අහිංසා ධර්මය
අහිංසා ධර්මය යනු කුදු මහත් සප්‍රාණික සියලු ජීවීන්ට හිංසා පීඩා නොපැමිණවීමයි. භාරතීය දර්ශනයන්හි ආචාර විද්‍යාත්මක ප්‍රඥප්තියක් වූ අහිංසාව පරම ධර්මයක් ලෙස සැලකුණි. අහිංසා ධර්මය බිහිවූයේත් බෙහෙවින් ව්‍යාප්ත වූයේත් භාරතයෙහිය. එම ධර්මය භාරතීය දර්ශන ඉතිහාසයෙහි විවිධ දාර්ශනිකයන් විසින් විවිධ සීමාවන් ඇතුළත විග්‍රහ කළ බව පෙනේ. අහිංසා ප්‍රඥප්තිය හින්දූන්ට, ජෛනයන්ට හා බෞද්ධයන්ට පොදුවේ පනවන ලද්දක් වුව ද එම දර්ශනයන්හි මෙම ධර්මය බලපවත්නා අයුරු විවිධය.
වෛදික සම්ප්‍රදායයට අයත් හින්දු සාහිත්‍යයෙහි අහිංසා ධර්මය නන් අයුරින් දැක්වේ. භාරත දේශයෙහි ආර්යයන්ගේ ආදිම සාහිත්‍ය කෘතිය වූ සෘග්වේදයෙහි මෙම ප්‍රඥප්තිය පිළිබඳව විශේෂ හැඟීමක් පැවති බවක් නොපෙනේ. වෛදික ජනයා යුද්ධකාමී ජනතාවක් වූ හෙයින් ඉන්ද්‍ර, අග්නි ආදි දෙවිවරුනට සත්වබිලිපූජා ආදියෙන් යාග පවත්වා ලෞකික සැප සම්පත් හා පරලොව සුගතිය ද පැතූ බව පෙනේ. බ්‍රාහ්මණ යුගයේ දී වෛදික යාගය පිළිබඳව පැවති නීති රීති ආදිය තවත් විස්තර සහිතව බ්‍රාහ්මණයන් විසින් සකස් කරනු ලැබීය. එහෙයින් බ්‍රාහ්මණ යුගයේ දී ද අහිංසා ධර්මය ආගමික ජීවිතයට පිවිසි ප්‍රධාන සදාචාරාත්මක ප්‍රඥප්තියක් නොවීය. එහෙත් උපනිෂද් යුගයේ දී වේද හා බ්‍රාහ්මණ යුගයන්හි යාගයට ප්‍රමුඛත්වය දෙමින් නොයෙක් දෙවිවරුන්ගෙන් බලාපොරොත්තු වූ ඉෂ්ට ඵල ගැන අපේක්ෂාවක් නොමැතිව ආධ්‍යාත්මික වූ චිත්ත සන්තානගත පාරිශුද්ධිය මුල් කොට ගත් ආත්ම විද්‍යාව කෙරෙහි සිත් යොමු වේ. ඡාන්දෝග්‍ය උපනිෂද්භි අහිංසාව යති ධර්මයන් පසකින් එකක් හැටියට හඳුන්වා තිබේ. එහෙත් උපනිෂද් ග්‍රන්ථයන්හි වෛදික යාග හෝමාදිය සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරනු නොලැබේ. ඇතැම් විට වේදමන්ත්‍ර පමණක් දැනීම ආත්මය දැනගැනීමට උපකාරී නොවන බව දක්වා ඇති නමුත් වෛදික සම්ප්‍රදාය ද ගරු කළ හෙයින් යාගයන්හි කෙරෙන හිංසාපීඩාදිය අහිංසා ධර්මයට ප්‍රතිපක්ෂ යයි සලකා නොමැත. අනාගතයෙහි පණ්ඩිතයකු වන පුතකුගේ උත්පත්තිය බලාපොරොත්තු වන පියකු විසින් ගවාදි සතුන්ගේ මස් හා ගිතෙල් සහිත බත් ද පිසිය යුතු බව බෘහදාරණ්‍යක උපනිෂදෙහි නියම කොට තිබේ. උපනිෂද් යුගයේ දී අහිංසාව පරම වූ යති ධර්මයක් හැටියට පිළිගැනුණ ද චිරාගත වෛදික සම්ප්‍රදායයෙන් සම්පූර්ණයෙන් මිදීමට හැකි වූ බවක් නොපෙනේ.
