ආයුර්වේදය

සිංහල විශ්වකෝෂය වෙතින්
14:16, 23 දෙසැම්බර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

වෙත පනින්න: සංචලනය, සොයන්න

මනුෂ්‍යයාගේ ජීවිත කාලයට ආයුෂ යයි කියනු ලැබේ. ආපදාවක් නොමැතිව දීර්ඝායුෂ ලබාගතහැකි උපාය විස්තර කොට ඇති ශාස්ත්‍රය ආයුර්වේද නම් වේ. තවද විද් ධාතුවේ අර්ථය දැන ගැනීම හෙවත් ඥානය යනුයි. ආයුෂ පිළිබඳ ඥානය යම් ශාස්ත්‍රයක උපකාරයෙන් ලබාගතහැකි නම් එය ආයුර්වේදයයි. ආයුෂයට හිත සහ අහිත දේ ද රෝගයන්ට කාරණ සහ ඒ රෝග සංසිඳවන උපාය ද විස්තර කොට ඇති ශාස්ත්‍රයත් ආයුර්වේද නම් වේ.

පටුන

ආයුර්වේදයේ ප්‍රයෝජන

ලෙඩින් පෙළෙන්නා ලෙඩින් මුදාලීමත්, සුවයෙන් වසන්නාගේ සනීපය රැකීමත් ආයුර්වේදයේ ප්‍රයෝජනයි. ආහාරපාන සහ හැසිරීම යම් යම් නියමයන්ට අනුව කිරීමෙන් මනුෂ්‍යයා ලෙඩින් මිදී දීර්ඝ කාලයක් විසීමට සමර්ථ වන්නේ නම් ඒ නියම සියල්ල ද රෝගී වූවන්ට යම් යම් පිළියම්වලින් ඒ රෝගයන්ගෙන් මිදිය හැකි නම් ඒ පිළියම් සියල්ල ද ආයුර්වේදයේ විස්තර කොට ඇත්තේය. මෙකී දෙවැදෑරූම් වුවමනාවන් ඉටුකරගැනීම සඳහා මනුෂ්‍යයාට ආයුර්වේදය අතිශයෝපකාරී වේ. ධර්ම, අර්ථ හා කාම යන මේ සම්පත් ලබා ගැනීමේ උපාය වූ ආයුෂ කැමැත්තහු විසින් ආයුර්වේදයෙහි දැක්වෙන උපදේශ කෙරෙහි අත්‍යන්තයෙන් සැලකිලිමත් විය යුතු වේ.

ආයුර්වේදයේ ප්‍රභවය

ආයුර්වේදය පහළ වීම ගැන පරම්පරාගත විශ්වාසය මෙසේයි : පළමුකොට බ්‍රහ්ම තෙම සකල සත්වයන්ට ආරෝග්‍ය දායක වූ ආයුර්වේදය ස්මරණය කොට ශ්ලෝක ලක්ෂයකින් සමන්විත බ්‍රහ්ම සංහිතා රචනා කෙළේය. බ්‍රහ්මයාගෙන් දක්ෂ ප්‍රජාපතිහු ද දක්ෂ ප්‍රජාපතිහුගෙන් අශ්විනි කුමාරයන් දෙදෙනා ද ඔවුන්ගෙන් ඉන්ද්‍රයා ද ආයුර්වේදය උගත්හ. එහි ප්‍රතිඵලයක් වශයෙන් බ්‍රහ්ම සංහිතාව රචනයට අනතුරුව “ප්‍රජාපති සංහිතා” “අශ්වි සංහිතා” සහ “බලභිත් සංහිතා” හෙවත් “ඓන්ද්‍ර සංහිතා” රචිත විය. බ්‍රහ්ම තෙම ඍග්, යජුර්, සාම, අථර්ව යන වේදයන් දර්‍ශනය කො‍ට “ආයුර්වේද” නමැති පඤ්චමවේදය රචනය කෙළේ යයි බ්‍රහ්මවෛවර්ත පුරාණයෙහි කියන ලදි. බ්‍රහ්මයාගෙන් සූර්යදේව තෙම ආයුර්වේදය ඉගෙන “සූර්‍ය්‍ය සංහිතා” නමැති ආයුර්‍වෙද ග්‍රන්ථය රචනා කෙළේය. සූර්‍ය්‍යදේවයාගේ බොහෝ ශිෂ්‍යයෝ ආයුර්වේදය ඉගෙන වෙන වෙන ම ග්‍රන්ථ රචනා කළෝය. ඔවුනතුරෙන් ධන්වන්තරි ඍෂීන් විසින් “චිකිත්සාතත්ව විඥානය” ද දිවෝදාස විසින් චිකිත්සා දර්ශනය ද කාශීරාජ විසින් “චිකිත්සා කෞමුදිය” ද අශ්විනී කුමාරයන් දෙදෙන විසින් චිකිත්සා සාර තන්ත්‍රය " හා " භ්‍රමඝනය " ද නකුල විසින් “වෛද්‍යක සර්වස්වය” ද සහදේව විසින් “ව්‍යාධිසින්ධු විමර්දන” ග්‍රන්ථය ද යමරාජයන් විසින් "ඥානාර්ණවය" ච්‍යවන ඍෂීන් විසින් ජීවදාන ග්‍රන්ථය ද ජනකයන් විසින් " වෛද්‍ය සන්දේහ භඤ්ජනය ද චන්ද්‍රසූතයන් විසින් සර්වසාරය ද ජාවාලයන් විසින් " තන්ත්‍රසාරය ද ජාජලිහු විසින් “වේදාඞ්ග සාරය” ද පෛලයන් විසින් “නිදානය” ද කරථයන් විසින් සර්වධර තන්ත්‍රය " ද අගස්ත්‍යයන් විසින් “ද්වෛධනිර්ණය තන්ත්‍රය” ද රචනා කරන ලදි. ප්‍රචලිත ආයුර්වේදීය මතයට වඩා බ්‍රහ්මවෛවර්ත පුරාණයේ මතය තරමක් වෙනස් බව පෙනේ. සුශ්‍රැත මතය අනුව දිවෝදාස සහ ධන්වන්තරි එක්කෙනෙකු බව ද සඳහන් කටයුතුයි. ආයුර්වේදය පිළිබඳ මෙකියන ලද කාලය “දෛවකාලය” නමි. අනතුරුව ඍෂීන්ගේ කාලය දක්වනු ලැබේ:- ධන්වන්තරි ඍෂීහු ඉන්ද්‍රදේවයා වෙතින් ආයුර්වේදය ඉගෙන කාශිරාජ දිවෝදාස ස්වරූපයෙන් පෘථිවියෙහි පහළව ඖපධෙනව, වෛතරණ, ඖරභ්‍ර, පෞෂ්කලාවත, කරවීර්‍ය්‍ය, ගෝපුරරක්ෂිත, සුශ්‍රැත ආදි ඍෂීන්ට ශල්‍යතන්ත්‍රය ප්‍රධාන කොට ඇති ආයුර්වේදය ඉගැන්වූ බව කියනු ලැබේ. මෙකී දිවොදාසගේ ශිෂ්‍යයෝත් ඔවුන්ගේ අනුශිෂ්‍යයෝත් ශල්‍යතන්ත්‍රය මුල් කොට විවිධ ආයුර්වේද ග්‍රන්ථ තමතමන්ගේ නමින් රචනා කළෝය. ධන්වන්තරීහුගේ මත අනුව කරන ලද වෛද්‍ය කර්මය ධන්වන්තරි සම්ප්‍රදාය යයි කියන ලදි. ඍෂීන්ගේ කාලයෙහි කායතන්ත්‍ර ප්‍රධාන චිකිත්සා භාරද්වාජ බ්‍රහ්මර්ෂීන් විසින් ප්‍රචාරය කරන ලදි. යම්කිසි සමයෙක ප්‍රාණීන්ගේ රෝදුක් කරණකොට ගෙන කම්පිත වී කණගාටුවට පත් ඍෂිවරයෝ ඊට කළයුතු ප්‍රතිකාර කිම් දැයි සාකච්ජා කිරීම සඳහා හිමාලය අඩවියෙහි රැස්වූහ. ඒ ඍෂි සම්මේලනයේ දී රෝදුකින් ප්‍රජාව මිදීමට නම් ආයුර්වේදඥ ඉන්ද්‍රදේවයා ශරණ යා යුතු බැව් පෙන්වා දෙන ලදි. ඉක්බිති සියල්ලන්ගේ සම්මතය පරිදි භාරද්වාජ ඍෂි තෙම ඉන්ද්‍රදේවයා වෙත ගොස් ආයුර්වේදය හදාළේය. භාරද්වාජයෝ ආත්‍රෙයයන්ට ද ආත්‍රෙයයෝ අග්නිවේශ, භේල, ජතුකර්ණ, පරාශර, හාරීත, ක්ෂාරපාණි යන ශිෂ්‍යයන් සදෙනාට ද කායචිකිත්සා ප්‍රධාන ආයුර්‍වෙදය ඉගැන්වූහ. ආත්‍රෙය මහර්ෂීන්ගේ මේ ශිෂ්‍යයෝ සදෙන තම තමන්ගේ නමින් සංහිතා රචනය කළෝය. මේ චිකිත්සක සම්ප්‍රදාය භාරද්වාජ හෙවත් ආත්‍රෙය සම්ප්‍රදාය නමින් ප්‍රසිද්ධ විය. ඍෂීන්ගේ කාලයේ දී මෙසේ සම්ප්‍රදාය දෙකක් ඇති වූ නමුත් කල්යාමේ දී අෂ්ටාඞ්ග ආයුර්වේදයේ එක් එක් අඞ්ගය වෙන් වෙන් වශයෙන් පුහුණු කිරීම ප්‍රචලිත විය. එහෙයින් වෛද්‍ය ශාස්ත්‍රයේ අඞ්ග අට පිළිබඳ විශේෂඥයෝ ද පහළ වූහ. ඉහත දැක්වුණු සම්ප්‍රදාය දෙක හැර රසවෛද්‍ය සම්ප්‍රදාය නමින් වෛද්‍යාංශයක් ද පසුව ඇති විය. චරක, සුශ්‍රැතාදි ග්‍රන්ථයන්හි විවිධ ඛනිජ ද්‍රව්‍ය යෙදීම ගැන සාමාන්‍යයෙන් සඳහන්ව ඇතත් ඒවා ව්‍යවහාර කිරීම ඉතාමත් ස්වල්ප වශයෙන් විය. තාන්ත්‍රික චිකිත්සාවන්හි රසදිය, විවිධ ධාතු සහ උපධාතු බෙහෙවින් ව්‍යවහාරයි. මෙම තන්ත්‍රයේ ආදි කර්තෘ මහාදේවයා යයි කියනු ලැබේ. ආදිම, නිත්‍යනාථ, චන්ද්‍රසේන, සෝමදේව, ගෝවින්ද, නාගාර්ජුනාදි රසශාස්ත්‍රාචාර්‍ය්‍යයෝ රෝග නැසීමෙහි ලා රසදියෙහි ඇති ආශ්චර්‍ය්‍යවත් ශක්තිය දැක නානාවිධ රසතන්ත්‍ර රචනය කළෝයි. ඉන්දියාවේ බුද්ධාගම බැබැළෙමින් පැවැති සමයෙහි රසතන්ත්‍රය අතිශයින් දියුණුව පැවැති බව භාරතීය බෞද්ධ ඉතිහාසයෙන් දතහැකිය.

ආයුර්වේදයේ විශාලත්වය

ආයුර්වේදයෙහි, වර්ණනා කොට ඇත්තේ මනුෂ්‍යයන්ගේ ආයුෂ සම්බන්ධ කරුණු පමණක් නොවේ. කථා කිරීමෙහි නොසමත් තිරිසනුන් සහ ගස්වැල් ආදි වස්තු පිළිබඳව ද ආයුර්වේදයෙහි බොහෝ දේ විස්තරව ඇත්තේය. ගජායුර්වේදය, අශ්වායුර්වේදය, වෘක්ෂායුර්වේදය ආදිය ඊට නිදර්ශනය.

ආයුර්වේදයේ බෙදීම්

ආයුර්වේදය අථර්වවේදයේ උපාංගයකැයි කියනු ලැබේ; ඍග්වේදයේ උපාංගයකැයි යනු ව්‍යාසර්ෂි මතයයි. ආයුර්වේදය පස්වන වේදය බැව් බ්‍රහ්මවෛවර්ත පුරාණයෙහි සඳහන් වේ. ආයුර්වේදයෙහි ඥාන කාණ්ඩය, කර්ම කාණ්ඩය කියා බෙදීම් දෙකක් තිබේ. චරක සංහිතාවේ සූත්‍රස්ථානය, ශාරීරස්ථානය, නිදානස්ථානය, විමානස්ථානය සහ ඉන්ද්‍රියස්ථානය ඥානය පදනම් කොට ද චිකිත්සාස්ථානය, සිද්ධිස්ථානය සහ කල්පස්ථානය කර්මාත්මකව ද පවත්නේය. ආයුර්වේදයේ සමහර කොටස් ඥාන කර්ම දෙක ම පදනම් කොට පවතී. පහසුවෙන් තේරුම් ගැනීම සඳහා ආයුර්වේදය කොටස් දෙකකට බෙදා එක් එක් කොටසට අයත් විෂයයන් ඒ ඒ කොටස්හි ම බහා මෙහි පහත දක්වනු ලැබේ.

