ආදාහන මළුව
මහනුවර රාජධානි සමයෙහි දී සිංහල රජවරුන්ගේ මෘතශරීර දවා භස්මාවශේෂ තැන්පත් කළ භූමිය මෙනමින් හැඳින්වේ. මෙය පිහිටියේ මහනුවර ත්‍රිකුණාමල විදියට බටහිරින් ත්‍රිත්ව විද්‍යාලය ඉදිරිපිට අස්ගිරි විහාරයට නැඟීමට ඇති පඩිපෙළට ආසන්න වූ උස් භූමි භාගයකය. ගම්පොළ රජ කළ තුන්වන වික්‍රමබාහු නරනිඳුගේ (ක්‍රි. ව. 1347 – 1375) මවු බිසව සේ සලකනු ලබන චන්ද්‍රවතී දේවියගේ ආදාහනය සිදු කරන ලද්දේ මෙතැන්හි යයි කියැවේ. එම ස්ථානයේ රෝපණය කරන ලද බෝධි වෘක්ෂය අද දක්වා “ චන්ද්‍රවතී බෝධිය ” නමින් හැඳින්වේ. ඉන්පසු 1604 දී පරලෝකප්‍රාප්ත වූ පළමුවන විමලධර්මසූර්ය රජුගේ කාලය දක්වා අන්කිසි රජකුගේ අවමංගල කෘත්‍යයක් මෙහි දී සිදු කළ බවක් සඳහන් නොවේ.විමලධර්ම රජුගේ මෘතදේහය චාරිත්‍රානුකූලව මෙහි ආදාහනය කළ බව කියැවේ. දෝන කැතරින බිසවගේ ද සේනාරත්න (සෙනරත්) (ක්‍රි. ව. 1604 - 1635) දෙවන රාජසිංහ (ක්‍රි. ව. 1635-1687), දෙවන විමලධර්මසූර්ය (ක්‍රි. ව. 1687-1707), වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ (ක්‍රි. ව. 1707 - 1739) ශ්‍රී විජයරාජසිංහ (ක්‍රි. ව. 1739 - 1747), කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි. ව. 1747 - 1782), රාජාධිරාජසිංහ (ක්‍රි. ව. 1780–1798) යන රජවරුන්ගේ ආදාහන කෘත්‍ය සිදුකරන ලද්දේ ද මෙම ස්ථානයෙහිය. රජ, බිසව, රාජ මාතාව සහ රජුගේ වැඩිමහලු සොහොයුරිය යන අයගේ අවමංගල කටයුතු පමණක් ආදාහන මළුවේ දී සිදු කළ බවත් අනෙකුත් රාජකීයයන් සඳහා උඩවත්තේ කැළේ රාම විහාරයට පිටුපසින් පිහිටි බන්ඩගෙතැන්න නම් ස්ථානය වෙන් කර තුබූ බවත් සඳහන් වේ. පරිහානියට පත්ව තුබූ උපසම්පදාව ලක්දිව යළි පිහිටුවනු පිණිස සියම් රටින් වැඩම කළ උපාලි මාහිමියන්ගේ ආදාහනය ද මෙම ආදාහන මළුවේදීම සිදු කරන ලදි. එහි සිටුවා ඇති පැරණි අරලිය ගසකින් මේ ස්ථානය සලකුණු කෙරේ. රජුන්ගේ භස්මාවශේෂ තැන්පත් කොට ගලින් කළ සොහොන් කොත් රාශියක් මෙහි පිහිටා තුබූ නමුත් ඒ සියල්ලක්ම දැන් විනාශ වී ගොස්ය. වර්තමාන විහාරයේ ඇති පැරණි චිත්‍රයක අභාවයට යමින් පැවැති සොහොන් කොත් රාශියක දර්ශන ඇතුළත් වෙයි. 1878 – 80 දී මාතලේ දුම්රිය මාර්ගය තැනීමට ආදාහන මළුව යටින් බිම් ගෙයක් හැරීමේ දී එහි ශේෂව තුබූ එකම සොහොන් ගැබද විනාශ විය. මෙකල ආදහන මළුව ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සොහොන් භූමියක් වශයෙන් නොව විහාරස්ථානයක් වශයෙනි. මෙය අස්ගිරි පාර්ශ්වයේ පාලනයෙහි පවත්නේය. මෙම විහාරස්ථානයෙහි දක්නා එකම සැලකිය යුතු ඓතිහාසික ගොඩනැඟිල්ල වනුයේ “ ගෙඩිගේ ” (බ.) නමින් හඳුන්වනු ලබන විහාර ගෘහයයි. මහනුවර රාජධානියෙහි පළමුවෙන්ම ඇති වූ විහාරය ද මෙය වේ. මෙය තුන්වන වික්‍රමබාහු රජු විසින් සිය මෑණියන්ගේ ආදාහනය සිහිවීම පිණිස කරවන ලද්දකැයි සැලකේ. පළමුවන විමලධර්මසූර්ය රජු කල දෙල්ගමුවෙන් මහනුවරට වැඩම වූ දළදාව වර්තමාන දළදා මැදුර තනන තුරු මෙම ගෙඩිගේ විහාරයෙහි තබන ලදී. පොළොන්නරුවේ ශිව දේවාලය (ii), නාලන්ද ගෙඩිගේ, ගඩලාදෙණි විහාරය, ලංකාතිලක විහාරය වැනි ගොඩනැඟිලිවල සාමාන්‍ය සැලැස්ම අනුගමනය කොට ඇති ආදාහන මළුවේ ගෙඩිගෙය ද පල්ලව ගෘහ නිර්මාණ සම්ප්‍රදාය අනුව ඉදි කරන ලද්දකි. ගලින් ගොඩනඟන ලද එතරම් විශාල නොවූ මෙම ගෙඩිගේ විහාරය මුදුනේ චෛත්‍යයක් දක්නා ලැබේ. සතරැස් ප්‍රතිමා ගෘහය තුළ දර්ශනීය බුද්ධ ප්‍රතිමාවක් වේ. බිත්ති සැරසිලි වශයෙන් කුලුණු, පේකඩ, ලීස්තර, බොරදම් ආදිය යොදා ඇත. විහාර මන්දිරය ගල් කැටයමින් හා සිතුවමින් අලංකෘතය. සම්පූර්ණ ගොඩනැඟිල්ල දැව මත තැනූ පියසි යුවළකින් ආවරණය වේ. පසු කාලයේ දී තනන ලදැයි සැලකිය හැකි මේ පියසි නිසා ගොඩනැඟිල්ලේ ආදි ස්වරූපය වෙනස් වී ඇති බැව් පෙනේ. ආදාහන මළුවේ පිහිටි අනෙක් ගොඩනැඟිලි අතර ධර්ම ශාලාව, හේවිසි මණ්ඩපය සහ සංඝාවාසය ද අලුත කරවන ලද ඒවාය. කැටයම් කළ ගල් කණු වලින් සැදි සීමා මාලකයක් ද විහාර ගොඩනැඟිල්ල අසල පිහිටා තිබේ. මෙම සීමාව සියම් රටින් වැඩම කළ උපාලි මාහිමියන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ විසින් සම්මත කළ ප්‍රථම බද්ධ සීමාව යයි මතයක් ඇත. තවත් මතයකට අනුව එය තුන්වන වික්‍රමබාහු රජු විසින් ගෙඩිගේ විහාරය තැනවීමටත් පෙර සිටම වනවාසික භික්ෂූන් විසින් පරිහරණය කරන ලද්දකි. චන්දාවතී දේවිය ආදාහනය කළ තැන රෝපණය කර ඇති බෝධි වෘක්ෂය ද අද පවත්නා වැදගත් ස්මාරකයෙකි. ආදාහන මළුව හා මහනුවර පැවැත්වෙන වාර්ෂික ඇසළ පෙරහැර අතර වැදගත් සම්බන්ධයක් පවතී. “ දිය කැපීම ” නම් වූ චාරිත්‍රය සිදු කිරීමට පළමු රාත්‍රියෙහි එම පෙරහැර වීථි සංචාරයෙන් පසු ආදාහන මළුව වෙත සැපත් වී, දළදා පෙරහැරේ වැඩමවන ධාතු සහිත රන් කරඬුව ගෙඩිගේ විහාරය තුළ තැන්පත් කරනු ලැබේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ මවු බිසව මෙහි ආදාහනය කළ බැවින් ඇයට ගෞරව දැක්වීමක් වශයෙන් මේ නියෝගය ඒ රජු විසින් පනවන ලදැයි කියැවේ. දිය කැපූ රාත්‍රියෙහි නැවත එම කරඬුව ගෙඩිගේ විහාරයෙන් ඉවතට වැඩමවා දේවාල පෙරහැර සහිත දළදා පෙරහැර වීථි සංචාරයෙහි යෙදෙනු සිරිති (ඇසළ පෙරහැර බ.). ආදාහන මළුවට “ආරාධනා මළුව ”,“ දළදා ගමන් මාළිගය ” යන නම් ද ව්‍යවහාර කරනු ලැබේ. “ආරාධනා මළුව ” යන ව්‍යවහාරයට හේතුව එහි දී මළවුන්ට ආරාධනා කොට පින්පෙත් දීමේ චාරිත්‍රය පැවැත්වීම විය හැකිය. “දළදා ගමන් මාළිගය ” යයි වහරනු ලබන්නේ දළදා පෙරහැර එක් රැයක් එහි නතර වීම සහ ධාතු කරඬුව තාවකාලිකව එහි තැන්පත් කර තැබීම නිසාය. (අස්ගිරිය ද බ.)
(සංස්කරණය: 1965)
[[ප්‍රවර්ගය:]]
[[ප්‍රවර්ගය:]]