අහිංසා ධර්මය පෘථුල ලෙස ව්‍යාප්ත කිරීමට උත්සාහ ගත් ජෛනයන්ගේ හා බෞද්ධයන්ගේ බලපෑම ද හේතුකොටගෙන මනුස්මෘති, වසිෂ්ඨ-ස්මෘති, මහාභාරත හා භගවද්ගීතා ආදි පසුකාලීන හින්දු සාහිත්‍යයෙහි ද මෙය ශ්‍රේෂ්ඨ සදාචාර ධර්මයක් ලෙස දක්වා ඇත. එහෙත් මනු වයිෂ්ඨාදීන්ගේ ස්මෘතිවල මධුපර්ක, යඥ හා පිතෘ දේවතා කර්මවල දී සතුන් මැරීමට ඉඩ දී තිබේ. බ්‍රහ්මයා විසින් සත්වයන් යාගය සඳහාම මවන ලද හෙයින් වෛදික යාගය සඳහා කෙරෙන වධය වධයක් නොවන බව මනුස්මෘතිය කියයි (මනුස්මෘති 5.39). මනුස්මෘතියට අනුව තම ආරක්ෂාව සඳහා අනුන් ඝාතනය කිරීම පාපයට හේතු නොවේ (මනුස්මෘති 8.349). අධාර්මික තැනැත්තකු (ආත තායින්) ආචාර්යයකු වුව ද වෘද්ධයකු වුව ද බ්‍රාහ්මණයකු වුව ද බහුශ්‍රැතයකු වුව ද වහා ඝාතනය කළ යුතුවේ (මනුස්මෘති 8.350). මනුස්මෘතියට අනුව මාංස භක්ෂණය ද අහිංසා ධර්මයට ප්‍රතිපක්ෂ වූ පාප ක්‍රියාවකි. සතකු මැරීම අනුමත කරන්නා ද ශරීරාංගයන් සිඳින්නා ද මරන්නා ද මාංසය විකුණන්නා ද මිල දී ගන්නා ද පිසන්නා ද මස් ආහාර වශයෙන් පිරිනමන්නා ද මස් අනුභව කරන්නා ද මැරීමේ වරදට බැඳෙන බව මනුස්මෘතියෙහි සඳහන් වේ (මනුස්මෘති 5.51). ප්‍රාණවධයෙන් තොරව මාංසය ලැබිය නොහැක. එහෙයින් මාංසයෙහි සමුත්පත්තිය දන්නා තැනැත්තේ මාංසභක්ෂණයෙන් වැළැකිය යුතුයි. වර්ෂයක් වර්ෂයක් පාසා සිය වර්ෂයක් අශ්වමේධ යාගය පැවැත්වීමෙන් ලබන පුණ්‍යඵලය ම මාංසභක්ෂණයෙන් වළකින්නාහට හිමි වේ. මේ අනුව මනුස්මෘතියෙහි අහිංසාව පරම ධර්මයක් ලෙස සැලැකෙන නමුදු වෛදික යාගය සඳහා සත්ව ඝාතනයටත් අපරාධකාරී අධාර්මිකයකුගේ ඝාතනයටත් අවසර දී ඇති බැව් පෙනේ. මහාභාරතය ද වෛදික යාගය පිළිබඳව දක්වන අදහස්වලින් එයට එකහෙළා ම විරුද්ධ නොවූ බව පෙනේ. යමෙක් සියලු සත්වයන් කෙරෙහි හිංසාවෙන් වළක්නේ ද සියලු යාගයන්ගෙන් හිමිවන පුණ්‍ය ඵලය ම එම අහිංසා ධර්මයෙන් ලැබෙන බව මහා භාරතයෙහි සඳහන් වේ. එහෙත් පිතෲන්ට හා දේවතාවන්ට පුදා මාංස අනුභව කිරීමෙහි දොසක් නැති බව ද මහාභාරතයෙහි සඳහන්ය. භගවද්ගීතාවෙහි දැක්වෙන ආචාරධර්මයන් අතුරෙහි ද අහිංසාව ප්‍රමුඛ ස්ථානයක් ගනී. එහෙත් යුද්ධයක දී ක්ෂත්‍රියයකු විසින් කෙරෙන හිංසාව පිළිබඳව