පළමුවන කොටස හෙවත් පූර්වාඞ්ගය

1. ශාරීර විද්‍යාව

වෛද්‍ය කර්මයෙහි යෙදීම පිණිස පළමුකොට ම මුළු සිරුරේ ආකාරය, සෑදී තිබෙන අන්දම, පිහිටි ක්‍රමය සහ ක්‍රියා පිළිබඳ දැනීම අත්‍යවශ්‍යය. එහෙයින් චිකිත්සා ශාස්ත්‍රයේ පූර්වාංගය ශාරීර විද්‍යාවයි. එය දෙවැදෑරුම් වේ. එනම්:

(අ) ශාරීර පරිචය : සිරුරේ අස්ථි, පේශී, ස්නායු, කණ්ඩරා, සිරා, ධමනී, නාඩි, හෘදය, ඵුප්ඵුස, මස්තිෂ්ක, චක්ෂු, කර්ණ, නාසිකා ආදීන්ගේ උපාදාන, ආකෘති, සංඛ්‍යා, සංස්ථාන සහ ඒවා සෑදී ඇති අයුරු විස්තර කිරීම මේ කොටසට අයත්ය.

(ආ) ශාරීර විඥානය : සිරුරේ ඇති ඒ ඒ යන්ත්‍රා දියේ ක්‍රියාකාරිත්වය කුමන අන්දමින් උත්පාදනය වන්නේ ද, එනම් : ලෙය මුළු සිරුරෙහි පැතිර සැරිසරන පිළිවෙළ, ආහාර වශයෙන් ගත් දේ පැසී සිරුර පෝෂණය කරන අන්දම, මල මූත්‍රාදිය සිරුරෙන් පිටවන ක්‍රමය, ශබ්ද රූප ස්පර්ශාදිය දැනගන්නා අන්දම, අතපය ආදිය ක්‍රියා කිරීම කුමන උපායකින් හෝ පිළිවෙළකින් සම්පාදනය වන්නේ ද යනාදි නානාවිධ දෑ විස්තර කිරීම මේ කොටසට අයත්ය. ආයුර්වේදීය ත්‍රිදෝෂ තත්වය මේ කොටසේ අවසාන විසඳීමය.

2. මනෝවිඥානය

සිත යනු කුමක් ද, සිතේ ක්‍රියා සම්පාදනය වන්නේ කෙසේ ද, ඥානය හා සිතීම් මොන අයුරකින් උපදින්නේ ද යනාදිය මෙම කොටසෙහි විස්තර වන්නේය. මෙම විද්‍යාව භාරතීය න්‍යාය හා වෛශේෂික දර්ශන යන දෙකෙහි ප්‍රධාන වශයෙන් ඇතුළත්ව ඇත. ආත්මය, පරලොව, මෙහෙසුරු, මිනිසාගේ දුක් නිවාරණය යනාදිය පිළිබඳ විචාර හා නිශ්චය ඇතුළත් වන්නේ දර්ශන ශාස්ත්‍රයෙහිය. මානසික ස්වාථ්‍යය රැකීම හා මානස රෝගයන්ට පිළියම් කිරීම සඳහා ඇති උපාය සියල්ල අවබෝධ කර ගැනීම සදහා මනෝවිඥානය සහ දර්ශන ශාස්ත්‍රය දැනගැනීම අවශ්‍යයි. එහෙයින් චරක සුශ්‍රැතාදි ප්‍රාචීන ආයුර්වේද ග්‍රන්ථයන්හි සාංඛ්‍ය පාතඤ්ජල වෛශේෂිකාදි දර්ශන ශාස්ත්‍රයන්ගේ විවිධ තත්ව විස්තර කරන ලදි. මානස රෝගයන්ගේ චිකිත්සාව පිළිබඳව නිපුණත්වයක් ලැබීම සඳහා මනෝවිඥානය සහ දාර්ශනික තත්ව සම්බන්ධයෙන් අවබෝධයක් ඇති කර ගැනීම ද යෝගාභ්‍යාසාදියෙන් වෛද්‍යවරයාගේ මානසික දියුණුව සිද්ධ කර ගැනීමද අත්‍යවශ්‍යයි. ආයුර්වේදයට අයත් මේ කොටස දැන් අභාවයට ගොස් ඇත.

3. ද්‍රව්‍ය විඥානය

මෙම විද්‍යාවේ අදහස ආහාර සහ ඖෂධ වශයෙන් ව්‍යවහාර වන ද්‍රව්‍යයන්ගේ ගුණ විනිශ්චය කිරීමයි. යම්කිසි ආහාරයක් හෝ ඔසුවක් කොතරම් පුෂ්ටිකර ද, වාතාදි කිනම් දෝෂකෝපයක් ශමනය කෙරේ ද, කවර ඖෂධයක් ශරීරයේ කිනම් යන්ත්‍රයක් කෙරෙහි කෙසේ ක්‍රියා කෙරේ ද, කුමන රෝගයක් සම්බන්ධයෙන් කෙබඳු විශේෂ ප්‍රභාවයක් පළ කෙරේදැයි යනාදිය මෙම ශාස්ත්‍රයෙහි දැක්වේ. ද්‍රව්‍ය ගැන දැනීම ඇති කර ගැනීමට මෙම ශාස්ත්‍රය හැදෑරිය යුතුය. ද්‍රව්‍ය ගුණ පිළිබඳව හොද දැනීමක් ඇති කර ගැනීම පිණිස පහත සඳහන් විෂය තුන පිළිබඳ සෑහෙන අවබෝධයක් අවශ්‍යයි. එනම්:

(අ) ප්‍රාකෘතික (වස්තු-ශක්ති) විඥානය

ද්‍රව්‍යයන්හි විද්‍යමාන ගුරුගුණ, වේග, ස්ථිතිස්ථාපකතා ආදිය නොයෙක් අයුරින් පිරික්සා ගුණයන්ගේ තත්ව - විනිශ්චය කිරීම මේ විද්‍යාවට අයත්ය.

(ආ) වස්තු-තත්ව විඥානය

සියලු ම ද්‍රව්‍යයන්ගේ ස්වරූප හෝ පරමාණු පිළිබඳ තත්ව - නිර්ණය මෙම ශාස්ත්‍රයේ අදහසයි. ද්‍රව්‍යයන් විශ්ලේෂණය කොට මූල පදාර්ථ සෙවීම සහ ඒ ඒ ද්‍රව්‍ය එක එක සංයෝග කොට ස්වතන්ත්‍ර ගුණ යුත් අලුත් පදාර්ථ නිපදවීම මෙම ශාස්ත්‍රයේ ආධාරයෙන් කරනු ලැබේ. ශාස්ත්‍රෝක්ත සිව්සැට කලා අතුරෙහි “ සංයෝග ක්‍රියා විඥාන නමැති කලාව නූතන රසායන විද්‍යාවේ ප්‍රාරම්භය යයි කිව හැක. ආයුර්වේදීය රසතන්ත්‍රය ද ඊට හාත්පසින් ම අදාළ විය. එහි රසදිය ආදි නානාප්‍රකාර ධාතු හා උපධාතූන්ගේ සංයෝග සහ විශ්ලේෂණාදි ක්‍රියා වෙසෙසින් වර්ණනා කොට ඇත්තේය.

(ඇ) උද්භිද විද්‍යාව

ලොවැති තාක් තෘණ-ගුල්ම වෘක්ෂ-ලතාදීන්ගේ ජාති බෙදීම, ඒවායේ අවයව නම් කිරීම සහ ඒ සියල්ලේ ඉපදීම, පෝෂණය ආදි ක්‍රියාවන්ගේ තත්ව නිර්ණය කිරීම මෙම විද්‍යාවේ පරමාර්ථයයි. මෙම ශාස්ත්‍රය දැනගත් විට වනෞෂධීන් වර්ණනා කිරීම ද පරිචය පිළිබඳ අවබෝධය ද පහසුවෙන් කටහැක්කේය. එහෙයින් මෙය ද ද්‍රව්‍යගුණ විද්‍යාවට අයත් වේ.

4. පරිභාෂා

ද්‍රව්‍යයන් කිරීම, මැනීම පිළිබඳ මානපරිභාෂා, ද්‍රව්‍යකල්පනා, භාවනාවිධි, ඝෘතතෛල-ගුඩ ආදියේ පාකවිධි, අරිෂ්ට ආසව සුරා සුත්‍යාදිය සාදන ක්‍රම, ඖෂධ සේවනය පිළිබඳ නියම කාල පිළිබඳ කරුණු යන මේවා මීට ඇතුළත්ය.

5. රසතන්ත්‍රය

රසදිය සහ වෙනත් ඛනිජ ද්‍රව්‍යයන්ගේ ශෝධන ජාරණ මාරණ (විෂ මැරීම) ආදිය සහ දෝෂගුණාදිය විස්තර කොට ඇති ශාස්ත්‍රය රසතන්ත්‍රය නම් වේ. මෙය ආයුර්වේදයෙහි වෙන් කොට දැක්වුණ හෙයින් ද්‍රව්‍ය ගුණ කොටසෙහි ලා නොදැක්විණ.

6. ස්වස්ථවෘත්ත

දිනචර්‍ය්‍යා, ඍතුචර්‍ය්‍යා, රාත්‍රිචර්‍ය්‍යා, ආහාර ගැනීම, නිදීම, ව්‍යායාමය, නෑම ආදිය පිළිබද නීතිරීති, වේග දැරීමාදියෙන් වැළකීම, සදාචාරවිධි ආදි සුව කැමතිවන්නවුන්ට හිතදේ සහ පරමායුෂ ලබන උපක්‍රම ද මේ කොටසට ඇතුළත්ය.

7. ත්‍රිසූත්‍ර විඥානය

රෝග සමූහයාගේ හේතු, ලක්ෂණ හා චිකිත්සා විඥානය යන මේ තෙවැදෑරුම් සූත්‍ර අත්තිවාරම් කොට පිහිටා ඇති ආයුර්වේදය සාකල්‍යයෙන් ත්‍රිසූත්‍ර නම් වේ. රෝග ඉපදීමට කරුණු, උපන් විට පහළ වන ලකුණු, ඖෂධ යොදන ආකාරය හා ඒ පිළිබඳ නියම යන මේවා ත්‍රිසූත්‍ර විඥානයෙහි මැනවින් දක්වා ඇත. එහි ඒ ඒ රෝග හෝ ඖෂධ පිළිබඳව යමක් නැතත් සමස්ත රෝග හා ඖෂධ සම්බන්ධයෙන් ම කරුණු දක්වා ඇත. කුඩා බීජයකින් මහත් රුකක් හට ගන්නාක් මෙන් සමස්ත ආයුර්වේදය ම මේ සියුම් ත්‍රිසූත්‍ර විඥානයෙන් ප්‍රකාශ වන්නේය. ත්‍රිසුත්‍ර නම් හේතු සුත්‍ර, ලිංග සූත්‍ර, ඖෂධ සූත්‍ර යන මොහුය. රෝග නිදාන තත්වය (Aetiology) හේතු සුත්‍ර නම් වේ. රෝග ලක්ෂණ තත්වය (Symptomatology) සහ රෝග කරණකොට ගෙන හටගන්නා ශාරීරික විකෘති තත්වය (Pathology) ලිංග සූත්‍රයෙන් අවබෝධ කරවනු ලැබේ. ඖෂධ සමූහය චිකිත්සා ක්ෂේත්‍රයෙහි දී යොදන පිළිවෙළ සම්බන්ධ දැනීම ඖෂධ සූත්‍ර නම් වේ. රෝගවිඥානය පිළිබඳ ප්‍රධාන අංගය වූ ත්‍රිසූත්‍ර විඥානයෙහි ම නිදාන, පූර්වරූපාදි පඤ්ච නිදානය ද රෝගපරීක්ෂාවිධීහු ද ඇතුළත් වෙති.

දෙවන කොටස හෙවත් ශේෂාංගය

1. කායචිකිත්සා තන්ත්‍රය

ඔසු යෙදීමෙන් සුව කටහැකි ජ්වර, අතිසාර, කාස, ක්ෂය, ප්‍රමේහාදි වූ රෝගයන්ගේ නිදාන පූර්වරූප ආදිය සහ ඒ රෝගයන්ට යෝග්‍ය වූ පථ්‍ය ඖෂධ (චිකිත්සා) මෙම අංශයට අයත්ය.

2. ශල්‍ය තන්ත්‍රය

මෙහි දෙකොටසකි. පළමු වන කොටස සාමාන්‍ය ශස්ත්‍ර චිකිත්සාවයි. ශල්‍ය කර්මයන්ගෙන් සුව කටහැකි සාමාන්‍ය රෝගයන්ගේ නිදාන, ලක්ෂණ හා චිකිත්සා ක්‍රම ද යන්ත්‍ර හා ශස්ත්‍රයන්ගේ ලක්ෂණ ද රුධිර මෝක්ෂණය, අග්නි ක්ෂාර ජලෞකා සහ ශස්ත්‍රාදිය යෙදීම පිළිබඳ නියම ද මෙම අංශයෙහි අන්තර්ගතයි. දෙවන කොටස ප්‍රසූතිතන්ත්‍රයයි. ගර්භෝත්පත්තිය, ගර්භිණී රෝග චිකිත්සා, ගර්භය රැකීම, ප්‍රසව කරවීම පිළිබඳ නියම සහ මූඪගර්භ චිකිත්සාදිය මීට අයත්ය. ශල්‍යතන්ත්‍රය පිළිබඳ සමහර කරුණු ශාරීරස්ථානයෙහි දැක්වේ.

3. ශාලාක්‍ය තන්ත්‍රය

ඇස්, කන්, නහය, දිව, මුඛය ආදි ගෙලෙන් උඩ අවයවයන්හි හටගන්නා රෝගයන්ගේ නිදාන, ලක්ෂණ, චිකිත්සාදිය මෙම තන්ත්‍රයෙහි ඇතුළත් වේ.

4. භූත විද්‍යාව

උන්මාද, අපස්මාරාදි රෝගයන්හි දී මිනිසා භූතාවේශ වූවකු මෙන් විකාර ක්‍රියා කරයි. ඒ රෝගයන්ගේ තත්වය වටහා ගැනීම, ලක්ෂණ හැඳිනීම සහ ප්‍රතිකාර විධි මේ තන්ත්‍රයට අයත්ය. භූතාවේශය පිළිබඳ යථාර්ථ නිගමන ද ඊට ඇතුළත්ය.

5. කෞමාරභෘත්‍ය තන්ත්‍රය

ශිශු පාලනය, බාල රෝග විඥානය සහ බාල රෝගයන්ට ප්‍රතිකාර කිරීම මෙම තන්ත්‍රයෙහි අන්තර්ගතයි.

6. අගද තන්ත්‍රය

ස්ථාවර - ජංගම වස්තූන් මුල් කොට ඇති සියලු ම විෂ පිළිබඳ විස්තර, විෂපානය, සර්පදෂ්ට ලක්ෂණ හා ඊට ප්‍රතික්‍රියා ද මේ තන්ත්‍රයට ඇතුළත්ය.

7. රසායන තන්ත්‍රය

ජරා-ව්‍යාධි නසන ඖෂධ සහ ඒවා යොදන ක්‍රම මෙම තන්ත්‍රයෙහි සඳහන් වේ.

8. වාජිකරණ තන්ත්‍රය

ශුක්‍රධාතුවේ පිරිහීම, දූෂිත වීම, වියළීම සහ අඩු වීම පිළිබඳ චිකිත්සා ද සුස්ථ හෝ නීරෝගි මිනිසාගේ ප්‍රජනන ශක්තිය වඩන උපායයන් ද මෙම තන්ත්‍රයෙහි වර්ණනා කොට ඇත.

සංහිතා ග්‍රන්ථ

ආයුර්වේද සංහිතා ග්‍රන්ථ මේ කාලයෙහි නමින් පමණක් ශේෂව ඇතැයි කිවයුතු තරම් දුර්ලභය. එහෙත් ටීකාකාරයන් විසින් මෙම සංහිතාවන්ගෙන් උපුටා දක්වන ලද වාක්‍ය දෙස බලන විට ශතවර්ෂ කීපයකට පෙර පවා ඒවා ප්‍රචලිතව පැවැති බැව් හැඟේ. එහෙයින් ටීකාකාරයන් විසින් නම් කරන ලද සංහිතාවන් ගැන සංක්ෂේපයෙන් සදහන් කරනු ලැබේ.

1. කායචිකිත්සා තන්ත්‍රය

1. අග්නිවේශ සංහිතා

ආත්‍රෙය මහර්ෂීන්ගේ ශිෂ්‍යයන්ගෙන් අග්‍රගණ්‍ය අග්නිවේශයන් විසින් ආත්‍රෙය සම්ප්‍රදායට අයත් ග්‍රන්ථ අතුරෙන් ශ්‍රෙෂ්ඨ වූ මේ ග්‍රන්ථය රචනා කරන ලද්දේය. දැනට චරක සංහිතා නමින් ප්‍රකට ග්‍රන්ථය අග්නිවේශ සංහිතා නමින් ද ප්‍රචලිතයි. එහෙත් විජයරක්ෂිත, ශ්‍රීකණ්ඨ ආදි ටීකාකාරයන් විසින් උපුටා දක්වන ලද අග්නිවේශ සංහිතා වාක්‍ය දැනට ව්‍යවහාර වන චරකසංහිතාවෙහි නැත. එහෙයින් චරක සංහිතාව අග්නිවේශ සංහිතාව නොවන බව කිව හැක. නැතහොත් චරකයන් විසින් ප්‍රතිසංස්කෘත අග්නිවේශ සංහිතාවේ මුල් වාක්‍ය ප්‍රතිසංස්කරණයේ දී බෙහෙවින් වෙනස්ව ඇති බව කිව හැක. චරක ඍෂිවරයා ජීවත්ව සිටි කාලයේ දී හෝ ඊට පෙර මුල් අග්නිවේශ සංහිතාව දිරාපත්ව පැවැතියෙන් චරක ඍෂීන් විසින් එය ප්‍රතිසංස්කරණය කරන ලද්දේය.

අඤ්ජන නිදාන නම් ග්‍රන්ථය අග්නිවේශයන්ගේ කෘතියකැයි සමහරුන් කියතත් එය පසු කලෙක අන්‍යයකු විසින් කළ එකක් බැව් විචාරකයන්ගේ පිළිගැනීමයි.

2. භේල සංහිතා

මෙය ආත්‍රෙය සම්ප්‍රදායට අයත් දෙවන සංහිතාවයි. විජයරක්ෂිත, ශිවදාසාදි ටීකාකාරයෝ මේ ග්‍රන්ථයෙන් වාක්‍ය උපුටා ගත්හ. දකුණු ඉන්දියාවේ තංජෝර් නගරයේ රාජකීය පුස්තකාලයෙහි මෙය දිරාපත් අවස්ථාවෙහි තවමත් තිබේ. ශල්‍යතන්ත්‍රයට අයත් භාලුකීතන්ත්‍රය භේල සංහිතාව යයි සමහරු වරදවා කියත්. ඩල්ලනා-චාර්‍ය්‍යයන්ගේ වාක්‍යවලින් මේ බව පැහැදිලි වේ.

3. ජතුකර්ණ සංහිතා

ආත්‍රෙය සම්ප්‍රදායට අයත් මේ අගනා ග්‍රන්ථය දැන් දක්නට පවා නැත. චක්‍රපාණි, විජයරක්ෂිත, ශ්‍රීකණ්ඨ, ශිවදාසාදි පඬිවරයෝ මේ සංහිතාවෙන් වාක්‍ය උපුටා සිය ටීකාවන්හි දැක්වූහ.

4-5 පරාශර සංහිතා හා ක්ෂාරපාණි සංහිතා

විජයරක්ෂිත, ශ්‍රීකණ්ඨදත්ත පමණක් නොව ශිව දාසයන් ද මේ ග්‍රන්ථ දෙකෙන් බොහෝ වාක්‍ය උපුටා දක්වා ඇත. මේ සංහිතා දෙක ද අද දක්නට නැත.

6. හාරීත සංහිතා

දැනට දුර්ලභ වුවත් චක්‍රපාණි, විජයරක්ෂිත, ශ්‍රීකණ්ඨදත්ත ශිවදාසාදීන්ගේ කාලයේ දී ද මෙය සුලභව පැවැතිණ. දැනට මුද්‍රණය කොට ඇති හාරීත සංහිතාව මුල් පොත නොවන බව හැඟෙයි.

7. ඛරනාද සංහිතා

විජයරක්ෂිත, හේමාද්‍රි, අරුණදත්තාදි ටීකාකාරයන් විසින් මේ ග්‍රන්ථයෙන් වචන උපුටා දක්වා ඇත. මෙය ද දැන් දක්නට නැත.

8. විශ්වාමිත්‍ර සංහිතා

මෙය ඉතා පැරණි ග්‍රන්ථයකි. චක්‍රපාණි මේ සංහිතාවෙන් උපුටා ගත් වාක්‍ය සිය ටීකාවෙහි දැක්වීය. ශිවදාසයන්ගේ ටීකාවෙහි ද එබඳු පාඨ ඇත.

9. අත්‍රි සංහිතා

මෙය පැරණි ග්‍රන්ථයකැයි සමහරුන් කියතත් පැරණි ටීකාවල මින් උපුටා ගත් කිසිවක් සඳහන් නොවන නිසා එය සැක සහිතය.

10 – 11. කපිල තන්ත්‍රය හා ගෞතම තන්ත්‍රය

මේ සංහිතා දෙකේ ම වචන සුශ්‍රැත, මාධව නිදාන ටීකාවන්හි දන්නා ලැබේ.

2. ශල්‍ය තන්ත්‍රය

12 - 13. ඖපධේනව තන්ත්‍රය හා ඖරභ්‍ර තන්ත්‍රය

දැනට මේවායේ නම් පමණක් දක්නා ලැබේ. මේ පොත් දෙකෙන් උපුටා ගත් වචන පවා දක්නට නැත. සුශ්‍රැත ව්‍යාඛ්‍යා කළ ඩල්ලන පමණක් ඖපධේනව මත සඳහන් කර ඇත.

14. සෞශ්‍රැත තන්ත්‍රය හෙවත් වෘද්ධ සුශ්‍රැතය

පවත්නා සුශ්‍රැතය (බ.) මෙය මුල් කොට රචිතය. දෙක ම එකකැයි සමහරු කියත්. එය යුක්ති සහගත නොවේ. දැනට ප්‍රචලිත සුශ්‍රැතයෙහි වෘද්ධ සුශ්‍රැතයෙන් උපුටා ගත් සමහර වාක්‍ය නොදක්නා හෙයිනි. ටීකාකාර ශිවදාස විසූ කාලයෙහි වෘද්ධ සුශ්‍රැතය සුලබව පැවැති බැව් පෙනේ.

15. පෞෂ්කලාවත තන්ත්‍රය

චක්‍රපාණීන්ගේ සුශ්‍රැත ටීකාවෙහි මේ තන්ත්‍රයෙන් උපුටා ගත් වැකි දක්නා ලැබේ.

16. වෛතරණ තන්ත්‍රය

ඩල්ලන, චක්‍රපාණි යන දෙදෙනා ම මෙම තන්ත්‍රයෙන් පාඨ උපුටා ගත්හ. ශස්ත්‍ර චිකිත්සාව පිළිබඳ සුශ්‍රැතයෙහි නොකී බොහෝ විෂයයන් මෙම තන්ත්‍රයෙන් උපුටා ටීකාකාරයන් විසින් දක්වන ලද හෙයින් මේ ග්‍රන්ථය සුශ්‍රැතයටත් වඩා විශාල යයි කිව හැකිය.

17. භෝජ තන්ත්‍රය හෙවත් භෝජ සංහිතා

ටීකාකාරයෝ බොහෝ අභිනව විෂයයන් භෝජ තන්ත්‍රයෙන් උපුටා ගත්හ. මෙය විශාල ග්‍රන්ථයකි. භෝජ මහර්ෂි තෙම සුශ්‍රැතාදීන්ගේ සමකාලීන යයි ඩල්ලනාචාර්‍ය්‍යයන් පවසන හෙයින් මෙම ග්‍රන්ථය භෝජ රජුන්ගේ කෘතියකැයි සිතිය නොහේ. භෝජ රජු විසින් කරන ලද රාජ මාර්කණ්ඩාදි සංග්‍රහග්‍රන්ථ භෝජ සංහිතාවට පසුව රචනා කරන ලදි. භෝජ රජුට වඩා භෝජ ඍෂීහු ඉතා පැරණියහ.

18.කරවීර්‍ය්‍ය තන්ත්‍රය

මේ තන්ත්‍රයෙන් උපුටා දක්වන ලද පාඨ ටීකාවන්හි බහුල නොවේ. එහෙයින් තත් කාලයන්හි මේ ග්‍රන්ථය බහුලව ප්‍රචාරය වූ බවක් නොපෙනේ.

19. ගෝපුර රක්ෂිත තන්ත්‍රය

මෙය නමින් පමණක් ශේෂව තිබේ. ගෝපුර රක්ෂිත නමින් තන්ත්‍ර දෙකක් විය යනු ඇතැමුන්ගේ මතයයි.

20. භාලුකී තන්ත්‍රය

මෙය භේල සංහිතාව නොව අනිකකි. ඩල්ලන, විජයරක්ෂිත, ශ්‍රීකණ්ඨාදි ටීකාකාරයන් විසින් මේ තන්ත්‍රයෙන් වාක්‍ය උපුටා දක්වන ලදි. චක්‍රපාණීන් විසින් දක්වන ලද යන්ත්‍ර ශස්ත්‍රාදිය සඳහන් බොහෝ වැකි ගැන සිතන විට මෙය ප්‍රධාන ශල්‍ය ග්‍රන්ථයක් බැව් වැටහේ.

3. ශාලාක්‍ය තන්ත්‍රය

21. විදේහ තන්ත්‍රය

විදේහ නරපතීන් විසින් රචිත මෙම ග්‍රන්ථය ඇස් කන් නහය ගෙල ආදි අවයවයන්ගේ රෝගයන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයන්ගේ ප්‍රධාන තන්ත්‍රයව පැවැත්තේය. ප්‍රචලිත සුශ්‍රැතයේ ශාලාක්‍ය තන්ත්‍රය පිළිබඳ කොට සට මෙය මුල් බව සුශ්‍රැතයෙහි ම සඳහන් වේ. ඩල්ලන, විජයරක්ෂිත, ශ්‍රීකණ්ඨාදි ටීකාකාරයෝ මේ තන්ත්‍රයෙන් බොහෝ විෂයයන් උපුටා ගත්හ. උණ, අරුචි, පාණ්ඩු ආදි රෝග පිළිබඳ සමහර වැකි ද විජයරක්ෂිතයෝ මේ ග්‍රන්ථයෙන් ගත්හ. එහෙයින් මෙය ශාලාක්‍ය තන්ත්‍රය ප්‍රධාන කොට ඇති නමුත් සුශ්‍රැතාදිය මෙන් සියලු අවයවයන්ගෙන් යුක්ත බැව් පෙනේ. විදේහාධිපතිව සිටි ජනක රජතුමා නිමි රුසිහු නොවන බව ඩල්ලනාදීන්ගේ ටීකා කියවූ විට පැහැදිලි වන්නේය.

22. නිමි තන්ත්‍රය

මේ තන්ත්‍රයෙන් උපුටා ගත් වැකි ශ්‍රී කණ්ඨදත්තයන්ගේ ටීකාවන්හි දක්නා ලැබේ.

23. කඞ්කායන තන්ත්‍රය

චරකයෙහි හා ඩල්ලනගේ ටීකාවන්හි මෙම නම සඳහන්ව ඇතත් විස්තරයක් නොපෙනේ.

