අලොංසිතු
(1112 - 1167). මොහු බුරුමය මුල් වරට එක්සත් කළ පගාන් රාජ්‍යයේ අනුරුද්ධ හෙවත් අනෝරථ (1044–1077) (බ.) රජුගෙන් පටන් ගැනුණු බුරුම රාජ වංශයේ සිව්වන රජය. මෙතෙම ව්‍යන්සිත්ථ (1084-1112) රජුගේ ෂෙව්එයින්ති නම් දියණියගේ පුත්‍රයායි. මොහුගේ පියා ච්‍යන්සිත්ථ රජුගේ වැඩිමහල් සොහොයුරු වූ සවුලු රජුගේ (1077-1084) පුත්‍රයකු වූ සව්යුන් කුමාරයායි. ච්‍යන්සිත්ථ රජුගේ මරණින් පසු පගාන් රාජ්‍යයෙහි රජකමට පත් වූයේ අලොංසිතු කුමාරයාය. මොහුගේ රාජ්‍යකාලය කරදරවලින් පිරුණු සමයක් විය. අරකන් ප්‍රදේශයේ සහ තෙනසරින් ප්‍රදේශයේ නිරන්තරයෙන් ම වාගේ කැරලි ගැසීම් ඇතිවූයෙන් රජුගේ රාජ්‍ය කාලයෙන් වැඩි කොටසක් ඒ කැරලි මැඩ පැවැත්වීම සඳහා යොදන්නට සිදුවිය. රජුට මේ කැරලි මැඩපැවැත්වීම සඳහා රාජ්‍යයේ අගනුවරින් බැහැරව සිටින්නට සිදුවූයෙන් මේ තත්වයෙන් ප්‍රයෝජන ගත් රජුගේ පුත්‍ර නරතු නරතු(1167–70) කුමාරයා තම පියා මරා රජ විය.
ලක්දිව මහපැරකුම්බා රජු (1153–1186) ක්‍රි.ව. 1164 දී පමණ බුරුම රට හෙවත් අරමණය ආක්‍රමණය කළ බව එතුමාගේ දෙවනගල සෙල්ලිපියෙහි සඳහන් වේ. චූළවංසය ද මේ ආක්‍රමණය පිළිබඳ පුවත ස්ථීර කරයි. දෙවනගල සෙල්ලිපියට අනුව එකල අරමණයේ හෙවත් බුරුමයේ අධිපතිව සිටියේ භුවනාදිත්ත නම් රජෙකි.අලොංසිතු රජුගේ මුත්තණුවන් වූ ව්‍යන්සිත්ථ රජුට ද 'ශ්‍රී ත්‍රිභුවනාදිත්‍ය ධර්මරාජ' යන විරුද නාමයක් තිබුණු හෙයින් අලොංසිතු රජු ද ඒ අනුව යෙමින් 'භුවනාදිත්ත' යන විරුද නාමය භාවිත කළ සේ පෙනේ. එබැවින් චූළවංසයෙහි හා දෙවනගල සෙල්ලිපියෙහි සඳහන් වන පරාක්‍රමබාහු රජුගේ බුරුම ආක්‍රමණය සිදු වූයේ අලොංසිතූ රජුගේ රාජ්‍ය සමයේ දී බව ද පැරකුම්බාවන් විසින් පරදවනු ලැබූ බුරුම රජු අලොංසිතු බව ද කිව හැකිය.
බුරුම වංශකථා වලට අනුව අලොංසිතු ආදර්ශවත් බෞද්ධ රජෙකි. තම රාජ්‍යයේ ඈත ප්‍රදේශවලට පවා යමින් අලොංසිතු රජු විසින් ඒවායේබෞද්ධ සිද්ධස්ථාන රාශියක් ගොඩනංවන ලද බව ඒ වංශකථාවල සඳහන් වේ. මේ රජු විසින් පගාන්හි ආනන්ද විහාරයේ සැලැස්මට අනුව ගොඩනංවන ලදැයි සැලකෙන තත්පින්න්‍යු නමැති චෛත්‍යයේ කොත් පළඳවන ලද්දේ ක්‍රි.ව. 1144 දී බව කියති. මේ චෛත්‍යය මොහු කරවූ ආගමික ගොඩනැඟිලි අතුරෙන් ශ්‍රෙෂ්ඨතම කෘතිය බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. මින්බු ‚මොගොක්, මොන්යුවා, ෂෙව්බෝ හා මණ්ඩලේ වැනි ස්ථාන වලද මොහු ගේ අනුග්‍රහයෙන් චෛත්‍ය රාශියක් ගොඩනංවන ලද බවට සාක්ෂි ඇත.
(සංස්කරණය: 1965)