භගවද්ගීතාවෙහි දැක්වෙන අදහස් අහිංසා ධර්මය හා නොගැළපෙන බව පෙනේ. ක්ෂත්‍රියයකු විසින් යුද්ධ භූමියේ දී කරනු ලබන ප්‍රාණවධය ධර්මානුකූල යයි භගවන්ගීතාව කියයි. ආත්මාර්ථකාමිත්වය බැහැර කොට මානසික වශයෙන් ද්වේෂය චෛතසිකයකට ඉඩ නොතබා ස්වධර්මය ඉටු කිරීම් වශයෙන් ක්ෂත්‍රියයකු යුද්ධයේ දී කරන ප්‍රාණවධය හිංසාවක් නොවේ. සැප, දුක, ලාභ, අලාභ, ජය, පරාජය ආදියෙහි උපේක්ෂාව උපදවා යුද්ධ කිරීමෙන් පාපයක් සිදු නොවේ. යුද්ධයෙහි මිය යන ක්ෂත්‍රිය තෙමේ ස්වර්ගයෙහි උපත ලබයි (භ.ගී. 2.31–38).
ජෛන තීර්ථංකර මහාවීරයන් විසින් අනුදන්නා ලද අහිංසාධර්මය අන්තගාමීත්‍වය කරා යන්නකි. අහිංසාව ජෛන ගිහි පැවිදි උභය පක්ෂය විසින් ම සමාදන් විය යුතු ප්‍රධාන ව්‍රතයයි. පැවිද්දන් විසින් සියලු ප්‍රාණඝාතයෙන් තොරවිය යුතුය. ගිහියන් විසින් මහත් වූ ප්‍රාණඝාතයෙන් (ථූලගං පාණඉවායං) වෙන්විය යුතුය. පැවිද්දන්ට එය මහාව්‍රතයෙකි. ගිහියන්ට අනුව්‍රතයෙකි. ජෛනයෝ සියලු ප්‍රාණීන් කොටස් සයකට බෙදති. පෘථිවි, ආපෝ, තෙජෝ, වායෝ යන සතර මහාභූතයන් ආශ්‍රිත ඒකින්ද්‍රිය වූ ක්ෂුද්‍රප්‍රාණීන් ද වනස්පති කාය වශයෙන් ගැනෙන තෘණ, වෘක්ෂලතා හා ධාන්‍යාදිය ද ජංගම ප්‍රාණීන් ද මේ සය ගණයට අයත් යයි සැලකේ. ජෛන පැවිද්දකුට ගෙයක් තැනීම, තැනවීම, ආහාර පිසීම, පිසවීම, ගිනිදැල්වීම, හා දල්වවීම තහනම්ය. ක්ෂුද්‍රප්‍රාණීන් මුඛයට ඇතුළුවීම වැළැක්වීම සඳහා වස්ත්‍රයෙකින් මුඛය ආවරණය කළ යුතුය. පෙරා ගත් ජලය පමණක් පරිභෝගය සඳහා සුදුසුය. ආහාර පිරිසිදු ලෙස සැලකෙනුයේ භාජන සහ අත් නොසෝදා දුන් විටයි. ඒවා සේදීමෙන් ක්ෂුද්‍ර ප්‍රාණීන්හට හිංසා පැමිණේ. වාඩිවෙන තැන් අතුගා ක්ෂුද්‍ර ප්‍රාණීන් ඉවත් කිරීම සඳහා මුස්නක් ද ජලය පෙරීම සඳහා පෙරහන්කඩක් ද රැගෙන යා යුතු යයි ජෛන පැවිද්දන්ට නියමව තිබේ. ඔවුන්ගේ සිරුරු වස්ත්‍ර පාත්‍ර ආදියේ පණු ආදි ක්ෂුද්‍රප්‍රාණීන්ට උවදුරු සිදු නොවන පරිදි ඔවුන් පහ කළ යුතුය. ප්‍රාණීන් විසින් ස්වකීය මසේ ලේ අනුභව කළ නමුදු ජෛන පැවිද්දකු විසින් ඔවුන් නොමරා ඉවසිය යුතුයි. අහිංසාව අන්තයට ම පිළිපදිනා ඇතැම් ජෛනයෝ අලවර්ග හා ලූනු වර්ග පවා ආහාරය සඳහා නොගනිති.