24. ගාර්‍ග්‍ය තන්ත්‍රය හා ගාලව තන්ත්‍රය

ශාලාක්‍ය තන්ත්‍රය පිළිබඳ කථනයන්හි දී මේ තන්ත්‍ර දෙක ගැන ඩල්ලන සඳහන් කළ නමුත් විස්තර නැත.

26. සාත්‍යකි තන්ත්‍රය

ඩල්ලන, ශ්‍රීකණ්ඨදත්ත දෙදෙනා ම මෙම තන්ත්‍රයෙන් ඛණ්ඩ උපුටා ගත්හ. මෙය ප්‍රාචීන ශාලාක්‍ය තන්ත්‍රයකි.

27. ශෞනක තන්ත්‍රය

මෙම තන්ත්‍රයෙන් උපුටා ගත් පාඨ ඩල්ලන, චක්‍රපාණි දෙදෙනාගේ ම ටීකාවන්හි වේ. චරක, සුශ්‍රැත දෙකේ ම ශෞනක මත දක්නට ඇතත් ඒවා එකිනෙකට විරුද්ධය. මේ විරෝධය පහකරනු වස් චරකයෝ “මද්‍ර ගෞනක” යයි විශේෂයක් කළහ. එහෙයින් චරකයෙහි කී ශෞනක මත මද්‍රදේශීය ශෞනකයන්ගේ බැව් පැහැදිලි වේ. අථර්ව වේදයෙහි කියන ලද ශෞනක සංහිතාකාරයන්ට වඩා මොහු නවීන බැව් දතයුතුය.

28. කරාල තන්ත්‍රය

මේ තන්ත්‍රකර්තෘහු ඉතා පැරණි බව පමණක් කිව හැක. විස්තර දැනගන්ට නැත.

29. චක්ෂුෂ්‍ය තන්ත්‍ර

මීට සමහරු චක්ෂුෂ්‍යෙණ තන්ත්‍ර යයි ද කියත්. මේ ග්‍රන්ථය ගැන ශ්‍රීකණ්ඨ ටීකාවෙහි සඳහන් වේ.

30. කෘෂ්ණාත්රේය තන්ත්‍රය

මෙය පුනර්වසු ආත්රේයයන්ගේ කෘතියකැයි සමහරුන් කියතත් එතරම් ප්‍රශස්ත කෘතියක් නොවේ. මේ තන්ත්‍රය ශාලාක්‍ය තන්ත්‍රයක් නිසාත් කායතන්ත්‍රකාර ආත්රේයයන්ගේ කෘතියකැයි කීම යුක්ති සහගත නොවේ.

4. භූත විද්‍යා තන්ත්‍රය

ආයුර්වේදයෙහි භූතවිද්‍යා අංගය අතීතයෙහි සුප්‍රකටව පැවතිය ද දැන් අභාවයට ගොස් ඇත. මේ පිළිබඳ ග්‍රන්ථ තබා නම පවා ටීකාවන්හි ද නැත. භූතවිද්‍යාව සම්බන්ධ සේයාවෝ පමණක් චරක, සුශ්‍රැත හා වාග්හට ග්‍රන්ථයන්ගේ සමහර අධ්‍යායයන්හි දක්නා ලැබෙත්. භූත විද්‍යාව සුශ්‍රැත වාග්හට දෙකේ වෙන වෙන ම දැක්වෙතත් චරකයේ උන්මාද රෝගාධිකාරයට එය ඇතුළත් වී තිබේ. වර්ෂ දහසකට වඩා පැරණි ව්‍යාඛ්‍යා කතුවරයන් පවා භූතවිද්‍යා තන්ත්‍රයෙන් කිසිවක් උපුටා ගත් බවක් දක්නට නැත්තේය. එහෙයින් බොහෝ කාලයකට පෙර ම මේ තන්ත්‍රය අභාවයට ගිය බැව් කිව හැකිය. එහෙත් අග්නිපුරාණ ගරුඩ පුරාණාදි ග්‍රන්ථයන්හි භූතවිද්‍යාව පිළිබඳ බොහෝ විෂයයන් ඇතුළත්ව තිබෙන හෙයින් පෙර දවස මෙය ප්‍රචලිතව පැවති බැව් පැහැදිලි වේ. චරකයේ භූතාවේශය උමතුරෝගයට ඇතුළත්ව තිබෙනු පමණක් නොව වාතෝන්මාද, භූතාවේශ යන චිකිත්සා දෙක ඒකාකාර යයි ද කියා ඇත. එහෙයින් පුරාණ කාලයෙහි භූතවිද්‍යාව මානස රෝග සංඛ්‍යාවට ඇතුළත් වී දෝයි සිතීමට ද අවකාශ ඇත්තේය.

5. කෞමාරභෘත්‍ය තන්ත්‍රය

31–33. ජීවක තන්ත්‍රය, පාර්වතක තන්ත්‍රය, බන්ධක තන්ත්‍රය

මේවා කෞමාරභෘතය තන්ත්‍රයට අයත්ය. මේවා හැර තවත් ග්‍රන්ථ ද දැන් අභාවයට ගොස් ඇත. මෙකී තන්ත්‍ර තුනේ නම් සුශ්‍රැත ටීකාවේ දක්නා ලැබේ. ජීවකාදී තන්ත්‍ර කර්‍තෘෘන් බෞද්ධාචාර්‍ය්‍යයන් බැව් කිවයුතුය.

34. හිරණ්‍යාක්ෂ තන්ත්‍රය

මෙය කුමාර තන්ත්‍රය ප්‍රධාන කොට ඇති ග්‍රන්ථයක් බැව් ශ්‍රීකණ්ඨයන් උපුටා දැක්වූ වැකිවලින් පැහැදිලිය. සුශ්‍රැතයේ උත්තර තන්ත්‍රයේ අධ්‍යාය දොළසකින් විස්තර වූ මෙම කෞමාරභෘත්‍ය අංගය එකල්හි විශාලව පැවැති බව ස්ඵුට වේ. ගර්භිණීචර්‍ය්‍යදි ප්‍රසූති තන්ත්‍රයට අයත් විෂයයන් කුමාර තන්ත්‍රයෙන් පරිබාහිර වූ ද ලාබ තන්ත්‍රයට අයත් වූ බව සිතිය හැක.

6. අගද තන්ත්‍රය

ස්ථාවර, ජඞ්ගම සර්වප්‍රකාර විෂ දැනගැනීමත් චිකිත්සා කිරීමත් මේ තන්ත්‍රයට ඇතුළත්ය. මේ පිළිබඳ ප්‍රාචීන සංහිතා දැන් දක්නට නැත. සුශ්‍රැතයේ කල්පස්ථානයේ ද චරකයේ චිකිත්සා ස්ථානයේ තෙවිසිවන අධ්‍යායයෙහි ද අගදතන්ත්‍රය පිළිබඳ විෂයයෝ වෙත්.

35. කාශ්‍යප තන්ත්‍රය

කාශ්‍යප නම් ඍෂිවරයකුගේ කෘතියකි. මින් උපුටා ගන්නා ලද වාක්‍ය ඩල්ලන, චක්‍රපාණි, ශ්‍රීකණ්ඨාදි ටීකාකාරයන්ගේ ග්‍රන්ථයන්හි ඇත. මෙය අගදතන්ත්‍ර ග්‍රන්ථයක් බැව් මහාභාරතාදි පැරණි ග්‍රන්ථවලින් පෙනේ.

36. අලම්බායන සංහිතා

ශ්‍රී කණ්ඨදත්තයන්ගේ විෂ නිදාන චිකිත්සාවෙහි මින් උපුටා ගත් වැකි දිස් වේ.

37. උශනඃ සංහිතා

මෙය අගදතන්ත්‍රයකැයි යනු වෘද්ධ වෛද්‍ය මතයි. උශන ඍෂීන්ගේ නිර්දේශ අනුව කෞටිල්‍යයන්ගේ අර්ථශාස්ත්‍රයෙහි දැක්වෙන විෂාදියට ප්‍රතිකාර සහ ආශුමෘත (post mortem) පරීක්ෂණවිධි සම්බන්ධයෙන් දැක්වී ඇති උපදේශයන්ගෙන් මෙබඳු ග්‍රන්ථයක පළ වන්නේය.

38. සනක සංහිතා

අගද තන්ත්‍රය පිළිබඳ මේ ග්‍රන්ථය යවනයන් විසින් සියබසට පෙරළන ලදැයි මුලර් නම් ජර්මන් පඬිවරයා පවසයි.

39. ලාට්‍යායන සංහිතා

මින් උපුටා ගත් වැකි ඩල්ලනගේ ටීකාවන්හි දක්නා ලැබේ.

7. රසායන තන්ත්‍රය

ජරාව්‍යාධි නැසීමෙහි ලා ඖෂධ යෙදීම ආයුර්වේද - රසායන තන්ත්‍රයෙහි මුත් අන්කිසි වෛද්‍ය තන්ත්‍රයක නොදක්නා ලැබේ. ආර්යයන්ගේ ආයුර්වේද යුගයෙහි හා බෞද්ධ යුගයෙහි මෙම තන්ත්‍රය විශේෂයෙන් දියුණුව පැවතිණ. සෘෂිවරයන් රසායනය සඳහා වනෞෂධීන් යෙදීමට උවදෙස් දුන් නමුත් ලෞහාදිය යෙදීමක් කෙළේ නැත යනු සමහරුන්ගේ මතයකි. මෙය සම්පූර්ණයෙන් ම යුක්තියුක්ත යයි නොසිතේ. රසායනය අෂ්ටාඞ්ග ආයුර්වේදයෙහි ප්‍රධාන අඞ්ගයකි. චරක, සුශ්‍රැත දෙකෙහි පවා ලෞහ ආදි ධාතු ද්‍රව්‍ය යොදා ඇත. එහෙත් රසදිය ආදි ඛනිජද්‍රව්‍ය යෙදීම බෙහෙවින් දියුණු වූයේ ඍෂීන්ගේ යුගයෙහි නොව බෞද්ධ යුගයෙහි දීය. එය රසශාස්ත්‍රය නමින් පළ වුවත් ආයුර්වේදයෙන් බැහැර දෙයක් නොවේ. ආර්‍ෂ, අනාර්‍ෂ යයි රසශාස්ත්‍රය දෙවිධියකින් ප්‍රකටව ඇත. සෘෂීන්ගේ රසායන තන්ත්‍රය පිළිබඳ පහත සඳහන් ග්‍රන්ථ දැක්විය හැක.

40. පාතඤ්ජල තන්ත්‍රය

මේ තන්ත්‍රයෙන් උපුටා ගත් වැකි ටීකාවන්හි බෙහෙවින් දක්නා ලැබේ. චක්‍රපාණීහු මේ ග්‍රන්ථයෙන් ලෞහප්‍රයෝග විධි උපුටා ස්වකීය ග්‍රන්ථයෙහි දැක්වූහ.

41–43. බ්‍යාඩි තන්ත්‍රය, වසිෂ්ඨ තන්ත්‍රය හා මාණ්ඩව්‍ය තන්ත්‍රය

මෙම ඉතා පැරණි තන්ත්‍ර තුන රස තාන්ත්‍රිකයන්ට උපකාරව පැවති බව ප්‍රකටය. මෙහි අවසනට කී නම් දෙක රසරත්න - සමුච්චයේ සඳහන් වේ; රසරත්නාකරයෙහි ද එසේ ම දැක්වේ.

44. නාගාර්ජුන තන්ත්‍රය

මෙය මුනිවරයකුගේ කෘතියකැයි සමහරු කියත්. නාගාර්ජුන භික්ෂූන් වහන්සේගේ යයි අන්‍යයෝ කියත්. චක්‍ර පාණින්ගේ ග්‍රන්ථයෙහි නාගාර්ජුන මුනිහුගේ නාමය ද පාටලීපුත්‍ර නගරයෙහි ඇති ශිලාස්තම්භයෙහි ආචාර්‍ය්‍ය නාගාර්ජුනයන්ගේ නම ද සඳහන් හෙයින් පසුව කී නම බෞද්ධ භික්ෂූන්වහන්සේ නමකගේ බැව් පැහැදිලි වේ. නාගාර්ජුන නමින් බොහෝ ආයුර්වේද ආචාර්‍ය්‍යවරයන් සිටි බව නිසැකයි.

කක්ෂපුට තන්ත්‍රය හා ආරෝග්‍යමඤ්ජරිය

මේවා නාගාර්ජුනයන්ගේ කෘතීහුයි. විජයරක්ෂිත ටීකාවෙන් මෙය පැහැදිලිය.

8. වාජීකරණ තන්ත්‍රය

වාජීකරණය පිළිබඳ ප්‍රාචීන සංහිතා ගැන විශේෂ විස්තර දැනගන්නට නැත. ප්‍රාචීන ටීකාකාරයන්ගේ වැකිවල ද මේ ගැන සඳහන් නොවීමෙන් හැඟෙන්නේ දීර්ඝකාලයකට පෙර ම මේ සංහිතා අභාවයට ගිය බවය. එහෙත් වාත්ස්‍යායනයන්ගේ කාම සූත්‍රයේ “ඖපනිෂදික” අධිකාරයෙහි විවිධ වාජීකරණ ඖෂධ දැක්වේ. මෙම ග්‍රන්ථයෙහි මහා දේවයන්ගේ අනුචර වූ නන්දීහු විසින් අධ්‍යාය සහස්‍රයකින් යුත් කාමසූත්‍රය වර්ණනා කළ බැව් පෙනේ. එය උද්දාලක පුත්‍ර ශ්වේතකේතු තෙමේ සංක්ෂේප කොට අධ්‍යාය පන්සියයකට බෙදීය. අනතුරුව බභ්‍රැපුත්‍ර පාඤ්චාල තෙමේ එය තව දුරටත් සංක්ෂේප කොට කොටස් සතකට බෙදුයේයි. ඉක්බිති දත්තක, චාරායණ, සුවර්ණනාභ, ඝෝටකමුඛ, ගෝනදී, ගෝණිකාපුත්‍ර සහ කුචුමාර යන සත්දෙන වෙන වෙන ම කොටස් සතක් ප්‍රචාරය කළහ. සෘෂීන් විසින් කරන ලද ඖපනිෂදික නම් කොටස පෙර වූ කාමසූත්‍රකාරයන් විසින් ආයුර්වේදීය වාජීකරණ තන්ත්‍රය නමින් වෙන ම ප්‍රතිෂ්ඨිත වූ බැව් මෙයින් පැහැදිලි වේ.

