තිසුන්දරිය “චාහුආණ” (සං. චාහුවාන) කුලයට අයත් රාජ්පුත් කුමරියක වූ බව කර්පූර මඤ්ජරියෙහි සඳහන් වෙයි. “පාඉඅලච්ඡී” (ප්රාකෘත ලක්ෂ්මී) නමැති ප්රාකෘත නාමමාලාව කළ ධනපාලයන්ගේ බාල සොහොවුරිය වූ සුන්දරී නමැත්තිය අවන්තිසුන්දරිය ම යයි බියුලර් පඬිතුමා අදහස් කරයි. එහෙත් පිෂල් පඬිවරයා ඒ මතය නොපිළිගනී. අවන්තිසුන්දරියගේ කෘතීන් කිසිවක් මේ දක්වා සොයා ගෙන නැති බැවින් ප්රාකෘත හා සංස්කෘත සාහිත්‍යයන්හි ඇයට කෙබඳු තැනක් හිමිවිය යුතු දැයි නිශ්චය කළ නොහේ.
(කර්තෘ: ඇස්.ඩබ්ලිවු. ඈපා සෙනෙවිරත්න)
(සංස්කරණය: 1965)