බෞද්ධ ආචාර ධර්මයෙහිද භික්ෂූන්ට මෙන් ම ගිහියන්ට ද ප්‍රධාන වූ සීලය හැටියට සැලකෙනුයේ ප්‍රාණඝාතයෙන් තොර වීමයි. සියල්ලන් දණ්ඩනයට බියවන නිසාත් සියල්ලන්හට ජීවිතය ප්‍රිය වන නිසාත් තමන් ම උපමාවට ගෙන අනුන්හට හිංසා නොකළ යුතු බව ධම්මපදයෙහි දණ්ඩ වග්ගයෙහි සඳහන්වේ. සියලු දිසාවන් සිතින් පිරික්සුවද තමහට වඩා ප්‍රිය වූ අනිකකු නොදකියි. අනුන්ට ද වෙන් වෙන් වශයෙන් මෙසේ තමා ම ප්‍රියවෙයි. එහෙයින් තම හට වැඩකැමැත්තහු පරහට හිංසා නොකළයුතු බව සංයුක්තනිකායෙහි සගාථක වග්ගයෙහි සඳහන් වේ. බෞද්ධයෝ අහිංසා ධර්මය අතින් ජෛනයන් මෙන් අන්තයට ම නොගියහ. බෞද්ධයින් විසින් පෘථිවිය හා වෘක්ෂලතාදිය ප්‍රාණීන් හැටියට සැලකුණු බවක් නොපෙනේ. එහෙත් ජෛනයන්ගේ බලපෑම නිසා තෘණ වෘක්ෂලතාදියට ද ප්‍රාණයක් තිබේය යන මතය තත්කාලීන සමාජයෙහි මුල් බැසගෙන තිබිණ. සමාජයෙහි පිළිගැනුණු මතයක් වූ හෙයින් භික්ෂූන් උදෙසා පැනවූ විනය නීතිවල හුදෙක් ජංගම වූ ප්‍රාණීන්ට පමණක් නොව තෘණ වෘක්ෂ ලතාදියට ද හිංසා පීඩා නොවන ලෙස හැසිරීමට නියම කර තිබේ. භික්ෂූන් හට මූලබීජ, ඛන්ධ බීජ, ඵලු බීජ, අග්ග බීජ, බීජ බීජ යන පස්වැදෑරුම් බීජයන් සිඳීමත් සිඳුවීමත් තහනම්ය. මෙම නීතිය පනවන ලද්දේ ප්‍රාණයන්ට හිංසා වෙතැයි සැලකූ හෙයිනැයි සිතිය නොහැක. එහි දී බුදුන් වහන්සේ භික්ෂූන්ට දෝෂාරෝපණය කරනුයේ "ජීව සඤ්ඤිනො හි මොඝපුරිසා මනුස්සා රුක්ඛමිං" යනුවෙනි (වි. පි. IV, 34). බුදුන් විසින් ප්‍රාණීන් හැටියට සලකන ලද්දේ සචේතන වූ ප්‍රාණීන් පමණක් බව විනය මහාවග්ගයෙහි පළමුවෙනි ඛන්ධකයෙහි එන සතර අකරණීය