45. කුචුමාර තන්ත්‍රය

මෙය වාජීකරණය පිළිබඳව ප්‍රධාන ග්‍රන්ථයකි. එක් කලෙක මෙය ප්‍රසිද්ධව පැවති බව වාත්ස්‍යායනයන්ගේ කාමසූත්‍රයෙහි පළවේ. උද්දාලකපුත්‍ර ශ්වේතකේතු හා බභ්‍රැපුත්‍ර පාඤ්චාල විසින් කරන ලද විශාල කාමශාස්ත්‍රයේ ඖපනිෂදික අධිකාර දෙක ද පැරණි වාජීකරණ තන්ත්‍ර විය. අභාවප්‍රාප්ත වාජීකරණ තන්ත්‍රයේ ශේෂය චරකයේ චිකිත්සා ස්ථානයේ දෙවන අධ්‍යායයෙහි ද සුශ්‍රැතයේ චිකිස්සා ස්ථානයේ සවිසිවන අධ්‍යායයෙහි ද දක්නා ලැබේ. මේවා හැර අගස්ත්‍ය සංහිතා, කෞපාලික තන්ත්‍ර නමින් ද ග්‍රන්ථ දෙකක් තිබුණ බව ද දැනගන්ට ඇත.

ඇත්, අස්, ගව චිකිත්සා : මේ පිළිබඳ බොහෝ සංහිතා තිබුණ බවට සාක්ෂි ඇත. ඔවුනතුරෙන් තුනක පරිචය ඇත්තේය. එනම්:

1. ශාලිහොත්‍ර සංහිතා

මෙය අශ්ව චිකිත්සාව පිළිබඳවය. දැන් දුර්ලභ වුවත් පෙර ප්‍රසිද්ධව පැවතිණ. අරාබි දේශීයයෝ මෙය ශාලාතෝර" නමින් අනුවාද කළහ. මෙම සංහිතාව ආශ්‍රයෙන් නකුලයන් හා ජයදත්ත සූරීන් තැනූ අශ්ව වෛද්‍යක ග්‍රන්ථ ප්‍රකාශයට පැමිණ ඇත.

2. පාලකාප්‍ය සංහිතා

මෙය ඇත්වෙදකම පිළිබඳ සුවිශාල ග්‍රන්ථයකි. මෙය භාරතයේ මුද්‍රණයව ඇත. පාලකාප්‍ය මුනිවරයෝ අංගරාජයන්ට මේ ශාස්ත්‍රය පිළිබඳ උවදෙස් දුන්හ.

3. ගෙ තමසංහිතා නම් ගව වෙදකම පිළිබඳ ග්‍රන්ථය දැන් දුර්ලභයි.

වෘක්ෂායුර්වේදය

මේ පිළිබඳ ග්‍රන්ථ දැන් දුර්ලභයි. ශාර්ඞ්ගධරයන් කළ උපවනවිනෝද " නම් අංශය වෘක්ෂායුර්වේදය පිළිබඳව වේ. මේ හැර අග්නිපුරාණ වෘහත්සංහිතාදි ග්‍රන්ථයන්හි ද ඒ ගැන සාමාන්‍ය කරුණු දැක්වේ.

ආයුර්වේදයේ ව්‍යාප්තිය

දක්ෂිණ භාරතයේ ආයුර්වේදය

ආර්‍ය්‍යයන් විසූ ආර්‍ය්‍යාවර්තයෙහි ආයුර්වේදය ප්‍රචාරය වී යෑම සමඟ ම දක්ෂිණ භාරතයේ ද එය ප්‍රචාරය විය. උත්තර භාරතයෙහි ආයුර්වේදය ප්‍රචාරය කරන ලද්දේ භාරද්වාජ ඍෂීන් විසිනි. දක්ෂිණ භාරතයේ එය ප්‍රචාරය කරන ලද්දේ අගස්ත්‍ය සෘෂීන් විසින් යයි සිතිය හැකිය. හෙතෙම ධන්වන්තරීන්ගේ ශිෂ්‍යයෙකැයි සමහරු කියත්. අගස්ත්‍ය සෘෂීන් විසින් කළ අගස්ත්‍ය සංහිතාව අනුශීලනය කළ අගස්ත්‍ය සම්ප්‍රදාය නම් වෛද්‍ය පරම්පරාව එක් කලෙක දකුණු ඉන්දියාවේ මහත් ප්‍රසිද්ධියට පැමිණියේයි. මෙම සම්ප්‍රදාය සංවර්ධනය කළ ආචාර්‍ය්‍යවරයෝ අටළොසක් හෝ දෙවිස්සක් හෝ සූසාලිසක් සිටියහයි කියති. ඔව්හු සංස්කෘත හා ද්‍රවිඩ භාෂාවන්ගෙන් බොහෝ ග්‍රන්ථ රචනා කළහ. ඒවා බොහොමයක් දැනුදු දක්නට ඇත. අගස්ත්‍ය ඍෂිවරයා විසූ කාලය නිශ්චය කට නොහැක. මේ රාමායණයේ සඳහන් අගස්ත්‍ය ම යයි සමහරු කියත් (අගස්ත්‍ය බ.).

දේශාන්තරයන්හි ව්‍යාප්තිය

පූර්වෝක්ත ඍෂිවරයන්ගේ කාලය ආයුර්වේදයේ දීප්තිමත් යුගය යයි කිවහැක. මේ කාලයෙහි භාරතීය ඥානාලෝකයෙන් වෙනත් රාජ්‍ය ද බැබළුණේය. භාරතයෙන් විදේශයන් කරා ගිය ධීමත්හු ඒ ඒ දේශයන්හි ද ඥානාලෝකය පැතිර වූහ. බෞද්ධාචාර්‍ය්‍යවරයෝ ද ධර්මය මෙන් ම විවිධ භාෂාශාස්ත්‍රයන් ද හදාරා ශාස්ත්‍රඥානය බැබළවූහ. මහාවග්ග පාළියෙහි එන විස්තරවලින් බුද්ධ කාලයෙහි දී දඹදිව වෛද්‍යකර්මය අතිශයින් දියුණුව පැවති බව පෙනේ. බිම්බිසාර රජතුමා මගධ දේශයෙහි අධිපතිව සිටි සමයෙහි ජීවක හෙවත් ජීවක කොමාරභච්ච නම් තරුණයෙක් රාජවෛද්‍ය ධුරය ඉසිලීය. අනතුරුව මෞර්‍ය්‍ය යුගයේ දී පාටලීපුත්‍ර නගරයෙහි විදේශීන්ට පවා ආයුර්වේද ප්‍රතිකාර ලැබීමට පහසුකම් සලසා තිබුණු බව මෙගස්තිනීස්ගේ වර්ණනාවන්ගෙන් පැහැදිලි වේ. ඒ පහසුකම් අශෝක මහරජතුමන්ගේ කාලයේ දී අතිශයින් වර්ධනය වූයේය. ස්වකීය අධිරාජ්‍යයෙහි පමණක් නොව දකුණේ චෝල, පාණ්ඩ්‍ය, කේරල ආදි ප්‍රදේශයන්හි ද තවත් නොයෙකුත් රාජ්‍යයන්හි ද මිනිසුන්ට පමණක් නොව තිරිසනුන්ට ද ආයුර්වේද ප්‍රතිකාර ලද හැකි පරිදි අශෝක මහරජාණෝ ආරෝග්‍යශාලාවන් පිහිටුවාලූහ. එහෙයින් මේ කාලයේ දී මුළු ඉන්දියාවේ පමණක් නොව වෙනත් නොයෙක් රටවල ද ආයුර්වේද චිකිත්සා ක්‍රමය පැතිර ගිය බැව් පැහැදිලි වේ. සියරටෙහි හා විදේශයන්හි වෙදකම පැතිරවීමෙන් පමණක් තෘප්ත නොවූ මේ මහරජතුමා ඖෂධ සඳහා අවශ්‍ය වෘක්ෂලතාදිය ද රෝපණය කැරැවීය. කනිෂ්ක රජතුමාගේ කාලයෙහි ද ආයුර්වේදය බැබළී පැවතිණ. භිෂග්රාජ චරක ඍෂිවරයෝ මෙම රජතුමාගේ රාජ සභාව හෙබවූහයි කියත්. තවද චන්ද්‍රගුප්ත වික්‍රමාදිත්‍ය රජුගේ සමයෙහි (ක්‍රි. ව. 380 – 413) පාහියන් භික්ෂූන්වහන්සේ ඉන්දියාවට වැඩි බවත් තුන්වසක් මගධ රාජධානිය වූ පාටලීපුත්‍ර නුවර විසූ බවත් සඳහන් වේ. ඒ කාලයෙහි නාගරික ප්‍රභූන් විසින් පිහිටුවන ලද පුණ්‍යාරෝග්‍යශාලාවක් ඉතා සාර්ථක අන්දමින් පාටලීපුත්‍ර නගරයෙහි පැවති බවත් සතරදිගින් පැමිණි රෝගීන්ට එහි දී නොමිලයේ පිළියම් සැලසූ බවත් පාහියන් භික්ෂුවගේ වෘත්තාන්තයන්හි සඳහන්ය. ගුප්තරාජ සමයෙහි ආයුර්වේදය චීනයෙහි ප්‍රචාරය වූ බව පාහියන් භික්ෂූන්වහන්සේගේ වෘත්තාන්තයන්ගෙන් පමණක් නොව ඉපැරණි චීන ග්‍රන්ථයකින් ද පළ වේ. කනිෂ්ක මහරජුගේ රාජ සභා වෛද්‍ය චරකාචාරීන්ගේ නාමය එකල චීනයෙහි ද ප්‍රකට වී යයි කියත්. සුප්‍රකට ආයුර්වේද ග්‍රන්ථ කර්තෘවරයකු වූ වාග්භටාචාරීන්ගේ අෂ්ටාංග සංග්‍රහය ගැන ඉත්සිං භික්ෂුවගේ වෘත්තාන්තයන්හි සඳහන් වේ. මධ්‍යම ආසියාවේ චීනයට අයත් “කාෂ්ගර්” නම් ප්‍රදේශයේ බෞද්ධ චෛත්‍යයක් සෑරූ ආචාර්‍ය්‍ය බවර් මහතාට ආයුර්වේද ග්‍රන්ථ හතරක් සම්බ වී යයි ද මේ ග්‍රන්ථ ඉතා ගැඹුරු සංස්කෘත භාෂාවෙන් ගුප්ත යුගයේ අක්ෂරවලින් ලියන ලදැයි ද කියා තිබේ. භාරතීයයන් විසින් ඉන්දියාවෙන් බැහැර ආසියාවේ නොයෙක් රටවල ආයුර්වේදය ප්‍රචාරය කරන ලදි. කාම්බෝජ රජවරුන් විසින් ආයුර්වේද ආරෝග්‍යශාලාවන් පවා පිහිටුවන ලද බව පෙනේ. අටවැනි සියවසේ දී පමණ චරක සංහිතාව පර්සියන් භාෂාවට ද ඉන් අරාබි බසට ද පෙරළිණ. හරූන්-අල්-රෂීද් අධිරාජයාගේ රාජ සභාවෙහි භාරතීය වෛද්‍යවරයෝ දෙදෙනෙක් (ක්‍රි.ව. 786 – 801 දී) සිටියහයි කියත්.

ආයුර්වේදයේ උන්නතිය

බටහිරදිග වැසියන් වෛද්‍ය විද්‍යාවේ පියා යනුවෙන් හඳුන්වන හිපොක්‍රටීස් ක්‍රි. පූ. 460 දී උපන්නෙකි. මේ ග්‍රීක වෛද්‍ය විශාරදයා ජීවත්වූයේ ආත්‍රෙය, ධන්වන්තරි ආදි ආයුර්වේද වෛද්‍ය ඍෂීන්ගෙන් අවුරුදු 500 කට පමණ පසුය. බටහිර වෛද්‍ය විද්‍යාවේ පිතෘවරයා යයි කීර්තියක් උසුලන මොහු ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පුත්‍රයකු බව හෙවත් ආයුර්වේදයට ණය ගැති බව ආයුර්වේද ග්‍රන්ථවලින් ඔහු උපුටාගෙන ඇති සිඞ්ගිවේර් (=ශෘඞ්ගිවෙර), ෆටාමානායි=ජටා මාංස) ආදි ඖෂධ නාමයන්ගෙන් ස්ඵුට වේ. මධ්‍යතන යුගයෙහි ඉන්දියාවට පැමිණ කලක් එහි විසූ ශ්‍රෙෂ්ඨ අරාබි පඬුවකු වූ අල් බිරූනි සකු බසින් අරාබි බසට පෙරළා ලියූ ග්‍රන්ථ අතර ඖෂධ ශාක පිළිබඳ කෘතියක් ද විය. බටහිර වෛද්‍ය විද්‍යාවේ දියුණුවට අරාබි වෛද්‍ය විද්‍යාඥයන්ගෙන් සිදු වූ සේවය සුප්‍රකටය. ඉහත කී ග්‍රන්ථයේ ඇතුළත් කරුණු ද මෙම අරාබි වෛද්‍ය විද්‍යාඥයන් මගින් බටහිර වෛද්‍ය විද්‍යාවට ඇතුළත් වන්නට ඇති බව සිතාගත හැකිය. සර් විලියම් ජෝන්ස් නම් කීර්තිධර පඬුවා ආයුර්වේදය ගැන ලියමින් මෙසේ කියයි ; ස්නායු, නාඩි, කශේරුකාව, අක්මාව හා ස්නායුවල අභ්‍යන්තර කොටස් යන මේවා ගැන ද කලල රූපයේ සංවර්ධනය ගැන ද විස්තර විභාග ඇතුළත් උපනිෂද් ග්‍රන්ථයක් දැක මම විස්මය පත්වීමි ". " යුරෝපයේ පටකරෝපණ ශල්‍ය කර්මයේ නවෝන්නතියක් ඇති වී එය හාත්පසින් වැඩී ගියේ ඉන්දියානු කාර්මිකයන්ගේ සියුම් උපක්‍රම අපට දැනගැනීමට ලැබුණායින් පසුවයි. සංවේදී චර්මපටක ප්‍රතිරෝපණය කිරීම ද මුළුමනින් ම ඉන්දියානු ක්‍රමයකැ" යි ජර්මන් ජාතික ශල්‍ය වෛද්‍ය හර්ෂබර්ග් පවසයි. “ ඉන්දියාවේ ඇති වූ කෘත්‍රිම නාසිකා සම්පාදනය අතිපුරාණ කාලයට අයත් වූ ද සුවිශේෂ වැදගත්කමකින් යුක්ත වූ ද ක්‍රමයකි. මෙසේ හින්දුහු නූතන පටකරෝපණ (ප්ලාස්ටික) ශල්‍ය විද්‍යාවේ ද පුරෝගාමීහු වූහ යි බටහිර දිග සුප්‍රසිද්ධ ශල්‍ය වෛද්‍ය ඩග්ලස් ගත්රී කියයි.