ධර්මයන්ගෙන් ද පෙනේ (උපසම්පන්නෙන භික්ඛුනා සඤ්චිච්ච පාණො ජීවිතා න වොරොපෙතබ්බො අන්තමසො කුන්ථකිපිල්ලකං උපාදාය). අතිශය ක්ෂුද්‍රප්‍රාණියකුට පවා හිංසා කිරීම භික්ෂූන්ට තහනම් බව විනය පිටකයෙහි, දැන දැන ප්‍රාණීන් සහිත ජලය තෘණ හෝ මැටි උඩ ඉසීම හෝ ඉස්වීමත් අනුදත් හේතුවකින් තොරව ප්‍රාණීන්ට හිංසාදායක වූ ගිනි දල්වා හෝ අනුන් ලවා දල්වවා හෝ ගිනි තැබීමත් දැන දැන ප්‍රාණීන් සහිත ජලය පරිභෝග කිරීමත් වර්ෂා ඍතුවෙහි චාරිකා චරණයත් ලී හා තල්පත්වලින් කළ පාවහන් ලීමත් භික්ෂුන් හට තහනම් කර තිබීමෙන් පෙනේ. බෞද්ධයන් දුක්විපාක දෙන හිංසාවක් ලෙස සැලකුවේ චේතනාවෙන් කෙරෙන හිංසාව පමණි. බෞද්ධයෝ චේතනාවට මුල්තැන දෙමින්, ජෛනයින් මෙන් බාහිර වූ ක්‍රියාව පමණක් නොසලකා, ආචාරවිද්‍යාත්මක වූ ප්‍රඥප්තීන් මනෝවිද්‍යාත්මක පදනමක් මත පිහිටා විග්‍රහ කළහ. ජෛනයෝ අහිංසා ධර්මය ක්‍රියාත්මක කළ හැකි සීමාව ද ඉක්මවමින් අන්තයට ගියහ. බෞද්ධ දර්ශනයට අනුව ප්‍රාණවධය අකුසලයක් වන්නේ අකුසල චෛතසිකයක් වූ ද්වේෂය ඊට පුරෝගාමී වන හෙයිනි. තවද බෞද්ධයෝ අහිංසා ධර්මයෙහි අභාව පක්ෂය පමණක් නොදක්වා එහි භාව පක්ෂය ද සලකමින් සියලු ප්‍රාණීන් කෙරෙහි වධහිංසාවෙන් වළක්නා අතර හිතානුකම්පීව මෙත් සිතින් විසිය යුතු බව ද දක්වති. සදාචාරාත්මක ජීවිතය පරමාර්ථයක් නොව පරමාර්ථ සාධක ප්‍රතිපදාවකි. එහෙයින් හිංසාවෙන් ප්‍රතිවිරතව වෙසෙන අතර ම පරමාර්ථ සාධක වූ මාර්ගයක් වශයෙන් චිත්ත භාවනාවට අදාළ වන, සකල දිශාවන්හි කුදු මහත් ස්ථාවර ජංගම සියලු සතුන්ට මෙත් වැඩීම කළ යුතු බව මෙත්ත සූත්‍රයෙහි සඳහන්වේ.
මාංස භක්ෂණය පිළිබඳව ද බුදුන්වහන්සේ දක්වන අදහස් හින්දුන් හා ජෛනයන් දක්වන අදහස් හා සමාන නොවේ. ත්‍රිකෝටි පරිශුද්ධ වූ (අදිට්ඨං, අසුතං, අපරිසංකිතං) මාංසය අනුභව කරන බෞද්ධ භික්ෂුව අහිංසා ධර්මය කඩ කරන්නකු නොවන බව මජ්ඣිමනිකායෙහි ජීවක සූත්‍රයෙන් දැක්වේ. පුද්ගලයකුගේ ශුද්ධිය ආහාරයෙන් නොලැබිය හැකිය. පාරිශුද්ධිය බාහිරවූ ව්‍රත සමාදානයෙන් පමණක් ලැබිය හැක්කේ නොවේ. චිත්ත සන්තානගත අභ්‍යන්තර ක්ලේශයන් ප්‍රහාණය කිරීම අවශ්‍යමය (ආමගන්ධ සුත්ත-සුත්ත නිපාත). බෞද්ධයෝ ද ජෛනයන් මෙන් වෛදික යාගයට එකහෙළා ම විරුද්ධ වූහ. විවිධ ප්‍රාණීන්ගේ ඝාතනය සිදුකෙරෙන සාරම්භ වූ යඥයට අර්හත්හු හෝ අර්හන්මාර්ගයට සමාපන්න වූවෝ නොඑළඹෙත් යයි බුදුහු ප්‍රකාශ කරති.
වෛරීව ද්වේෂ සහගත චේතනාවකින් කවර අන්දමක හෝ හිංසාවක් කිරීම බෞද්ධයන් විසින් අනුමත නොකෙරිණි. යුද්ධයෙහි දී කැරෙන හිංසාව පිළිබඳව ද බුදුන්වහන්සේ දරන මතය භගවද්ගීතාවෙහි දැක්වෙන මතයට ඉඳුරා ම වෙනස්ය. පූර්ව ආචාර්ය ප්‍රාචාර්යය වූ යෝධාජීව බ්‍රාහ්මණයන් විසින් සංග්‍රාමයෙහි මිය යන යෝධයන් සරඤ්ජිත නම් දෙවිඳුන්ගේ සහව්‍යතාවට පත්වෙති දැරූ මතය (සංයුත්තනිකායයෙහි යොධාජීව වග්ගයෙහි) බුදුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ. සංග්‍රාමයෙහි යෙදෙන්නාගේ සිත හීන වූ ද්වෙෂයෙහි හා වෛරී චේතනාවෙහි පිහිටියකි. සිය සතුරෝ නැසෙත්වා, මියෙත්වා යන වෛරී චේතනාව ඕහට වෙයි. එහෙයින් සංග්‍රාමයෙහි මිය යන යෝධයා සරාජික නම් නිරයෙහි උපත ලබන බව බුදුහු පවසති (සං. නි. IV, 308). අසත් පුරුෂයකු පවා දමනය කළ යුත්තේ දණ්ඩනයෙන් හා වධ බන්ධනයෙන් නොව මෛත්‍රී කරුණා බලයෙන් ම බව අංගුලිමාල සූත්‍රයෙහි දැක්වේ.
මහාවීරයන් හා බුදුන්වහන්සේ වැනි දාර්ශනිකයන් විසින් වෛදික සම්ප්‍රදාය ද විවේචනයට ලක් කෙරෙමින් ඉදිරිපත් කළ අහිංසා ධර්මය භාරතීයයන්ගේ සදාචාරාත්මක දිවි පැවැත්ම කෙරෙහි බෙහෙවින් බලපෑ බව පෙනේ. අශෝක රජුගේ කාලයේ දී මෙම ධර්මය රාජධර්මයක් ලෙස ක්‍රියාත්මක විය. රාජකීය මුළුතැන්ගෙයි පළමුවෙන් දහස් ගණන් සත්වයන් ජිවිතක්ෂයට පත් කළ බවත් පසුව මොනරුන් දෙදෙනකු හා එක් මුවකු දක්වා සත්වඝාතනය අඩු කළ බවත් මෙපරිද්දෙන් සීමා කළ ගණනවත් නොමරා සම්පූර්ණයෙන් සියලු සතුන්ට අභයදානය දීමට තීරණය කරගත් බවත් අශෝකාධිරාජයන්ගේ සෙල්ලිපිවල සඳහන් වේ. ලක්දිව රජවරුන් පවා අනුගමනය කළ දශරාජධර්මයට අහිංසාව ද ඇතුළත්ය.
(සංස්කරණය: 1965)