ආයුර්වේදයේ පරිහානිය

මෙසේ මහත් දියුණුවකින් පැවත ආ ආයුර්වේදය කල්යාමේ දී පිරිහෙන්නට වන. ශක, හූණ, යවන ආදි ජාතීන් භාරතය ආක්‍රමණය කිරීම හේතුකොටගෙන භාරත දේශයෙහි මහත් විපර්යාසයක් ඇති විය. නිරන්තරයෙන් වූ යුද්ධවිග්‍රහ නිසා බොහෝ ආයුර්වේද ග්‍රන්ථ විනාශයට ගියේය. බොහොමයක් ග්‍රන්ථ විදේශීන් විසින් පැහැර ගෙන යන ලදි. ශකජාතීන්ගේ ආක්‍රමණවලින් භාරතීයයන් බත්යෙන් හීන වූ කල්හි කනිෂ්ක නම් ප්‍රතාපවල රජතුමා සතුරන් ජය ගෙන සාමය පිහිටුවීය. මෙම කාලයෙහි දී චරකතෙම අබලන්ව තිබුණු අග්නිවේශ සංහිතාව ප්‍රතිසංස්කරණය කෙළේය. මෙකල්හි දී ම වාගේ නාගාර්ජුන තෙරුන් වහන්සේ විසින් සුශ්‍රැත සංහිතාව ප්‍රතිසංස්කරණය කරන ලදි. චරක සංහිතාවේ අඩුතැන් දෘඪබලා චාර්‍ය්‍ය තෙම සම්පූර්ණ කෙළේය. යළිත් හූණ සහ ශක ජාතීන්ගේ ආක්‍රමණයන් අභිභවා වික්‍රමාදිත්‍ය චන්ද්‍රගුප්ත II මහරජතුමා රජකම අත් කර ගත්තේය. එතුමා සහ තද්වංශීය රජවරුන්ගේ රාජ්‍ය කාලයන්හි දී භාරතීය ශාස්ත්‍ර නැවතත් බැබළෙන්නට වන. මින් පසුව වූ සියවස් පහේ දී වාග්භට, වෘන්ද, මාධවාදි සංග්‍රහකාරයෝ ද ජෛයට, ගයදාස, හාස්කර, බ්‍රහ්මදේවාදි ව්‍යාඛ්‍යාකාරයෝ ද ප්‍රාදුර්භූත වූහ. ආයුර්වේදයේ පුනරුත්ථානයක් ඇති කිරීමට උපස්තම්භක වූ චක්‍රපාණි දත්තයෝ ද මෙකල්හි ම උපන්හ. ක්‍රි. ව. 1006 පමණේ දී විසූ සුප්‍රසිද්ධ භෝජ රජතුමා ද ආයුර්වේදාදි ශාස්ත්‍රයන්හි නිපුණව සිටියේ යයි කියත්. එකොළොස් වන සියවසේ දී විශාල යුද හමුදාවන් රැගෙන පැමිණි ඝස්නිහි මුහම්මද් තෙමේ භාරතය ආක්‍රමණය කොට අපමණ වෙහෙර විහාර කෝවිල් පුස්තකාල ආදිය ද ගෘහ මන්දිර ද ගිනි ලා විනාශ කළා පමණක් නොව බොහෝ සංහිතා ග්‍රන්ථ ද ගිනිබත් කළේය. පසුව පැමිණි මුහම්මද් ඝෝරී, අල්තාමස්, අලවුද්දීන් ආදි මුස්ලිම් රණශූරයෝ ද රට කොල්ල කෑහ. වංගදේශය මුස්ලිම් ආධිපත්‍යයෙන් ඈත්ව පිහිටි හෙයින් කලින් විනාශ නොවූවත් පසුව ඔවුන්ගේ ප්‍රහාරයන්ට ලක් විය. බෞද්ධ භිෂගාචාර්‍ය්‍යයන් විසින් කරන ලද බොහෝ ආයුර්වේද ග්‍රන්ථ ක්‍රමයෙන් නෂ්ටප්‍රාප්ත විය. ආයුර්වේදයේ සංග්‍රහ කාලය භාවමිශ්‍රාචාර්‍ය්‍යයන් දක්වා යයි කිව හැකිය. මේ කාලයේ දී බොහෝ ප්‍රාචීන සංහිතා ඛණ්ඩාකාරයෙන් දක්නා ලදි. ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට තත්කාලීන පඬිවරු අතිශයින් වෙහෙසුණු හෙයින් ආයුර්වේදයට දැරිය නොහෙන විපතක් නොවුව ද නොයෙක් සතුරු උවදුරු නිසාත් රජුන්ගෙන් ඒතාක් ලත් අනුග්‍රහයන් නොලැබ යෑම නිසාත් ආයුර්වේදය අනුක්‍රමයෙන් පිරිහී ගියේය. එසේ ද වුවත් එය පොදුජනයාගේ මහත් ගෞරවාදරයට භාජන වූ සෞඛ්‍යසංරක්ෂණ මාර්‍ගයව පැවතිණි. එසේ හෙයින් භාරත දේශයට මෙන් ම ලංකාවටත් නිදහස ලැබීමෙන් පසු ආයුර්වේදය නැවතත් නඟා සිටුවීමට යත්න දරනු දක්නට ලැබීම සන්තුෂ්ටියට කරුණකි.

ආයුර්වේද ග්‍රන්ථ

ආයුර්වේදයට අයත් සංහිතා ග්‍රන්ථ හා නොයෙක් තන්ත්‍ර පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන ලදි. ඉන් ප්‍රධාන වූ එක එක සංහිතාවක් පිළිබඳ වැඩි විස්තර ඒ ඒ ශීර්ෂය යටතේ ද යථා ස්ථානයෙහි දක්වනු ලැබේ. පශ්චාත්කාලීන සංස්කරණ ග්‍රන්ථ, සංග්‍රහ ග්‍රන්ථ සහ ටීකා පිළිබඳ හැඳින්වීමක් පාඨකයන්ගේ පහසුව සලකා සංකාරක, සංග්‍රහකාරක, ටීකාකාර යන උපශීර්ෂ යටතේ පහත දක්වා අනතුරුව පරිවාර ග්‍රන්ථ හඳුන්වනු ලැබේ. මූල සංහිතාවන්ගෙන් පසු අභිනව ග්‍රන්ථ නිපදවා නැති බැව් ඉහත සඳහන් විය. පසුව ඇතිවූයේ ටීකා, සංග්‍රහ ආදියයි. එහෙත් බෞද්ධ යුගයේ දී නොයෙක් රසග්‍රන්ථ අලුතෙන් නිපදවන ලදි.

සංස්කාරකයෝ

චරක

චරකයන් විසින් අග්නිවේශ තන්ත්‍රය ප්‍රතිසංස්කරණය කරන ලදි. ප්‍රතිසංස්කෘත අග්නිවේශ සංහිතාව හෙවත් චරක සංහිතාවත් මුල් අග්නිවේශ සංහිතාවත් අතර බොහෝ වෙනස්කම් ඇති බව විශාරදයන්ගේ මතයයි. චරක ඍෂිවරයා කවරෙක් ද යන්න ගැන ද නොයෙක් මතභේද පවතී. චරකතෙමේ කනිෂ්ක මහරජතුමාගේ රාජ වෛද්‍යවරයායි. ගණනාථ සේන පඬිතුමාගේ නිගමනය අනුව පතංජලී ඍෂිවරයා චරකය. මේ මතය පිළිගත යුතු යයි අන් සමහර පඬිවරයෝ පවසත්.

දෘඪබල

චරකයන් විසින් ප්‍රතිසංස්කෘත නුවූ චිකිත්සිත ස්ථානයේ තුදුස් වැනි අධ්‍යායයේ සිට ඉතිරි කොටස තෙවන ශතවර්ෂය තුළ කාශ්මීරයේ පංචනද නුවර විසූ දෘඪබල නම් පඬිවරයා විසින් ප්‍රතිසංස්කරණය කරන ලදැයි සඳහන් වේ. දෘඪබලාචාර්යයෝ වාග්භටයන්ට පෙර විසූ කෙනෙකි. දැනට තිබෙන චරකයේ සමහර කොටස් චරකයන්ගේ නොව අන්‍යයකුගේ යයි සමහරු පවසත්.

නාගාර්ජුන

දැනට ප්‍රචලිත සුශ්‍රැත සංහිතාවේ ප්‍රතිසංස්කරණ කර්තෘ නාගාර්ජුන යයි ඩල්ලනා චාර්‍ය්‍ය තෙම කියයි. ප්‍රාචීන ඉතිහාසයෙහි නාගාර්ජුනවරු බොහෝ දෙනකුන් සිටි බව සඳහන් වේ. සුශ්‍රැත සංහිතාව ප්‍රතිසංස්කරණය කෙළේ නාගාර්ජුන නමැති බෞද්ධ රජකු විසිනැයි සමහරුන් කියතත් ඊට විශේෂ සාධක නොමැති හෙයින් මේ නාගාර්ජුන කවරෙක් දැයි නිශ්චය කිරීම දුෂ්කරය.

සංග්‍රහකාරකයෝ

වාග්භට

බෞද්ධ පඬිවරයකු වූ වාග්භටාචාර්‍ය්‍යයන් විසින් අෂ්ටාංග සංග්‍රහය හෙවත් ' වෘද්ධ වාග්භට ' ග්‍රන්ථය ද පසුව අෂ්ටාංග හෘදය හෙවත් වාග්භටය " ද සංග්‍රහ කරන ලදි. ඉත්සිං නම් චීන භික්ෂුවගේ වෘත්තාන්තයන්හි (ක්‍රි. ව. 700) ද ඒ බව සඳහන් වේ. රසරත්නසමුච්චය සංග්‍රහ කළ වාග්භට පඬිවරයා මීට පසුව ප්‍රාදුර්භූත වූ අන්‍ය පණ්ඩිතයෙකි.

මාධවකර

මාධව නිදානය නමින් ප්‍රකට " රුග් විනිශ්චය රචනා කළ මාධවකර වංගදේශිකයෙකි. “රත්නමාලා” නම් ද්‍රව්‍යගුණ සංග්‍රහය ද මොහුගේ ම කෘතියකි. මාධව නිදානයෙහි බොහෝ වාග්භටෝක්ති ඇති හෙයින් වාග්භටයන්ට පසුව මාධව ප්‍රාදුර්භූත වූ බැව් පැහැදිලියි. සත්වන සියවසේ දී මාධව නිදානය පර්සියන් භාෂාවට පෙරළන ලද්දේය. ඩල්ලනයන් විසින් ටිප්පනී කර්තෘවරයකු හැටියට සඳහන් කරන ලද ශ්‍රී මාධව ද වේදභාෂ්‍යකාර මාධවාචාර්ය තෙමේ ද අන්‍යයෝයි.

සෝඪල

ගද නිග්‍රහය සහ සෝඪල නිඝණ්ඩුව ද මේ පඬිවරයාගේ කෘතීහු වෙත්. ගද නිග්‍රහය විශාල ග්‍රන්ථයකි. මෙය දැනට මුද්‍රිතව පවතී. සෝඪල ගුජරාටි බ්‍රාහ්මණයෙකි. මොහුගේ ග්‍රන්ථයෙහි භේල, භාරීත, කෘෂ්ණාත්‍රෙය, අග්නිවේශ, වෛදේහාදීන්ගේ උක්ති බෙහෙවින් දක්නා ලැබේ. මෙතෙම වාග්භටයන්ගෙන් පසු ප්‍රාදුර්භූත වූවෙකි.

වෘන්ද

සිද්ධයෝග ග්‍රන්ථය කළ මෙතෙම මාධවකරයන්ට පසුව චක්‍රපාණීන්ට පෙර ක්‍රි. වර්ෂයෙන් අටවැනි හෝ නවවැනි සියවසේ ජීවත්ව සිටි පඬිවරයෙකි. චක්‍රපාණීන් සිය සංග්‍රහය වෘන්දගේ ග්‍රන්ථාශ්‍රයෙන් කළහයි කියත්.

චක්‍රපාණි

චක්‍රපාණි ඩල්ලනාචාර්‍ය්‍යයන්ට සමීප කාලයෙක විසූවෙකි. මොහුගේ පියා ගෞඩ දේශාධිපති නයපාලදේවයන්ගේ රාජවෛද්‍යයා විය. චරක, සුශ්‍රැත දෙකට ටීකා ද චක්‍රදත්ත, ද්‍රව්‍යගුණ ආදි ග්‍රන්ථ ද චක්‍රපාණීන්ගේ කෘතීහු වෙත්. මොහු විසූයේ එකොළොස්වන සියවසේ දී යයි ඉතිහාසඥයෝ පවසති.

ශාර්ඞ්ගධර

ශාර්ඞ්ගධරපද්ධති, ශාර්ඞ්ගධර සංහිතා ආදි ග්‍රන්ථ කළ මෙතෙම කිවියෙක් ද වේ; තුදුස්වන සියවසේ දී ජීවත් වූවෙකි.

වඞ්ගසේන

මොහු විසින් සංග්‍රහ කරන ලද චිකිත්සා සාරසංග්‍රහව “වංගසේන” නමින් ම ප්‍රසිද්ධයි. ලොප්ව යාමට ආසන්නව පැවති අගස්ත්‍ය සංහිතාව ප්‍රතිසංස්කරණය කොට "වංගසේන" නම් ග්‍රන්ථය කළ බව හෙතෙමේ ම කියයි. මෙතෙම භාවමිශ්‍රයන්ට පෙර පහළ වූ වංග පඬිවරයෙකැයි සලකනු ලැබෙයි.

භාවමිශ්‍ර

මේ පඬිවරයා කළ භාවප්‍රකාශයෙහි ශාර්ඞ්ගධර, වංගසේන යන ග්‍රන්ථවලින් පාඨ උපුටා දක්වා ඇත. භාවප්‍රකාශයෙහි ඵිරංග රෝගය හා යවන ඖෂධ පිළිබඳ කරුණු ද දක්වා තිබේ. පරංගීන් ඉන්දියාවට පැමිණීමෙන් පසු ඵිරංග රෝගය බෝවූ බැව් ප්‍රකට හෙයින් සොළොස් වන සියවසේ දී භාවමිශ්‍ර සිටි බැව් පැහැදිලිය. අඥාත කර්තෘවරයකු විසින් විරචිත යෝගරත්නා කර නම් සංග්‍රහ ග්‍රන්ථය විශේෂයෙන් ම දක්ෂිණ භාරතයෙහි සමාදෘතව පවත්නා වැදගත් කෘතියකි.

ටීකාකාරයෝ

ඩල්ලන

සුශ්‍රැතයේ ටීකාකර්තෘ වන ඩල්ලනා චාර්‍ය්‍ය තෙමේ සහනපාලදේව නම් රාජයාගේ වල්ලභයෙකැයි කියති. “පාලදේව” රජවරු දසවන එකොළොස්වන සියවස්හි මගධ ගෞඩාදි දේශයන්හි රජකම් කළහ. චක්‍රපාණි ද මේ කාලයෙහි ම විසූවෙකැයි හැඟේ. ඩල්ලන දසවන සියවසේ අවසාන කාලයේ විසුවෙකැයි ද කියත්.

චක්‍රපාණි

චරක, සුශ්‍රැත දෙකට ටීකා සැපයූ මේ පඬිවරයා ගැන මීට පෙර සඳහන් විය.

අරුණදත්ත

වාග්භටයන්ගේ ග්‍රන්ථයට ටීකා ලියූ මෙතෙම එකොළොස්වන සියවසේ මුල දී ජීවත් වූවෙකි.

විජයරක්ෂිත හා ශ්‍රී කණ්ඨදත්ත

මාධව නිදානයේ ටීකාකාර විජය රක්ෂිත තෙළෙස්වන සියවසේ ජීවත් වූවෙකි. ශ්‍රීකණ්ඨදත්ත විජය රක්ෂිතයන්ගේ ශිෂ්‍යයෙකි. හෙතෙම ගුරුනිර්දේශය අනුව ප්‍රමේහ නිදානයේ සිට මාධවයේ ඉතිරි කොටසේ ටීකාව රචනය කළේය.

ශිවදාස

චරක, චක්‍රදත්ත දෙකට ටීකා ලියූ මෙතෙම පසළොස්වන සියවසේ විසූ ගෞඩාධිපති හුගේ රාජවෛද්‍යයාගේ පුත්‍රයෙකි.

අන්‍ය ටීකාකාරයෝ

ඊශානදේව, හරිචන්ද්‍ර, චාප්‍යචන්ද්‍ර, වකුල, භීමදත්ත, ඊශ්වරසේන, නරදත්ත, ජිනදාස, ජෙජ්ජඩ හෙවත් ජෛයට යනාදි චරකයට ටීකා කළවුන්ගේ ද ගෝමී, ගදාධර, ගයී හෝ ගයදාස, ජෛයටාදි සුශ්‍රැතයට ටීකා කළවුන්ගේ ද භාස්කර, මාධව, බ්‍රහ්මදේව, සෝම ආදි ටිප්පනිකාරයන්ගේ ද චන්ද්‍රනන්දන, හේමාද්‍රි ආදී ටීකාකාරයන්ගේ ද ග්‍රන්ථ වර්තමානයෙහි දුර්ලභය. ඍෂිකල්ප ගංගාධරයන්ගේ ජල්පකල්පතරු නමැති චරක ටීකාව ද ඉන්දු ප්‍රණීත අෂ්ටාංග සංග්‍රහ ටීකාව ද දැන් මුද්‍රණයව පවතී.

නිඝණ්ඩු ග්‍රන්ථ

මෙහි සඳහන් වන නිඝණ්ඩු වනාහි ද්‍රව්‍යගුණ ග්‍රන්ථයෝයි. සංහිතාවන්හි ද්‍රව්‍ය ගුණ සැකෙවින් සඳහන් වෙතත් වැඩි විස්තර මෙම කෘතීන්ගෙන් දත හැකියි.

ධන්වන්තරි නිඝණ්ඩු

කාශිරාජ ධන්වන්තරි සෘෂීන් විසින් කථිත මෙය තත් ශිෂ්‍යයකු විසින් සංග්‍රහ කොට ප්‍රචාරය කරන ලදි. කාලය ගැන සඳහන් නොවේ. සංග්‍රහ කර්තෘ මීට “ද්‍රව්‍යාවලි” යන නම තැබීය.

මදනපාල (මදන විනෝද) නිඝණ්ඩු

කච්ඡ දේශාධිපති මදනපාල රජතුමා මෙහි කර්තෘය. මෙම ග්‍රන්ථයෙහි තවත් ලොකු කුඩා නිඝණ්ඩු වල නම් සඳහන් වෙතත් ඒවා දක්නට නැත. මෙය මධ්‍යම ප්‍රමාණයේ වැදගත් නිඝණ්ඩුවකි.

රාජ නිඝණ්ඩු

මෙම උත්කෘෂ්ට ග්‍රන්ථය නරහරි පණ්ඩිතයන් විසින් කරන ලද්දකි. මෙම නිඝණ්ඩුවෙහි ද්‍රව්‍යනාම මහාරාෂ්ට්‍ර, කර්ණාට භාෂාවලින් දක්වා ඇත්තෙන් මෙතෙම ඒ දේශවාසියෙකැයි හැඟේ. මෙම ග්‍රන්ථය විවිධ නිඝණ්ඩු ආශ්‍රයෙන් සංග්‍රහ කරන ලද්දක් බැව් කියා තිබේ.

ද්‍රව්‍යගුණ සංග්‍රහ

චක්‍රපාණීන් විසින් විරචිත මෙය සංක්ෂිප්ත ග්‍රන්ථයකි.

රාජවල්ලභ නිඝණ්ඩු

මෙය රාජවල්ලභ වෛද්‍යයන්ගේ කෘතියකි. මෙහි ඉතා ප්‍රයෝජනවත් ඖෂධ ගුණ දක්වා ඇත.

සෝඪල නිඝණ්ඩු

මෙය සෝඪලාචාර්‍ය්‍යයන් විසින් රචිත විශාල ග්‍රන්ථයකි. මෑත දී බොම්බායෙහි මුද්‍රණය කරවන ලදි.

රත්නමාලා

මාධවයන් විසින් විරචිත කුඩා ග්‍රන්ථයකි. මෙකියන ලද නිඝණ්ඩු හැර ගණ නිඝණ්ටු, හෘදයප්‍රදීප, ද්‍රව්‍ය රත්නාකාර නිඝණ්ටු, කේයදේව රත්නාකර නිඝණ්ටු, සිද්ධමන්ත්‍ර යනාදි නම්වලින් ද නිඝණ්ටු තුබුණ බැව් දැනගන්ට ඇත. මෑතක දී පළ කරවන ලද ද්‍රව්‍යගුණ ග්‍රන්ථ මෙන් ම විවිධ ප්‍රකීර්ණක ග්‍රන්ථ ද රාශියකි.

(කර්තෘ: ආර්. බුද්ධදාස)

පුරාණ ලංකාව

භාරතීයයන් විසින් ජනාවාස කරනු ලැබූ පුරාණ ලංකාවේ පැවැති සංස්කෘතිය ඔවුන්ගේ සංස්කෘතියෙන් ම භින්න වූවක් හෙයින් මෙරට වෛද්‍යවරයන් මුල සිට ම අනුගමනය කෙළේ භාරතීයයන්ගේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය බව දැනට අප දන්නා කරුණු අනුව සලකා ගත හැකිය. එහෙත් මෙරටට ම විශේෂ වූ ඖෂධ වර්ග හා වෛද්‍ය ක්‍රම ඇති වීමත් මෙරට වෛද්‍යවරයන් විසින් වෛද්‍ය ග්‍රන්ථ ලියනු ලැබීමත් දේශීය සංස්කෘති විකාසනයේ එක් අවස්ථාවක් ඔහු වශයෙන් සැලකිය යුතු ස්වාභාවික සිද්ධියක් බව භාරතයේ අතිශ්‍රේෂ්ඨ බෞද්ධ මහාධිරාජයා වූ ධර්මාශෝක රජුගේ ලෝක ව්‍යාප්ත ධර්මදූත ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් වශයෙන් ලංකාව බෞද්ධ රටක් වීමෙන් පසු මෙරට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ විශාල දියුණුවක් ඇති වූ බවට සැකයක් නැත. “දෙවියන්ට ප්‍රිය වූ පියදස්සී රජුගේ විජිතයෙහි සැම තන්හිත් තදනුබද්ධ චෝල, පාණ්ඩ්‍ය, සත්‍යපුත්‍ර, කේරළපුත්‍ර, තාම්‍රපර්ණී යන රාජ්‍යයන්හි හා අන්තියෝක නමැති යවන රජුගේ රාජ්‍යයෙහිත් ඒ අන්තියෝක රජුගේ සාමන්ත රජුන්ගේ රාජ්‍යයන්හිත් යන සියලු තන්හි දෙවියන්ට ප්‍රිය වූ පියදස්සී රජු විසින් මනුෂ්‍යචිකිත්සාය පශුචිකිත්සාය යන චිකිත්සාද්වය පිහිටුවන ලදි; යම් යම් තන්හි මිනිසුන්ට වුවමනා කරන්නාවූත් සතුන්ට වුවමනා කරන්නාවූත් බෙහෙත් වර්ග නැත්නම් ගෙන්වා ඒ ඒ තන්හි රෝපණය කරවන ලදි; එසේ ම යම් යම් තන්හි මුල් වර්ග හා ගෙඩි වර්ග නැත්නම් ගෙන්වා ඒ ඒ තන්හි රෝපණය කරවන ලදි” යනුවෙන් අශෝක රජුගේ අංක 2 දරන ශිලාලේඛනයෙහි සඳහන් වන හෙයින් ආරොග්‍යමිච්ඡෙ පරමං ච ලාභං" (උතුම් ලාභයක් වූ ආරෝග්‍යය කැමැති වන්නේය) යයි බුදුරජාණන් වහන්සේ වදාළ ආරෝග්‍යලාභය ඇති කරලීම ඔහුගේ ධර්මදූත ව්‍යාපාරයේ එක් අංගයක් වූ බව පෙනේ. මෙරට බෞද්ධ රජ දරුවන් ජනතාවගේ ආරෝග්‍යලාභය උදෙසා කටයුතු කළ බව වංසකථාවලින් හා ශිලාලිපිවලින් හෙළි වෙයි. ඔවුන් ඊට උත්සුක වූයේ අශෝක රජුගේ එකී උසස් බෞද්ධ ප්‍රතිපත්තිය අනුගමනය කිරීමෙනි. සකල සත්ව වර්ගයා කෙරෙහි මෛත්‍රී කරුණා සහගත විය යුතුය යන්න බුද්ධ ධර්මයේ දැක්වෙන ප්‍රධාන ඉගැන්වීමක් හෙයින් ඔවුන් විසින් හුදු කුශලාධ්‍යාශයෙන් ම මිනිසුන්ගේ පමණක් නොව සතුන්ගේ පවා ආරෝග්‍යලාභය සලසා ලන ලද්දේය. ආයුර්වේදය පුණ්‍යප්‍රද (පින් එළවන) ශාස්ත්‍රයක් වශයෙනුත් (චරක සංහිතාව, 1. 7-9, 2 පිට) අථර්ව වේදයෙහි උපාංගයක් වශයෙනුත් (සුශ්‍රැත සංහිතාව, 1.5-6, 2 පිට) සලකනු ලබන හෙයින් බුදු සසුන් පිහිටුවා ලීමට පෙරාතුව සිටි සිංහල රජදරුවන් දවස ද මෙරට ආයුර්වේදය පවතින්නට ඇතැයි අනුමාන කළ හැකිය. පණ්ඩුකාභය (ක්‍රි. පූ. 4 වන සියවස) කුමරුට ශිල්ප හැදෑර වූ පණ්ඩුල බ්‍රාහ්මණයා වේදයෙහි පරතෙරට ගිය තැනැත්තෙකැයි මහාවංසයෙහි (10.20 - 23) දැක්වෙයි. ඒ අනුසාරයෙන් ඔහු ආයුර්වේදයෙහි ද ප්‍රවීණව සිටින්නට ඇතැයි සලකා ගත හැකිය. පණ්ඩුකාභය රජු විසින් විවිධ නගරාංගයන්ගෙන් යුක්ත කොට අනුරාධපුර නගරය පිහිටුවා නගරවාසීන්ගේ සනීපාරක්ෂාව පිණිස යොදන ලද විධිවිධාන ගැනත් කරවන ලද තිඹිරිගෙයක් හා ගිලන්හලක් ගැනත් මහාවංසයෙහි (10.91–93, 102) සඳහන් වන බැවින් එකල මෙරට ආයුර්වේදය ඉතා දියුණු තත්වයක පැවැති බව ඔප්පු වෙයි. බුදුසසුන් පිහිටුවා ලීමෙන් පසු මෙරට රජ කළ බොහෝ රජවරුන් රටවැසියාගේ ආරෝග්‍යලාභය උදෙසා උනන්දුවකින් කටයුතු කිරීම නිසා ලක්දිව ආයුර්වේදයේ විශාල දියුණුවක් ඇති විය. රජුන් විසින් හා රජයේ උසස් තනතුරු දැරූවන් විසින් ආරෝග්‍යශාලා හා ඖෂධශාලා පිහිටුවීමත් ඒවාට පරිහාර ප්‍රදානය කිරීමත් ගිලනුන්ට හා භික්ෂූන්ට බත්බෙහෙත් ආදියෙන් සංග්‍රහ කිරීමත් අඳගොළු බිහිරිකොර ජනයන්ට බත්බෙහෙත් දීමත් පිළිබඳ සටහන් වංසකථාවල හා ශිලාලේඛනවල දක්නා ලැබේ. ලක්දිව ශ්‍රෙෂ්ඨතම බෞද්ධ නරපතියකු වූ දුටුගැමුණු (ක්‍රි. පූ. 161-137) රජු විසින් නිරන්තර නිරන්තරයෙන් අටළොස් තැනක වෙදුන් විසින් නියම කරන ලද ගිලන් බත් හා බෙහෙත් ගිලනුන්ට දෙවන ලද්දේය (ම.ව. 32.38). ලජ්ජිතිස්ස (ක්‍රි.පූ. 119-109) රජ ග්‍රාමවාසී භික්ෂූන්ට බෙහෙත්පස දෙවීය (ම.ව. 33.27). ඉතා පුරාණ කාලයේ සිට ම බෞද්ධ භික්ෂූන් වහන්සේ ආයුර්වේදයෙහි නිපුණව සිටි බවත් විනය නීති උල්ලංඝනය නොවන පරිද්දෙන් පිළියම් කළ හැකි අවස්ථාවල දී එසේ කළ බවත් පාලි අටුවාවල දක්නා ලැබෙන ඇතැම් තොරතුරුවලින් හෙළි වෙයි. වසභ (ක්‍රි.ව. 67-111) රජු කල සිටි මහාපදුම තෙරුන්වහන්සේ විසින් රජුගේ දේවියට කිසියම් රෝගයක් වැලඳුණු කල්හි ඊට බෙහෙත් අසා තමන් වෙත පැමිණි ස්ත්‍රියකට බෙහෙත් නොකියා ඒ රෝගය අසුවල් බෙහෙත්වලින් සුව වන්නේ යයි භික්ෂූන්ට කියන ලදැයි ද ඒ අසා සිටි ස්ත්‍රිය විසින් ඒ බෙහෙත් කරවීමෙන් දේවියගේ රෝගය සුව කරන ලදැයි ද සමන්ත පාසාදිකා නම් විනය අටුවාවේ තතියපාරාජිකා වණ්ණනාවහෙි එන කතාවකින් කියැවෙයි. ලක්දිව ආයුර්වේදයෙහි ස්වර්ණමය යුගය වශයෙන් ගිණිය යුත්තේ බුද්ධදාස රජුගේ රාජ්‍යසමය (ක්‍රි. ව. 337 - 365) බව අවිවාදයෙන් පිළිගත යුතුය. බුද්ධදාස රජ ආයුර්වේදයෙහි පාරප්‍රාප්ත වූයේය. ඔහු ලක්දිව් වැස්සන්ට හිත පිණිස ගමක් ගමක් පාසා ආරෝග්‍යශාලා කරවීය. ඇතුන්ට අසුන්ට හා සේනාවට (ආරෝග්‍යශාලා, පුරාණ ලංකාවේ බ.) වෙදුන් නියම කෙළේය . සැත් (ශල්‍ය ආයුධ) මිටිය ඉණ තබා ගෙන හැසිරෙන්නේ දුටු දුටු රෝගාතුර ජනයා රෝදුකින් මුලීය (ම. ව. 37.145 −150). බුද්ධදාස රජු විසින් කරන ලද ආශ්චර්යජනක වෛද්‍ය ප්‍රතිකර්ම කිහිපයක් පිළිබඳ විස්තර මහාවංසයෙහි සඳහන් වෙයි. ඔහු බඩෙහි හටගත් ගෙඩියක් නිසා පීඩා විඳිමින් සිටි නයකුගේ බඩ පළා බෙහෙත් කොට ඌ සුවපත් කෙළේය. (ම. ව. 37.112–123) ; පණුවන් සහිත කිරක් වැළඳූ එක් භික්ෂු කෙනකුන්ගේ කුසෙහි පණුවන් බෝවීම නිසා පීඩා ඇති වූ කල්හි අසකුගේ නහර විද ලේ ගෙන පොවා මඳ වේලාවකින් බෙහෙතැයි සිතා තමන් වැළඳුවේ අස්ලේ බව කියා පිළිකුළ ඇති කොට වමනය කරවා පණුවන් බැහැර කරලීමෙන් ඔවුන් සුවපත් කොට වෙදකමෙහි ආශ්චර්යය පෑවේය (ම.ව. 37.124 – 131); නොදැන දියබරණ බිජුවක් ගිලීමෙන් කුසෙහි දියබරණයකු හටගැනීම නිසා රෝගාතුර වූ මිනිසකු නිදි කරවා නින්දේ දී දල්වන ලද ඔහුගේ මුඛය වෙත හුයක බැඳි මස් වැදැල්ලක් තබවා ඒ ගඳින් පිටතට නික්මුණු සර්පයා හුයෙන් බැඳ එළියට ගෙන ඔහු සුවපත් කෙළේය. (ම. ව. 37.132-139) ; සත් වරක් ම මුඪගර්භ වූ චණ්ඩාල ස්ත්‍රියක සහගැබින් සුවපත් කෙළේය. (ම. ව. 37.140) ; වාතරෝගයක් නිසා ගෝනැස් සෙයින් වකුටු වූ එක් ශ්‍රමණ කෙනකුන් සුවපත් කෙළේය (ම.ව. 37.141); පැන් බොන කල්හි නැහැ සිදුරෙන් මැඬි බිජුවක් ඉස්මුලට නැඟී බිඳී මැඩියකු ඇති වීමෙන් පීඩාවට පත් මිනිසකුගේ හිස පළා මැඬියා බැහැර ලා හිස් කබල පුරුද්දා ඔහු සුවපත් කෙළේය. (ම. ව. 37.142 – 144); තමා හා බද්ධවෛරයෙන් පසු වූ එක්තරා කුෂ්ඨ රෝගියකු වෙත රාජපුරුෂයකු යවා ඔහුත් රෝගියාත් අතර රජු මැරීමට ව්‍යාජ කුමන්ත්‍රණයක් ඇති කොට උපායයෙන් රෝගියාගේ සිත් දිනවාගෙන රහසේ කරන ලද පිළියමින් රෝගියා සුවපත් කොට පසුව නියම තතු දැන ගන්නට සලස්වා ඔහුගේ විශ්වාසය දිනා ගත්තේය (ම. ව. 37.151–170). මෙසේ බුද්ධදාස රජු විසින් සිරුරෙහි මතු නොව මනසෙහි හටගත් රෝගවලට ද පිළියම් කරන ලදි. අග්‍රබෝධි VII (ක්‍රි. ව. 772-777) රජ ලක්දිව සියලු ම ගිලනුන්ට පථ්‍ය බෙහෙත් තමා ම විමසා දුන්නේය (ම. ව. 48.72). මිහිදු IV (ක්‍රි. ව. 956– 972) රජු විසින් පාංශුකූලික භික්ෂූන් වෙත නිතිපතා වෙදුන් හා බෙහෙත් ද්‍රව්‍ය යවා පිළියම් කරවන ලදි (ම. ව. 54.21–24). පොළොන්නරුවේ රාජ්‍යානුශාසනා කළ (මහලු) විජයබාහු I රජ භික්ෂූන්ට ශීතල නසන උපකරණ හා බෙහෙත් දුන්නේය. (ම. ව. 60 70-78) උපතිස්ස I (ක්‍රි. ව. 365 406), මහානාම (ක්‍රි. ව. 406-428), සිලාකාල (ක්‍රි.ව. 518 – 531), උදය I (ක්‍රි. ව. 797-801), සේන I (ක්‍රි. ව. 833 – 853), සේන II (ක්‍රි. ව. 853–887), කාශ්‍යප IV (ක්‍රි. ව. 898–914), කාශ්‍යප V (ක්‍රි. ව. 915- 923), මිහිඳු IV (ක්‍රි.ව. 956 – 972) ආදි රජුන් විසින් ද ක්‍රි.ව. 659 ට මඳ කලකට පෙර රුහුණ පාලනය කළ අක්බෝ කුමරු, කාශ්‍යප IV රජු කල සිටි සෙනල්නාකන් මහලේනා හා ඉලංග සේන සෙනෙවියා, කාශ්‍යප V රජු කල හෝ තදාසන්න කලක සිටි සේ සලකනු ලබන දොති වලක්න්නැ, මිහිඳු IV රජුගේ කීර්ති නමැති දේවියගේ පුත්‍රයා හා සක්කසේනාපති ආදි රාජකීයයන් විසින් ද ආරෝග්‍යශාලා හා ඖෂධශාලා කරවන ලද බව වංසකථාවලින් හා ශිලාලේඛනවලින් හෙළි වෙයි (ආරෝග්‍යශාලා, පුරාණ ලංකාවේ බ.) රටෙහි සංවර්ධනය පිණිසත් බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය පිණිසත් කටයුතු කළ (මහා) පරාක්‍රමබාහු I (ක්‍රි. ව. 1153-1186) රජු විසින් ද ආරෝග්‍යශාලා කරවීමෙන් හා වෙනත් නොයෙක් ක්‍රමවලින් රට වැසියාගේ ආරෝග්‍ය ලාභය සලස්වන ලදි. ඔහු ආයුර්වේදයෙහි නිපුණවූවෙකැයි මහාවංසයෙහි (73.42) ම සඳහන් වෙයි. ආයුර්වේදයෙහි දියුණුව පිණිස ඔහු විසින් කරන ලද සේවය දෙවැනි වන්නේ බුද්ධදාස රජුගෙන් සිදු වූ සේවයට පමණකි ( ආරෝග්‍ය ශාලා, පුරාණ ලංකාවේ බ.).

මෙරට වෛද්‍ය ග්‍රන්ථ

මෙරට වෛද්‍යවරයන් විසින් ලියන ලද වෛද්‍ය ග්‍රන්ථ කිහිපයක් ඇත්තේය. සංස්කෘත භාෂාවෙන් ලියා ඇති සාරාර්ථ සංග්‍රහය බුද්ධදාස රජු විසින් කරන ලදැයි සලකනු ලැබේ. 13 වන සියවසේ දී පස්මුළ මහාසාමීන් විසින් භෙසජ්ජමඤ්ජූසා නමැති වෛද්‍ය ග්‍රන්ථය පාලි භාෂාවෙන් කරන ලදි. මයුරපාද පරිවෙණාධිපතීන් විසින් යොගාර්ණාව, ප්‍රයෝගරත්නාවලි යන වෙදපොත් දෙක ලියන ලද්දේය. මොනරගම්මන නමැති තෙර කෙනෙක් බුවනෙකබාහු VI රජු දවස යෝගරත්නාකරය නමැති පද්‍යමය වෛද්‍ය ග්‍රන්ථය කළහ. මහනුවර යුගයෙහි වැඩ වුසූ වැලිවිට සරණංකර සංඝරාජයන් විසින් භෙසජ්ජමඤ්ජුසාවට සන්නයක් ලියන ලදි. සංස්කෘත, පාලි, සිංහල යන භාෂාත්‍රයයෙන් ම වෛද්‍ය ග්‍රන්ථ කිරීමට තරම් මෙරට සිටි වෛද්‍යවරයන් ආයුර්වේදයෙහි නිපුණව සිටියහ යි මේ කරුණු නිසා නිගමනය කළ හැකිය.

පරාක්‍රමබාහු VI රජු දවස කරන ලද ගිරා සන්දේශයෙහි තොටගමුවේ විජයබාහු පිරුවන වර්ණනා කරන තන්හි " වෙදවරු වෙදසතර පිරුවති එහි සතොස " යයි දැක්වෙයි. එයින් එකල පාරිවේණික අධ්‍යාපනයෙහි අවශ්‍ය අංගයක් වශයෙන් ආයුර්වේදය ප්‍රගුණ කරවූ බව හෙළි වෙයි.

(කර්තෘ: ඇස්.ඩබ්ලිව්. ඈපා සෙනෙවිරත්න)

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආයුර්වේදය&oldid=6651" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි